අරුණි ශපීරෝ‍ වෙතින්

මම කොන්සර්වෙටිව් නොවන්නේ ඇයි? සංරක්ෂණවාදය යනු කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 22, 2013

ලෝකයේ පවතින කොන්සර්වෙටිව් පක්ෂ වලට අප්‍රසාදය පළ කරන අය බොහෝය. ඔවුන් අතර කොන්සර්වෙටිව් යන්න කුමක් දැයි දන්නා අය සමාජවාදය හා මාක්ස්වාදය දන්නා අය හා සමාන වෙති: එනම් ඔවුන් එය කුමක් දැයි හරියාකාරව නොදන්නා අයයි!!!!

“මම කොන්සර්වෙටිව් අයෙක් නොවන්නේ ඇයි?” සිරස්තලයෙන් නොබෙල් ආර්ථික විද්‍යා ත්‍යාග ලාභි ෆෙඩරික් හයෙක් විසින් ලියන ලද ලිපියෙන් උපුටා ගන්නා කොටස් මෙහි පරිවර්තනය කරමි. මේ ලිපිය මුහුණුපොතෙන් බෙදා ගනිමින් ඒ ගැන යළි මතක් කර දුන් මෑතක දී ඇමෙරිකන් සංක්‍රමණිකයෙක් වූ මල්ලි ට ගොඩක් ස්තූතියි.

“සෑම අවස්ථාවක දී ම නිදහසේ මිත්‍රයන් ඉතා දුර්ලභය. නිදහස ජයගත් අවස්ථාවල දී එය ජයගත්තේ සුළු පිරිසකගේ වෑයමෙනි. ඔවුන් තමන්ගේ පරමාර්ථ වලට වෙනස් වූවක් ඇති සහායකයන් සමඟ එකතු වෙමින්, ඒ හැම විටම අවදානම් වූ සබඳතාවයෙන්, සමහර අවස්ථා වල දී හවුල විනාශයට පත්වෙමින්, ප්‍රතිවාදීන්ට විරුද්ධ වෙන්නට යුක්ති සහගත පදනමක් ඉදිරිපත් කරමින් නිදහස ජයගත්හ.” -ලෝර්ඩ් ඇක්ටන්

කොන්සර්වෙටිසම් (conservatism) යන්න සංරක්ෂණවාදයයි. ඔවුන් ප්‍රබල වෙනස්කම් වලට විරුද්ධ වෙති. සංරක්ෂණවාදය ප්‍රංශ විප්ලවයේ සිට වසර 150 ක් යුරෝපීය දේශපාලනයේ වැදගත් භූමිකාවක් රඟපාන ලදි. සංරක්ෂණවාදීන්ට එරෙහි වූයේ ලිබරල්වාදයයි. එහෙත් සමාජවාදය (මාක්ස්ට පෙර ප්‍රංශ විප්ලවයේ රොබෙස්පියෙර්ලා වෙතින් පිළිගැන්වුනු) ප්‍රචලිත වීමත් සමඟ සංරක්ෂණවාදයේ එදිරිවාදියා හැටියට සමාජවාදීන් තැන අල්ලා ගත්හ.

එවැනි යුරෝපීය ‘සංරක්ෂණවාදීන්ට එරෙහි සමාජවාදී’ පසුබිමක් ඇමෙරිකන් ඉතිහාසයේ නැත. යුරෝපයේ “ලිබරල්වාදය” යැයි හැඳින්වූව ඇමෙරිකාවේ දී සාමාන්‍ය දේශපාලන සම්ප්‍රදාය විය. එහෙයින් ඇමෙරිකන් සම්ප්‍රදාය වෙනුවෙන් පෙනී සිටින්නා යනු යුරෝපීය අර්ථයෙන් ලිබරල්වාදියෙක් වූයේය.

එහෙත් මෑත කාලීන ඇමෙරිකාවට යුරෝපීය වූ ආකාරයක සංරක්ෂණවාදයක් ස්ථාපිතයට උත්සාහයක් ගැනීම නිසා එය ඇමෙරිකන් සම්ප්‍රදායට නුහුරු වූ නිසා, එය අමුතු ආකාරයකින් වර්ධනය වී ඇත. එහෙත් එය එසේ හැඩ ගැසෙන්නට පෙර, ඇමෙරිකන් සමාජවාදීන් තමන්ව “ලිබරල්” යැයි හඳුන්වා ගත්හ.

සංරක්ෂණවාදය එහි ස්වභාවයෙන්ම අපි යන පැත්තට ඇදී යනවා වෙනුවට වෙනත් විකල්පයක් ඉදිරිපත් කරන්නට නොහැකි වූවකි. අයහපත් යැයි සැලකෙන වර්ධනයන් ප්‍රමාද කරන්නට සමත් විය හැකි වූවාට, වෙනත් විකල්පයක් පෙන්නුම් කරන්නට බැරි නිසා ඒ අයහපත් වර්ධනයන් දිගටම පැවතීම වළක්වා ලන්නට සංරක්ෂණවාදය නොදනියි. ඒ නිසා සංරක්ෂණවාදියා තමන් තෝරා නොගත් මාවතක ඇදගෙන යනු ලබන්නෙක් බවට පත්වෙයි.

සංරක්ෂණවාදියා සහ ප්‍රගතිශීලි අය අතර ඇති ගැටුම යන මාවත ගැන නොවූවකි. එය සමකාලීන තත්වයන්ට මුහුණ දීමට සිද්ධ වෙද්දී යන වේගය ගැන පමණක් වූවකි.

ලිබරල්වාදියා වාහනයේ බ්රේක් ඇල්ලීමෙන් පමණක් සතුටට පත් නොවන්නෙකි. අපි ඇසිය යුත්තේ කොතරම් ඉක්මණින් කොතරම් දුරකට අපි යනවා ද කියා නොවෙයි. අපි යන්නේ කොහේ ද කියාය.

ඒ නිසා ලිබරල්වාදියා අද සංරක්ෂණවාදියාට පමණක් නොව අද රැඩිකල් සාමූහිකවාදියාට ද වඩා දැඩි වෙනස් වූවෙක් වෙයි. ලිබරල්වාදියා සමාජවාදීන් සහ සංරක්ෂණවාදීන් විසින් එකතු වී පිළිගන්නා ප්‍රධාන සංකල්පය කිහිපයකට විරුද්ධ වෙන්නෙකි.

ඉතින් සමාජවාදීන් වම් පැත්තේ ද, සංරක්ෂණවාදීන් දකුණු පැත්තේ ද, ලිබරල්වාදියා මැද්දේ ද ඉන්නා අයෙක් යැයි සිතීම ඉතාමත් වැරදියි. හයෙක් පෙන්වා දෙන්නේ එය ත්‍රිකෝණයක් ලෙසට. සංරක්ෂණවාදීන් එක කොණක. සමාජවාදීන් තවත් කොණක හා ලිබරල්වාදීන් තුන්වැනි කොණේ ඉඳගෙන අනිත් අයව තමන්ගේ කොණට ඇදගන්නට උත්සාහ කරනා අය ලෙසට.

සමාජවාදීන් ඉතා තදින් අදින්නට මහත් කාලයක් තිස්සේ සමත් වූ නිසා සංරක්ෂණවාදීන් සමාජවාදීන් අනුකරණයට ගොස් ඇත. නිරතුරුවම සමාජවාදය හා කොම්ප්‍රොමයිස් ගසා ඇත්තේ සංරක්ෂණවාදීන් විසිනි. මැද පිළිවෙතක් අනුගමනය කරනවා යැයි කියන ජනතාව වම හා දකුණ යන අන්ත දෙකක සත්‍යය ඇත්තේ යම් මැද තැනක යැයි සිතමින් කාලයෙන් කාලයට එක පැත්තකට හෝ අනෙක් පැත්තට තල්ලු වෙමින් සිටිති.

පසුගිය දශකයන් වල දී සමාජවාදය කරා ලෝකය ගමන් කරමින් සිටි නිසා සංරක්ෂණවාදීන් සහ ලිබරල්වාදීන් යන දෙගොල්ලන්ම ඒ ගමන වළක්වන්නට වෙහෙස වූහ. ඒත් ලිබරල්වාදීන්ගේ ප්‍රධාන අරමුණ වෙනත් පැත්තකට යෑමයි. එක තැනක හිටගෙන සිටීම හෝ වමට හෝ දකුණට යෑම නොවේ.

ඇමෙරිකාවේ උප්පත්තියත් සමඟ ලිබරල්වාදය කුමක් දැයි නොදැන සිටියත් එහි ඉලක්කයන් සාක්ෂාත් කරගන්නට වැඩි පිළිගැනීමක් සමාජයේ තිබුණ ද, එය “ආපසු හැරී බලමු” යැයි කියන දර්ශනයක් නොවේ. ලිබරල්වාදී උත්කෘෂ්ට සම්පූර්ණයෙන් සාක්ෂාත් වූ යුගයක් ලොව නොතිබුන අතර ලිබරල්වාදීන් හැමදාම උත්සාහ කළේ ඒවා ස්ථාපිතය වෙනුවෙන් ඉදිරියටම ගමන් කිරීමයි.

ලිබරල්වාදය පරිනාමයට සහ වෙනසට අකමැති නොවේ. ආණ්ඩු පාලනයෙන් ඕපපාතික ලෙසින් වෙනසක් ඇති වූ කල ලිබරල්වාදයට ඕනෑ ප්‍රතිපත්ති වෙනස් කරන්නට ය. ආණ්ඩුවේ කටයුතු දිහා බලන විට ලිබරල්වාදියෙකුට එහි පැවතෙන දේවල් ඒ ලෙසින්ම පවත්වා ගෙන යෑමට හේතු නැති තරම් ය.

සංරක්ෂණවාදියෙක් යැයි ඇමෙරිකන් ලිබරල්වාදියාව දැකීමට එක හේතුවක් නම්, ඇමෙරිකාවේ ස්ථාපිත වූ ඉතා පැරණි සංස්ථා අතර ඒකීය පුද්ගල නිදහස ආරක්ෂා කරන සංස්ථා තවමත් දකින්නට ලැබිය හැකි වීමයි. ලිබරල්වාදියාට ඒවා අගනා වන්නේ ඒවා පැරණි සම්ප්‍රදායක් වූ නිසා නොවේ. ඒ සම්ප්‍රදායන් ලිබරල්වාදියා රැක බලාගන්නට කැප වී ඇති උත්කෘෂ්ටයන් වන හෙයිනි.

වෙනසකට බිය වන සංරක්ෂණවාදියා මෙන් නොව ලිබරල්වාදියා ඉන්නේ තම ප්‍රතිපත්ති නිවැරදි යැයි දකින ශක්තියෙන් ලැබෙන එඩිතර බවකිනි. යම් වෙනසකින් ඇතිවෙන්නේ කුමක් දැයි අනාවැකි කියන්නට නොදන්නා වුවත් ඒ වෙනස ඇති වී එහි ගමන නිමා වෙන්නට ඉඩ දෙන නිර්භීතත්වයෙනි. සංරක්ෂණවාදීන් ආණ්ඩුවේ බලය යොදා ඒ ගමන වළකති. ඕපපාතික වූ වෙනස්කම් වලට ඉඩක් නොදෙති. ලිබරල් හැදියාව නම් වෙළඳපොලේ ඇති ස්වයං-රෙගුලාසි බලයෙන් නව තත්වයන් වල දී අත්‍යවශ්‍ය හැඩගැස්වීම් කරන්නට ආර්ථිකය සමත් වෙන බවයි. එය සිද්ධ වෙන ආකාරය කිසිවෙක් කියන්නට නොදත්තාට සංරක්ෂණවාදීන් හිතන්නේ වෙළඳපොලක් ගමන් කරන මාර්ගය ගැන අනාවැකි කියන්නට ඔවුනට යම් ඉහළ ප්‍රඥාවක් ඇතැයි කියාය.

මමත් කොන්සර්වේටිව් නොවෙමි. එසේම අනෙක් අන්තයේ ඉන්නා වාමාංශිකයෙක් ද නොවෙමි.

සමාජවාදීන් මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය සම්පූර්ණයෙන් බැහැරකට දමා වෙළඳපොල තමන්ගේ කොමියුනිස්ට් උත්කෘෂ්ටයට කරා ගෙන යන්නට කිහිප වතාවක් කර අසාර්ථ වුවත් තවමත් එම උත්සාහයේ තමනට වැරදුනේ කොතැනක දැයි සොයමින් සිටිති. ඔවුන්ට වැරදෙන්නට පෙර වැරදෙන බව පෙන්වා දුන් පිරිස වූයේ ඒකීය පුද්ගල නිදහස අගයන ලද ලිබරල්වාදීන් ය.

ලිබරල්වාදීන් අතර ද විවිධාකාරයෙන් නිදහස වෙනුවෙන් සටන් වදිනා අය සිටිති. හයෙක් සමඟ මා එකඟ නොවෙන තැන් ඇත!!!! මිනිසා අපූර්ව යන්න සනාථ කරමින් ලිබරල්වාදීන් තරම් විවිධ විෂම වූ එහෙත් එකම අරමුණක් වෙනුවෙන්, එනම් ඒකීය පුද්ගල නිදහස වෙනුවෙන් පෙනී සිටින පිරිසක් ලොව වෙනත් නැත!!!!!!

Why I Am Not a Conservative by F. A. Hayek

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: