අරුණි ශපීරෝ‍ වෙතින්

කපු කටින ඇන්ජිම ස්පිනින් ජෙනී වෙච්ච හැටි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 11, 2013

300px-Spinning_jenny

අතින් එක එක බැගින් නිම කරන භාණ්ඩ වෙනුවට යන්ත්‍රානුසාරයෙන් විසාල භාණ්ඩ සංඛ්‍යාවක් නිර්මාණය පටන් ගැනීම කාර්මික විප්ලවයයි. එය ආණ්ඩුවක සැලසුමක් නොවීය. එවැන්නක් හටගෙන ඇතැයි ආණ්ඩුවේ අය සහ සෙසු මහජනතාව හඳුනා ගත්තේ එය ඇරඹී සමාජය වෙනස් වෙන්නට පටන් ගෙන කාලයක් ගියාට පසුව ය.

කාර්මික විප්ලවයේ ආරම්භයට තුඩු දුන් හුමාල බලයෙන් වැඩ ගැනීම, යකඩ නිර්මාණයට නව ක්‍රම සොයා ගැනීම හා සමානව සබැඳි වූ නවෝත්පාදනයක් වූයේ රෙදිපිළි කර්මාන්තයේ කපු ඇට හරින යන්ත්‍රයයි (cotton gin). එය නිර්මාණයත් සමඟ කපු වලින් ඇට වෙන් කිරීමේ නිමැවුම් ප්‍රමාණය පනස් ගුණයකින් වැඩි කරන්නට හැකි වුණි. වේගබල යන්ත්‍රය (power loom) නිර්මාණයත් සමඟ එක සේවකයෙක් අතින් නිපැද වූ නිමැවුම් ප්‍රමාණය හතළිස් ගුණයකින් වැඩි විය. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වූ කපු කටින මැෂින් එක දිව්වේ හුමාලයෙන් හෝ වතුර බලයෙනි. එයින් එක් අයෙක් නිපැද වූ නිමැවුම් ප්‍රමාණය දහස් ගුණයකින් වැඩි විය.

නමුත් ඒවා බිහිවෙන්නට පෙර රෙදිපිළි කර්මාන්තය මහා පරිමානයෙන් සිද්ධ වන්නට පා තැබූ පළමු සහ අති වැදගත් පියවර යැයි සැලකෙන්නේ කරකැවෙන ජෙනී (spinning jenny) යනු නූල් රෝද කිහිපයක් එකවර ඔතන්නට හැකි යන්ත්‍රයයි. එය 1764 දී නිර්මාණය කරන්නේ එංගලන්තයේ ලැන්කශර් හි ජේම්ස් හාග්‍රීව්ස් විසිනි. ඔහු රෙදි වියන්නෙකි. වඩුකාර්මිකයෙකි. ඔහු වාසය කළ ඔස්වොල්ඩ්විසිල් පන්දාහක් පමණ වැසියන් වූ ටවුමකි. පළාතේ කර්මාන්තය වූයේ ලිනන් වලින් දිග අතට ඇදෙන නූල් සහ කපු වලින් හැදෙන හරස් වියුම යොදා බ්ලැක්බර්න් ග්‍රේස් (blackburn greys) නම් රෙදි නිෂ්පාදනයයි. ඒ රෙදි වලට පාට වලින් මෝස්තර දාන්නට ලන්ඩනයට යැවුනි.

ඇමෙරිකා මහාද්වීපයේ පදිංචියට ගිය බ්‍රිතාන්‍ය වැසියන් හා වෙළඳ ගණුදෙනු වලින් එංගලන්ත වාසීන් සහ සෙසු යුරෝපීයයන් ගේ පොකැට්ටු පිරී ගිය කාලයකි එය. කපු නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ලොව ඉහළ ගිය සමයකි.

17 වැනි සියවසේ දී එංගලන්තය වූල් රෙදිපිළි (woolen, worsted) වලට ප්‍රසිද්ධ වූ රටකි. වූල් රෙදිපිළි කර්මාන්තයේ නියැලී සිටියවුන් තම ජීවිකාව ආරක්ෂා කරගන්නට රජයට බලපෑම් කළ අයයි. එසේම, ඊස්ට් ඉන්දියා කොම්පැණියේ ආයෝජනයන් කළ ආණ්ඩුවේ නිලතල දරනා අය ද, තමන්ගේ පොකැට්ටු වැඩියෙන් පුරවා ගැනීමට වානිජ රෙගුලාසි ගෙනෙන ලදි. හින්දුස්ථානයෙන් අඩු මිලට ගෙන්වන ලද කැලිකෝ රෙදි එංගලන්තයේ ජනප්‍රිය විය. එහෙත් වූල් රෙදිපිළි කර්මාන්තයේ යෙදී සිටියවුන් ඊට කැමති වූයේ නැත.

පිටරටෙන් අඩු මිලට බඩු ගෙන්වා තමන්ට ඒ බඩු සමඟ තරඟයකට මුහුණ දෙන්න සිද්ධ වුනාම තම කාර්යක්ෂමතාව හා තම භාණ්ඩයේ අගය වැඩි කරගත හැකි යැයි ඔවුන් වටහා ගන්නේ තව කාලයක් ගියාට පසුවයි.

ඉතින් රෙදි කර්මාන්තකරුවන් ඉන්දියාවෙන් කැලිකෝ රෙදි ගෙන්වනවාට අකමැත්ත ප්‍රකාශ කළහ. රටේ වැසියන්ගේ චන්ද නොමැති වුනාම මැතිවරණ දිනන්නට නොහැකි නිසා, 1700 දී පාර්ලිමේන්තු පනතකින් ඉන්දියාවෙන්, චීනයෙන්, පර්සියාවෙන් ඩයි දමන ලද හා පින්තාරු කරන ලද කැලිකෝ රෙදි ගෙන්වීම නැවතෙන සේ පනතක් සම්මත විය. මෙයින් අමු රෙදි ආනයනය වැඩිවිය. ඒවා දකුණු එංගලන්තයේ දී, ඉහත කියූ ලැන්කශර් අය හැදූ රෙදි පින්තාරු කරන ලද පැතිවල දී ම මෝස්තර දැමිණ.

වූල් කර්මාන්තකරුවන් තම කර්මාන්තය ආරක්ෂා කරගන්නට තවත් නීතියක් පාස් කරගත්හ. ඩයි දමන ලද හෝ පින්තාරු කරන ලද කැලිකෝ රෙදි ඇඳීම රටේ තහනම් කියාය.

එහෙත් වෙළඳපොල ඉල්ලුම සපුරාලන්නට වූල් රෙදිපිළි කර්මාන්තකරුවන් සමත් නොවූහ. හොරෙන් බඩු රටට ඇතුළු විය.

ආණ්ඩුව නැවතත් මැදිහත් විණ. 1736 දී මැන්චෙස්ටර් පනත විසින් ඩයි දමන ලද කපු හරස් වියුම් සහ ලිනන් දිග අතට ඇදුන නූල් වලින් නිමැවුන රෙදි පාවිච්චියට ඉඩ දෙන ලදි. එයින් කෘතීම ඉල්ලුමක් ඇති කර ඊස්ට් ඉන්දියා කොම්පැණිය පිටරටවල් වලින් කිලෝග්‍රෑම් මිලියනයකට අධික සංඛ්‍යාවක් කපු-වූල් ආනයනය කළහ.

1720 ට පෙර අතින් රෙදි වියන්නා දිනපතා තම අසල්වැසියන් සොයා ගොස් ඔවුන් නිපැද වූ හරස් වියුම් වලට දමන කපු නූල් මිල දී ගන්නේය. හරස් වියුම් සඳහා කපු නූල් හැදීම නිවසේ එකම ආදායම් මාර්ගය ද වූ අවස්ථා තිබුණි.

පැන්ස දහඅටක හරස් වියුම් කපු නූල් රාත්තල් 12 ක් හදන්නට දවස් 14 ක් වැය වුණි. එයට වේතන වශයෙන් ලැබුනේ සිලිම් 36 කි.

ශ්‍රම විභජනයක් මෙසේ ඕපපාතිකව ආරම්භ වී තිබිණ.

ජේම්ස් හාග්‍රීව්ස් කල්පනා කළේ වැඩියෙන් නූල් ඉක්මණින් හදන්නේ කෙසේද කියාය. ඔහුගේ නූල් හදන යන්ත්‍රය ඔහු රහසිගතව තියාගත්ත ද, නූල් වැඩියෙන් නිෂ්පාදනයට ඉක්මණින් හැකිවීම නිසා පළාතේ නුල් මිල පහළ ගියේය!!!!!

අනිකුත් නූල් හදන්නෝ ඔහුගේ නිවසට පැන යන්ත්‍රය කඩා බිඳ දැමූහ. නොටිම්හම් බලා 1768 දී ඔහු පළා ගියේය. එහි දී මිස්ටර් ශිප්ලි යන්නෙකු සමඟ රහසිගතව යන්ත්‍ර හදා විකුණන ව්‍යාපාරයක් හේ පටන් ගත්තේ ය.

නූල් හදන්නට යන වෙහෙස සහ කාලය අඩු කරගන්නට ඒ නිසා නූල් කර්මාන්තකරුවාට හැකිවිණ. එයින් ශ්‍රමිකයාට එකවර නූල් රෝද අටක් හදන්නට හැකි වූ තාක්ෂණය පසුව නූල් රෝද 120 දක්වා වැඩි කරගත හැකි විය.

නිෂ්පාදනයන් දිරිමත් කරන්න යැයි කියා රජයක් පාරවල් හැදුවේ නැත. ඒ නූල් අශ්වයන් පිට පටවා ගෙන අතු පාරවල් වලින් ගම්මාන මැද්දෙන් කැලෑ මැද්දෙන් එවක තිබූ සංකීර්ණ මාර්ග පද්ධතියක් තුලින් ඒවා ගමෙන් නගර වලට ප්‍රවාහනය විය. නිෂ්පාදනය වැඩි වී කපු රෙදි මිල ගණන් අඩු වී රටේ ජනතාව පහසු මිලට විළිවසා ගන්නට හැකියාව ලැබී ඇතැයි ආණ්ඩුව දකින්නේ කාලයක් ගිය පසුවයි.

වැඩි කාලයක් යන්නට මත්තෙන් හාග්‍රීව්ස්ගේ යන්ත්‍රය අනුකරණයෙන් කොපි කැට් යන්ත්‍ර ද බිහිවිණ.

ජේම්ස් හාග්‍රීව්ස් නිසා එංගලන්තය මහා පරිමානයෙන් නූල් හදන ලෝක ප්‍රමුඛයා විය.

මේ යන්ත්‍රය ගැන කියද්දී, ඔහුගේ දියණියක් හෝ භාර්යාව විසින් ඔහු හැදූ කපු කටින යන්ත්‍රයක් උඩට ඇද වැටුන නිසා ඇයගේ නම එයට වැටුනා යැයි බහුතරයක් සිතති. එසේ වැටිච්චි කල යන්ත්‍රය නොනැවතී වැඩ කරතත් දැන් එහි නූල් කැටීමේ ඉද්ද උඩට හැරී තිබුණා යැයි ද, හාග්‍රීව්ස් විසින් එය හරහට තිබිය යුතු යැයි කියා නියමයක් නැතැයි දැක නූල් කැටීමේ ඉද්ද කිහිපයක් එක දිගට තබා නවොත්පාදනය කළා යැයි ද කටකතාවේ කියැවේ.

එහෙත් මූලාශ්‍ර සොයා ගිය අයට ඔහුට දියණියන් කිහිප දෙනෙක් සිටියත් ඒ කිසිවෙක් හෝ භාර්යාවට ද ජෙනී යැයි නමක් නොවූ බව සොයාගත හැකි විය.

වඩා විය හැකි වූ පැහැදිලි කිරීම නම් ‘ජෙනී’ යන්න ‘ඇන්ජිම’ යැයි කියන්නට යොදාගත් කෙටි වචනයක් කියාය!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on අප්‍රේල් 11, 2013 at 9:30 පෙ.ව.

    Harima agei kapu katina yanthare gana dana ganna labuna eka. hitha thadin adee giya“ Nispadanayan dirimath karanna yai kiya rajayak parawal haduwe natha“Thanks Aruni.

  2. […] වියන්නාගේ පියාඹන තසරය (flying shuttle), සහ 1764 දී ජේම්ස් හාග්‍රීව්ස් නම් රෙදි වියන්නාග… යනාදිය හේතුවෙන් එකින් එක හදන භාණ්ඩ […]

  3. […] ද ලෝකයේ ඕපපාතිකව සිද්ධ වූ අපූරු කාර්මික විප්ලවය හඳුනාගැනීමට ඉඩක් නොලැබී […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: