අරුණි ශපීරෝ‍ වෙතින්

ඇලබැමා හි මිලියනපතිවරයා වහලුන්ගේ මුනුපුරෙකි

Posted in Uncategorized by arunishapiro on මැයි 16, 2013

Gaston

1892 දී ඇලබැමා ප්‍රාන්තයෙහි වහල් සේවකයන් ගේ මුනුපුරෙක් ලෙසින් උපදින ආතර් ජෝර්ජ් ගැස්ටන් ඇමෙරිකාවේ ධනවතෙක් වූයේය. ඔහුගේ ජීවිත කතාව දිග හැරුණු ආකාරය මෙසේය.

ඔහුගේ පියා රේල්ලුවේ කම්කරුවෙකි. ඔහුගේ මව අරක්කැමියෙකි. කුඩා කාලයේ දී ම පියා මිය ගියේය. මව අරක්කැමි රස්සාව කරන නිවසේ ඔහු බාල කාලයේ දී හැදී වැඩුණි. දහවැනි පංතිය දක්වා පමණක් තාක්ෂණික පුහුණු අධ්‍යාපනයක් ලැබීය. පත්තර විකුණන වැනි සුළු රැකියාවල ඔහු නියැළුණි.

අනිවාර්ය හමුදා සේවයට පළමුවැනි ලෝක යුද්ධයේ හමුදා භටයෙක් ලෙසින් ඔහුව ප්‍රංශයට යවන ලදි. සම්පූර්ණයෙන්ම කළු අයගෙන් සමන්විත වූ බලකායක සාර්ජන්ට්වරයෙක් ලෙසින් ඔහු සේවය කළේය.

හමුදා සේවයෙන් පසු යළි ඇලබැමා ප්‍රාන්තයට එන ඔහුට රැකියාවක් සොයා ගැනීම අසීරු විය. 1919 දී ලොන්ඩරියක ඩිලිවරි ට්‍රක් රථයක් පදවන රස්සාවක් ඔහු සොයා ගත්ත ද එයින් ඔහුව අස්කරන ලදි. අනතුරුව ඔහු 1920 දී ඇලබැමා හි ‘ටෙනසි ගල් අඟුරු සහ යකඩ’ කම්හලේ දවසකට ඩොලර් 3.10 කට දුම්රිය මැදිරි හදන රැකියාවකට ගියේය.

ඒ පඩියෙන් සෑහීමකට පත් නොවෙන ගැස්ටන් සිය මව හදන සැන්විච් හා අතුරුපස ගෙන ගොස් ඔහු සමඟ සේවය කරන අයගේ දිවා ආහාරය වෙනුවෙන් විකුණන ව්‍යාපාරයක් ඔහු සේවය කළ කම්හලේ දී ම පටන් ගනියි.

එයින් අත මිට සරුවෙද්දී හෙතෙම 25% ක පොලියකට මුදල් ණයට දෙන්න ද පටන් ගත්තේ ය.

පතල් සේවකයන් සහ පල්ලියේ සාමාජිකයන් හමුවට පැමිණ මිය ගියවුන් භූමදාන කරන්නට වැන්දඹු වූ කාන්තාවන් සල්ලි එකතු කරන බව ගැස්ටන් දැක්කේය. එය ඉටු කරන සේවා සපයන සංවිධානයක් හැදුවොත් පතල් වැඩ කරන අය විසින් සල්ලි ටිකක් ඒ සඳහා කළින් වෙන් කරාවි දැයි ගැස්ටන් සොයා බැලීය. එහි ප්‍රතිඵලය වූයේ අවමංගල රක්ෂණ ක්‍රමයක් ඔහු විසින් පටන් ගැනීමයි. එහෙත් මිය යන පිරිස කොතරම් දැයි නොදැන පටන් ගත් එම වෑයමෙන් ඔහු ණයවීමෙන් ගලවා ගන්නට පල්ලියෙන් සහාය ලැබුණි. අදහස අනගි නිසා එයට පල්ලියෙන් හා පළාතේ අයගෙන් උදව් ලැබී මුලින් “බුකර් ටී. වොෂිංටන්* භූමදාන සමාජය” නමින් පටන් ගෙන පසුව එය රක්ෂණ සමාගමක් බවට පත්වුණි.

1920 ගණන් මුල දී ගැස්ටන් ගේ භාර්යාව වූ ක්‍රියෝලා ස්මිත් බැඳපු අලුත මිය ගියාය. ඔවුන්ට දරුවන් නොසිටියහ.

1938 දී ඒ බිරිඳගේ පියා සමඟින් ඔහු ස්මිත් ඇන්ඩ් ගැස්ටන් භූමදාන නිවස ආරම්භ කළේය. පළාතේ රේඩියෝ නාලිකා වල ඔවුන් “ගොස්පල්” යැයි නමින් හැඳින්වෙන කළු අයගේ ක්‍රිස්තියානි ගීතිකා වලින් හැදෙන ගායනා ක්‍රමය සහිත සංගීත වැඩසටහන් ප්‍රචාරය කරන්නට වෙළඳ අනුග්‍රහය ලබා දුන්හ. එසේම භූමදාන සමාගමේ ද හතර දෙනෙකු වෙතින් හැදෙන ගොස්පල් සංගීත කණ්ඩයාමක් ද ඔහු පටන් ගත්තේය.

1939 දී ඔහු මිනි ලී ගාඩ්නර් හා දෙවැනි කසාදයට පිවිසුණි. ඔවුන්ගේ පුතා ළදරු වියේ දී මිය ගියේය.

රක්ෂණ සහ අවමංගල කර්මාන්තයේ නියැළෙන්නට පුහුණවක් සහ දැනුම ඇති කළු ජාතිකයන් පළාතේ නොමැති බව දකින ගැස්ටන් ඒ වෙනුවෙන් “බුකර් ටී වොෂිංටන් ව්‍යාපාරික පාසැල” ආරම්භ කරයි. එයින් සමත්වෙන සිසුන් ඔවුන්ගේ ව්‍යාපාර වලට බඳවා ගන්නා ලදි. තම ව්‍යාපාර වල ශ්‍රමිකයන්ට ඉතිරි කිරීමේ වැදගත්කම කියා දෙන ගැස්ටන් ඉතිරි කිරීම් සඳහා ඔවුන්ව දිරි ගැන්වීය. එසේම කළු අයට පහසුවෙන් ණය ලබා ගැනීම පිණිස ඇලබැමා හි ප්‍රථම කළු අයෙක් විසින් අයිතිය කියූ බැංකුවක් ද ආරම්භ කළේය. 1957 දී ආරම්භ කරන “පුරවැසියන්ගේ ෆෙඩරල් ඉතිරි කිරීමේ හා ණය සංවිධානය” පසු කාලයේ දී “පුරවැසියන්ගේ ෆෙඩරල් ඉතිරි කිරීමේ බැංකුව” නමින් හැඳින්විණ. 1961 දී එහි වත්කම ඩොලර් මිලියන පහක් ඉක්මවා ගියේය. කළු අයට නිවාස ණය පහසුවෙන් ලබාගත හැකි වූ බැංකුවක් ලෙස එය සැලකුණි.

ආණ්ඩුවේ මැදිහත් වීමෙන් සිද්ධ වූ රෙගුලාසි නිසා හමේ පාට අනුව සේවා සැපයීම බෙදී තිබුණු ඇමෙරිකන් දකුණු ප්‍රාන්තයන් හි සංචාරයේ යෙදෙන කළු අයට නවාතැන් පහසුවෙන් සොයා ගත නොහැකි යැයි දකින ඔහු 1954 දී “ඒ. ජී. ගැස්ටන් මොටෙල්” ඉදි කළේය. බොක්සිං ශූරයෙක් වූ ජෝ ලුවිස් සහ බේස්බෝල් ශූරයෙක් වූ විලි මේස් දෙදෙනා ද එහි නවාතැන් ගත් අය ලෙසින් සැලකේ. ඔහු ඒ. ජී. ගැස්ටන් ඉදිකිරීමේ කොම්පැණිය ද පිහිටුවන ලදි.

සිවිල් අයිතීන් උදෙසා සටන් වැදුන ජනතා ව්‍යාපාරයේ බොහෝ ක්‍රියාකාරී සාමාජිකයන් ගැස්ටන් මොටෙල් හි නවාතැන් ගත්හ. මාටින් ලූතර් කින්ග්, ජූනියර් ගැස්ටන් මොටෙල් හි නවාතැන් ගෙන සිටිය දී පෙළපාලි තහනම් නීතියක් පැනවුණි. එයට සවන් දී පෙළපාලි යන්නට එපා යැයි ගැස්ටන් කිව්ව ද මාටින් ලූතර් කින්ග්, ජූනියර් එය ඇසුවේ නැත. එදින ද ඊට පසුව කිහිප වතාවක් ද මාටින් ලූතර් කින්ග්, ජූනියර් අත්අඩංගුවට ගැනිණ. අත්අඩංගුවේ සිටිය දී “බර්මින්හැම් සිරගෙයි සිට ලියූ ලිපිය” ලියා ඔහු සුප්‍රසිද්ධ වෙද්දී, ඔහුගේ ඇප මුදල් වශයෙන් ඩොලර් එක්ලක්ෂ හැටදාහක් ගෙවූයේ ගැස්ටන් විසිනි. පෙළපාලි පවත්වනවාට වඩා කතිකාවෙන් අවුල නිරාකරණය තම කාර්ය භාරය යැයි ගැස්ටන් විශ්වාස කළේය. මාටින් ලූතර් ව නිදහස් කරගන්නට ඔහු ජනාධිපති ජෝන් කෙනඩි හමු වී ඇත.** ක්‍රියාකාරී සාමාජිකයන් අත්අඩංගුවට ගැනෙද්දී ඔහු ඔවුන් අයිතීන් ඉල්ලන ආකාරයට එකඟ නොවුන ද, ඇප මුදල් ගෙවමින් ඔවුන් නිදහස් කරන්නට ඉදිරිපත් විය. ඔහුගේ නිවස හා හෝටලය ද බෝම්බ ප්‍රහාරයන්ට ලක්විය.

ගැස්ටන් කැමති වූයේ ෆෙඩරික් ඩග්ලස් හා බුකර් ටී. වොෂිංටන් යනාදීන්ගේ අදහස් මත පදනම් වූ කළු නිදහස් චින්තනයයි. සිවිල් අයිතීන් වෙනුවෙන් දේපල හානියෙන් ජනඝෝෂා පැවැත්වීමට හේ අකමැති විය. එම නිසා ගැස්ටන්ට අකමැති වූ අය “අන්කල් ටොම්” යන අවනම්බු ලේබලයක් ගසා ඔහුගේ හෝටල් කාමර වල නොමිලේ නැවතී සිටිය දී ගැස්ටන් හෝටල් කාමර සඳහා ඔහු වැඩියෙන් මුදල් අය කරනවා යැයි පත්තර වලට කියූහ!!!!!! දරුවන්ට හානි නොපැමිණෙන අන්දමින් සහ මිනිස් ජීවිත බේරාගැනීමට හැකි ගණුදෙනු වලින් සුදු අය සමඟ කතාබහෙන් කටයුතු කිරීමෙන් අයිතීන් දිනා ගන්නට සහ සාමය උදා කරගන්නට හැකියාව ඇතැයි කියූ ගැස්ටන් කිව්වේ එහෙම කටයුතු කිරීම අන්කල් ටොම් වෙන්නේ නම්, තමා සුපර් අන්කල් ටොම් කෙනෙක් වීමට කැමති යැයි කියාය.***

1966 සිට ගැස්ටන් විසින් ගැටවර වියේ දරු දැරියන් සඳහා පිහිටුවනු ලැබූ සමාජය අදත් පළාතේ මහත් සේවයක් ඉටු කරන්නකි.

1996 වසරේ වයස 103 දී මිය යද්දී ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් මිලියන 130 කට වඩා වැඩි යැයි ඇස්තමේන්තු විය.

පින්තූරය: Otha Richard Sullivan ලියූ African American Millionaires (2005)
* බුකර් ටී. වොෂිංටන් වහලෙක් ලෙසින් ඉපිද වහල් බැවින් ගැලවීමට පෙරමුණ ගත් කළු ජනතා නායකයෙකි.
** Carol Jenkins, Elizabeth Gardner Hines ලියූ Black Titan: A. G. Gaston and the Making of a Millionaire (2004)
*** Suzanne E. Smith ලියූ To Serve the Living (2010)

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මැයි 16, 2013 at 10:17 පෙ.ව.

    ඇමරිකාවේ ගොඩ නැගුණු බොහෝ ජීවිත මහඟු ආදර්ශ ලෝකයට දී තිබෙනවා. ඒත් ඒක තෙරුම් ගෙන ගමන් කරන අය අඩුයි. විරෝධතා මතවාදවල පැටලී පරාදවෙන ජීවිත කෙතරම් තියනවාද ? ඒ අතර ජීවිතය ජයගන්න වෑයම් කරන අයට මේ විස්තර ඉතාම වටිනවා. ස්තුතියි අරුණි.

    • arunishapiro said, on මැයි 18, 2013 at 8:29 පෙ.ව.

      mppgunasinghe,

      ආදර්ශයක් ගන්නට ජීවිත කතන්දර ඕනෑ තරම් ලෝකයේ නන් දෙසින් හොයා ගත්තෑකි. බොහෝ දෙනා ඒවා කියවලා හැමදාම ඉන්න විදියට නිකම් ඉන්ඳැද්දී එකෙක් දෙන්නෙක් තමයි ඒවායෙන් ආදර්ශයක් ගන්නෙ. ඒ මිනිස් ස්වභාවයයි. ඔව්, ජීවිතය ජයගන්නට වෑයම් කරන අයට මේ සටහන් වැදගත් වේවි.

  2. Chandi said, on මැයි 18, 2013 at 9:41 පෙ.ව.

    ආදර්ශයක් ගන්න ලෝකෙ ඕනෑ තරම් ජීවිත කතා තියෙනවා නේ. හැබැයි මේවායින් යමක් ඉගෙන ගන්නෙ කීයෙන් කී දෙනාද? මෙහේ ඒ වෙනුවට පෙළපාලි අරගල! කියවනවා නම් මෙන්න චරිත කතා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: