තඹ රජ්ජුරුවන්ගේ ප්‍රාසාදය ඊයේ අපේ නවාතැන විය
මොන්ටෑනා හි සුප්‍රසිද්ධ තඹ රජ්ජුරුවන් තුන් දෙනාගෙන් එක් අයෙක් හැටියට සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. ක්ලාක් නම් ධනකුවේරයා. අපි ඊයේ රාත්‍රිය ගත කළේ එහි කාමර 34 ක් තියෙන නිවහනේ එයා නිදාගත්තු කාමරයේ එයා නිදාගත්තු ඇඳේ. ඔහුගේ අනිකුත් නිවාස ස්විට්ස්සර්ලන්තයේ, පැරිස් සහ නිව් යෝර්ක්, ෆ්ලෝරීඩා හි පවා පිහිටන ලදි.
මේ නිවහන ඉදිකරන්නේ 1884 සිට 1888 දක්වා කාලයේ දී. නිවහන ඉදිකරන්න වසර හතරක් යද්දී එහි ප්‍රධාන පඩිපෙළ ලී කැටයම් වලට වසර හතරහමාරක් ගිහින් තියෙනවා. නිවහන ඉදිකරන්න ගිය වැය එයාගේ දවස් බාගයක ආදායම. පතල් කැනීම් පටන් ගන්නට පෙර බැංකු හා රේල්ලුවෙන් ආදායම් උපයා තිබි අයෙක්. තම මුදල් පමණක් ආයෝජනයෙන් ඇමෙරිකාවේ රේල් කොම්පැණියක් ආරම්භ කරපු එකම එක්කෙනා.
ක්ලාක් ගේ දෙවැනි කසාදයෙන් උපදින හූජෙට් මාසෙල් ක්ලාක් මිය ගියේ 2011 මැයි 24 වැනිදා වයස 104 දී. ඇයට තිබුණා ඩොලර් මිලියන 500 වත්කමක් සහ කනෙටිකට් හි මිලියන 24 ක දැවැන්ත වත්තක් සමඟ විසාල නිවහනක්. එයාගේ කසාදය හරියන්නෙ නැහැ. වසරකටත් වඩා අඩු කාලයකින් දික්කසාද වෙන ඇය තනිවම නිව්යෝර්ක් හි මෑන්හැටන් මහල් නිවාසයක (කාමර 42 ක් තියෙන විසාල මන්දිරයක්) ජීවත්වෙනවා. කිසිවෙක් ඇසුරට අකමැති ඇය 1988 සිට මිය යන තෙක් මවුන්ට් සිනායි මෙඩිකල් සෙන්ටර් එකේ සහ බෙත් ඊශ්‍රායෙල් මෙඩිකල් සෙන්ටර් නැමති ඉස්පිරිතාල වල කැමැත්තෙන් නැවතිලා ඉඳලා මිය යනවා. සල්ලි ගෙවන්න හැකියාවක් තියෙනවා නම් ඉතින් ලෙඩක් දුකක් නැති වුනත් රටේ හොඳම දොස්තරවරු ඉන්න ඉස්පිරිතාලයක වාසයත් පුළුවන්!!!! වමේ තියන රතු පාටින් සැරසිලා තියෙන්නෙ එයා පුංචි කාලේ නිදාගත්තු කාමරය.
19 වැනි සියවසේ පැරිසීය සහ නිව් යෝර්ක් නගරයට කළියෙන් මොන්ටෑනා හි බියුට් නගරය තමයි විදුලිබලකරණය (electrification) වෙලා තියෙන්නෙ. ක්ලාක් එහෙ වාසය කරපු නිසා. රේල් කොම්පැණියක් සහ තවත් ව්‍යාපාර රාශියක් කරගෙන යමින් සිටි අයෙක් වූ ක්ලාක් බියුට් වලට එන්නෙ විදුලිබලකරණයට අවශ්‍ය තඹ වයර් සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවෙච්ච නිසා තඹ පතල් කනින්න. එයාගේ දියුණුවත් සමඟ හතුරන් ද වැඩිවෙලා 1917 ජූනි 8 වැනිදා අද්භූත ලෙසකින් ඔහුගේ පතල ගිනිගෙන. මිනිසුන් 168 ක් මිය ගිහින් පරිසරයට හානිකර අන්දමින් ඉතිරි වෙන පතල අද බියුට් හි ඵෛතිහාසික ස්ථානයක්.
ඒ කාලේ අලුත්ම මෝස්තරයක් වූ කළු පාට ජනේල රෙදි ප්‍රංශයෙන්. කාපට් පර්සියාවෙන්. බිත්තියේ කොටසක් හදලා තියෙන්නෙ විශේෂ විදියකට; විදුලි බලයෙන් පත්තු වෙන ලයිට් අතරින් ගෑස් වලින් පත්තු වෙන ලයිට් දැම්මාම බිත්ති දිගේ වතුර ගලනවා වගේ පේන්න හදලා තියෙන්නෙ.
නිදාගන්න කළියෙන් ගෙයි චාරිකාවක් ගෙන ගිහින් විස්තර රාශියක් කියා දීපු එරින් එහි අවසානයේ දී player piano එකක් ද ගහලා පෙන්නුව. සිංදු කඩදාසියක් දාලා පයින් පද්දන විට පියානෝව වාදනය වෙනවා. එහෙම සිංදු කඩදාසි පුංචි අල්මාරියක් පුරවල තිබ්බ.
මේ නිවහන ක්ලාක් මිය ගියාට පස්සෙ කොන්වන්ට් එකකින් පවත්වාගෙන ගිය ගෑණු ළමයින්ගේ නිවාසයක් වී පැවතිලා පසුව දැන් කරගෙන යන අයගේ මුතුන් මිත්තන් විසින් මිල දී ගෙනයි මේ නිවහන bed and breakfast කියන උදේ කෑම දෙන නවාතැන් පොළක් බවට පත්වෙන්නෙ. මෙය ඇමෙරිකාවේ ඵෛතිහාසික රෙජිස්ටරයේ පවතින්නක්. අපිට කන්න උදේ කෑම රසට හදලා දුන්නා.
leave a comment