අරුණි ශපීරෝ‍ වෙතින්

ඔය කියන නිදහස දුන්නොත් මුන් හරක් වගේ හැසිරේවි!!!!

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 12, 2013

IMG_5232

මිනිස්සු හරිම ආත්මාර්ථකාමීයි, කුහකයි, දුෂ්ටයි, නපුරුයි. මිනිසා එසේ යැයි ලේබල් ගහන මිනිසුන් කැමති දරදඬු ආණ්ඩුවක් ලවා හැමෝවම යහපත් මිනිස්සු කරවන්න. ඒ අයට අමතක වෙන වැදගත්ම කාරණය තමයි ඕනෑම ආණ්ඩුවකට පත්වෙන්න ඉන්නෙත්, අනිත් මිනිස්සුන්ට නීති ගෙනෙන්න හා ක්‍රියාත්මක කරන්න ඉන්නෙත් මිනිස්සුම බව. ආණ්ඩුවක මිනිස්සු කියන්නෙත් රටේ ජනතාව කියන්නෙත් එකම මිනිස් වර්ගයා බව.

ඒ නිසාම ඒ අයට වැටහෙන්නෙ නැහැ එක කොටසකට අනෙක් කොටසට වඩා වැඩියෙන් බලය දුන්නාම හැම විටම සිද්ධ වෙන්නේ බලය වැඩි අය බලයෙන් අඩු අයව පීඩනයට පත් කරන එක බව.

ඒත් එහෙම වැටහෙන්නෙ නැහැයි කියන අය හැබැයි ඇමෙරිකන් ආණ්ඩුව තම බලය ලෝකෙටම පෙන්වනවා කියන චෝදනාව නිතර කරනවා. ඒත් ඇමෙරිකන් ආණ්ඩුවට එහෙම බලපුළුවන්කාරයෙක් වෙන්න ආර්ථික ශක්තිය ලැබුනේ ඇමෙරිකන්කාරයන්ට දුන් නිදහස නිසා නේද යැයි සොයා බලන්නෙ නැහැ. මොකද ඒක ඇත්ත යැයි දැනගත්තොත් ඒකට තමන්ගෙ රටේ අයටත් ඉඩදෙන්න වෙන නිසා වෙන්නැති!!!!!

පෙන්වන්න බලයක් නැතත්, සුපිරි බලවත් ඇමෙරිකාවට පුස් පාට් දාන අයට ඔවුන් හරි කැමතියි. 😀

ඒත් ඒ ඇමෙරිකාවට පුස් පාට් පෙන්වන අයට කැමති අය, තමන්ගෙ රටවල ඉන්න බලය නැති අයට තමන්ට පුස් පාට් දාන්න අයිතියක් දෙන්න නම් කොහෙත්ම කැමති නැහැ. තමන්ගෙ රටේ මිනිස්සු ඉන්න ඕනෑ දරදඬු ආණ්ඩුවකින් පාලනය වෙන විනය ශික්ෂණය ඇති යහපත් මිනිස්සු විදියට. ඒත් ඔක්කොම මිනිසුන් එක විදියට නෙමෙයි, දරදඬු පාලකයන් සහ එයාලගේ ළඟම කට්ටිය විනයෙන් සහ ශික්ෂණයෙන් නිදහස්. මොකද එහෙම නිදහස් වුනේ නැත්නම් එයාලට බැහැල්ලු වැඩේ හරියට කරන්න!!!!

485300_10151540974151489_744482240_n

ලෝකෙ එහෙම කරන්න හැකිවෙච්ච රටක් මුළු ඉතිහාසයේ ම නොතිබ්බාට කමක් නෑ. ඇයි කාටවත් බැරි වුනාට ඒ අය කියන්නෙ එයාලට පුළුවන් කියලානෙ!!!!

රටේ සියළු මිනිස්සු (ආණ්ඩුවේ ඉන්න අයත් ඇතුළුව) එකම මිනිස් සිතුම් පැතුම් වලින් නොවේ යැයි චින්තනය පටන් ගත්තේ මෙහෙමයි.

“19 වැනි සියවස මැද වෙන තෙක් ලෝකයේ චින්තනය වූයේ මිනිස් මනසේ තාර්කික සැකසුම හැමෝටම එක විදියට පිහිටා ඇති බවයි. සියළු මිනිස් සබඳතා සිද්ධ වූයේ ඒ අනුව. මිනිසුන් එකිනෙකා හමු වී කතාබස් කරද්දී, අදහස් හුවමාරු කරගනිද්දී, පාසැල් අධ්‍යයන කටයුතු කරද්දී යොදාගන්නා තර්කය ගැන වෙනස් ආකල්පයක් එකල ලොව නොතිබිණ. සියළු දාර්ශනිකයන් සේ ම, සියළු සාමාන්‍ය ජනතාව ද තර්කය ගැන දැන සිටියේ එසේ ය.

එහෙත් 19 වැනි සියවස මැද දී කාල් මාක්ස් විසින් වෙනත් දැක්මක් ගෙනෙන ලදි. ඔහු එයින් කියා සිටියේ පංති අනුව මනසේ තාර්කික සැකසුම වෙනස් බවයි. මිනිස් මනස සත්‍යය සොයාගන්නට දන්නේ නැහැ. මිනිස් මනස සොයාගන්නට දන්නේ අයිඩියලොජියක් පමණයි. අයිඩියලොජියක් යනු එක පංතියක ඉන්නා සියල්ලන්ටම යමක් සත්‍යයක් සේ පෙනී යද්දී තවත් පංතියක ඉන්නා අයට එහි අර්ථයක් නැතිවීම.

ඉතින් මාක්ස්ට අනුව හැම පංතියක්ම තම තමන්ගේ අයිඩියලොජියක් හදාගන්නවා. ඒ අයිඩියලොජියෙන් අනෙක් පංති හදාගන්න අයිඩියලොජි බිඳ දමනවා.

මෙහෙම කියපු කාල් මාක්ස් මුලින් ම කළේ ජොන් ලොක් ගේ දර්ශනය “බුර්ජුවාසී දර්ශනයක්” යැයි ලේබල් කිරීම. පසුකාලීන මාක්ස්වාදීන් ආතර් ශෝපන්හවර් ගේ දර්ශනය කුලී පංතියේ (rentier class) දර්ශනය යැයි ද නීට්ෂේ ගේ දර්ශනය ලොකු ව්‍යාපාර දර්ශනය යැයි ද ලේබල් කළහ.”*

ඊට කළින් තිබ්බ දැක්ම, එනම් හැමෝටම එක විදියට තර්ක කරන්න හැකි මිනිස් මනසක් තියෙනවා කිව්වම, ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ අයෙකුගේ දැක්ම අනෙක් අය පිළිගත යුතු යැයි කියා. එයින් අදහස් වුනේ සියළු මිනිසුන්ට එක සේ පිහිටා ඇති ගති ලක්ෂණ තුල වෙනස් වෙනස් විදියට ලෝකෙ දිහා බලලා අර්ථකථන දෙන්න හැකියාව තියෙනවා කියල විතරයි.

ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිද්ධාර්ථ ගෞතම කියා දුන් ධර්මය සුනීත සෝපාක වගේ අයටත් අවබෝධ වුනා. හැබැයි ඉතින් ආගම අබින් කියලා ලේබල් කළාම ධර්මය ගැන අවබෝධයක් පංති භේදයකින් තොරව ලැබුණ කියන එක ගැන සංවාදයක් නැතිව පැත්තකට විසිකරලා දාන්න පුළුවන්.

නිදහස යනු තමන්ට බලහත්කාරකමක් නොකරද්දී අනුන්ට ද බලහත්කාරකමක් නොකරන එක. තවත් විදියකින් කිව්වොත් සමාජවාදී වෙන්න කැමති අය එහෙම කැමති අනිත් අය එක්ක සමාජවාදී විදියට හිටියාට කමක් නෑ, එහෙම අකමැති අයට බලහත්කාරකම් කරන්නෙ නැතිව.

වංචාව දූෂණය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ක්‍රමයක් ලොව නැහැ. මිනිසුන් අතර වධකයන් ද සිටිනා බැවින් සියල්ලන්ටම නිදහස ප්‍රදානය කරද්දී අවදානමක් හටගන්නවා. ඒ අවදානමෙන් ගැලවෙන්න මාර්ග තනිවම දියුණු කරගන්නත්, තමන් දන්න දේවල් වලින් අනුන්ගේ සහායට උපකාර වෙන්නත් පුළුවන් විදියට සකස් වී ඇති මොළයක් ඇත්තේ මිනිසාටම පමණයි.

මනසේ තාර්කික සැකසුම හැමෝටම එකසේ පිහිටා නැතැයි කියන විකෘති දැක්මෙන් ලැබෙන්නෙ මෘගයන් වැනි මිනිසුන් වෙතින් අහිංසකයන් බේරා ගන්නට යැයි කියා පාලක නායක පංතියකට දරදඬු පාලන බලයක් පැවරීම. මිනිසුන් අතර වධකයන් සිටිනවා නම් නායකයන් පාලකයන් අතර වධකයන් නැත්තේ කොහොම ද? මිනිසුන්ට ඇති නිදහස කප්පාදු කර නායකයන්ට පාලකයන්ට වැඩි බලයක් පැවරීමෙන් එවිට සිද්ධ වෙන්නේ කුමක් ද?!!!!!

* Ludwig von Mises විසින් 1942 දී කරන ලද Economics and Politics දේශනයෙනි. මෙය පළවෙන්නේ Jörg Guído Hülsmann ලියූ Mises: The Last Knight of Liberalism (2007) පොතේ.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on අප්‍රේල් 12, 2013 at 9:11 පෙ.ව.

    මිනිසා උපතින්ම පින්වන්තයෙකි. බෞද්ධ විශ්වාසයයි.. ධර්මදේශනා කරන භික්ෂූන්වහන්සේ ඕනෑම කෙනෙකුට අමතන්නේ “පින්වතාණනි, පින්වත,පින්වත්නි, පින්වත, වැනි ව්‍යවහාරයන් මගිනි.මිනිසා උපතින්ම නිර්මල පුද්ගලයකු බවත් අධ්‍යාත්මය ඉතාම නිර්මල දැයක් බවත් , පින් රැස්කළ හැකි එකම සත්වයා වන්නේ ද මිනිසා පමණි යන්න ද බෞද්ධ මතයෙන් ප්‍රකාශ වේ. මිනිසා දෙස ධනාත්මක දෘෂ්ටියකින් බැලිය හැක්කේ ඔබතුමිය මීට පෙර ලියන ලද මෛත්‍රෙය තේමාව කරගත් ලිපියෙන් පැවසෙන තත්ත්වය ලෝකයාට අවධාරණය වීමෙන් බව මා තුළ ඇති විශ්වාසයයි. නිදහස දීමට විරුද්ධ වන්නන් ගේ මිනිසා පිළිබඳ දැක්ම කුමක්දැයි විමසීම ද වැදගත් වියහැකියි නේද ?

    • arunishapiro said, on අප්‍රේල් 12, 2013 at 9:23 පෙ.ව.

      mppgunasinghe,

      ඔව්, නිදහසට විරුද්ධ වන්නා ගේ දැක්ම කුමක් දැයි විමසීම අති වැදගත්!!!!

      කුරුස යුද්ධය මතක් වුනා. එවැනි භීෂණ යුගයක් බිහිවෙන්නේ නිදහස කුමක් දැයි තීරණය කරන්නට බලය යම් පිරිසක් අතට දුන්නාම.

      මේක කැමති නම් කියවන්න: අපි පව්කාරයන් ද?

  2. YASITH (dot) NET said, on අප්‍රේල් 12, 2013 at 10:09 පෙ.ව.

    මිනිසා යනු මනසින් උසස් සත්වයෙකු නොවේ…
    මනස උසස් තත්වයට පත්කරගත හැකි සත්වයෙකි 🙂

    • arunishapiro said, on අප්‍රේල් 12, 2013 at 10:13 පෙ.ව.

      YASITH (dot) NET,

      හරියටම හරි!!!

      මිනිසා උපදින්නේ ඒ හැකියාව ඇතිව පමණයි. එය උසස් කර ගැනීම හෝ නොගැනීම උපදින සමාජ පංතියට අනුව නොව ඒ ඒ මිනිස් සත්වයාට අනුව සිද්ධ වෙයි.

  3. Raj said, on අප්‍රේල් 12, 2013 at 11:19 පෙ.ව.

    නිදහස සහ බලය නියමා කාරයට පාවිච්චි නොවුනොත්, හරියට කිරි වලට පැනි වැඩි උනහම දිවට දැනෙන තිත්ත රහවගේ හරි අජූවයි… දැනුවත් කිරිමට බොහොම ස්තුතී

  4. Naleen Dilruksha said, on අප්‍රේල් 12, 2013 at 1:24 ප.ව.

    බ්ලොග් යනු නොමිලේ අප ලද දායාදයකි. ඒත් ඒ දායාදය තුළ මා ගැන අනෙක් බ්ලොග් තුළ ලියැවුණ් දේ කියවා හිරිමල් විය පැන්න මගේ ලොකු දුව මට එරෙහිව අවි අමෝරයි නම් වැරැද්ද කොතැනද?අවුරුද්ද උදාවේ අන්ත අසණව දැමු කොමෙන්ටුවක්.

    • arunishapiro said, on අප්‍රේල් 12, 2013 at 1:58 ප.ව.

      Naleen Dilruksha,

      අනිත් අය ලියන දේවල් නවත්වන්න/වෙනස්කරන්න/ආචාරශීලී කරන්න හැකි වූවෙක් ලොවෙත් නෑ කියලා හනිකට දුවට කියලා දෙන්න. 😀

  5. w.m.k.Samarasekara said, on අප්‍රේල් 12, 2013 at 7:27 ප.ව.

    “ක්‍රි. පූ. 6 වැනි සියවසේ සිද්ධාර්ථ ගෞතම කියා දුන් ධර්මය”
    ——————————
    ලිපීයේ වැදගත් කරුණු තිබුනත් ශාස්තෘන් වහන්සේ කෙනෙකුට මෙහෙම අමතන්න උදච්ච කම හැර වෙන උත්තරයක් ඔබ ළඟ තියෙනවාද කියා ගැන ගන්න කැමතියි. සාමාන්‍ය සිංහලයෝ ගරු කලයුතු අයෙකුට ගරු කරන්නේ ඒ දර්ෂණයන් තමන් විසින් පිලි ගෙන නෙමෙයි. ඔවුන් යේසුස් වහන්සේ කියන්නේ, නබිතුමා කියන්නේ එම දර්ශනයන් පිළිගෙන නෙමෙයි.ඔබ ඒ සාමාන්‍ය සිංහල මානසිකත්වයෙන් මිදුණු යෙක්ද?

    • arunishapiro said, on අප්‍රේල් 12, 2013 at 8:42 ප.ව.

      w.m.k.Samarasekara,

      ධර්මය යන්නේ අර්ථයට ඉගැන්වීමක්, අයිඩියලොජියක් යනාදිය ද ඇතුලත් නිසා පංති භේදයකින් තොරව වටහා ගත හැකි වූ ධර්මයක් කියා දෙන්න හැකි වූවා යැයි එය එසේ උගන්වපු අයගේ නමින් ම ඒ ගැන සඳහන් කළේ උවමනාවෙන්මයි.

      තව දුරටත්, මෙම සටහනේ මාතෘකාව නිදහස ගැන වූ නිසා උවමනාවෙන්මයි එහෙම ලිව්වෙ. අයිඩියලොජියක් කියා දුන් අයව නමෙන් සඳහන් කිරීමට දැන් සිංහලෙන් ලියද්දී නිදහසක් නැද්ද? නමෙන් හඳුන්වන එක සිංහලයන් අතර අගෞරවයක් ලෙසින් සැලකෙන්නට පටන් ගත්තේ කවදා පටන් ද?

      ආගමික ශාස්තෘවරයෙක් ලෙසින් සඳහන් කරද්දී මම බුදුරජාණන්වහන්සේ යැයි මෙතැන, මෙතැන, මෙතැන, මෙතැන, මෙතැන මෙතැන, ලියා තියෙනවා!!!

      අනික, සිද්ධාර්ථ ගෞතම යැයි නමින් සඳහන් කළ පමණින් ආගම හෝ ශාස්තෘවරයාව අගෞරවයට පාත්‍ර කරන්න පුළුවන් යැයි මම ඉගෙන ගත් බෞද්ධ ධර්මයේ නම් කොතැනක වත් සඳහන් නැහැ. ගරු කළ යුතු හා පිළිපැදිය යුතු බෞද්ධ දර්ශනය කුමක් දැයි මෙහෙම ප්‍රශ්න අහන ඔබ දන්නවා දැයි මට සැකයි.

      අවසානයට, ඔව් මා සාමාන්‍ය සිංහල මානසිකත්වයෙන් මිදුනේ නම් ඉතා පුංචි කාලේ දී ම යි!!!! සමාජවාදී සමාජයක හැදී වැඩී එම අයිඩියලොජිය කිසිවිටෙක පිළිනොගත් මම කාල් මාක්ස්ට වැරදුන බවත් සිද්ධාර්ථ ගෞතම නිවැරදි බවත් ඔප්පු කරන්නට නිති වෙහෙසෙමි!!!

      • ineshwickramaraja said, on අප්‍රේල් 16, 2013 at 12:34 පෙ.ව.

        ඔබේ පිලිතුරෙන් මගෙ සිත කුල්මත් විය,උදේ හවස කිය කිය වදින ගාථාවෙ තෙරුම නොදන්නා,රැල්ලට සාදු කියන බහුතරයකට,දුන් සාධාරණ විශිෂඨ පිලිතුරකි,

  6. Naleen Dilruksha said, on අප්‍රේල් 12, 2013 at 10:49 ප.ව.

    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා…..
    මම සමකය වටේ ලියන නලින්

  7. සමන් said, on අප්‍රේල් 16, 2013 at 12:50 ප.ව.

    අපේ රටට ( ලංකාවට ) සුදුසුම ආර්ථික සමාජීය ජීවන ක්‍රමය කුමක්ද කියන මූලික ප්‍රශ්නය ට අරුණි ට පිලිතුරක් තියනවා ද?නිදහස් වෙලදපොල ආර්ථික ක්‍රමයක්, ලිබරල් දේශපාලන ක්‍රමයත්, අතිදක්ෂ දෙශ්පාලකයෙකු විසින් ලංකාව තුල ස්ථාපිත කිරීමට උත්සාහ කරොත්,සාර්ථක වෙයි ද? මිනිසා හිතන පතන විදිහ තීරනය මූලිකවම ( හෝ වැඩි ප්‍රතිශතයක් ) ඔහු හෝ ඇය ඔවුන්ගේ අතීතයෙ නිර්මානයක් නොවේ ද?1776 සිටි ඇමරිකානු මිනිසා, ඇමෙරිකානු බිමේ අවුරුදු 200-300 අතීතයක් ඇති, යුරොපයෙ සිට නව ජීවිතයක් සොයගෙන නොදන්න බිමකට ආ නිර්භීත ක්‍රිස්තියනියානු වන්ගෙන් , හෝ බලෙන් අප්‍රිකාවෙ සිට වහල් කමට බලෙන් ගෙනැවිත් අතහරිනු ලැබූ මිනිසුන්ගෙන්, හෝ විවිධ වෙනත් හේතු මත ඇමරිකාවට ආ මිනිසුන්ගේන් නිපදවනු ලැබූවෙකි.මේ ඇමෙරිකානුවාට ජෙෆර්සන් ගේ සූත්තරය ගැලපීම අන්ය සමාජ වලටත් සාධාරණ වේද?සිමොන් බොලිවාර් මෙය විස්වාශ නොකලෙකි, ( එයම අද දකුණු ඇමරිකනු තත්වයට හේතුව දැයි මම නොදනිමි . http://en.wikipedia.org/wiki/Sim%C3%B3n_Bol%C3%ADvar ).1815 දී අප ඉන්ග්‍රීසීන් ට යටත් වන විට සිටි සිංහලයා ( සිංහල රටේ මිනිසා ) ම නොවේද අද ඉන්නෙත් ? ( වෙනස්කම් සහිතව ). මේ හෙතුව නිසාම නොවෙද අපෙ රටෙ සමාජවාදය හෝ ලිබරල් වාදය සාර්ථක නොවුනේ. උදාහරණයක්. දැනටත් අපෙ රටෙ සම්මුඛ පරීක්ෂන වලදී your salary expectation ?..ප්‍රශ්නයට පිලිතුරක් ලබාගැනීම අමාරුයි.තරුණ උගත් ඉන්ජිනේරු උපාධි ලාභීන් ගෙන් පවා. සල්ලි වලට කැම්ති නැති නිසා නෙමේ. එක තමා අපේ විදිහ ( මම් කිසිදා මේ හැසීරීම වැරදි ලෙස නොදකිමි ).මෙ යතාර්ථය තේරුම් ගත්, සමාජ ආර්ථික ක්‍රමයක් නෙමෙද අපට ඕනි ?

    • arunishapiro said, on අප්‍රේල් 16, 2013 at 5:02 ප.ව.

      සමන්,

      ලෝක ස්වභාවයට සහ මිනිස් ස්වභාවයට ගැලපෙන එකම ආර්ථික සමාජීය ජීවන ක්‍රමයක් පමණයි ලෝකයේ තියෙන්නෙ. ඒ නිදහස් වෙළඳපොල යන ආර්ථික ක්‍රමයෙන් සහ ලිබටේරියන් (ලිබරල් කිව්වාම අවුල් මොකද එය නොයෙක් විදියට නිර්වචනය වී ඇති නිසා) කියන දේශපාලන ක්‍රමයෙන්.

      අති දක්ෂ දේශපාලකයෙකු අවශ්‍ය නැහැ සමාජයක ඒ දෙක ඇතිවෙන්නට. සමාජයක වාසය කරන සියළු මිනිසුන්ගේ සහ ස්වභාව ධර්මයේ ද සුව සෙත සැලසෙන්නේ එයින් පමණක් යැයි කියා බහුතර මිනිස් කොටසක් විසින් අවබෝධයක් ලැබුවාම එය ඔවුන් විසින් තමන්ටත් අනුන්ටත් සාක්ෂාත් කරගන්නවා.

      මෙතෙක් කාලයක් සිද්ධ නොවූයේ මෙතෙක් කාලයක් දැනුම බෙදා හරින මාර්ග සතු වූයේ රජයට, රජයේ පාසැල් වලට, රජයේ මාධ්‍ය වලට. එහෙම නොවුනු කාලයක වසර 150 කට ආසන්නව ඇමෙරිකාවේ එවැනි දේශපාලන ක්‍රමයක් සහ එවැනි ආර්ථික ක්‍රමයක් තිබුණ. අද අපිට දැනුම බෙදාහරින සම්ප්‍රදායික පද්ධතියෙන් බැහැරව දැනුම බෙදා ගන්න ක්‍රම බිහි වී තියෙනවා. ඉතින් එහෙම අනුන්ගේ සැලසුමට නොව තමන්ගේ උවමනාවට එකතු කරන දැනුම වැඩි වෙද්දී, මිනිසා ජීවත්වෙන්න එහෙම දැනුම සොයා යන නිසාම, එයට ඉඩක් ලැබෙද්දී, එනම් නිදහස් වෙළඳපොල හා ලිබටේරියන් දේශපාලනය කුමක් දැයි අවබෝධය වැඩිවෙද්දී සෙල් ෆෝන් භාවිතයට හා අන්තර්ජාල භාවිතයට වගේ මේ දෙකටත් ඇති කැමැත්ත වැඩිවේවි!!!!!!

      • සමන් said, on අප්‍රේල් 18, 2013 at 3:50 පෙ.ව.

        //ලෝක ස්වභාවයට සහ මිනිස් ස්වභාවයට ගැලපෙන එකම ආර්ථික සමාජීය ජීවන ක්‍රමයක් පමණයි ලෝකයේ තියෙන්නෙ// මෙච්චර විශ්වාසයක් කොහෙන්ද? මිනිසා සතුටින් සිටීම නේද ගැලපෙන එකම ආර්ථික සමාජීය ජීවන ක්‍රමයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ? ඇමරිකානු මිනිසා “ඇමරිකානු විදිහට සතුටින් සිටීමට නිදහස් වෙළඳපොල යන ආර්ථික ක්‍රමයෙන් සහ ලිබටේරියන් කියන දේශපාලන ක්‍රමයෙන් පුලුවන් වෙයි උනත් , ඒ ක සැම රටකටම ගැලපෙයි ද?. මම කොලඹ ට වෙලා මගේ විදිහට සතුටින් ඉන්නවා. නමුත් මගේ අම්මා තාත්තා සතුටින් ඉන්නේ පොලොන්නරුවෙ.මේක ප්‍රථමික උදාහරණයක්. මම කියන්ඩ උත්සාහ කරන්නේ, සැම මිනිසෙක්ම සතුටින් සිටිය හැකි, ආර්ථික සමාජීය ජීවන ක්‍රමයක් යනු, එම මිනිසාගේ cutural subconcious අනුගත ආර්ථික සමාජීය ජීවන ක්‍රමයක් තුලයි. ඇමරිකානුවා, ජපනා, ඉන්දියනුවා, චීනා සිංහලයා එකිනෙකාගෙන් වෙනස් වන්නේ එකිනෙකා ගෙ cultural subconcious මතයි. මෙ හැම දෙනාම “මිනිසුන් ” වීම නිසා ඔවුන් ගේ මනුශ්‍ය ස්භාවය නිසා, ඔවුන්ට නිදහස් වෙළඳපොල යන ආර්ථික ක්‍රමය සහ ලිබටේරියන් කියන දේශපාලන ක්‍රමය ගැලපෙනවා කියා නිගමය කරන්නේ කොහොමද? මෙ මිනිසුන් එකිනෙකා ගෙන් වෙනස්වීම් ට හේතුව ඔවුන් හිතන විදිහ වෙනස් වීමට හෙතුව ගැන නොහිතා…අපිට මේ ක තමා හොදම කියලා හිතන්න පුලුවන් ද?

        • arunishapiro said, on අප්‍රේල් 18, 2013 at 9:06 පෙ.ව.

          සමන්,

          විශ්වාසයක් නෙමෙයි සමන්. දැනුමක්. මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ගැන අධ්‍යයනය කර ඒවාට වඩාත්ම හොඳින් ගැලපෙන ආර්ථික සහ සමාජීය ක්‍රමය ඉතිහාසයේ දී ඕපපාතිකව හටගත් හැටි උගත්තාම පහළ වන දැනුම.

          “ඇමෙරිකානු විදියට සතුටින් සිටීම” යන්න තමන් කැමති විදියට විග්‍රහ කරන්න බැහැ. ඇමෙරිකන් නිදහස යන සංකල්පය සමාජයේ සියළු මිනිසුන්ට ජීවිතයට, දේපලට තමන් කැමති ආකාරයෙන් ගෙන යාමට නිදහසක් ලැබීම යන්නයි. හැම රටකම ඉන්නේ මිනිසුන් නිසා එය හැම රටකම ගැලපෙනවා. අයෙක් ගමේ ද, අයෙක් නගරයේ ද යන්න එයට බලපාන්නේ නැහැ, මන්ද ගමේ අයට ගමේ විදියටත් නගරයේ අයට නගරයේ විදියටත් සතුටින් ඉන්න නිදහස එයින් ආරක්ෂා කරන නිසා. ඇමෙරිකාවේ ගමකට ඇවිත් බලන්න, පොළොන්නරුවේ ගමක වාසයට කැමති මිනිසාගේ සිතුම් පැතුම් වලින් වැඩි වෙනසක් නැහැ!!!!

          මිනිසා යනු මිනිස් සිතුම් පැතුම් තියෙන කෙනෙක් කිව්වාම මිනිස් සිතුම් පැතුම් එක හා සමාන සිතුම් පැතුම් යැයි කියන්නේ නැහැ. ඒවා මිනිස් ස්වභාවය කියන වර්ගය ඇතුලේ (සත්ව ස්වභාවයට අයිති නොවෙන) විවිධ ලෙසකින් පැවතෙන්නක්. මිනිස් සිතුම් පැතුම් එක හා සමාන වූවාට (සත්වයන් ගෙන් වෙනස්ව) මිනිසුන් දෙදෙනෙක් අතර එකම සිතුම් පැතුම් දකින්න පවා බැහැ. එසේම එක මිනිසෙක් තුල ද අද උදෑසන ඇති සිතුම් පැතුම් අද දහවල් වෙද්දී වෙනස් වෙන්න පුළුවන්. නමුත් එයින් කියන්නේ මිනිස් සිතුම් පැතුම් වෙනස් කියන එක නෙමෙයි, මිනිසා තුල පවතින මිනිස් ස්වභාවය වෙනස් නොවී තමන් ප්‍රිය කරන්න තෝරා ගැනීමේ දී ඒ තීරණ ගැනීම් වෙනස් වීමට භාජනය වෙනවා කියා පමණයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: