අරුණි ශපීරෝ‍ වෙතින්

ආපසු හැරී බැලීම වෙනුවට තවත් ඉදිරිය දිහා බැලීම

Posted in Uncategorized by arunishapiro on මැයි 7, 2013

IMG_2697

ආපසු හැරී බැලීම (Looking Backward) නමින් සමාජවාදී උතෝපියාවක සිහිනයක් ගැන ප්‍රබන්ධයක් ලියන්නේ ඇමෙරිකාවේ එඩ්වර්ඩ් බෙලමි විසින් 1887 දී ය. පොත ඉක්මණින් ජනප්‍රිය විය. ‘බෙලමි සමාජ’ 162 කට වඩා සංඛ්‍යාවක් පොතේ අදහස් වෙනුවෙන් පෙනී සිටින්නට සැනෙකින් බිහිවුණි. ඒ සමඟින් පුද්ගලික දේපල ජනසතු කිරීම වෙනුවෙන් ඉදිරිපත් වූ දේශපාලන ව්‍යාපාරය ජාතිකවාදය (දේශානුරාගය නොවේ) යනුවෙන් පැතිර ගියේය.

පොතේ අදහස් අගයමින් නිර්මාණ තවත් ගණනාවක් බිහිවිය. පොතේ අදහස් වලට විරෝධය පාමින් බිහිවූයේ නම් ඊට වඩා සුළු ප්‍රමාණයකි. ධනවාදීන් හැම විටම ව්‍යවසායකත්වයේ අවදානම සමඟින් දැඩි තරඟයක යෙදෙන නිසා ඔවුන්ට සමාජවාදී උතෝපියා ප්‍රබන්ධ වලට උත්තර බඳින්න වේලාවක් නැහැනෙ. 😀

මේ යුගය සමාජවාදයේ ආගමනය වළක්වන්නට කිසිවෙකුට බැහැයි කියා ලෝකයේ බහුතර ජනතාවක් රවටන්නට සමාජවාදී බුර්ජුවාසියට හැකි වී තිබි සමයයි. ඇමෙරිකාවේ එය පිළිනොගත් ස්වල්පයෙන් එක් අයෙක් වූයේ නිදහස් මුද්‍රණලායේ කර්තෘවරයෙක්ව සිටි රිචඩ් මිකායෙලිස් ය.

තවත් ඉදිරිය දිහා බැලීම නොහොත් Looking Further Forward (1890) මැයෙන් ප්‍රබන්ධයක් ලියා රිචඩ් මිකායෙලිස් පෙන්වන්නේ “ආපසු හැරී බැලීම” සිහිනය සාර්ථක වුවහොත් උදාවෙන සත්‍යය ලෝකය ගැනයි.

ඉතිහාසය දන්නා අය සෝවියට් රුසියාව පටන් ගන්නේ 1922 දී බවත් එය කඩා වැටෙන්නේ 1991 දී බවත් දනිති.

රිචඩ් මිකායෙලිස් 1890 දී ලියූ “තවත් ඉදිරිය දිහා බලමු” ප්‍රබන්ධය නිට්ටාවටම සෝවියට් දේශයේ අනාගත අවුල්ජාලය දිග හැරි හැටි පේනයක් කියන්නා සේ ලියා ඇති බව සෝවියට් දේශයේ සත්‍ය ඉතිහාසය දන්නා අයට පෙනී යයි.

කෙටියෙන් මේ ප්‍රබන්ධ දෙක දිග හැරෙන ආකාරය මෙසේ සටහන් තබමි. කැමති අයට ඉහත අමුණා ඇති සබැඳි වලින් ඔරිජිනල් කියවන්නට පුළුවන.

ආපසු හැරී බැලීම” ප්‍රබන්ධයේ කතා නායකයා වනාහී ජුලියන් වෙස්ට් නම් බුර්ජුවාසී පංතියේ සුදු තරුණයෙකි. නින්ද නොයන අවුලක් ඇති නිසා මෝහන ක්‍රමයකින් නින්දට පත්වන ඔහු ඇහැරෙන්නේ වසර 113 කට පසුවය. එනම් 2000 දී ය. ඔහු වාසය කළ බොස්ටන්, මැසචූසෙට්ස් හි දී ම ය. එය සමාජවාදී උතෝපියාවක් බවට පත් වී ඇත.

බුර්ජුවාසී ධනපති පංතියේ උප්පත්තිය ලද ඔහුට 1887 දී වයස 30 කි. රැකියාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැත්තේ ඔහු උපදින ලද්දේ පරම්පරාවන් තුනක් රකින්නට හැකි තරම් ධනයක් එක්රැස් කරන ලද මුත්තෙක් සිටි පවුලකට නිසාය. ඔහුගේ විවාහය කල් යන්නේ විවාහ වී පදිංචියට යන්නට සිටි නිවස කම්කරු වැඩ වර්ජනයක් නිසා ඉදිවීම ප්‍රමාද වීමෙනි. මෙය 1887 දී ඔහුගේ බලවත්ම හිස රදය විය. ඔහුට කළු වහල් සේවකයෙක් ද සිටියේය.

කතා නායකයාව මේ ප්‍රබන්ධයේ දී කෙළිදෙලෙන් දවස ගෙවන ධනවත් පංතියට ද, වහල් හිමිකරුවෙක් හැටියට ද නිරූපනය කරයි. එහෙත් සත්‍ය ඉතිහාසයේ ව්‍යවස්ථානුකූල වූ අධිකරණ නීති ගෙනැවිත් සාර්ථක ලෙසින් මැසචූසෙට්ස් හි වහල් ක්‍රමය අහෝසි වෙන්නේ 1781 දී ය. 1790 ජන සංඛ්‍යා ලේඛන වල මැසචූසෙට්ස් ප්‍රාන්තයේ කිසිම වහලෙක් නොසිටි බවත් එම ප්‍රාන්තය වහල් විරෝධී ව්‍යාපාරයේ කෙන්ද්‍රස්ථානයක් වූ බවත් සැලකෙන්නකි!!!!

ධනවාදයේ පීඩනයෙන් ගැල වී ජුලියන් වෙස්ට් අවදි වන 2000 වසරේ දකින ඇමෙරිකන් සමාජවාදි උතෝපියාව, සියළු දෙනාගේ ම සුබ සාධනය සලසන්නට හැකි ආකාරයෙන් වෙනස් වී ඇති ආකාරය ඔහුට සහ පාඨකයාට පැහැදිලි කර දෙන්නේ ඩොක්ටර් ලීට් ය.

1887 ධනවාදී සමාජයේ පුද්ගලික අයිතියෙන් වූ දේපල සියල්ල කැමැත්තෙන් මිනිසුන් විසින් 2000 දී පවතින සමාජවාදී ක්‍රමයේ ආණ්ඩුවට බාර දී සමාජවාදී ක්‍රමයට ඉතා සතුටින් අනුගත වී සිටිති.

ලෝකයේ යුද්ධ නැත.

පිස්සු හැදිච්ච ලෙසින් ධනවාදී ක්‍රමයක දී මිනිසුන් අතර සිද්ධ වූ තරඟය තව දුරටත් ලොව නැත.

දරීද්‍රතාවයට පත් වේ යැයි බියක් නැත.

පුද්ගලික ලාබ සෙවීමක් නැති නිසා තම බලය අපහරණයට යෙදීමේ අභිප්‍රේරණයන් මිනිස් ස්වභාවයෙන් තුරන් වී ගිහින් ය. ඒ ක්‍රමය වෙනස් වූ නිසා යැයි ගැලවෙන බෙලමි සමාජවාදී උතෝපියාවේ සුභසාධනයට විරෝධය පාන අය නිසැකයෙන්ම මානසික රෝගීන් විය යුතු නිසා ඔවුන් රෝහල් වලින් ප්‍රතිකාර ලබන බව කියයි.

“සියළු දුෂ්ටකම් වල ප්‍රභවය වූ” මුදල් ක්‍රමය අහෝසි වී ඇත. මුදල් නැති නිසා බැංකු ද නැත. රචකයා මෙසේ කියයි: “[ධනවාදී ක්‍රමය පැවතිය දී] බැංකු අධ්‍යක්ෂකවරයා රිදුම් දෙන තුවාලයක් රට ස්පන්දය කරන හදවතක් යැයි වරදවා සිතා සිටියේය.” මුදල් වෙනුවට හැමෝටම ක්‍රෙඩිට් කාඩ් පතක් ආණ්ඩුවෙන් නිකුත් කර ඇත. මිනිසුන්ට තමනට උවමනා බඩු තෝරා ගැනීමේ පීඩනයක් ද නැත. ජනසතු එකම කඩයෙන් එකම ආකාරයෙන් හැදුන බඩු පමණකින් ආණ්ඩුව විසින් තමනට පමණක් යැයි නියම කරන ලද්ද පමණක් ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගත හැකියි.

වයස 21 දක්වා අනිවාර්යෙන් පාසැල් යා යුතුය. ඉන්පසුව දැනුම සහ කුසලතාවය අනුව රස්සා නියම වේ. අනිවාර්ය පහළ රැකියාවන් කරන වසර 3 ක පුහුණු කාලයක් ද තිබේ. වෛද්‍යවරයන් ඉතා දුෂ්කර විභාග සමත් වූවන් නිසා හොඳ වෛද්‍යවරු සහ නරක වෛද්‍යවරු කියා දෙකොටසක් නැත. සියල්ලන්ම ඉතා හොඳ වෛද්‍යවරු වෙති.

සමාජවාදී ක්‍රමයට ජූලියන්ව එකතු කරගන්නේ ඩොක්ටර් ලීට් ආණ්ඩුවට ඊට ඔහු සුදුසු යැයි කීමෙනි. ජූලියන්ට ඉතිහාසය උගන්වන විශ්ව විද්‍යාල ගුරු පත්වීමක් තීරණය වේ. 😀

ජනතාවගේ ඉල්ලුම අනුව නියමිත ප්‍රමාණයට භාණ්ඩ සපයන්නට හැකි ස්වේච්ඡාවෙන් සේවය කරන කාර්මික නිෂ්පාදන හමුදාවක් සිටිති. එසේ ඉල්ලුමට අනුව සැපයුම සැලසිය හැකි කාර්යක්ෂම හා අමුද්‍රව්‍ය අපතේ නොයන සැලසුම් හැදීම රාජ්‍ය පරිපාලනයේ දක්ෂතාවයයි. කිසිම මිනිසෙකුගේ ශ්‍රමය වෙනකෙකුට වඩා ඉහළ නැත. වැඩියෙන් අපුල වැඩ මුරය මිනිත්තු දහයක් තරම් ඉතා කෙටි විය හැකියි. වැඩියෙන් අනතුරුදායක රැකියාවන් සඳහා වැඩියෙන් ගෙවීමක් නැත. ජාතික ස්තූතිය ඒ වෙනුවෙන් පිරිනැමෙන නිසා මහත් සංඛ්‍යාවක ස්වේච්ඡා සේවකයන් අනතුරුදායක රැකියා වෙනුවෙන් පෙළ ගැසෙති.

මිනිසුන් සිත් පීඩා කරදර නොමැතිව සමාජවාදී සමාජයේ එහා මෙහා යන දිහා බලා සිටින ජූලියන්ට අද්භූත ඉන්ද්‍රජාලයක් විසින් මිනිසුන්ගේ කන් වලට මෙසේ කොඳුරනවා යැයි සිතේ: ඔබේ පුතා ඔබේ සේවකයාගේ සේවකයා වේ දැයි කියන සහතිකයක් නැති ලෝකයක, ඔබේ දුවට පාන් වෙනුවෙන් ඇඟ විකුණන්න වේ දැයි කියන්න බැරි ලෝකයකින් ගැලවෙන්න හැකිවීම දැනගත්තාම ඔබ හොඳින් වැඩ කරන්නේ නැද්ද? එකම වැරැද්ද රචකයාට ප්‍රබන්ධය පටන් ගනිද්දී ලියූවක් අමතක වී තිබීමයි: ආරම්භයේ දී ජූලියන් පරම්පරා තුනක් වෙනුවෙන් මුදල් පොදි ගැසූ මුත්තෙක්ගේ රැකියාවක් නොකරන පුතෙකි!!!!!!!!!

ජුලියන් විවාහ වෙන්නට අදහස් කරගෙන සිටිය කාන්තාවගේ මිණිබිරිය සිහිනයේ දී ඔහුට හමුවෙයි. ඇය ඩොක්ටර් ලීට්ගේ දියණියයි. එසේම ඩොක්ටර් ලී විසින් ඇයව හඳුන්වන්නේ “නිතරම කඩේ යන්න හපනෙක්,” කියාය. සමාජයේ තරුණ වියේ සියල්ලන් රස්සාවල් කළ යුතු වුවත් ඩොක්ටර් ලීට් ගේ දියණිය කිසිත් රස්සාවක් කරන බවක් නොපෙනේ. එසේම ඩොක්ටර් ලීට් තම නිවහනේ බිම් මහලේ විද්‍යාගාරයක් හදන්නට යද්දී තමයි ජුලියන් නිදන විශේෂ පෙට්ටිය සොයා ගැනෙන්නේ. පොදු දේපල හිමි සමාජයක තමන් පදිංචි නිවසේ බිම් මහලේ විද්‍යාගාරයක් හදන්නට ඩොක්ටර් ලීට් කෙසේ විශේෂ අවසර හා අමතර අරමුදල් ලබා ගත්තේ දැයි විස්තරයක් නැත.

ජුලියන් නින්දෙන් අවදි වී තමන් දැක්කේ ඉතා අනගි සමාජයක සිහිනයක් බව වටහා ගනියි.

තවත් ඉදිරිය දිහා බලමු” ප්‍රබන්ධය දිග හැරෙන්නේ ද කතා නායකයා වූ ජුලියන් වෙස්ට් නම් බුර්ජුවාසියා ගැන කෙටි සඳහනකින්. එහි කතාව දිග හැරෙන්නේ ජූලියන් විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙසින් කටයුතු කරද්දී හමුවෙන මහාචාර්ය ෆොරස්ට් හා කරන කතාබහෙන්. මහාචාර්ය ෆොරස්ට් ජූලියන්ට පෙර සිටි ඉතිහාස මහාචාර්යවරයාය. එහෙත් ඔහු ආණ්ඩු විරෝධී වූ නිසා මානසික රෝහලට නියම වූවත් ඩොක්ටර් ලී ගේ අනුකම්පාවට ලක් වී දේශනාගාරය පවිත්‍ර කරන රස්සාව ලැබෙයි.

ජුලියන් සමාජවාදී උතෝපියාව දැනගත්තේ ඩොක්ටර් ලීට් වෙතින් පමණක් යැයි පෙන්වා දෙන මහාචාර්ය ෆොරස්ට් පෙන්වා දෙන්නේ තමන් ධනවාදී ඉතිහාසය ඉගෙන ගත්තේ පුස්තකාලයේ වූ මහත් ගණනක ඉතිහාස පොත් සහ වාර්තා වෙතින් යැයි කියාය. ඔහු ඉතිහාසයේ දී කම්කරුවන් පැය අටකට වඩා වැඩ කරන්නට අකමැති වූ හැටි මතක් කරදෙයි. කාර්මික යුගයේ කම්හල් රස්සාවල් වලට ගිය කාන්තාවන් වැඩි වූ නිසා ගෘහ සේවිකාවන්ගේ පඩිය ද සැලකිය යුතු ලෙසින් ඉහළ ගිය සැටි මතක් කර දෙයි.

මහාචාර්ය ෆොරස්ට් පෙන්වා දෙන්නේ ස්වභාවික ලෝකයේ ඇති අසමානතා යනු ස්වභාවික තත්වය බවයි. ඒ අසමානතා සමාන කරලීම අස්වාභාවික තත්වය බවයි. අපි හැමෝම එක වගේ නම්, එහෙම නම් පමණක් එක් අයෙකුගේ ශ්‍රමයේ නිෂ්පාදනයෙන් එක හා සමාන වූ කොටසකට තවත් අයෙකුට අයිතියක් කිව හැකි සමාජවාදය ගැලපෙනු ඇත.

අපි හැමෝම එක වගේ ද? Are we all alike?!!!!!!

සමානාත්මතාවයේ නාමයෙන් වැඩියෙන් වෙහෙසන්නට කැමති ශ්‍රමිකයා වෙතින් සොරා ගෙන ඔහුගේ කම්මැලි සහෝදරයාට බෙදා දෙන හැදියාව යුක්ති සහගත දැයි මහාචාර්ය ෆොරස්ට් අසයි.

මිකායෙලිස් ලියන ප්‍රබන්ධය ගැන කණගාටු වෙන්නට කාරණා දෙකක් ඇත. එකක් මිකායෙලිස් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් යෝජනා කිරීමයි. අනෙක ඔහු මහාචාර්ය ෆොරස්ට් චරිතයෙන් පිරිනමන අනිත් කරුණු සියල්ල සෝවියට් දේශයේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔවුන්ට නිරාකරණය කරගන්නට නොහැකි වු ගැටළු වූ බව දැකීම හද කම්පා කරන සුළුය. මහත් රුසියන් ජනතාවකගේ ජීවිත අහිමි කරමින් සහ සෙසු අයගේ ජීවිතයේ මුළු කාලයක් පුරාම ඔවුන්ව අසරණ භාවයකට ඇදගෙන ගිය ආකාරය මොහු දැකියත් එය එසේ ම සිද්ධ වෙන්නට ලොව ඉඩක් ලැබීමයි.

ප්‍රබන්ධයේ පෙරවදන මිකායෙලිස් අවසන් කරන්නේ මෙසේය: “බෙලමි මහත්තයාට සහ ඔහුගේ අනුගාමීන්ට හුඟක්ම විශ්වාස නම් සහ්‍රසවර්ෂයේ දී මෙවැන්නක් පිහිටුවන්නට හැකි යැයි කියා, අයෝවා ප්‍රාන්තයේ ආගමික පදනමකින් හදාගත් සමාජවාදී අමානා සංගමය සේ පටන් ගන්නට ඔවුන්ට ඊට ඉඩ දෙන්න. ආණ්ඩුවේ හොඳ ඉඩම් අක්කර දහස් ගණනින් තවමත් තිබේ. ඒවායේ පදිංචි වී බෙලමි මහත්තයාට සහ ඔහුගේ යහළුවන්ට ලෝකයට පෙන්වන්නට පුළුවන් ඔවුන්ට කරන්න පුළුවන් හැටි! තමන්ගේ න්‍යායයන් අත්හදා බලා ඒවා නිවැරදි යැයි ඔප්පු කරන්නේ නැතිව ඔවුන් ඉල්ලා සිටිය යුතු නැහැ ඇමෙරිකාවේ ජනතාවගෙන් පවතින ආණ්ඩුව සහ සමාජය කඩා දමන්න කියල.”

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on මැයි 9, 2013 at 11:56 පෙ.ව.

    [[පුද්ගලික ලාබ සෙවීමක් නැති නිසා තම බලය අපහරණයට යෙදීමේ අභිප්‍රේරණයන් මිනිස් ස්වභාවයෙන් තුරන් වී ගිහින් ය. ඒ ක්‍රමය වෙනස් වූ නිසා යැයි ගැලවෙන බෙලමි සමාජවාදී උතෝපියාවේ සුභසාධනයට විරෝධය පාන අය නිසැකයෙන්ම මානසික රෝගීන් විය යුතු නිසා ඔවුන් රෝහල් වලින් ප්‍රතිකාර ලබන බව කියයි.]]

    ඔබ කියන්නාක් සේම මෙවැනි රෝහල් වර්ගයක් පසුව බිහිවූ රුසියානු යුටෝපියාවේ තිබුණි. මිලියන ගණන් අසරණ ලෙඩුන් ට ජීවිතය නැතිවන තුරු බෙහෙත් සපයන ලදී.

    මෙන්න ඒවා: “නිවැරදි කරන ශ්‍රම කඳවුරු හා ජනාවාස වල ප්‍රධාන අධිකාරිය” වගේ නමකට එන ගුලාග්

    ලෝකයේ දිගම සුසාන භුමිය ලෙස සැලකෙන [ඉපැරණි චීන පහා ප්‍රාකාරයේ සමාන්තර වාර්තා බිඳ දමන] “ඇටකටු මාර්ගය’ හෙවත් Road of bones මේ අයගේ නිර්මාණයකි.

    අරුණි දන්නා කතාවක් උනත් උදාහරණ කීපය නොමැතිව ඔබේ ප්‍රබන්ධ දෙක සම්පුර්ණ නොවන නිසා මෙතන සබැඳි දමන්නට සිතුවේ.

    1900 ගණන් වලදී මේවා කරපු එකටත් වඩා චාටර් මේ සියවසේ තාම මේ විගඩම් කරේ තියාගෙන ඉන්න අයයි.

    • arunishapiro said, on මැයි 14, 2013 at 8:04 පෙ.ව.

      Sujeewa,

      ස්තූතියි එකතුවට. එකම දේ Sujeewa, ඔය සබැඳි වල තියෙන ඉතිහාසය නොදන්නා අයට ඒ ගැන සිංහලෙන් ලියන අයයි ඕනෑ. ඉංග්‍රීසියෙන් කියවන්න හැකි ඕවා කියවන අයට යළි යළිත් කොච්චර මතක් කරලා දුන්නට ඵලක් නැහැ ඒ අය තමන්ට වාසි පැත්ත විතරයි බලන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: