අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යාපාරයක් විසල් නම් එය අනවරතයෙන් ම දුෂ්ට වූවක් යන දුර්මතය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 29, 2013

ussr-1

වෙළඳපොල ව්‍යවසායකත්වය යන්න කුමක් දැයි නොදන්නාකම නිසා ලාබයට විරුද්ධ අදහස් සමාජයක පැතිරි ඉතිරී යයි. ඒ නිසා අපිට මෙවැනි අදහස් සමාජයේ බහුතර වශයෙන් අහන්නට ලැබෙයි.

ධනකුවේරයන් බලවතුන් වෙති. ඔවුන් අවශ්‍ය පමණට වඩා ධනවතුන් වෙති.

ධනවතුන් ගේ ව්‍යාපාරයන් පමණට වඩා විසල් ව්‍යාපාරයන් වෙති.

ඔවුන් තම බලය යොදවන්නේ තමන්ගේ සුබසාධනය සඳහා පමණකි.

ඔවුන් වගකීම් වලින් තොර වූ ආඥාදායකයන් ය.

ව්‍යාපාරයක් විසල් වන්නේ ද එය අනවරතයෙන් ම දුෂ්ට වන්නකි.

සමහර අයට පමණක් බිලියන ගණන් සල්ලි තියෙන එක නරකයි බිලියන ගණන් මිනිස්සු දුප්පත් වෙද්දී!!!!!!!

ටික දෙනෙකු ධනවත් වීම නිසයි බහුතර ජනතාවක් දුප්පත් වී සිටින්නේ!!!!!!

ඉහත අවේගාත්මක පාරට්ටු බෑම් සියල්ල ආර්ථික අසත්‍යයන් වෙති.

වෙළඳපොල ව්‍යවසායකයන් යනු වගකීමෙන් තොර ආඥාදායකයන් නොවෙති. පාඩු නොලබා ලාබයක් උපයන්නට ඇති අවශ්‍යතාවය නිසාම ජනතාවගේ මනාපය අනුව කටයුතු කරන්නට ව්‍යවසායකයන්ට සිද්ධ වේ. ඒ නිසා වෙළඳපොල ව්‍යවසායකයන් පාරිභෝගික අණසකට යටත් වූවන් වෙති.

විසල් ව්‍යාපාරයක් වෙළඳපොල ව්‍යවසායකයෙකු යටතේ ඒ තත්වයට එන්නේ මිල දී ගන්නා අයගේ කැමැත්ත ඉහළින් ම ඉටු කරන ලද නිසාය. විසල් ව්‍යාපාරයක් කුඩා ව්‍යාපාරයකට වඩා ඉහළින් සේවය සපයන්නේ නැත්නම් තව දුරටත් ඒ විසල් මට්ටමෙන් ඉන්නට ඉඩක් නොලැබී කුඩා ව්‍යාපාරයක් බවට පත්වේ. එහෙත් දේශපාලන ව්‍යවසායකයන් ගහණ රටක ජීවත්වෙන ජනතාවකට මේවායේ වෙනස හඳුනාගන්නට ඉඩක් නොලැබේ.

වෙළඳපොල ව්‍යවසායකයාට පැවරී ඇත්තේ එකම කාර්ය භාරයකි. තම ලාබය හැකි තරම් ඉහළින් වැඩි කරගැනීමයි. විසල් ලාබ යනු පාරිභෝගිකයන්ට හොඳ සේවාවන් සපයන්නට හැකි වූවා යැයි ඔප්පු කරන සාක්ෂි වෙති. අලාබ යනු වැරදීම් වැඩියෙන් සිද්ධ කරමින් ව්‍යවසායකයාගේ කර්ත්‍යවයන් නියමාකාරයෙන් ඉටු නොකළා යැයි ඔප්පු කරන සාධක වෙති.

සාර්ථක ව්‍යවසායකයාගේ ධන සම්පත් යනු වෙනත් අය දුප්පත් බවට පත් කරන ලද හේතු නොවේ. ව්‍යවසායකයාගේ උත්සාහය නොතිබෙන්නට පාරිභෝගිකයන්ට නොලැබී යන භාණ්ඩ ඔවුන් අතට පත් කරන ලද්දා යැයි පිළිබිඹු කරන්න පමණකි.

දුප්පත් රටවල වාසය කරන මිලියන ගණන් ජනතාවගේ දුක්ඛිත බව වෙළඳපොල ධන සම්පත් එකතු කරගත් ව්‍යවසායකයාගේ සාර්ථකත්වය නිසා හටගත්තක් නොවේ. ඔවුන් දුප්පත් දුක්ඛිත ජීවිත ගත කරන්නේ එවැනි රටවල ධන සම්පත් එකතු කරගන්නට හැකියාව පෙන්වන ලද වෙළඳපොල ව්‍යවසායකයන් නොමැති නිසාය.

වඩාත්ම ධනවත් වෙළඳපොල ව්‍යවසායකයන් ඉන්නා රටවල සාමාන්‍ය පුරවැසියාගේ ජීවන මට්ටම ද ඉහළ තලයක පවතී.

එහෙයින්, නිෂ්පාදන සාධක වල පාලනය ඒවා වඩාත්ම කාර්යක්ෂම ලෙසින් පාවිච්චියට යොදවත හැකි පිරිස නොහොත් වෙළඳපොල ව්‍යවසායකයන් අතට ලබා දීම ඕනෑම රටක වාසය කරන කෙනෙකුගේ යහපත පිණිස හේතු වන්නකි.

තම ජීවිත බේරන ලද නවොත්පාදන ලෝකයේ බිහිවූයේ මන්දැයි නොසිතන අය ලාබයට ගරහති. එහෙත් වාහන, සීතකරණ, රේඩියෝ, පරිගණක හා සෙල් ෆෝන් කැමැත්තෙන් මිල දී ගෙන කිසිත් ලැජ්ජාවක් නැතිව ලාබ වලට තවත් ගරහමින් ඒවා පාවිච්චියේ යෙදෙති.

නිෂ්පාදනයක් වෙළඳපොලේ නිතර අලෙවියට තබන්නට, එය වැඩි දියුණු කරන්නට හා එහි නිෂ්පාදන ප්‍රමාණයන් වැඩි කරන්නට හැකියාව ලැබෙන්නේ තමන්ට එදිනෙදා කරන්නට පැවරී ඇති වැඩ කොටසෙන් පමණක් යැයි සාමාන්‍ය ශ්‍රමිකයා සිතයි. තමන් දිනපතා වෙහෙසෙන ඒ ටික පමණක් ප්‍රමාණවත් නොමැති බව ඔහු නොදකියි. කොච්චර දහදිය හැලුවත්, කොච්චර කාලයක් හෝ මොළයක් වෙහෙස කරත්, ව්‍යවසායකයාගේ දූර දර්ශී ඉලක්කයක් සාර්ථක කරගන්නා මාර්ගයක් අනුගමනය නොකරන ලද නම් ඒ සියල්ල අපතේ යන බව ශ්‍රමිකයා නොදනියි. එසේම ධනවාදීන් විසින් මූල්‍ය එකතු කිරීම් කර නැත්නම් ඒවා කිසිත් දීර්ඝ කාලීනව කරගෙන යාමට නොහැකි වන බවත් ශ්‍රමිකයා නොදනියි.

වී. අයි. ලෙනින් සිතුවේ නිෂ්පාදනයක් කරන්නට අවශ්‍ය වන්නේ 1. කය වෙහෙසන කම්කරුවන්, 2. සැලසුම් හදන ඉංජිනේරුවන් සහ 3. නිෂ්පාදන බෙදා හරින අවිගත් ශ්‍රමිකයන් පමණක් බවයි.* මේ කර්තව්‍යයන් ධනවාදීන් විසින් ඉතාමත් පහසු ලෙසින් සරල කර ඇත්තේ ඒවා සුවිශේෂී ලෙසින් සකසා කියවන්නට ලියන්නට සහ ගණිතයේ මුල් රීති හතරක් දන්නා ඕනෑම කෙනෙකුට කරත හැකි තරමට සරල ආකාරයෙන් ඉදිරිපත් කිරීමෙන් යැයි ද ලෙනින් සිතාගෙන සිටියේය. වැඩිකල් නොගිහින් වසර හතර හමාරක් වැනි සුළු කාලයක දී වෙළඳපොල ව්‍යවසායකයාගේ කාර්ය භාරය එසේ නොවන බව පෙනී ගියත්, අවුල්ජාලයක් වීමෙන් රට බේරා ගන්නට තම පිළිවෙත වෙනස් කරමින් සෝවියට් රුසියාවේ ආර්ථිකයට පැලැස්තරයක් අලවන්නට සිද්ධ වුවත්, තමන් ලාබය ගැන දරනා මතය වැරදි යැයි ලෙනින් පිළිගත්තේ නැත.

අද වාසය කරන සමාජවාදීන් ද ලෙනින්ට වඩා වැඩි වෙනසක් පෙන්නුම් නොකරති. බතල වවා ගන්නේ කෙසේදැයි නොදන්නා ඔවුන් ද කටින් බතල සිටවන්නට පමණක් දන්නා අය වෙති.

* V.I. Lenin, State and Revolution, (1917) පිටු 83-84 මීසස් දී ඇති සඳහනයි.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. buwa said, on අප්‍රේල් 29, 2013 at 8:54 පෙ.ව.

    +++++++++++++++++++++++++++++++++++++

  2. Maathalan said, on අප්‍රේල් 29, 2013 at 9:04 පෙ.ව.

    සීයට පන්සීයක් එකඟයි… බඩු හොඳ නැත්නම් මොකාද ගන්නේ… හොඳ නිශ්පාදනයක් කරගන්න බැරි, අළුත් නිශ්පාදනයක් හඳුන්වා දෙන්න බැරි උන් කරන්නේ, ඒවට ගරහන එක තමයි. එහෙම නැත්නම් අවස්ථාවක් ආවොත් කාබාසීනීයා කරලා දානවා.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on අප්‍රේල් 29, 2013 at 3:01 ප.ව.

    කියවද්දී හිතට ආවේ සියට දෙසීයක් ලකුණු මේ ලිපියට දෙනවා කියල කොමෙන්ට් එකකක් දානන්යි එත් පල්ලෙහට ඇවිත් කොමෙන්ට් බලනකොට මාතලන් සීයට පන්සීයක් දීල. අරුණි කියල වැඩක් නෑ අදහස් ටික විස්කි වගේ.මේ ටික අපේ මිනිස්සුන්ට තේරෙන්නේ කවදද?

  4. Chamara said, on අප්‍රේල් 30, 2013 at 1:04 පෙ.ව.

    Sampoorna aththa !

  5. රූ said, on අප්‍රේල් 30, 2013 at 1:07 පෙ.ව.

    // ඒ නිසා වෙළඳපොල ව්‍යවසායකයන් පාරිභෝගික අණසකට යටත් වූවන් වෙති.//

    තොරතුරු ගලායෑමේ විශමතාවය නිසා (මෙය ස්වාභාවික මෙන්නම බලෙන් ඇති කරන ලද වන්නටද පුළුවන්) බොහෝ ව්‍යාපාර අසාධාරණ ලාභ ලබන බව නම් කිව යුතුයි. එහෙත් එයත් දක්ෂ ව්‍යවසායක හැකියාවේ ප්‍රතිඵලයක්..
    එනයින් ගත් කල පාරිභෝගිකයා අලියාව පාලනය කිරීමට අවැසි හෙන්ඩුව තිබුනත් එය පාවිච්චි කරන්නට දන්නැති ඇත්ගොව්වන් වගේ…

    ස්තුතියි අරුණි නිතර කතා නොකරන මානයන් වෙත අපිව රැගෙන යනවාට..

    • arunishapiro said, on අප්‍රේල් 30, 2013 at 7:43 පෙ.ව.

      රූ,

      ලාබ අසාධාරණ වෙන්නෙ ඔවුන් දේශපාලන ව්‍යවසායකයන් වෙද්දී, ඒ කියන්නෙ ආණ්ඩුව මඟින් තමන්ගේ ක්ෂේත්‍රයට පමණක් වාසිදායක රෙගුලාසි ලබාගෙන. එය දක්ෂ ව්‍යවසායකත්වයක් නොවේ. ඔවුන් ආණ්ඩුවක් වෙනස් වෙද්දී අනිත් පැත්තට පනින්නෙ ද ඒකයි .. එහෙම පැන ගන්න බැරි නම් ඔවුන්ගේ ධන සම්පත් අඩු වී යෑම පෙන්නුම් කරන්නේ ඔවුන් දක්ෂයන් නොවූ බවයි.

      නිදහස් වෙළඳපොලක දී, එනම් ආණ්ඩු මැදිහත්වීම් නැති ගණුදෙනු වල දී අසාධාරණ ලාබ කියා දෙයක් නැහැ.

  6. අටම්පහුර said, on අප්‍රේල් 30, 2013 at 5:06 පෙ.ව.

    //දුප්පත් රටවල වාසය කරන මිලියන ගණන් ජනතාවගේ දුක්ඛිත බව වෙළඳපොල ධන සම්පත් එකතු කරගත් ව්‍යවසායකයාගේ සාර්ථකත්වය නිසා හටගත්තක් නොවේ. ඔවුන් දුප්පත් දුක්ඛිත ජීවිත ගත කරන්නේ එවැනි රටවල ධන සම්පත් එකතු කරගන්නට හැකියාව පෙන්වන ලද වෙළඳපොල ව්‍යවසායකයන් නොමැති නිසාය//

    මම දන්න තරමින් අපේ රටේ අංක එකේ සමුහ පුද්ගලික ආතනවල වල සේවකයන්ට ගෙවන වැටුප් වලට වඩා වැඩි වැටුපක් ගෙවනවා හොද සාර්ථක මට්ටමේ සාමාන්‍ය පුද්ගලික ආයතනවල , සමහරක් එවැනි විසල් ආයතනවල නිෂ්පාදනයන්ට වඩා හොද මට්ටමක තියනවා කුඩා ආයතනවල නිෂ්පාදනය කරන එම භාංඩයම , මේ ලිපියට අදාල නැද්ද මන්දා ඒක , කරුනාකරලා ටිකක් පැහැදිලි කරනවද ඒක

    • arunishapiro said, on අප්‍රේල් 30, 2013 at 7:57 පෙ.ව.

      අටම්පහුර,

      ආණ්ඩුවල සහනාධාර හා රෙගුලාසි වලින් ලැබෙන රැකවරණය යටතේ විසල් වූ ආයතනයන් බොහොමයක් ලොව තියෙනවා. වෙළඳපොල ව්‍යවසායකයන් කියන්නේ එහෙම ආණ්ඩු වලට හේත්තු වෙලා තම සමාගම් වලට වාසිදායක නීති රෙගුලාසි සම්මත කරගන්නට සමත් වෙන ආයතන වලට නෙමෙයි. දේශපාලන ව්‍යවසායකයන් නොහොත් ඒ විසල් සමාගම් කටයුතු කරන්නේ ද තරමකට ආණ්ඩු වගෙයි; වෙළඳපොල තරඟයෙන් නොව ආණ්ඩුව සමඟ ගිවිසුම් ගසා විසල් වෙද්දී පාරිභෝගික ඉල්ලුම සැපයීම අඩාල වෙනවා. හොඳම උදාහරණය තමයි ඇපල් vs මයික්‍රොසොෆ්ට්. ඇපල් වෙළඳපොල ව්‍යවසායකයෙක්; දේශපාලනයට සතයක් දෙන්නේ නැහැ. මයික්‍රොසොෆ්ට් තරමක් දුරට දේශපාලන ව්‍යවසායකයෙක්; ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකටම එක හා සමාන ලෙසින් මුදල් ආධාර කරනවා. මයික්‍රොසොෆ්ට් වෙළඳපොල ප්‍රමුඛයා ලෙස හිටියත් පාරිභෝගික ඉල්ලුමට කාලයක් යනතෙක් සවන් දුන්නේ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: