අරුණි ශපීරෝ‍ වෙතින්

සූරාකන අයට ටිකක් දිය යුතු යැයි කියන ලාබය

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 30, 2013

article-2255693-16B57B7B000005DC-649_964x647

වෙළඳපොල ව්‍යවසායකයාගේ ලාබයට විරුද්ධ වන අය, එයට “උපයා නොගත්” යැයි ලේබල් අලවමින්, ලාබය යනු ශ්‍රමිකයන් හෝ පාරිභෝගිකයන් ගෙන් ව්‍යවසායකයා අසාධාරණ ලෙසින් උදුරා ගත්තක් යැයි සලකති. ඒ මාක්ස්වාදීන් දරන ශ්‍රමිකයාව සූරාකන මතයයි.

“සූරාකන අයට” ලාබයෙන් කොටසක් පමණක් දෙන්නට මේ මතයට නැඹුරු අයගෙන් කොටසක් කැමති වෙති. අනෙක් අය කියා සිටින්නේ පාරිභෝගිකයාගේ නාමයෙන් ලාබය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුය කියාය. ඒ සඳහා නිෂ්පාදන වැයට වැඩියෙන් භාණ්ඩයක මිල තීරණය කළ නොයුතු යැයි කියා සිටිති.

නිෂ්පාදන වැයට වැඩියෙන් භාණ්ඩයක මිල තීරණය නොකළ යුගයක් බොලේෂෙවික් විප්ලවයෙන් පසු සෝවියට් රුසියාවේ උදාවිය. බොල්ෂෙවික් අතට රටේ සම්පූර්ණ පාලන බලය පත් වූ පසු වසර හතර හමාරක් ඇතුලත ඔවුන් ලාබය උපදවන හැකියාව තුරන් කරමින් වෙළඳපොල ක්‍රමය අවසන් කළහ.

නිෂ්පාදන වැයෙන් ඉහළ නොයන ලෙසට භාණ්ඩ විකුණන්න යැයි නීතියක් පැන වූ කල සිද්ධ වන්නේ නිෂ්පාදන සාධක විශාල වශයෙන් යොදා ගන්නට ව්‍යවසායකයා ගන්නා අවදානම් උත්සාහය ද තුරන් වී යාමයි. නිෂ්පාදන වැයෙන් ඉහළ නොයන මට්ටමෙන් මිල තීරණය වෙද්දී, නමුත් අනාගත පරිසිද්ධීන් වෙනස් වෙද්දී ඇතිවෙන පාරිභෝගික ඉල්ලුම සපයන්නට නොහැකියාව නිසා, එනම් ව්‍යවසයකයෙකුට නිෂ්පාදන සාධක ප්‍රසාරණය කරන්නට අවදානම් උත්සාහයක් ගන්නට අවස්ථාවක් නොලැබෙන නිසා, එවිට වෙළඳපොලේ බඩු හිඟයක් ඇති වේ. ප්‍රතිඵලය ආණ්ඩුව විසින් තීරණය කරන අන්දමට ඉල්ලුම සපුරාලන්නට තරම් නොහැකි අඩු ප්‍රමාණයකින් නිෂ්පාදනය වෙන භාණ්ඩ ස්වල්පය සලාක ක්‍රමයක් යටතේ බෙදා දීම පටන් ගැනේ.

සලාක ක්‍රමයකට මුහුණ දුන් ලංකාවේ ජනතාව චන්දයක් ලැබුණු වහාම ආණ්ඩුව වෙනස් කරගත්හ!!!!!

ව්‍යවසායකයාගේ ලාබය අහෝසි කර දැමිය යුත්තේ ශ්‍රමිකයාගේ යහපතට යැයි කියද්දී එයින් ලාබය මුලිනුපුටා දැමීමක් අදහස් නොවේ. එයින් අදහස් වෙන්නේ ව්‍යවසායකයාගේ අතින් උදුරා ශ්‍රමිකයන්ට පැවරීමයි. එවැනි ක්‍රමයක දී අලාබ සිද්ධ වෙද්දී ඒවා විඳ දරාගන්නට සිද්ධ වෙන්නේ ව්‍යවසයාකයාටය. ලාබ පමණක් ශ්‍රමිකයා අතට ලැබේ. මේ ක්‍රමය නිසා ලාබයෙන් වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගැනේ. නැවත ව්‍යපාරයට යොදවන්නට ඉතිරි කරන්නේ අල්පයකි.

එහි දී අලුත් නිෂ්පාදන ක්‍රියාවලියන් හදන්නට මූල්‍යයක් එකතු කරන්නෙක් නැත. එසේම ව්‍යවසායකයා විසින් පාරිභෝගික ඉල්ලුම අනුව වැඩි කළ යුතු නිෂ්පාදන අඩු වී යයි. මන්ද, යම් නිෂ්පාදන භාණ්ඩයක් වෙනුවෙන් වෙහෙසන ශ්‍රමිකයන් වෙතින් එය ඉවත් කර වෙනත් නිෂ්පාදන භාණ්ඩයක් වෙනුවෙන් වෙහෙසෙන ශ්‍රමිකයන් වෙත යෙදවීම එහි දී ශ්‍රමිකයන්ගේ යහපත වෙනුවෙන් යැයි කියා සිද්ධ කළ නොහැකි වූවක් නිසාය.

සෝවියට් රුසියාවේ මහජනතාවගේ ඉල්ලුම කුමක් දැයි දැනගන්නට පාලකයන්ට ක්‍රමයක් නොතිබුණ බැවින් භාණ්ඩ හිඟයන් ගහණ විය. මිනිසුන් එදිනෙදා අවශ්‍යතා සඳහා භාණ්ඩ සලාකයෙන් ලබාගන්නට පෝලිම් වල වරු ගණන් තපින ලදි.

ආණ්ඩුවක කොතරම් පරිපාලන නිලධාරීන් වූවත් ඔවුනට මිල තීරණයට හැකියාවක් නොමැත. එසේ දන්නවා යැයි ආණ්ඩුවට උපදෙස් දෙන ආර්ථික උපදේශකයන් ඕනෑම රටක ගහණ ය. එහෙත් ඔවුන් අතර භාණ්ඩ නිෂ්පාදනයේ යෙදුන ව්‍යවසායකයෙක් ලෙසින් වෙළඳපොලේ දස්කම් පෙන්වා ඇත්තෙක් ඉන්නේ නම් ඉතා කලාතුරකිනි. වෙළඳපොලේ දස්කම් පානා අය ලාබය උපයන නිසා ඔවුන් “සූරාකන්නෝ” යැයි ලේබල් ගැසුවාට වෙළඳපොල බඩු හිඟය නැති කරගන්නේ කෙසේදැයි මේ කිසිම සමාජවාදී ජගතෙක් කියන්නට නොදනිති.

බඩු මිල ඉහළ යාම ආණ්ඩුවේ නීතියක් ගෙනැවිත් තහනම් කළ පමණින් බඩු වෙළඳපොලේ ගන්නට හැකියාව නොලැබී යන්නේ ද ඔවුන් විසින් යහපත වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දුප්පතාටම ය.

ව්‍යවසායකයාගේ සියළු ලාබයන් රාජ සන්තක කරගැනීමේ දී ව්‍යවසායකයා කිසිත් ලෙසකින් පාරිභෝගික අණසකට යටත් වීමෙන් ඉවත් කෙරෙයි. එවිට හිතුමතයේ තීරණයන් ගෙන වගකීමකින් තොරව නිෂ්පාදනයේ යෙදෙන ව්‍යවසායකයා පාලකයන්ගේ සිත් දිනාගන්නට පමණක් කටයුතු කරන්නෙකි.

ලාබය තුරන් කරන්නට ක්‍රමය වෙනස් කළ පසු වී. අයි. ලෙනින් 1921 මාර්තු මාසයේ දී බොල්ෂෙවික් පක්ෂයේ 10 වැනි කොංග්‍රසය ඉදිරියේ කියා සිටියේ විප්ලවයේ යම් දෝෂයක් ඇති බවයි. බොල්ෂෙවික් විප්ලවයෙන් රුසියාව “අගාධයකට වැටෙන්න යන අද්දරකට” (very edge of abyss) පැමිණ ඇති බවයි. හාමත, මරණ හා ස්වභාව ධර්මයා විසින් ගෙනෙන ලද විපත් වලින් ගැලවෙන්නට ක්‍රමයක් ඔවුන් දැන නොසිටියහ. ඔවුන් දිවි ගලවා ගැනීම සඳහා “ලාබ සොයායන්නෝ” යැයි අවඥා සහගත ලේබලයක් අලවා නව ආර්ථික පනත එනම් Khozrachyot සංකල්පයට ඉඩ දුන්නේ කැමැත්තෙන් නොවේ.

නමුත් ධනවාදී ස්වරූපයකින් සමාජවාදය කරගෙන යා නොහැකියි.

වර්තමාන සියළු ආණ්ඩු ක්‍රමයන් සමාජවාදී ක්‍රමයක් කෙළින්ම භාවිතයට නොගත්තාට ව්‍යවසායකයාගේ ලාබයට තට්ටු කරන ඉහත ක්‍රම ශ්‍රමිකයාගේ නාමයෙන් සහ පාරිභෝගිකයාගේ නාමයෙන් යොදවා පාලන පංතියේ හා ඔවුනට හේත්තු වී සිටින බූර්ජුවාසියේ පොකැට්ටු පුරවා ගනිති. ලංකාවේ වාහන පර්මිට් ඊට හොඳ උදාහරණයකි.

වෘත්තීය සමිති වලින් දියත් වන්නේ ආණ්ඩුවේ එනම් මහජනතාවගේ ම සල්ලි වලින් තමන්ගේ වේතන වැඩි කරගැනීමේ උත්සාහයන් ය. වෘත්තීය සමිති ශ්‍රමිකයන්ගේ වේතන වැඩිවෙන්නේ ආණ්ඩුවක් විසින් ව්‍යවසායකයන් ගේ “අතිරික්ත ලාබ” වලින් තවත් කොටසක් කඩා ගැනීමෙන් යැයි වූ විශ්වාසයෙන් සියල්ලන්ම තවත් දුප්පත් ආර්ථිකයක් වෙත ගමන් කරති.

එසේම ආණ්ඩුව තමන් ජනතාවගේ යහපත සලසනවා යැයි රවටන්නට වරායන් සහ අධිවේගී මාර්ග වැනි මහජන ව්‍යාපෘති දියත් කරති.

ව්‍යවසායකයන් පලවා හැර මේවා සියල්ලේ නියැළීමෙන් අනතුරුව ආර්ථිකය දුප්පත් වෙද්දී ඇතිවෙන ජන අරගල තුලින් පැන නඟින වියවුල් තත්වය මඟ හරවා ගන්නට තද නීති ගෙනැවිත් පුළුවනැයි ඊ ළඟට කියති.

ලාබය කුමන ආකාරයෙන් අහෝසි කර දමන්නේ ද, එවැනි රටක් ගමන් කරන්නේ වියවුල් පිරුණ යුගයක් කරා ය. සමාජවාදී පිළිවෙත් වැඩි වර්ධනය වෙද්දී අවුල්ජාලය වෙත වේගයෙන් ද, ඒවා එකින් එකින් පැනවෙද්දී අවුල්ජාලය වෙත හෙමිහිට ද පිය නඟති.

1951 සැප්තැම්බර් 9-16 දී ප්‍රංශයේ බෝවැලොන හි පවත්වන ලද මොන්ට් පෙරලින් සමාජ රුස්වීමක දී ලුඩ්විග් වොන් මීසස් විසින් ඉදිරිපත් කරන ලද දේශනයක් ඇසුරිනි.

පහත පින්තූර කළින් සටහනකට එකතු කරන ලද වර්ජීනියාවේ ෆෙයාර්ෆැක්ස් නගරයේ කොරියන් සංක්‍රමණිකයන් පවත්වා ගෙන යන අති සාර්ථක බේකරියයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on මැයි 1, 2013 at 10:52 පෙ.ව.

    Thanks Aruni lipiyata. mata gataluwak thiyenawa mage chuti kade sambandayen. giya viyadama piyawagannata mila theeranaya karaddi kothanada api mila gana ekangathawayakata enne ? £ 7 welata mata labayak thiyenawa. eth mila adu kaloth thathwaya balai kiya nogannawa. mila wadi kaloth mila wadi kiya wena kadekata yanawa. tikak meka pahadili karanawada ? mama inna ona kothanada?

    • arunishapiro said, on මැයි 1, 2013 at 11:32 පෙ.ව.

      Shanthi,

      ඔයා සපයන්නේ ආහාර වේලක් විතරක් නෙමෙයිනෙ. ආහාර වේලක් ගන්නා අත්දැකීමක්. අත්දැකීමට අයිති ආහාර වේල පමණක් නෙමේ. අනගි ආහාර වේල පැත්තකින් තියමු. ගෙදර ඉඳන් කනවාට වඩා අත ළඟට සියල්ලක් ගෞරවශීලීව ගෙනැවිත් දෙන සේවය, අවන්හලේ ප්‍රදර්ශනය කරන ලස්සන හා පවිත්‍ර පරිසරය, දන්න අයගේ හද පිනවන නොදන්න අයට අමුතු අත්දැකීමක් ලබාදෙන විදේශීය සංගීතය, කට්ටියක් එක්ව ඇවිත් සතුටු කාලයක් ගෙවා දමන්නට හැකි venue එකක්. ඒ සියල්ලේ මිල යනු කෑම වේලක මිල පමණක් නෙමෙයි. ඔයා අනගි කෑම වේලක් දීමත් සමඟ අනිත් කාරණා සියල්ල කොතරම් හොඳට ඉටු කරනවා ද යන්න සමඟින් තමයි නිෂ්පාදන වැය පියවන £7 ට තව මුදලක් එකතු වෙන්නෙ. ඒ හැකියාව ලැබෙන මුදල කුමක් දැයි ඔයා ඉන්න පැත්තේ තොරතුරු වලින් කල් ඇතිව තීරණය කරන හැකියාවෙන් තමයි ඔයා ලාබයක් හොයන්න හැකියාවක් පාදා ගන්නෙ.

  2. Shanthi Chandrasekera said, on මැයි 1, 2013 at 1:39 ප.ව.

    Thanks Aruni pahadili kireemata.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: