අරුණි ශපීරෝ‍ වෙතින්

තරඟයේ පීඩනයෙන් ගැලවීමක් පොරොන්දුවන කොමියුනිස්ට්වාදයෙන් ලැබෙන්නේ දැඩි දඬුවම්

Posted in Uncategorized by arunishapiro on මැයි 3, 2013

IMG_5548

කොමියුනිස්ට්කාරයන් බහුතරයක් නොදන්නා කොමියුනිස්ට් ඉතිහාසයකට ඔබව ගෙන යන්නයි මේ හදන්නෙ. 😀

17 වැනි සියවස මැද දී ඉංග්‍රීසි සිවිල් යුද්ධය සමයේ විවිධ පොතෙස්තන්ත්‍ර ආගම් ඇදහූ අය අතර කනින්නන් (diggers), දොඩවන්නන් (ranters) හා රාජාණ්ඩුවේ පස්වැනි මිනිස්සු (Fifth Monarchy Men) යනාදී නම් වලින් කොමියුනිසිට්වාදී මතවාදීන් දකින්නට ලැබුණි.

මාක්ස්වාදී ඉතිහාසඥයන් අගයන ජෙරාඩ් වින්ස්ටැන්ලි ඩිගර් සංවිධානයේ නිර්මාතෘවරයා විය. අනෙකුත් පසුකාලීන කොමියුනිස්ට්වාදී හා සමාජවාදී නායකයන් සේ ම, මේ සමාජවාදී නායකයා ද කම්කරු පංතියේ ඉපදුන අයෙක් නොවූයේය. ඔහුගේ පියා රෙදිපිළි වෙළෙන්ඳෙකි. තරුණ වින්ස්ටැන්ලි රෙදිපිළි වෙළඳාමේ යෙදුන ද ඔහුගේ ව්‍යාපාරය සාර්ථක නොවීය. අනෙකුත් පසුකාලීන කොමියුනිස්ට්වාදී හා සමාජවාදී නායකයන් සේ ම, ඔහු ද ව්‍යවසායකත්වයට දක්ෂයෙක් නොවීය. ව්‍යාපාරයන් බංකොළොත් වී යද්දී ඔහුට 1643 සිට 1648 දක්වා කෘෂිකාර්මික කම්කරුවෙක් හැටියට ජීවිකාව උපයන්නට සිද්ධ විය. 1648 වෙද්දී ඔහු සමානාත්මවාදී ලෝක කොමියුනිස්ට්වාදයක් ගැන පත්‍රිකා ලියා බෙදා හරින්නට පටන් ගත්තේ ය.

දෙවියන් හැම පුද්ගලයෙක් තුලම වැඩ ඉන්නේ යැයි කියන එවක කරලියට පැමිණි සර්වේශ්වරවාදී දේව මතධාරියෙක් ද වූ වින්ස්ටැන්ලි සිය පත්‍රිකා වලින් කියා දුන්නේ වෙළඳපොල ආර්ථිකයකින් නොව අනිවාර්ය සාමූහික උත්සාහයෙන් ජීවිකාව උපයන්නට කියාය. එම දේව මතයේ සාතන් වනාහී ඒකීය පුද්ගල ආත්මාර්ථකාමය අගය කරන්නා ය.

වින්ස්ටැන්ලිගේ මතය අනුව දෙවියන් වහන්සේ ලෝකය මවන ලදි. අනතුරුව සාතන් විසින් ආත්මාර්ථකාමය උපදවා පුද්ගලික දේපල අයිතිය පිහිටුවන ලදි. අනෙකුත් පසුකාලීන කොමියුනිස්ට්වාදී හා සමාජවාදී නායකයන් සේ ම, ඉතිහාසයේ සත්‍යය නොවූ පරිසිද්ධියක්, නූගත් අය සඳහා වින්ස්ටැන්ලි ලියුවේ 1066 නෝර්මන් ආක්‍රමණ වලට පෙර එංගලන්තයේ පොදු දේපල අයිතිය තිබුණ බවයි. ඒ නිසා ජනතාව නැවතත් මුල් කොමියුනිස්ට් ක්‍රමයට යා යුතු බවයි.*

වින්ස්ටැන්ලි ගෙනහැර පෑ ක්‍රමය අනුව කෘෂිකාර්මික සමාජයක සියළු භාණ්ඩ පොදු දේපල අයිතියෙන් යුතුය. වේතනයට වැඩ ගැනීම සහ වානිජ්‍ය සහ වෙළඳ කටයුතු නීති විරෝධී වේ. කොමියුනිස්ට් ක්‍රමයට පටහැනි නිසා වෙළඳාම සහ බඩු සල්ලි වලට මිල දී ගැනීම මරණ දඬුවම නියම වෙන වරදකි. ගණුදෙනුවක් නැති නිසා මුදල් යන්න අනවශ්‍ය වූවකි, නීති විරෝධී වූවකි.

බඩු ගබඩාවන් පිහිටුවා බඩු එකතු කිරීම සහ ඒවා බෙදා හැරීම ආණ්ඩුවේ වගකීමයි. ශ්‍රමයෙන් දායක නොවන රස්තියාදුකාරයන්ට දැඩි දඬුවම් ලැබේ.

සිය ක්‍රමය විස්තර කරගෙන යද්දී කාලයක් ගතවූවාට පසු වින්ස්ටැන්ලි දෙවියන් විශ්වාසය බැහැරකට ලා අදේවවාදියෙක් වෙයි!!!! වෘත්තීය ආගමික නායකයන් අවශ්‍ය නැතැයි කියන ඔහු සැබත් අනුගමනයක් ද අවශ්‍ය නැතැයි කියයි. “පූජකවරුන්” චන්ද වලින් තෝරාගෙන ඔවුන් ලවා කොමියුනිස්ට්වාදයේ ගුණාත්මක බව හැමට උගැන්විය යුතු යැයි කියයි!!!

ප්ලේටෝ මෙන් පුංචි කාලයේ පටන් හොඳ අනුගාමිකයන් හදා ගන්නේ කෙසේදැයි වින්ස්ටැන්ලි ද දකියි. අධ්‍යාපනය නොමිලේ ලබා දී එය අනිවාර්ය කළ යුතු යැයි ඔහු කියයි!!!! බොහෝ දරුවන් ඵලකට ඇති වෘත්තීන් සඳහා යොමු කරවිය යුතු බවත් ඔහු කියයි. පොතපත හැදෑරීම ප්‍රායෝගික වෘත්තීමය පුහුණුවක් තරම් වැදගත් නැතැයි කියන ඔහු එය අධෛර්යමත් කළ යුතු හැදියාවක් ලෙස පෙන්වා දෙයි.

කොමියුනිස්ට් ජයග්‍රහණයක් සඳහා වින්ස්ටැන්ලි ගේ උපාය මාර්ගය වූයේ මුඩු හා පොදු බිම් වලට ගොස් පදිංචි වී සාමාකාමීව කොමියුනිස්ට් සමාජයන් ආරම්භ කිරීමයි.

පළමු ඩිගර් කණ්ඩායම එසේ ලන්ඩනයේ දකුණු පෙදෙසේ මුඩු බිම් වලට 1649 අප්‍රේල් මාසයේ දී පිවිස එහි වාසස්ථාන දහයක් ඊ ළඟ වසර පිරෙද්දී පිහිටුවා ගත්හ. එහෙත් පළමු පොදු වාසස්ථානයට එකතු වූයේ ඩිගර් සාමාජිකයන් 30 දෙනෙක් පමණි. රට පුරා පටන් ගත් අනෙක් එවැනි සංවිධාන වල පොදු වාසස්ථාන වලට ද වැඩි ජනතාවක් ඇදී ආවේ නැත.

වින්ස්ටැන්ලිගේ මතිය වූයේ සමානාත්මවාදී කොමියුනිස්ට් වාසස්ථානයේ සශ්‍රීකත්වය දැක එයින් උද්දාමයට පත් වී පුද්ගලික දේපල අත්හැර දමා වේතන වලට වෙහෙසීම අත්හැර දමා ජනතාව මේ ඩිගර් සංවිධානයට බුරුතු පිටින් ජනතාව ඒවි කියාය.

1652 වෙද්දී පහත අමුණන ඔහුගේ නිර්මාණයෙන් ඔහු එංගලන්තයේ, අයර්ලන්තයේ හා ස්කොට්ලන්තයේ පාලකයා වූ ලෝඩ් ඔලිවර් ක්‍රොම්වෙල් වෙතින් ඉල්ලන්නේ තමන්ගේ කොමියුනිස්ට් සිහිනය සාක්ෂාත් කරගන්නට ඉහළින් ආඥාවක් පනවන්නට කියාය!!!!!!!!!!

1620 දී මැසචූසෙට්ස් වලට ගොඩ බැසි “ප්ලිමත් වතුයායේ ඉතිහාසය” පෙන්වන්නේ ඔවුන්ගේ කොමියුනිස්ට් උත්සාහයන් ද අසාර්ථක වූ බවයි.

තරඟයේ යෙදෙනවා ද නැද්ද යන තෝරා ගැනීමට පවා ඉඩක් ඇත්තේ නිදහස් වෙළඳපොලක දී ය. එය තමන්ගේ තෝරා ගැනීමක් බව දන්නේ ඉහළ පින්තූරයේ ඉන්නා මගේ සුදු අප්පුහාමි වැනි අයයි!!!!!

කොමියුනිස්ට්වාදියා සහ සමාජවාදියා නූගතුන් රවටන්නේ බලන්න ධනවාදී රටවල කොතරම් තරඟයක් ද? එයින් ලැබෙන්නේ කොතරම් පීඩනයක් ද? කියාය.

එහෙත් කොමියුනිස්ට්වාදියා සහ සමාජවාදියා කරන්නේ තමන්ගේ මතවාදයට කැමති පිරිසක් එකතු කරගැනීමට ඔවුන්ගේ ම කැමැත්තෙන් නොහැකි නිසා රටේ නීති වෙනස් කරමින් බලහත්කාරයෙන් මිනිසුන් ලවා වැඩ ගැනීමයි.

සහයෝගය යන්න කැමැත්තෙන් දෙන්නක් යැයි නොසලකා සහයෝගය බලහත්කාරයෙන් ඉල්ලද්දී එහි දී කිසිත් පීඩනයක් නැතැයි ඔවුන් කියති!!!!!

..එහෙම නම් තත්වය
ආණ්ඩුවට වඩා පහසු නැද්ද
ජනතාව විසුරුවා හැර
වෙනත් ජනතාවක් පත්කර ගැනීම?
” යන්න ලියැවුනේ කොමියුනිස්ට් මාක්ස්වාදී ආණ්ඩුවකට යැයි ඔවුන් නොකියති!!!!

වාමාංශික සමාජයක ජීවත්වෙන්නට මිනිස්සු අකමැති වෙද්දී හෝ එවැනි සමාජයකින් මිනිස්සු පළා යද්දී ඔවුන්ට වෙඩි තබා මරන්නට කොමියුනිස්ට් හා සමාජවාදි ආණ්ඩු කටයුතු කළ ආකාරය මුළු ඉතිහාසය පුරා දකින්නට හැකි වූවත් එදා වින්ස්ටැන්ලි සේ වර්තමානයේ ද නූගත් ජනතාව රවටන දයාන් ජයතිලක (දීර්ඝ යුද්ධය, සීතල සාමය) වැනි අය ඉතිහාසය තමන්ට ඕනෑ හැටියට වෙනස් කර ලියති. අධ්‍යාපනය නොමිලේ ලබා දී එය අනිවාර්ය කරවීමෙන් ගිරව් මෙන් විභාග සමත් වෙන්නට ඉගෙන ගන්නා බාලයන් දක්කා ගෙන යෑම පහසුයි යැයි කියූ ප්ලේටෝ දර්ශනය තවමත් කදිමට ලෝකයේ ක්‍රියාත්මක වේ.

* The Law of Freedom in a Platform, or True Magistracy Restored (1652)

IMG_5537 IMG_5509 IMG_5540

27 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on මැයි 3, 2013 at 8:27 පෙ.ව.

    “මෙම මැතිවරණයෙන් අප ජය ලැබූ පසුව;

    1. උතුරු නැගෙනහිර දෙමල ඊළාම් රාජ්‍යයක් ඉල්ලා සිටින පිරිසට ජනමත විචාරණයකින් වෙන්වී යාමට ඉඩ ලබා දෙන්නෙමු

    2. ඉන්පසු දකුණු ඉන්දියාවද බෙදී ඔවුන්ට එකතු වෙනු ඇත.

    3. අපි සමාජවාදී ක්‍රම ඔස්සේ ඉතිරි ශ්‍රී ලංකාව දියුණු කරන්නෙමු. එය ලෝකයේ තිබෙන හොඳම රට වනු ඇත.

    4. ඊට පසු දමිල රාජ්‍යය තුල වෙසෙන ප්‍රගතිශීලී ජනතාව අපේ දියුණුව දැක විප්ලවයකින් අප හා එකතු වනු ඇත.

    5. උතුරු ඉන්දියානුවන් මෙම එකමුතු රාජ්‍යයේ දියුණුව දැක විප්ලවයක් කර දකුණු ආසියානු සමාජවාදී සමූහාණ්ඩුවක් සඳහා අප හා එකතු වනු ඇත.

    6. සමස්ත ආසියානුවෝ මෙය දැක අප හා එකතු වී ආසියානු සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවති.

    7 මෙය දකින සෙසු ලෝකය ද මීට එකතු වීමෙන් පසු ලෝක සමාජවාදී සමූහාණ්ඩුව අපි ගොඩ නගන්නෙමු”

    ————-

    මේ සමාජවාදී සමානතා පක්ෂය [හෙවත් විකොස ] 99 චන්දෙ කොහුවල හන්දියේ බෙදාපු හෑන්ඩ් බිල් එකක කොටසක්. මේ කට්ටිය තමා ඒ කාලේ හතරවැනි ජාත්‍යන්තරයේ ලාකිය ෆ්රන්චයිස් එක කලේ. ලෝක විප්ලවය කරන හැටි පබ්ලික් ලයිබ්රියේ ඔඩිටොරියම් එකේ කතා කරන බවට පෝස්ටර් දැක්කා මතකයි.

    සමාජවාදී මත දරන්නන් ගේ එක්ක කතා කරලා බැලුවම මේ කට්ටිය තනි නැහැ ඒ වගේම හිතන අය තමයි ඉන්නේ කියා තේරෙනවා. විප්ලවේ කියන්නේ කලාට පස්සේ “they all lived happily ever after” කියා හිතාගෙන ඉන්න සුරංගනා සිහිනයක්.

    1600 ගණන් වල උන්නු පොර ඒ හැටි පුදුමයක් වෙන්නේ නැහැ මොකද වර්තමානයේත් ඉන්නේ මේ වගේම ඩයල් නම්.

    • arunishapiro said, on මැයි 3, 2013 at 8:32 පෙ.ව.

      Sujeewa,

      🙂 හොඳ එකතුවක්, ස්තූතියි.

      ලංකාවේ මැයි දින රැළි වල පවත්වපු කතා ඇහැව්වා නම් 2013 දී ත් ඉන්න ඩයල් වැඩි වෙනසක් නැහැ. ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා නායකයන් වාමාංශික සහ දක්ෂිණාංශ කියා ගන්නා දෙපැත්තෙන්ම දකිද්දී මෙහෙම ඔක්කොම සමාජවාදී වෙද්දී රටක් සංවර්ධනය කරන්න තව කොච්චර කාලයක් යාවි ද කියල තමයි හිතුනේ!!!!

      • Sujeewa said, on මැයි 3, 2013 at 9:25 පෙ.ව.

        පූර්ණ සමාජවාදය ගැන කරපු වඩාත් සාධාරණ පර්යේෂණ තමා ඇමරිකානු සමාජවාදී කොමියුන්. අටසිය ගණන් වල කරපු පර්යේෂණයක්. සෝවියට් චීන වගේ රාජ්‍ය බලය යොදා නොගත් නිසා කැමැත්තෙන් සම්මුතියකින් උන්නු නිසා මේවා හොඳ උදාහරණ ඇත්තෙන්ම පූර්ණ සමාජවාදයෙන් මොකද වෙන්නේ කියන එකට. වසර කීපයකින් මේ කොමියුන විසුරුවා ගන්නවා. හේතු අධ්‍යනය කළා නම් තේරෙයි සමාජවාදයේ සත්‍ය ප්‍රතිපල.

        • arunishapiro said, on මැයි 3, 2013 at 9:38 පෙ.ව.

          Sujeewa,

          ඇමෙරිකාවේ ප්ලිමත් වතුයාය 1620 දී සිය කැමැත්තෙන් එකතු වූ සමාජයක පැවති කොමියුනිස්ට් ක්‍රමයේ සත්‍යය ප්‍රතිඵලය පෙන්නපුවානේ. ඒත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න පුලුවන් වෙන්නෙ කොහොම ද Sujeewa ඉතිහාසය නොදන්නා කල. පාඩමක් ඉගෙන නොගෙන ආයෙත් රිපීට් කරමින් ආපසු හැරී බලමු කියනවා!!!!

          • එස්. රන්දෙණිගල said, on මැයි 3, 2013 at 4:43 ප.ව.

            //“මෙම මැතිවරණයෙන් අප ජය ලැබූ පසුව;

            1. උතුරු නැගෙනහිර දෙමල ඊළාම් රාජ්‍යයක් ඉල්ලා සිටින පිරිසට ජනමත විචාරණයකින් වෙන්වී යාමට ඉඩ ලබා දෙන්නෙමු

            2. ඉන්පසු දකුණු ඉන්දියාවද බෙදී ඔවුන්ට එකතු වෙනු ඇත.

            3. අපි සමාජවාදී ක්‍රම ඔස්සේ ඉතිරි ශ්‍රී ලංකාව දියුණු කරන්නෙමු. එය ලෝකයේ තිබෙන හොඳම රට වනු ඇත.

            4. ඊට පසු දමිල රාජ්‍යය තුල වෙසෙන ප්‍රගතිශීලී ජනතාව අපේ දියුණුව දැක විප්ලවයකින් අප හා එකතු වනු ඇත.

            5. උතුරු ඉන්දියානුවන් මෙම එකමුතු රාජ්‍යයේ දියුණුව දැක විප්ලවයක් කර දකුණු ආසියානු සමාජවාදී සමූහාණ්ඩුවක් සඳහා අප හා එකතු වනු ඇත.

            6. සමස්ත ආසියානුවෝ මෙය දැක අප හා එකතු වී ආසියානු සමාජවාදී සමූහාණ්ඩුව පිහිටුවති.

            7 මෙය දකින සෙසු ලෝකය ද මීට එකතු වීමෙන් පසු ලෝක සමාජවාදී සමූහාණ්ඩුව අපි ගොඩ නගන්නෙමු”//

            සුජීව නමැත්තා මෙතැන අත හැර තිබෙන්නේ ටොම් පචයකි!! මෙහෙම විලි ලැජ්ජාවක් නැතිව බොරු කියන්ඩ මොවුන්ට තිබෙන හැකියාව විමතිය දනවන සුලුයි!!. මෙහෙම ලීෆ්ලට් එකක් සසප බෙදා හැර තිබෙන බව හැකි නම් ඔප්පු කරන ලෙස මේ පුද්ගලයාට මම අභියෝග කරමි. සසප ජාතික ප්‍රශ්නය ගැන දරන අදහස මොහු මෙතැනදී සම්පූර්ණයෙන්ම විකෘති කොට තිබේ. සමාජවාදී ක්‍රම ඔස්සේ ලංකාව දියුණු කරන්නෙමු, දකුණු ඉන්දියාවයි ඊලමයි එකතු කරන්නෙමු වගේ ගොං පාට් කථා සසප කවදාවත් කියා නැත.මේවා සුජීව වැනි ජාතිවාදී ගම් බයියන්ගේ ඔලුවල මැවෙන මනස්ගාත කථාය. මෙතැන විහිලුව මොවුන් ඒ මනස්ගාත කථා ඒ පක්ෂයේ ලීෆ්ලට් එකක තිබුණා යැයි කියා බ්ලොග් අවකාශයේ ප්‍රසිද්ධියේ ලිවීමය!! සමාජවාදී මත එක්ක හැප්පෙනව නං ඒ මත එක්ක හැප්පෙන්ඩ ඒකෙ කිසි අවුලක් නෑ.ඒක කරනවා වෙනුවට ඒ මත තමුන්ට ඕනෙ විදිහට විකෘති කරල ලියල ඒ විකෘති කරපු මතයට උත්තර ලියන එක මචං ගොංපාට් එකක්. මෙහෙම පච ලියන්න ඉස්සෙල්ලා ලැජ්ජාවක් තියෙනවද කියල පොඩ්ඩක් හොයල බලල හිටපං.

            • arunishapiro said, on මැයි 3, 2013 at 4:52 ප.ව.

              එස්. රන්දෙණිගල,

              කලබල නොවී සුජීව ලියා ඇති ප්‍රතිචාරය නැවත කියවන්න. සුජීව ලියා ඇත්තේ සසප බෙදා හරින ලද පත්‍රිකාවක් ගැන නොවේ. සමාජවාදී සමානතා පක්ෂය [හෙවත් විකොස] විසින් බෙදා හරින ලද පත්‍රිකාවක් ගැනයි.

              • එස්. රන්දෙණිගල said, on මැයි 4, 2013 at 2:49 පෙ.ව.

                සමාජවාදී සමානතා පක්ෂයට කෙටියෙන් කියන්නෙ සසප කියල තමයි අරුණි ශපිරෝ මහත්මිය. මේ යෝධයා තොලේ කටේ නොගෑවී හෙණ දැනමුත්තෙක් වගේ අලි බොරු ගහනව. එයාගෙ බ්ලොග් එකේ මිනිහා පෙනී ඉන්නෙ නිදහස් චින්තකයෙක් විදිහට. අප්පට සිරි තමයි නිදහස් චින්තනය. මේ වගේ කෙබර දැනුවත්ව ඇදබාන එකෙන්ම පේනව නිදහස් චින්තනේ තරම.

                • Sujeewa said, on මැයි 4, 2013 at 12:18 ප.ව.

                  රන්දෙණිගල මහතා මගේ බ්ලොග් එක පටලපු නිසා නොකියා බැහැ මේ කතාව. වාමවාදියෙකුට අනුව වාම වාදී නොවන්නෙක් නිදහස් චින්තකයෙක් වෙන්න බැහැ. මොකද ඔයාලා හිතාන ඉන්නේ මේ ලෝකය ධනේශ්වරය විසින් වහල් කමට අරගෙන දිගින් දිගටම සූරාකනවා කියා. ඒක එහෙම නොවේ කිව්ව ගමන ඔබට අපිව පෙනෙන්නේ නිදහස් චින්තකයින් ලෙස නොවේ වහලුන් ලෙස. මේකේ කිසිම වරදක් නැහැ මොකද ඔබයි පාට කන්නාඩියකින් බලන්නේ. ඒක අපිට ගැටලුවක් වෙන්න අවශ්‍ය නැහැ. ආගමිකයා ඔබයි.

                  මෙන්න මේවා මම ඒ “නිදහස් චින්තන” බ්ලොග් එකේ ලිව්වා. මේ ලින්ක් ටික දාන්නේ ඔබ කියන කතාවට අදාළ නිසාවෙන්. මගේ බ්ලොග් එකේ පෝස්ට් මෙතන ඇලවීම අරුණි ගේ සම්මුතීන් හා බ්ලොග් ප්‍රතිපත්ති වලට පටහැනි නම් අරුණි එම ලින්ක් ගැලෙව්වට මගේ කිසිම අමනාපයක් නැහැ. රන්දෙණිගල මහතා ප්‍රශ්න කරන මගේ නිදහස් චින්තනය ගැන තමා මට පෙන්නන්න ඕනේ. මොකද එක බැලුවම එයාට හිතෙයි මම ෂුවර් එකටම ධනේශ්වරයේ ගුලියක් කාලා කියලා. එයා තේරුම් ගන්න ඕනේ දේ තමා මගේ චින්තනයේ නිදහස මනින්න වෙනත් චින්තනයක වහලෙකුට මලාට බැරි බව.

                  මෙන්න ලින්ක්.

                  ආගමෙන් නිදහස් වී දේශපාලනය ඇදහීම
                  කම්කරුවාද ශ්‍රමිකයාද? වම-දකුණ ඉතිහාසයට යවමු
                  ජනතාදාසගේ කරත්තය
                  මාක් සකර්බර්ග් ලාංකිකයෙකු නොවන්නේ ඇයි?

            • Sujeewa said, on මැයි 3, 2013 at 8:06 ප.ව.

              99 චන්දය වෙලාවේ මෙහෙම කොලයක් අදාළ පක්ෂයේ නම සමග බෙදා දුන්න බව මට කියන්න පුළුවන්. ඔප්පු කරන්න කියන එක විහිළුවක් නේ. අවුරුදු 14 කට පෙර බෙදාපු චන්ද හෑන්ඩ් බිල් එකක් දැන් කොහොමද හොයන්නේ.

              ඔය හෑන්ඩ් බිල් එකේ කියන විකාර ලෝක සමූහාණ්ඩුව “සමාජවාදයේ සාර්ථකත්වය තුලින්” ලංකාවෙන් පටන් ගනිමු කියන මරිමෝඩ අදහසේ ඔවුන් නැතිනම් එය සැහෙන්න වටිනා ප්‍රවණතාවයකි.

              “බ්ලොග් එකක ප්‍රසිද්ධියේ කිව්වා” කියා ඔබ කියන කතාව ගැන වෙනම කතා කරන්න ඕනේ. මොකද බ්ලොග් අවකාශයේ අදහස් දැක්වීම ගැන බොහෝ දෙනෙක් කතා වෙන නිසා. බ්ලොග් කියන්නේ පත්තරයක් නෙවෙයි. මෙතන බොහෝ දෙනෙක් තමන්ගේ පුද්ගලික අත්දැකීම් ලියන්නේ. එතැනදී මම ලියන දේ වැරදි නම් ඔබට එය නිවැරදි කල හැකියි. එහෙත් මම එහෙම ලිව්වා එක ගැන කෑ ගහන එකේ තේරුමක් නැහැ නේද?

              මට කියන්න පුළුවන් එකම දේ 99 දී අදාළ පක්ෂයේ නමින් ඔය විදිහේ හෑන්ඩ් බිල් එකක් මගේ අතට ලැබුණු බව පමණයි.

          • Sujeewa said, on මැයි 4, 2013 at 8:22 පෙ.ව.

            අට සිය ගණන් වල ආයිත් කරලා බැලුව ඒත් හරිගියේ නැහැ.

            මාක්ස් නම් කිව්වලු ඒවා ගන් බයියන්ගේ සමාජවාදය මගේ ස්පිරිට් එක වෙනස් කියා – පස්සේ කට්ටිය ඒකත් කරලා පෙන්නුවා.

            • arunishapiro said, on මැයි 4, 2013 at 9:46 පෙ.ව.

              කොමියුනිස්ට්වාදය, සමාජවාදය, මාක්ස්වාදය, නව ලිබරල්වාදය, ඕනෑම නමකින් හඳුන්වා ගන්නා ධනවාදයට එරෙහි වන ඕනෑම සමාජ ක්‍රමයක් මිනිසාගේ නිදහස කප්පාදු කරන්නකි.

              කම්කරු පංතියේ විප්ලවවාදී අරගලයන් පටන් ගත්තේ කම්කරුවන් විසින් නොවේ. විශ්ව විද්‍යාල මහාචාර්යවරු සහ සෙසු බුර්ජුවාසී පණ්ඩිතයන් විසිනි. නිදහස් වෙළඳපොලක දී නැති වී යන දුප්පතුන් සුරා කෑමට හැකි බලය තවත් කාලයක් තම අතට ගන්නට ක්‍රම හැදුවේ බලතණ්හාධිකයන් වූ ඔවුන් විසින්.

              ධනවාදය කුමක් දැයි ලෝකවාසී ජනතාව හඳුනාගන්නට පෙර එයට ඍනාත්මක ලේබල් එකක් අලවා සත්‍යය විකෘති කොට පිරිනැමුවේ කාල් මාක්ස් සහ ෆ්‍රෙඩ්රික් ඒංග්ල්ස් යන බුර්ජුවාසීන් දෙදෙනා විසිනි.

              ධනවාදය නම් මූල්‍ය නොමැතිව දියුණුවක් ඇති නොවන බවයි. මූල්‍ය යනු මිනිසා විසින් පරිභෝජනයෙන් වැලකී සිට ඉතිරි කිරීමෙන් උපදවා ගන්නකි. එහෙත් මූල්‍ය යනු මානව වර්ගයා සූරාකන්නට ප්‍රධාන වන්නක් බව කාර්මික යුගයේ දියුණුව පටන් ගනිද්දීම මාක්ස් විසින් වැරදි අර්ථකතනයක් දෙමින් ලෝකවාසීන් රවටන ලදි. කාර්මික යුගයේ දියුණුවෙන් මානව වර්ගයා මහත් දියුණුවක් ලැබූ බව දැකි එවක විසූ මිනිස්සු කාල් මාක්ස් කියූ දෑ කිසිත් ගණනකට ගත්තේ නැත. එහෙත් බලතණ්හාධික මහාචාර්යවරු සහ පණ්ඩිතයන් බුර්ජුවාසී පංතියේ පැවැත්ම රැක ගැනීම සඳහා ඊට පෙර තිබූ කෘෂිකාර්මික යුගයේ සාගත නොවීය, මිනිසුන් පොදු දේපල භුක්ති විඳිනු ලැබීය, බෝවෙන රෝග වලින් ගම්මාන පිටින් මිය නොගියේය, මහළු වියට පත්වී දූ දරුවන් සමඟ සැපසේ ජීවත්වූවාය යන ඉතිහාසය වෙනස් කර ඉදිරිපත් කිරීම මඟින් ජනතාව රවටා ඔවුන් මඟින් තමන් බලවතුන් වන්නට පාර හදා ගත්හ.

              මිනිස් සමාජයක් යනු ගණුදෙනු සමාජයකි. අසමාන ලෙසින් ඉපිද ඇති මිනිසුන්ට තම වෙහෙසෙන් පමණක් තම උවමනාවන් සියල්ල පිරිමසා ගන්නට නොහැකි නිසා සමාජයේ අනෙකුත් සාමාජිකයන් සමඟ ගණුදෙනු කරන්නට අවශ්‍ය වේ. එහි දී කැමැත්තෙන් කරන ගණුදෙනු වලට ඉඩක් ලැබෙන්නේ, එනම් සද්ගුණවත් ගණුදෙනු වලට නිදහස ලැබෙන්නේ ධනවාදී ක්‍රමයක දී පමණි. ධනවාදී නොවන ක්‍රමය නම් බලහත්කාරයෙන් සමානාත්මතාවයක් ස්ථාපිතයට අයෙක් වෙතින් උදුරා තවත් අයෙක් වෙතට ලබා දීමට දන්නවා යැයි කීමයි. එහෙත් යුක්ති සහගතව හා සාධාරණ ලෙසකින් එසේ කිරීමට කිසිම බල අධිකාරයකට නොහැකි බව, මන්ද සමස්ත සමාජයක් තුල ඇති දැනුම රජෙක්, පාලකයෙක්, පොලිටිබියුරෝවක් විසින් නොදන්නා බව, ඔවුන් තවමත් පිළි නොගනිති. කැමැත්තෙන් කරන ගණුදෙනු පමණක් තුලින් සාධාරණත්වය සැලසෙන බවත්, බලහත්කාරකම් යනු මිනිස් ස්වභාවයට හා ලෝක ස්වභාවයට පටහැනි වූ බවත් නිසා ඕපපාතිකව ධනවාදය ලොව නන් දෙසින් හටගත් බව තවමත් ඔවුන් පිළි නොගනිති.

              ඉතින් මොන නමකින් ආවත්, ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂය යැයි කියා ගත්ත ද, ඩෙමොක්‍රැටික් පක්ෂය යැයි කියා ගත්ත ද, ලංකාවේ එක්සත් ජාතික පක්ෂය යැයි කියා ගත්ත ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යැයි කියා ගත්ත ද, සමාජවාදී පක්ෂය යැයි කියා ගත්ත ද, යම් දේශපාලනයක් පෙනී සිටින්නේ ආණ්ඩුවේ මැදිහත්වීම් වලින් රටේ එක් කොටසක් වෙතින් බලහත්කාරයෙන් ලබාගෙන තවත් කොටසක් වෙත ලබාදෙන ක්‍රමයක් නම් එය සද්ගුණවත් නොවේ, එය යුක්ති සහගත නොවේ. එයයි යල් පැනපු රාජාණ්ඩු ක්‍රමය. එයයි ආපස්සට යන වැඩවසම් ක්‍රමය.

    • ravi said, on මැයි 4, 2013 at 7:46 පෙ.ව.

      සුජීවගෙ කතාව මටත් පිලිගන්න අමාරුයි. මෙහෙම පොරොන්දුවක් දුන්නනම් අනිවාර්යයෙන් ඒ ජනාධිපතිවරණයකදි වෙන්න ඕන. 1999 ජනාධිපතිවරණයට ස.ස.ප. ඉදිරිපත් උනේ නැහැ. 2005 ජනාධිපතිවරණයට එම පක්ෂයේ ලේකම් විජේ ඩයස් ඉදිරිපත් උනා. ඒත් මට කොහොමවත් හිතන්න බැහැ මේ වගෙ සුරංගනා කතා අඩංගු පත්‍රිකාවක් ඔවුන් නිකුත් කලාය කියල නම්.ඔවුන්ගේ අදහස් සමඟ මම එකඟ නෑ ඒක වෙනම කතාවක්. ඒත් මම හැමදාම ගරුකරන කීර්ති බාලසූරිය, පියසීලී විජේගුණසිංහ, විජේ ඩයස්, සුචරිත ගම්ලත් වගෙ මහත්ම මහත්මීන් සාමාජිකත්වය දරපු පක්ෂයකින් මෙහෙම පත්‍රිකාවක් නිකුත් උනයි කියන එක මට හිතාගන්න අමාරුයි.

      • Sujeewa said, on මැයි 4, 2013 at 8:18 පෙ.ව.

        රවී;

        99 මහා මැතිවරණය කියායි මට මතක.

        මට ස්ථිරවම කියන්න පුළුවන් ඔවුන්ගේ පක්ෂය නමින් [බොහොම ලස්සනට මුද්‍රණය කරපු – ටියුෂන් ලීෆ්ලට් එකක් වගේ] ඔහොම කතාවක් තමන්ගේ මැනිෆෙස්ටෝ එක ලෙස සඳහන් කරන තුනට නවන පත්‍රිකාවක් 1999 දී කොහුවලදී මට ලැබුන බව පමණයි.

        එහෙත් කතාවේ මූලික හරය ගන්න. සමහරවිට ඔබ මේකට එකඟ නැතිනම්. ගැන “එක්තරා සමාජවාදී පක්ෂයක්” කියලා. මේක ඔවුන්ට පමණක් පොදු ලෙඩක් ද? පොදුවේ සමාජවාදය හැමදාම කරන්නේ සුරංගනා කතාවක් වගේ එකක් දෙන එක. එයාලා විප්ලවයෙන් පස්සේ රට හදන්න හිතාන ඉන්නේ කිසිම ප්‍රයෝගිකත්වයක් නැති ක්‍රමයකට.

        සමාජවාදය කියන්නේ සමාජ අසාධාරණය දකින මිනිසුන් [බොහෝ විට තරුණ වියේදී] එක දරා ගන්න බැරි නිසා තමන් සනසා ගන්න මානසික ආතල් එකක්. අපි විප්ලවේ කරලා මේ ඔක්කොම අසාධාරණ නැති කරනවා කියා හිතනවා. කරන්න හදපුවාමයි එහි වෙනස දකින්නේ.

        ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ස්වායත්තව මේ කතාව සමාජවාදීන්ට පොදුයි.

        • ravi said, on මැයි 4, 2013 at 10:04 පෙ.ව.

          Sujeewa,

          පොදුවේ සැලකුවහම මගේ මතයත් ඔබ හා එකඟයි අනිවාර්යයෙන්ම. ඒකෙ ගැටළුවක් නෑ.

          ඉහත පත්‍රිකාව ගැන බැලුවත් මම කිසි දවසක ඒ පක්ෂයෙ සාමාජිකයෙක් හෝ ක්‍රියාකාරිකයෙක් වෙලා නොහිටිය නිසා මට කොහොමවත්ම කියන්ට බෑ එහෙම පත්‍රිකාවක් නිකුත් කලේ නැහැමයි කියල.

          මට කියන්න තියෙන්නෙ එහෙම එකක් විශ්වාස කරන්න අමාරුයි කියල විතරයි. ඒ එක්කම සුජීවගෙ අතටම ලැබිල ඒ වගෙ එකක් කියෙව්වයි කියනවනම් , ඔබට බොරුවක් කියන්න උවමනාවකුත් නැති එකේ පිළිගන්නත් වෙනව..

          හරි ඒක එහෙම්මම තිබ්බාවෙකො. ඔහොම පත්‍රිකාවක් නිකුත් කලා / නොකලා, කොහොමත් සමාජවාදීන් ඔහොම මානසිකත්වයක තමයි ඉන්නෙ. 🙂

          • Sujeewa said, on මැයි 4, 2013 at 10:15 පෙ.ව.

            රවී;

            මටත් කියන්න පුළුවන් පක්ෂ නමින් පත්‍රිකාවක් ලැබුණු බව විතරයි. භාෂාව සහ කතාව මට නම් කොමියක් වුණා. මට ස්ථිරව කියන්න බැරි ප්‍රතිවාදියෙකු විසින් කල අපහාසාත්මක පත්‍රිකාවක් ද කියන එක. මම ඒ ඔප්ෂන් එක ගැන නොහිතුවේ, අවුරුදු ගානක් මාක්ස්වාදීන් ආශ්‍රය කරලා මේ වගේ ඒවා අහලා තිබ්බ නිසා. ඒ වගේම මේ කට්ටිය ඒ කාලේ නිතර දේශනා තිබ්බනේ ජාත්‍යන්තර විප්ලවය ගැන. අර හතරවෙනි ජාත්යන්තරේ කතන්දර. ඒවාට අනුව ඔය ලීෆ්ලට් එක 100% පෑහෙනවා.

            තව දෙයක් 99 ම ද කියා මට ස්ථිරවම කියන්න බැහැ. මම කොහුවල වැඩ කලේ 99-2004. ඉතින් මම කාලය මානාගෙන උන්නෙත් නැහැ.

            ඒ කතාව අල්ලලා දාමු. ‘එක්තරා සමාජවාදී පක්ෂයක්” කියා නොයොදා නමම දාපු එක ගැන මම කනගාටු වෙනවා. මොකද මම ස්ථිරවම දැක්කට දැන් දෙන්න සාධකයක් නැති නිසා.

            • එස්.රන්දෙණිගල said, on මැයි 5, 2013 at 12:38 පෙ.ව.

              දැන් සුජීව නමැත්තා තමන්ගේ පචය තවත් ඉදිරියට ගෙන යන හැටි බලමු. මොහු දැන් කියන්නේ තමුන්ගේ මේ කල්පිත පත්‍රිකාව 99 මහ මැතිවරණයට බෙදන ලද්දක් කියාය. 99 දී මහ මැතිවරණයක් පැවතියේ මොන රටේද කියා මොහු පැහැදිලි කරනවා නම් මා සතුටු වෙමි. 99 මහ මැතිවරණයක් ලංකාවේ තිබුණේ නැත!!99 තිබුණේ ජනාධිපතිවරණයකි.ඊට සසප තරග කලේද නැත!! මා සතුටු වන්නේ මොහු “එක්තරා සමාජවාදී පක්ෂයක්” කියා නොලියූ එක ගැනය. මොකද එහෙම ලීවා නම් තමුන්ගේ බොරුව කවර් කරගන්ඩ මොහුට අවස්ථාව ලැබේ.මොහු විලි සංගයක් නැතිව සසප කියාම මෙහි ලීවේය!!

              මෙතන ප්‍රශ්නය බොරු කීමයි.සමාජවාදීන් කියන දේවල් ආගමික ද නැද්ද කියන එක වෙනම තැනක බේරගමු.අපිට අනුව නම් අරුණි ශපිරෝ,සුජීව ඇතුලු අය ඉන්නේ ආගමික පැරාඩයිමයකය. දෘෂ්ටිවාදී ලෝකයක් තුලය.සමාජවාදීන්ගේ චින්තන නිදහස ප්‍රශ්න කරන්නේ ලංකාවේ ජනඝාතක වර්ග සංහාරක යුද්ධයට රෙදි නැතිව කඩේ ගිය ජාතිවාදී ගම් බයියෙකි!! එහෙන් මෙහෙන් අහුලාගත් දෙයක් සසප මතය ලෙස විකෘති කොට ලියන මේ ගම් බයියන් කීර්ති බාලසූරිය,සුචරිත ගම්ලත්,පියසීලි විජේගුණසිංහ ආදී ප්‍රබුද්ධයින් ලියා තිබෙන දෑ හෝ ඔවුන්ගේ වෙබ් අඩවියේ පලවන ආර්ථික විශලේෂණ මලාට කියවා නැති බවට මට කැට තැබිය හැක.ආච්චිගේ නිදහස් චින්තනය තමයි ඕයි!! 😀

              මං කෙසේ වුවත් ඒ ගැන මෙතැන වාද කරන්නට නොයමි. මම මතුකරන්නේ මොහු ජාතික ප්‍රශ්නය ගැන සසප අදහස මුලුමනින්ම විකෘති කොට තිබෙන ආකාරයයි. ජාතික ප්‍රශ්නය ගැන සසප කියන්නේ මොකක්ද කියා ඔවුන්ගේ ලේඛන ගැන සරල අදහසක් හෝ තිබෙන ‍ඕනෑම කෙනෙක් දනී. සිංහල මහ ජාතිවාදය මෙන්ම දෙමල සුලු ජාතිවාදය ද ප්‍රතික්ෂේප කරන සසප සිංහල දෙමල කම්කරු සහ වෙනත් පීඩිත ජනකොටස් වල එක්සත්කමක් තුලින් පමණක් ජාතික ප්‍රශ්නය අබිබවනය කළ හැකි බව කියයි. ජාතික ප්‍රශ්නය ගැන ඔවුන්ගේ සෑම ලේඛනයකම තිබෙන්නේ මේ මූලික කරුණයි.එහෙවු එකේ මැතිවරණ ලීෆ්ලට් එකේ පමණක් දකුණු ඉන්දියාවයි ඊළමයි එකතු කරල වෙනම රටක් හැදීම, පස්සෙ දකුණු කෑල්ලේ සමාජවාදය හැදීම ( තනි රටක සමාජවාදය ගොඩනගන්ඩ බෑ කියන එක සසප මූලික තර්කයක් කියාවත් තමුන් හීනෙන් දුටු ලීෆ්ලට් ගැන ලියන මේ ගම් බයියා දන්නේ නැත) වගේ මගුල් තිබෙන්නට විදිහක් නැත.මේ නම් ටොම් පචයකි.විකෘති කිරීමකි.අපිට කියන්න තිබෙන්නේ කැත වැඩ කරන්ඩ එපා ඕයි කියා පමණි.

              සසප හැමදාම ජනඝාතක යුද්ධයට එරෙහි ස්ථාවරයක් නම් ගත්තේය. සුජීව නමැති ජාතිවාදියාට මෙතැන ඇරියස් වී තිබෙන්නේ සසප යුද්ධය ගැන දරන වාමාංශික ස්ථාවරයයි. ගෝලීයකරණ යුගයේ ජීවත් වුවත් මොවුන්ට ජාත්‍යන්තරවාදය යනු කුමක්දැයි තේරුම් ගන්නට බැරිව තිබෙන්නේ මේ ගම් බයියන්ගේ දූපත්වාදි මානසිකත්වය නිසාය. ජාතිවාදයද ඒ ග්‍රාම්‍ය චින්තනයේ කෑල්ලකි.මං නැවතත් කියන්නේ අනුන්ගේ මත විකෘති කරල ඒවාට පිළිතුරු ලියල මං මාර වැඩක් කලා කියල හිතාගෙන ඉන්න එක තක්කඩි වැඩක් කියායි.එහෙම තක්කඩිකම් කරන ගමන් තමුන් නිදහස් චින්තකයෙක් කියලත් හදුන්වගන්නකොට අපිට හිනා යනව ඕයි!!

              • arunishapiro said, on මැයි 5, 2013 at 8:20 පෙ.ව.

                එස්.රන්දෙණිගල,

                ඔන්න බලන්න ඔයාගේ අදහස් වලට ඉඩ දුන්න මාවත් දාලා ලේබලයක් හදලා! නරකයිනෙ වැඩේ.

                කැමති ආගමක් අදහන්න කැමති අයෙකුට නිදහසක් තිබිය යුතු යැයි මගේ අදහසයි. ඒක //ආගමික පැරාඩයිමයක්// ද? ආගම තුරන් කරන්නට උත්සාහ කරන ලද දේශපාලන සහ සමාජ ක්‍රම කිසිවක් ලොව සාර්ථක වූයේ නැති බව ඉතිහාසය පෙන්වයි. ඒවා හොරෙන් ඇදහූ අය තහනම් කාලයන් හි දී ද සිටියහ. තහනම ඉවත් වූ පසු ආගම් ඇදහීම නැවත ජනප්‍රිය වී පැතිර යාම ද සිද්ධ විය.

                ඔව්, මා ඉන්නෙ දෘශ්ටිවාදි ලෝකයක් තුල තමා. මගේ දෘශ්ටිය මිනිසා වෙන අයෙකුට පීඩාවක් නොකරන්නේ ද ඔහුට නිදහසේ සිය කටයුතු කරගෙන යාමට ඉඩ දිය යුතු බවයි.

                සමාජවාදීන් යම් පිරිසක් මගේ වෙහෙසට අයිතිවාසිකම් නොකියා, සමාජවාදයට කැමති අය පමණකින් එකතු වූ සමාජවාදී සමාජයක් ගොඩනඟන්නේ ද මට ඒ ගැන ගැටළුවක් නැත. මගේ ගැටළුව මට කරන බලහත්කාරයෙන් සමාජවාදී සමාජයක් ස්ථාපිත කිරීම පමණයි. මම කේන්දර ග්‍රහ අපල විශ්වාස කරන්නේ නැති පමණින් ඒවා විශ්වාස කරන අයට ඒවා අනුව ජීවිතය ගෙවීම ගැන මගේ කිසිම අමනාපයක් නැතිවා වගේ ය!!!

                මම ජාතිවාදියෙක් නොවෙමි. එහෙත් මම හැම විටම ත්‍රස්තවාදී විරෝධියෙක් වෙමි. වෙනස හඳුනාගන්න සමාජවාදී අයට ඉතා දුෂ්කර බැව් දනිමි. සුජීව සහ ඔබ අතර හටගත් සංවාදයෙන් පසුව මම සසප ගැන ගිහින් කියෙව්වේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශනයකි යැයි කියන World Socialist Web Site එකෙන්. මම පක්ෂ දේශපාලනයක නියැළී නොව මූලාශ්‍ර වලින් ඒ කියන්නේ කාල් මාක්ස් ඒංගල්ස් ලියූ දේවල් එහෙම කියවලා තමයි සමාජවාදය, කොමියුනිස්ට්වාදය කුමක්දැයි සොයා ගත්තේ. ඕනෑ නම් ඔයාලට මාක්ස්වාදය හා සමාජවාදය පිළිබඳ පංති උගන්වන්න දැනුම මා සතුයි!!!! ඒත් ඒ යල්පැනපු මතවාදයට ඔබ්බෙන් ගිය අලුත් අදහස් කිසිවක් සසප ගැන ලියැවුනු අන්තර්ජාල අඩවියේ ඇති බව නුදුටුවෙමි.

                • Sujeewa said, on මැයි 6, 2013 at 8:32 පෙ.ව.

                  මම මේක අන්තර්ජාලේ බැලුවා. සසප චන්දෙ ඉල්ලන්නේ 2001 දී. ඒ ලීෆ්ලට් එක 99 කියා මට මතක තිබ්බේ 2001 වෙන්න ඇති මම දකින්න ඇත්තේ. මොකද ඒ කාලේ දිගටම චන්ද තිබ්බ නිසා. කෙසේ වෙතත් අන්තිමට [දිගටම මේකේ එල්ලී ඉන්න අදහසක් නැතිය] කියන්න තියෙන්නේ සසප සලකුණු නාමකරණ සහිත ලීෆ්ලට් එකක් ඔහොම ලියා මා අතට ලැබුණු බව පමණි. එය ඔවුන්ගේ පක්ෂ මතවාදය නොවේ නම් හෝ ෆ්රෑන්ක්ස්ටර් කෙනෙකුගේ වැඩක් නම් එය සතුටට කරුණකි. ලීෆ්ලට් එක එතරම්ම මරිමෝඩ කතාවක් නිසාවෙනි.

                  මට සසප ට මඩ ගහන්නට උවමනාවක් නැත. සසප කියන පක්ෂයත් එක්ක මට ගනුදෙනුවකුත් නැත. මතවාදීව එකඟ නොවුනත් ඔවුන්ගෙන් කිසිම අවුලකුත් නැත්තේ ඔවුන් විසින්ම සමාජවාදය ජනයා අතින් රිජෙක්ට් වන ආකාරය ඔප්පු කරදෙන බැවිනි. අදාළ මැතිවරණය ම ඊට දෙස් දෙනු ඇති.

                  මම කවදාවත් ජාතිවාදියෙක් වී නැත, අරුණි කියූ වදනින්ම මටත් කීමට ඇත්තේ මම හැම විටම ත්‍රස්තවාදී විරෝධියෙක් වෙමි කියාය. ඒ විරෝධය දමිල ත්‍රස්තවාදයට මෙන්ම සිංහල බෞද්ධ බොබසේ ත්‍රස්තවාදයට හා ජවිපෙ ත්‍රස්තවාදයටද එකසේ වලංගු බව ඔබට මිස් වී ඇත. ත්‍රස්තවාදීන් සමග සාකච්චාවෙන් පලක් නොලැබේ නම් ඔවුන් විනාශ කල යුතුය. එසේ නොකරන්නා ත්‍රස්තවාදීන් අතින් මියයන දුක් විඳින මිනිසුන්ට වන අපරාධයේ කොටස් කරුවෙකි.

                  කෙසේ වෙතත් යුද්ධය සම්බන්ධ මතය ගැන මට සසප සමග වෛරයක් නැත. එසේ වනුයේ මම වෙනත් බොහෝ තැන්වල කියා ඇති පරිදි ඒ අය [සසප, නසසප, විවිධ වාම කල්ලි] කොටි සංවිධානයට එරෙහි එක තැනකට ලාංකීය මතය කේන්ද්‍ර කිරීමට අවශ්‍ය රිපල්ස් එක අනුදැනුමකින් තොරව දුන්නු බැවිනි. මේ අයගේ ෆොසිල් චින්තනයෙන් එන කතා වලට රනිල් යුගයේ රූපවාහිනිය හා අනිකුත් මාධ්‍ය විවර වීම නිසා මිනිසුන්ට කොටි අර්බුදයේ බරපතල කම මිනිසුන්ට තේරුණු බව මට සිතේ. රනිල් අදටත් චන්දෙකින් එන්න අසමත් මෙන්න මේ මතවාද සමග කල ගනුදෙනු නිසාවෙනි. ඒ නිසා යුද්ධය උදෙසා කල මෙහෙවරට සසප ට ස්තුතිවන්ත වීමට මේ අවස්තාව යොදා ගන්නට කැමතියි.

                  එතනින් ඔබ්බට හෝල් එකක් පිරෙන්න සෙනග පුරවන්න බැරි සියවසක් පැරණි ෆොසිලයක් කරගහගත්තු පිරිසක් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණි. මම මෙතන උදාහරණයට ගත්තේ සත්‍යයෙන්ම මගේ අතට ලැබුණු ලියවිල්ලක ඒ පක්ෂයේ නමින් ලියවුනු උදාහරණයකි, ඒ සමාජවාදයේ ළදරු සිහින ගැන උදාහරණයක් විනා පක්ෂයක් ගැන කතාවක් නොවේ. එය ‘එක්තරා සමාජවාදී පක්ෂයක්” ලෙස නොකියා මාතෘකාවෙන් මෙතරම් පීලි පනින කෙනෙකුට උපකාරයක් කිරීම ගැන කනගාටුවක් ඇත.

                  • arunishapiro said, on මැයි 6, 2013 at 8:51 පෙ.ව.

                    Sujeewa,

                    //ඒ විරෝධය දමිල ත්‍රස්තවාදයට මෙන්ම සිංහල බෞද්ධ බොබසේ ත්‍රස්තවාදයට හා ජවිපෙ ත්‍රස්තවාදයටද එකසේ වලංගු බව ඔබට මිස් වී ඇත.//

                    2013 ජවිපෙ මැයි දින රැලියේ සෝවියට් දේශයේ මිලියන 60 ක් ඝාතනය කළ ජෝසෆ් ස්ටාලින්ගේ පින්තූරයක් ප්‍රදර්ශනය කරමින් ජවිපෙ පක්ෂ නායක සෝමවංශ අමරසිංහ කිව්වේ ලංකාවේ ඉන්න ඇමෙරිකන් තානාපතිවරිය වැල්ලෙ කුණු එකතු කරලා මදියි කියල. ඉතිහාසයේ තමන්ට ඕනෑ ටිකක් අරගෙන අනිත් ටික බැහැර කරන්න සමාජවාදීන් ගජ හපනුන්. එයාට ඇමෙරිකාවේ වැඩ මතක තිබ්බට ලංකාවේ 89 භීෂණ සමයේ ජවිපෙ වැඩ අමතක වෙලා. මොනවා කරන්න ද මේ ලංකාවේ අය හැමෝම දැන් “මට මතක නෑ ඕයි,” කිය කිය ඉන්නවානේ!!! 😀

                    • Sujeewa said, on මැයි 6, 2013 at 10:02 පෙ.ව.

                      දැන් බොහෝ දෙනෙක් කතා කරන්නේ 89 භීෂණය තනිකර ආණ්ඩුවේ වැඩක් කියා. පුද්ගලිකව අහු වෙච්ච කෙනෙක් හැටියට ආණ්ඩුව හැසිරුණු ආකාරය ගැන විවේචන තියෙන බව ඇත්ත. හැබැයි සහෝදරවරුයි පළමුවෙන් අහිංසක මිනිසුන් මරන්න පටන් ගත්තේ.

                    • එස්.රන්දෙණිගල said, on මැයි 6, 2013 at 1:22 ප.ව.

                      කථාව කෙටි කරමි.

                      1. සසප ජාතික ප්‍රශ්නය ගැන ස්ථාවරය තුල දකුණු ඉන්දියාවක් එක්ක එකතු වීමක් හෝ ඊලමක් දීමක් නැත.ඒක සසප ලේඛන කියැවූ ඕනෑම අයෙක් දනී. සසපට කොටි සංවිධානය ගැන ද තිබෙන්නේ විවේචනාත්මක ස්ථාවරයකි.නසසප වැනි පක්ෂ මෙන් එය විමුක්ති සංවිධානයක් ලෙස හෝ සසප පිලි ගන්නේ නැත. ඉතින් සසප මේ මූලික ස්ථාවරයට පටහැනිව මැතිවරණ ලීෆ්ලට් එකක් බෙදුවා කියන කථාව පට්ටපල් කෙබරයකි.විය නොහැක්කකි. සමාජවාදය අප්සෙට් දෙයක් ලෙස අතිශයෝකිතියෙන් කියා පෑමට තිබෙන උවමනාව උඩ සුජීව නමැත්තා මේ කෙබරය නිර්මාණය කොට තිබේ යැයි අනුමාන කළ හැක. මා කියන්නේ කෙබර උඩ නොව සැබැවින්ම සසප හෝ වෙනත් පක්ෂයක් කියන දේ මත සංවාදයට එලැඹෙන ලෙසයි.

                      2. කොටින්ට සසප උදවු කිරීම – මේ නැවත සුජීව නමැත්තා කෙබර ඇද බාන හැටියට නිදසුනකි. එසේත් නැතිනම් නොදන්නා දේ කීමට යාම පිළිබද නිදසුනකි. සසප කොටි සංවිධානයට කිසිදු සහයෝගයක් නොදැක්වීය.නොදක්වයි. එය දෙමළ ස්වෝත්තමවාදී බෙදුම්වාදී සංවිධානයක් ලෙස සසප හදුනාගනී. ඒත් සුජීව වැනි ජාතිවාදීන් කඩේ යන කොළඹ ආණ්ඩුව ද සිංහල ස්වෝත්තමවාදී එකක් ලෙස සසප හදුනාගනී. සුජීව වැන්නවුන්ට රිදෙන්නේ මේ නිසාය.සිංහල ත්‍රස්තවාදය බොබසේ එකට ලඝු කිරීම හිනා උපදවයි අප තුල. මහින්ද රාජපක්ෂ රෙජිමය උඩ සිට පහළට වෙන තුරුම සිංහල ජාතිවාදය ආත්ම කරගත් එකකි.සිවිල් යුද්ධය යනු දෙමළ ජාතිවාදි කොටි සමග සිංහල මහ ජාතිවාදී ආණඩුව කල ඝට්ටනයකි. එහි මිනිස් ඝාතන අසමානුපාතිකය. දෙමළ සිවිල් වැස්සෝ මියගියේ දස දහස් ගණනිනි.එය ජන සංහාරක යුද්ධයකි. මෙවැන්නකට අධෝමුඛය පිදිම “නිදහස් චින්තනයක්” යැයි යමෙක් කියන්නේ නම් අප තුල පහළ වන්නේ මහත් හාස්‍යයකි. නිදහස් චින්තකයින් ලෙස ලොව හදුනාගත් චිර ප්‍රසිද්ධ යුද විරෝධීන් වූ බර්ට්‍රන් රසල් වැන්නවුන් හා සසදන කල්හි මේ ජාතිවාදි ගම් බයියෝ කවරහුද?

                      ස්තුතියි.සුජීව නමැත්තා දේශපාලන අදහසක නිවැරදිකම මනින්නේ සෙනග පුරවන හෝල් එකේ ප්‍රමාණයෙන් බව පෙනේ. පසුගියදා දුමින්ද සිල්වා නිදහස් වූ කල දහස් ගණන් ජනයා ඔහු වටා එක් වූහ. සුජීව නමැත්තාට දැන් දුමින්ද සිල්වා නම් ජනතා ප්‍රසාදය දිනූ ජනනායකයාටත් සිය නිදහස් චින්තනය ප්‍රකාරව අධෝමුඛය දිගුකල හැක. ආමේන්!!

                    • arunishapiro said, on මැයි 6, 2013 at 6:31 ප.ව.

                      එස්.රන්දෙණිගල,

                      Sujeewa කාලයක් තිස්සේ බ්ලොග් ලියන හා බොහෝ අඩවි වල ප්‍රතිචාර දමන්නෙක්. ඔහු තමන් ඇහින් දුටු දෙයක් ගැනයි මෙතැන දී ලියා ඇත්තේ. එහි වසර සඳහන වැරදීමක් හා සසප මතවාදය යැයි වෙනත් අය විසින් බෙදා හරින පත්‍රිකාවක් විය හැකි බවත් ඔහු පිළිගෙන තියෙනවා. වැරැද්දක් පෙන්නුවාම ඔව් ඒත් අපි කැමති මේ විදියට හිතාගෙන ඉන්න කියන බහුතරයා අතර ඒ තරමින් වත් වැරදීමක් පිළිගන්න අය ඉතා අඩුයි. ඒ නිසා තවත් දිගින් දිගට මෙවැනි පත්‍රිකාවක් දැක්කා කතාව පට්ටපල් බොරුවක් යැයි පමණකින් ඔහුට ජාතිවාදි ගම් බයියෙක් යැයි ලේබල් ඇලවීමෙන් ඵලක් නැත.

                      //නිදහස් චින්තකයින් ලෙස ලොව හඳුනාගත් චිර ප්‍රසිද්ධ යුද විරෝධී බර්ට්‍රන්ඩ් රසල්//!!!! Bertrand Russell ගැන එක තොරතුරක් මම ඔබට කියා දෙන්නම්. ඉන්පසු ඔහුව ඔබ “ජාතිවාදී ගම් බයියන්” හැටියට ලේබල් කරන්නට කැමති අය හා සසඳා බලන්න!!!!!

                      යුද්ධයේ ආචාර ධර්ම” මැයෙන් 1915 දී ලිපියක් ලියන බර්ට්‍රන්ඩ් රසල් විසින්ම මෙසේ කියා ඇත: යුද්ධයක දුෂ්ටකම් සියල්ල අභිබවා මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් වැඩියෙන් හොඳක් ඉටු කරන යුද්ධ හැටියට අධිරාජ්‍යයන් පිහිටුවන යුද්ධයන් (wars of colonization) සැලකිය හැකියි. මෙය තව දුරටත් විස්තර කරන ඔහු කියන්නේ යම් දේශයකින් ජනගහණයක් සම්පූර්ණයෙන්ම පලවා හැර එය වෙනුවට ආක්‍රමණය කරන වෙනත් උසස් ජාතියකින් ජනාවාසකරණය යුක්ති සහගත බවයි!!!!!!!!!!!!

  2. Mandawala hamuduruvo said, on මැයි 3, 2013 at 9:50 පෙ.ව.

    I learnt a lot from your precious and informative article. I had never heard of this digger communism!
    Yes as young people we were attracted by communist revolution, I think it is moral, but if people believe in this utopia after their young age it is really abnormal. Man’s future depends on his spiritual development. Meditation makes changes in the brain!
    Thanks dear sister for giving us your vast knowledge.

    • arunishapiro said, on මැයි 3, 2013 at 10:02 පෙ.ව.

      Mandawala hamuduruvo,

      ස්තූතියි. කොමියුනිස්ට්වාදය ආචාර ධර්මානුකූල වූවක් දැකීම දුර්මතයක් පිළිගැනීමයි. කොමියුනිස්ට් වීමෙන් කැමැත්තෙන් වර්ධනය කරන මානව දයාවක් නොව පැතිර යන්නේ බලහත්කාරයෙන් එක් කොටසකින් ගෙන තවත් කොටසකට බෙදන වහල් බවට දක්කා ගෙන යාමක්. මිනිසාට තමන්ගේ කැමැත්තෙන් මානව හිතවාදී වෙන්නට ඉඩක් ලැබෙන්නේ නිදහස් වෙළඳපොලක් පවතිනවා නම් පමණයි. රසවත් ලෙසින් ලියැවුන ඒ අදහස: http://mises.org/daily/6421/The-Essence-of-Society-is-Peacemaking

  3. Gold fish said, on මැයි 3, 2013 at 10:25 පෙ.ව.

    කොමියුනිස්ට්වාදය ගැන දැනුම මදි. ඒත් ලංකාවේ ගෝල් ෆේස් එකෙත් ඔය වගේ සරුංගල තියෙනවා මං දැකලා තියෙනවා…


ප්‍රතිචාරයක් ලබාදෙන්න