අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් මාක්ස් ගේ ලොව විශාලතම සෙල්ලම් බඩු කම්හල

Posted in Uncategorized by arunishapiro on මැයි 14, 2013

marx-popeye

ඔහුව දන්නා හඳුනන අය ලුවි මාක්ස්ව හැඳින්වූයේ එයා හරියට “වයින් කරපු සෙල්ලම් බඩුවක් වගේ,” කියාය. ඔහු අතපය වනමින් කතා බස් කළ ජවයෙන් පිරුණ පුද්ගලයෙකි. ඔහුට වැදුන ලේබල් අතර “ඇමෙරිකාවේ සෙල්ලම් බඩු රජ්ජුරුවෝ,” “සෙල්ලම් බඩු කර්මාන්තයේ උකුස්සා,” “සෙල්ලම් බඩු කර්මාන්තයේ හෙන්රි ෆෝඩ්,” සහ “ටෝයිකුවේරයා,” යනාදිය වූහ.

ජර්මන් යුදෙව් දෙමාපියන්ට දාව 1896 දී නිව් යෝර්ක් ප්‍රාන්තයේ බෲක්ලින් හි උපදින ලුවි මාක්ස් වයස 15 දී උසස් පෙළ අවසන් කර කාර්මික සෙල්ලම් බඩු හදන ෆර්ඩිනැන්ඩ් ස්ට්‍රවුස් කොම්පැණියේ රැකියාවකට ගියේය. 1916 වෙද්දී ඔහු එම කොම්පැණියේ නැගෙනහිර රදර්ෆෝඩ් කම්හලේ කළමනාකරු විය. එහෙත් කොම්පැණියේ අලෙවි ප්‍රතිපත්ති ගැන උරණ වන ඔහුව රැකියාවෙන් නෙරපා හැරුණි.

යුද හමුදාවට සාමාන්‍ය සෙබල ලෙසින් බැඳෙන මාක්ස් සාර්ජන්ට්වරයෙක් ලෙසින් 1918 දී හමුදා සේවය අවසන් කළේය. වර්මොන්ට් ප්‍රාන්තයේ ලී සෙල්ලම් බඩු හදන කම්හලක රැකියාවක් පටන් ගන්නා ඔහු එහි නිෂ්පාදන භාණ්ඩ වෙනසකට ලක් කරමින් අලෙවිය දහ ගුණයකින් වැඩි කරන්නට සමත් විය.

1919 දී මාක්ස් සහ ඔහුගේ සහෝදරයා වූ ඩේවිඩ් දෙදෙනා එක්ව ‘මාක්ස් සෙල්ලම් බඩු කොම්පැණිය’ ආරම්භ කළහ. ඔවුන් වෙනත් සෙල්ලම් බඩු නිෂ්පාදකයන්ගේ අතරමැදියන් ලෙසින් එය පටන් ගත්ත ද වහාම සෙල්ලම් බඩු හදන නිෂ්පාදන උපකරණ මිල දී ගන්නට සමත් වූහ. ස්ට්‍රවුස් කොම්පැණිය මුදල් හිඟයකට මුහුණ පාද්දී ඔවුන්ගේ නිෂ්පාදන දෙකක, “ඇලබැමා කූන් ජිගර්” (පහත විඩියෝවේ තිබෙන ස්ටෙප් නැටුම කරන) සහ “සිපෝ ද ක්ලයිම්බින් මන්කි” නම් වූ සෙල්ලම් බඩුවල නිෂ්පාදන අයිතිය මිල දී ගෙන ඒවා සුළු වෙනස්කම් වලට ලක් කරමින් වෙළඳපොලේ වඩාත්ම ඉහළ අලෙවියක් ලබන බඩු බවට පත් කරන්නට සමත් වූහ.

ඔවුන් සිය නිෂ්පාදන වල ප්‍රදර්ශනය කරන ලද වෙළඳ පාඨයක් වූයේ “මාක්ස්ගේ විවිධ සෙල්ලම් බඩු අතරින් එකකි මේ, ඔබ ළඟ ඒවා සියල්ලම තිබෙනවා ද?” යන්නයි. සහෝදරයන් දෙදෙනාගේ ඉලක්කය වූයේ “අඩු මිලට වැඩියෙන් සෙල්ලම් බඩුවක් දීමයි.” එසේම ඔවුන් “ප්‍රමිතිය කේවල් කළ නොහැකියි,” යැයි ද කියූහ.

වයස 26 දී, එනම් මාක්ස් කොම්පැණිය අරඹා වසර තුනක දී ලුවී මාක්ස් ඩොලර් මිලියනපතිවරයෙක් වී සිටියේය.

අනතුරුව මහා පරිමාණ නිෂ්පාදන තාක්ෂණය හේ පටන් ගත්තේය. පවතින හැඩ හැකි තරමක් භාවිතය අනුව අඩු වියදමින් සෙල්ලම් බඩු ගණනාවක් වෙළඳපොලට නිකුත් කරන්නට හේ සමත් විය. 1951 දී මාක්ස්ගේ සෙල්ලම් බඩු කොම්පැණිය ලෝකය පුරා කම්හල් 12 ක් පවත්වා ගෙන යන ලදි. එවක දී ලෝකයේ විශාලතම සෙල්ලම් බඩු නිෂ්පාදකයා හැටියට සැලකී ඇත්තේ ඔහුවයි.

මේ මාක්ස් කොමියුනිස්ට් විරෝධියෙක් විය!!!!! 😀 සටහනේ මුලට දමා ඇති මාක්ස් සෙල්ලම් බඩුව 2013 වෙන්දේසියේ ඩොලර් 600-900 ක් අතර ගණනකට අලෙවිය බලාපොරොත්තු වන්නකි. ගරාජ් සුද්ද කරමින් ආච්චීලා සීයලා සතු ලට්ට ලොට්ට ‘ගරාජ් සේල්’ දමන අය ඇමෙරිකාවේ බහුල වශයෙන් දැකිය හැකියි. එවැනි තැනක දී “ඇන්ග්‍රි බර්ඩ්ස්” දන්නා එහෙත් ඇමෙරිකන් මාක්ස් කවුදැයි නොදන්නා මුණුපුරෙක් මිනිපිරියක් වෙතින් සත විසිපහකට ලැබෙන මෙවැනි සෙල්ලම් බඩුවක් මිල දී ගන්නට හැකිවුව හොත් තතු දන්නා අයට අද අන්තර්ජාලයෙන් ඒවා ඉහළ මිලකට පහසුවෙන් විකුණත හැකියි.

1972 දී ලුවි මාක්ස් තම සෙල්ලම් බඩු කොම්පැණිය ඩොලර් මිලියන 54 කට ක්වේකර් ඕට්ස් සමාගමට විකුණා විශ්‍රාම ගියේය. ඔහු වයස 85 දී නිව් යෝර්ක් හි දී මිය ගියේය.

මාක්ස්ගේ සෙල්ලම් බඩු වෙනුවෙන් පුද්ගලික කෞතුකාගාරයක් බටහිර වර්ජනීයාවේ මවුන්ඩ්ස්විල් නගරයේ පිහිටුවා ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: