අරුණි ශපීරෝ‍ වෙතින්

වීදුරු සිවිලිම කඩා දමා ඉහළට නැඟ්ග ජැකී රොබින්සන්

Posted in Uncategorized by arunishapiro on මැයි 13, 2013

IMG_5401

සුළු ජාතිකයන්ට සහ කාන්තාවන්ට සුදුසුකම් හෝ කුසලතා කොතරම් තිබුණ ද, සමාගම් තනතුරු වල ඉහළට යා නොහැකි, නොපෙනෙන එහෙත් කඩා බිඳ දැමිය නොහැකි වූව නම් ‘වීදුරු සිවිලිම’ යැයි හැඳින්වීමක් ඇත්තේ අර්ථ ශාස්ත්‍රඥයේ ය.

දීලා තියෙන දෙයක් ආපහු අරගෙන තමන් තීරණය කරන පිරිසකට පමණක් දෙන්න පුළුවන් ද යන්න නොසලකා විධායක ඕඩර් 10925 න් “වීදුරු සිවිලිම” ඉවත් කරන්නට රෙගුලාසියක් ඇමෙරිකාවේ ස්ථාපිත කළහ. එයට 1961 දී ඇමෙරිකන් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි අත්සන් තැබීය. 1965 දී ලින්ඩන් ජොන්සන් අත්සන් තබන විධායක ඕඩර් 11246 න් ආණ්ඩුවේ තනතුරු වලට බඳවා ගනිද්දී එම වීදුරු සිවිලිම කඩන්නට නොහැකි යැයි හැඳින්වූ විශේෂ පිරිස් වලට affirmative action නමින් වැඩිපුර අවස්ථා දීම තීරණය විය. 1967 දී ගැහැණු යනු වීදුරු සිවිලිමෙන් පීඩනයට පත් වී සිටින පීඩිත කොටසක් යැයි ද රෙගුලාසි වලට එකතු විය.

ඉතින් නීතිය යටතේ සියල්ලන්ට ම එක සමාන යුක්තිය සලසනවා වෙනුවට ‘විද්වත්’ ආර්ථික සහ දේශපාලන නායකයන් විසින් පීඩනයෙන් යුතු යැයි ඔවුන් තෝරාගත් පිරිසකට මෙසේ අවස්ථා වැඩියෙන් දෙන්නට රෙගුලාසි ගෙනාහ.

2013 වෙද්දී සුදුසුකම් සහ කුසලතා නොසලකා හරිමින්, ‘විද්වතුන්’ විසින් පීඩිත යැයි නම් කළ ජන කොටස් සමාජයේ වැඩි වරප්‍රසාද වලට හිමිකම් කියති.

බලහත්කාරයෙන් සමානාත්මතාවය සාක්ෂාත් කරන්නට හැකි යැයි සිතන අය එහි නොසිතූ ප්‍රතිඵල තවමත් නොදකිති.

ආසියානුවන්ට ඇති වැඩි සුදුසුකම් හා කුසලතා නොසලකා හරිමින් කළු ජාතික නිසා පමණින් අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඉඩ ලැබේ. සුදු හම නොමැති සුළු ජාතිකයන්ට රජයේ රැකියා වැඩියෙන් ලැබේ. ලාබ සෙවීමේ පරමාර්ථය වෙනුවට කාන්තාවක් ඉහළ තනතුරකට පත් කිරීමට දැඩි බලපෑමක් පුද්ගලික කොම්පැණි වලට අත් විඳින්නට සිද්ධ වී ඇත. සමානාත්මතාවය බලහත්කාරයෙන් ස්ථාපිතයට යෑමෙන් අසමානතා වැඩියෙන් පැතිරෙන බව දකින්නට තවමත් හැකියාව ඇත්තේ සුලුතරයකට පමණි.

දස්කම් පා තරඟය දිනුවේ නැත්නම් හනිකට පරිහානියට පත්වීම දැකිය හැක්කේ ක්‍රීඩාව තුල දී ය. ඇමෙරිකාවේ ආණ්ඩු ‘වීදුරු සිවිලිම’ මෙසේ යැයි කියා එය ඉවත් කරන්නට රෙගුලාසි හදන්න දන්නවා යැයි කියද්දී, ක්‍රීඩා ව්‍යාපාරිකයන් සුදුස්සාට සුදුසු තැන ලැබෙන සේ වීදුරු සිවිලිම බිඳ දැමූ හැටි මෙසේය.

1867 ට කළින් ඇමෙරිකාවේ බේස්බෝල් තරඟ වල දී සුදු කළු හිස්පැනික් හා හවායි අය තරඟ කරන ලදි. කළු ජාතිකයන් සිටි පිතියන් බේස්බෝල් සමාජයට බේස්බෝල් තරඟාවලියට ඇතුල්වීමට අවසර නොදී පෙන්සිල්වේනියාවේ රාජ්‍ය සභාව විසින් ප්‍රථම වතාවට සුදු කළු බේස්බෝල් තරඟාවලියන් දෙකකට බෙදන ලදි. අනතුරුව එක් අයෙක් හෝ ඊට වැඩියෙන් “පාට” අය ඉන්නවා නම් ඒ සමාජ වලට තරඟාවලියට එකතු විය නොහැකි රෙගුලාසියක් ගෙනෙන ලදි.

1919 දී උපදින ජැකී රොබින්සන් බේස්බෝල් ශූරයෙකි. පියා හැර දා ගිය පවුලක හැදෙන ඔහුගේ සහෝදරයන් ද ක්‍රීඩාවට හපන්කම් දැක්වූහ. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ජැකී ක්‍රීඩා බොහොමයක නිපුණතාව දැක් වූවත් වඩාත්ම දක්ෂකම් පාන්නට සමත් වෙන්නේ බේස්බෝල් වලින්. 1939 දී, එනම් affirmative action විධායක ඕඩර් ලෙසින් නොලියැවී තිබි යුගයක දී, ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන්නට සමත් වෙන ජැකී රොබින්සන් එහි බේස්බෝල්, බාස්කට්බෝල්, ෆුට්බෝල් සහ මලල ක්‍රීඩා යන සියල්ලටම ඉහළ දක්ෂතා පෙන්වන්නට සමත් වෙන ප්‍රථම ක්‍රීඩකයා වෙයි.

1942 දී අනිවාර්ය හමුදා සේවය ආණ්ඩුව විසින් ඔහුට නියම කරයි. 1955 දී රෝසා පාර්ක්ස් බස් රථයේ පිටුපසට යන්නට බැහැයි කියා ලෝක ප්‍රසිද්ධ වන්නට පෙර, කළු සුදු යැයි වෙනස්කම් නොවූ හමුදා බස් රථයක පිටුපස්සට යන්න යැයි රියැදුරා කියූවට විරෝධය පෑවේ ජැකී රොබින්සන්ය. ඔහු ඉදිරියෙන් වාඩි විය. බස් රථය ගමනාන්තයට පැමිණි පසු ඔහුව හමුදා පොලීසියේ අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුට ලැබුණ court-martial දඬුවමට අනුමැතිය දීම රොබින්සන්ගේ කමාන්ඩර්වරයා වූ පෝල් බේට්ස් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඔහුට විරුද්ධව ගෙනෙන බොරු චෝදනා අතරේ සුදු නිලධාරීන් නව දෙනෙකු වෙතින් හැදුන කමිටුවක් ඔහුව නිදහස් කරන ලදි.

බේස්බෝල් තරඟාවලියේ සුදු කළු භේදය ඉවත් කරන මූලිකත්වය ගනිද්දී මේ අත්දැකීම ඔහුට මගපෙන්වීමක් කරන ලදැයි කියැවේ.

විශ්ව විද්‍යාලයේ දී ලැබුණ තරඟකාරී අවස්ථා වෙනුවට රොබින්සන්ට නීග්‍රෝ බේස්බෝල් ලීගයේ ක්‍රීඩකයෙක් වශයෙන් ලැබෙන්නේ දුර්වල සංවිධානාත්මක බවින් යුතු දුර්වල ක්‍රීඩයන් හා තරඟ වැදීමටයි. 1940 ගණන් මැද දී බෲක්ලින් හි ඩොජර්ස් සමාජය නීග්‍රෝ ලීගයෙන් හොඳ ක්‍රීඩයන් හොයා ගන්නට අදිටන් කළහ. ඩොජර්ස් සමාජයේ සභාපති සහ සාමාන්‍ය කළමනාකරු වූ බ්‍රාන්ච් රිකීට දැන ගන්නට උවමනා වූයේ ජාතිය මතක් කර මිනිසුන් නින්දා කරද්දී නොසැලී ක්‍රීඩාකරන්නට ජැකී රොබින්සන්ට ශක්තියක් ඇත්දැයි කියායි.

“සටන් වදින්නට බිය නීග්‍රෝ අයෙක් ව ඔබ සොයනවා ද?” ජැකී රොබින්සන් ඇසුවේය.

“මම සොයන්නේ සටන් වදින්නට හැකි පමණින් ගට ඇති නීග්‍රෝ ක්‍රීඩකයෙක්,” යැයි රිකී පිළිතුරු දුන්නේ ය.

ජාතිවාදී අවලාද වලින් නොසැලී තරඟයෙන් දිනුම අත්පත් කර ගැනීමට අවධානය යොමු කරනවාය යන එකඟතාවය යටතේ ඔහුව බඳවා ගැනේ. ජැකී රොබින්සන් නූතන යුගයේ බේස්බෝල් ප්‍රධාන පෙළේ තරඟාවලියට මුලින් ම එකතු වෙන කළු ඇමෙරිකන්කාරයා ය. ඩොජර්ස් සමාජය කළු අයෙකුට නැවත ඉඩදුන් ප්‍රථම සමාජය වෙයි. එසේම ජැකී බඳවා ගත් පසුව දුර්වල නීග්‍රෝ ලීග බැලීමට යනවාට වඩා ජැකී රොබින්සන් තරඟ කරනවා බලන්නට කළු අය බේස්බෝල් පිටියට බුරුතු පිටින් ආහ. ඒ නිසා අනෙකුත් දක්ෂ කළු අයට වෙනත් බේස්බෝල් සමාජ වලින් වෘත්තීයේ යෙදෙන්නට ද අවස්ථාව පෑදුණි.

සෙන්ට් ලුවිස් කාඩිනල්ස් බේස්බෝල් සමාජය ජැකී තරඟයට එනවා නම් වර්ජනය කරනවා යැයි කියූහ. එහෙත් පුද්ගලික අංශයේ ආයතනයක් ලෙසින් පවතින බේස්බෝල් ලීගයේ කොමසාරිස්වරයා සහ එහි සභාපතිවරයා යන දෙදෙනාම කියා සිටියේ වර්ජනය කරන ක්‍රීඩකයන්ගේ සේවය අත්හිටුවන බවයි. ජැකී වද හිංසාවන්ට පාත්‍ර වූයේය. එසේම දිරිගැන්වීම් වලට ද පාත්‍ර වූයේය. ඩොජර් සමාජයේ සමහර ක්‍රීඩකයන් ඔහු තම කණ්ඩායමේ ඉන්නවාට අකමැති වූහ. “මේ මිනිහා කහ වුනත් කළු වුනත් මට කමක් නැහැ. එහෙම නැත්නම් ඔහුට සීබ්‍රා කෙනෙක්ට වගේ ඉරි තිබුණත් මට කමක් නැහැ. මේ පිලේ කළමනාකරු මමයි. මම කියන්නෙ ඔහු තරඟ කරනවා කියලයි. අනික ඔහුට පුලුවන් අපි හැමෝමව ධනවත් කරන්න. ඔය කාට හරි සල්ලි අවශ්‍ය නැත්නම්, මම ඒ අයව වෙන පිලකට මාරු කරලා යවන්නම්,” යැයි පිලේ කළමනාකරු වූ ලියෝ ඩුරෝෂර් කියුවේය.

ඔහුගේ නිල අංකය වූ ’42’ සියළු ප්‍රධාන සමාජ අතරින් 1997 දී විශ්‍රාම යවයි. එනම් ඒ අංකය තව දුරටත් කිසිම ප්‍රධාන බේස්බෝල් ක්‍රීඩා සමාජයක ක්‍රීඩයෙක් පාවිච්චියට නොගන්නා අංකයක් ලෙසින් ඉතිහාසයට එකතු වෙයි. ඇමෙරිකාවේ සියළුම වෘත්තීය ක්‍රීඩා අතරින් එසේ විශ්‍රාම යවන්නට එකඟ වෙන ප්‍රථම අභිමානය මෙසේ ජැකී රොබින්සන්ට ප්‍රදානය වෙයි. 2004 අප්‍රේල් 15 වැනිදා ජැකී රොබින්සන් දිනය යැයි හැඳින්වේ. එදාට බේස්බෝල් ගහන හැම ක්‍රීඩකයෙක් ම අඳින්නේ ’42’ දක්වන නිල ඇඳුමකි.

බේස්බොල් ලීගයේ රූපවාහිනි විශ්ලේෂකයෙකු ලෙසින් කටයුතු කරන්නට අවස්ථාව ලැබෙන ප්‍රථම කළු ජාතිකයා වීමේ වරප්‍රසාදය ඔහුට ලැබේ. එසේම 1960 දී ඔහු නිව් යෝර්ක් හි හාලම් පැත්තේ කළු ජාතිකයන් විසින් අයිතිය කියන Freedom National Bank පිහිටුවන්නට සහාය වෙයි.

ජැකී රොබින්සන් ගැන චිත්‍රපටි, රූපවාහිනි ටෙලි නාට්‍ය සහ සිංදු ලියැවී ඇත. 1950 දී The Jackie Robinson Story හි ඔහු රඟපායි. ’42’ නමින් 2013 දී නිකුත් වී ඇත්තේ ඔහු ගැන කියන අලුත්ම චිත්‍රපටියයි. එය කෙසේ දිග හැරෙනවා දැයි මා තවම නරඹා නැත. ඉතිහාසය පෙන්වන්නේ ජාතිවාදය ඉවත් කළ හැකියාව ඇත්තේ කැමැත්තෙන් කරන ගණුදෙනු වලින් බවයි. වීදුරු සිවිලිමක් ඇත්නම් එය කඩන්නට හැකියාව ඇති සුදුස්සාට හා කුසලතාවය ඇත්තාට තැන නොදී බලහත්කාරයෙන් සමානාත්මතාවය ස්ථාපිතයට ගත් ආණ්ඩු ගෙනා ප්‍රතිපත්ති වලින් අද ඇමෙරිකාවේ පවතින්නේ අවුල්ජාලයකි.

ඇමෙරිකාවේ සුපිරි උසාවියට ඇතුල් වෙන තැන “නීතිය යටතේ සියල්ලන්ට ම එක සමාන යුක්තිය” යැයි සඳහන් වෙයි. ඇමෙරිකාවේ ඒ අනගි ව්‍යවස්ථාවට සවන් දී විධායක ඕඩර් නැවතෙන කාලයක් යළි උදා කරගන්නට නිදහස අගයන අය කැප වී සිටිති.

Equal Justice under Law

14 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on මැයි 13, 2013 at 8:19 පෙ.ව.

    කරුමේ කියන්නේ අපේ ඉන්න රොබින්සන්ලා ජැක් ගහනවා මිසක් නියම ජැකී රොබින්සන් කෙනෙක් වෙන්ඩ උත්සාහ නොකරන එකයි. 😀

  2. keerthi ratethanne said, on මැයි 13, 2013 at 9:48 පෙ.ව.

    අද අැමරිකාවේ ක්‍රීඩාව මෙතරම් උසස් තැනකට අැවිල්ල තියෙන්නෙ කළු ජාතිකයො නිසා කියලයි දුර සිට බලන අපට පේන්නෙ. ඒ අතින් අතින් ජැකී රොබින්සන් කරලා කියෙන සේවය අනර්ඝයි.
    අපේ රටේ ජාති භේද වාදයට අැමරිකාවෙ වර්ණ භේද වාදය හොද අාදර්ශයක්. මේ ප්‍රශ්ණය බරපතල කරන්නෙ අපේ දේශපාලනඥයින්. සාමාන්‍යය ජනතාව ජාති භේදය වැඩිය ගනන් ගන්නේ නැහැ. ඒකට හොදම උදාහරනය තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව. මුත්තයියා මුරලිදරන්ට සිංහල අය වගේම සනත් ජයසූරියට දෙමල අයත් අාදරෙයි. ඒක විශේෂයෙන් කැපිල පේන්නෙ විදේශ රටකදී.

    ස්තුතියි! හර බර ලිපියකින් අපව දැනුවත් කලාට.

    • arunishapiro said, on මැයි 14, 2013 at 8:09 පෙ.ව.

      keerthi,

      ලංකාවේ විතරක් නෙමෙයි keerthi මුළු ලෝකයේ ම ගොඩක් ප්‍රශ්න ඇති කරන්නේ තමන්ට බලය අල්ලා ගන්න ඕනෑවට එහෙත් ජනතාවගේ යහපත වෙනුවෙන් ඉන්න අයට වඩා වැඩිය හොඳින් බෙදන්න දන්නවා යැයි කියන දේශපාලනඥයන් සහ ඒ අයට සහාය දීලා වාසි ලබන ගැත්තන් නිසා.

  3. Raj said, on මැයි 13, 2013 at 11:47 පෙ.ව.

    කොහොම වෙතත් හරියට කරන ක්‍රිඩාව බොහෝ දේවල් වලට උදාහරණ දෙනව, මම හරියට කියල විශේෂණයක් යෙදුවේ දැන් දැන් පිවිතුරු ක්‍රිඩාව නැතිවෙමින් ඇතිවෙන නිසා

    • arunishapiro said, on මැයි 14, 2013 at 8:14 පෙ.ව.

      Raj,

      ඔව් ක්‍රීඩාවෙන් ගන්න හැකි ආදර්ශ ඉතා බහුලයි. මෙහෙ ක්‍රීඩාව නම් තවමත් පිවිතුරු කියලා කිවහැකි තත්වයකින් ඉතුරු වෙලා තියෙනවා.

  4. Niroshinie said, on මැයි 14, 2013 at 3:51 පෙ.ව.

    වීදුරු සීලිං බලෙන් කඩන්න යන එක රෝග නිධානය හොයල ඒක නැති කරන්නේ නැතිව රෝග ලක්ෂනේට බෙහෙත් කරනවා වගේ නේද?

    //වීදුරු සිවිලිමක් ඇත්නම් එය කඩන්නට හැකියාව ඇති සුදුස්සාට හා කුසලතාවය ඇත්තාට තැන නොදී බලහත්කාරයෙන් සමානාත්මතාවය ස්ථාපිතයට ගත් ආණ්ඩු ගෙනා ප්‍රතිපත්ති වලින් අද ඇමෙරිකාවේ පවතින්නේ අවුල්ජාලයකි.//
    ලංකාවෙත් එහෙම යි නේ. මට තියෙන ප්‍රශ්නේ ඇත්තටම ඔය ප්‍රතිපත්ති හදන අය මෝඩ ද නැත්නම් ඡන්ද කඩාගන්න ඔහොම කරනවද කියල?!

    වීදුරු සීලිම් වල හැපිලත් තියෙනවා…සමහර ඒවා කැඩුවට අනික් ඒවා බැරිඋනා… තවම! 😀

  5. Sujeewa said, on මැයි 17, 2013 at 7:23 ප.ව.

    වීදුරු සීලින් කීපයක් කැඩූ ලාංකිකයෙක් (හෝ ලාකිකයන්ගෙන් පැවතෙන්නෙක්): ශේමාරා වික්‍රමනායක

    මේ එක අයෙක්. තව ඕන තරම් ඇති.

    • Sujeewa said, on මැයි 17, 2013 at 7:30 ප.ව.

      ඉහත සබැඳිය ගූගල් එකෙන් ගත්තට, කෙලින්ම ගියොත් කියවන්න බැහැ. අයගේ නම සර්ච් කලොත් විස්තර රාශියක් ලැබෙයි. ඔය ආටිකල් එකත් සම්පුර්ණයෙන් ලැබෙයි.

    • arunishapiro said, on මැයි 18, 2013 at 8:33 පෙ.ව.

      Sujeewa,

      ලංකාවෙන් පිට ගියාම කඩන්න පුලුවන් වීදුරු සීලින් ලංකාව තුල දී කඩන්න හැකිවෙන දාට රට දියුණුවට ගමන් කරයි නේද?

      • Sujeewa said, on මැයි 19, 2013 at 7:27 පෙ.ව.

        එතනට එන්න ලංකාව රටක් හැටියට වීදුරු සීලිං බර ගානක් කඩා ගන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා හිතේ තියෙන මකුළු දැල්.

        පුද්ගලික අත්දැකීම් එක්ක පැටලෙනවා සැහෙන්න. අවු 14 කට කලින් වෙන රටක ඉන්න චාන්ස් තියෙද්දී ආපහු ගිහින් ඒකෙන් 13 ක් නාස්ති කර ගත්ත කෙනෙක් හැටියට.

        • arunishapiro said, on මැයි 19, 2013 at 7:57 පෙ.ව.

          Sujeewa,

          වීදුරු සිවිලිම් අයින් කරගන්න ඕනෑ මිනිස්සු විසින්. රටක් තුල තිබිය යුත්තේ එකම නීතියක්: සුදුස්සාට සුදුසු තැන. ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවකට කිසිසේත්ම බැහැ. එයට හැකියාව ඇත්තේ නිදහස් වෙළඳපොලක දී පමණයි. ආණ්ඩුවේ සැලසුම් අඩු වෙන තරමට මිනිස්සුන්ට මකුළු දැල් අයින් කරන් ගිහින් වීදුරු සිවිලිම් කඩාගන්නත් හැකියාව ලැබෙනවා.

          //පුද්ගලික අත්දැකීම් එක්ක පැටලෙනවා සැහෙන්න. අවු 14 කට කලින් වෙන රටක ඉන්න චාන්ස් තියෙද්දී ආපහු ගිහින් ඒකෙන් 13 ක් නාස්ති කර ගත්ත කෙනෙක් හැටියට.// ගිය හකුරට නාඬන් පුතේ (cry not for the jaggery you have lost but take care of the jaggery you still have) කියලා තමයි දැන් කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: