අරුණි ශපීරෝ‍ වෙතින්

ඩෙලවෙයාර් හි පීච් ගස් පිරිමදින ට්‍රැක්ටරය

Posted in Uncategorized by arunishapiro on මැයි 4, 2013

හොඳ ඵලදාවක පොරොන්දුවක් දෙන වසන්තයේ පිපුණ පීච් මල් දැක්කෙමි.
IMG_5428

ඉහළ සහ පහළ පින්තූර වල ඇත්තේ 1867 දී ආරම්භ කරන ලද ඩෙලවෙයාර් ගොවි පරම්පරාවකට අයිති පීච් වත්තයි.

වසන්තයේ දී පිපෙන මල් වලට ඉඩකඩ සැලසීම සඳහා මේ පටි එල්ලන ලද ට්‍රැක්ටරය කරන්නේ හේමන්තයේ දී බිමට පතිත නොවූ වියළි කොල හා මිය ගිය අතු රිකිලි පිරිමැදීමෙන් බිමට හෙළීමයි. එය ට්‍රැක්ටරයෙන් කරද්දී මිනිස් ශ්‍රමය අඩුවෙන් වැය වේ. කාලය වැඩියෙන් ඉතිරි වේ. වැඩි ඵලදාවක් ලැබීමෙන් වැඩි ජනතාවකගේ පීච් ඉල්ලුම අඩු මිලට සපයන්නට හැකිවේ.

IMG_5429

තමන්ගේ පුද්ගලික දේපලක් වූ කළ, කාලාන්තරයක් තිස්සේ එකතු කරගත් දැනුම සහ ලාබ තම ව්‍යාපාරයේ වැඩි දියුණුවට ආයෝජන කරමින් නව අත්හදා බැලීම් කරමින් ගසකින් ඉබේ වැවෙන ඵලදාවට වඩා වැඩියෙන් ඵලදාවක් ලබාගන්නට ශ්‍රමිකයන් මෙසේ වෙහෙසෙන්නේ කෘෂිකර්ම වෘත්තිය ඔවුන්ගේ තෝරා ගැනීම නිසයි.

කෘෂිකර්මය ඔවුන්ගේ තෝරා ගැනීම වී ඇත්තේ කෘෂිකාර්මික සමාජයක ජීවත්වන්නට සිද්ධ වීම නිසා නොවේ!!!!!

කැමැත්තෙන් රැකියාවක නියැළීම සහ ජීවනෝපායන් අතර තෝරා ගැනීමක් නොමැතිකම අතර වෙනස හඳුනාගන්නට බහුතරයකට නොහැකියි. කැමැත්තෙන් කෘෂිකර්මයේ යෙදෙන ඩෙලවෙයාර් ගොවියන් අතර ද “අත්තම්” අවස්ථා නොමඳව දැකිය හැකියි. ඔවුන් අස්වනු නෙළාගත් කළ එකතු වී සැනකෙළි සහ උත්සව පවත්වති.

IMG_5430

ලාබයක් සොයන්නේ නැතිකල නව තාක්ෂණය හෝ වැඩි ඵලදාවක් ලැබේ දැයි විමසන අත්හදා බැලීම් වලට ආයෝජනය කරන්නට මුදලක් නොලැබේ, ඉඩෝරයක් හා ගංවතුරක් පැමිණි කල ඇතිවන වගා හානියෙන් පාඩු විඳ දරා ගැනීමේ හැකියාව ද නැතිවී යයි, 1867 සිට 2013 දක්වා පරම්පරා කිහිපයකට පීච් වගාවෙන් ජීවිකාව උපයත හැකියාව සහ අනිත් අයට රස්සාවල් දෙන හැකියාව ද නැති වී යයි.

ඇමෙරිකාවේ කෘෂිකර්මයේ යෙදෙන්නේ 2% ක් පමණ ජන කොටසකි. ඔවුන් ඇමෙරිකාවේ ඉල්ලුම පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වලට ද ආහාර සපයන්නට සමත් වෙති. වගා කරන ඉඩම් ප්‍රමාණය අතීතයට වඩා අඩුය. එහෙත් අතීතයට වඩා ඵලදාව වැඩියෙන් ලබා දෙන්නට පරිසරයට හිතවත් හා තිරසාර ක්‍රම සහ විධි ඔවුන් සොයාගෙන ඇත. මහා පරිමාණයෙන් පමණක් නොව කුඩා ගොවිපළ හා ගෙවතු වගාවන් කරමින් කෘෂිකාර්මික උත්සාහයන් වලින් අමතර ආදායම් උපයන අය ද ඇමෙරිකාවේ නොමඳව සිටිති.

එහෙත් ඇමෙරිකාව ගැන නොදන්නා අය සිතන්නේ හැමෝම නිව් යෝර්ක් නගරයේ උස් බිල්ඩින් වල ජීවත්වෙන බවයි.

ලෝකයේ මහත් ජනගහණයට ආහාර සපයන්නේ කෙසේදැයි නොදන්නාකමෙන්, කෘෂිකාර්මික උත්සාහයක කිසිදා නොයෙදුන බහුතර ලෝක වැසියන් තමන් දිනපතා කුස පුරවා ගන්නා ආහාර සියල්ල (පෝච්චියේ වවා ගන්න මිරිස් කරල විතරක් නෙමෙයි) නිෂ්පාදනය කෙසේ සිද්ධ වෙන්නේ දැයි සත්‍යයෙන් සොයා නොබලා බහුතර ජනතාවක් නියැළුන පුරාතන කෘෂිකාර්මික යුගය රන්මය යුගයක් යැයි කියමින් අගය කරමින් සිටිති.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මැයි 4, 2013 at 8:58 පෙ.ව.

    කෘෂිකාර්මික යුගය නැවත උදාකරගතයුතු බවක් අතීතය දැක භක්තියෙන් අන්ධ වූවන් සිතිවත් අරුණි පවසන සත්‍යය දකින්නෝද වෙති. කෙසේවුවද අන්ධ භක්ති රෝගයෙන් පෙළෙන්නවුන්ට එබ හොඳ පිළිතුරක් දී තිබෙනවා.

  2. Gold fish said, on මැයි 4, 2013 at 10:34 පෙ.ව.

    ඉස්සර ලංකාවත් ඓශ්චර්යවත්ලු….

  3. maathalan said, on මැයි 4, 2013 at 11:21 පෙ.ව.

    මම නම් හිතන්නේ ළෝකේ හොඳම ගොවියෝ ඊශ්‍රායල් කාරයෝ කියලයි. 1948 කාන්තාරයක් උන ඊශ්‍රායලය, අද විදේශයන්ටත් තම කෘෂි නිශ්පාදන අපනයන කරණ මෙන්ම නව තාක්ෂණය හඳුන්වාදි එමගින්ද ඉහල ආදායමක් උපයන රටක්, ඔවුනගේ කිබුට්ස් හා මෝෂාව් යන සංකල්ප අපිට කොයිතරම් වටිනවද? මම මේ දේවල් ඉගෙන ගත්තේ මෝෂාව් අමිනාදාව් කියන පලාතේ සුන්දර පවුලක් එක්ක ජීවත් උන කාළේ.

    • arunishapiro said, on මැයි 4, 2013 at 11:49 පෙ.ව.

      maathalan,

      කැලිෆෝර්නියාවේ ද කාන්තාරයක් කෘෂිකර්මයෙන් සරුවත් වුනා ඒත් ආණ්ඩුවේ මැදිහත්වීම් වැඩි වෙලා වැඩි වෙලා ගිහින් දැන් ප්‍රාන්තයම බංකොළොත්.

      ඊශ්‍රායෙල් රටටත් ඔවුන් සත්‍යයෙන් ස්වයංපෝෂිත දැයි ඔප්පු කරන්න අවශ්‍යතාවයක් ඇත්නම් ඇමෙරිකාවෙන් සහනාධාර ලබාගැනීම ඔවුන් නතර කරන්න ඕනෑ!!!! ඊශ්‍රායෙල් වල තියෙන සමාජවාදී කොමියුන් සංකල්පයෙන් එන -කිබුට්ස් බහුතරයක් ඊශ්‍රාල ආණ්ඩුවේ සහනාධාර ලබමින් පවත්වා ගෙන යන ඒවා බව නෝම් චොම්ස්කි ගිහින් ඇවිත් ඒ ගැන ලියපු පොතකින් දැක්කෙ. සත්‍යලබ්ධික යුදෙව් ආගමික අයට යුද්ධ වදින්න හමුදාවට බැඳෙන අනිවාර්ය සේවයෙන් වැළකෙන්න ලැබෙන්නේ කිබුට්ස් තරුණ තරුණියන් බහුතරයක් හමුදා සේවයට කැමැත්තෙන් යන නිසයි බවත් ඔහු පෙන්වා දුන්නා. ඒ කියන්නෙ ආණ්ඩුව එක කොටසකින් අරගෙන තවත් කොටසකට දෙන පිළිවෙතක යෙදීම.

      Understanding Power (2003) ලියන Avram Noam Chomsky එහි Chapter 6, page 197 හි කිබුට්ස් විස්තර කියන්නේ ඒවා ඉතා ජාතිවාදී බවයි. උදාහරණයක් හැටියට ආරාබි සහ යුදෙව් එකතුවෙන් හැදෙන පවුලකට කිබුට්ස් වල වාසයට ඉඩක් ලැබෙන්නෙ නැහැල්ලු. ආණ්ඩුවේ සහනාධාර ලබමින් එහෙම කරන එක වැරදි නැද්ද?!!!!!!

      • Sujeewa said, on මැයි 4, 2013 at 12:28 ප.ව.

        ඊශ්‍රායලය නිදහස් රටක් නොවේ. තාත්වික රටකුත් නොවේ. එතන වෙන්නේ මොන ක්‍රමයකින් හෝ ඔය පුංචි මුල්ල අල්ලාගෙන ඉන්න එක. ඇමරිකාව ඇත ඇරිය ගමන් බඩුම තමා.

        ඔවුන් කාන්තාර සශ්‍රික කලේ දැවැන්ත පාරිසරික අර්බුදයකින්. ජෝර්දාන ගංගාව තනිකරම හරවා ගෙන. මේක හරියටම කිව්වොත් මහවැලි ගඟ හම්බන්තොටට හරවා ගත්තා වගේ. මල මුහුදට ජලය සපයන එකම මාර්ගය හැරෙව්වම එහි ජලය වේගයෙන් ක්ෂය වෙනවා.

        හැබැයි තාක්ෂණික නිර්මාණ කරන්න ඔවුන් දක්ෂයි.

        • arunishapiro said, on මැයි 4, 2013 at 12:38 ප.ව.

          Sujeewa,

          නැහැ ඇමෙරිකාව අතහැරියා කියා ඊශ්‍රායෙල් වැටෙන්නේ නැහැ; ඔවුන් සතු තාක්ෂණය සහ ඔවුන් සතු මූල්‍ය පරිහරණය රටේ හැටියට වෙනත් කිසිම ජාතියකට වඩා ඉදිරියෙන් වූ දැනුමක්!!!! වැදගත් දේ ඇමෙරිකාව විසින් ඊශ්‍රායෙල් වලට සහනාධාර නවත්තලා ඊට පස්සෙ වටේම ඉන්න අනිත් හැමෝටමත් සහනාධාර දෙන එකත් නවත්තාවි ද යන්නයි.

          • maathalan said, on මැයි 4, 2013 at 10:37 ප.ව.

            ඔය කතා සියල්ලම ඇත්ත. ඒත් යුදෙව්වෝ මොන ක්‍රමෙන් හරි නොකලානම්. ඊශ්‍රාලය අදත් පලස්තීනය වගේ නේද. පලස්තීන මානසිකත්වයේත්, අපේ මානසිකත්වයේත් කිසිම වෙනසක් මම නම් දකින්නේ නෑ.

  4. Chandi said, on මැයි 4, 2013 at 11:38 පෙ.ව.

    අපි යලිත් මේ යුගයට යා යුතුයි කියල මාත් හිතනවා. සරල ජීවිත රටාවක් හා ස්වාභාවික පොහොර භාවිතය මේ කාලයට උචිතයි. රසායනික පොහොර නිසා නැතිවෙන ජීවිත දිහා බලනකොට මේ වැනි උපක්‍රම ප්‍රයෝජන වෙන්නෙ කොහොමද ? කියල පේනවනෙ.

    • arunishapiro said, on මැයි 4, 2013 at 12:00 ප.ව.

      Chandi,

      චාන්දි අක්කා මේ ගොවිපල විදිය වර්තමානයයි. ආපස්සට යා යුතු යුගයක් නෙමෙයි. සරල ජීවිතයක් තෝරා ගැනීමට හැකියාව ලැබෙන්නෙ සමාජයක් ධනවත් නම් පමණයි. දුප්පත් සමාජයක දී කන්න අඳින්නයි ලයිට් බිල් ගෙවන්නයිනෙ හැමදාම වැඩ කරන්න වෙන්නෙ. එතකොට අලුත් අත්හදා බැලීම් කරන්න මුදලක් යට කරන්න කාටවත් නැහැ. මෙහෙ දැන් කුකුල් ෆාම් වලින් ලැබෙන කුකුල් අශූචි ස්වභාවික පොහොර වශයෙන් විකුණන ව්‍යාපාරයන් සෑහෙන්න නැඟලා ගිහින්. ඒත් ඒවා පොහොර ලෙසින් මිනිසුන්ට හානිකර නොවෙන අන්දමින් වෙළඳපොලට ඉදිරිපත් කරන්න නම් කවුරු හරි එයින් ලාබ හොයන අවදානමෙන් මූල්‍යයක් යට කරන්න ඕනෑ. ඒත් කුකුල් ආහාර පිටරටෙන් ගෙන්වන රටක එහෙම උත්සාහයක් පටන් ගත්තොත් කුකුල් අශූචි වලටත් වලි යාවි!!!!

  5. Sujeewa said, on මැයි 4, 2013 at 12:32 ප.ව.

    [[බහුතර ජනතාවක් නියැළුන පුරාතන කෘෂිකාර්මික යුගය රන්මය යුගයක් යැයි කියමින් අගය කරමින් සිටිති.]]

    මට මතක් වුනේ අතිගරු පොල් පොට් මහතා. අවාසනාවකට මෙහෙම කරන ගත්තම ආරම්බයේ පොඩි නැග්මක් එනවා. ඒ කික් එකට තවත් අනා ගන්නවා.

    ලංකාවේ නම් වැඩේම ඉතිහාසය එක්ක කොමිටල් කිරීම. රොබට් නොක්ස් කිව්වා කියා ලංකාවේ ය කියනවා “මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුයි” කියා. මේක තරම් ගොවියාට කල හැකි අපහාසයක් තවත් නැහැ. මේ චින්තනය නිසා ඩො මන්දා උන්ට වහ කන්න වෙන්නේ. ලොකුම කෙලිය තමා, නොක්ස් කිව්වේ ඔය අදහස වත් නොවේ. ඒක තනිකර වෙනස් කතාවක්.

    • arunishapiro said, on මැයි 4, 2013 at 12:43 ප.ව.

      Sujeewa,

      ගොවියන්ට එක පැත්තකින් සහනාධාර දීලා තව පැත්තකින් මිල පාලනය කළාම එවිට ගොවියා යනු ආණ්ඩුවේ “රතු බජට් වලින් වේතන ලබන රතු කමිස හැඳගත් කම්කරුවෙක්” මිසක් කෘෂිකාර්මික ව්‍යවසායකයෙක් නෙමෙයි.

    • boo said, on මැයි 21, 2013 at 9:05 ප.ව.

      වොන්ඩෙර්ෆුල්
      අන්තිමට මට නොක්ස්ගෙ ගෙ පොත කියවපු කෙනෙක් හම්බ උනා.
      මම පොත කියෙව්වෙ අවු 15 දි.
      පහුගිය අවු 17 ටම ඔය ගොන් කතාව කියන හැම කෙනාටම කියන්වා , “අනේ නොක්ස්ගෙ තුන් හිතකවත් ඔය වගෙ කතාවක් තිබිල නෑ කියල.
      වැඩක් නෑ.
      ඉස්කොලෙත් උගන්නවනෙ ඔහොම කිව්ව කියල.

  6. wicharaka විචාරක said, on මැයි 4, 2013 at 1:35 ප.ව.

    අපේ රටේ ගොවියෙකුට අඩු ගණනේ රෝද දෙකේ ට්‍රැක්ටරයක් (රෝද දෙකේ ට්‍රැක්ටරය ලංකාවේ රේ විජේවර්ධන මහතාගේ සොයාගැනීමක්. නමුත් අද අපි ඒවා ගන්නේ කොහෙන්ද?) අඩු ගානේ හොඳ රොටවේටර් නගුලක් ඩියුටි ෆ්‍රී ගන්ඩ හම්බවෙන්නේ කවද්දෝ…………………………………………………………………………………

    • arunishapiro said, on මැයි 4, 2013 at 3:25 ප.ව.

      විචාරක,

      ඒකත් ලංකාව ගැන කදිමට කියන කතාවක්නෙ!!! මේ රේ විජේවර්ධන ගේ ට්‍රැක්ටර් සොයා ගැනීම අලලා නාලක ගුණවර්ධන ලියපු සටහනක්: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

      එදත් අදත් ඩියුටි ෆ්‍රී ලැබුනෙ ජනතාවගේ සුවසෙත සලසන්න කැපවෙච්ච ජීවිත ගෙවනා පාලක පංතියේ බුර්ජුවාසීන්ට විතරයි. රට ආශ්චර්යමත් කරන්න ඔවුන් පානා රැඟුම් වෙනුවෙන් ජනතාවයි එදත් අදත් ඩියුටි ගෙවන්නෙ!!!!

  7. jagath padmasiri said, on මැයි 9, 2013 at 9:53 පෙ.ව.

    කාලෙකට ඉස්සර දිවයින පත්තරේක හොඳ විහිලුවක් තිබුනා ඒකෙදි කිව්වේ
    සිංහලයෙක් මාක්ස්වාදය පාවිච්චි කලාට කමක් නෑ නමුත් සිංහලයා සිංහලකම අතහැරලා මාක්ස් වාදියෙක් වීම වැරදියි
    කියලා
    මෙක ධනවාදයටත් අදාලයි
    ඇත්තටම යුදෙව්වෝ ධනවාදය පාවිච්චි කරනවා විතරයි ඔවුන් ධනවාදියෝ නෙමෙයි (එහෙම වෙන්නම ඕන කියලා නීතියකුත් නෑ)
    ඇත්තටම පිරිසිදු ධනවාදියෝ නම් ඔවුන් කරන්න ඕන යුදෙව් ආගම අතහැරීම නේද
    අපේ මෝඩ සිංහල බෞද්ධයෝ ජපන්නු ආදර්ශමත් ජාතියක් කියලා හිතුවට
    අපිට වැඩියෙන්ම ආදර්ශ ගන්න පුලුවන් ජාතිය යුදෙව්වෝ
    ඔවුන්ගෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය තමා ඔවුන් සුද්දෝ එක්ක කොච්චර කාලයක් එකට හිටියත්
    කලු සුද්දෝ වෙලා නෑ අපේ එවුන්ට නැත්තෙත් ඔය පුරුද්දමයි

    • arunishapiro said, on මැයි 9, 2013 at 3:42 ප.ව.

      jagath padmasiri,

      දිවයින ලියා ඇත්තේ මාර විහිලුවක් තමයි!!!! සිංහලකම තියාගත්තැයි කියල මාක්ස්වාදියෙක් වීමේ වැරැද්දක් නැති වෙන්නෙ කොහොම ද?!!!

      ඒ වගේ ම අපහැදිලියි ඔබ කියන ධනවාදියෙක් නොවී ධනවාදය පාවිච්චි කරන්නෙ කොහොම දැයි යන්නත්. එහෙම කරන්න පුලුවන් යැයි හිතන සමාජවාදීන් නිසා තමයි ලෝකයට දැන් කෙලවෙලා තියෙන්නෙ!!!!!

      //ඇත්තටම පිරිසිදු ධනවාදියෝ නම් ඔවුන් කරන්න ඕන යුදෙව් ආගම අතහැරීම නේද// යන්නත් මට අපහැදිලියි. මම දන්න තරමින් යුදෙව් ආගම සහ ධනවාදය අතර නොගැලපීමක් නැහැ. බහුතර යුදෙව්වන් යුරෝපයේ මහත් කාලයක් ජීවත් වූ නිසා සමාජවාදී හුරුවෙන් වීම හරියට ධනවාදය නොදත් ලංකාවේ බහුතරය හැමදාම කොමියුනිස්ට් ලෝකයක් කරා යමින් සිටිනවා වැනියි.

      ඔබ කියන //අපිට වැඩියෙන්ම ආදර්ශ ගන්න පුලුවන් ජාතිය යුදෙව්වෝ// කියද්දී එහි සත්‍යයක් මෙහෙම තියෙනවා. එනම්, අයෙක් යුදෙව්වෙක් වෙන්නේ අම්මා යුදෙව් නම්, එනම් උප්පත්තියෙන්. සිංහල දෙමව්පියන්ට දාව ඉපදුනාම සිංහලයෙක් වෙනවා වගේ. එතැනින් එහාට ඕනෑ දෙයක් ඔට්ටුයි; යුදෙව් ආගම අදහන සහ එය අදහන්නේ නැති යුදෙව්වන් ඕනෑ තරම් ලෝකයේ සිටිනවා. හරියට ආගමක් අදහන්නේ නැති සිංහලයන් ලෝකෙ ඉන්නවා වගේ. සමාජවාදී යුදෙව්වන් ද ඕනෑ තරම් ලෝකයේ සිටිනවා. ඒත් ධනවාදී යුදෙව්වන් අඩුයි. සමාජවාදී සිංහලයන් ද ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා, ඒත් යුදෙව්වන්ටත් වඩා ධනවාදී සිංහලයන් නම් හරිම අඩුයි!!!! 😀

  8. jagath padmasiri said, on මැයි 9, 2013 at 11:40 ප.ව.

    මම ධනවාදයට අනුව ප්‍රශ්නයක් අහන්නද
    ඔයා විවාහ විවාහ වෙලා ඉන්නෙ සුද්දෙක් එක්කනේ
    ජන වාර්ගිකව බැලුවාම ඒකෙන් වාසි වෙලා තියෙන්නේ ඔයාටද නැත්තම් සුදු අප්පුහාමිටද

    • arunishapiro said, on මැයි 10, 2013 at 6:52 පෙ.ව.

      jagath padmasiri,

      ඔයා අහලා තියෙන්නෙ පුද්ගලික ප්‍රශ්නයක් … “ධනවාදයට අනුව” අහන්න ද යැයි කීමෙන් ධනවාදය යනු ආර්ථික ක්‍රමයක් බවත්, විවාහයක් යනු පුද්ගලික ජීවිතයේ සහකාරයා තෝරා ගැනීමක් බවත් යන්න වෙනස් වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂයෙන් අවසර නොලැබෙන අය සමඟ විවාහ වෙන්න පක්ෂයෙන් කැමැත්ත නොලැබෙන අවස්ථා අදත් තියෙන්නෙ කොමියුනිස්ට්/සමාජවාදී ක්‍රමයේ.

      ජන වාර්ගිකව ලැබෙන වාසි යනු මොනවා ද?!!!!!

      අපේ පුද්ගලික ජීවිතයේ අපි දෙන්නගෙ ආදර හවුලෙන් වාසි අපි දෙන්නටම. බැඳලා වසර 25 ට ඉතා ළං වෙලා ඉන්න එයා කියන්නෙ එයාට වාසි වැඩියි කියල, මම කියන්නෙ මට වාසි වැඩියි කියල 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: