අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝකවාසී සියළු ශ්‍රමිකයන්ට සතුටු ධනවාදී දිනයක් වේවා!

Posted in Uncategorized by arunishapiro on මැයි 1, 2013

Light bulb with dollar symbol

ලෝකයේ කම්කරුවන්ට මැයි දිනයක් සමරන්නට අවස්ථාව 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නගරයෙන් උදා විය. දවසේ වැඩ මුරය පැය අටකට සීමා කරන්න යැයි ඉල්ලා කරන ලද වැඩ වර්ජනයක් ඊට ප්‍රධාන විය. එහෙත් කම්කරුවාගේ දිනය සමරන්නට පවා හැකි වී තිබෙන්නේ ධනවාදය ලොව බිහි වූ නිසා යැයි බහුතරයක් ශ්‍රමිකයන් නොදනිති.

වසර 250 කට පමණ ඉහතක දී මිනිසාගේ සමාජ තත්වය උප්පත්තියෙන් තීරණය වූවකි. දෑකැත්තක්, මිටියක් හදන පවුලක ඉපදුන අයෙක් ඒවා හදමින් මුළු ජීවිත කාලයම ගෙවා මිය ගියේය. ඔවුන්ගේ දෑකැති මිටි ගණුදෙනුවෙන් ලබාගත් අය වෙහෙසුනේ රදළයන් හා කුලීනයන්ගේ උවමනාවන් පිරිමසාලන්නට මුළු ජීවිත කාලය ගෙවමිනි.

තමනට අයිති භූමියක තමන් කැමති පරිද්දෙන් තමන්ගේ පවුලක් පෝෂණය කරමින් නිදහසේ ජීවත් වූ රන්මය යුගයක් ධනවාදයට පෙර ලෝකයේ කිසිම කලක කිසිම තැනක නොවීය. වැඩවසම් යුගයේ කර්මාන්ත වලින් නිපැයුන ඵලදාව එදා සම්පූර්ණයෙන්ම භුක්ති වින්ඳේ වැඩවසම් රජු සහ ප්‍රභූ පැලැන්තියයි. යුරෝපයේ කෘෂිකාර්මික කටයුතු වල යෙදුන 90% ක ජනතාවක් නගර වල තිබුණු කර්මාන්ත ගැන නොදත්හ. වසර සිය ගණනක් එසේ මිනිසුන් අනුන්ට කඹුරමින් ජීවත් වූහ.

ගම්බද ජනතාව කෙමෙන් වැඩි වන්නට පටන් ගැනීමත් සමඟින් අයිතිය කෙසේ වෙතත් වාසයට පවා ඉඩම් නොමැති ජනතාව ද වැඩි වී ඔවුනට සිය ශ්‍රමය යොදවන්නට හැකි පාරම්පරික රැකියාවන් ඇති පමණට ලොව නොතිබුණි. රජවරුන් හා ප්‍රභූ පැලැන්තිය රැකියාවන් සොයා නගර වලට ඇදී එන්නට මේ ගම්බද ජනතාවට අවසර දුන්නේ නැත. වැඩි වර්ධනය වන අතිරික්ත ජනතාව ගැන කරන්නේ කුමක් දැයි කිසිවෙක් නොදත්හ.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කම්කරුවන්” යැයි හැඳින්විය හැකි කොට්ඨාශයක් එසේ ලොව බිහිවිණ. යුරෝපය පුරා ඉබා ගාතේ සැරිසරන ලද ඔවුන් දැක යුරෝපීය ආණ්ඩු විසින් කළේ “දුප්පතුන්ගේ නිවාස” සහ “රැකියා කරන අයගේ නිවාස” වලට ඔවුන්ව ගාල් කිරීමයි. නෙදර්ලන්තයේ සහ මිලියන 7 ක් පමණ වාසය කළ එංගලන්තයේ මේ පිරිස් කොතරම් විශාල සංඛ්‍යාවන් වූවා දැයි කිවහොත් 18 වැනි සියවස වෙද්දී වැඩවසම් සමාජ ක්‍රමයට මේ අතිරික්ත “කම්කරු” ජනතාව දැඩි තර්ජනයක් විය.

ආණ්ඩු වලට මුහුණ පාන්නට සිද්ධ වූයේ මේ වැඩි වී සිටින ඉඩම් නොමැති රැකියා නොමැති මහත් ජනකාය ගැන පමණක් නොවේ. මෙතෙක් හේමන්තයක දී දිවි ගලවා ගන්නට හැකි අමු ද්‍රව්‍ය කෙමෙන් අඩු වී යන ආකාරය ද ඔවුන් දැක්කහ. තියෙන ස්වභාවික සම්පත් කා බී අවසන් වෙද්දී අනාගතයේ ජීවත්වීම සඳහා දියුණුවක් කරා යන්නේ කෙසේදැයි කියන්නට පාලක පංතියේ කිසිවෙක් සමත් නොවූහ.

එවැනි සමාජ තත්වයක දී ධනවාදය හිස එසවීය. එය කිසිවකුගේ සැලැස්මක් නොවිණ. එය ජීවත්වීමේ ආශාව නිසාම ආහාර හා විලිවසා ගැනීමේ අවශ්‍යතාවයන් පිරිමසා ගනු පිණිස නන් දෙසින් හටගත් ඕපපාතික උත්සාහයන් විය. සමාජය විසින් පැත්තකට තල්ලු කර දමන ලද “කම්කරු” ජනතාව, දුප්පතුන් අතර මොනවා හෝ නිෂ්පාදනය කරන්නට දන්නා අය ප්‍රමුඛත්වයෙන් කුඩා ව්‍යවසායක උත්සාහයන් පටන් ගන්නා ලදි.

නවෝත්පාදන ලොව බිහිවිය.

වැඩවසම් යුගයේ දී භාණ්ඩ නිෂ්පාදනය වූයේ රජුන් හා ප්‍රභූ පැලැන්තිය සතුටු කිරීමටයි. එහෙත් මේ “කම්කරුවන්” නවෝත්පාදකයන් වූයේ තමන් අතර වූ සැම දෙනාගේ ම උවමනාවන් පිරිමසා ගනු පිණිස ලාබෙට බඩු (බාල බඩු නෙමෙයි) නිෂ්පාදනයටයි.

වර්තමානයේ පවතින ධනවාදයේ මූලාරම්භය එසේ සිද්ධ විය.

මහා පරිමාන ලෙසින් භාණ්ඩ නිෂ්පාදනය එසේ ආරම්භ විය.

ධනවාදී කර්මාන්තයේ ප්‍රධාන මූල ධර්මය එසේ හට ගැනුනේ ඕපපාතිකව ය.

රජුන් හා ප්‍රභූන් සමඟ නගරවාසී ජනතාව පිනවන්නට අරමුණු කරගෙන එතෙක් ලොව වෙහෙසුන “කම්කරුවන්” එතැන් පටන් වෙහෙසුනේ නව ධනවාදී කර්මාන්ත වලින් රටේ සියළු ජනතාවට මිල දී ගත හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයටයි.

මහා ජනතාවගේ උවමනාවන් පිරිමසාලන්නට මහා පරිමාන නිෂ්පාදනය බිහිවිය.

වර්තමානයේ ද මේ ප්‍රධාන ධනවාදී මූල ධර්මය එලෙසින් ම පවතින්නේ මහා පරිමාන වශයෙන් භාණ්ඩ හා සේවා නිපදවන රටවල් වලයි. වැඩවසම් ක්‍රමයෙන් වෙනස් වී හටගත් මේ වෙනස් ක්‍රමයට මුලින් ම ලේබල් එකක් අලවා එය ධනවාදය යනුවෙන් වචනයක් හැදුවේ ධනවාදයේ හිතවතෙක් නොවූ කාල් මාක්ස් විසිනි. එහෙත් වර්තමානයේ දී ද, වාමාංශිකයන් විසින් විරෝධය නිතරම ප්‍රකාශ කරන විසල් කර්මාන්ත සම්පූර්ණයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මහා ජනතාවකගේ උවමනාවන් පිරිමැසීම සඳහායි. මේ විසල් කර්මාන්ත වල නිෂ්පාදනයේ යෙදෙන “කම්කරුවන්” ඒවායේ භාණ්ඩ පරිභෝජනය කරන “පාරිභෝගිකයන්” ද වෙති.

වසර 200 කට පෙර හිතන්නට පවා නොහැකි වූ සුඛෝපභෝගී තත්වයන් අද මහත් ජනතාවක් පරිභෝජනය කරති. අද ලොව බහුතරයක් වාහන වල සහ ගුවන් යානා වල නැඟී ගමන් බිමන් යති. විදුලි බලය, රූපවාහිනි සහ සෙල් ෆෝන් භාවිතා කරති.

මගේ ජීවිත කාලයේ දී ම මුද්‍රණාලයක දී අතින් අකුරු අමුණා, අතින් කරකවමින් බිහි කරන ලද පත්තරයක් වෙනුවට මට පරිගණකයෙන් සිංහලෙන් ලියා ලොව වටා ඉන්නා පාඨක පිරිසක් හා සම්බන්ධ වන්නට අවස්ථාව පැදී ඇත!!!!

අද අපි අනාගතය වෙනුවෙන් ස්වභාවික සම්පත් ඉතිරි කරගන්නේ කෙසේදැයි සොයාගෙන ඇත්තෙමු.

ඉතින් සැබෑ කම්කරුවන්ට ප්‍රශංසා කරමින් මේ මැයි දිනය, අපේ ජීවිත වැඩියෙන් සුන්දර කරන්නට, වැඩියෙන් පහසු කරවන්නට ඉවහල් වූ සත්‍ය සිද්ධාන්තය වන මූල්‍යය (capital) හඳුනා ගනිමු.

සුබ ධනවාදී දිනයක්!

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. සමන් said, on මැයි 1, 2013 at 10:07 පෙ.ව.

    ලිපියට ස්තුතියි.
    //තමනට අයිති භූමියක තමන් කැමති පරිද්දෙන් තමන්ගේ පවුලක් පෝෂණය කරමින් නිදහසේ ජීවත් වූ // ලෝරා එන්ගල්ස් වයිල්ඩර් සහ ඇගේ පවුල, ගැන ලිපියක් ලියනු ඇතැයි කාරුණිකව අපේක්ෂා කරමි. ඇගේ දියනිය, රොස් වයිල්ඩර් ලේන්, ලිබටේරියන් දර්ශ්නයේ පුරොගාමී කාන්තාව ඔබ නොහදුනනේ නම් පුදුමයක් 🙂

  2. mppgunasinghe said, on මැයි 1, 2013 at 10:26 පෙ.ව.

    “තමනට අයිති භූමියක තමන් කැමති පරිද්දෙන් තමන්ගේ පවුලක් පෝෂණය කරමින් නිදහසේ ජීවත් වූ රන්මය යුගයක් ධනවාදයට පෙර ලෝකයේ කිසිම කලක කිසිම තැනක නොවීය.” සැබෑවකි. ඒ සමගම මිනිසා මිනිසාගෙන් වෙන්ව හුදෙකලාවට පත්වීමෙන් විඳින්නට වූ තනිකමේ දුකට ද වැටී ඇති බවකුත් පෙන්වනවා නේද ? මේ තනිකමට විසඳුම කවරේ ද ? වයසට ගිය ධනවත් මහළු දෙමාපියන් පොදු නිවාස වල තනිවී ගත කරන කලකිරුනු ජීවිත ! පරම්පරා දෙකේ මතිමතාන්තර පරතරය නිසා කිසිදිනක ඔවුනට දරුවන් හා එකතුවී දිවි ගෙවීමටද නොහැකිව ඇත. මිනිසා තවන මේ වේදනාවන්ට කවදා හෝ විසඳුමක් සොයා ගනී ද ? හුදෙක්උපදේශනයෙන් හෝ රසායනික ප්‍රතිකාරයකින් හො ලැබෙන්නේද තාවකාලික පිළිසරණක් පමණි. ධනවත් මහළු දෙමාපිය පිරිසක් ඉතිරි කරගත් මුදලින් හෝ රක්ෂණ ආවරණයකින් භෞතික පිළිසරණ ලැබුවත් අධ්‍යාත්මිකව මහත්සේ අසරණව සිටිති. එය ද මග හැරී යාමෙන් දරුවන්ගෙන් යැපෙන්නට සිදුවී ඇති හා තමන් සතු සියල්ල දරුවන්ට දීමෙන් පසුව අතරමං ව සිටින අයත් රාහියක් සිටිනවා. ජීවත්ව ඉන්න ස්වල්ප කාලයේ තරගයට මැදිව එකිනෙකා හඹා යමින් ගතකළ ජීවිතයේ පලක් නැති බව කියමින් වනගතව සතුට තෘප්තිය සො‍යා යන මිතුරන්ගේ වුවද ජීවිතයේ අරුත කුමක් ද ? මේ ඔබේ ලිපිය කියවමින් සිටි මට ඇති වූ සිතිවිලි වලින් ස්වල්පයක්. !

    • arunishapiro said, on මැයි 1, 2013 at 11:21 පෙ.ව.

      mppgunasinghe,

      වයසට යන තෙක් බහුතර ජනතාව ජීවත් නොවූ වැඩවසම් යුගයේ දී ඒත් මහළු වියට පත් වූ පසු ඒ සියල්ලන්ම බලා කියාගන්නට ඔවුන් සැමටම ඔවුන්ගේ දරුවන් සිටියා යැයි කතාව සත්‍යයක් ද?

      මිනිසා සමාජ ආශ්‍රයෙන් වෙන් වී හුදකලාවට පත්වූයේ ආණ්ඩු විසින් සහනාධාර බෙදන්නට පටන් ගත් පසු යැයි මගේ ප්‍රස්තුතය. ඒක විස්තරාත්මකව ලියන්න කළින් ලිවිය යුතු දේ බොහොමයි.

      තනිකමට විසඳුම නම් තමන් අගයන අදහස් ඇති යාළුවන් ගොඩක් හදා ගැනීම. මට නම් මට වඩා බාල වියේ ඉන්න මිතුරු මිතුරියන් ද හමුවීම ඉතා පහසුයි!!!!! උවමනාවක් විතරයි ඊට අවශ්‍ය. ඒත් සමහරු ඉන්නවා, මගේ සුදු අප්පුහාමි වගේ, එයාට මං හිටියාම ඇති වෙන යාළුවන් අවශ්‍ය නැහැල්ලු. ඉතින් ඒක එයාගෙ කැමැත්ත. හැබැයි අයෙක් දකින්න පුළුවන් එයා හුදකලා තනි වී ඉන්න කැමති කෙනෙක් හැටියට. ඒත් එයා එහි දී ඉන්නෙ ඉතා සතුටෙන් යැයි දන්නේ මායි මගේ දුවයි විතරයි.

      අධ්‍යාත්මික අසරණ බව ඇයි?

      තමන් මහළු වියට පත් වෙන්නේ නැතැයි සිතා ජීවත් වූ නිසා ද මහළු වියට පත් වූයේ?

      තරඟයක යෙදෙන්නට හෝ වනගත වී ඉන්නට තීරණයන් ගන්නා ලද්දේ ඔවුන්ම නොවේ ද?

      තමන්ගේ ජීවිතයේ අරුත කුමක් දැයි සොයා ගත යුත්තේ තමන් විසින්ම නොවේ ද? 😀

      ඒ mppgunasinghe ගේ ප්‍රතිචාරය දැකලා මට ඇති වූ සිතිවිලි වලින් ස්වල්පයක් 😀

      • mppgunasinghe said, on මැයි 1, 2013 at 1:32 ප.ව.

        “වයසට යන තෙක් බහුතර ජනතාව ජීවත් නොවූ වැඩවසම් යුගයේ දී ඒත් මහළු වියට පත් වූ පසු ඒ සියල්ලන්ම බලා කියාගන්නට ඔවුන් සැමටම ඔවුන්ගේ දරුවන් සිටියා යැයි කතාව සත්‍යයක් ද?” මෙවැනි අදහසක් මට ඇති වූ සිතිවිලි ලියද්දී පළවූයේ දැයි මතකයේ නැත. මගේ හිතවතකු පසිගිය දිනක ගත් පියවරකන් විකිෂිප්තව සිටින අතර දී ඔබේ ලිපිය දිටිමි. එයින් පිබිදිනු සිතිවිලියි මා පළ කරන්නට අදහස් කළේ. ඔහු කිසිදු දෙයකින් අඩුවක් නොවූ අයෙකි. දරු සෙනෙහස හෝ භාර්යාවගේ සෙනෙහසේ අඩවක් ද අප කිසිවකුට නොපෙනුනි. දරුවන් දෙදෙනකු වෛද්‍යවරයො වෙති. ඔවුන් එක්ව දැඩි වෛද්‍ය පර්යේෂණයකට භාජනය කර වූ නමුදු කායික හෝ මානසික හේතුවක් අනාවඍනය වි නැති බව කියති. දැඩි සේ කරපව මුදල් සෙවිමේ නිරතවෙමින් සිටි ඔහුට මෙසේ වූයේ ඇයි ? ඔහු සිය දූදරුවන්ගෙන් වෙන්ව අලුත් දිවියට යන මොහොතේ අපටද යන්නට අවස්ථාව ලැබිණි. මීට පෙර කලකිරිමෙන් වෙහෙසට පත්ව සිටි ඔහු ඉතා සතුටින් සිටිනු දක්නට අවස්ථාව ලැබිණි. මේ සිදුවූයේ කුමක්ද ? මට තවමත් තේරෙන්නේ නැත.

        • arunishapiro said, on මැයි 1, 2013 at 6:02 ප.ව.

          mppgunasinghe,

          ඔයාලට නොපෙනෙන අඩුවක් තිබිලා එය පුරවාගන්නට ඔහුට හැකිවෙන්නට ඇති. තම ජීවිතයේ අඩුපාඩු ඇත්දැයි දන්නේ තමන් පමණයි .. ඒ අඩුපාඩු හදාගන්න හැකියාව ඇත්තේ ද තමන්ට ම පමණයි. ඔබේ හිතවතා වෙනස් වූ ආකාරය වටහා ගන්න උත්සාහ කරනවාට වඩා ඔහු සතුටින් සිටීම ගැන ඔබත් සතුටුවීම වඩා වැදගත් නේද?

          • mppgunasinghe said, on මැයි 2, 2013 at 5:48 පෙ.ව.

            එදා අපට ද ආයාචනා කරමින් හඬා වැලපෙන්නට වූ ඔහුගේ අඹු දරුවන්ට දුන්නේද ඔබ මෙහි මට දුන් පිළිතුරම ය. තම සැමියා ? පියා අප හුමුවට පැමිණි පසුව හඬා වැලපීමෙන් වැලකෙන ලෙස ඉල්ලා ඔවුන්ව පාලනය කර ගැනීමට අපට හැකිය විය. ඉතා සතුටින් අප හමුවට පැමිණි ඔහු මහත් දයාවෙන් අප දෙසත් සිය නෑදෑ පිරිස දෙසත් බලා පැවසුවේ. තමන්ට මේ මෑතක් දක්වා පැවති එකම බාධකය වූයේ බිරිදගේ රැකවරණය පිළිබදව සිතට වද දෙන්නට වීම පමණක් බවය. තමාගේ දියණියක් ඇය වෙනුවෙන් මහත් කැපවීමක් දක්වන බව පෙනී යාමෙන් පසුව ඇයව ද අතහැරීමට හැකි වූ බව ඔහු පැවසීය. මීට පෙර තමා විසින් යමක් ලබාගැනීමෙන් හිමි කරගත් සතුට පැවතියේ සුළු කලකට පමණක් බව පැවසූ ඔහු අත හැරීමෙන් ලබාගත් සතුට වඩා ස්ථිර බවක් හැඟී යතැයි වැඩිදුරටත් පවසා නිහඬ විය. ඒ අත්දැකීමෙන් ඇති වූ සසල බව වනැන්ක් තවමත් මාගුළ පවතී.

  3. Shanthi Chandrasekera said, on මැයි 1, 2013 at 10:34 පෙ.ව.

    Lassana lipiyak . oya tika boruwata kaagahana peeditha panthiya kiyana ayata nowatahena ekathamai godak gataluwalata hethuwa. thamange gewaththe adugane miris gahak, thakkali gahak wawagena eda dawase pari bojanayata uwamana de sakas kara ganna wanam diunu wenna puluwan. eth wadi denek nikan kaka bibi innai kamathi. thanks Aruni oyage lipiyata. me dawaswela mage chuti kade wada patanna ganna salasum karamin inne.

    • arunishapiro said, on මැයි 1, 2013 at 11:24 පෙ.ව.

      Shanthi,

      ස්තූතියි Shanthi. ඔව්, ගෙවත්තක් නැත්නම් පෝච්චියක වුනත් පැළ කරගන්න පුලුවන්නෙ. ඒත් එහෙමවත් ඕනෑකමක් නැතිව අපේ භූමියේ සාරය ගිහින් ජනතාවට කන්න දෙන්න වගා කරන්න ඉඩක් නැහැයි කියල අඳෝනා කියන අයයි වැඩි.

  4. Jay said, on මැයි 1, 2013 at 5:51 ප.ව.

    කාලෙකට පස්සෙ ශ්‍රේෂ්ඨ මැයි දින පනිවිඩයක් දැක්කා…..

    • arunishapiro said, on මැයි 1, 2013 at 5:57 ප.ව.

      Jay,

      බහුතරයක් හැමදාම කියන බයිලා ආයෙත් වමාරද්දී අද වෙබ් පත්තරේ 10 වැනි පිටුවේ “පෙළපාළි යෑමෙන් ඔබ්බට ගොස් ප්‍රායෝගික ලෙස ශ්‍රමිකයෙකුගේ භූමිකාව රඟ දැක්විය යුත්තේ කෙසේද?” යන මාතෘකාවෙන් වූ ඵලදායිතා උපදේශක ලාල් පොන්සේකා ලියන ලද හොඳ ලිපියක් මාත් කියෙව්වා.

  5. Jay said, on මැයි 1, 2013 at 10:11 ප.ව.

    අරැණි මෙතන තමයි හොදම තැන කම්කරැ පාට රතු පාට වුන විදියත් කියන්න.
    බලන්නකො අපි ඉන්නෙ අනාගතයෙනෙ පත්තර කාරියත් එක්ක සංවාදයකුත් කරනවා.
    පූර්න දනවාදී විජෙට්ටුවකින් සිංහලෙන් ලියනවා.

  6. Ashan Kosala said, on මැයි 2, 2013 at 11:47 පෙ.ව.

    ithamath rasawath lipiyak samaja waadaye pasukaalina prwanatha haduna nogena samaja waadaya karapinna sitinnannta hoda paadamak oba uganwanawa mahathmiyani
    obe lipiyata ada lanka diipa puwath pathe (http://epaper.lankadeepa.lk/) dawase vimasuma galape yai mata sithenawa

    • Jay said, on මැයි 2, 2013 at 7:37 ප.ව.

      අරැණි මම අහල තියෙන විදියට මුලින්ම චිකාගෝ කම්කරැවො සුදු කොඩි අරගෙනයි විරෝධතාව පවත්වලා තියෙන්නේ පොලිස් පහරදීම් වලින් ගලපු ලේ වලින් අර සුදු කොඩි රතු පාට වුනාලු ඒ වෙලාවෙ ඔවුන් දිගටම ඒ කොඩි අරගෙන ගිහින් ඉන්පසු කම්කරැවන්ගෙ ඔආට රතු පාට වුනාලු.

      • arunishapiro said, on මැයි 2, 2013 at 9:10 ප.ව.

        Jay,

        රතු කොඩියේ ඉතිහාසය ඉතා පැරණියි.

        17 වැනි සියවසේ දී තමයි රතු කොඩිය යටත් නොවෙන බව කියන්නට විරෝධය පෙන්වීම සඳහා පාවිච්චි කරන ලද්දක් බවට පත් වෙන්නෙ.

        රතු පාට භාවිතය අරගල සඳහා යොදා ගැනීම 1358 ජැකරී අරගල දක්වා ඈතක දී රතු තොප්පි භාවිතයෙන් සිද්ධ වූවක්. ප්‍රංශ විප්ලවයේ මුල් කාලයේ දී, 1789 ජූලි, දේශප්‍රේමීත්වය පෙන්වන්නෙ රතු පාට සැරසිලි වලින්.

        ප්‍රංශ විප්ලවයට (1789–1799) තුඩු දුන් සමාජයේ කොටස් තුන තමයි පල්ලිය(First Estate), රදළයන් (Second Estate) සහ සාමාන්‍ය වැසියන් (Third Estate). මෙයින් බදු ගෙවන ජනතාව වූයේ සාමාන්‍ය වැසියන් පමණයි. පල්ලිය බදු වලින් නිදහස් වුනා මොකද රජුට කීකරු වෙන්න යැයි පල්ලියෙන් දෙන ආගමික අධ්‍යාපනයෙන් තමයි ජනතාව එකඟ කරවාගත්තෙ. රදළයන් බදු වලින් නිදහස් වුවා ඔවුන් රජු බලයේ තියාගන්නට දෙන සහාය නිසා!!! ඉතින් බදු බර සම්පූර්ණයෙන් වැටුනේ සාමාන්‍ය මිනිසුන්ට. ඔවුන් මැරීගෙන වැඩ කළේ තමන්ට අයිති නැති ඉඩම් වල ජීවත්වෙමින්, තමන්ට කැමති විදියට භුක්ති විඳින්නට නොලැබෙන ඵලදාව බදු බරින් පීඩනයට පත්වෙමින් නිෂ්පාදනය කරලා රජුගේ සහ රදළයන්ගේ කැමැත්ත පරිදි පරිභෝජනයට යවමින්. ප්‍රංශ ආණ්ඩුව ඇමෙරිකාවේ නිදහස් අරගලයට ණයක් දුන්නා, ඒ සමඟ ඔවුන් ද බ්‍රිතාන්‍ය සහ සෙසු යුරෝපීය රටවල් සමඟ නිතර යුද වැදුන නිසා භාණ්ඩාගාරය හිස්වෙලා තිබුනෙ. ඒ නිසා ගොවියන් සහ නිෂ්පාදනයේ යෙදුන ජනතාව වෙතින් අය කරන බදු තවත් ඉහළ යැවුණා. රතු පාටින් ලියැවෙන බජට් පරතරයෙන් වේතන ලැබූ ප්‍රංශ ආණ්ඩුවේ සේවකයන්ට තමයි මුලින් ම රතු කමිස හැඳගත් අය හැටියට නම වැටුනේ.

        ප්‍රංශ විප්ලවයෙන් පසු බල අරගලයක් පැවති කාලයේ ජැකෝබියන් සමාජය එහි බලය අල්ලා ගෙන සිටි භීෂණ සමය (1793-1794) දී රතු කොඩිය නිල නොවන ජාතික සංකේතයක් බවට පත්වෙනවා.

        1848 ප්‍රංශ විප්ලවයේ දී සමාජවාදීන් සහ රැඩිකල් ජනරජවාදීන් විසින් රතු කොඩිය ප්‍රංශයේ ජාතික කොඩිය බවට යොදා ගත යුතු යැයි කිව්වාට එයට ඉඩක් නොලැබී රතු, නිල්, සුදු පාට තුනේ කොඩියට තැන ලැබෙනවා.

        1871 දී පැරිස් කොමියුන් නොහොත් හතරවැනි ප්‍රංශ විප්ලවය දී මාර්තු 18 වැනි දා සිට මැයි 28 දා දක්වා පාලනය අල්ලා ගත් නගර සභාවට තනිකර රතු පාට කොඩියක් කොමියුනිස්ට්වාදයේ සංකේතය හැටියට පාවිච්චියට ඉඩ ලැබෙනවා. එතැනින් පසුවයි කොමියුනිස්ට් අය රතු කොඩි පාවිච්චිය පටන් ගන්නෙ.

        1886 චිකාගෝ මැයි දින වර්ජනයේ දී රතු කොඩි අරගෙනම තමයි කම්කරුවන් ගිහින් තියෙන්නෙ.

    • arunishapiro said, on මැයි 2, 2013 at 8:45 ප.ව.

      Ashan Kosala,

      ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: