ලුවිස් සහ ක්ලාක් ගිය ඵෛතිහාසික ගවේෂණ චාරිකාව
ඇමෙරිකාවේ දිග පළල කොතරම් දැයි නොදත් සමයක ප්‍රංශය අයිතිවාසිකම් කියූ මිසිසිපි ගඟෙන් එහා පැත්ත ලුයිසියානා යැයි සැලකුණි. එවක දී කැලිෆෝර්නියා පැත්ත අයිති වූයේ ස්පාඤ්ඤයට. 1803 දී ලුයිසියෑනා සේල් එකෙන් අක්කරයක් සත තුනකට බැගින් වර්ග අක්කර 828,000 ක් අයිති කරගන්නට ඇමෙරිකාවට හැකිවිය.
මිල දී ගත්තාට පසුව ජනාධිපති තෝමස් ජෙෆර්සන් යුද හමුදා ස්වේච්ඡා සේවයේ කැප්ටන් මෙරිවෙදර් ලුවිස් සහ ඔහුගේ හිත මිත්‍ර දෙවැනි ලුතිනන් විලියම් ක්ලාක් යන දෙදෙනාගේ ප්රමුඛත්වයෙන් පළාත විපරම් කරන්නට කණ්ඩායමක් පිටත් කර හරින ලදි. මෙය ලුවිස් සහ ක්ලාක් ගවේෂණ චාරිකාව යනුවෙන් ඉතිහාසයට එකතු විය.
ඔවුනට පැවරුන ප්‍රධාන කාර්යයන් අතර වූයේ අලුතෙන් ලැබුණු දේශය ගවේෂණය කර සිතියම් හැදීම, බටහිර පෙදෙසට යා හැකි මාර්ගයක් සොයා ගැනීම සහ බ්‍රිතාන්‍ය හෝ වෙනත් යුරෝපීයයන් අයිතිය කියන්නට පෙර එහි ඇමෙරිකන් වාසයක් ඇතැයි පෙන්වීම යනාදිය වුහ. එහි අතුරු ඉලක්කයක් වූයේ පළාතේ පැලෑටි, සත්ව හා භූගෝලය ගැන විද්‍යාත්මක ගවේෂණයක් කිරීමත් එහි වාසය කරන ස්වදේශී ඇමෙරිකන් ගෝත්‍රිකයන් සමඟ වෙළඳාම ආරම්භ කිරීමත් ය.
උතුරු දකෝටා පැත්තේ දී ඔවුනට ප්‍රංශ-කැනේඩියන් ලොම් සඳහා සත්වයන් අල්ලන වෘත්තියේ යෙදෙන ටූසේන් ෂාබොනෝ සහ ඔහුගේ භාර්යාව වන සකාජුවියා (Sacagawea) හමුවෙති. ටුසේන් යුරෝපීය සහ ස්වදේශී ඇමෙරිකන් මිශ්රිතයෙක් වුවත් සකාජුවියා ස්වදේශී පමණක් වූ ගෝත්‍රික කාන්තාවකි. ඇය ප්‍රථම දරුවා වදන්නට ගැබ්බරව සිටියාය. ඇය ඒ පැත්තේ ස්වදේශීන් කතාබස් කළ ෂෝහොන් නම් ගෝත්‍රික බස සහ තවත් භාෂා දත් නිසා ටූසේන්ව පරිවර්තකයෙක් ලෙසින් ගවේෂක කණ්ඩායමට බඳවා ගන්නා ලදි!!!!
1805 පෙබරවාරි 11 වැනිදා සකාජුවියාගේ පුතා ශෝන් බැප්ටිස්ට් ෂාබොනෝ ඉපදුන බව ලුවිස් විසින් සටහන් කරගෙන ඇත. ක්ලාක් සහ අනෙකුත් යුරෝපීය ඇමෙරිකන් ගවේෂක කණ්ඩායම කුඩා කොලු පැටියාව “කුඩා පොම්ප්” හා “පොම්පි” යැයි හුරතල් නම් වලින් හැඳින්වූහ.
ඔවුන් ගඟකින් එතෙර වෙද්දී බෝට්ටුව පෙරලී යද්දී සකාජුවියා විසින් ලුවිස් සහ ක්ලාක් සටහන් ලියන ලද පොත් ඇතුළු තවත් බඩු බේරා ගන්නට සමත් වූ නිසා ඔවුන් ඒ ගඟ සකාජුවියා ගඟ යැයි නම් කරන ලදහ.
වසර තිස්දාහක් තිස්සේ ඇමෙරිකාවේ මහා තැනිතලා පෙදෙස් හි වාසය කර මිය ගිය ස්වදේශීන් ගැන දැනගන්නට ඇත්තේ ඇටකටු පමණි. ඔවුන් තමන් ගැන හෝ පළාත ගැන කිසිත් සටහනක් නොතබා මිය ගිය අය වූහ. හනිකට ගලවා පටවා ගෙන යා හැකි කුඩාරම් වල ජීවත් වූ මේ ගෝත්‍රිකයන් මේ පළාතේම තැන තැන ගියා මිසෙක එක තැනක වැඩි කාලයක් සිටියේ නැතැයි කියැවේ.
ලුවිස් සහ ක්ලාක් ගවේෂණ චාරිකාවට එකතු වන සකාජුවියාට එහෙයින් තම දැනුම කියා පාන්නට මහඟු අවස්ථාවක් පෑදිච්ච බව නිසැකය. ඒ තොරතුරු සියල්ල ක්ලාක් අතින් සටහන් ගත වී ඉතිහාසයට තම නම එකතු කරන්නට මේ ස්වදේශී ගෝත්‍රික කාන්තාවට ලැබුණි.
උතුරු දකෝටා හි සිට පැසිෆික් මුහුද දක්වා 1804 සිට 1806 කාලයේ දී සැතපුම් දහස් ගණනක් ලුවිස් සහ ක්ලාක් ගවේෂණ චාරිකාවේ ඇවිදපු සුවිශේෂි කාන්තාවක් ලෙසින් ඇය ඇමෙරිකන් ඉතිහාසයට එකතු වේ. 2000 දී ඇය සිහිකරන්නට සකාජුවියා ඩොලර් කාසියක් අච්චු ගසන ලදි. එහි ඇයත් ඇයගේ පුතා පොම්පි ද නිරූපනය වෙයි. ඇයගේ රූපය කෙසේදැයි කිසිවෙක් නොදන්නා හෙයින් එයට යොදා ගැනෙන්නේ සහ ඇය නිරූපනය කරන සියළු පින්තූර වලට යොදන්නේ එම ගෝත්‍රයට අයිති වෙනත් කාන්තාවකගේ පින්තූරයකි. උතුරු දකෝටා පැත්තෙන් එද්දී අධිවේගී මාර්ගයෙන් ඉවත් වී ගොස් ගවේෂණ චාරිකාව ගිය මාර්ගයට පිවිසෙනු පිණිස පිහිටුවා ඇති විශේෂ නාම පුවරු දිගින් දිගටම දකින්නට හැකියි.
මොන්ටෑනා හි අක්කරයකින් පමණ හැදෙන පොම්පි කුළුණ ඒ අසල වූ යෙලෝස්ටෝන් ගඟෙන් අඩි 150 ක් ඉහළක පවතින්නකි. එය මිලියන 75-65 අතර කාලයකට ඉහත දී පැවති වැලිගල් වලින් හැදෙන ලද්දකි.
1806 ජූලි 25 වැනිදා එහි පැමිණෙන ලුවිස් සහ ක්ලාක් ගවේෂක කණ්ඩායම එම ස්ථානය “පොම්පි ගේ ශිඛරය” (Pompys Tower) යැයි නම් කළහ. විලියම් ක්ලාක්ගේ එහි ස්වදේශීන් විසින් අඳින ලද පින්තූර අතර තම නම සහ දිනය කොටා ඇත. 1949 දක්වා පමණ එහි ආ ගිය අය නම් කොටා ඇති බව දකින්නට ඇතත් වර්තමානයේ දී ගලේ නම් කෙටීමට අවසර නොලැබේ.
1814 දී එය “පොම්පි ගේ ස්ථම්භය ජාතික ස්මාරකය” යැයි වෙනස් කෙරුණි.
ඉතින් ශාන්තිකර සාගරයට යන්නට උතුරු පැත්තෙන් පාර සොයා දුන්නාට ලුවිස් සහ ක්ලාක් ඇතුළු ගවේෂකයන්ට ස්තූති කරමින් ඔවුන් ගිය මාර්ගයෙන් බිඳක් දැකබලා ගත් අපි නැවතත් අධිවේගී මාර්ගයට පිවිසුනෙමු.
ඇත්තටම වටින විස්තර සහ පින්තුර.
සුභ ගමන්.!
This documentation is also a historical work..
ස්තූතියි අරුණි ඓතිහාසික විස්තරේට. ලුයිස් සහ ක්ලාක් කියල කිව්වම මම මුලින්ම හිතුවෙ අර සුපර්මෑන් ජෝඩුවය කියල 🙂
Ravi,
😀 මාත් එහෙමයි; ඇයි අපි මුලින් දැනගත්තෙ එයාල ගැනනේ. ඒත් දුව පුංචි කාලේ එයාට ගෙදර පාසැලේ ඉතිහාසය කියලා දෙන්න මමත් මේ අය ගැන ඉගෙන ගත්තා.