අරුණි ශපීරෝ‍ වෙතින්

ෆෙඩරලිස්ට් රචනා අංක 19: වර්තමාන සමාබන්ධන -ජර්මන්, පෝලන්ත, ස්විස්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 29, 2013

IMG_4995

ජේම්ස් මැඩිසන් විසින් 1787 දෙසැම්බර් 8 වැනිදා ලියන 19 වැනි ෆෙඩරලිස්ට් රචනාව මෙසේය. අනෙක් රටවල් වල පවතින ආණ්ඩු ක්‍රම ගැන ඇමෙරිකන් ආදිපිතෘවරුන් සොයා බැලුවේ ඊට වඩා සුදුසු වූවක් තමනට හදාගන්නට ය.

“පුරාතන සමාබන්ධන උදාහරණ මගේ පසුගිය රචනාවෙන් දැක්වුවත් මේ විෂයය ගැන ගත යුතු උපදෙස් එතැනින් නිම නොවේ. ඒ හා සමාන සිද්ධාන්ත මත පදනම් වූ දැනට පවතින ආයතන අපේ සැලකිල්ලට පාත්‍ර විය යුතුයි. මේ අතරින් සලකා බැලිය යුතු පළමුවැන්න නම් ජර්මන් එකතුවයි.

ක්‍රිස්තියානි ආගමේ මුල් කාලයේ දී සැමටම ප්‍රධානියෙක් ලෙසින් කිසිවෙක් කටයුතු නොකළ පැහැදිලිවම එකිනෙකට වෙනස් වූ ජාතීන් හතක් ජර්මනියේ සිටියහ. ගෝල් (Gaul) ආක්‍රමණයෙන් පසුව, ෆ්‍රෑන්ක්ස් විසින් පිහිටනු ලැබුවේ ඔවුන්ගේ නමින් රාජධානියකි.

9 වැනි සියවසේ එහි යුදකාමී ෂාර්ලෙමැන්යැ රජු විසින් දසතේ ගෙන ගිය යුද මෙහෙයන් වලින් ජයග්‍රහණ ලැබීය. ජර්මනිය ද ඒ විසල් රාජ්‍යයේ කොටසක් බවට පත්විය. ෂාර්ලෙමැන්යැ පුතුන් යටතේ ජර්මනිය වෙන් වී ස්වාධීන රාජධානියක් විය.

ෂාර්ලෙමැන්යැ සහ ඔහුගේ ළඟම උරුමක්කාරයන් පාලන බලය මෙන්ම අධිරාජ්‍යයේ බලයේ උදාරත්වයට හිමිකම් කියූ අය වූහ. එහෙත් ඉඩම් හිමියන්ට බැළ මෙහෙවර කරමින් ඉඩමේ ජීවත්වන්නුවන්, උරුමයෙන් ඒ ඉඩම් වල වාසයට අයිතිය ලැබී සිටියවුන්, ජාතික සම්මේලනයේ වැඩි කොටස නියෝජනය කළවුන් වූහ. ෂාර්ලෙමැන්යැ විසින් එය ආලෝපනය නොකරන ලද්දකි. ක්‍රමයෙන් දාස භාවයෙන් ගැලවෙන ඔවුන් ස්වෛරී රාජ්‍යයක් හා ස්වාධීනත්වය වෙතට ගමන් කළහ. එවැනි යටත්වැසියන් තව දුරටත් පීඩිතව තබාගන්නටත්, අධිරාජ්‍යයේ එක්සත් බව හා සාමය රැකගන්නටත් අධිරාජ්‍යවාදී රජුන් අසමත් වූහ.

දරුණු පුද්ගලික යුද්ධ හා එක් වූ හැම වර්ගයකින්ම හටගත් විපත්තියන් නොයෙකුත් රජකුමරුන් අතර සහ රාජ්‍යයන් අතර ඇවිලී ගියේය.

මහජන සාමය තව දුරටත් පවත්වා ගෙන යන්නට නොහැකි වූ නිසා, අධිරාජ්‍ය බලය ක්‍රමයෙන් අඩු වී ගිහින් ජර්මන් දිස්ත්‍රික්කයක් වූ ස්වාබියාවේ අවසන් එම්ප්‍රදෝරුවා සහ ඔස්ට්‍රියාවේ පළමු එම්ප්‍රදෝරුවා අතර කාලයේ තිබු දීර්ඝ විවේකයේ දී අරාකත්ව (anarchy) රජයන ලදි.

11 වැනි සියවසේ දී එම්ප්‍රදෝරුවන් සම්පූර්ණ ස්වාධිපත්‍ය තිබූ අයයි. 15 වැනි සියවසේ දී ඔවුන් බලයේ සංකේත සහ සැරසිලි පමණකි.

වැඩවසම් ක්‍රමය තුලින් වැදගත් සමාබන්ධන ලක්ෂණ රාශියක් දකින්නට හැකිවිය. ජර්මන් අධිරාජ්‍යය සමන්විත වෙන ෆෙඩරල් ක්‍රමය වැඩුනේ එය තුලිනි.

ඩීට් රාජධානි සම්මේලනය සමාබන්ධනයේ සාමාජිකයන් නියෝජනය කරමින් නීති සම්පාදක බලයේ සිටිති. එම්ප්‍රදෝරුවා නොහොත් විධායක මහේස්ත්‍රාත්වරයා, සම්මේලනයේ ආඥාවන් ප්‍රතික්ෂේප කිරීමේ බලය සතු වූ තැනැත්තාය. විනිසුරු අධිකරණ දෙකකින්, රාජකීය සභාවකින්, සහ ඔලික් කවුන්සිලයකින් අධිරාජ්‍යය ගැන හෝ එහි සාමාජිකයන් අතර හටගන්නා වියවුල් නිරාකරණයට සුපිරි බලය සතු විය.

සම්මේලනයට අධිරාජ්‍යයේ සාමාන්‍ය නීති සම්පාදක බලය සතුවිණ. යුද්ධ හා සාමය, මිත්‍ර පාක්ෂික ගිවිසුම්, හමුදාව සහ මුදල් වැය ගැන පංගු තීරණය, බලකොටු තැනීම, කාසි රෙගුලාසිකරණය, අලුත් සාමාජිකයන් බඳවා ගැනීම, සහ අකීකරු සාමාජිකයන්ට ඔවුන්ගේ ස්වාධිපත්‍යය අහක් කර ඔවුන්ගේ වස්තු රාජ සන්තක කරන දඬුවම් දීම යනාදිය තීරණය කළ හැකි විය.

අධිරාජ්‍යයට එරෙහි වූ ගිවිසුම් වලට සහයෝගය දීම පැහැදිලිවම සමාබන්ධනයේ සාමාජිකයන්ට තහනම් වූවකි. සම්මේලනයේ සහ එම්ප්‍රදෝරුවාගේ අනුමැතිය නොමැතිව දිස්ත්‍රික්කයන් අතර මාර්ග ගාස්තු හා බදු ගාස්තු පැනවීම තහනම් වූවකි. මුදලේ අගය වෙනස් කිරීම තහනම් වූවකි. එකිනෙකාට අයුක්ති සහගත ක්‍රියාවන් වල නියැළීම, මහජන සාමයට පටහැනි වන සහාය දීම හා සාමය කඩාකප්පල් කරන ක්‍රියාවන් වල නියැළීම තහනම් වූවකි. මේ කටයුතු කරන යම් අයෙක් වූයේ ද ඔවුන් ගේ වස්තු රාජ සන්තක වීම සහ ස්වාධිපත්‍යය අහිමි වීම දඬුවම විය.

ඩීට් සම්මේලනයේ සාමාජිකයන් විනිශ්චයට ලක්වුනේ එම්ප්‍රදෝරුවා වෙතින් සහ සම්මේලනයෙනි. ඔවුන්ව පුද්ගලික පුරවැසියන් හැටියට විනිශ්චයට ලක්වුනේ ඔලික් කවුන්සිලයෙන් හා රාජකීය සභාවෙනි.

රජතුමාගේ පරමාධිකාරයේ වැදගත් ම අංගයන් වූයේ නීතියක් යෝජනා කරන්නට සුවිශේෂී අයිතියක් තිබීම, සම්මේලනයේ තීරණ ප්‍රතික්ෂේප කරන්නට අයිතියක් තිබීම, රාජ්‍ය තාන්ත්‍රිකයන් නම් කරන්නට හැකියාව, තනතුරු හා නම්බු නාම පිරිනැමීමේ බලය, හිස් දිස්ත්‍රික්කයන් වල තනතුරු තීරණය කිරීමේ හැකියාව, විශ්ව විද්‍යාල ආරම්භය, දිස්ත්‍රික්කයන්ට හෝ අධිරාජ්‍යයට අහිතකර නොවන වරප්‍රසාද පිරිනැමීමේ බලය, මහජන ආදායමෙන් ජීවත්විය හැකියාව හා තව ඉල්ලන හැකියාව, මහජන ආරක්ෂාව සැලසෙනවා දැයි පිරික්සා කිරීම යනාදියයි.

සමහර අවස්ථා වල දී චන්දය ප්‍රකාශයෙන් එම්ප්‍රදෝරැවා පිණිස කවුන්සිලයක් පිහිටුවයි. එම්ප්‍රදෝරුවෙක් ලෙසින් ඔහුට අධිරාජ්‍යයේ කිසිම භූමි කොටසක් අයිති නැත. ඔහුගේ වස්තුව යැයි කියා වෙනම කොටසක් වෙන් නොවේ. නමුත් ඔහුගේ වියදම් ගෙවා දැමෙන හා ඔහු සතු බලයන් අනුව ඔහු යුරෝපයේ ඉතාමත් බලවත් කුමරෙක් වෙයි.

මෙවැනි පද්ධතියක් නිසා, එනම් අධිරාජ්‍යය යනු රජවරුන් ගේ සමාජයක් වෙද්දී, සම්මේලනය රජවරුන් ගේ නියෝජනයක් වෙද්දී, නීති යනු රජවරුන් විසින් තීරණය කරන ලද්දක් වෙද්දී, මුළු අධිරාජ්‍යයම ස්නායු පද්ධතියක් නොමැත්තක් වෙයි. එයට එහි සාමාජිකයන් පරිපාලනය නොහැකියි. පිටතින් එන ප්‍රහාර වලින් ආරක්ෂා විය නොහැකියි. එහි අන්තර්ගතය නොනැවතී පැහෙන කලහයක් වෙයි.

ජර්මනියේ ඉතිහාසය යුද ඉතිහාසයකි. එම්ප්‍රදෝරුවා සහ කුමරුන් අතරත් දිස්ත්‍රික්ක අතරත් වූ යුද ඉතිහාසයකි. ශක්තිමත් අයට දුර්වලයන් පීඩනය කරන්නට අවසරයක් තිබූ ඉතිහාසයකි. විදේශ ආක්‍රමණ හා කුමන්ත්‍රණ වලින් පිරි වූවකි. මිනිසුන් ගැන තැකීම හා මුදල් උවමනාවන් ගැන වැඩිපුර සැලකිල්ලට භාජනය නොවූවකි. ආරක්ෂාව සැපයීම හිටිහැටියේ නතර කර දමා අහිසංකයන් මෙන්ම වරදකරුවන්ව ද එකසේ ඝාතනයට ලක්කරන ලද්දකි. එහි ඉතිහාසය නුහුගුණත්වයෙන්, සම්මෝහයෙන් හා කාලකණ්ණිකමෙන් වූ ඉතිහාසයකි.

16 වැනි සියවසේ එම්ප්‍රදෝරුවාට අධිරාජ්‍යයේ කොටසකින් සහාය ලැබීමෙන් අනෙකුත් කුමරුන් හා ප්‍රාන්ත සමඟ සටන් වැදුණි. සැක්සනි දනව්වේ බාරකරුවා විසින් සිරබාරයට ගන්නට ලැහැස්තිවෙද්දී ඔහු එක සටනකින් පළා යන්නට සමත් විය. පසුකාලීන පෘසියාවේ රජු ඔහුගේ අධිරාජ්‍යයා සමඟ එක වරකට වඩා සටන් වැදී ඇත්තේ බහුතර අවස්ථාවන් වල දී ඔහු පරාජය කරමින් ය.

ජර්මන් ෆෙඩරල් සමාබන්ධනයේ සාමාජිකයන් අතර සිද්ධ වූ සටන් හා වියවුල් කොතරම් දැයි කිවහොත් ජර්මන් ඉතිහාසය පිරී ඇත්තේ ඒ ලේ හැලීම් ගැන තතු වලිනි. වෙස්ටෆේලියාවේ (1648) සාමයට පෙර තිස් වසරක යුද්ධයකින් ජර්මනිය විනාශ වී ගියේය. එක කොටසක් හිමි වූ එම්ප්‍රදෝරුවා අනෙක් කොටසට හා ස්වීඩනයට එරෙහිව යුද වැදුණි. අවසානයේ සාමය ගිවිසුම් කර දුන්නේ විදේශ බලවතුන් විසිනි. සාම ගිවිසුම් ජර්මන් ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටසක් බවට පත්විය.

යම් හදිසි තත්වයක් නිසා ආත්ම ආරක්ෂාවට පමණක් රටේ ජනතාව එකට එකතු වන්නේ නම් එය නින්දිත තත්වයකි. ඊර්ෂ්‍යාවන්, ආඩම්බරයන්, විකල්ප මතවාදයන්, රජවරුන් එකිනෙකා හා මුහුණ ඉච්ඡාවට කරන සටන් යනාදියෙන් පිරී ඇති සම්මේලනයක් විසින් හමුදාමය ප්‍රති ප්‍රහාරයක් සූදානම් කරන්නට පෙර හතුරන් සටන් බිමට වැදී ඇත්තහ. එපමණක් නොව ෆෙඩරල් හමුදාව සංවිධානය වී සටන් වදින්නට සූදානම් වෙන්නටත් පෙර සතුරු හමුදාව හේමන්ත නිවාඩුව ගත කරන්නටත් ගිහින් ය.

මෙවැනි නොගැලපෙන දේශපාලන යාන්ත්‍රණයක් ඔවුන් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට නොදී පවත්වා ගත්තෙ කෙසේද? පැහැදිලි පිළිතුර නම් එහි සාමාජිකයන් බොහොමයක් ඔවුන් වටකර ගෙන සිටි දැඩි විදේශ බලවතුන් යටතේ සිටින්නට අකමැති වූ නිසාය. එම්ප්‍රදෝරැවා තම පවුලේ ආඩම්බරය රැකගන්නට හැකි ක්‍රමයක් පවත්වා ගෙන යමින් ඔහුව යුරෝපයේ පළමු කුමරෙක් ලෙසින් තබාගැනීමට කැමති නිසාය. අවට බලවතුන් ඇතුලත විප්ලවයකට දිරි නොදුන්නේ එවිට එයින් ජර්මන් අධිරාජ්‍යයේ ෆෙඩරල් සාමාජිකයන්ට එකිනෙකා හා එකතු වී බලවත් වෙන්නට හැකියාව ලැබෙන නිසාය. එහි ආරාජික තත්වයක් පැවතෙනවාට අනෙකුත් යුරෝපීය විදේශ බලවතුන් කැමති වූහ.

අපිට තවත් උදාහරණයක් ලැබෙන්නේ පෝලන්තයෙනි. එහි ආණ්ඩුව ස්වෛරී පළාත් සමූහයකින් හැදෙන රාජ්‍යයක මූලාසනයේ සිටියි. ආත්ම ආරක්ෂාව හා ස්වයං පාලනයට නුසුදුසු ආයතන රැසකින් පවත්වා ගෙන යන්නක් බව මනා සාධක පැවතෙන වියවුල් වලින් පෙනී යයි. චිරාත් කාලයක් තම යාබද බලවත් රාජ්‍යයේ අනුග්‍රහය යටතේ විසූ පෝලන්තය තම භූමියෙන් හා ජනතාවගෙන් තුනෙන් එකක් ඔවුනට පැවරූහ.

ස්විස් ප්‍රාන්ත අතර පවතින සම්බන්ධය සමාබන්ධනයක් යැයි යාන්තමකට හැඳින්විය හැකි වූවකි. ඔවුනට පොදු භාණ්ඩාගාරයක් නැත. යුද්ධයකට යන්නට පවා පොදු හමුදාවක් නැත. හැමෝම පරිහරණය කරන එක කාසියක් නැත. පොදු අධිකරණයක් හෝ වෙනත් පැහැදිලි රාජාණ්ඩුවක පොදු සංකේතයක් නැත. ඔවුන් එකතු කර තැබෙන්නේ ඔවුන්ගේ භූගෝලීය වූ පිහිටීමෙනි. ඉහත යුගයක දී ඔවුන් පාලනය කළ අවට ඉන්නා බලවත් පාලකයන් ගැන බියෙනි. එකම ආකාරයකින් වූ හැදියාවකින් යුතු පිරිසක දකින්නට ලැබෙන්නේ ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණි. ඔවුන් අරගල හා කැරලි සමනයට එකිනෙකාට සහාය දෙති. තම වස්තූන් රැක ගන්නට එකිනෙකාට සහාය දෙති. පළාත් අතර වියවුල් බේරාගන්නට ස්ථිර විසඳුම් හදා ගනිති.

අවුලක් බේරාගන්නට ඔවුන් තෝරා ගන්නේ පැත්තක් නොගත් දිස්ත්‍රික්ක වලින් විනිසුරුවන් හතර දෙනෙක් හැම පැත්තක් විසින් ම තෝරාගනු ලබති. ඒ විනිසුරුවන් අතර විසංවාදයක් ඇත්නම් එය විසඳන්නට ඔවුන් විසින් එක විනිසුරුවෙක් තෝරාගනිති. පැත්තක් නොගන්නා බවට දිවුරුම් දී මේ විනිසුරු මඬුල්ල සියළු දිස්ත්‍රික්ක විසින් අනුගමනය කරන්නට පොරොන්දු වී ඇති තීන්දුවක් ප්‍රකාශ කරති.

ආගමික මතභේදයන් නිසා තුන් අවස්ථාවක දී ප්‍රචණ්ඩ හා ලේ ගැලීම් යුතුව හවුල කැඩී යන අවස්ථා දකින්නට හැකියි. ඒ ස්විස් හවුල කැඩීයාම අපේ අවධානය ලක්විය යුත්තකි. එයින් ඇතිවූයේ විදේශීය බලවේගයන් සමඟ මිත්‍රත්වයන් ගොඩ නඟා ගත් කොටස් දෙකක් බිහිවීමයි. බර්නෙ පොතෙස්ත්‍රන්ත පල්ලියත් සමඟින් හවුල් වී පාක්ෂික වූයේ එක්සත් දිස්ත්‍රික්ක වලටයි. ලුසර්න් කතෝලික පල්ලිය සමඟ හවුල් වී ප්‍රංශයට පාක්ෂික විය.

යුනියනයක සාමය පවත්වා ගැනීම සාමාන්‍යයෙන් කාර්යක්ෂම වුවත් වෙනස්කම් ඇති වූ වහාම ඒවා කඩා වැටෙන බව අපිට ඉතිහාසය කියා දෙයි.

-පූබ්ලියස්”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: