අරුණි ශපීරෝ‍ වෙතින්

තෙල් මිල බැස්සූ ජෝන් ඩී. රොකෆෙලර්

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 19, 2013

IMG_5258

නූතන ඇමෙරිකාවේ පුද්ගලික ධනයෙන් ගොඩනඟන ලද විශාලතම ගොඩනැඟිල්ල ලෙස මෑන්හැටන්, නිව් යෝර්ක් හි දකින්නට ලැබෙන රොකෆෙලර් සෙන්ටර් නමින් වූව සැලකේ. එය 1930 දී පටන් ගෙන 1939 දී ඉදි කර අවසන් වෙයි.

‘අහස පිසින මුදුනක දිවා ආහාරය’ නම් වූ පහත ඇති ඡායාරූපය ලොව සුප්‍රසිද්ධ වූවකි. එය 1932 සැප්තැම්බර් 20 වැනිදා 69 වැනි තට්ටුවේ දී රැගෙන ඇත්තේ මේ ගොඩනැඟිල්ලේ සැකිල්ල ඉදිකිරීම් අවසන් වෙද්දී ය. වීදියට අඩි 840 ක් උඩින් ඇති යකඩ බාල්කයක වාඩි වී මේ ශ්‍රමිකයන් 11 දෙනා දිවා ආහාරය ගනිති. ඡායාරූපය මහා අවපාතයේ දී කොතරම් අවදානම් රැකියාවල මිනිසුන් යෙදුනා යැයි අර්ථකථනයට බෙහෙවින් පාවිච්චි කරන්නකි. එහෙත් තතු සොයන අය පෙන්වා දෙන්නේ ඔවුන් සත්‍යය ශ්‍රමිකයන් වූවාට මෙය ගොඩනැඟිල්ලට ප්‍රසිද්ධියක් ලබා දෙන්නට මෙසේ ඔවුන්ට රඟපාන්නට යැයි කියා ගන්නා ලද්දක් බවයි. ඔවුන් අතර අයිරිශ් සංක්‍රමණිකයන් සහ ස්විඩිශ් සංක්‍රමණිකයන් සිටින ලදැයි සැලකේ.

ගොඩනැඟිල්ලේ එක දොරටුවක් අසල දැවැන්ත ඇට්ලස් යෝධයාගේ ප්‍රතිමාව දකින්නට හැකියි. රත්තරන් පාටින් දිළිසෙන ප්‍රොමීතියස් ප්‍රතිමාව සහ රටවල් 200 ක ජාතික කොඩි දකින්නට ලැබෙන්නේ තවත් පැත්තකයි. ඇමෙරිකන් නිවාඩු දිනයක දී ඒ කොඩිගස් සියල්ලේ ඇමෙරිකන් කොඩි ලෙල දෙති.

මේ ගොඩනැඟිල්ල හදන්නේ තෙල් වලින් ධනකුවෙරයෙක් වූ ජෝන් ඩී. රොකෆෙලර් ගේ එකම පුත්‍රයා ය. කොරනේලියස් වැන්ඩබිල්ට් හා ජේම්ස් ජේ. හිල් මෙන් ජොන් ඩී. රොකෆෙලර් ද රිදී හැන්දක් කටේ ඇතිව උපන්නෙක් නොවීය. ඔහුගේ පියා ගෙයින් ගෙට ඇවිද ගොස් බඩු විකුණා යාන්තමෙන් දවසේ වියදම සොයා ගත්තෙකි. 1839 දී උපදින රොකෆෙලර් වයස 16 දී පාසැල් අධ්‍යාපනය නිමා කර ලබාගන්නා මුල් ම රස්සාව සත 15 කට පොත්වල ගණන් තබන්නෙක් ගේ සහායක රස්සාවයි.

ඔහු රැකියාව නියමාකාරයෙන් කිරීමත් මුදල් ඉතිරි කිරීමත් ගැන දැඩි උනන්දුවක් දැක්වූයේය. වයස 23 දී බඩු විකුණන රස්සාවල් ගණනාවකින් පසු ඉතිරි කරගත් ඩොලර් හාරදහසක මුදලක් ඔහු ක්ලීව්ලන්ඩ්, ඔහායෝ හි තෙල් පිරිසිදු කරන කම්හලක් වෙනුවෙන් තවත් මිතුරෙක් සමඟ ආයෝජනය කළේය.


Rockefeller Center, 1932

නිතරම වැය අඩු කරන ක්‍රම ගැන සොයා බලන්නට වෙහෙසෙන රොකෆෙලර් සිය ව්‍යාපාරයේ සෑම කුඩා අංගයක් ගැනම ඉගෙන ගනියි. නිෂ්පාදනය දියුණු කරන්නටත්, වැස්ලින් වැනි තවත් නව ප්‍රැටෝලියම් නිෂ්පාදන බිහිකරන්නටත් සමත් වෙන ඔහු ස්ටැන්ඩර්ඩ් ඔයිල් කොම්පැණිය ලාබ උපයන ව්‍යාපාරයක් බවට ගෙන එයි. තෙල් පිරිසිදු කරන කර්මාන්තය වඩා කාර්යක්ෂම කරන රොකෆෙලර් අලුත් සොයාගැනීම් හා නව වැය අඩු කරන ක්‍රම ඉදිරිපත් කරන අයට විශේෂ බෝනස් හා පඩි සහිත අමතර නිවාඩු දෙන ලදි. ඔහුගේ ව්‍යාපාරයේ සේවකයන්ට ඔහුගේ තරඟකරුවන්ගේ තැන්වල වැඩ කරනවාට වඩා වැඩියෙන් පඩි ලැබුණි.

1869 දී තෙල් ගැලුමක් පිරිසිදු කරන්නට සත තුනක් වැය වූ අතර 1885 වෙද්දී එය සත භාගයක් දක්වා අඩු කරගන්නට ඔවුනට හැකිවිණ. රොකෆෙලර් ගේ වෙළඳපොල තරඟකාරීත්වයෙන් පාරිභෝගිකයාට ලැබෙන්නේ කෙමෙන් අඩුවෙන තෙල් මිල. 1869 දී ගැලුමක් සත තිහක් වෙන තෙල් මිල 1874 දී සත දහයක් ද 1885 වෙද්දී සත 8 ක් දක්වා අඩුවෙයි.

එහෙත් ඉතිහාසමය අර්ථකථනයන් තම විශ්වාසයන්ට අනුව ලියන අය ධනකුවේරයන් ජනතාව සූරා කෑවා යැයි ලියති. එසේම මේ ඉතිහාසයෙන් සොයාගත හැකි සත්‍ය ආර්ථික දත්ත පෙන්වන්නේ නැතිව රොකෆෙලර් සතු ධනවස්තු ගැන පමණක් ලියති.

එතෙක් ඉන්ධන වෙනුවෙන් පාවිච්චි කරන ලද තල්මස් තෙල් වෙනුවට 1870 දී ජනතාව ප්‍රධාන වශයෙන් භූමිතෙල් පාවිච්චියට පිවිසෙති. රාත්‍රිය පහන් වූ පසු (හේමන්තයේ දී උතුරු පෙදෙස් වල සවස හතර වෙද්දී අන්ධකාරය පැතිරෙයි) වැඩ කටයුතු නිමා නොකරන්නට හා පොත් කියවන්නට ඇමෙරිකන් ජනතාවට 1870 දී අලුතින් ලැබෙන පහසුකමක් වෙයි.

රොකෆෙලර් විසින් අඩු මිලට තෙල් විකුණන්නේ වෙළඳපොලේ අනිකුත් තරඟකරුවන් බංකොළොත් කර පසුව මොනොපොලියකින් දීර්ඝ කාලීනව වාසි ලබන්නට යැයි චෝදනා නොකඩවා ගෙන ගිය දේශපාලන ව්‍යවසායකයන් උසාවි මාර්ගයෙන් කර්මාන්තයට අහිතකර රෙගුලාසි ගෙන එන්නට සමත් වූහ.

දශක කිහිපයක් තෙල් මිල පහළ බැස්සේ තෙල් පිරිසිදු කරන ක්‍රම සහ විධි කාර්යක්ෂම කිරීම ඒ කර්මාන්තයේ යෙදුනු සියලුම ව්‍යාපාරයන් අතර තරඟයක් වී තිබි නිසයි. සිය ගණනක් තරඟකරුවන් වෙළඳපොලේ සිටිය දී වැඩියෙන්ම කාර්යක්ෂම වූ තැනැත්තාට මොනොපොලියක් ඇතැයි කීමට නොහැකි බව රෙගුලාසි ගෙනා අය කල්පනා කළේ නැත. තරඟකරුවන් බංකොළොත් කරන්නට නිෂ්පාදනයක් අලාබ ලබමින් සපයන්නට නම් “සටනට අවශ්‍ය මුදල් පෙට්ටගමක්*” තිබිය යුතුය. එසේ සල්ලි යොදවන්නේ මොනොපොලියක් ගෙනෙන්නට යැයි කියද්දී, මොනොපොලියකින් සොයාගත් ලාබයක් දැනටමත් ඇතැයි ද කිව නොහැකි තර්කයේ විසංවාදී බව ඔවුන් නොසලකා හැරියහ.

රොකෆෙලර් ගේ පරමාර්ථය තමන්ගේ ලාබ වැඩි කරගැනීමයි. එය කරන්නට නම් අනගි නිෂ්පාදන අඩු වැයට කැමැත්තෙන් මිල දී ගන්නා පාරිභෝගිකයාට සැපයිය යුතුය. තවත් විදියකින් කිව්වොත් පාරිභෝගිකයා සතුටු කිරීමෙන් ව්‍යාපාරිකයාට ලාබ වැඩිවේ. රෙගුලාසි ගෙනෙන අයගේ ප්‍රධාන පරමාර්ථය තම තනතුරැ ආරක්ෂා කර ගැනීමයි. ධන කුවේරයා, ඔහුගේ පවුල, සේවකයන් යන චන්ද සුළු ප්‍රමාණයට වඩා ඔහු ගැන බොරු පතුරුවන අයට පහසුවෙන් රැවටෙන (ආර්ථිකයක් වැඩ කරන හැටි බහුතරයක් නොදන්නා නිසාත්) මහත් ජනතාව බේරාගන්නට යැයි කියා මහත් චන්ද සංඛ්‍යාවකින් ආසනය දිනා ගැනීම පමණක් රෙගුලාසි ගෙනෙන අයගේ පරමාර්ථය වෙයි.

ස්ටැන්ඩර්ඩ් ඔයිල් කොම්පැණියේ කාර්යක්ෂම බව ඇති කරන ලද සංවිධානාත්මක ව්‍යුහය අලුතින් ගෙනෙන ලද රෙගුලාසි වලින් තහනම් කරන ලදි. දේශපාලන ව්‍යවසායකයන් විසින් වෙළඳපොල ව්‍යවසායකයාට එරෙහිව ගත් පියවර නිසා අන්තිමේ හැමෝම දුප්පත් වූහ.

*The Truth About the “Robber Barons” යන පරිච්ඡේදය ලියා ඇත්තේ Thomas J. DiLorenzo ගේ How Capitalism Saved America (2005) යන ඉතිහාස පොතේ ය.

IMG_5249 IMG_5260 IMG_5250 IMG_5263

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. keerthi ratethanne said, on අප්‍රේල් 19, 2013 at 11:35 පෙ.ව.

    අැත්තටම හොද ලිපියක්. මෙවැනි දැනුම් සම්භාරයක් පාඨකයාට ලබාදීමට ඔබට තවත් ශක්තිය ෙධෙර්ය ලැබේවා.

  2. […] වූවත්, ඇන්ඩෲ කානගී, හෙන්රි ෆෝඩ්, ජෝන් ඩී. රොකෆෙලර් වැනි අය සුප්‍රසිද්ධ වූවත්, සිසුන් […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: