අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් නිදහස් විප්ලවය vs ප්‍රංශ නිදහස් විප්ලවය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 6, 2013

220px-Logo_de_la_République_française.svg

18 වැනි සියවස අග දී ඇමෙරිකන් නිදහස් විප්ලවය (1763-1776) දියත් කළ යටත්විජිත ඇමෙරිකාවේ වැසියන් බ්‍රිතාන්‍යය ආණ්ඩුවෙන් අයින් වූවා යැයි නිදහස් ප්‍රඥප්තියක් අත්සන් කළේ 1776 දී ය. එයින් ඇමෙරිකාන්කාරයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ප්‍රජා පීඩක පිළිවෙත් සහ බදු හා වෙළඳ රෙගුලාසි වලින් ගැලවුනහ. ජනතා නියෝජනයෙන් වූ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක්, සීමිත බලතල හිමි ෆෙඩරල් ආණ්ඩුවක්, ප්‍රාන්ත 13 කට ස්වාධීනත්වය ලැබෙන ජනරජයක් ඔවුන් පිහිටුවා ගත්ත ද ඇමෙරිකාවේ විශාලත්වය පවා ඔවුන් නොදත්හ.

ප්‍රංශ විප්ලවය (1789-1799) සිද්ධ වූයේ පරම රාජාණ්ඩුවකින් (absolute monarchy) ගැලෙවන්නට ය. එහෙත් ඔවුනට නැවතත් පරම රාජාණ්ඩුවක්, ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක්, නියෝජිතවරුන් ආණ්ඩු කරන ජනරජයක්, ඒකාධිකාරී ජනරජයක්, බුර්ජුවාසී ජනරජයක් යනාදී වශයෙන් ආණ්ඩු ක්‍රමයන් පිහිටුවන්නට සිද්ධ විය.

ඇමෙරිකාවත් ප්‍රංශයත් සිය විප්ලව තුලින් ඔටුන්න ඉවත් කර ජනතාව විසින් ජනතාව පාලනය කරන ආණ්ඩු ක්‍රම ගෙන්වා ගැනීමේ ලෝක පුරෝගාමීන් ලෙස සැලකේ.

එහෙත් ඔවුන් වෙනස් වන්නේ කෙසේදැයි කියා දන්නේ ලෝකයේ ස්වල්ප දෙනෙකි.

නිදහස් ප්‍රඥප්තියේ තෝමස් ජෙෆර්සන් විසින් ලියන ලද්දේ “සියළු මිනිසුන් එක හා සමාන ලෙසින් නිර්මාණය කර තිබේ,” යන්නයි. එහි “සමානාත්මතාවය” පිරිනමන්නේ මිනිසා තව මිනිසෙකුට නොවේ. මිනිසා සමානාත්මතාවයෙන් යුතුව ඉපිද ඇතැයි සැලකීම නිසා සියළු මිනිසුන්ට ම එක හා සමාන අයිතීන් පිරිනැමිය යුතු යැයි අදහස් කෙරිණ. ඒ නිසා නීතිය ඉදිරියේ සියළු දෙනාම එක හා සමානව සැලකිල්ලට පාත්‍ර විය යුතු යැයි අදහස් කෙරිණ.

18 වැනි සියවසේ ප්‍රංශය ද “මිනිසාගේ සහ පුරවැසියාගේ අයිතීන් ගැන ප්‍රඥප්තියක්” -Declaration of the Rights of Man and of the Citizen- මඟින් තම දෘශ්ටිය ලෝකයට පිරිනැමූහ. ඒ කාලයේ බ්‍රිතාන්‍යයට අනතුරුව ලොව දෙවැනි මහා අධිරාජ්‍යයා වූයේ ප්‍රංශයයි. එදා ප්‍රංශය යුරෝපයේ මහත් භූමි ප්‍රදේශයක් මෙන් ම, උතුරු ඇමෙරිකාව, ඉන්දියාව, වයඹ දිග සහ මධ්‍යම අප්‍රිකාව, මැඩගස්කාර්, ඉන්දු-චීනය සහ ගිණිකොන දිග චීනය සහ කැරීබියන් හා පැසිෆික් දූපත් ද සිය යටත්විජිතයන් කරගෙන සිටියේය.

ප්‍රංශ විප්ලවයේ සුප්‍රසිද්ධ සටන් පාඨය වූයේ “නිදහස! සමානාත්මතාවය! සහෝදරත්වය!” යන්නයි.

ඇමෙරිකන් නිදහස් විප්ලවයත් ප්‍රංශ නිදහස් විප්ලවයත් අතර ප්‍රධානතම හා වැදගත්ම වෙනස ඇත්තේ මෙතැනයි.

ඇමෙරිකන් නිදහසේ දී “නිදහස” යනුවෙන් සියළු අයට එක සේ සැලකිලි ලැබීම ගැන අදහස් වෙද්දී, ප්‍රංශ නිදහසේ දී ඔවුන් කතා කළේ නීතිය ඉදිරියේ සියළු මිනිසුන් එක හා සමාන වීමෙන් ඵලක් නැත කියාය. උප්පත්තියෙන් සහ නිල තනතුරු වලින් ලැබෙන වරප්‍රසාද අහෝසියෙන් පමණක් ඵලක් නැත කියාය. සමානාත්මතාවය ඇති කරන්නට නම් වඩාත් ම වැදගත් වූ වරප්‍රසාදය, එනම් පුද්ගලික දේපල වලට ලැබෙන තැන අහිමි කළ යුතු යැයි කියාය. එවැනි ලිබරල්වාදයකින් (මේ අර 1791 ප්‍රංශ ජාතික සම්මේලනයේ දී ඔටුන්න එපා යැයි වමේ හිඳගත් අය) ඒ ප්‍රතිපත්තිය අනුව සැලසුම් ක්‍රියාත්මක කිරීම මඟින් සමාජවාදය කරා යා හැකි යැයි සිතූහ. පුද්ගලික දේපල හිමිකම අහෝසිය යනු නිෂ්පාදන ක්‍රම හිමිකම සතුවීම යැයි ඔවුන් සිතූහ. ඒ කාල් මාක්ස් 1818 දී ඉපදෙන්නට පෙරතුව.

එහෙත් වැඩිකල් යන්නට පෙර පුද්ගලික දේපල අයිතිය අහෝසි කරන ලද වැඩ සටහන් වලින් ඇති වූයේ භීෂණයයි, මිනිස් ජීවිත ගිලටිනයට යෑමයි, ප්‍රංශ වැසියන් නැවතත් (ඔටුන්නක් නැති නැපෝලියන්) එම්ප්‍රදෝරුවෙක් පිහිටුවා ගැනීමයි.

පුද්ගලයන්ට නිදහස දීම යනු ඔවුන් සියල්ලන්ටම එක හා සමාන අයිතීන් පිරිනැමීම; ජීවිතයට හා දේපලට ඇති අයිතියයි. එය ක්‍රියාත්මක කරන එකම ක්‍රමය, නීතිය ඉදිරියේ සියල්ලන් එක හා සමාන ලෙසින් සැලකිල්ලට පාත්‍ර වීමයි. මේ නිදහස යනු කුමක් දැයි යන්න ලොව බහුතරයකට තවමත් වටහා ගත නොහැකියි.

ලොව බහුතරයක් ප්‍රංශ නිදහස් සංකල්පය, එනම් නිදහස යනු පුද්ගලයන් හා දේපල එක හා සමාන ලෙසකින් බෙදීමයි, ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවකට බලය අවශ්‍යයයි යන ප්‍රතිපත්තිය අනුව යමින් මේ ආණ්ඩුවට බැහැ හරියට බෙදා දෙන්න ඒ නිසා අපි වඩා සාධාරණව බෙදා දෙන්න වෙනත් ආණ්ඩුවක් ගෙන ඒම අවශ්‍ය යැයි කියමින් සදා ආණ්ඩු මාරු කරමින් සිටිති. ලොව ප්‍රජාතන්ත්‍ර පාලනයට පිවිසූ දා සිට ඒ නිසා ක්‍රම ක්‍රමයෙන් වැඩි වැඩියෙන් ආණ්ඩුවට බලය පවරති. වැඩි වැඩියෙන් බෙදා දෙන්නට පොරොන්දු වෙන ආණ්ඩු පත් කරගනිති. අනතුරුව ආර්ථිකය දියුණු නොවන්නේ මන්දැයි නොදැන තක්බීරීව සිටිති.

ඉතිහාසය ඔප්පු කර ඇත්තේ, ඇමෙරිකන් අර්ථය, සැමට එක සේ සැලකිල්ලක් ලැබෙන නිදහසක් හඳුන්වා දුන් නිසා දුප්පතුන් සේ ඉපදුන අය ධනවත් වෙන්නට සමත් වූ බවයි. සමාජයේ සියළු පුරවැසියන්ගේ ජීවිත යහපත් වු අතර ලෝකයේ පුරවැසියන්ගේ ජීවිත ද යහපත් කරන්නට සමත් වූ බවයි. බෙදා දීමේ සැලසුම් වැඩිවෙද්දී රටේ ආර්ථිකය අඩපණ වී එහි වැසියන් දුප්පත් වූ බවයි.

අද ප්‍රංශයේ ජනාධිපති, සමාජවාදී පක්ෂයේ ෆ්‍රැන්සුවා අලාන්ඩේ ඇන්ඩෝරාවේ සම-කුමරු ලෙසින් ද පත්ව සිටින්නෙකි. ඔටුන්නක් එපා කියා වමේ හිඳ ගත්ත ද, ප්‍රංශයට තවමත් එයින් ගැලවෙන්නට නොහැකි වී තිබේ. වර්තමානයේ දී වැඩියෙන් බෙදා දෙන්නට ගෙනා බදු ප්‍රතිපත්ති නිසා රටේ ධනවතුන් සහ විදේශ ආයෝජකයන් රට හැර යද්දී තවමත් රටවැසියන් එක හා ලෙසින් නිදහස නොව එක හා ලෙසින් බෙදා දීම වෙනුවෙන් පමණක් ජනඝෝෂා කරන රටකි.

වැඩි විස්තර සඳහා:
* Will Durant and Ariel Durant ලියූ Rousseau and Revolution (1967),The Age of Napolean (1975)
* Owen Connelly ලියූ French Revolution/Napoleonic Era (1979)
* Ludwid von Mises ලියූ Liberalism: In the Classical Tradition (1985)
* Vernon Louis Parrington ලියූ Main Currents in American Thought: An Interpretation of American Literature from the Beginnings to 1920 (1930)

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 6, 2013 at 12:20 ප.ව.

    බොහෝ තොරතුරු කෙටියෙන් රසවත්ව ඉදිරිපත් කිරීම යනු කලාව නම් ඔබ කර ඇත්තේ කලාත්මක නිමැවුමකි. ජය පතමි අරුණි සපීරෝ ඔබේ ඉදිරිපත් කිරීම ඉතා සාර්ථකයි

  2. නිරෝෂිනී said, on අප්‍රේල් 7, 2013 at 4:57 පෙ.ව.

    නොදැන හිටි ගොඩක් දේවල් ඉගෙන ගත්තා…ගොඩක් ස්තුතියි!
    1776 ඇමෙරිකන් නිදහස් විප්ලවය සිදු වුනාට ඒ ඇමෙරිකන් ‘නිදහස’ හැමෝන්ටම හරියටම ක්‍රියාත්මක වෙන්නේ ඊට ගොඩක් කල් ගිහින් නේද? මම අදහස් කරන්නේ කළු ජාතිකයන්ගේ අයිතීන් සම්බන්ධයෙන්…

    අවාසනාවකට ලංකාවේ සියලුදෙනාම නීතිය ඉදිරියේ සමානයන් වෙන දවසක් ගැන නම් හිතන්නත් අමාරුයි 😦
    මිනිස්සුන්ගේ චන්ද ගන්න බෙදා දීම වැඩි වැඩියෙන් සිදු වෙන්නේ. මිනිස්සු හිතන්නේ ඒ දෙන්නේ පාලකයන්ගේ දෙපලින් කියල. ඒ දේවල් දෙන්නේ තමුන්ගේම මුදලින් කියල හිතන්නේ නැහැ. ‘බෙදා දීම’ කිව්වම සහනාධාර වගේම තේරුමක් නැතිව රජයේ රැකියාවන් දීමත් අයිතියිනේ…

    • arunishapiro said, on අප්‍රේල් 7, 2013 at 6:02 පෙ.ව.

      නිරෝෂිනී,

      දැනගන්න ආවාටත් ගොඩක් ස්තූතියි.

      අද ලංකාව විතරක් නොවෙයි ලෝකයේ බහුතර රටවල් ඉන්නෙ බෙදා දෙන ක්‍රමයක. නිෂ්පාදනය සඳහා අවශ්‍ය න්‍යාය ඉදිරිපත් කරන්න නෙමෙයි බෙදා දෙන ක්‍රම හදන්නයි උගත් අයයි කියාගන්නා මහාචාර්යවරු පෙළ ගැහෙන්නෙ. ඉතින්, ඒ ඇමෙරිකන් ‘නිදහස’ අද ඇමෙරිකාවේ ද හරිහැටියකට ක්‍රියාත්මක වෙන්නේ ද නැහැ. අද දුප්පතුන්ට සාධාරණයක් ඉටු කරන්න යැයි කියා ‘දුප්පත්කම යනු මෙච්චරයි’ කියලා තීරණය කරන රජය ‘ධනවත්කම යනු මෙච්චරයි’ කියන අයගෙන් බලහත්කාරයෙන් උදුරලා නැවත බෙදා දෙන ප්‍රතිපත්තියක ඉන්නේ.

      සොරකම

      සියළු කළු වහල් අයගේ අයිතීන් ඔයිට වඩා ඉතා ඉක්මණට ස්ථාපිත වෙන්න තිබිච්ච ඉඩට අවහිරතා වැටුනේ රටවැසියන්ට තිබුණ අකමැත්තක් නිසා නොව බලතණ්හාධික ආණ්ඩුවල ප්‍රතිපත්ති නිසා. ඒත් නිදහස් ප්‍රඥප්තියටත් පෙරතුව, 1619 දී ‘නිදහස් නීග්‍රෝ’ යන්න සත්‍යයක්. එහෙම අය ක්‍රම ක්‍රමයෙන් වැඩි වැඩියෙන් උතුරු පෙදෙස් හි ඇති ප්‍රාන්ත වල ජීවත් වූවා. ඇමෙරිකන් දකුණ වහලුන් වැඩියෙන්ම හිටිය නිසාම සෙමෙන් වෙනස් වූවක්. එහෙත් ආර්ථික සත්‍යයක් තමයි වහලා යනු නඩත්තුවට අධික වැයක් යන දේපලක් බව. ඒ වගේම ආර්ථික සත්‍යයක් තමයි, නිදහස් මිනිසුන් යනු නඩත්තු කරන්නට අවශ්‍ය නැති (යන්ත්‍රයක් කැඩුනාම හදන්න වෙනවා වගේ ලෙඩ වුනාම බලා කියා ගන්න අවශ්‍ය නැති) ඔවුන්ගේ කැමැත්තෙන් හුවමාරු කරගන්නා ශ්‍රමය මිල දී ගෙන නිෂ්පාදනයේ දී නිදහස් මිනිසුන් සහභාගී කරගත්තම වැඩියෙන් ලාභ සෙවිය හැකි බව.

      කළු අයගේ ඉතිහාසය ගැන ඉදිරියේ දී වෙනම ලියන්නම්. දැනට මේවා කියවා නැත්නම් කියවන්න:

      යදම් ගැල වූ ජැන්ගෝ ඩී සයිලන්ට් ය
      රිදී හැන්දක් කටේ ඇතිව උපත ලැබූ නිසා
      පීඩිතයා පීඩනය කරන දීමනා

  3. chandi said, on අප්‍රේල් 8, 2013 at 9:37 ප.ව.

    කළු ජාතික අයිතීන් ඉල්ලා සෑදූ චිත්‍රපට කීපයක් ඉතා සංවේගයෙන් බැලුවා. රූට්ස්, හා කලර් පර්පල් විශේෂයි. නොදන්නා දේ අපට කියා දෙනවාට පින් නංගී.

    • arunishapiro said, on අප්‍රේල් 9, 2013 at 7:35 පෙ.ව.

      chandi,

      චාන්දි අක්කා Roots ගැන දාපු මේ ප්‍රතිචාරය දකින්න ඇතිනෙ.

      ප්‍රබන්ධ සහ වාර්තාකරණය අතර වෙනස හඳුනාගන්න නම් රටේ ලෝකේ සිද්ධ වෙන්නේ මොනවා දැයි දැන සිටින්න ඕනෑ. එහෙම නැති රූකඩයන්ට ලැබෙන්නෙ අනිත් අය අර්ථකතනය කරන දේවල් වලින් සැනසෙන්න. ඒකනෙ චාන්දි අක්කා කොමියුනිස්ට් සහ සමාජවාදී රටවල ඕනෑම සිද්ධියක් පාලනයේ ඉන්න ආණ්ඩුවට ඕනෑ විදියට අර්ථ කතනය කරලා ජනතාවට පිරිනමන්නෙ.

  4. […] විසින් ජනතාව පාලනය කරගන්නා අව්‍යාජ ක්‍රමය* හඳුන්වා දුන්නේ ඇමෙරිකන් ආදී […]

  5. mppgunasinghe said, on මාර්තු 3, 2016 at 7:59 පෙ.ව.

    ඔබේ මේ හරවත් ලිපියට නැවතත් ආවා


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: