අරුණි ශපීරෝ‍ වෙතින්

හර්ෂි හෝටලය, චොක්ලට් ටවුම, යූඑස්ඒ

Posted in Uncategorized by arunishapiro on මැයි 15, 2013

hotel_exterior

1930 දී ඉදි කරන ලද “හොටෙල් හර්ෂි” තියෙන්නෙ පුංචි කන්දක් මුදුනක. වර්තමානයේ දී එය ඇමෙරිකාවේ ජාතික ඵෛතිහාසික ස්ථානයක් හැටියට සැලකේ. මෙය ඉතාලි සහ ස්පාඤ්ඤ ගෘහ නිර්මාණ විලාසිතා ආභාෂයෙන් ගොඩනඟන ලද්දකි.

ඇමෙරිකාවේ මහා ආර්ථික අවපාත සමයේ දී හර්ෂි චොක්ලට් කොම්පැණියේ නිර්මාතෘවරයා ඉදිරියේ තෝරා ගැනීමක් විය. පළාතේ ගොඩනැඟිලි ඉදිකිරීම් කටයුතු වල නියැළෙන කම්කරුවන්ගේ රස්සාවල් නැතිවීම නිසා ඔවුනට සුබසාධන ගෙවනවා ද? නැත්නම් ඔවුන්ට තම චොක්ලට් කොම්පැණියේ රැකියාවන් දෙනවා ද? ඒ දෙකටම අකමැති වුන ඔහු කළේ ඔවුනට වේතන ගෙවා තම කම්හල හා නගරය වෙත මුහුණ ලා කන්දක් මුදුනේ හෝටලයක් හැදීමයි. තමන්ගේ පුද්ගලික ධනයෙන් මිලියන දෙකක් වැය කරමින් ශ්‍රමිකයන් 800 කට රස්සාවල් උත්පාදනය කරන්නට සමත් වෙමින් ඔහු හැදුවේ මේ හර්ෂි හෝටලයයි.

පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිහිටන හර්ෂි නගරය “චොක්ලට්ටවුන් USA” කියා ද, “ලෝකයේ වැඩියෙන්ම පැණි රස තැන” හැටියට ද හැඳින්වෙයි. මිල්ටන් හර්ෂි විසින් හර්ෂි චොක්ලට් කොම්පැණිය පටන් ගත් නිසා බිහි වූ මේ නගරය “කොම්පැණි නගරයක්” හැටියට ද සැලකේ. චොක්ලට් හදන සුවඳ නිසා ටවුම වැඩි ඈතක නැතිබව ඒ පැත්තට ළං වෙද්දී සංචාරකයන්ගේ නැහැයට දැනේ!!!

ජර්මන් ස්විස්* සංක්‍රමණික පරම්පරාවක පවුලකට දාව 1857 දී උපදින මිල්ටන් හර්ෂි හැදෙන වැඩෙන වියේ බහ තෝරන්නේ “පෙන්සිල්වේනියා ඕලන්ද” යැයි හැඳින්වෙන භාෂාවෙන්. එය ජර්මන් භාෂාවක්. ආමිශ් නම් ජන කොට්ඨාශය තවමත් පාවිච්චි කරන භාෂාව. ඒත් මිල්ටන් හර්ෂි ආමිශ් නෙමේ. ඔහු මෙනනයිට් ආගම ඇදහූවෙක්. නිතර පදිංචිය වෙනස් කරන පවුලක ඉපිදුන නිසා මිල්ටන්ට ලැබෙන්නෙ හතරවැනි ශ්‍රේණිය දක්වා පාසැල් අධ්‍යාපනයක් පමණයි. පසු කාලයක දී ඔහු පාසැලක් පිහිටුවා ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම අධ්‍යාපනයට අවස්ථාව සලසා දෙයි. එය අදත් පවතින හර්ෂි පාසැලයි.

ලැන්කැස්ටර් හි පැණිරස කෑම හදන්නෙක් යටතේ ඔහු වසර හතරක ආධුනික පුහුණුවක් ලබයි. ඊට පසුව ෆිලඩෙල්ෆියාවේ පටන් ගත් ඔහුගේ පළමු වෑයම අසාර්ථක විය. එතැනින් පසුබට නොවන ඔහු චිකාගෝ සහ නිව් යෝර්ක් නගර වල ද එයින් දියුණු විය හැකි දැයි වෑයම් කර බැලීය. 1883 දී ආපසු ලැන්කැස්ටර් බලා එන ඔහු නැවතත් උත්සාහයක් ගනියි.

හර්ෂිගේ පළමු සාර්ථක ව්‍යාපාරය වනුයේ ලැන්කැස්ටර් කැරමල් කොම්පැණියයි. හොඳ කැරමල් රෙසිපිය තමයිලු එහි රහස.

1893 චිකාගෝ හි ලෝක වෙළඳ ප්‍රදර්ශනයක දී ජර්මන් චොක්ලට් හදන්න හැකියාව තිබෙනවා යැයි කියන යන්ත්‍රයක් දැක ඔහු එය මිල දී ගනී. ධනවතා ලාබය සම්පූර්ණයෙන්ම පරිභෝජනයෙන් තොරව එය යළි අවදානම් ආයෝජනයකට යොදවයි!!!! 1900 දී ලැන්කැස්ටර් කැරමල් කොම්පැණිය ඩොලර් මිලියනකට විකුණන ඔහු ඒ සල්ලි වලින් තමන් උපත ලැබූ ගමේ අනගි නැවුම් කිරි යොදවා කිරි චොක්ලට් (milk chocolate) නිෂ්පාදනය සඳහා කම්හලක් ආරම්භ කරයි.

ඇතුල්වීමේ ගාස්තුවක් නැතිව හර්ෂි චොක්ලට් ලෝකය ඕනෑම අයෙකුට අද දැකබලා ගත හැකියි. ඉලෙක්ට්‍රික් වාහනයකින් එහි යනවා නම් ගාස්තුවක් නොගෙවා වාහනය චාර්ජ් කරගන්නට ද හැකියි.

මිල්ක් චොක්ලට් යනු 1900 දී ඇමෙරිකාවේ ස්විස් සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙසයි සැලකෙන්නේ. 1978 දී මිල්ක් චොක්ලට් යනු ලංකාවේ ද සුඛෝපභෝගී භාණ්ඩයක් වූ බවයි මගේ මතකය. චොක්ලට් පෙත්තකින් එක පුංචි හතරැස් කෑල්ලක් ලැබුණම ඒ කාලේ පුංචි අයට මහා ලොකු දෙයක්.

හර්ෂිගේ උවමනාව වූයේ ඇමෙරිකාවේ සෑම ආර්ථික මට්ටමකම ඉන්නා අයට පහසු මිලකට රස බැලිය හැකි චොක්ලට් නිපැදවීම. එයාගේ චොක්ලට් සූත්‍රය ඔහුගේ ම අත්හදා බැලීම් වලින් ප්‍රගුණ කරන ලද්දක්. 1903 දී ඔහු පටන් ගන්නේ එවක ලෝකයේ විශාලතම චොක්ලට් කම්හල නිර්මාණයටයි. මහා පරිමාණ නිෂ්පාදන ක්‍රම වලින් ලොකු කුඩා හැමෝටම ගන්න පුලුවන් මිලකට චොක්ලට් ලැබෙන කම්හල 1905 දී නිමැවෙන්නෙ. හැබැයි ලෝකයේ හැමෝටම එදා ඒ චොක්ලට් රස බලන්න ලැබුනෙ නැත්තෙ නම් අර සූර්යයා වහන්න යැයි ප්‍රංශයේ ඉටිපන්දම් හදන අයගෙ මතය බහුතරයක් ලෝක ජනතාව විශ්වාස කරපු නිසයි. ඇමෙරිකාවේ ජාතික වෙළඳපොලට චොක්ලට් නිෂ්පාදනයක් මුලින්ම ලැබුනෙ හර්ෂි වෙතින්.

හර්ෂි කම්හලේ වැඩ කරන විධායක සහ අනෙකුත් සේවකයන්ට ඔහු ඉදිකරන්නෙ එකම විදියෙ නවාතැන් පහසුකම්. හර්ෂි කොම්පැණි නගරයේ ඉදිවන එම නිවාස පේලි ගෙවල් විදියට නොව සාමාන්‍ය ඇමෙරිකන් ටවුමක විදියටයි ඔහු හදන්නෙ. නගරයේ අයට විවේකය ගත කරන්න ඔහු 1907 දී උද්‍යානයක් ද ඉදි කරයි. අවට ඇති ප්‍රධාන නගර වලට යන්නට සිද්ධ නොවී නගරයේ අනගි පාසැල් හා ඉස්පිරිතාල වැනි පහසුකම් ද සහ රසාස්වාදය ලබන්නට නැටුම්, ගැයුම් හා රංගනය ද, ගමට ගෙනෙන්නට ඔහු සමත් විය.

1912 දී ටයිටැනික් නැවෙන් පළමු පංතියේ ඇමෙරිකාව බලා එන්න සූදානමින් හිටිය මිල්ටන් හර්ෂිගේ භාර්යාව අසනීප වෙච්ච නිසා ඔවුන් ගමන කල් දමන ලදි. ඔවුන් දෙදෙන ආපහු එන්නෙ පසු දවසක ජර්මන් නැවකින්. ටයිටැනික් ටිකට් එකට සල්ලි බැඳපු රිසිට් පත ඔහු රාමු කර තබාගත් බව කියැවේ.

මිල්ටන් හර්ෂි 1945 දී හර්ෂි ඉස්පිරිතාලයේ දී වයස 88 දී මිය ගියේය. මිල්ටන්ට සහ ඔහුගේ බිරිඳ වූ කැතරින්ට දරුවන් නොසිටියහ. ඔවුන්ගේ හර්ෂි චොක්ලට් කොම්පැණියේ වෙළඳ කොටස් සම්පූර්ණයෙන්ම හර්ෂි දානමය කටයුතු වෙනුවෙන් තෑගි කරන ලදි.

* ජර්මන් ස්විස් යන අය තම පරම්පරාව හෙල්වෙටි නමින් වූ, ක්‍රි. පූ. 58 දී රෝමය පරාජය කරන ලද ග්‍රෝතයක අතීතය කරා යන බව දක්වයි. ස්විස් සමාබන්ධනයට “කොන්ෆෙඩරේෂියෝ හෙල්වෙටිකා” යන ලතින් නම භාවිතා වීම එයට දක්වන්නක් යැයි පෙන්වති. ක්‍රි. ව. 5 වැනි සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍යයේ කඩා වැටීමත් සමඟ සියළු ජර්මැනික් ගෝත්‍රයන් (ඇලෙමානි සහ බර්ගන්ඩියන්ස්) ස්විට්ස්සර්ලන්තය වෙත ආහ. මේ අයව ෆ්‍රෑන්ක්ස් නොහොත් පුරාතන ප්‍රංශ අය විසින් ආක්‍රමණය කරන ලදි. ස්විට්ස්සර්ලන්තය 18 වැනි සියවසේ දී ෂාර්ලිමැන්යැ ගේ ශුද්ධ රෝම අධිරාජ්‍යයේ කොටසක් හැටියට මධ්‍යතන යුගයේ දී ස්විස් දනව් හැටියට පාලනයට නතු වී සිටියහ. 1291 ස්විස් සමාබන්ධනයේ ආරම්භක දිනයයි. ඌරි, ශ්වයිස්, සහ උන්ටර්වයිඩන් නම් ජර්මන් ස්විස් “වනාන්තර කැන්ටන්” තුනකින් එය පිහිටුවන ලදි. නැපෝලියන් ද මේ ජර්මන් ස්විස් සමාබන්ධනය ආක්‍රමණය කර ඇති හෙයින් ඇමෙරිකාවට පැමිණි “පෙන්සිල්වේනියා ඕලන්ද” බස් වහර කතා කරන ආමිශ් ජනතාව අතර ජර්මන් භාෂාව මෙන් ම තවත් ආමිශ් කොටස් ප්‍රංශ භාෂාව ද භාවිතා කරමින් තවමත් වාසය කරන හැටි දැකිය හැකියි.

12453999-standard

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on මැයි 17, 2013 at 6:59 ප.ව.

    පෙන්සිල්වේනියා ඕලන්ද බස ඇතිවන්නේ යුරෝපයේද? බෙල්ජියානු ෆ්ලෙමිෂ් වරුන්ගේ බලපෑමක්ද? ස්විට්සර්ලන්තය දැනටත් රාජ්‍ය මට්ටමින් භාෂා කීපයක් භාවිතා කරන රටක්. ඒ ඔවුන්ගේ අතීත ආක්‍රමණ වගේම අදාළ කැන්ටන් ලඟින් තියෙන ප්‍රධාන රටවල් අනුව.

    • arunishapiro said, on මැයි 18, 2013 at 8:32 පෙ.ව.

      Sujeewa,

      මූලාරම්භය යුරෝපයෙන්. හැඩගැසීම පෙන්සිල්වේනියාවට ආවේනික වූවකින්. ස්විස් ජර්මන් ප්‍රංශ පරම්පරා වලින් එන අය යැයි සැලකෙන්නෙ. ජර්මන් සහ ප්‍රංශ භාෂා දන්නා සුදු අප්පුහාමිට ඔවුන්ගේ පෙන්සිල්වේනිදා ඕලන්ද වටහා ගැනීම පහසුයි ඔවුන් එක්ක කතාබස් කරද්දී.

  2. Chandi said, on මැයි 18, 2013 at 9:44 පෙ.ව.

    අදයි මේ ගැන ඇහුවෙත්. ස්තූතියි!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: