අරුණි ශපීරෝ‍ වෙතින්

කාර්මික විප්ලවය යන වහර බිහිවූයේ කොයි රටේ ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 7, 2013

article_f1c9cb21d94a3b23_1343421143_9j-4aaqsk

කාර්මික විප්ලවය ගැන අසා නැති කෙනෙක් ඉන්නවා ද? එහෙත් කාර්මික විප්ලවය යන වහර පටන්ගත් හැටි දන්නා කී දෙනෙක් ඉන්නවා ද?

Anne Bezanson ලියූ The Early Use of the Term ‘Industrial Revolution’ පළ වූයේ 1922 දී ය. අද එම ලිපිය JStor වෙබ් අඩවියේ නොමිලේ ලියාපදිංචි වී කැමති අයෙකුට කියැවිය හැකියි.

තමන් වෙත පිරිනැමෙන තොරතුරු වල සත්‍යයතාවය හා නිවැරදිතාවය සොයන වගකීම බාර නොගෙන රූකඩයෙක් සේ ජීවිතය ගෙවන්නා අනවරතයෙන් ම අනුන්ගේ රූකඩයෙක් ලෙසින් ජීවිතය ගෙවයි. එවිට කලෙකට ඉහත දී ‘මහා බ්‍රිතාන්‍යයක්’ වූ එංගලන්තයට පසු කලෙක ඔලිම්පික් උත්සවයක් පවත්වද්දී ලොවට දායාද කළ විශිෂ්ඨ දේවල් හැටියට පෙන්වන්නට ඉතිරි වන්නේ මුතුන් මිත්තන්ගේ ශ්‍රී විභූතියත් පසු කාලීන බීට්ල් කණ්ඩයාම සහ ජේම්ස් බොන්ඩ් පමණි!!!!!

1905 දී පෝල් මැන්ටූ* ‘කාර්මික විප්ලවය’ යන වහරේ පියා Arnold Toynbee යැයි සැලකීමෙන් සෑහීමට පත් වූවා යැයි ඈන් බිසැන්සන් තම ලිපිය ආරම්භයේ කියයි. 1910 දී හෙන්රි ටී. වුඩ්* ද, මැන්ටූ අනුව යමින් එහි කර්තෘත්වය ටොයින්බී වෙතම ප්‍රදානය කරන ලදැයි පෙන්වන ඇය ඒ කාලයේ දී ඔවුන් කියා සිටියේ ‘කාර්මික විප්ලවය’ යන වහර 1884 දී භාවිතයට ගන්නා ලද්දක් බව පෙන්වා දෙයි.

1914 දී මහාචාර්ය රැපාඩ් (W. E. Rappard) විසින් ඊට කළින් මේ වහර භාවිතයේ තිබුණ බව පෙන්වන ලදි. කාල් මාක්ස් ලියූ දාස් කපිතාල් හි 1867 දී කාර්මික විප්ලවය යැයි භාවිතය ඔහු පෙන්වන ලදි. රැපාඩ් විසින් කාල් මාක්ස් හා ඒංගල්ස් අතර සංවාදයක දී මාක්ස්ට එම වහර අහන්නට ලැබුනේ යැයි සිය පොතේ හඟවයි. ඉතින් මුලින් ම කාර්මික විප්ලවය යැයි මුද්‍රණය වෙන්නේ 1845 දී යැයි කියන රැපාඩ් එහි කර්තෘත්වය ඒංගල්ස්ට පුදයි.

අනතුරුව සමාජවාදී ලේඛකයන්ට එහි නිර්මාණ හිමිකම පමණක් නොව වහර ජනප්‍රියත්වයට පත් කිරීම ගැන ද ගෞරවය ආර්ථික ඉතිහාසය හදාරන අය විසින් පුද කරති. කාර්මික විප්ලව ඉතිහාසය ගැන ලොව බහුතරය මතය එතැන් පටන් ගොඩනැඟෙන්නේ සහ බෙදා හැරෙන්නේ මේ අයගේ දැක්ම අනුවයි.

1922 දී මූලාශ්‍ර සොයා යන ඈන් ට හමුවෙන්නේ ජෝන් ස්ටුවර්ට් මිල් විසින් ඔහුගේ දේශපාලන ආර්ථිකයේ සිද්ධාන්ත සහ ඒවායෙන් කිහිපයක් සමාජයීය දර්ශනයට අදාළ වෙන ආකාරය කෘතියේ පළමු ප්‍රකාශණයේ කාර්මික විප්ලවය* යන වහර 1848 දී ලියා ඇති බවයි. ඒ ගැන සුබවාදී අදහසක් මිල් අතින් එහි ලියැවී ඇත.

1844 දී ප්‍රංශයේ නගර ගැන ලියන විස්තරයක දී Lyons සම්බන්ධයෙන් මේ වහර Guilbert* විසින් භාවිතා කර ඇති බවයි.

ප්‍රංශ විප්ලවයෙන් ඇති වූ වෙනස්කම් සමඟ බිහි වූ වහරක් යැයි ඇය පෙන්වන්නේ, Darnis නැමැත්තාව ය. ඩාර්නිස් 1844 දී ප්‍රංශයේ දේශපාලන ආර්ථිකය ගැන ලියමින් කියා ඇත්තේ වහර 1798 දී ප්‍රදර්ශනයක දී භාවිතා වූවක් හැටියටයි. එම ප්‍රදර්ශනය ප්‍රංශ විප්ලවයෙන් පසු මිනිසාට රැකියා කරන්නට ලැබුණු නිදහසත්, දක්ෂ මිනිසාට අලුත් මාර්ග උදා වූ හැටිත් කියාපාන ජාතික උත්සවයකි. සමහරු සැණකෙලි උත්සවයක් ද, තවත් අය අශ්ව රේස් එකක් ද, තවත් අය චිත්‍ර, මූර්ති යනාදිය ද යෝජනා කරන ලදි. අභ්‍යන්තර කටයුතු ඇමති François de Neufchateau විසින් යෝජනා කර ඇත්තේ කාර්මික ප්‍රදර්ශනයකි. ඩාර්නිස් ලියන්නේ ඒ යෝජනාවට බහුතර ප්‍රසාදය ලැබුණු බවයි.

1829 ජූනි 22 වැනිදා Prosper de Launay විසින් කාර්මික විප්ලවය යැයි භාවිතා කර ඇත.

Le Moniteur Universel හි 1827 අගෝස්තු 17 වැනි දා Journal des Artiste වෙතින් ගෙන නැවත ප්‍රකාශයට පත් කරන ලද ලිපියක මුලින් ම Grande Révolution Industrielle යැයි සඳහන් වී ඇති බවයි. ඒ ලිපිය වැදගත්කමෙන් යුතු වූවකි. එම වහර යොදාගෙන තිබුනේ කලා, කර්මාන්ත සහ සමාජ ආයතන වල සිද්ධ වී ඇති [සුබවාදී] වෙනස විස්තර කිරීමටයි. මේ ශ්‍රේෂ්ඨ කාර්මික විප්ලවයෙන් කලා අංශය කොතරම් [ප්‍රගතිශීලී] බලපෑම් වලට ලක් වූවාද යන්න විමසුම් කරන්නට කර්තෘ ඒ ලිපිය ලියා ඇත.

1819 දී ප්‍රංශයේ රෙදි කර්මාන්තය ගැන ලියන පරිච්ඡේදයක ශෝන්-ඇන්ටුවාන් ශැප්ටල් විසින් වහර සඳහන් කර ඇත.

ඉතින් මාක්ස් සහ ඒංගල්ස් කාර්මික විප්ලවය තමනට කැමති පරිදි නිර්වචනය කර ඊට අලුත් ලේබල් එකක් අලවා එය භාවිතයට ගත්ත ද එය මුලින් ම ප්‍රංශයේ ඉපදුන ලද්දකි. එය 18 වැනි සියවස අග දී භාවිතා වෙමින් තිබි වහරකි. එයට සමාජවාදීන් අතින් ලේබල් ඇලවෙන්නට පෙර කාර්මික සංවර්ධනයක් ආරම්භ වූ යුගයේ පැවති වේගවත් ආර්ථික සහ සමාජයීය දියුණුව ප්‍රකාශ කරන්නට යොදා ගැනුනකි.

ඈන් බිසැන්සන් ලියූ පර්යේෂණාත්මක ලිපිය ලොව විශිෂ්ඨ ආර්ථික ඉතිහාසඥයන් පිළිගත්ත ද, එයට මහජනයා අතර ජනප්‍රියත්වයක් ලබාදෙන්නට ජනමාධ්‍යයන් උත්සාහ නොගත්හ. එසේම එය ලෝකයේ අධ්‍යාපනික ආයතන වලින් ඉගැන්වීමට යොදා ගත්තේ ද ඉතා සුළු පිරිසකි. ආණ්ඩු වලින් ‘නොමිලේ’ හසුරුවන මොළ වලට දැමුනේ මහාචාර්ය රැපාඩ් අනුව ගිය දැක්මයි.

කාර්මික විප්ලවය ගැන මුලින් සඳහනක් කොහේ දැයි විමසීම වැදගත් ඇයි?

කෘෂිකර්මයටත් සත්ව පාලනයටත් පිවිසීමෙන් පසුව මානව වර්ගයාගේ සුබසාධනය කරා වේගවත් දියුණුවක් ගෙන යන ලද්දේ කාර්මික විප්ලවය නිසාය.

ධනවාදී ආර්ථික ක්‍රමයක් බිහි වූ හැටි මෙසේ යැයි කියමින් උගන්වන දෝෂ සහිත සමාජ සහ ආර්ථික අධ්‍යයන සම්ප්‍රදායයක් පටන් ගැනුනු නිසා කාර්මික විප්ලවයේ වැදගත්කම අවතක්සේරුවට පත් වූ නිසාය. එසේ කාර්මික විප්ලවය ගැන ලේබල් ඇලවූ අය වෙතින් විකෘති කරන ලද දැක්ම අනුව ඉගැන්වීම ආරම්භ වෙන හැදියාව තවමත් පවතින නිසාය.

කාර්මික විප්ලවයේ දී ධනවතුන් දුප්පතුන් සූරා කෑ හැටි මෙසේ යැයි විස්තර කරමින් එවක මූලාශ්‍ර සැලකීම බැහැරකට දමා තමනට රිසි සේ මිනිස් ඝාතන මහත් සංඛ්‍යාවකට තුඩු දුන් දේශපාලන විශ්වාසයක් ගොඩනැඟූ වහරක් නිසාය.

* Paul Mantoux, The industrial revolution in the eighteenth century; an outline of the beginnings of the modern factory system in England (1905)
* Henry T. Wood, Industrial England in the Middle of the Eighteenth Century, (1910)
* John Stuart Mill, Principles of Political Economy with some of their Applications to Social Philosophy (1848)
* Guilbert, Histoire des villes de France (1847), vol. v, p. 487 [මම කියවා නැත]

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on අප්‍රේල් 8, 2013 at 12:02 ප.ව.

    පාසැලේ සමාජ අධ්‍යනයට ඉගෙන ගත්තාට පස්සෙ මේ ගැන ලිපියක් කියෙව්වාමයි. ගොඩාක් නොදන්නා දේ දැනගත්තා. මම හිතා හිටියෙ එංගලන්තයේ තමා පටන් ගත්තෙ කියලා. ඒත් අපේ රටේ ඔය කාටත් කලින් විශ්වකර්ම වැඩ කල බව දන්නෙ කීයෙන් කීදෙනාද? ඒ කවුරුත් ඔය වචනේ ආවේ කොහෙන්දැයි හිතුවේම නැතිව ඇති.

    • arunishapiro said, on අප්‍රේල් 8, 2013 at 1:54 ප.ව.

      Chandi,

      ඔව්, එංගලන්තයෙන් බව තමයි (Toynbee) කාර්මික විප්ලවය වහර ආවා යැයි බහුතර සමාජ අධ්‍යයන පොත් වල ලියැවෙන්නෙ. ඒ ඉතිහාසයට අර්ථ කථනයක් දුන්නේ සහ ලෝකය පුරා ධනවාදය ගැන ලියැවෙන්නේ කොහොම ද යන්න මෙහෙය වූයේ එංගලන්තයේ ෆේබියන් සමාජයේ (Fabian Society) අනුගාමිකයන් නිසා. ඒ ගැනත් කවදා හරි ලියන්න ඕනෑ.

      මුතුන් මිත්තන් කරපු විශ්ව කර්ම වැඩ ගැන කතා කර කර ලංකාවේ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය නම් දැන් අන්තිමට බැහැගෙන යන බවයි පේන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: