අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබය යනු මනස විසින් නිෂ්පාදනය කරන්නකි

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2013

real-human-brain-660x438[1]

ආණ්ඩුවකින් හෝ වෙනත් ප්‍රචණ්ඩත්වයන් හි යෙදෙන සංවිධාන වලින් බලපෑම් සිද්ධ වෙන්නේ නැත්නම් වෙළඳපොලක් තුලින් ගණුදෙනු සිද්ධ වෙන සමාජයක ව්‍යවසායකයෙක් වන්නට කැමති ඕනෑම අයෙකුට දොර විවෘත වී පවතියි. ව්‍යාපාර අවස්ථාවක් ඇතැයි එයින් ලාබයක් සොයාගත හැකි යැයි දකිනා අය ඊට අවශ්‍ය මූල්‍ය සොයා ගන්නට කෙසේ හෝ සමත් වෙති. මන්ද වෙළඳපොලක් යනු හැම විටම තම මූල්‍යයට වඩාත්ම හොඳින් ලාබ ලැබෙන සේ ආයෝජනයට අවස්ථා සොයමින් සිටිනා ධනවාදීන් ගෙන් ගහණ වූවක් නිසයි. ඔවුන් නවොත්පාදන ගැන සොයා බලති. නව ව්‍යවසායකයන්ට ඉඩ දෙති. විවිධ වූ ව්‍යාපෘති සැලකිල්ලට ගනිති.

ධනවාදයේ මේ නෛසර්ගික වූ ලක්ෂණය මහජනතාව වටහා නොගන්නේ මූල්‍ය හිඟයක ප්‍රතිවිපාක ගැන නොදන්නා නිසාය. ව්‍යවසායකයාගේ කාර්යය නම් මහජනතාවගේ මෙතෙක් සපුරා නැති උවමනාවන් හනිකට තෘප්තිමත් කිරීමට පවතින අනේක විධ ක්‍රම වලින් එකක් තෝරා ගැනීමයි.

එහි දී තමන්ට යොදවන්නට හැකි මූල්‍යයෙන් කරත නොහැකි ව්‍යාපාර වලට ඔහු පිවිසෙන්නේ නැත.

වෙළඳපොලක් යනු ප්‍රායෝගික නොවන හා අසාර්ථක ක්‍රම වේදයන් ද බහුලව දකින්නට ලැබෙන තැනකි. ආයෝජකයන් ඒවා අතරින් තෝරා ගැනීම් කළ යුතු වේ. එහි දී අසාර්ථක තෝරා ගැනීම් දකින්නට ලැබෙනවාට වඩා මහජනතාවට වෙළඳපොලේ දී දකින්නට ලැබෙන්නේ සාර්ථක වූ තෝරා ගැනීම් ය. ඉතින් හැම විටම ව්‍යවසායකයන් විසින් සාර්ථක ලෙසින් ලාබ උපයනවා යැයි ද ඔවුන් අලාබ ලබන තීරණයන් ගත්තේ නැතැයි ද සිතන්නට ද මහජනතාව පෙළඹේ.

පාරිභෝගිකයා තෝරා ගන්නේ තමන්ට අගයක් ඇතැයි සිතෙන භාණ්ඩයයි. එය වෙන අයෙක් දකින්නේ මෝඩ තෝරා ගැනීමක් යැයි කීමෙන් ඵලක් නොවේ. මන්ද, මෝඩ තෝරා ගැනීම් කිරීම මිනිස් ස්වභාවයක් නිසාත්, මෝඩකම් කිරීම වළක්වන්නට කිසිම නීතියක් ගෙනාවට නොහැකි නිසාත් ය!!!!!

තමන්ගේ තෘප්තිය ගෙන දෙනවා යැයි සිතන භාණ්ඩය පාරිභෝගිකයා විසින් තෝරා ගනිද්දී, එය ඔහුව සතුටට පත් කරනවා ද නැද්ද යන්න තීරණය කිරීම වෙනත් කිසිම කෙනෙකුට කළ හැකි නොවේ. තමන්ව වඩාත්ම සතුටට පත් කරන භාණ්ඩය තෝරා ගන්නා පාරිභෝගිකයා ඒවා සපයන ව්‍යවසායකයාට තම කැමැත්ත ප්‍රකාශ කරයි. යමක් මිල දී ගැනීමේ දී සහ මිල දී නොගෙන සිටීමේ දී පාරිභෝගිකයා ප්‍රකාශ කරන්නේ තමන්ගේ කැමැත්ත ඉටු කරන්නට ව්‍යවසායකයා සමත් වූවා ද නැද්ද කියා පමණයි.

චන්දයක් ප්‍රකාශ කරන්නට යද්දී සේ, බඩුවක් මිල දී ගනිද්දී ද පාරිභෝගිකයා විසින් අනාගතයේ දී ඇතිවන ඵල විපාක ගැන කියන්නට හැකි දැනුමකින් යුතු නොවෙයි. තමන් ඉදිරියේ ඇති තෝරා ගැනීම් අතරින් තමන්ව වඩාත් සතුටට පත් කරන්න කුමක් දැයි කියා ඒ නිසා ඒ අවස්ථාවේ ඔහු තෝරාගැනීමක් කරන්නෙකි. ඔහුගේ ඒ තෝරාගැනීම නැවත කරන්නට නොහැකියි. එය අවසන් තීරණයකි.

ව්‍යවසායකයා ලාබ උපයන්නේ පාරිභෝගිකයන් නොහොත් මහජනතාවට ඔවුන් කැමති දෙයක් සැපයීමෙන් පමණි. ඔවුන්ට හොඳ වූ දෙය මෙසේ තෝරාගත යුතු යැයි සිතා සපයන්නට උත්සාහ කිරීමෙන් නොවේ.

සමාජයට හිතකර මේ මේ දේවල් යැයි තීරණයෙන් පසු ඒවා සපයන්නට සැලසුම් කරන ලද සමාජයන් මේ නිසා ආර්ථික සාර්ථකත්වය අත් කර නොගනිති.

ලාබ යනු සාමාන්‍යයක් නොවේ. දුස්සමායෝජනයක් (maladjustment) ඇතිවෙද්දී, එනම් සත්‍ය නිෂ්පාදනය සහ පාරිභෝගික කැමැත්ත සපුරාලන්නට නිෂ්පාදනය විය යුතු යන දෙක අතර පරතරයක් ඇතිවෙද්දී, ලාබයක් උපයන අවස්ථාව පෑදේ. ඒ පරතරය ඉවත් කරන්නට සමත් වෙන්නා වඩාත් ම ලාබයක් උපයා ගන්නා අයයි. එය පියැවූ පසු ලාබය අතුරුදහන් වී යයි.

වැඩි දුස්සමායෝජනයක් ඇත්තේ ද, ඒවා පියවද්දී වැඩියෙන් ලාබ සෙවිය හැකියි. එවිට රට්ටු එම ව්‍යවසායකයා පමණට වැඩියෙන් ලාබ උපයනවා යැයි කියන්නට පෙළඹේ. යම් නිෂ්පාදනයක් සඳහා ආයෝජනය කරන ලද මූල්‍යයේ ප්‍රතිශතයක් හැටියට ලාබය මැනීමට ඒ පුද්ගලයන් හුරු වී ඇති නිසා ඔවුන් එසේ කියති. සමාගම් සහ හවුල් ව්‍යාපාර වල දී සම්පූර්ණ ලාබය එහි ඒකීය හවුල් කරුවන් සහ කොටස් ලාභීන් අතර බෙදන්නට යොදාගෙන ඇති ක්‍රමය ඒ මත පදනම් වන්නකි. එසේ හැඩ ගැසී ඇත්තේ ඒ ඒ ව්‍යාපෘතියේ ලාබ කොටස් හෝ පාඩු අත් විඳීම ඔවුන් යොදන ලද මූල්‍යයට අනුපාතිකව බෙදෙන නිසාය.

නමුත් ලාබ සහ පාඩු සිද්ධ කරන්නේ යොදවන ලද මූල්‍යයෙන් නොවේ. මාක්ස් පැවසූ ආකාරයට මූල්‍ය නිසා ලාබ ඇති වෙන්නේ නැත. මූල්‍ය යනු කිසිවෙක් කිසිවක් නොකරන්නේ ද කිසිම වර්ධනයක් සිද්ධ නොවන්නකි. ඵලදායී අදහසක් අනුව මූල්‍ය යොදවන්නේ නම් ලාබයක් ඇති වේ. දෝෂ සහිත අදහසක් අනුව මූල්‍ය යොදන්නේ නම් පාඩු සිද්ධ වේ.

තවත් විදියකින් කියන්නේ නම්, ව්‍යවසායකයාගේ නිෂ්පාදනයක් වෙනුවෙන් තීරණයක් ගැනීම තමයි ලාබ හා පාඩු නිර්මාණය කරනු ලබන්නේ. ව්‍යවසායකයාගේ මනසේ තමයි ලාබ සොයන මානසිකත්වය මුලින් ම උත්පාද වෙන්නේ. ඒ ආකාරයෙන් බලද්දී ලාබ යනු මනසේ නිෂ්පාදනයකි. අනාගත වෙළඳපොලේ සාර්ථකත්වය ගැන කල් තියා තීරණයක් ගැනීමට ව්‍යවසායකයාගේ මනසේ පහළ වන අදහසක් ලාබයක් උත්පාද කරවන්නට සමත් වෙයි.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on අප්‍රේල් 26, 2013 at 9:16 පෙ.ව.

    සමහර මෙන්ම සමහර විට බහුතර පාරිභෝගිකයා පාලකයා මෙන්ම ජීවිත සහකරු/සහකාරිය තොරාග්න්නෙත් අනාගතේදී පසුතැවිලි නොවෙයි හිතලයි. නමුත් පසුතැවීමට පත්වන ප්‍රමාණය වැඩියි. වෙළඳපොලෙන් ගන්නා භාන්දයක්නම් තමන් එයින් තෘප්තියට පත්නොවනවිට පාඩුවට විකුණා දමා ගැලවීම/ නැවත නොගෙන සිටීම/විකල්ප භාණ්ඩ තෝරාගැනීම වැනිදේ කලහැකියි. නමොත් තම ජීවන සහකරු/සහකාරිය සහ තමන්ගේ ඡන්දයෙන් තෝරාගන්නා පාලකයා ගැන ඇතිවෙන අතෘප්තියනම් බොහොම භයානකයි.

    • arunishapiro said, on අප්‍රේල් 26, 2013 at 9:28 පෙ.ව.

      විචාරක,

      ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ම දික්කසාද වෙන සංඛ්‍යාව විවාහ වෙන සංඛ්‍යාවට වඩා අඩුයි.

      ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ම භාණ්ඩයකින් තෘප්තිමත් වෙන සංඛ්‍යාව එයින් තෘප්තිමත් නොවෙන සංඛ්‍යාවට අඩුයි!!!!! ඒ නිසාම තමයි අපිට අද තියෙනවාට වඩා හොඳ භාණ්ඩ හෙට ලැබෙන්නෙ.

      පාලකයන් ගැන ගත්තම නම් අතෘප්තිය දරා ගන්න බැරි තරමට වැඩිවෙන්න ඕනෑ පාලකයාව ගෙදර යවන්න ඕනෑ කියල යාන්තමට හිතෙන්න හරි. රටවැසියා පාලකයාව වෙනස් කරන්න සෑහෙන්න මැලියි.

  2. Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 26, 2013 at 11:13 පෙ.ව.

    ස්තුතියි..මේ දේශනය පරිවර්තනය කරනකම් තමයි මමත් බලාගෙන හිටියේ.
    ලංකාවේ මාක්ස් සීයාගේ පුත්තු ලාභය කියල කියන්නේ අයිතිකාරයා සුරාකෑව නොගෙවන ලද ශ්‍රමය කියල තාම තෙල බෙදනවා. මම මේක කිහිප දෙනෙක්ට පුද්ගලිකව පැහැදිලි කරා හැබැයි තේරුනත් තේරුනේ නෑ වගේ ඉන්නව.

    • arunishapiro said, on අප්‍රේල් 26, 2013 at 11:16 පෙ.ව.

      Uditha Meegahathenna,

      දැනගන්න කැමති අයට හොයාගන්න හැකි තැනක් තියෙන්න ඕනෑනේ උදිත. අනිත් අයට අපි කොහොම කිව්වත් වැටහෙන්නෙ නැතිකම නෙමෙයි පිළිගන්න අකමැතිකම නිසා ඵලක් නැහැ.

  3. දේශකයා said, on අප්‍රේල් 27, 2013 at 2:17 පෙ.ව.

    අනේ ගෙටිස්බර්ග් එකත් දෙන්නකෝ මේ වගේ….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: