අරුණි ශපීරෝ‍ වෙතින්

මාක්ස් සහ ඒංගල්ස් ධනවාදයට ලේබල් ඇලෙව්ව හැටි

Posted in Uncategorized by arunishapiro on මැයි 6, 2013

IMG_2655

පුද්ගලික අයිතියෙන් යුතු නිෂ්පාදන සාධක වලින් පාරිභෝගික කැමැත්ත තෘප්තිමත් කර ලාබයක් උපයා ගැනීම ඉලක්ක කරගත් අවදානමක වෙහෙසීම ධනවාදී ක්‍රමයයි.

මූල්‍ය, ප්‍රාග්ධනය (capital) යන්න අයිතිකරුවා ධනවාදියා නොහොත් capitalist යනුවෙන් හැඳින්වීම 17 වැනි සියවසේ මැද දී දකින්නට ලැබුණි. කැපිටාලේ යන පශ්චාත් යුගයේ ලතින් වචනයකින් හැදෙන කැපිටල් යන්නේ මූලාරම්භය ලෙසත්, කැපිටාලේ යන්න හරකා බාන අයිතියෙන් වූවන් හඳුන්වන වචනයක් ලෙසත්, සැලකේ. 12 වැනි සහ 13 වැනි සියවස් හි කැපිටාලේ යන්නෙන් අරමුදල්, භාණ්ඩ සංචිත, මුදල් කොටස්, පොලී එකතුවන මුදල් යනාදිය හැඳින්වීමට යොදා ගැනෙන ලදි. 1283 දී වෙළඳාමේ යෙදෙන සමාගමක මූල්‍ය වත්කම් හඳුන්වන්නට එය යොදා ගෙන ඇත. කැපිටාලේ යන්න වස්තු සම්පත්, මුදල්, අරමුදල්, භාණ්ඩ, වත්කම්, දේපල යන රාශියක් වෙනුවෙන් පාවිච්චි කරන ලද්දකි.

මූල්‍ය අයිතිකරුවන් හඳුන්වන්නට කැපිටලිස්ට් යන වහර 1633 දී සහ පසුව 1654 දී ඕලන්ද බසින් ලියන ලද කෘතියක සඳහන් වී ඇතැයි කියැවේ. ප්‍රංශ බසින් එටියෙන් ක්ලැවියෙර් විසින් 1788 දී කැපිටලිස්ට් ගැන කියා ඇත. 1817 දී ‘දේශපාලන ආර්ථිකය සහ බදු ක්‍රම සිද්ධාන්ත‘ ගැන ලියූ ඩේවිඩ් රිකාඩෝ කිහිප වතාවක් “ද කැපිටලිස්ට්” යැයි ලියා ඇති බව කියැවේ. 1823 දී “මේස කතා” නිර්මාණයේ දී ඉංග්‍රීසි කිවිඳා සැමුඑල් ටේලර් කොල්රිජ් කැපිටලිස්ට් පදය භාවිතා කරයි. මූල්‍ය අයිතිකරුවන් ගැන කියන්නට පියෙර්-ජෝසෆ් පෲඩොන් විසින් සිය “දේපල නම් කුමක් ද?” යන 1840 කෘතියේ කැපිටලිස්ට් පදය යොදා ගනියි. 1845 දී “සිබිල්” නිර්මාණයේ බෙන්ජමින් ඩිසායෙරෙලි කැපිටලිස්ට් යන පදය භාවිතා කර ඇත. තව විස්තර ඉංග්‍රීසි විකිපීඩියාවේ ඇත.

ලොව කැපිටල් සහ කැපිටලිස්ට්ලා ගැන ලියැවුනේ මූල්‍ය යෙදීමෙන් ව්‍යාපාර සිද්ධ වීම පෙන්වීමටත් සහ ධනවාදීන් යනු එවැනි උත්සාහයේ යෙදුනු අය බව හඳුන්වන්නටත් ගත් ඉහත සඳහන් වෑයම් වල දී ය.

ධනවාදය නොහොත් Capitalism යන ආර්ථික ක්‍රමය ගැන ප්‍රථමයෙන් ලියන්නේ කාල් මාක්ස් සහ ඒංගල්ස් විසිනි.

1848 කොමියුනිස්ට් පක්ෂයේ මැනිෆේස්ටෝ ලියද්දී කාල් මාක්ස් හෝ ෆ්‍රෙඩ්රික් ඒංගල්ස් විසින් කැපිටලිස්ට් යන වචනය මෙසේ යොදති. “නූතන කර්මාන්තයේ දී පීතෘමූලිකයාගේ කුඩා කම්මල කාර්මික ධනවාදියාගේ දැවැන්ත ෆැක්ටරියක් බවට හරවා ඇත. ෆැක්ටරිය තුල පොදි ගහන ලද මහා කම්කරුවන් සංඛ්‍යාව සංවිධානය කර ඇත්තේ සොල්දාදුවන් ලෙසිනි. … බුර්ජුවාසි පංතියේ වහලුන් ලෙසින්, බුර්ජුවාසී ආණ්ඩුවක වහලුන් ලෙසින්, ඔවුන් දිනපතා සහ පැය ගණනට යන්ත්‍ර වල වහලුන් බවට පත් කර ඇත්තේ ඒකීය බුර්ජුවාසී කර්මාන්තකරුවා විසින් ය.”

ලෝක ඉතිහාසයේ මේ කාර්මිකයන් ඊට පෙරතුව කුමක නියැළුනා ද යන්න ගැන නොදන්නා අය සිතන්නේ ඔවුන් ගම්මාන වල පොදු දේපල භුක්ති විඳිමින් සතුටු ජීවිත ගත කළ අය බවයි. එහෙත් ඉතිහාසය විමසා බැලූ අයෙක් දකින්නේ මොවුන් කර්මාන්ත සේවකයන් වෙන්නට පෙර ගත කරන ලද්දේ කන්නට අඳින්නට හා වාසයට තැනක් නොමැතිව නන්නත්තාරේ ඇවිද බඩගින්නේ හා ලෙඩ රෝග වලින් මිය යෑමේ ඉරණමට ලක් වු අය බවයි. එවක ආණ්ඩු වාර්තා විමර්ශනයට නොහැකි අයට, හොනරේ බල්සැක්, චාල්ස් ඩිකන්ස්ගේ කතන්දර පොත් වල සහ වික්ටර් හියුගෝ ලියූ ලේ මිසෙරාබ්ල හි කාන්තාවන් හා දරුවන් යන එන මං නැති ලෙඩ දුකින් පිරුණු දුක්ඛිත ජීවිත ගෙවමින් සිට මිය යන ලද අය බව දැකිය හැකියි. ආණ්ඩුව විසින් කරන ලද්දේ මොවුන් අනාථ නිවාස වලට සහ රැකියා නිවාස වලට ගාල් කිරීමයි. ඔවුන්ගේ නුපුහුණු ශ්‍රමයට වැටුපක් ගෙවා ඔවුනට ජීවිකාවක් උපයන මාර්ගයක් සලසා දුන්නේ ධනවාදී ක්‍රමයයි.

එසේම සත්‍ය දැනගන්නට අවශ්‍යතාවයක් ඇත්තාට මුල් කර්මාන්තකරුවන් වූයේ කවුරුන්දැයි ද සොයාගත හැකියි. කර්මාන්තකරුවන් ලෙසින් කාර්මික යුගය පටන් ගත්තේ උප්පතියෙන් වංශවත් පවුල් වල සාමාජිකත්වය හිමි වූ රදළ බුර්ජුවාසීන් නොවේ. එහි ආරම්භය වූයේ ජේම්ස් හාග්‍රීව්ස් වැනි දවසේ පැය ගණනට හෝ කෑලි ගණනට උප්පත්තියෙන් හිමි වූ පාරම්පරික රස්සාවක් මිය යන දා කරන්නට නියම වූ අයෙක් ඒ යදම් ගලවා ධනපති පංතියට ඇතුල් වන්නට සමත් වීමෙනි.

1867 දී “දාස් කපිටාල්” ලියන මාක්ස් සහ ඒංගල්ස් ධනවාදය යන වහරෙන් පවතින ආර්ථික ක්‍රමයට ඍනාත්මක ලේබල් එකක් ලොව ප්‍රථම වතාවට අලවති. අදත් පැවතෙන්නේ එය අනේක ආකාරයන් වලින් ඇදගෙන යන උත්සාහයන් වෙති. ධනවාදය යන වචනයත්, ධනවාදියා සහ ධනවාදි නිෂ්පාදන ක්‍රමය යනාදි වචනත් මාක්ස් සහ ඒංගල්ස්ට උවමනා පරිදි භාවිතයෙන් දාස් කපිටාල් හි පිටු ඔවුන් පුරවති. ධනවාදියා විසින් කම්කරුවන් ගැන තැකීම නොසලකා හැර ඔවුන්ට නීතිමය රැකවරණයක් නොදෙමින්, ධනවාදීන්ගේ සම්පුර්ණ සුරාකෑමට හැකිවන අන්දමින් ගොඩනඟා ගන්නා ලද බුර්ජුවාසී ක්‍රමයක් තුල කම්කරුවා යනු යදම් ගැලවිය නොහැකි වහලෙක් බවට පත්කරගත්තා යැයි ඔවුන් දෙදෙන ලියති.

යාන්තමෙන් හෝ පැවතෙන නිදහස් වෙළඳපොලක දී දුප්පත් කම්කරුවන් හා මූල්‍ය සතු ධනපති පංතිය යනු දෙපැත්තක සිට බල අරගලයක යෙදෙනා පීඩකයන් සහ පීඩිතයන් නොවෙති. සත්‍ය ලෝක ඉතිහාසයේ එම කාලය දුප්පතුන් ලෙසින් ඉපිද කොරනේලියස් වැන්ඩබිල්ට්, ජේම්ස් ජේ. හිල්, ජොන් ඩී. රොකෆෙලර් වැනි ශ්‍රමිකයන් මහා ධනකුවේරයන් වන්නට අවස්ථාවක් ලද්දේ නිදහස් වෙළඳපොල ධනවාදී ක්‍රමය බිහි වූ නිසාය. එසේම එවැනි ව්‍යවසායකයන් නිසාම තවත් දුප්පත්ව උපත්තිය ලැබූ මහා ජනකායකට ශ්‍රමිකයන් ලෙසින් වෙහෙසී සැප පහසු දිවි ගෙවන්නටත්, කැමති නම් තම ශ්‍රමයෙන් ඉතිරි කරගත්තකින් ව්‍යවසායකයන් වන්නට මූල්‍යයක් සොයා ගන්නටත් හැකි නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමයක් ලොව ප්‍රථම වතාවට බිහි වූවා යැයි එකල ඉතිහාසය පෙන්වයි.

සමාජවාදය අගයන අය, අදත් දුප්පතුන් ව සිට ධනකුවේරයන් වන්නට සමත් වෙන්නට ඉඩකඩක් ලැබෙන එකම ක්‍රමය වන යාන්තමෙන් හෝ නිදහස් වෙළඳපොලක සේයාවක ඇති ධනවාදයට දැඩි තරඟයේ පීඩනයක් ඇතැයි කියමින් ගරහති. ව්‍යවසායකයා කැමැත්තෙන් තරඟයේ යෙදෙන බව නොදකිති. තම රටේ කැමැත්තෙන් තරඟයේ යෙදෙන්නට ඉඩක් නැති කල තරඟයට කැමති වූවන් ඊට ඉඩක් ලැබෙන රටට ඇදී යන බව නොදිකිති. ඒ නිසා උදළු ගත් දහස් ගණනක් අනුන් වෙනුවෙන් වෙහෙසෙන්නට කැමති කරවා ගත හැකි යැයි හිතන ඔවුන් ට්‍රැක්ටරයෙන් එක අයෙකු කැමැත්තෙන් දහස් ගණනකට භාණ්ඩ සපයත හැකියාව දැනටමත් ලැබ සිටින බව නොදකිති.

ධනවාදයට පමණක් නොව ධනවාදී ක්‍රමය නිසා ධනවත් වන්නට සමත් වෙන දුප්පත් අයව ද හෑල්ලුවට ලක් කරන්නට මාක්ස් සහ ඒංගලස් සේ බුර්ජුවාසී පංතියක් ලේබල් කරති. පසුකාලීන “රොබර් බැරොන්,” තඹ නිධි පතල් හාරා ධනවත් වූවන් “තඹ රජ්ජුරුවන්” සහ චොක්ලට් හදා ධනවත් වූ නිසා “චොක්ලට් රජු” යනාදී වෙළඳපොල ව්‍යවසායකයාට ගරහන ලේබල් විය. රටේ පවතින නීති ගරුක නොවූ ආණ්ඩුවකට හේත්තු වී නැත්තේ නම් නූතන වෙළඳපොල ව්‍යවසායකයාට වැඩවසම් යුගයේ ‘බැරොන්’ ලා සහ ‘රජවරුන්’ මෙන් ක්‍රියාකරන්නට සෑම පාරිභෝගිකයාම පරම බලය සතුව සිටින ධනවාදී ක්‍රමයේ දී ඉඩක් නොලැබෙන බව මාක්ස් සහ ඒංගල්ස් සේ ම සලකා බැලීම පවා බැහරකට දමති.

මාක්ස් සහ ඒංගල්ස් කළා මෙන්ම සමාජවාදීන්ට කළ හැක්කේ නීති ගරුක නොවන ආණ්ඩුවකට හේත්තු වී ජනතාවගේ ලේ උරාබොන දේශපාලක ව්‍යවසායකයන් සහ පාරිභෝගික කැමැත්ත ඉටු කරන වෙළඳපොල ව්‍යවසායකයන් අතර වෙනස දකින්නට නොහැකි වන සේ තතු අවුල් කර මහා ජනතාව රැවටීමයි.

මාක්ස් සහ ඒංගල්ස් කළා මෙන්ම අදත් සමාජවාදීන්ට වෙළඳපොල ව්‍යවසායකයන් ගැන කිසිත් හොඳක් කියනු නොහැකියි. එසේ කියන්නේ ද ඔවුන්ට ධනවාදී ක්‍රමය ලොව පවතින එකම සාධාරණ සහ ආචාර ධාර්මීය වූ ජීවන ක්‍රමය යැයි පිළිගන්නට සිද්ධ වෙයි.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on මැයි 6, 2013 at 9:41 පෙ.ව.

    මම හිතන්නේ මෙන්න මේවා තමයි ඔය දෙදෙනා ඇතුළු ඒ විද්වත් පිරිසට වරදින දේවල්.

    1. ව්‍යවසායකත්වයක් යනු මුදලක් ආයෝජනය කර ශ්‍රමය මෙහෙයවා ලාභයක් ගන්නා දෙයක් කියන සරල දෙය නොවේ. මුදලක් දාන හැම තැනකම ලාභයක් නොලැබේ. ව්‍යවසායකයා සිය බුද්ධිය මෙහෙයවා එය ලාබයකට හරවයි. එමෙන්ම එහි අවදානම් සන්ගුනකයකුත් පවතියි. ලාභය ගාමක බලයක් වන්නේ එබැවිනි. ලාභයේ ගාමක බලය ඉවත් කර වයව්සායකයා ලාභය ගන්නට කර ශුර බුද්ධි මෙහෙයවීම තහනම් කල පසු, දාපු දාපු මුදල් වලට ප්‍රතිපල ලැබෙනවාට වඩා නොලැබීමේ අවදානම වැඩිවේ.

    2. නිෂ්පාදනයක් යනු ශ්‍රමය විසින් ද්‍රව්‍ය මෙහෙයවා ඔහේ හදන එකක් නොවේ. ඒ තුල නිර්මානාත්මක හැකියාවක් හෙවත් ඉනොවේෂන් එකක් පවතියි. එම කාරණය අතහැර නිකම් ශ්‍රමය හා ද්‍රව්‍ය දුන්නු පමණින් නිර්මාණ නොසැදේ.

    3. ආර්ථිකය යනු කුඩා කෑලි වල සම්ප්‍රයුක්ත එකතුව [සුපර් පොසිෂන්] එකක් නොවේ. ආර්ථිකය කුඩා කොටස්වල කුඩා ක්‍රියාවලින් මහා ක්‍රියාවක් ඇති කරන ඉපිලුමකි [ඉමර්ජන්ස්]. සමනල තටු වලින් සුළි සුළං ඇති කරන්නා වැනි දෙයකි. ඒ නිසා කුඩා කෑලි වෙන වෙන ම අරගෙන පුරුද්දා ගත්තාට මහා ආර්ථිකය නොසැදේ. ආර්ථිකයේ පවතින කෘතීම හා “මවාගත්” [ස්පෙකියුලේටිව්] දේවල් වලින් [කොටස් වෙළඳපොල වැනි] එය ඔසවා තබන අතර ඒවා අකර්මන්ය් කොට පහල මට්ටමේ කෑලි ටික එකතු කලාට ආර්ථිකයක් බිහි නොවේ.

    4. මිනිසා යනු සපරිනාමික ජීවියෙකි. සමූහ පරිනාමයට වඩා පුද්ගල පරිනාමය ප්‍රබල වූවෙකි. ඌට කූඹියෙක් වෙන්නට බැරිය. ආත්මාර්ථය යටපත් කර පරාර්ථය මත යැපීම අතාත්වික වන්නේ එබැවිනි. අවශ්‍ය වන්නේ පරාර්ථය ආත්මාර්ථයේ ම කොටසක් වන ක්‍රමයකි.

    මාක්ස්ලාගේ වැරදීම් වල ලොකු වරදක් නොදකින්නේ අටසිය ගණන් වල වැඩ වසම් ලෝකයේ වහලුන්ගේ ලෝකයේ ඔහොම හිතුන එක සාමාන්‍ය දෙයක් නිසාය. එහෙත් මෙච්චර පැහැදිලිව එහි වරද දැකලත් තවමත් මේ ෆොසිල් කර තියාගෙන යන්නන් ගැන කනගාටුවන්නට සිදුවේ.

    • arunishapiro said, on මැයි 6, 2013 at 9:58 පෙ.ව.

      Sujeewa,

      2. වටහා ගන්න බැරි අය තාමත් අපේ ජනාධිපති ඔබාමා වගේ “ආණ්ඩුවේ ශ්‍රමික බලකාය” තුලින් ව්‍යවසායකයාගේ කාර්ය භාරය කළ හැකි යැයි විශ්වාස කරනවා.

      //මාක්ස්ලාගේ වැරදීම් වල ලොකු වරදක් නොදකින්නේ අටසිය ගණන් වල වැඩ වසම් ලෝකයේ වහලුන්ගේ ලෝකයේ ඔහොම හිතුන එක සාමාන්‍ය දෙයක් නිසාය.// මෙතැන දී මම සුජීව එක්ක එකඟ නැහැ. වැඩවසම් ලෝකයේ වහලුන් ස්වොත්සාහයෙන් යදම් ගලවා දමන්නට සමත් වූ අය. ඒ අය ඔහොම හිතුවේ නැහැ. ඔහොම හිතුවේ සහ ඔය මත ව්‍යාප්ත කිරීමෙන් තම සමාජ පංතියේ වාසි තහවුරු කරගන්නට සැලසුම් හැදුවේ මැක්සිමිලියන් රොබෙස්පියෙර්ලා, ජැකෝබියන්වාදීන්, රූසෝ, මාක්ස්, ෆාබියන් සමාජයේ සාමාජිකයන් යනාදීන් වෙතින් තවමත් දුවන ලංකාවේ දයාන් ජයතිලක වැනි බුර්ජුවාසි පංතියයි.

  2. maathalan said, on මැයි 6, 2013 at 10:04 ප.ව.

    මේ ආන්ඩුවේ ප්‍රතිපත්තිය දැන් මෙයාලටම හෙනයක් වෙලා තියෙන්නේ. නව ලිබරල් ධනවදය කිව්වට. ඒකේ නිශ්පාදන ක්‍රියාවලියට තියෙන තැන බිංදුවයි. පවුලේ අයට නම් නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මකයි. සිරි ලංකා කාරයෝන්ගේ මුලම කචල්. සඟ වෙද ගුරු ගොවි කම්කරු අද ඒකට රණවිරුත් එකත් කරගෙන, බලන්න ඔය එක බලවේගයක්වත් නවීන යුගයට ගැලපෙන මානසිකත්වයක ඉන්න සෙට් එකක්ද කියා. කම්කරු කියන පන්තිය හිතාගෙන ඉන්නේ එයාලා හරි මාක්ස්වාදි කස්ටියක් කියලා. අද ලංකාවේ කම්කරුවෝ කොහොමත් නෑ. පක්ෂවලට කඩේ යන බත් බැලයෝ සෙට් එකක් ඉන්නේ. උපාධීධාරින්ට රැකියා දෙනවා කියලා උන්වත් ආන්ඩුවට ගත්තා. ඉන්න පුටුවක් මේසයක් තියා. කරන්න ජොබ් එකක් නෑ. ප්‍රේමදාස මහත්තයා අඩුම ගානේ උන්ව පෞද්ගලික අංශයට යොමු කලා. කෙනෙක් කියයි රට දියුණු වෙලා කියලා. ඔව් ඇත්ත. ඒත් වෙසක් කූඩුවක් වගේ තමයි.. වෙන උපමාවක් නෑ…

    • arunishapiro said, on මැයි 7, 2013 at 6:22 පෙ.ව.

      maathalan,

      රුසියාවේ, චීනයේ, නැගෙනහිර ජර්මනියේ සහ කියුබාවේ යන සියල්ලෙහිම සිටියේ පක්ෂයට කඩේ යන බත් බැලයෝ සෙට් එකක්. ඒකයි සමාජවාදී ක්‍රමයක් ගෑවිච්ච ක්‍රමයක් සාර්ථක නොවන්නේ .. බලයේ ඉන්නට නම් බත් බැලයන් අවශ්‍යයයි.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on මැයි 7, 2013 at 5:34 පෙ.ව.

    දාපු කැටපිලර් එස්කැවේටර් එකේ පින්තුරේට ආසයි. මම කැමතිම ඇමරිකානු නිෂ්පාදනය. ජපනා කොමට්සු ගැහැවුවට මේකේ තත්වයට ළඟටම ආවට මේකට ගහන්න තවම බැහැ. මාක්ස්වාදය කියන්නේ ලංකාවේ නම් දැන් කිහිප දෙනෙක් ගේ ජීවනෝපාය අරුණි ඔන්න ඔහේ හම්බකරගෙන කන්න දෙන්න. මහා ජනතාව රැවටෙන්නේ නැහැ එයාලට ඔය රැවටෙන කිහිප දෙනාගේ මාර්ගයෙන් මේ පිරිස බඩ වියත රැක ගන්නවා.

    • arunishapiro said, on මැයි 7, 2013 at 6:32 පෙ.ව.

      Uditha,

      ආණ්ඩුවේ මැදිහත් වීම් වලින් “අපිට පාඩුවේ ඉන්න” දීලා නැහැ. ව්‍යවසායකයා පාරිභෝගිකයාව තෘප්තිමත් කළ යුත්තේ මෙසේ යැයි කියමින් ආණ්ඩුවක් ඇඟිලි ගහන හැම අවස්ථාවක දී ම ව්‍යවසායකයා ලබන්නේ පාඩු. ඇමෙරිකන් ආණ්ඩුවේ මැදිහත්වීම් පසුගිය කාලයන් හි දී වැඩිවීම නිසා කැටපිලර් ඉදිරි මාස කිහිපයේ දී ශ්‍රමිකයන් 300 ක් විතර අස් කරන්න සූදානමක් තියෙනවා. ඒත් ලාබ උපයන්න අවශ්‍ය නැතැයි සිතන අය 1905 සිට මේ දක්වා කැටපිලර් ව්‍යවසායකත්වයේ ඉන්නට හැකියාව ලැබුනේ කෙසේදැයි පැහැදිලි කරන්න දන්නෙ නැහැ. එතරම් දීර්ඝ කාලයක් තිස්සේ ලාබය වැඩියෙන් ලබමින් තාක්ෂණය දියුණු කරමින් ගෙන යන්න හැකි වූ එකම ආණ්ඩු සැලැසුමක් පෙන්වන්නට ලොවේ කිසිම තැනකින් නොහැකි වූවාට, තවමත් මහජනතාව තම සුබ සාධනය සලසන්න ආණ්ඩුවක් දන්නවා යැයි විශ්වාස කරන්නේ ඇයි?!!!!!!!!!

  4. Shanthi Chandrasekera said, on මැයි 7, 2013 at 12:13 ප.ව.

    kamkaruwa saha danawatha kiyanne dennek kiya hithunavita mathayak godanagenawa sramaya hurakanawa kiya. eth kamkaruwa vehesi wadakara thama sramaya thama diunuwata yodagena kriyakalavita danawathek wenna hakiyawa labenawa. methanadi gataluwak enawa thaman wehesi upayagath deya ta milak theeranaya karaddi ara wada nokara nikan kaka bibi inna ayata ganna puluwan vidihata mila palanaya kala uthui kiya. hithanna onada? me gataluwa visanda denna Thanks Aruni.

    • arunishapiro said, on මැයි 7, 2013 at 4:34 ප.ව.

      Shanthi,

      කම්කරුවාට වෙහෙසුන පමණින් ධනවත් වෙන්නත් බැහැ. බහුතර වෛද්‍යවරු හෝ ඉංජිනේරුවන් වුවත් ශ්‍රමයට වේතන ලබන අය මිසක් ව්‍යවසායකත්වයෙන් අවදානම් ආයෝජන කරන හැටි ගැන දන්නේ නැහැ. ඒ නිසා කම්කරුවන් වගේ ම ඒ අයත් හැමදාම ශ්‍රමිකයන් ලෙසින් හොයා ගන්නා යම් වස්තු සම්පත් වලට පමණයි හිමිකම් කියන්නේ. ඉතිරි කිරීම්, රක්ෂණ වලින් වගේ ම අද කාලේ නම් අනුන්ගේ ව්‍යවසායකත්වයට හේත්තු වෙලා කොටස් වෙළඳපොලෙන් ලාභාංශ ලබාගන්න හැකියාව තියෙනවා.

      //වෙහෙසී අයෙක් උපයා ගත් දැයට මිලක් තීරණය කරද්දී// යන්න පැහැදිලි මදි Shanthi. ආණ්ඩුවේ මැදිහත් වීම් නැත්නම් වෙළඳපොල භාණ්ඩ හැම දෙනෙක්ම මිල දී ගන්නේ තමන් කැමති ගණනට පමණයි. ඊට වඩා ඉහළ යද්දී ගන්නේ වෙනත් භාණ්ඩයක් නැත්නම් පරිභෝජනයෙන් අයින් වීම. ඒ නිසා නිදහස් වෙළඳපොලක දී හැමවිටම භාණ්ඩයක මිල තීරණය වෙන්නේ වැඩිපුරම ජනතාවකට වඩාත්ම අඩුවෙන් විකුණත හැකි මිලටයි. ඒක කිසි අයෙක් තනිවම තීරණය කරන්නක් නෙමෙයි. ඒ භාණ්ඩය අලෙවි වෙන වෙළඳපොලේ ඉන්නා භාණ්ඩය ගන්න සහ භාණ්ඩය නොගන්න තෝරාගැනීම් කරන මහත් සංඛ්‍යාත පිරිසක් විසින්. ආණ්ඩුවක මැදිහත්වීම් වැඩි වෙන්න වැඩි වෙන්න භාණ්ඩයක මිල කුමක් දැයි තීරණය විකෘති වී යනවා. එක පැත්තකින් සහනාධාර දීලා තවත් පැත්තකින් මිල පාලනයක් වෙද්දී මිල යනු යම් වෙනත් භාණ්ඩයක් තෝරාගත් පාරිභෝගිකයන් පිරිසක වෙතින් අරගෙන තවත් භාණ්ඩයක් තෝරාගත් පාරිභෝගිකයන් පිරිසකට දෙන විකෘති වූ වෙළඳපොල තත්වයක්. එයින් හැමෝම යන්නේ ආර්ථික අවුල්ජාලයකට.

      //වැඩ නොකර නිකම් කකා බිබී ඉන්න// අයට ගන්න පුලුවන් වෙන විදියට මිල පාලනය කරන්නෙ කොහොම ද? අපේ වෙහෙසින් උපයා ගත්තු සල්ලි වලින් බදු විදියට බලහත්කාරයෙන් ආණ්ඩුව තීරණය කරන ලද කොටසක් උදුරාගෙන ඔවුන්ට ප්‍රමාණවත් යැයි ආණ්ඩුව තීරණය කරන ලද කොටසක් දීලා මෙන්න මේ අඩු මිලට යැයි ආණ්ඩුව තීරණය කරන ලද මිලකින් බඩු ගන්න කියන ක්‍රමය තමයි දැන් භාවිතා වෙන්නෙ!!!!! ඒක තනිකර අවුල්ජාලයක්, ආණ්ඩුවේ අය ඒ බදු ගණන්, සමෘද්ධි දීමනා, මිල ගණන් සියල්ල තීරණය කරන්නේ හරියට ළමයි ගෙදර සෙල්ලම් කඩයක් දාගෙන ඉන්නවා වගේ විදියකින්. කැමැත්තෙන් බදු ගෙවන කී දෙනෙක් දන්නවා ද? සමෘද්ධි දීමනා ප්‍රමාණවත් යැයි කියන කී දෙනෙක්ව දන්නවා ද? මිල පාලනයෙන් නියම කරන මිල ගණන් සාධාරණ යැයි කියන කී දෙනෙක්ව දන්නවා ද? අන්තිමේ දී කිසිම කෙනෙක් සතුටට පත් වී නැහැ!!!!!!!

      වෙහෙසී උපයන අයට කැමති තරම් තරඟයේ අවදානම අරගෙන උපයා ගන්නට හැකි සියල්ල අයිතියට ඉඩ දීමත් සහ වැඩ නොකර නිකම් ඉන්න කැමති අයට දිනපතා දන්සැල් හා සුප් කිචන් දාන්න කැමති අයට එහෙම දාන්න ඉඩ දුන්නම ප්‍රශ්නය ඉබේම විසඳෙනවා!!!!!

  5. Shanthi Chandrasekera said, on මැයි 8, 2013 at 9:36 පෙ.ව.

    Thanks Aruni ithamath pahadili .


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: