අරුණි ශපීරෝ‍ වෙතින්

බියර් බොමින් චිත්‍රපටි නැරඹිය හැකි සිනමා ශාලාව

Posted in Uncategorized by arunishapiro on මැයි 30, 2013

IMG_7209

මෙම සමාගමේ සිනමා ශාලා වලට ඇතුල්වීමේ අවසරය ඇත්තෙ වයස 18 ක් ලැබූ අයට පමණයි. ඊට අඩු අය වයස 21 ක් හෝ ඊට වැඩි අය සමඟ එන්න ඕනෑ. වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ඉඩක් ලැබෙන්නේ අඬන බබාලගේ දිනය නොහොත් Cry Baby Day නමින් වෙන් වූ මාසයේ පළමු අඟහරුවාදා පළමු දර්ශනයට පමණයි. Cry Baby (1990) යනු ජොනී ඩෙප් රඟපෑ චිත්‍රපටියක්.

අපි එම සිනමා හලකට ගියා අලුත්ම ස්ටාර් ට්‍රෙක් චිත්‍රපටිය බලන්න. බලන්න ගිය එක පටන් ගන්න තෙක් කෙටි චිත්‍රපටි කිහිපයක් ද බලන්න අවස්ථාව ලැබුණ. එයත් ඇමෙරිකාවේ දුර්ලභයි. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ චිත්‍රපටි සම්බන්ධ ප්‍රශ්න තිරයේ දිස්වෙලා ඒවාට උත්තර වැටෙන තෙක් බලා සිටින්නට සිද්ධ වීම. පැය භාගයක් විතර කළින් ගියොත් එකම ප්‍රශ්න එකම උත්තර දැකලා එපා වෙනවා.

මෙහි ආහාර ගැන සඳහන් වූ වට්ටෝරුවත් චිත්‍රපටි ඇසුරින් හැදිලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් සිනමා ශාලාවක දී ලැබෙන පොප් කෝර්න් වලට අමතරව කුකුල් තටු, පීට්සා, හැම්බර්ගස්, සැලඩ් වැනි දේවල් ලැබෙනවා. ජනප්‍රිය චිත්‍රපටි වලින් හදපු නම් තමයි ආහාර වලට දාලා තියෙන්නෙ. මිස්ටික් පීට්සා කියන්නෙ 1988 දී ජූලියා රොබර්ට්ස් රඟ පෑ චිත්‍රපටියක්. ඉතින් මෙහි දී ලැබෙන පීට්සා ඒ නම යටතේ හැඳින්වෙන්නෙ. පෙපරෝනි පුරවලා තියෙන පීට්සා එක ඉටැලියන් ජොබ් චිත්‍රපටියේ නමින්.

චොක්ලට් මිල්ක් ෂේක් සහ රූට් බියර් ෆ්ලෝට් (රූට් බියර් නැමති බියර් නැති පැණිරස සෝඩා පානයට අයිස්ක්‍රීම් එකතු කර) සමඟ අපි මිස්ටික් පීට්සා එකක් ඕඩර් කළා. මුලින්ම ඇවිත් තමන් කවුදැයි ආහාර ඕඩර් කරන්නෙ කොහොමදැයි කියා දීලා යන වේටර් ඊට පස්සෙ කෑම ඕඩර් කරන කොළය කෙළින් අතට හරවලා මේසයේ රැඳෙව්වාම එතැනට කළුවරේම ඇවිත් අරන් යනවා. වේටර් කෑම බීම මේසයට ගෙනත් තියන්නෙ චිත්‍රපටිය බලන අයට බාධා නොකර. අපි බලද්දී හිටපු ගමන් මේසයේ උඩට පීට්සා එක ඇවිත්. එයාලට යන්න පුටු අතරින් හැදුනු ඉඩක් තියෙනවා. එහි ඔවුන් යන්නේ නැවීගෙන. ඒ නිසා ඔවුන් යනවා එනවා පේන්නෙ නැහැ. චිත්‍රපටිය අවසන් වෙන්නට පැයකට කළින් තමයි බිල එන්නෙ. ඉතින් බිල එනකන් කැමති දෙයක් නරඹන කාලය පුරා වරින් වර පවා ඕඩර් කරන්න පුලුවන්.

අපි ගිය ශාලාවේ දී බියර් සහ වයින් ඕඩර් කරන්නත් පුලුවන්. ඇමෙරිකාවේ වයස 21 න් පස්සෙ විතරයි මත්පැන් කට ගාන්න අවසරය නීත්‍යානුකූලව ලැබෙන්නෙ. ඒ නිසා මේකට ඇතුල්වෙන්න අවසර ලැබෙන්නෙ වයස 21 සපිරුණු අයට පමණයි.

ඇතුල්වීමේ ටිකට් එක ඩොලර් පහයි.

කිසිවෙක් කන බොන සද්දයක් හෝ වේටර් මහත්වරු බන්දේසි බිම හෙළන සද්දයක් ඇහුනේ නැහැ. ඒ වගේම වෙනත් කිසිවෙක් හෝ තිරය වැහෙන සේ ඇවිදිමින් යනවා දකින්නට ලැබුනේ ද නැහැ. පුංචි ළමයින් ද නැති නිසා චිත්‍රපටිය මැද දී වැසිකිළියට දරුවන් අරන් දුවන අම්මලා තාත්තලා ද නැහැ.

දැවැන්ත HD ටෙලිවිෂන් සෙට් එක්ක අනර්ඝ සවුන්ඩ් සිස්ටම් ගෙදර හදාගන්න අවස්ථාව වැඩි වැඩියෙන් ලැබෙද්දී සිනමා ශාලා වලට යෑම වර්තමානයේ දී ඇමෙරිකාවේ බොහෝ දෙනෙකුට නීරස වූවක්. ඒත් මේ වගේ තැනක චිත්‍රපටියක් නරඹන එක රසවත්!!!

ප්‍රවේශ ශාලාවේ බිත්ති සැරසිලි වලට පරණ චිත්‍රපටි වල පෝස්ටර් දාලා තියෙනවා. බිලියර්ඩ් ගහන මේසයක් ද (මෙහෙ කියන්නෙ පූල් කියලයි) සෙල්ලම් කරන්න පැත්තකින් දාලා තිබුණ. කටගැස්ම, ආහාර සහ අතුරුපස ගන්න පුලුවන් වුනාට ඒවා එකක් වත් ගත යුතුයි කියලා නීතියක් නැහැ. කෑම බීම නොගෙන චිත්‍රපටිය විතරක් බලලා යන්න පුලුවන්.

සුදු අප්පුහාමි නැතිව අලුත්ම ස්ටාර් ට්‍රෙක් චිත්‍රපටිය බැලුවයි කියල කිව්වම එයාට පොඩ්ඩක් දුක හිතුන. ඒත් මම කවදාවත් මෙහෙම සිනමා හලකට ගිහින් නැහැනෙ කිව්වම ආ එහෙනම් දැකබලා ගත්ත එක හොඳයි කිව්ව. අපේ පළාතේ මේවා නෑනේ. රටේ ජනතාව වෙනුවෙන් අනේක වූ පහසුකම් හා බඩු භාණ්ඩ සපයන්නට වෑයම් ගන්නා අය නොඅඩුව මේ රටට ආපු නිසා තමයි මෙහි ආර්ථිකය දියුණු වෙලා තියෙන්නෙ. දියුණුව කරා යන්නට අවශ්‍ය තහනම් සහ බාධක ගෙන ඒම නෙවෙයි. පරිසරයට හෝ තවත් මනුෂ්‍යයෙකුට හානියක් නොවන්නේ නම් තමන් කැමති දෙයක් කරන්නට මිනිසාට ඉඩක් ලබා දීමයි.

IMG_7205 IMG_7206 IMG_7208 IMG_4662

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on මැයි 30, 2013 at 9:03 පෙ.ව.

    අපිනං ලංකාවෙත් බියර් එකක් පුටුවයට තියං චිත්තරපටි බලනවා.

    • arunishapiro said, on මැයි 30, 2013 at 9:21 පෙ.ව.

      naleendilruksha,

      මිනිස්සු කරන්න කැමති දේවල් වලට තහනම් වැටුනාම රටේ දියුණුවක් සිද්ධ වෙන්නෙ නැහැනෙ නලීන්. මිනිස් කැමැත්තට බාධක පැනවෙද්දී ඒත් මිනිසා කැමත්ත සොයා යන සත්වයෙක් නිසා, එයට හැකියාවක් තියෙන සත්වයෙක් ද වූ නිසා, නීත්‍යානුකූල නොවන හැදියාව පෝෂණය වී හැමෝම අවසානයේ අලාභ විඳින්නෙ.

  2. Kenji @ Japan said, on මැයි 30, 2013 at 10:52 පෙ.ව.

    ඔබ අලුත් දැකීම් ලබල සතුටු වී,පින්තුර/විස්තර සමග අපවද සතුටු කිරීම ගැන ස්තුතියි.
    ඔබලා ගිය වෙලාව සහ එම වෙලාවට පැමිණ සිටි පිරිස මොන වයස් කාණ්ඩ වලට අයත් කියල දැන ගැනීමට කැමතියි.

    • arunishapiro said, on මැයි 30, 2013 at 11:18 පෙ.ව.

      Kenji @ Japan,

      තොරතුරු බෙදා ගැනීමට ලැබීම මටත් සතුටක්.

      අපි දෙන්නා ගියේ සවස තුනේ දර්ශනයට. ඒ වෙලාවේ ඇවිත් හිටියෙ වයස 25-40 ත් අතර අය වැඩියෙන්ම. ඩෙලවෙයාර් හි අපි ඉන්නෙ පැත්තෙ වැඩියෙන් ඉන්නෙ වයස 50 ඉක්මවා ගිය අයයි. ඒත් සියෑටල් නගරයේ 25-50 අතර ජනගහණය තමා වැඩියෙන්ම ඉන්නෙ. සමහර විට ඒ මයික්‍රොසොෆ්ට්, ඇමේසන්, ගූගල් වගේ කොම්පැණි නගරයේ පවතින නිසා ද වෙන්නැති. සුදු අය වැඩියෙන් ද, ආසියානුවන් ඊ ළඟට ද (චීන සහ ඉන්දියාවෙන් ආපු අය) ඉන්නා අතර කළු සහ හිස්පැනික් අය අඩුවෙන් ඉන්න (සීතල නිසා විය යුතුයි) නගරයක්.

  3. wicharaka විචාරක said, on මැයි 30, 2013 at 2:38 ප.ව.

    මෙහෙ බියර් බොමින් චිත්‍රපටි නරඹන්න දුන්නොත් අපේ ඔලුවට බෝතල් පාරවල් එන එක වලක්වාගැනීමට හෙල්මට් දාගෙන තමයි චිත්‍රපටිය බලන්න වෙන්නේ. :D:D

  4. kkrox said, on මැයි 30, 2013 at 11:00 ප.ව.

    මම දන්නා විදියට ලංකාවේදී මැජෙස්ටික් , සැවෝයි සහ ලිබර්ටි යන ෆිල්ම් හෝල් වල බියර් විකුනනවා තව කොටුවේ රීගල් එකේ පල්ලෙහා තට්ටුවේ බාර් එකක්ම තියනවා නමුත් ඒ කිසිම තැනක ලොකු බිර වෙළදාමක් නැහැ බොහෝ වෙලාවට ලංකාවේ අපි ෆිල්ම් එකක් බලන්න යන්නේ එක්කෝ පෙම්වතියත් එක්ක නැත්නුම් ගෙදර අය එක්ක ඉතින් කොලු රෑනක් ගියොත් මිසක් චිත්‍රපටියක් එක්ක බිර රසවිදින අය ලංකාවේ අඩුයි

  5. Chandi said, on ජූනි 4, 2013 at 12:55 පෙ.ව.

    මේ ගමනට අපවත් එකතු කරගත්තාට සතුටුයි. කමෙන්ටුවක් නොදැම්මාට සේරම කියවනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: