අරුණි ශපීරෝ‍ වෙතින්

ලියෝ ටොල්ස්ට්ටෝයි ලියූ ඉවාන් ද මෝඩයා

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 1, 2013

1608-5228-KSBerlinLarge

එකමත් එක රාජධානියක ධනවත් පිටිසරබද වැසියෙක් ජීවත් වූයේය. ඔහුට පුතුන් තිදෙනෙකි -සිමියොන් (සොල්දාදුවා), ටරාස්-බ්‍රියුඛන් (තරබාරු-මිනිහා), ඉවාන් (මෝඩයා) එක දියණියකි, ඇය මිලානියා ය, ඉපදුනේ ගොළුව ය.

සිමියොන් යුද්ධයට ගියේ සාර් ගේ සේවයටයි. ටරාස් නගරයට ගොස් වෙළෙන්ඳෙක් විය. ඉවාන් ඔහුගේ නැඟණියත් සමඟ ගෙදර ගොවිපල බලා කියාගෙන සිටියේය.

සිමියොන්ගේ නිර්භීත සේවයට වතුපිටි හරකාබාන ලැබී ඔහු ධනවතෙකුගේ දියණියක් ද විවාහ කරගත්තේය. එහෙත් වියදම් පාලනය කරගනු නොහැකි ඔහු ඉක්මණින් දුප්පතෙක් විය. පියා හමුවන්නට ගමට එන ඔහු උරුමය තුනකට බෙදා එක කොටසක් තමනට දෙන සේ ඉල්ලා සිටියි.

“ඇයි තුන් කොටසක්? ඔයා කිසිම සහායක් දුන්නෙ නැහැ අපේ පවුලේ ධනය වැඩි කරගන්නට. ඉවාන් සහ නැගණිය?”

“ඉවාන් මෝඩයෙක්, නැඟණිය ගොළුවෙක්, එයාලට මොනවාට ද වස්තු සම්පත්?”

ඉවාන් වෙතින් ඇසූ කළ ඔහු කීවේ එයාට කැමැත්තක් අරන් යන්න දෙන්න කියාය.

ටරාස් ද ධනවත් වූයේය. ඔහු වෙළෙන්ඳෙකුගේ දුවෙක් කරකාර බැන්ඳේ ය. එහෙත් ඔහුට ද වස්තුව මදි විය. ඔහුත් පියා හමුවන්නට ගොස් තම උරුමයේ පංගුව ඉල්ලා සිටියේය.

“ඉවාන් කරපු මහන්සිය නිසයි අපේ පවුලේ දේපල තියෙන්නෙ, පංගුවක් දීම අසාධාරණක් ඉවාන්ටයි නැඟණියටයි,” පියා කීවේය.

“ඉවාන් මෝඩයෙක්, එයාට මොනාට ද වස්තු සම්පත්. එයාව කවුරුත් බඳින්නෙ නැහැ. නංගිට මොනාට ද වස්තු සම්පත් ඇය උප්පත්තියෙන් ම ගොළුවෙක්නෙ,” ටරාස් කීවේය.

ඉවාන් වෙතින් ඇසූ කළ ඔහු කීවේ එයාට කැමැත්තක් අරන් යන්න හදා දෙන්නම් කියාය.

ඉතින් මේ තත්වය අපායේ යක්ෂයාට ඉවසුම් දුන්නේ නැත. පුතුන් තිදෙනා දේපල බෙදා ගැනීම ගැන රණ්ඩු නොකළහ. සාමකාමීව විසඳා ගැනීම දැක පුංචි යක්ෂයන් තිදෙනාව කැඳවිය.

“බලන්න මේ සහෝදරයන් තුන් දෙනෙක් ඉන්නවා -සිමියොන් සොල්දාදුවා, බඩතඩියා ටෙරාස් සහ මෝඩ ඉවාන්. ඔවුන් කලහ කළ යුතුයි. ගිහින් එකිනෙකාගේ ඇස් ගලවා ගන්න තරමට ඔවුන්ව කුපිත කරවන්න.”

එක පුංචි යකෙක්ට සිමියොන් වෙත ගිහින් නිර්භීත බවක් දුන්නේය. සිමියොන් සාර් වෙතට ගොස් ලෝකය ජයගෙන දෙන්නම් යැයි පොරොන්දු විය. ඉන්දියාව පරාජයට ඔහු හමුදාවක් රැගෙන පිටත් විය. එහෙත් පුංචි යකා සටන පටන් ගනිද්දී සිමියොන්ගේ හමුදාවේ වෙඩි බෙහෙත් සියල්ල තෙත් කර දැමීය. පුංචි යකා ඉන්දියන් පාලකයාට පිදුරු වලින් අප්‍රමාණ සංඛ්‍යාවක් සොල්දාදුවන් හදන හැටි කියා දුනි. සිමියොන් සටන පරාජය විය. ඔහුගේ වතුපිටි අහිමි වී හිස ගසා දමන්නට නියම විණ. ඉතින් හෙට ඔහුව මුදා හැර ගමට එවන්නට සූදානම් ලෙසින් ඒ සියල්ල ඉටු කළ පුංචි යකා අනෙක් පුංචි යක්කු දෙදෙනා හමු වී ඔවුනට උදව් කරන්නෙ කෙසේදැයි ඇසීය.

දෙවැනි පුංචි යකා ටෙරාස්ගේ ජීවිතය සතියකින් විනාශ මුඛයට යැවූ හැටි කිවේය. ටෙරාස් හීන්දෑරි කරපු නිසා ඔහු බඩු ගොඩක් මිල දී ගන්නට සිය මුළු ධනය වැය කළා යැයි කියූ දෙවැනි පුංචි යකා දැන් ඔහු බංකොළොත් නිසා ආපහු ගමට යන්න සූදානම් වෙනවා යැයි කීය.

ඉතින් ඒ පුංචි යකුන් දෙදෙනා තුන්වැනි පුංචි යකා වෙතට හැරැණි. “අනේ මගේ වාර්තාව නම් එච්චර හොඳ නෑ,” ඔහු කීය.

“මම ඉවාන්ගෙ කිරි ජග්ගුවට කෙළ ගහලා ඒකෙන් බඩේ අමාරුවක් හැදෙන්න සැලැස්සුවා. ඒත් ඉවාන් මෝඩයා බඩේ අමාරුවත් එක්කම ගිහින් හේනේ වැඩ කළා. මම පොළවේ පස් නඟුලකින් හාන්නට බැරි තරමට ඝන කළා. ඒත් ඉවාන් මෝඩයා බඩේ රුදාවෙන් කෙඳිරි ගගා වැඩ කළා. මම පොළව යටින් ගිහිල්ලා නඟුල අල්ලා ගත්තම ඉවාන් හයියෙන් ගහපු පාරට මගේ අත් දෙක කැපිලා ගියා. ඉතින් එන්න මගේ සහෝදරවරුනි, මට උදව් කරන්න, ඉවාන් සමත් වූවොත් එයාගේ ගොවිපල කරගෙන යන්න අපේ වැඩේ අසාර්ථකයි.”

බඩේ රුදාවෙන් පෙළෙමින් ඊ ළඟ දිනයේ උදෑසන ඉවාන් හේනට ගියේය. පුංචි යකෙක් මුලක් සේ නඟුලට එරෙහිව සිටියේය. ඉවාන් අතින් එය උදුරා ගති. ඒ පුංචි යකෙක් බව දැක මරන්නට සූදානම් විය.

“අනේ මාව මරන්න එපා, මම ඔයාට කැමති ඕනෑම පැතුමක් ඉෂ්ට කරදෙන්නම්,” පුංචි යකා කීය.

“මගේ බඩේ රැදාවක් තියනවා, ඒක හොඳ කරලා දෙන්න පුළුවන් ද?”

පොළවේ මුල් වගයක් උදුරා දුන් පුංචි යකා ඒවා කෑවාම බඩේ රුදාව සනීප වේවි යැයි කීය. “මට යන්න දෙන්න මම ආයේ කවදාවත් එන්නෙ නැහැ,” පුංචි යකා ඉල්ලා සිටියේය.

“දෙයියන්ගේ පිහිටෙන් යන්න,” යැයි ඉවාන් කිව්වත් දෙයියන් කියන්නට පෙර ම පුංචි යකා පොළව තුලට නොපෙනී ගියේය.

ඉවාන් ගෙදර යද්දී සිමියොන් හා බිරිඳ ඇවිත්. ඉවාන් කෑම මේසයට වාඩි වෙද්දී සිමියොන් ගේ බිරිඳ කීවේ “හරි හඩු ගඳක් එනවා, මේ මූජික් (ගමේ මිනිහා) එක්ක මට එකට මේසයක වාඩි වෙන්න බැහැ,” කියාය.

“මගේ නෝනා ඔයාගේ ඇඳුම් ගඳයි කියනවා, ගිහින් එළිපත්තෙ වාඩිවෙන්න,” යැයි සිමියොන් කියද්දී එක අතකින් පාන් කෑල්ලක් සහ අනෙක් අතෙන් කෆ්ටාන් (කබාය) ගත් ඉවාන් “අශ්වයන්ට කෑම දෙන්න ඕනෑ කොහොමටත්,” කියා එතැනින් පිට වී ගියේය.

හේනට පැමිණි දෙවැනි පුංචි යකා වටපිට බැලුවේ තම සගයා හොයාගන්නට. එහෙත් පොළවේ හිලක් මිසක් සගයා නොවීය. ඉවාන්ට ධාන්‍ය කපන්නට නොහැකි ලෙසින් රයි හේන පුංචි යකා මඩ වතුරෙන් පුරවා දැමීය. ඊ ළඟ උදෑසන ඉවාන් පැමිණ ඒ දැක තම දෑකැත්ත මුවහත් කරන්නට විය. කොතරම් මුවහත් කර කැපුවත් කැපුනේ නැතත් ඉවාන් සතියක් ගියත් මෙය කපනවා යැයි කියමින් එදා ගෙදර ගියේය.

“මේ ඉවාන් කුලාක් (මිට මොලවා ගත් දරදඬු අත) කෙනෙක්. මම වෙන විදියක් හොයාගන්න ඕනෑ එයාව පරාජය කරන්න,” යැයි දෙවැනි පුංචි යකා කල්පනා කළේය.

එහෙත් ඉවාන් වෑයම අත්හැර දැම්මේ නැත. අවසානයේ දී පුංචි යකා ගේ නැට්ටේ කොටසක් ඉවාන් ගේ දෑකැත්තෙන් කැපී ගියේය. ඉවාන් රයි කපා අවසන් කර ඕට් හේන කපන්නට හෙට එන්නම් යැයි කියමින් ගෙදර ගියේය. ඒ බව ඇසූ පුංචි යකා කෙසේ හෝ ඉවාන්ව හෙට නවත්තන්නම් යැයි අදිටන් කරගති. එහෙත් ඊ ළඟ දිනයේ පුංචි යකාට දැක ගන්නට ලැබුනේ ඉවාන් රාත්‍රියේ අවුත් ඕට් හේන කපා අවසන් බවයි.

ධාන්‍ය විනාශ කරන්නට වතුර වත්කළ පුංචි යකා ඒ මහන්සියෙන් නිදන්නට විය. ධාන්‍ය රැගෙන යන්නට නැඟණිය සමඟ ආ ඉවාන් කරත්තයට පටවනු පිණිස රිටිකරුවෙන් උස්සද්දී පුංචි යකාව ඇමිණින.

“ආයෙත් ආවා ද?” ඉවාන් ඇසීය.

“නෑ නෑ මම වෙනකෙක්. ඒ මගේ සහෝදරයා. මට යන්න දෙන්න, මම ඔයාට ඕන පැතුමක් දෙන්නම්.”

“මොනවා ද දෙන්න පුලුවන්?” ඉවාන් ඇසීය.

“මට පුලුවන් ඕන දේකින් සොල්දාදුවෝ හදන්න,” පුංචි යකා කීය.

“උන්ට මොනා ද කරන්න පුලුවන්?”

“ඕනෑම දෙයක්?”

“සිංදු කියන්න?”

“උන්ට පුලුවන්.”

“එහෙනම් හදන්න.”

පුංචි යකා පිදුරු ගොඩක් විසුරුවා හැරීය. ඒවා සොල්දාදුවන් බවට හැරවිණ. පා ගමන් කරමින් සිංදු කියන්නට වූහ.

“ආ මේක දැකලා ගමේ කෙල්ලො සතුටු වේවි,” ඉවාන් සීතිය.

“මට දැන් යන්න දෙන්න,” පුංචි යකා ඉල්ලීය.

“එහෙම යන්න දෙන්න බැහැ. පිදුරු සොල්දාදුවන්ට හරවලා මට පාඩුයි. ආයේ ඒවා පිදුරු වලට හරවලා ධාන්‍යත් එක්ක දෙන්න,” ඉවාන් කීවේය.

“මෙච්චර පිදුරු, මෙච්චර සොල්දාදුවෝ,” පුංචි යකා කීවේය.

ඉවාන් ඒ විදියට කළාම ඔහුට පිදුරු සමඟ ඔහුගේ රයි ධාන්‍ය ආපසු ලැබිණ.

“දෙයියන්ගේ …,” යැයි ඉවාන් කිව්වත් දෙයියන් කියන්නට පෙර ම දෙවැනි පුංචි යකා පොළව තුලට නොපෙනී ගියේය.

ඉවාන් ගෙදර යද්දී ටෙරාස් සහ බිරිඳ පැමිණ සිටියහ. ඉවාන් කෑම මේසයට වාඩි වෙද්දී “මෝඩයෙක් එක්ක එක මේසේ කෑම කන්න බැහැ, අනික මට මේ ගඳ ඉවසුම් දෙන්නෙත් නැහැ,” යැයි ටෙරාස් ගේ බිරිඳ කීය.

“මගේ නෝනා ඔයාගේ ඇඳුම් ගඳයි කියනවා, ගිහින් එළිපත්තෙ වාඩිවෙන්න,” යැයි ටෙරාස් කියද්දී පාන් කෑල්ලක් අතට ගත් ඉවාන් “මගේ වෙළඹට කෑම දෙන්න ඕනෑ කොහොමටත්,” කියා එතැනින් පිට වී ගියේය.

ටෙරාස් විනාශ මුඛයට ගෙන ගිය පුංචි යකා අනිත් පුංචි යක්කුන්ට උදව් කරන්නට පැමිණියේය. පොළවේ හිල් දෙකක් දැක තම සහෝදරයන්ට අනතුරු පැමිණ ඇති බව දැකි හේ ඉවාන් සොයා ගියේය. ගෙදර ඉඩ මදි නිසා නිවාස හදන්නට ලී කපනු පිණිස ඉවාන් වනාන්තරයට ගොස් සිටියේය.

ඉවාන් ගස් කපා මහන්සි වී නිවාඩුවක් ගත් විට පුංචි යකා ද නිවාඩුවක් ගති. එහෙත් ඉක්මණින් නැඟිට්ට ඉවාන් තදින් පහරක් දුන් විට ගහේ මහන්සි හරිමින් සිටි පුංචි යකා බිමට වැටුණි.

“ඔබ ආයෙත්?”

“නෑ නෑ මම වෙනකෙක්. මාව මරන්න එපා, ඔයාට ඕන පැතුමක් ඉෂ්ට කරලා දෙන්නම්,” තෙවැනි පුංචි යකා කීය.

“මොනා ද උඹට කරන්න පුලුවන්?”

“මට පුලුවන් ගහේ කොළ කාසි බවට හරවන්නට. මේ ඕක් ගහේ කොළ අරගෙන අත් දෙකේ අතුල්ලන්න එවිට කාසි බිමට හැලෙන හැටි බලන්න,” පුංචි යකා පෙන්වා දුනි.

“මේක හොඳයි ගමේ කොල්ලො සතුටු වේවි,” ඉවාන් කීය.

“දෙයියන්ගේ …,” යැයි ඉවාන් කිව්වත් දෙයියන් කියන්නට පෙර ම තෙවැනි පුංචි යකා පොළව තුලට නොපෙනී ගියේය.

සහෝදරයන් අලුතින් හැදූ ගෙවල් වලට ගියහ. අස්වැන්න නෙළා අවසානයේ ගමේ මහත් උත්සවයක් පැවතිණ. ඉවාන් ගමේ කොල්ලන්ට කාසි බෙදා දුන්නේය. ඔවුන් කාසි වලට පොරකෑහ. වයසක මැහැලියක් සෙනඟට පෑගී මරණය ආසන්නයට පත්විය.

“මට ඕනෑ තරම් කාසි හදන්න පුලුවන්. මැහැලිය මරා දමන්න එපා,” ඉවාන් කීය. ඔහු කොතරම් කාසි විසි කරත් ජනතාව තෘප්තිමත් නොවූහ. සියළු කාසි විසි කර අවසානයේ ඉවාන් ගමේ දරුවන් කියන සිංදු අසා “ඔයාලගෙ සිංදු රසවත් නැහැ,” කියා සිංදු කියන සොල්දාදුවන් ගෙන ආවේය. උත්සවය අවසානයේ ඔහු සොල්දාදුවන් නැවතත් පිදුරැ බවට හරවා නිදා ගති.

ඊ ළඟ දිනයේ ගමේ හැමෝම කතා කළේ ඉවාන් ගැන. සිමියොන්ට ද ඒ කතා අහන්නට ලැබිණ. මල්ලි සොයා ගිය සිමියොන් සොල්දාදුවන් හදන හැටි විමසීය.

“ඇයි දැනගන්න අවශ්‍ය?” ඉවාන් ඇසීය.

“සොල්දාදුවන් ඉන්නවා නම් කෙනෙකුට ඕනෑ දෙයක් කරන්න පුලුවන් -රටක් රාජ්‍යයක් අල්ලා ගන්න පුලුවන්,” සිමියොන් කීය.

“ඇයි මට මේක කලින් කීවේ නැත්තෙ? ඔයාට ඕනෑ තරම් සොල්දාදුවෝ හදලා දෙන්නම්,” ඉවාන් කීය. “හැබැයි හදලා දෙන අයත් අරගෙන ගමෙන් පිටවෙලා යන්න ඕනෑ, මොකද එයාලට කන්න දෙන කෑම මේ ගමේ නැති නිසා.”

සිමියොන් ගේ හිත පිරෙන තරමින් විශාල සේනාවක් හදා දුන්නාම සිමියොන් ගමෙන් පිට වී ගියේය.

රත්තරන් කාසි බෙදා දුන් කතාව ඇසී ටෙරාස් ඉවාන් සොයා ගෙන ආවේය. “මට මුදල් යහමින් ලැබුනොත් මම දන්නවා ලෝකයේ සේරම ධනය එක්කාසු කරගන්න හැටි,” ටෙරාස් කීය.

“ඇයි මට මේක කලින් කීවේ නැත්තෙ? ඔයාට ඕනෑ තරම් සල්ලි හදලා දෙන්නම්,” ඉවාන් කීය. කරත්තයක් රැගෙන වනයට ගිය ඉවාන් ටෙරාස් ගේ හිත පිරෙන තරමින් කරත්තයක් පිරෙන්නට කාසි හදා දුනි.

සිමියොන් යුද්ධයටත් ටෙරාස් වෙළඳාමටත් මෙසේ පිට වී ගියහ. සිමියොන් ගේ සොල්දාදුවන් රාජ්‍යයක් අල්ලා ගත්හ. ටෙරාස් මහත් මුදලක් එක්කාසු කරගති. කාලයක් යද්දී සහෝදරයන් දෙදෙනා හමු වී තම වාසනාව උදා වූ හැටි කතාබස් කළහ.

“මම රාජ්‍යයක් අල්ලා ගෙන හොඳ ජීවිතයක් ගෙවනවා, ඒත් මගේ සොල්දාදුවන්ට කන්න දෙන්න තරම් මුදල් නැහැ,” සිමියොන් කීය. තමනට ඇති පමණින් ධනයක් තිබ්බත් සෑහීමකට පත් වී නැතැයි ටෙරාස් කීය.

“අපි ආයෙත් ගමට යමු,” සිමියොන් කීය. “මට තව සොල්දාදුවෝ හදලා දෙන්න කියලා මම ඉවාන්ට අණ කරන්නම්. ඔයා කියන්න එයාට තව සල්ලි හදලා දෙන්න කියලා එතකොට අපිට උන්ට කන්න දෙන්න පුලුවන්,” සිමියොන් කීය. ඔවුන් ගමට ගියහ.

“මට ගෙවීමක් කළේ නැත්නම් මම සොල්දාදුවෝ හදන්නෙ නැහැ,” ඉවාන් බැහැයි කියමින් ඔළුව වැනීය.

“ඒත් ඔයා පොරොන්දු වුනා,” සිමියොන් කීය.

“පොරොන්දු වුනා තමයි,” ඉවාන් කීවේය, “ඒත් දැන් මගේ හිත වෙනස් වෙලා.”

“ඒත් මෝඩයෝ, ඇයි කියන දේ කරන්නෙ නැත්තෙ?”

“ඔයාගේ සොල්දාදුවෝ මිනිස්සු මරනවා.” ඉවාන් තව සොල්දාදුවන් හැදීම ප්‍රතික්ෂේප කළේය.

ටෙරාස් පැමිණ තව මුදල් හදා දෙන්න යැයි ඉල්ලීය.

“මට ගෙවීමක් කරන්නෙ නැත්නම් මම තව මුදල් හදා දෙන්නෙ නැහැ,” ඉවාන් කීය.

“ඒත් ඔයා පොරොන්දු වුනා,” ටෙරාස් කීවේය.

“පොරොන්දු වුනා තමයි,” ඉවාන් පිළිතුරු දුනි. “ඒත් දැන් මම ඔයාගේ කැමැත්ත කිරීම ප්‍රතික්ෂේප කරනවා.”

“ඒත් මෝඩයෝ, ඇයි පොරොන්දු වූ දේ කරන්නෙ නැත්තෙ?” ටෙරාස් ඇසීය.

“ඔයාගෙ කාසි නිසා මිකායෙලොව්නාට ඇයගේ කිරිදෙන නැතිවුනා,” ඉවාන් පිළිතුරු දුනි.

“ඒක වුනේ මෙහෙමයි,” ඉවාන් විස්තර කළේය, “මිකායෙලාව්නාට කිරිදෙනක් තිබුණ. ඇයගේ දරුවන්ට බොන්න කිරි තිබුණ. ඒත් ළඟක දී ඒ ළමයි ඇවිත් මගෙන් කිරි හිඟා කෑවා. එළදෙන ටෙරාස්ගෙ සේවකයෙකුට කාසි තුනකට විකුණල. මම ඔයාට කාසි දුන්නෙ ඔයාගෙ ආසාවට මිසක් අනුන්ව හාමතෙන් තියන්න නෙමෙයි.”

සහෝදරයන් දෙදෙනා තම කරදර නිරාකරණය කරගන්නේ කෙසේදැයි කතිකා කළහ. “මම ඔයාට මගේ රාජධානියෙන් බාගයක් දෙන්නම්, ඔයාගේ වස්තුව ආරක්ෂා කරන්න සොල්දාදුවෝ දෙන්නම්, ඒ වෙනුවට ඔයා මට මුදල් දෙන්න මගේ රාජධානි බාගයේ සොල්දාදුවන්ට කන්න දෙන්න.” සිමියොන් කළ යෝජනාවට ටෙරාස් එකඟ විය. සහෝදරයන් දෙදෙනා සතුටින් පාලකයන් වූහ.

ඉවාන් ගමේ වගා කටයුතු කරමින් දෙමව්පියන් හා ගොළු නැගණිය බලා කියාගෙන සිටියේය. ගෙදර බල්ලා අසනීප වූ විටෙක පුංචි යකා දුන් මුලක් හා මිශ්‍ර වූ ධාන්‍ය වලින් හැදූ පාන් වාටියක් නිසා බල්ලා සුවපත් විය.

සාර්ගේ දියණිය ලෙඩ විය. ඇය සුවපත් කරන අයට ධන සම්පත් ලැබෙන බව අහන්නට ලැබිණ. බල්ලා සුව කළ ලෙසින් මුල පාවිච්චි කර සාර් ගේ දුවත් සුව කරන්නට යැයි ඉවාන්ගේ දෙමව්පියන් කීහ. මඟ දී දුප්පත් රෝගී කාන්තාවක් ඔහුගේ හාස්කම් බලය අසා තමාව සුව කරන්නට යැයි ඉල්ලා සිටියේය. ඉවාන් ඇයව සුව කළේය. එහෙත් ඒ අන්තිම මුලයි.

“ඔයාට හිඟන ගෑණියෙක් ගැන අනුකම්පාවයි, ඒත් සාර්ගෙ දුව ගැන අනුකම්පාවක් නැහැ,” දෙමව්පියන් ඉවාන්ට දොස් කීහ.

එහෙත් ඉවාන් කරත්තයේ නැඟී සාර්ගේ දුව බලන්නට ගියේය. ඔහු මාලිගාවට සැපත් වෙද්දී සාර්ගේ දුව සුවය ලැබීය. ඉවාන් පැමිණි නිසා දුව සුව වූවා යැයි සිතූ සාර් ඉවාන්ව දුවට කරකාර බන්ඳා දුන්නේය. සාර්වේනා හා විවාහ වූ ඉවාන් සාර්ගේ අභාවයෙන් පසු පාලකයා විය.

ඉතින් සහෝදරයන් තිදෙනා රටවල් තුනක පාලකයන් වූහ. සිමියොන් ගේ පිදුරු සොල්දාදුවෝ සත්‍ය සොල්දාදුවන් අල්ලා ගන්නට සමත් වූහ. සිමියොන්ට සැවොම බිය වූහ. ටෙරාස් තම ධනය තවත් වැඩි කරගන්නට සමත් විය. ඔහු ධනය පෙට්ටගමක දමා රටවැසියන්ගේ බදු බර ඉහළ දැමීය. ඉවාන් ට රජ මාලිගයේ වාසය ඉවසුම් දුන්නේ නැත. ජනතාව ඔහු මෝඩයෙක් යැයි දැනගත්හ.

දිනක් ඉවාන්ගේ භාර්යාව මෙසේ කීය, “ඉවාන් මිනිස්සු කියනවා ඔයා මෝඩයෙක් කියල.”

“උන්ට කැමති දෙයක් උන් හිතාගත්තාවේ,” ඉවාන් කීය.

භාර්යාව ඒ ගැන දවස් කිහිපයක් කල්පනා කළාය. අවසානයේ ඇය තීරණය කළේ ඔහු මෝඩයෙක් නම් තමන් ද මෝඩයෙක් යැයි කියාය. ඉඳිකට්ට යන පාරේ නූලත් යන්න ඕනෑ යන පරණ කියමන මතක් කළ ඇය තම රජ ඇඳුම් උනා දමා ඉවාන්ට සහාය දෙන්න පටන් ගත්තාය.

ඉවාන් මෝඩයෙක් යැයි දුටු ප්‍රඥාවන්ත මිනිස්සු රාජධානිය හැර ගියහ. මෝඩයෝ පමණක් ඉතිරි වූහ. ඔවුන්ට මුදල් තිබුනේ නැත. ඔවුන් ශ්‍රමයෙන් නිෂ්පාදනය කරගත් දේවල් බෙදා හදාගෙන සාමයෙන්, එකිනෙකාට උදව් කරගනිමින් සිටියහ. ඔවුන් ආපදා විපත්ති වලට මුහුණ දෙන අයට දෙන්නට හැකි තරම් නිපදවන්නට සමත් වූහ.

පුංචි යකුන් එනතෙක් බලා සිටි අපායේ යක්ෂයා සිද්ධ වුයේ කුමක් දැයි සොයා බලන්නට ආවේය. පොළවේ හිල් ඇරෙන්නට සොයාගන්නට කිසිත් නොවීය. වැඩේ තමන්ට කරන්නට සිද්ධ වෙන බව දැකීය.

සිමියොන් වෙත ගිය අපායේ යක්ෂයා ඔහුගේ සේවයට බැඳුණි. සිමියොන්ගේ ජනරාල්වරයෙක් වූ අපායේ යකා හමුදාව ශක්තිමත් කරන්නට හා බලවත් කරන්නට සමත් විය. අලුත් යුදෝපායයන් කියා දුන්නේය. එහෙත් ඉන්දියාවේ පාලකයාව පරාජය කරන්නට අසමත් වු සිමියොන් නැවතත් යුද පරාජයක් ලබා පළා ගියේය.

අපායේ යක්ෂයා ඊ ළඟට ගියේ ටෙරාස් හමුවන්නට. වෙළෙන්ඳක් ලෙසින් පැමිණි අපායේ යක්ෂයා රාජධානිය පුරා කම්හල් හදා මුදල් වැඩි කළේය. අපායේ යක්ෂයා හැම දෙයකටම ඉහළ මිලක් ගෙවීය. මිනිස්සු ඔහු සොයා ගියේ ඔහුට සියල්ලම විකුණන්නට. ටෙරාස් වැඩි වැඩියෙන් පැතිරෙන මුදල් දැක සතුටු විය. දැන් ඉදිකිරීම් කළ හැකි යැයි සිතා ටෙරාස් ඊට පිවිසුනත්, වැඩක් කරගන්නට අයෙක් සොයාගත නොහැකි බව දැකීය. ටෙරාස් දෙන මුදලට වඩා මුදලක් අපායේ වෙළෙන්ඳා දෙන නිසා හැමෝම සේවය කළේ අපායේ යක්ෂයාට. ටෙරාස් වැඩියෙන් ගෙවන්නම් කියන හැම වතාවකම අපායේ යක්ෂයා ඊට වැඩියෙන් ගෙවන්නට පොරොන්දු විය. ටෙරාස් ඉදිකිරීම් අදහස අත්හළේය.

ටෙරාස් කරන්නට අදහස් කළ හැම කටයුත්තක්ම වෙළඳ වේශයෙන් පැමිණි අපායේ යක්ෂයා වැඩියෙන් මුදල් ගෙවමින් කරන්නට විණ. අවසානයේ ටෙරාස් වෙළන්ඳාව පිටුවහල් කළාම වෙළෙන්ඳා රාජධානියේ මායිමෙන් පිටත වෙළඳාම් කරගෙන ගියේය. තමාවත් මිල දී ගන්නට සැරසෙන බව ඇසුනු ටෙරාස් කලබල වෙද්දී සිමියොන් ඔහු හමුවට පැමිණියේය.

“මට උදව් කරන්න, ඉන්දියාවේ පාලකයා මගේ හමුදාව විනාශ කරලා දැම්ම,” සිමියොන් කීය.

“ඔයාට උදව් කරන්නෙ කොහොම ද මට දවස් දෙකකින් කන්න ලැබුනෙත් නැහැ,” ටෙරාස් කීය.

ජනරාල්වරයෙක් ලෙසින් වෙස්වලා ගත් අපායේ යක්ෂයා ඉවාන් ගේ රාජධානියට පැමිණියේය. “හමුදාවක් නැති පාලකයෙක්, ලැජ්ජා නැද්ද? ජනතාව රැස් කරන්න මම හමුදාවක් හදලා දෙන්නම්,” ඔහු කීය.

“ඔයා හදන්න හමුදාවක්, ඒත් එයාලට උගන්වන්න ඕනා මම කැමති සිංදු කියන්නටයි,” ඉවාන් කීය.

අපායේ යකා රාජධානියේ හැම අත යමින් හමුදාවට බැඳෙන්නට හිස් බූ ගාන්නට කීවේය. රතු තොප්පියක් සහ ඇති පමණින් වොඩ්කා දෙන්නම් යැයි පොරොන්දු විය.

රාජධානියේ මෝඩයන් සියල්ල ඔහුට සිනහා වූහ. “අපිට ඕනෑ තරම් වොඩ්කා අපිට තියෙනවා, ඒවා පෙරා ගන්නෙත් අපිමයි. අපිට ඕනෑ පාටකින් අපේ කෙල්ලො අපිට තොප්පි හදලාත් දෙනවා.”

අපායේ යක්ෂයාට හමුදාවක් හදන්නට සෙනඟක් එකතු කළ නොහැකි විය. “ඔයාගෙ මෝඩයෝ කැමැත්තෙන් බැඳෙන්නෙ නැහැ ඒ නිසා බලහත්කාරයෙන් බඳවා ගන්න ඕනෑ.”

“ඔයා එහෙනම් බලහත්කාරයෙන් බඳවා ගන්න,” ඉවාන් කීය.

අපායේ යකා මෝඩයන්ට කියා සිටියේ හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරන සියල්ලන්ගේ ම හිස් ගසා දමන බවයි. මෝඩයන් ජනරාල් සොයා ගියහ.

“ඔයා කියනවා ඉවාන් අපේ හිස් ගසා දමාවි කියල අපි හමුදාවට බැඳුනෙ නැත්නම්. ඒත් ඔයා කියලා නැහැ අපි සොල්දාදුවෝ වුනාම අපිට වෙන්නෙ මොකක් ද කියල. අපිව මරා දාන බව විතරයි අපි දන්නෙ.”

“ඒක ඇත්ත.”

“අපිට මරණයෙන් ගැලවෙන්න බැරි නම් ඉතින් දැන් මරා දාන එක තමයි කරන්න තියෙන්න එහෙනම්, අපි සොල්දාදුවො වෙන්නෙ නැහැ,” ඔවුන් කියා සිටියහ.

“මෝඩයෝ! සොල්දාදුවන් මැරෙන්න හෝ නොමැරෙන්න පුලුවන්. ඒත් ඉවාන් ගේ අණ පිළිපැද්දේ නැත්නම් දැන් මැරෙනවා.”

මෝඩයන් ඉවාන් සොයා ගියහ.

“ජනරාල් අපිට ඇවිත් කිව්වා අපි ඔබේ අණට කීකරු නොවුනොත් අපිව මරා දානවා කියල, ඒ ඇත්ත ද?” ඔවුන් විමසූහ.

ඉවාන් මහා හයියෙන් සිනාසුණි.

“මම කොහොම ද ඔයගොල්ලන්ට මරණ දඬුවමක් දෙන්නෙ, ඒක මට වටහා ගන්න බැරවෙද්දී. මම මෝඩයෙක් නොවෙයි නම් මට මේක පැහැදිලි කරලා දෙන්න පුලුවන්, ඒත් මම මෝඩයෙක්, ඒ නිසා මට බැහැනෙ,” ඔහු කීය.

“එහෙනම් අපි සොල්දාදුවො වෙන්නෙ නැහැ,” මෝඩයන් කීහ.

“එහෙම අකමැති නම්, ඔයගොල්ලො සොල්දාදුවන් වෙන්න ඕනෑ නැහැ,” ඉවාන් කීය.

අපායේ යක්ෂයා අසල්වැසි ටරාකානියන් රාජධානියේ රජුවත් රැගෙන ඉවාන් ගේ රාජධානිය අල්ලා ගන්නට පැමිණියේය. සටන් වදින්නට සොල්දාදුවන් සොයද්දී කිසිම භටයෙක් සොයාගත නොහැකි විය. ගම් කොල්ල කන්නට යද්දී මෝඩයන් කීවේ ඔහේලාගේ රටේ කන්න බොන්න නැත්නම් එන්න අපිත් එක්ක ජීවත්වෙන්න අපිට ඕනෑ තරම් කන්න බොන්න තියෙනවා කියාය. සොල්දාදුවන් ගම්වල නතර වූහ. ටරාකානියන් රජු මේ මෝඩයන් එක්ක සටන් කරන්න බැහැයි කියා මුළු රාජ්‍යයම ගිනිබත් කර ගම් කොල්ල කා හරකාබාන මරා දමන්නට අණ දුනි.

“මගේ නියෝගයට පිටුපෑවොත් මම හැමෝගේ ම හිස් ගසා දමනවා,” ඔහු කීය.

මෝඩයන් හඬා වැලපුනා මිසෙක සටන් වැදුනේ නැත. කැමති දෙයක් අරන් යන්න අපිට පාඩුවේ ඉන්න දෙන්න කියද්දී දුකට පත් හමුදාව හැම අත විසිර ගියහ.

අපායේ යක්ෂයා මෙවර කුලීනයෙක් සේ වෙස්වළාගෙන ඉවාන් හමුවට ආවේය. “ඔබේ රාජ්‍යයේ අයට ප්‍රඥාවන්තයන් වන හැටි මම කියා දෙන්නම්,” ඔහු කීය. ඔහු රත්තරන් කාසි පෙන්වා මට මාලිගාවක් හදන්න උදව් කරන්න මම කාසි දෙන්නම් යැයි කියා සිටියේය. එහෙත් කාසි වලින් ඇති වැඩේ කුමක් දැයි කියූ මෝඩයන් සෙල්ලම් කරන්නට කාසි ටිකක් හොයාගන්නට වැඩක් දෙකක් කර දුන්නා මිසෙක මාලිගාව හදා දුන්නේ නැත. අපායේ යක්ෂයා එක්ක කාසි වලින් ගණුදෙනු කරන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීය.

ඔහු පාන් කෑල්ලක් හා රත්තරන් කාසි මාරු කරන්නට උත්සාහ කරද්දී “ක්‍රිස්තු ගේ නාමයෙන් පාන් කෑල්ලක් ඕන නම් දෙන්නම් මට මොනාට ද කාසි?” යැයි අහද්දී ක්‍රිස්තුගේ නම ඇහෙද්දී අපායේ යක්ෂයාගේ උගුරට පිහියෙන් ඇන්නා සේ දැනිණ.

අපායේ යක්ෂයාට තිබුනේ රත්තරන් කාසි පමණි. වැඩ කරන්නට හේ අලස විය. එහෙත් ක්‍රිස්තු නාමයෙන් කිසිවක් බාරගන්නට ද ඔහුට නොහැකිය. ඉතින් ඔහු වියරු වැටිණ. ඔහු බඩගින්නේ නිදාගති. මිනිස්සු ඉවාන් සොයා ගියහ.

“මේ කුලීනයා අප අතරට ආවා. ඒත් එයා වැඩ කරන්න කම්මැලියි. ඒත් හොඳට අඳින්න පළඳින්න කන්න බොන්න හොයනවා. හැමෝටම රත්තරන් කාසි දෙනවා. අපි මුලින් මුලින් ඒ කාසි ගත්ත, අරුමෝසම් නිසා. ඒත් ඒවයෙන් අපිට වැඩක් නැහැ. දැන් අපිට ඇති තරමට කාසි තියෙනවා. අපි මොකද මෙයාට කරන්නෙ? මෙයා බඩගින්නෙ මැරිලා යාවි!”

ඉවාන් කිව්වේ ඔවුන් වාරයෙන් වාරයට කුලීන වෙස්වළා ගත් අපායේ යක්ෂයාට ගොපළු රස්සාවක් දිය යුතු කියායි. ඉතින් අපායේ යක්ෂයාට ඉවාන් ගේ නිවසට යන වාරය ලැබිණ. ඉවාන් ගේ ගොළු සහෝදරිය ආහාර පිළියෙල කරමින් සිටියාය. කම්මැලි මිනිසුන් කවුදැයි කියා අත් දිහා බලා කියන්නට ඇය දැන සිටියාය. ඇය කම්මැලියන්ට කන්න දුන්නේ අනිත් සියල්ලන් කා බී අවසන් වූ පසුයි.

අපායේ යක්ෂයා ඉවාන් හමුවට ගියේය. “මේ සේරම මිනිස්සු අත් වලින් වැඩ කළ යුතුයි කියල ඔයාගේ රාජධානියේ තියන්නෙ මෝඩයන් හදාගත්තු නීතියක්. ප්‍රඥාවන්ත මිනිස්සු එහෙම වෙහෙසනවා කියලා ඔබ හිතනවා ද?”

“මෝඩයන් කොහොම ද ඒවා දන්නෙ?” ඉවාන් ඇසීය. “අපි හැමෝම අත් වලින් වැඩ කරන්නෙ?”

“ඒ හේතුව නිසා තමයි ඔයාලට මෝඩයන් කියන්නෙ,” අපායේ යක්ෂයා කීය. “මට පුලුවන් කියලා දෙන්න ඔයාලට මොළය පාවිච්චි කරන හැටි. එහෙම වෙහෙසන එක වඩා සුබදායකයි කියල ඔයාලට වැටහේවි. මොළයෙන් වැඩ කරන එක ලේසි නැහැ. සමහර වේලාවට ඔළුව පිපිරිලා යන්න හදනවා වගේ දැනෙනවා.”

“ඇයි එහෙනම් අත් වලින් කරත හැකි සුළු වැඩක් කරන්නෙ නැත්තෙ?” ඉවාන් විමසීය.

“මම මෝඩයන් ගැන අනුකම්පා කරනවා ඒ නිසයි මම මෙච්චර මොළය වෙහෙසන්නෙ ඔයාලට උදව් කරන්නෙ කොහොම ද කියල, ඒකයි මට මෙච්චර වේදනාවක් දැනෙන්නෙ. මම උදව් නොකළොත් ඔයාල සදාකාලිකව මෝඩයන් ලෙසින් ජීවත්වේවි. මගේ මොළය මගේ ජීවිතයේ දී මම සෑහෙන්න වෙහෙසලා තියෙනවා. දැන් මට ඔයාලට කියා දෙන්න පුලුවන්,” අපායේ යක්ෂයා කීය.

“එහෙනම් අපිට කියා දෙන්න,” ඉවාන් කීවේය, “අපේ අත් වලට මහන්සි දැනුනාම අපි මොළය පාවිච්චි කරන්න පුලුවන්.”

අපායේ යක්ෂයා උස් කුළුනක හදපු සඳළුතලයකට නැඟ දින දෙකක් පුරා ජනතාව ඇමතීය. වචන ගොඩක් කිව්වත් කිසිම ප්‍රායෝගික උපදෙස් දෙන්නට සමත් නොවීය. අත් වලින් වැඩ කරන අයට ජීවිකාව ගෙන යන්නට හැකියාව නොමැති බව ඔහු නැවත නැවතත් කීය. ඔහු කියන්න වටහා ගන්නට නොහැකි වූ මෝඩයන් ඔහු දිහා විස්මයෙන් බලා සිට විසිර ගියහ.

අවසානයේ දී හොඳටම කුසගිනි දැනුන අපායේ යක්ෂයා තමනට පාන් ගෙනැත් දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔවුන් සිනා වූහ. ඔහුගේ අත් වලට වඩා ඔහුගේ ඔළුවෙන් වැඩියෙන් වැඩගන්න පුලුවන් නම් ඇයි පාන් ඔළුවට කියා ගෙන්නා ගන්න බැරි දැයි ඔවුන් ඇසූහ.

“කූලීනයා ඔළුවෙන් වැඩ කරලා පෙන්නුවා ද?” ඉවාන් ජනතාවගෙන් ඇසීය.

“නැහැ මෙච්චර දවසක් එයා කටින් විතරයි වැඩ කළේ,” ජනතාව පිළිතුරු දුන්හ.

දවස් තුනක් ගෙවී යද්දී හාමතයෙන් වූ අපායේ යක්ෂයා සඳළුතලයෙන් ඇද වැටෙද්දී ඔහුගේ හිස කුළුනේ වැදිණ.

“කුලීනයා ඔළුවෙන් වැඩ පටන් අරන්,” ඉවාන්ගේ බිරිඳ සොයා ගිය ගමේ මෝඩයෙක් කීය.

ඔවුන් සියල්ල රැස්වූහ.

“ඉතින්,” ඉවාන් කීය, “ඇත්ත තමයි, ඔළුවෙන් වැඩ ගන්න එක හරි දුෂ්කරයි මේ බලන්න, අත්වල කරගැට එනවාට වඩා සෑහෙන්න දරුණුයි.”

අපායේ යක්ෂයා පොළව තුලින් පළා ගියේය.

ඉවාන් ගේ රාජධානියේ වූයේ වෙනස් කළ නොහැකි වූ එකම සම්ප්‍රදායයකි. කරගැට අත් වලින් එන මිනිසාට කෑම මේසයේ ඉඩක් හැමදාම ලැබුණි. මෘදු අත් ඇති මහාචාර්යවරුන්ට ඉතිරි ආහාර ලැබුණි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. යසිත්ගේ සිතුවිලි said, on අප්‍රේල් 1, 2013 at 9:39 ප.ව.

    හ්ම්ම්ම්ම්….මං මේ කතාව හැබෑවටම දැකල තියෙනව වගේ 😀

    ඊට පස්සෙ අර කඳුළු බිංදුව රටේ මෝඩයෝ හැමදාම සතුටින් ජීවත් උනාලු… 🙂 🙂

  2. Pathum Herath said, on අප්‍රේල් 2, 2013 at 12:30 පෙ.ව.

    ඉවාන්ගෙන් තරම් පොඩි කාලේ දේවල් ඉගෙන ගත්ත වෙන කවුරුවත් නෑ… නිකමෙක් මෝඩයෙක් විදියට ඉඳල රජ වෙන්න පුළුවන් කියන එක ඔහු හැම කතාවෙදිම ඔප්පු කරල පෙන්නනවා.. මෝඩ කම සහ නුවනක්කාර කම අතර වෙනස ඉවාන් හොඳට ඉගැන්නුවා මට නම්.. මේ කතාව තියෙන පොත මොකක් ද?

  3. Stanley said, on අප්‍රේල් 2, 2013 at 3:15 පෙ.ව.

    The cover page in the picture is “Kreutzer Sonata” ?? This I think Tolstoy’s book we know as Ana Karanina.

    • arunishapiro said, on අප්‍රේල් 2, 2013 at 6:53 පෙ.ව.

      Stanley,

      මේක ගත්තේ කෲට්සර් සොනාටා කතා පොතෙන්. ඇනා කැරනිනා (1878) සහ කෲට්සර් සොනාටා (1889) කතා දෙකක්. ලියෝ විසින් කෲට්සර් සොනාටා නම දාන්නෙ බේතෝවන් ගේ එම නම තියෙන සංගීත කාණ්ඩයෙන්. ලියෝ ගේ කෲට්සර් සොනාටා රුසියාවේ තහනම් වූවක්. එය මුලින් ම පළවෙන්නේ බර්ලිනයේ දී. රූසවෙල්ට් ආණ්ඩුව විසින් එය පළවෙන පුවත්පත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් බෙදා හැරීම තහනම් කළත් ප්‍රාන්ත උසාවි වල දී උසාවි තහනම පිළිගත්තේ නැහැ.

  4. රූ said, on අප්‍රේල් 3, 2013 at 1:12 පෙ.ව.

    //කරගැට අත් වලින් එන මිනිසාට කෑම මේසයේ ඉඩක් හැමදාම ලැබුණි. මෘදු අත් ඇති මහාචාර්යවරුන්ට ඉතිරි ආහාර ලැබුණි.//
    හපොයි..!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: