බැටළු සමක් පොරවා ගත් වෘකයා වූ ෆේබියන් සමාජය
1883 දී එනම් කාල් මාක්ස් සමාජයේ ගෞරවාදරයට පත් නොවී මිය ගිය වසරේ දී එක් සීතල සැන්දෑවක බ්‍රිතාන්‍ය ජාතිකයන් හය දෙනෙක් තම රැකියාව එපා වී සිටි 26 වියැති එඩ්වර්ඩ් ආර්. පීස් සමඟ සතුටු සාමීචියේ යෙදී සිටියහ. කොටස්වෙළඳපොල බ්‍රෝකර් රැකියාව නීරස වූ පීස් එය දුරාචාරයක් යැයි හංවඩු ගහමින් එහිම නිරත වී සිටියෙකි.
බුර්ජුවාසී පංතිය නියෝජනය කළ මේ කල්ලිය තරුණ වූහ. මහා අපේක්ෂා සහිත වූහ. ඔවුන්ට එකතු වූයේ එඩ්වර්ඩ් කාපෙන්ටර් නැමති බ්‍රිතාන්‍ය සමාජවාදයේ ගද්‍ය රචකයා ය. “නිදහස් ආදරය” නමින් නිදහස් ලිංගික සබඳතා පැවැත්වීම ගැන එළිපිට කතාබහ කළ යුතු යැයි කියා සිටි හැව්ලොක් එලිස් ය. තම ප්‍රතිරූපයට තර්ජනයක් වේ යැයි සිතූ ෆේබියන් සමාජය පසුව එලිස්ව සමාජයෙන් පිටුවහල් කළහ.
තරුණ කාන්තා හා පිරිමි නම දෙනෙකු වෙතින් හැදෙන ෆේබියන් සමාජයට තිබුනේ දැවැන්ත සැලසුමකි. ඉංග්‍රීසි පන්නයට හරවන ලද මාක්ස්වාදයක් අධ්‍යාපනය තුලින් හොර රහසේ බෙදා හැර ලෝකය වෙනස් කිරීමයි. එය සමාජවාදීන් ලෙසින් පෙනී සිට කළ නොහැකි යැයි ද, එය බැටළු සමක් පොරවා ගත් වෘකයන් සේ කපටි විධි ක්‍රම වලින් කළ යුතු යැයි ද ඔවුන් තීරණය කළහ. එසේම ආණ්ඩුවක් එක රැයින් පෙරළන විප්ලවයකින් නොව හෙමිහිට ජනතාවගේ සිත් සතන් වලට අධ්‍යාපනය තුලින් සමාජවාදී අදහස් කවා වෙනස් කිරීම ඔවුන්ගේ අභිප්‍රාය හා කැපවීම විය.
ඔවුන් සාර්ථක වූහ. මේ ඔවුන්ගේ කතාව දිග හැරැණු ආකාරය ඉතාමත් කෙටියෙන්. දීර්ඝ විස්තරය නම් ගම් හා දින සහිත ව මෙතැනින් කියැවිය හැකියි. Fabian Freeway -High Road to Socialism in the USA (1966) ලියා ඇත්තේ Rose L. Martin විසිනි.
1880 ගණන් මූලාරම්භයේ දී සසිරිමත් හා සාමකාමී වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සමාජවාදයට ඉඩක් කිසිවෙක් නොදුන්හ. වැඩ කරන ජනතාව කීකරු අයයි. පල්ලි ගිය අයයි. ඉඩම් හිමි රදළයන් සමාජයේ සුරක්ෂිත වූහ. සමාජවාදයේ ගුණ්ඩු ගිලින්නට හිටියේ මැද පංතියයි. විශේෂයෙන්ම තරුණ විද්වත් හා වෘත්තීයවේදීන් ය. මොවුන් ලන්ඩනයේ පරමවිඥානාර්ථ, මනසීභූත පර්යේෂණ, නිර්මාංශ භක්ෂික යනාදී නොයෙකුත් ගවේෂණ වෙනුවෙන් සමිති සංගම් පිහිටුවා ගත්හ.
ෆේබියන් සමාජය ඒ නම යොදා ගන්නේ කුවින්ටස් ෆේබියස් මැක්සිමස් නම් වූ ක්‍රි. පූ. තුන්වැනි සියවසේ ජීවත් වූ ආඥාදායකයා අනුවයි. ඔහුට පටබැඳි නම් අතුරින් එකක් වූයේ Cunctator නොහොත් ‘ප්‍රමාද කරන්නා’ යන්නයි. දෙවැනි පියුනික් යුද්ධයේ හැනිබල්ට එරෙහිව ඔහු කරන ලද ප්‍රමාද යුද උපාය සාර්ථක වීමෙන් ජයග්‍රහණය අත්පත් කරගත් නිසා ඒ නම ඔහුට ලැබී තිබිණ.
ඉතිහාසය හරි හැටියට නොසොයන අනිත් සමාජවාදීන් සේ ම, ෆේබියන් අය ද හැනිබල්ව සාර්ථක ලෙසින් පැරදවූයේ ෆේබියස් දැයි විමසා බලා නොතිබීම වෙනත් කතාවකි!!!!
නියමිත අවස්ථාව පැමිණෙන තුරු බලා නොසිට පහරක් එල්ල කිරීමෙන් ඵලක් නැතැයි යන්න ෆේබියන් සමාජයේ සටන් පාඨයයි.
ලන්ඩනයේ එක් වාමාංශික කඳවුරකින් තවත් වාමාංශික කඳවුරක් වෙත සැරිසරමින් සිට එවක ඉඳහිට සොයාගන්නා මුදලකින් ජීවිකාව ඉපැයූ ස්වාධීන පුවත්පත් කලාවේදී ජෝර්ජ් බර්නාඩ් ෂෝ වයස 28 දී ෆේබියන් සමාජිකයෙක් වෙයි. වසර 12 ක් ගෙවී යද්දී ඔහු ලොකු කුඩා සියල්ලන්ටම වීදිකොන් වල සහ සෙනඟ පිරුණු ශාලාවන් හි දී අඩුම වශයෙන් සතියකට තුන් වතාවක් පමණ කතා පැවැත්වීය. බ්‍රිතාන්‍ය ආර්ථික සංගමයට ලිපි ලියුවේය. වාදයන්ට සහභාගී විය. බැටළු හම පොරවා ගත් ඔහු තමන්ගේ උපදේශකයන් ලෙසින් දැක්වූයේ කාල් මාක්ස්ව නොව ජෝන් ස්ටුවර්ට් මිල් සහ ඩේවිඩ් රිකාඩෝ වැනි අයවයි.
බර්නාඩ් ෂෝ විසින් ෆේබියන් සමාජයට හඳුන්වා දෙන්නේ සිඩ්නි වෙබ් නැමැත්තාය. ජර්මන් හා ඉංග්‍රීසි භාෂාවන් ප්‍රගුණ කරන ලද සිඩ්නි වෙබ් ද කාල් මාක්ස් ගැන දනුමක් හෝ උනන්දුවක් ඇති බව මහජනතාවට නොපෙන්වා සිටින්නට මහත් ලෙසින් සමත් විය. ඔවුන් දෙදෙනට ඊ ළඟට එකතු වෙන්නේ සිඩ්නි ඔලිවියෙර් නොහොත් පසුව ඉන්දියාවේ ලේකම්වරයා වූ අයයි. හේ ලෝරන්ස් ඔලිවියෙර් නම් ජනප්‍රිය නළුවාගේ අන්කල් ය.
සිඩ්නි වෙබ් සමඟ ආදරයෙන් බැඳෙන බීට්‍රිස් පොටර් (පීටර් රැබිට් කතා ලිව්ව එක්කෙනා නෙමෙයි) නිසා මෙතෙක් ඔවුනට නොතිබි ධනයක් ද පරිහරණයට ඉඩ ලැබිණ. බීට්‍රිස් සාර්ථක ව්‍යාපාරිකයෙකුගේ දියණියයි. ඇය තම උරුමය සහ ඥාති සබඳතා ෆේබියන් සමාජය වෙනුවෙන් යොදවන්නීය.
බීට්‍රිස් එකතු වීමත් සමඟ ෆේබියන් සමාජයේ සාමාජිකත්වයෙන් ජෝරජ් බර්නාඩ් ෂෝ ට ද වාසනාව පෑදිණ. මෙතෙක් පළ නොවූ ඔහුගේ නවකතා මුද්‍රණය වන්නට පටන් ගැණින. හේ මසූරිකා (smallpox) එන්නතට විරැද්ධව කියා සිටියේ මහජන හා පුද්ගලික සනීපාරක්ෂක ක්‍රම අනුගමනයෙන් හා මාංශ භක්ෂණයෙන් තොරවීමෙන් එයින් ගැලවෙන්නට හැකි යැයි කියාය. දරීද්‍රතාවයෙන් පෙළෙන ශ්‍රමිකයන් අනුකම්පා විරහිත ලෙසකින් සූරා කෑමට ලක් වී ඉන්නේ නූගත්කම නිසා යැයි ඔහු An Unsocial Socialist (1930) කෘතියේ ලියයි. 1931 දී ජෝසෆ් ස්ටාලින් හමුවන ඔහු ස්ටාලින් පාක්ෂිකයෙකු වෙයි.
ලන්ඩන් හි ආර්ථික සහ දේශපාලන විද්‍යා පාසැල ආරම්භ කරන්නේ බර්නාඩ් ෂෝ සහ සිඩ්නි වෙබ් සහ බ්‍රීටිස් වේබ් යන තිදෙනාගේ දායකත්වයෙනි. එම පාසැල සහ වෙනත් පිළිගත් විශ්ව විද්‍යාල වලින් ඔවුන්ගේ අර්ථකතනයෙන් පිළිගැන්වූ අදහස් පිරි සිසු සිසුවියන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගන්නට සමත් වූහ.
සත්‍ය සිද්ධීන් තමනට උවමනා අකාරයෙන් ලෝකයට පිරිනමන සමාජවාදී හැදියාව ප්‍රගුණ කරන බීට්‍රිස් සහ සිඩ්නි වෙබ් ලියූ “සෝවියට් සමාජවාදය: නව ශිෂ්ඨාචාරයක් ද?” (1935) සහ “සෝවියට් රුසියාව ගැන සත්‍යය” (1942) ස්ටාලින් සමයේ කිසිත් අපරාධ නොවූ ලෙසකින් ලියන ලදි. සෝවියට් දේශයේ පැවති මහා සාගතයේ දරුණුම අවදියේ දී එනම් 1932-33 කාලයේ දී යුක්රේනයේ සංචාරය කර පැමිණ ඔවුන් ලියන්නේ කොමියුනිස්ට් විරෝධීන් සාගතයක් ඇතැයි ප්‍රචාරය කරනවා කියාය. ඔය අමුණන ලින්ක් එකෙන් ගොස් ඒ කාලයේ ම මැන්චෙස්ටර් ගාඩියන් පුවත්පත් කලාවේදියා වූ මැල්කම් මගරිජ් “ඒ සාගතය මුළු ජීවිතයේ ම දැක ඇති අතිශයින් භයානක දැය,” කියූ කල වෙබ් දෙදෙනා කුපිත වූ විස්තරය ගැන මම මේ අඩවියේ කළින් ලියූ සටහනක් කියැවිය හැකියි.
ෆේබියන් සාමාජිකයන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන් මඟින් රටේ නීති කෙමෙන් කෙමෙන් වෙනස් කරන්නට බලපෑම් කරන ලද ආකාරයත්, ක්‍රමයෙන් මහා බ්‍රිතාන්‍යය සමාජවාදී සමාජයක් බවට හරවන ලද්දේ කෙසේද යන්නත් සවිස්තරව ඉහත පොත පෙන්වා දෙයි.
වර්තමාන ලෝකයේ බහුතර දෙනෙක් ඉතිහාසය, දේශපාලනය හා ආර්ථික විද්‍යාව යන විෂයයන් සඳහා සිය දැනුම එකතු කරගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ෆේබියන් සාමාජික ‘විද්වතුන්’ විසින් ලියන ලද ඉතිහාස, දේශපාලන සහ අර්ථ ශාස්ත්‍ර පොත් වලිනි.
උගතුන් ලෙසින් පෙනී සිටිමින් කාල් මාක්ස් මතවාදය සඟවමින් එහෙත් ඒ වෙනුවෙන් ඇප කැප වූ බටහිර වාමාංශිකයන් මෙසේ සෙසු ලෝකයේ ‘විද්වත් නූගතුන්’ රවටන්නට සමත් වූහ.
වර්තමානයේ දී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට සබැඳි ෆේබියන් සමාජය, සාමාජිකයන් 7000 කින් යුතු යැයි විකිපීඩියාව පෙන්වයි. මූලාරම්භයේ පටන් සේ ම කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන්, මාක්ස්වාදීන් සහ ෆේබියන් සාමාජිකයන්, ලෝක ඉතිහාසයේ තමන්ට කැමති කොටස් පමණක් යොදා ගනිමින් අකමැති කොටස් සඟවමින් තවමත් ලෝකය අගාධයට ඇදගෙන යන මාක්ස්වාදී සමාජයක් වෙනුවෙන් ඇප කැප වී සිටිති.
//මූලාරම්භයේ පටන් සේ ම කොමියුනිස්ට්වාදීන්, සමාජවාදීන්, මාක්ස්වාදීන් සහ ෆේබියන් සාමාජිකයන්, ලෝක ඉතිහාසයේ තමන්ට කැමති කොටස් පමණක් යොදා ගනිමින් අකමැති කොටස් සඟවමින් තවමත් ලෝකය අගාධයට ඇදගෙන යන මාක්ස්වාදී සමාජයක් වෙනුවෙන් ඇප කැප වී සිටිති. //
සහතික අැත්ත.
[…] බැටළු සමක් පොරවා ගත් වෘකයා වූ ෆේබියන් … […]