අරුණි ශපීරෝ‍ වෙතින්

ෆෙඩරලිස්ට් රචනා අංක 20: නීති සම්පාදනයේ නොහැකියාවන්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 31, 2013

IMG_4995

ජේම්ස් මැඩිසන් ලියූ ෆෙඩරලිස්ට් රචනා අංක 20 ප්‍රකාශිත වන්නේ 1787 දෙසැම්බර් 11 වෙනිදා ය. 1787 දී ආදී පිතෘවරු සතුව තිබූ විදේශ රටවල තොරතුරු සම්භාරය පෙන්වන්නේ එදා ඇමෙරිකන්කාරයා අනෙක් රටවල් වල තොරතුරු දැන ගන්නට දැක්වූ කැමැත්තයි. මුල්ම වතාවට 1962 දී රහසිගතව සම්පාදිත CIA ඉදිරිපත් කරන ලෝක දත්තපොත අද ලෝකයේ ඕනෑම අයෙකුගේ පරිහරණය පිණිස අන්තර්ජාලයේ දමා ඇත්තේ 1994 පටන්. මැඩිසන් සතු තොරතුරු ඔවුන් පුද්ගලික ධනයෙන් සොයාගෙන මහජනතාවට එදා මෙසේ පුවත්පත් මඟින් ඉදිරිපත් කළ අතර, අද CIA යනු ඇමෙරිකන් ජනතාවගේ බදු මුදල් වලින් ලෝකයටම දත්ත පිරිනමන ආයතනයකි.

“එක්සත් නෙදර්ලන්තය රදළ සමාබන්ධනයකි. එය ස්වෛරී පළාත් හතකින් යුතුය. හැම පළාතක්ම සමානාත්මතාවයෙන් යුතු ස්වාධීන නගර වලින් යුතුය. වැදගත් ප්‍රතිපත්ති තීරණයේ දී සියළු පළාත් සහ සියළු නගර ඒකමතිකව එකඟ විය යුතුයි.

සමාබන්ධනයේ ස්වෛරීත්වය නියෝජනය වෙන්නේ මහා-රාජ්‍යයෙනි. එහි නියෝජිතයන් 50 ක් පත්කරනු ලබන්නේ පළාත් වලින්. ඔවුන් අතර සමහර දෙනෙක් ජීවිත කාලයටම තම ආසනය හිමිකරගත්ත අයයි. අනෙක් අය වසරකට, තුනකට හෝ හයකට වරම් ලද අයයි.

මහා-රාජ්‍යයට මිත්‍ර හවුල්, ගිවිසුම්, යුද්ධ හා සාමය, හමුදාවක් හැදීම හා නඩත්තුව, ඒ ඒ පළාත් ගෙවිය යුතු පංගු නියම කිරීම හා ගෙවීම් ඉල්ලා සිටින්නට බලය ඇත. ඒ සෑම අවස්ථාවකම ඔවුන්ගේ පළාතේ වැසියන්ගේ ඒකමතික අවසරය ලබාගත යුතු වේ.

පළාත් වලට මහා-රාජ්‍යයෙන් අනුමැතිය නොමැතිව විදේශ ගිවිසුම් වලට එළඹිය නොහැකියි. තමන්ගේ පළාතේ අයගෙන් අය කරනවාට වඩා වැඩියෙන් හෝ අනෙක් පළාත් වලට හානිකර ගාස්තු පැනවිය නොහැකියි.

එක්සත් නෙදර්ලන්ත පළාත් සමාබන්ධනයේ විධායක මහේස්ත්‍රාත්වරයා (stadholder) වන්නේ උරැමක්කාර කුමරෙකි. දේශපාලන අංශයෙන් අනෙක් ක්‍රම වලින් පළාත් අතර ආරවුල් නිරාකරණයට නොහැකි වූ කල ඔහුගේ තීරණය ඔවුන් පිළිගත යුතුයි. මහා-රාජ්‍යයේ රැස්වීම් වලට සහාය වෙන ඔහු විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් මුණ ගැසෙන්නාය. එසේම විදේශයන් වලට යවන නියෝජිතයන් බාරව සිටින්නේ ද ඔහුය.

ඔහු ෆෙඩරල් හමුදාවන් හි නායකයාය. හමුදා තනතුරු ප්‍රදානයත්, බලකොටු හා හමුදා සංවිධානය හා නඩත්තුව ඔහු සතු බලයකි. ඔහු නාවුක අද්මිරාල් ජනරාල්වරයා ද වෙයි. ඔහු අනුමත කරන තෙක් කිසිම තීරණයක් ක්‍රියාත්මක වෙන්නේ නැත. හතළිස් දාහක හමුදාවක සේනාධිපති වන ඔහුගේ පුද්ගලික ආදායම ෆ්ලොරින්ස් ලක්ෂ තුනකි.

ව්‍යවස්ථානුකූලව සමාබන්ධනයේ ස්වභාවය මෙසේ උත්කර්ශවත් ලෙසින් ලියැවී ඇත. එහෙත් එය සත්‍ය ලෝකයේ ක්‍රියාකරන්නේ කෙසේද? ආණ්ඩුව මන්ද බුද්ධික ලෙසින් ක්‍රියා කරයි. පළාත් අතර අසමගියකි. විදේශ බලපෑම් වලින් සහ විදේශ අවමානයට ලක්වෙයි. සාම කාලයේ දී අඩමාන පැවැත්මකින් යුතුයි. යුද්ධ කාලයේ දී ඒ හා එන විපත්තියන්ට මුහුණ දෙයි.

ඈත අතීතයක දී ග්රෝටියස් කියා සිටියේ ඔස්ට්‍රියන් රාජ්‍යයට ඇති ද්වේෂය පමණක්ම තම රටවැසියන්ව තම ව්‍යවස්ථාවලියේ දුෂ්ට බැවින් විනාශයට නොයා දී ඔවුන්ව එකමුතුව තබන බවයි. තවත් පිළිගත් ලේඛකයෙක් පවසන්නේ සමාබන්ධනයට සාමය ආරක්ෂා කරත හැකි බලය තිබුණත් පළාත් අතර ඇති ඊර්ෂ්‍යාවන් නිසා එය න්‍යායෙන් බොහෝ දුරක පවතින බවයි.

රට ඇතුලත පවතින පළාත් වලට සම පංගු ලෙසින් බදු ගෙවිය හැකි ආදායමක් නැත. හමුදා නඩත්තුවට හැකි පළාත් බදු ගෙවද්දී ඒවාට පසුව නැති පළාත් වලින් ඒ මුදල් එකතු කරගන්නට හැකියාව ලැබෙයි. බොහෝ අවස්ථාවල දී ඒවා එකතු කරන ලද්දේ බයිනේත්තු තුඩ හමුවේය. මෙය ප්‍රායෝගික වුවත් සමාබන්ධනයේ එක සාමාජිකයෙක් තව සාමාජිකයෙකුට වඩා බලවත් වීමෙන්, බලයෙන් අඩු වූවන් කරකියාගත නොහැකි තත්වයකත් සිටියි. ඉතින් සාමාජිකයන් කිහිප දෙනෙක් එක හා සමාන බලයෙන්, සම්පත් හා හමුදා වලින් යුතු වෙද්දී මෙය අප්‍රායෝගික තත්වයක් බවට හැරෙයි.

හිටපු විදේශ ඇමති සර් විලියම් ටෙම්පල් කියන විදියට 1726 දී හැනෝවර් ගිවිසුම කල් දැම්මේ විදේශ ඇමති තමනට ව්‍යවස්ථාවෙන් නොලැබුණු බලයක් පාවිච්චියෙනි. මහා-රාජ්‍යය ද තම ව්‍යවස්ථා බලයන් ඉක්මවා ගිය අවස්ථා ඇත. මෑතක දී බ්‍රිතාන්‍ය හා අත්සන් කළ සාම ගිවිසුම පවා ඔවුන්ගේ ව්‍යවස්ථාවට පිටුපා එහි ඒකමතික එකඟතාවය අවශ්‍ය බැව් නොසලකා හැර අත්සන් කරන ලද්දකි.

හදිසි අවස්ථාවක දී බලය වැඩි විය යුතු යැයි අභ්‍යුපගමනය නිසා දුර්වල ව්‍යවස්ථාවක් යනු දුෂ්ට පාලනයක් නිරතුරුව කැඳවන්නකි. එහි දී කළ යුතු වන්නේ පැතිර ඇති ව්‍යවස්ථාදායක බලයන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමයි. නැත්නම් මහජන ආරක්ෂාව සඳහා අවශ්‍ය බලය පැහැර ගැනීමක් අනිවාර්යෙන්ම සිද්ධ වේ. මේ පැහැර ගැනීම සුදුසු තැනක නවතීවි ද නැත්නම් අවදානම් අන්තයක් කරා යාවි දැයි තීරණය වෙන්නේ සිද්ධිය කුමක් දැයි අනුවය.

අවට ඉන්නා විදේශ බලයන් සමාබන්ධනය අවශ්‍යතාවයක් කර ඇත. එහෙත් එසේම ඔවුන්ගේ කුමන්ත්‍රණ වලින් ව්‍යවස්ථාවේ දුර්වලතාවයන් පෝෂණය කරයි. ඒ නිසා ජනරජය යම් දුරට ඒ විදේශයන් ගේ රූකඩයෙක් වී සිටිති.

සත්‍ය දේශප්‍රේමීන් විසඳුමක් සොයා වෙහෙසුන ද පවතින ව්‍යවස්ථාවේ දුර්වලතා ප්‍රතිසංස්කරණයට එක්සත් වන්නට නොහැකි වී සිටිති.

මගේ දයාබර පුරවැසියෙනි, මේ ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි ඛේදනීය පාඩම් ගැන ඉතින් අපි මොහොතකට නැවතී කල්පනා කරමු. මිනිස්සු තම හානිකර මතවාද සහ ආත්මාර්ථකාමී වූ ආවේග නිසා තමන් වෙත ළඟා කරගෙන ඇති විපත්ති දිහා බලා කඳුලක් හෙළමු. අනතුරුව අපේ දේශපාලන කවුන්සිලය ඉතා සහයෝගයෙන් එකතු වීම ගැන ඔවුනට ප්‍රශංසා කර අපේ කෘතගුණ පළකර සිටිමු.

[ඇමෙරිකන්]ෆෙඩරල් ආණ්ඩුව විසින් මෙහෙයවන බදු ක්‍රමයක් සැලසුම් කරන්නට උත්සාහයක් තිබුණ ද එයට විරුද්ධවාදීන් සිටි නිසා එය අසාර්ථක විය.

ලෝකයේ ජනතාව අපි දෙස බලාගෙන සිටින්නේ ජනතාව විසින් ජනතාව ආණ්ඩු කරන ව්‍යවස්ථාව කුමක් දැයි දැනගන්නටය. අපේ යුනියනය ශක්තිමත් කරන එය, ශාන්ත, නිදහස්, සහ සතුටින් වූ දෙමාපියෙක් ලෙසින් ඉදිරිපත් කරන්නට, ජනතා ආණ්ඩුවක් හදන විප්ලවයට අපි මිනිස් සංහතිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. අපේ ඊ ළඟ පැතුම නම් මේ ව්‍යවස්ථාවේ ආශිංසන වලින් රට ආරක්ෂා වී වේගයෙන් දියුණුව කරා යෑම දැක අනිත් රටවල අයට ඔවුන්ගේ විපත්ති වලින් පසු යම්කිසි සහනයක් ලබාගන්නට මේ දැනුම යම් විදියකින් උපකාරී වනු ඇතැයි කියාය.

ඵෛතිහාසික ෆෙඩරල් රාජ්‍යයන් ගැන මෙසේ දිගින් දිගට ලියන්නට වීම ගැන මා කමාව අයදින්නේ නැත. සත්‍යය අනාවැකිය ලැබෙන්නේ අත්දැකීම් වලින්. අත්දැකීමෙන් ලැබෙන පාඩම පැහැදිලි වූ විට එය සම්පූර්ණයෙන් ඒකාන්ත යැයි සැලකිය යුතුයි.

අත්දැකීම් විසින් කිසිත් සමාවක් නොදී කියාදෙන සත්‍යයේ වැදගත්කම නම්, ඒකීය පුද්ගලයාට ඉහළින් ඉන්නා ආණ්ඩුවක් යැයි දකින්නට හැකියාව -ස්වෛරීත්වයට උඩින් ඇති ස්වෛරීත්වය, ආණ්ඩවකට උඩින් යන ආණ්ඩුවක් යනාදිය- න්‍යායයේ තර්කානුකූල බවක් නොමැති වීම නිසා බිහිවන්නකි. එහි දී ප්‍රායෝගික වශයෙන් ද සිද්ධ වන්නේ සමාජයක නීතිය වෙනුවට ප්‍රචණ්ඩත්වය රජයන්නට වීමයි. මෘදු හා හුදකලා බලපෑම් කරන උසාවිය වෙනුවට විනාශකාරී බලහත්කාරකම් කරන උසාවියක් හා කඩුව පාවිච්චියට ගැනීමයි.

-පූබ්ලියස්”

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. යසිත්ගේ සිතුවිලි said, on අප්‍රේල් 1, 2013 at 8:30 පෙ.ව.

    මේව ගැන නම් මං දන්නෙ නෑ.. දැං ලංකාවෙ තත්වෙ ගත්තම නම් ලිබියාවට දෙවනි නෑ… සිංහල මුස්ලිම් අසමඟිය නිසා දැං මරාගන්නෙ සිංහල සිංහල උන්…. මේකෙ අවසානය ලංකාවම විනාස වෙන එක.

    මේක තනිකරම දේශපාලන මෙහෙයවීමක්.. ඒක අපේ හරක් තේරුම් ගන්නෙ නැතුව එකාට එකා මරා ගන්නවා.. මට නම් දැං මේව බලං ඉඳලම තිත්තවෙලයි තියෙන්නෙ.. 😥


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: