අරුණි ශපීරෝ‍ වෙතින්

ලොව මුල් ම ශ්‍රමික වැඩ වර්ජනය

Posted in Uncategorized by arunishapiro on මැයි 8, 2013

පුරාතන රෝමයේ පොදු ජනතාව නොහොත් plebeian නමින් හැඳින්වූවන් හිටිහැටියේ වැඩ වර්ජනය කරන්නට පුරුදු වෙලා හිටිය. රෝම සමාජයේ පංති තුන: රෝම කුලීනයන් නොහොත් patrician, ඉඩම් හිමි පොදු ජනතාව, වහල් සේවකයන්.

නීති ගෙනෙන්නට බලය තිබි කුලීන පංතියට වඩා ජනගහණයේ වැඩි කොටස වූයේ පොදු ජනතාවයි. ආහාර සහ අනෙකුත් භාණ්ඩ සහ සේවා සපයන නිෂ්පාදන කර්මාන්ත වල යෙදී සිටියේ ඔවුන්. ඒ නිසා තමන්ට අවාසිදායක නීතියක් ඇහෙද්දී ඔවුන් කළේ මහා වැඩ වර්ජනයක යෙදී කුලීනයන්ට නිෂ්පාදනයේ යෙදෙන්නේ කවුදැයි මතක් කර දීමයි. ක්‍රි. පූ. 494 සහ ක්‍රි. පූ. 287 අතර කාලයේ දී වැඩ වර්ජන පහක් සිද්ධ වූ බව ඉතිහාසයේ ලියැවේ.*

කුලීනයන් ගෙනෙන නීතියක් යටතේ පොදු ජනතාව යන සමාජ පංතියේ වු සොල්දාදුවන් හතුරන්ට එරෙහිව යුද වැදීමට විරෝධය දක්වන්නටයි මුල් ම ඉතිහාස ගත වැඩ වර්ජනය සිද්ධ වෙන්නේ. තමන්ට තමන් ගැන තීරණ ගන්නට අවසර නොදෙන්නේ නම් වෙනත් පළාතකට ගොසින් වෙනත් නගරයක් පටන් ගන්නා බවට ප්‍රතිඥා දෙන ඔවුන් ඇවෙන්ටින් හිල් වෙත යති. වහාම ඔවුන්ගේ ඉල්ලීමට එකඟ වෙන කුලීනයන් පොදු ජනතාවට ඔවුන්ගේ සෙනෙට් නියෝජිතයන් තෝරා පත් කරගැනීමේ බලය පවරති. පොදු ජනතාවගේ මහජන කමිටුවක් නොහොත් Tribune of the Plebs යන්න මුලින්ම ස්ථාපිත වෙන්නේ ක්‍රි. පූ. 494 දී.

කම්හල් සේවකයන් අතර වෘත්තීය සමිති වල ආරම්භය 18 වැනි සියවසේ දී කාර්මික යුගයේ වේගවත් ප්‍රසරණය සමඟ සිද්ධ වෙන්නක්. කම්හල් නගර වලට රැකියාවල් සොයා අනාථ අසරණ ගම්බද ජනතාවක් ඇදී ගියහ. හරියට මැදපෙරදිගින් ආදායමක් හොයන්නට අවස්ථාව ලැබුන ගමන් කවදාවත් මෙහෙවරකම් නොකරපු ලාංකීකයන් ගුවන් යානා පුරවමින් ගෘහ සේවිකාවන් හැටියට පිටත් වෙලා ගියා වගේ. ලංකාවේ සැප පහසු සුන්දර ජීවිත ගෙව්වා නම් ඔවුන් අනුන්ට බැලමෙහෙවර කරන්න යන්නෙ නැහැ. [සංක්‍රමණික ශ්‍රමිකයන්ට මැදපෙරදිග රටවල් වල දී විය හැකි අනතුරු ආපදා ගැන ඔවුන් නොදැන සිටීම ලංකාවේ පක්ෂ දේශපාලනයේ යෙදීම ප්‍රධාන අරමුණ කරගත් ජනමාධ්‍යයන් විසින් තවමත් මහත් සේ අතපසු කරන්නකි.]

කාර්මික යුගයේ දී කම්හල් වලට රොක් වූ නුපුහුණු සහ අඩ-කුසලතා තිබුණු ශ්‍රමිකයන් කම්හල් ඇතුලත දී සංවිධානාත්මක ලෙසින් ඉල්ලීම් දිනාගන්නට සහ පැමිණිලි කරන්නට පුරුදු වී සිටියහ. 19 වැනි සියවසේ දී කතෝලික පල්ලියේ 13 වැනි ලියෝ පාප්වහන්සේ ද කම්කරු අයිතීන් සහ ආරක්ෂක රෙගුලාසි ඉල්ලා කම්කරුවන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

කම්කරු වෘත්තීය සංවිධාන යනු පුද්ගලික ව්‍යවසායකයන් ආරම්භ කළ කම්හල් තුලින් ම ස්වභාවිකව සිද්ධ වූ උත්පාදනයක්. ජර්මනිය තුල වර්තමානයේ දී ද එය කළමනාකරණය සහ ශ්‍රමිකයන් අතර ගැටුම් නිරාකරණයට මනා සේ යොදා ගන්නා ක්‍රම වේදයක්. නමුත් ප්‍රංශ විප්ලවයෙන් “තුන්වැනි පංතියට” සාධාරණය සලසන නාමයෙන් බුර්ජුවාසිය බලය අල්ලා ගැනීම වැනි වෙනත් මගක ගිය ආකාරයයි වර්තමානයේ දී බහුතර ලෝකයේ වෘත්තීය සමිති වල හැදියාව බවට පත් වී තිබෙන්නේ.

ශ්‍රමික ගැටළු විසඳා ගැනීමට බිහි වූ කම්කරු වෘත්තීය සමිති වෙනස් වී සමිතියේ සාමාජිකයන් බිල්ලට දී කම්කරු නායකයන් බලය වැඩි කරගන්නා ක්‍රමය බිහිවෙන්නේ සමාජවාදයේ පැතිර යාමත් සමඟ. කම්කරුවන් සූරා කෑමට ලක්වෙන පීඩිත පංතිය යැයි ද, ඔවුන්ගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටිය යුතු නායකයන් අවශ්‍ය යැයි ද කියමින් පවතින තත්වය විකෘති කරමින් පිළිගන්වන අදහස් බුර්ජුවාසීන් විසින් පතුරුවා හැරීම නිසා කම්කරුවාව පීඩිත තත්වයක සිරගත කර ඔහුගේ අයිතීන් දිනාගන්නට සටන් වදින්නේ යැයි කියන බලතණ්හාධිකයන්ගේ බලතල වැඩි විය.

කාර්මිකරණයේ සත්‍ය ස්වභාවය විකෘති කරමින් බුර්ජුවාසී අදහස් ලෝකයට එසේ පිරිනමන්නේ “කම්කරු වෘත්තීය සමිතිවාදයේ ඉතිහාසය” යැයි 1894 දී පොතක් ලියන සිඩ්නි සහ බ්‍රීටිස් වෙබ් යන අඹුසැමියන්. ධනවාදය කුමක් දැයි හඳුනා ගන්නට නොහැකි පරිදි විකෘති කර පිරිනැමූ කාල් මාක්ස් සේ, ෆේබියන් සමාජයෙන් ලෝකයේ ජනතාව මුලා කරන මේ දෙදෙනා විසින් මෙහෙයවන දැවැන්ත ව්‍යාපාරය ගැන ඊ ළඟට ලියන්නම්.

බ්‍රීටිස් සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ දියණියයි. ඇය සිය පියාගේ කාර්යාලයේ පොත් ගණන් තබමින් පියාට සහාය වෙද්දී දකින්නේ පියා අනුන්ට ඕඩර් දෙන හැටිත් ඒ හැමෝම පියාගේ ඕඩර් පිළිපදින හැටිත් ය. ෆ්‍රෙඩරික් බැස්ටියාට් කියවා නැති බ්‍රීටිස් පෙනෙන දේ පමණක් දකින්නට සමත් වෙන්නීය. නොපෙනෙන දේ, එනම් තම පියාට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්නට ඉඩ ප්‍රස්ථාව ලැබුනේ ඔහු තම මහත් සංඛ්‍යාවක් වූ පාරිභෝගික සියල්ලන්ගේම ඕඩර් පිළිපදින ලද නිසා බව නොදැක්කා ය!!!!!

උරුමයෙන් ලැබුන වස්තු සම්පත් උපන් දා පටන් මිය යන තුරුම පරිභෝජනයට හැකි වූ අයට කඹුරමින් නොසිට ලෝකයේ වස්තු සම්පත් උපයත හැකියාව පොදු සමාජයට ධනවාදී ක්‍රමයෙන් පසුව ස්ථාවර ලෙසකින් ලැබුණි. එහෙත් හනිකට පෙරට ආ පොදු සමාජය රවටන බුර්ජුවාසීන් තමන් පොදු ජනතාවගේ යහපත පිණිස පෙනී සිටිනවා යැයි ඉදිරිපත් වී රාජාණ්ඩුව පළවා හැර තම බුර්ජුවාසී ආණ්ඩුවක් පිහිටුවා ගත්හ. ඔවුන් ඔවුන්ගේ කැමැත්ත දෙන ආණ්ඩුවේ පාලකයන් සමඟ තව දුරටත් පොදු ජනතාව කොල්ල කෑම කරගෙන යති. නමුත් බුර්ජුවාසියාගේ බලය පාලකයාට පෙන්වන්නට හැකියාව ලැබෙන්නේ පොදු ජනතාව සූරා කන වෙළඳපොල ව්‍යවසායකත්වයක් ඇතැයි යන මුලාව දිගින් දිගටම පැවතෙන්නේ නම් පමණකි.

වර්තමානයේ ලොව පවතින්නේ යම් දේශපාලන පක්ෂයකට නෑකම් කියන වෘත්තීය සමිති වෙති. වෘත්තීය සමිතියක් අවශ්‍ය පුද්ගලික ව්‍යවසායකයා ශ්‍රමිකයාගේ පැමිණිලි වලට ඇහුම්කන් දෙන්නේ නැතිවිට ය. රැකියා ස්ථානයේ දී තම ආරක්ෂාව සලසන්නේ නැත්නම් ය. ඒත් අද පොදු ජනතාව තමන් විසින් තෝරාපත් කරගන්නා ආණ්ඩුවෙන් අනේක විධ ඉල්ලීම් දිනාගන්නට වෘත්තීය සමිති සංගම් හදාගෙන ඇත. අද ඔවුන් වැඩ වර්ජන පවත්වන්නේ රටවැසියන් වෙතින් උදුරා තමාට දෙන්න යැයි ඉල්ලා සිටීමටයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක මහත් ශ්‍රමිකයන් සංඛ්‍යාවක් බඳවා ගන්නට හැකි වෘත්තීය සමිතියට අනෙකුත් සියළු කුඩා සමිති සාමාජික ශ්‍රමිකයන්ට හා වෘත්තීය සමිති සාමාජිකත්වය නැති ශ්‍රමිකයන්ට වෙතින් උදුරා ගන්නට මෙසේ ඉඩක් පාදාගෙන ඇත. එසේම ආණ්ඩුවේ සේවකයන් වෙතින් හැදෙන වෘත්තීය සමිති වැඩියෙන් පවතින රටක වෘත්තීය සමිති වලට එකතු වී රටේ වැඩ වර්ජන වලින් රටේ ආර්ථිකය ඇණ හිටුවන්නට හැකියි. අද ඉතාලියේ, ස්පාඤ්ඥයේ හා ග්‍රීසියේ පවතින තත්වය නම් ඔවුනොවුන් විසින් එකිනෙකා කොල්ලා කා ගෙන හැමෝම දුප්පත් වීමයි. එවැනි තත්වයකට පත්වූයේ කෙසේදැයි වටහා ගන්නට නොදත් අවුල්ජාලයක අද ඔවුන් පැටලී සිටිති. ගැලවීමට ඇත්තේ එකම මාර්ගයක් වුවත් ඒ ගැන කියන්නාට ගල් ගසා මරන චෛතසිකය වෙනස් වෙන තෙක් ඔවුන් යළි නැඟිටිනු නැත.

වෙළඳපොල ව්‍යවසායකය යනු පොදු ජනතාවගේ හැම ඕඩර් එකකටම සවන් දෙන ලොව එකම ක්‍රමයයි.

වෙළඳපොල ව්‍යවසායකය යනු ශ්‍රමිකයාගේ කැමැත්ත අනුව ශ්‍රමය වෙහෙසීමට තෝරා ගැනීම් ඉදිරිපත් කරන එකම යාන්ත්‍රණයයි.

එම ක්‍රමයට ඉඩක් නොදී, කිසි දිනෙක ව්‍යවසායකයෙක් නොවූ අය හදන රැකියා ප්‍රතිපත්ති යටතේ තවත් කොපමණ කාලයක් යනතුරා තවකෙකුගේ වෙහෙසෙන් කොටසක් සොරකම් කරන්නට ඔබ ශ්‍රමය වෙහෙසනවා ද?!!!!!

* M. Cary සහ H. H. Scullard ලියන A History of Rome (1980) විකිපීඩියාවට අනුව මෙහි 66 පිටුවේ සඳහන්.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මැයි 8, 2013 at 3:52 ප.ව.

    මටනම් කෙන්තියටත් වඩා හිනා යන්නේ අරුණි, අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන නිසා. මෙන්න ඊයේ පෙරේදා වැඩ වර්ජනයක විස්තර. සිය සේවය සඳහා ශල්‍යාගාරයට ගිය වෛද්‍ය වරයකුට ශල්‍යාගාරයේ හෙදියක් දුන් ඒප්‍රන් එක, කිළුටු එකක් කියලා, එයට දොස් කියපු වෛද්‍ය වරයා, මේ ගැන ඉහලට පැමිණිලි කරලා. ඒගැන වගකිවයුතු හෙදියන් දෙදෙනෙක්, ශල්‍යාගාරයෙන් එම රෝහලේම වෙනත් තැනකට මාරු කරලා. ඔවුන් දෙන්නා, මාරුව බාරගන්නේ නැතුව, දිගටම ශල්‍යාගාරයේ වැඩ කරනවලු. දැන් දොස්තරලා වැඩ වර්ජනය කරනවලු, වහාම අර හෙදියන් මාරු කරන්න කියලා. හෙදියන් වැඩවර්ජනය කරන්න යනවලු, අසාධාරණ දඬුවම් මාරුවක් කියලා. හැබෑටම මේ අය ඉගෙනගෙන තියෙන්නේ පහේ පන්තියට විතර වෙන්න ඇති. ඉතිං මෙහෙව් රටකට හරියයිද අරුණි.

  2. සමන් said, on මැයි 15, 2013 at 7:38 පෙ.ව.

    බුර්ජුවාසීන් kiyanne kawuda? English wikipedia eke link eka ( thiyanwa nam ) denna.
    Thanks


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: