අරුණි ශපීරෝ‍ වෙතින්

ඕනෑම මගෝඩියක යෙදෙන්නට අවසර ලැබෙන සාපේක්ෂතාවාදය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 5, 2013

IMG_5150

ඇතැන්ස් හි දාර්ශනික පිබිදීමක් ඇති වූ සමයේ එහි ආර්ථිකය සහ සමාජය කෙසේ වී ද? ආර්ථිකය සරු වූයේ ග්‍රීක සමාබන්ධනයේ සිටි ඇතැන්ස් නගර-රාජ්‍යයට විදේශ යුද වල දී අල්ලා ගත් වස්තු සම්පත්, වහල් හා යටත් කරගත් විදෙස් යුද භටයන් ලැබුණු නිසයි. ඒ නිසා ඇතැන්ස් සමාජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සමත් වූයේ ‘කරගැට අත් ඇති මෝඩයන්’ නොව ‘ඔළුවෙන් වැඩ කරන්නට හැකි’ යැයි කියූ මහාචාර්යවරුය. දාර්ශනික වෙසින් සිටි ග්‍රීක මහාචාර්යවරු අනුන්ගේ මුදලින් පෝෂණය වෙමින් අනුන්ට ජීවත්වෙන හැටි කියා දුන් අයයි.

එදා වඩාත්ම ප්‍රසිද්ධ විතණ්ඩවාදියා වුවත් ඔවුන් අතර හැම දෙයකම දෝෂ අඩුවෙන් දැක්කේ ප්‍රොටැගරස් ය. සාර්ථකත්වය අත් කරගන්නට සාම්ප්‍රදායික පිළිවෙත් මැනවින් සොයා බලා පිළිගත යුතු යැයි ඔහු කීවේය. ඒ ඒවා සත්‍යය නිසා නොවේ. ඒවා වටහා ගැනීමෙන් සහ ඒවා තමනට අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගැනීමෙන් (manipulation) වඩාත් ඉක්මණින් ප්‍රතිඵල ලැබෙන නිසාය. ප්‍රොටැගරස් කියා සිටියේ සියළු සම්ප්‍රදායයන් මිනිසාට අනුව සාපේක්ෂක බවයි: සියල්ලේ ම මිම්ම මිනිසා = homo mensura.

කැලික්ලීස් විතණ්ඩවාදීන් අතරින් වැඩියෙන්ම හැම දෙයකම දෝෂ දැකි අයයි. සාම්ප්‍රදායික සද්ගුණය යනු දුර්වල සාමූහිකත්වයට ශක්තිමත් ඒකීය පුද්ගලයාව යදම් දමා බැඳගත හැකියාව යැයි ඔහු කීය. වහල් ක්‍රමයට යුක්ති සහගත බවක් එකතු කරන්නට හදන ඔහුට අනුව යුක්තිය නොවේ සැලකිල්ලට පාත්‍ර විය යුත්තේ ශක්තියයි. ඇයි බලය හොඳ? ජීවිතය පවත්වා ගැනීමට බලය අවශ්‍ය නිසා. ඇයි ජීවිතය පවත්වා ගත යුත්තේ? එහි දී ආහාර, බීම, හා ලිංගික ආශාවන් තෘප්තිමත් කරන සොම්නස (pleasure) සොයා ගැනීමට අවස්ථාව ලැබෙන නිසා. සංයමය (moderation) නම් වූ සාම්ප්‍රදායික ග්‍රීක සද්ගුණය සරල හා අඩපණ වූවක් යැයි හේ කියා සිටියේය.

ඔවුනට පිළිතුරු දීම සඳහා ප්ලේටෝ විසින් කදිම තර්කයක් ගොඩනඟන ලදි. එය “ආපසු හැරවීම” නොහොත් peritrope නමින් හැඳින්වේ. එහි දී ප්ලේටෝ කළේ තම ප්‍රතිවාදියා ඉන්නේ විසංවාදයක (contradiction) බව පෙන්වීමට ඔවුන්ගේ දර්ශනයේ ප්‍රධාන ප්‍රස්තුතය ඔවුන්ට ම පෙරළා පිරිනැමීමයි.

යම් අයෙකුට නිවැරදි යැයි යමක් පෙනෙනවා නම් එය ඒ පුද්ගලයාට සත්‍යයක් යැයි, ප්‍රොටැගරස් විසින් කීය. ප්‍රොටැගරස් විසින් ඉදිරිපත් කරන සාපේක්ෂතාවාදී මතය අනුව කවුරු හරි අයෙක් ප්‍රොටගැරස් ගේ ප්‍රස්තුතය සාවද්‍ය යැයි කියන්නේ ද එහි දී ඒ කවුරු හරි කෙනා කියන්නේ එයාට නිවැරදි බව පෙනෙන්නක් නිසා එය සත්‍යයක් බව පිළිගන්නට ප්‍රොටැගරස්ට සිද්ධ වෙන්නේ ප්‍රොටැගරස් ගෙනා මතවාදයෙන් ම ය.

අනුන්ගෙන් පෝෂණය වෙමින් නොයෙක් වේෂ වලින් සැරසී අනුන්ට හැසිරෙන හැටි කියන ‘මහාචාර්යවරු’ ඉතිහාසය පුරා ආර්ථිකයන් හා සමාජයන් විනාශ මුඛයට ගෙන ගියේ තම මතවාදය විසංවාදයක් නොවන ආකාරය ඔප්පු නොකර.

අන්දබූත අදහස් රජයන්නට වීමෙන් ඇතැන්ස් හි සශ්‍රීක යුගය අවසන් කරන්නට ම්ලේච්ඡයන්ට හැකිවිය. බටහිර රෝම රාජ්‍යයේ කඩා වැටීමත් සමඟ උදා වූයේ යුරෝපයේ අඳුරු යුගයයයි. එය ඇමෙරිකාවට යුරෝපීයයන් එනතෙක්, 5 වැනි සියවසේ සිට 15 වැනි සියවස දක්වා පැවතිණ.

එහෙත් ඉතිහාසය නොදන්නා මිනිසා ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැත. ඇමෙරිකාවට යුරෝපීයයන් පැමිණීමත් සමඟ යළි ආර්ථික හා සමාජයීය ප්‍රබෝධයක් ලොව ඇතිවිය.

මෙවර අනුන්ගෙන් පෝෂණය වෙමින් තවත් වේෂයකින් එන අලුත් ‘මහාචාර්යවරු’ කොටසක් ප්‍රංශයෙන් බිහිවූහ. ආර්ථක හා සමාජයීය දියුණුවක් ලැබූ ප්‍රංශයේ භීෂණ සමයක් ඇතිවිය.

එහෙත් ඉතිහාසය නොදන්නා මිනිසා ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැත.

ප්ලේටෝ ගේ peritrope තර්කය මාක්ස්වාදය නොසලකා හරියි. “දාර්ශනිකයන් කර ඇත්තේ ලෝකය අනේක විධි වලින් අර්ථ කථනය කිරීම පමණක්,” යැයි කාල් මාක්ස් සහ ඒංගල්ස් කියා සිටියහ. අවශ්‍ය වන්නේ ලෝකය වෙනස් කිරීම පමණකි.* සියළු අගැයුම් යනු අයිඩියලොජියකින් ලැබෙන්නකි.* යම් යම් අවස්ථා වල සිද්ධ වන යම් යම් ආර්ථික බලපෑම් වල ප්‍රතිඵලයක් ලෙසින් පමණයි මිනිසාට අගැයුමක් ලැබුනේ යැයි කියන මාක්ස්, පාලක පංතියේ උවමනා අනුව හැදුන අයිඩියලොජියක් මිනිසාට ඇතැයි පෙන්වා දුනි. පාලක පංතියේ උවමනාව අනුව හැඩගැසුන නිසා මිනිසුන් අතර පංති භේදයකින් තොරව, ඵෛතිහාසික මායිම් තුලින් දිවෙන (transhistorical) අධිකාරියක් (authority) පුද්ගලයෙකු ගේ අගැයුම් වලට බලපාන්නේ නැතැයි ඔවුන් දෙදෙන කීහ. අයිඩියලොජියක් හැදෙන්නේ පරම සත්‍යයක් තුලින් නොව සාපේක්ෂතාවාදී බවකින් නිසා ආර්ථික බලපෑම වෙනස් කිරීමෙන්, එය පාලක පංතියේ උවමනාව නොවී කම්කරු පංතියේ උවමනාව අනුව හැඩගැසෙද්දී, එවිට මිනිස් හැදියාව ද වෙනස් කළ හැකි යැයි කීම මාක්ස්වාදයේ පදනමයි.

ඒත් මාක්ස් ලියූ දැයක් කියවා නැති අයත් දන්නා පරිදි 😀 මාක්ස්වාදීන් සමහර දේවල් වලට අගැයුමක් දෙයි. ධනවාදී ක්‍රමයක් ඇති සමාජයකට වඩා කොමියුනිස්ට් රාජ්‍යයක් නෛසර්ගික වශයෙන් සාධාරණ වේ යැයි ද, නෛසර්ගික වශයෙන් යුක්ති සහගත වේ දැයි ද තරයේ කියා සිටීම ඔවුන් හැමෝටම නිර්දේශ කරන සාපේක්ෂතා මතවාදයයි!!!!!!

සාපේක්ෂතාවාදියා මුහුණ පාන ගැටළුව නම්, යමක් ඉදිරිපත් කරද්දී ඔහුට ද යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටීමට සිද්ධ වීමයි. ඉතින් කිසිදු ප්‍රතිපත්තියක් පරම සත්‍යයක පිහිටන්නේ නැතැයි කියමින් යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඔහු පෙනී සිටින්නේ කෙසේ ද?!!!

සාපේක්ෂතාවාදියා එයම කියන තවත් විදියක් නම් ලෝකය හඳුනාගන්නට අපි භාවිතා කරනුයේ මිනිස් සංකල්ප කියාය. ඉතින් එසේ නැත්නම් මිනිසුන් වන අප පාවිච්චි කළ යුත්තේ මොන සංකල්ප ද?!!!!

යම් සුදුසුකමක් දැක්වීම හෝ යම් උරුමයක් කියා පෑම යනු ඒ ඒ අයෙක් කියන විදිය අනුව නම්, නොහොත් අයිඩියලොජිය අනුව පෙනෙන ආකාරය යැයි කීම මාක්ස්වාදී වෙයි. ඒ නිසා ඕනෑම මතයක් තවත් මතයක් හා සමාන ලෙසින් යුක්ති සහගත වේ දැයි ද කියති. එහෙත් එවැනි අදහස් වෙනුවෙන් පෙනී සිටින සාපේක්ෂතාවාදියාම, ධනවාදියා සිය මතය ප්‍රකාශ කරද්දී එය යුක්ති සහගත නැතැයි කියති!!!!

අයෙක් කියයි පැණිකොමඩු හරි රසයි කියා. තවකෙක් කියයි ලාවලු හරි රසයි කියා. එය පුද්ගලයාට දැනෙන රස ගැන අදහස් කියා පෑමකි.

අයෙක් කියයි මම කැමති කපු රෙදි වලින් හදපු ඇඳුම් අඳින්නට කියා. තවකෙක් කියයි මා කැමති සිල්ක් වස්ත්‍ර අඳින්න යැයි කියා. ඒ පුද්ගලයා ප්‍රිය කරන රුචිය ගැන වූවකි.

ඉතින් තමනට දැනෙන රස හා රුචිය හා සමාන ලෙසකින් සාපේක්ෂතාවාදියා මිනීමැරැම්, දූෂණ සහ මංකොල්ලාකෑම් යනාදියත් අගැයුම් කරන්නට යයි.

අයෙක් උන්නත් එකයි මළත් එකයි, දෙකේම වැරැද්දක් නැහැ කියා හිතුමතයේ සියල්ලන් මරන්න යනවා ද?!!!!

කෙල්ලක් දූෂණය වුනත් එකයි දූෂණය වුනේ නැතත් එකයි, කියා අහල පහළින් යද්දී අල්ලා ගත හැකි ඕනෑම කෙල්ලෙක්ව දූෂණය කරනවා ද?!!

සත්‍යය යනු සාපේක්ෂ වූවක් යන මතවාදය රිසි මිනිසුන් මොකක් කළත් හරි වැරැද්දක් නැහැනේ කියා කැමැති සේ හැසිරෙනවා නම් එවැනි සමාජයක වාසයට සාපේක්ෂතාවාදියා වුවත් කැමති වේවි ද?!!!!

ඉවසීම හා අමර්ෂය (intolerance) යන දෙකෙන් එකක් හොඳ යැයි සාපේක්ෂතාවාදයෙන් කියා නොදෙන නිසා ඇමෙරිකාව හිටිහැටියේ ගිහින් උතුරු කොරියාවට පරමාණු බෝම්බයක් දමා ආවොත් එහි හොඳක් හෝ නරකක් ද සාපේක්ෂතාවාදියාට අනුව තිබිය යුත්තේ නැත!!!!!!

එදිනෙදා ජීවිතයේ දී කරන තෝරා ගැනීම් වල දී තමනට සිද්ධ වෙන හොඳ නරක ගැන කිසිත් නොතකා අහඹු ලෙසින් කටයුතු කරන සාපේක්ෂතාවාදියෙක් ඔබට හමු වී ඇත් ද?!!!!!! නැත්නම් හැම දෙයක්ම සාපේක්ෂ යැයි කියන අයත් තමන් කරන කියන තමන්ගේ ම කටයුතු වල දී තමනට සාධාරණයක් ලැබෙන යම් පරම සත්‍යයක් ගැන විශ්වාස කරනවා ද?!!!!! ඒ වෙනුවෙන් සටන් වදිනවා ද?!!!! 😀

සත්‍යයක් යනු ඒ ඒ අයට අනුව සත්‍යයක් වන්නක් යැයි කියමින් එහෙත් සත්‍යය කුමක් දැයි තීරණය කිරීමේ බලය තම අතට අල්ලා ගනිමින් බලතණ්හාධිකයන් තවත් ඉදිරියට කරපින්නා ගෙන යෑමට සාපේක්ෂතාවාදීන් විසින් තෝරා ගැනීමක් කර ඇත්තහ.

“සෑම මිනිසෙකුම තම ලෝකය තම රූපය අනුව ගොඩනඟා ගනියි. ඔහුට තෝරා ගැනීම් කරන්නට බලයක් ඇත. එහෙත් තෝරා ගැනීමක් කිරීමෙන් ගැලවී යාමට ඔහුට නොහැකිය.” -අයින් රූන්ඩ්

කාටූන් එක ගත්තේ Peter Cave ලියූ Philosophy without the Boring Bits (2010) පොතෙනි.

*මාක්ස් සහ ඒංගල්ස් ලියූ Basic Writings on Politics and Philosophy 244 පිටුව.
* මාක්ස් සහ ඒංගල්ස් ලියූ German Ideology

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 5, 2013 at 3:46 ප.ව.

    සයිලන්ට් සහන් එකපාරක් එයාගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාල තිබුන ගෙඩි පිටින් ගිලීම ගැන. අරුණි ලියන මේ ලිපි පෙළ කියවන හැම පාරකම මට ඒක මතක් වෙනවා. බෙලි ගෙඩියක කට්ට ඉවත් කරලා ඇට අයින් කරලා කනවා සමහරු ගෙඩි පිටින් ගිලිනවා.
    ගෙඩි පිටින් ගිලින්න මට නම් බෑ අරුණි. මම පොත්ත ගහල ඇටේ අයින් කරලාකියන මදය විතරයි කන්නේ.
    අරුණි කියන්නේ අපිට ගෙඩි පිටින් ගිලින්න කියලද? මම ධනවාදී “නිදහස් වෙළඳ පොළ” කියන මදය කන්න කැමතියි හැබැයි අරුණි මේ සටහන් පෙලේ කටු පොතු ඇට ඔක්කොම එකට දාල බ්ලෙන්ඩ් කරලා වගෙයි මට දැනෙන්නේ.

    අනික පෙර සටහන් දෙකේ ඉඳන්ම අපහැදිලි තැන් තියනවා. මේ ලිපි පෙලේ ඔයා පරම සත්‍ය කියල අදහස් කරන්නේ කුමක්ද? Objective truth කියන එකදAbsolute truth කියන එකද? සාපේක්ෂ සත්‍ය යනුවෙන් හදුන්වන්නේ Relative truth කියන එකද subjective truth කියන එකද.
    අපැහැදිලි බව අතරින් උවත් මම ප්‍රශ්නයක් අහන්න කැමතියි.
    දස පනතේ තියනවා නේ Thou shalt not kill කියල ඔයා කියන්නේ
    1 මිනී මැරීම හරිද වැරදිද?
    2. පුද්ගලික දේපල ආරක්ෂාව සඳහා හෝ ආත්ම ආරක්ෂාවට මිනී මැරීම හරිද වැරදිද?
    ඉහත ප්‍රශ්න දෙකට ඔබේ පිලිතුර ඔබගේ මේ පරම සත්‍ය සහ සාපේක්ෂ සත්‍ය ඇසුරින් පහදන්න.

    • arunishapiro said, on අප්‍රේල් 5, 2013 at 4:19 ප.ව.

      Uditha,

      මේවා ගිලින ඒවා නෙමෙයි උදිත. මේවා රස බලන්න වචනය, වාක්‍යය, වගන්තිය, සටහන, ඔක්කොම හිමිහිට හිමිහිට විකන්න ඕනෑ ඒවා!!!!! තම තමන්ගේ පසුබිම් දැනුම අනුව අයෙකුට ඒවා කටු, පොතු, ඇට යැයි හිතෙන්න පුලුවන්. ඒත් මෙතැන ඇති සත්‍යය තොරතුරු සහ ඒවායේ ඵෛතිහාසික පසුබිම දන්න අයට මම මදය පිරිනමන බව දකින්න පුලුවන්. ඒ කියන්නෙ සත්‍යය යන්න වෙනස් වෙන්නෙ නැහැ දකින විදිය අනුව. සත්‍යය නොදකින තාක් කල් එය නොදකිනවා පමණයි!!!!

      පරම සත්‍යය මම ගත්තේ absolute truth අර්ථයෙන්.

      සාපේක්ෂතාවාදය relativism යන මතවාදය ගැන ලියූ සටහනක් මිසක් මම සාපේක්ෂක සත්‍යය relative truth නැතැයි කියලා නැහැ.

      පරම සත්‍යය:
      මිනීමැරීම වැරදියි.
      ආත්ම ආරක්ෂාවට සහ දේපල ආරක්ෂාවට මීනිමරන්නට සිද්ධ වුවහොත් එය නිවැරදියි.

      හැමෝටම තම ජීවිතයට දේපලට අයිතියක් ඇතැයි යන්න පරම සත්‍යයක්. ජීවිතය නැතිවුනොත් ආරක්ෂා කරන්නෙ කාව ද? දේපල කොල්ලා කාගෙන ගියාම ජීවිතය පවත්වා ගන්නේ කොහොම ද? ඒ නිසා කිසිවෙකු තවකෙකුගේ ජීවිතයට දේපලට හානි කිරීම වැරදියි. අනික් අයෙකුගේ ජීවිතයට දේපලට හානියක් කරද්දී අයෙක් අනෙකාගේ අයිතිය උල්ලංඝනය කරන්නෙක්. එවිට ඔහුට තම ජීවිතයට හා තම දේපලට ඇති අයිතිය ද අහිමි වෙනවා, තවත් විදියකින් කිව්වොත් අනුන්ගේ අයිතිය උල්ලංඝනය කරන්නාට තමන්ගේ අයිතිය ද උල්ලංඝනය වීමට එරෙහි වෙන්න බැරි වෙනවා.

      සාපේක්ෂතාවාදය:
      මිනීමැරීම හරි හෝ වැරදි වන්න පුළුවන් ඒ ඒ අය දකින මතවාදය අනුව.
      ආත්ම ආරක්ෂාවට සහ දේපල ආරක්ෂාවට මිනීමරන්නට සිද්ධ වුවහොත් එයත් හරි හෝ වැරදි වන්න පුළුවන් ඒ ඒ අය දකින මතවාදය අනුව.

      කාටවත් තම ජීවිතයට දේපලට අයිතියක් ඇතැයි කියන්න හෝ නොකියන්න බැහැ. ඒ නිසා ඕනෑම කෙනෙකුට තවෙකෙකුගේ ජීවිතයට දේපලට හානි කරන්න නොකරන්න පුළුවන් තම තමන්ගේ මතවාදයට අනුව.

  2. Mayya said, on අප්‍රේල් 5, 2013 at 8:52 ප.ව.

    අරුණි, සාපේක්ශබ්බාවයෙන් තොර පරම සත්‍යය ඇතැයි කියා ඔබ පවසනවා….එසේ නම ඒ මොනවාද?මම දන්නා විදිහට නම් ආගම් වල ඇරුනම පරම සත්‍යය කියා දෙයක් කොහෙවත් උගන්වන්නේ නෑ….එක ආගම උගන්වන පරම සත්‍යය අනෙක් ආගමේන් වෙනස්.. ඒ හින්දා ඒ පරම සත්‍යත් එවා අදහන්නන්ට සාපේක්ශයි…බුද්ධාගමත් ඇතුලුව…

    ඇපල් ගෙඩිය බිමට වැටීම නිව්ටන් පැහැදිලි කලේ ගුරුත්වාකර්ශන්යේන්…අයින්සට්යින් ඒකම කලා ත්වරනයේන් චලනය වන නිරීක්ශකයේක් නැතිනම් අවකාශ කාලයේ වක්‍රතාවයක් කියලා….එකම සිදුවීමට පැහැදිලි කිරීම දෙකක්…

    සත්‍යය කුමක්දැයි කියා අපට දැන ගත හැක්කේ අප සත්‍යය දන්නේ නම් පමනය…ඔබ දන්නා පරම සත්‍යය යථාර්තය කුමක්ද? ඔබගේ සංකල්ප මගේ සංකල්ප විය යුත්තේ ඇයි?

    arunishapiro said, on අප්‍රේල් 4, 2013 at 7:31 පෙ.ව.
    මයියා,

    කෙස් පැලෙන තර්ක කියා පෑම වෙන දවසක කරන්නට හැකියි කිව්වට ඒ ටික කියෙව්වෙ නැහැ නේද?

    ඉතින් මටත් අහන්න තියෙන්නෙ මෙච්චරයි: ඔබගේ සංකල්පය = සියල්ල සාපේක්ෂය යන්න, මගේ සංකල්පය විය යුත්තේ ඇයි?!!!!!!!!!!!!!!!!!

    පිළිතුරු සැපයීම
    Mayya said, on අප්‍රේල් 4, 2013 at 10:26 පෙ.ව.
    මං හිතන්නේ නෑ ඔයා මට උත්තරයක් දුන්නා කියලා….ඒත් උත්තර දෙන්න ඔයා බැදිලත් නෑ….මට ප්‍රශ්නය අහන්නේ නැතුවයි ඉන්න තිබ්බේ….

    පිළිතුරු සැපයීම
    arunishapiro said, on අප්‍රේල් 4, 2013 at 10:30 පෙ.ව.
    Mayya,

    මම පැහැදිලිව ම උත්තරයක් දීලා තියෙනවා. ඔයා දැමූ සාපේක්ෂවාදී මතවාදය ප්‍රොටැගරස් ගෙනෙන්නේ පස්වැනි සියවසේ. ඊට මම ලියූ තාර්කික පිළිතුර පිරිනැමුවේ ප්ලේටෝ. වැඩි විස්තර සඳහා ඊ ළඟ සටහන කියවන්න එන්න.

    පිළිතුරු සැපයීම

    Mayya said, on අප්‍රේල් 4, 2013 at 11:49 ප.ව.
    හේ හේ අරුණි කියනවා අරුණි උත්තරයක් දුන්නලු …මම කියනවා උත්තරයක් දුන්නේ නෑ කියලා…ඒතැනින්ම පේනවා සිදූවීම නිරික්ශකයාට සාපේක්ශයි කියලා….අරුණිගේ ලිපිය නැමැති නාමපද අරුණිගේ කමෙන්ට් නැමැති ක්‍රියාපදයත් එක්ක විසංවාදීයි….තවත් ඉතින් කුමන තර්කද? මං අහලා තියෙන්නේ සරල ප්‍රශ්ණයක්..ඔබ දන්නා නිරපේක්ශ ඇත්ත කුමක්ද කියලා….ඒච්චරයි

    පිළිතුරු සැපයීම

    • Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 6, 2013 at 11:08 පෙ.ව.

      නිරපේක්ශ ඇත්ත නේ මයියා අහන්නේ . ඇයි ඒබ්‍රහම් ගේ දෙවියන් තමයි නිරපේක්ෂ සත්‍ය සඳහා අවසන් විනිශ්චය දෙන්න පුළුවන් කෙනා. එතැන තමයි අන්තිමට පරම සත්‍යට නවාතැන් ගන්න වෙන්නේ. කාටවත් දෙවියන් කියන දෙයක් ප්‍රශ්න කරන්න බැහැ . ඒක එහෙම වෙන්නේ කොහොමද අහන්න බැහැ. අරුණි දෙවියන් නොවන නිසා මයියා අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නත් බැහැ. උත්තර ඇත්තෙත් නැහැ. නලින් ද සිල්වාගෙන් ඇහුවනම් නාථ දෙවියන්ගෙන් අහල පිළිතුරු දෙයි. ඒබ්‍රහම් හිටියනම් කන්දට ගිහින් දෙවියන්ගෙන් අහයි.
      මයියා ගේ ප්‍රශ්නය .ඔබ දන්නා නිරපේක්ශ ඇත්ත කුමක්ද ?
      මට අරුණිදීපු පිළිතුරේ මෙහෙම තියනවා.
      //ජීවිතයට දේපලට අයිතියක් ඇතැයි යන්න පරම සත්‍යයක්//
      දෙයක් පරම සත්‍ය වන හේතුව තමයි දෙවියන් හෝ බුදුන් කියූ නිසා. පන්සිල් පද පහේ තියනවා මරන්න එපා අනුන්ගේ දේපල හොරකම් කරන්න එපා. දස පනතෙත් මේවා තියනවා.

      අරුනිට වෙනස්ව මම මේවා පිළිගන්නේ පරම සත්‍යයන් ලෙස නොවෙයි. මම කියන්නේ මේවා සම්මුති සත්‍යයන් ලෙසයි.
      අපි සතුන්ගෙන් වෙනස්ව ශිෂ්ඨ මිනිසුන් ලෙස හදාගත් සම්මුති සත්‍යයන් මේවා. සත්තව ලෝකයේ ශරීර ශක්තිය වැඩි සතා අනෙකා මරාගෙන කනවා අනෙකාගේ දේපල අයිතිකර ගන්නවා. මිට එරෙහිව අපි මිනිසුන් ශිෂ්ඨාචාරගතවීම නිසා එකගත්වයකට ආපු සම්මුති සත්‍යයන් තමයි මිනී මරන්නේ නැහැ දේපල හොරා ගන්නේ නැහැ වගේ දේවල්.

      • arunishapiro said, on අප්‍රේල් 6, 2013 at 2:55 ප.ව.

        Uditha,

        self-evident truths නොහොත් ස්වයං ප්‍රත්‍යක්ෂ වන සත්‍යය බුදුන් හෝ දෙවියන් වදාළ ඒවා හැටියට සැලකෙන්නේ නැහැ. ඒවා හිතන්න පුළුවන් මිනිසුන්ට ස්වයං ප්‍රත්‍යක්ෂ වෙන ඒවා.

        උදිත කියන විදියට හිට්ලර් කෙනෙකු ආර්ය ජනතාව ආරක්ෂා කරන්න යුදෙව්වන් මැරිය යුතු යැයි සම්මුතියක් ගෙනාවම එය අපරාධයක් නෙමෙයි එයත් සත්‍යයක්!!!!!!!!!!

        • Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 6, 2013 at 9:36 ප.ව.

          නැවතත් වරද්දගෙන හිට්ලර් කෙනෙකු ආර්ය ජනතාව ආරක්ෂා කරන්න යුදෙව්වන් මැරිය යුතු යැයි සම්මුතියක් ගෙනාවම එයට ජර්මන් බහුතර ජනතාව එකඟ උනාම එය සම්මුති සත්‍යයක්. සම්මුති සත්‍යයක් හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන් හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. මම කිව්වේ නැහැ නේ එහෙම නැහැයි කියල මට තේරෙන්නේ නැහැ දැන් අරුණි කියනවා මම ඒක සත්‍යයක් කියනවා කියල, එහෙම නිකම්ම නිකම් සත්‍යය කියන්නේ මොකද්ද? මොකද්ද මේ ඔයා කියන ස්‌වයං ප්‍රත්‍යක්ෂ සත්‍යය ? පැහැදිලි කරන්න මම දන්නේ නෑ මොකද්ද ස්‌වයං ප්‍රත්‍යක්ෂ සත්‍යය කියන්නේ කියල, නාථ දෙවියෝ හීනෙන් ඇවිත් මනසේ රෝපණය කරලා යන දෙයක්ද? අරුණි ඔයා සත්‍යය ,අසත්‍යය, හොඳ නරක වැරද්ද සහ නිවැරිදි යන ඒවා ඔක්කොම එකට පටලවල නේද?
          අපි වැඩි වැඩියෙන් මිනිසුන් ලෙස ශිෂ්ට වෙන්න වෙන්න වඩා නිවැරිදි වඩා හොඳ සම්මුති සත්‍යය එක්ක එකඟ වෙනවා ඒක තමයි මිනිසුන් මනසේ මානසික පරිනාමය ඉදිරිගාමී හොඳ අතට සිදු වුවොත් විය යුත්තේ,.ඕනෑ නම් පරිනාමයේ අනික් පැත්තට යන්න උනත් පුළුවන් අපිට එතන පවා තෝරා ගැනීමක් තියනවා ආපසු සත්ත්වයා වෙත යන්න උනත් පුළුවන්. මිනි මරන්න පුළුවන් ,බලය ඇති කෙනාට දුබලයාගේ දේවල් පැහැර ගන්න පුළුවන් කියන වගේ සම්මුති සත්‍යය ලංකාවේ බත්කන හරක් කිසි හිරිකිතයක් නැතිව මේ දිනවල බහුතරයක් ලෙස කැමතියි නේද?

          • arunishapiro said, on අප්‍රේල් 6, 2013 at 11:29 ප.ව.

            Uditha,

            ස්වයං-ප්‍රත්‍යක්ෂ සත්‍යය

            P ප්‍රස්තුතය: “A, B ට වඩා කොට නම්, එවිට B, A ට වඩා උසයි.”

            මෙම P ප්‍රස්තුතය වටහා ගත්තාම, ඒ කියන්නෙ P කියන්නේ ප්‍රස්තුතයක් බවත්, A සහ B යනු එකම අය නොවන බවත්, කොට හා උස යන අර්ථ දෙකකින් යුතු බවත් සහ ඒවායේ අර්ථ මොනවා ද යන්නත් දන්නවා නම්, එවිට මෙම P ප්‍රස්තුතයෙන් ලැබෙන ඥානය ස්වයං-ප්‍රත්‍යක්ෂ සත්‍යයක්.

            ඒ ප්‍රස්තුතය කියෙව්ව ගමන් ඒ ගැන වෙනත් උදාහරණ, ඒ ගැන සම්බන්ධ වෙනත් කිසිම කාරණයක් ගැන හොයලා බලන්නෙ නැතිව, “on its own” මේ ප්‍රස්තුතය වැටහීමෙන් පමණක් ම, උදිතට එය අවබෝධ වීමයි ස්වයං-ප්‍රත්‍යක්ෂ සත්‍යයක් වැටහුණා කියන්නෙ.

            ස්වයං-ප්‍රත්‍යක්ෂ සත්‍යයක් සාධාරණය කරන්න වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ, එහි අවබෝධයයි එහි සාධාරණත්වය ලබා දෙන්නෙ.

            කවුරු හරි ඇහැව්වොත් “ඇයි ඔයා P ප්‍රස්තුතය විශ්වාස කරන්නෙ?” කියලා, ඒ P ප්‍රස්තුතය වැටහීම තමයි එය විශ්වාස කරන්නට අවශ්‍ය සාධකය ලබා දෙන්නේ. P ප්‍රස්තුතය ස්වයං-ප්‍රත්‍යක්ෂ නොවන්නේ නම්, එවිට “වැටහීම” පමණක් එය විශ්වාස කිරීමට ප්‍රමාණවත් නැහැ. ඒ නිසා “වැටහීම” යන්න යුක්ති සහගත ඥානයක් ලෙසින් එය විශ්වාස කරන්නට ආධාර වෙන්නේ only if, එය ප්‍රස්තුතය ස්වයං-ප්‍රත්‍යක්ෂ වූවක් නම් පමණයි.

            ස්වයං-ප්‍රත්‍යක්ෂ වූවක්, මෙහි දී “P ප්‍රස්තුතය” වැටහෙන අයෙකුට එය අනෙක් අවස්ථාවන් වල දී ත්, සත්‍යයක් දැයි නිරීක්ෂණය කර බලන්න, කොට A කෙනෙක් හෝ උස B කෙනෙක් සොයාගන්න අවශ්‍යතාවයක් ද නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: