අරුණි ශපීරෝ‍ වෙතින්

බියුට් නගරයේ චීන සංක්‍රමණික ඉතිහාසයේ කෞතුකාගාරය

Posted in Uncategorized by arunishapiro on මැයි 25, 2013

union-flyer-01

මොන්ටෑනා ප්‍රාන්තයේ බියුට් (Butte) නගරයේ චීන ඉතිහාසය 1868 දක්වා පැරණි වූවකි. මොන්ටෑනා හි අගම් රත්තරන් පතල් (placer gold mines) සොයා ගැනීමත් සමඟ අගම් රත්තරන් පතල් කනින්නට චීන්නු එහි පදිංචියට මුලින් ම පැමිණ ඇත.

1850 සිට 1900 දක්වා කාලය තුල දී ලක්ෂ දෙසිය පනහක චීන සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණියහ. චීනයේ සිවිල් යුද්ධයෙන් දිවි ගලවා ගන්නට, හාමතයෙන් ගැලවෙන්නට සහ උන්හිටි ඉඩම් අහිමි වූ චීන්නු කූලි (coolies) සහ බරවැඩ කම්කරුවන් හැටියට මුලින් ගියේ දකුණු ඇමෙරිකාවට, කොදෙව් දූපත් සහ ගිණිකොන දිග ආසියාවට ය. අනතුරුව ඔවුන් පැමිණ ඇත්තේ ඇමෙරිකාවට ය.

රුවල් නැව් සහ හුමාලයෙන් දුවන නැව් වලින් සියැටල් පැත්තෙන් ද, රට මැදින් ඇවිදගෙන ද, බඩු පටවාගත් කොටළු ගැල් වලින් ද, පසු කාලයේ දුම්රියෙන් ද ඔවුන් මෙහි පැමිණියහ. එසේම පසුව ඔවුන් ඇමෙරිකන් ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද සෙන්ට්‍රල් පැසිෆික් රේල්ලුවේ රැකියාවන් ලබාගෙන ඇත. 1869 දී රේල්ලුව නිම වෙන්නට කළින් දාහත් දහසක චීන්නු එහි රැකියාවන් කරන ලදැයි කියැවේ.*

දවසකට මෙහි දී උපයන ඩොලරයකින් ඔවුන්ගේ චීනයේ වාසය කරන ලද මුළු පවුලක්ම ජීවත්කරන හැකියාව එවක තිබුන නිසා දරුවන් හා බිරිඳ චීනයේ සිටිය දී සැමියන් විසින් රස්සාවල් සොයාගෙන මෙහි ආහ. දෙමව්පියන් තම පුතුන් එවන ලදි. ඒ නිසා ඇමෙරිකාවේ මුල් චීන ජනගහණය සම්පූර්ණයෙන්ම වාගේ තරුණ වියේ වූ තනිකඩයන් වූහ. 1880 දී චීන පුරුෂ-ගැහැණු අනුපාතය 20:1 කි.

ඇමෙරිකාව මේ අයව බාරගත්තේ කැමැත්තක් හෝ අකමැත්තක් නොදක්වාය. එහෙත් චීන ජනගහණය වැඩි වෙද්දී, අඩු වැටුප් වලට වැඩියෙන් වෙහෙසෙන්නට කැමති ශ්‍රමිකයන් නොමඳව සිටිය දී තම රැකියාව නැති වේ යැයි බියෙන් අනුන්ව පීඩනයට පත් කරන මිනිස් සාමූහිකත්වයෙන් චීන පතල් කම්කරුවන්ට මුලින්ම තර්ජන ගර්ජන කරන්නේ කම්කරු වෘත්තීය සමිති විසිනි. අනතුරුව රෙගුලාසි මඟින් අනේක විධ ලැයිසන් ගාස්තු, වෙනම පාසැල්, වෙනම පදිංචිය, සුද්දන් කසාද බැඳීම තහනම යනාදියෙන් ඔවුන්ව එළවා දමන්නට බලතණ්හාධික ජනතා සංවිධාන ඉදිරියට ආහ.

ආණ්ඩුවේ බදු නිලධාරීන් දකින චීන්නු කැළෑවට පළා ගොස් සැඟවුන නිසා මුල් කාලයන් හි පැවති ජනසංඛ්‍යා සංගණන වල දී ඔවුන්ගේ තොරතුරු සටහන් වීම අඩු වූයේ යැයි ද කියැවේ. චීන්නු වෙතින් බදු අයකරගන්නට මේ පැතිවල ආණ්ඩුවේ නිලධාරීන් මෙන් පෙනී සිටි මංකොල්ලකරුවන් ද සිටි බව ද ඉතිහාසයේ ලියැවී ඇත.

අඩු වැයෙන් ශ්‍රමය සැපයූ නිසා ඔවුන්ට වැඩියෙන් රැකියා ලැබේ යැයි බියෙන් අසාධාරණ බදු අය කරමින් හා තර්ජන ගර්ජන වලින් ද, අසාධාරණ රෙගුලාසි වලින් පතල් හි කරන ලද වෘත්තීය සමිති බලහත්කාරකම් වලින් ද නොපසුබට වූ මේ චීන්නු අනතුරුව පතල් කැනීමෙන් ඉවත් වී බියුට් නගරයේ ලොන්ඩරි, සිල්ලර බඩු හා අවන්හල් පවත්වා ගෙන ගියහ.

1909 දී ඉදි කරන ලද ‘මයි වාහ් නූඩ්ල්ස් පාලර්’ එවක දී ජනප්‍රිය වෙළඳ සංකීර්ණයකි. එහි උඩ තට්ටුවේ මැන්ඩරින් සහ ඇමරිකන් ආහාර 1941 දක්වා විකුණන ලදි.

1925 ආහාර වට්ටෝරුව සහ මිල ගණන්:
menu1920s001-small

1910 දී බියුට් හි චයිනාටවුන් වල දෙදාහක චීන ජනගහණයක් පදිංචි වී සිටියහ. ඊ ළඟ දශක කිහිපයේ දී අලුතින් එන අය සමඟින් එහි චීන්නු ලක්ෂයක් වාසය කරන ලදි.

අද කෞතුකාගාරයක් බවට පත් වී ඇති මේ ගොඩනැඟිල්ලේ පළමු මහලේ කඩ සාප්පු සහ දෙවැනි මහලේ අවන්හල අතර වංගගිරි කාමර රාශියක් සහිත මැද්දේ හිරවුනු කෙටි මහලක් ඇත. ගබඩා කාමර සහ සේවකයන්ට නවාතැන් පහසුකම් සැපයූ එවැනි කුඩා කාමර පිරි තට්ටුවක් තිබීම එය ඒ කාලයේ රටේ ඉදිවුන ගොඩනැඟිලි බොහොමයක ලක්ෂණයක් විය.

අගම් රත්තන් පතල් කැනීම් නැවතෙද්දී 1895 දී පටන් ගෙන ඊ ළඟ දශක හතර තුල දී චීන්නු වස්තු සම්පත් සොයා සැන් ෆ්‍රැන්සිස්කෝ වැනි ප්‍රධාන නගර බලා පිටත් වී ගියහ. 1941 වෙද්දී බියුට් හි වාසය කරන්නේ චීන අය 92 ක් පමණකි.

වර්තමානයේ ද චීන්නු වාසය කරන මේ බියුට් නගරයේ චීන අවුරුදු උත්සවයක් පැවැත්වේ. එහි වාර්ෂික පෙරහැරේ ගෙන යන චීන මකරා තායිවානයෙන් තෑගි ලැබුණකි. ලෝකයේ වැඩියෙන් ම හඬක් පතුරුවන චීන අවුරුදු උත්සවය යැයි ඔවුන් එය නම් කර ඇත.

* බියුට් හි චීන ටවුම ගැන සාර ගර්භ ලිපියක් මෙතැනින් කියවන්නට හැකියි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Kenji @ Japan said, on මැයි 25, 2013 at 1:01 පෙ.ව.

    හොද විස්තරයක්.
    ඉස්සර චීන්නු දත් ගලවන වැඩේටත් ප්‍රසිද්දයි නේද?
    දැන්නම් චීන්නු ලංකාවෙ ඉපදෙන්න ඉන්න දරුවන්ගෙ දතුත් ගලවන්න බලාගෙන ඉන්නෙ :).

    • arunishapiro said, on මැයි 25, 2013 at 1:05 පෙ.ව.

      Kenji @ Japan,

      ඒ කාලේ දත් නිසියාකාරව පිරිසිදු නොකිරීම නිසා දත් දිරන ලෙඩ හැදුනානේ ගොඩ දෙනෙකුට. අබිං දීලා මත්වුනාම දත් ගලවද්දී රිදෙන එක දැනෙන්නෙ නැති නිසා චීන දත් දොස්තරලා ජනප්‍රිය වෙන්නැති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: