අරුණි ශපීරෝ‍ වෙතින්

අලුත් පළාතේ අය හඳුනාගන්න හොඳම තැන

Posted in Uncategorized by arunishapiro on මැයි 31, 2013

IMG_7213

කිසිවෙක් නොදන්නා පළාතක පදිංචියට ආවට පස්සෙ හිමින් හිමින් පළාතේ අය කවුරුන් දැයි හඳුනාගන්න ඔවුන් හමුවෙන්න සුදුසු තැන් සොයා ගන්න ඕනෑ. තමන් ගැවසෙන ස්ථානය අනුවයි හමුවෙන අය මොන වගේ දැයි තීරණය වෙන්නෙත්.

බාර් වල දී වැඩියෙන් හමුවෙන්නෙ මත්පැන් වලට කැමති අය. පුස්තකාලයක දී හමුවෙන්නෙ පොත් වලට කැමති අය. හැබැයි පන්සල් පල්ලි ගියාම නම් හමුවෙන්නෙ පිනට දහමට කැමති අය විතරක් නම් නෙමෙයි. ඒ මොකද කියලා මගෙන් අහන්න එපා, එහෙම යැයි දැකලා තිබුනට එහෙම වෙන්නෙ ඇයි කියලා මාත් දන්නෑ!!!!

දුව පදිංචියට තෝරාගත්තු පළාතේ අයව හමුවෙන්න තැන් බොහොමයක් හොයාගත්ත. එකක් එහි පොත් කඩය. පළාතේ අයගේ “පොත් සමාජය” මාස්පතා හමුවෙන්නෙ එතැන දී. අනික් තැන ප්‍රජා මණ්ඩලය. එතැන චිත්‍ර අඳින, උයන, මහන, නටන, සිංදු කියන, යෝගා ව්‍යායාම් කරන වගේ වැඩ සටහන් රාශියක් ඒ ඒ වයස් අනුව පැවැත්වෙනවා.

ලබන සතියෙ පැවැත්වෙන සැතපුම් පහක් දුර දුවන/ඇවිදින පුංචි තරඟයක් ගැන දැන්වීමකුත් අපි හොයාගත්තා. ඒක පළාතේ නොමිලේ සපයන සේවාවන් සඳහා සල්ලි එකතු කරන්න පැවැත්වෙන උත්සවයක්. එහි දුවන්න/ඇවිදින්න බැරි අයට එහෙම ඉදිරිපත් වූවන්ට ජය පතන්න මග දෙපස රොක්වෙන්න පුලුවන්. එවැනි උත්සව වල දී හමුවෙන්නෙ එළිමහනේ කල් ගෙවන්න කැමති අයව.

ඇමෙරිකන් අයට පළාතේ වැසියන් එක්ක ගැවසෙන්න ලැබෙන තවත් අවස්ථාවක් තමයි ගරාජ් සේල්. අපි ටික කාලයක් වාසය කරපු මේන් ප්‍රාන්තයේ සීතල සිසිරයේ දී ද මිනිස්සු ගරාජ් සේල් වලට ගියෙ බඩු ගන්නවාට වඩා අසල්වැසියන් හා කතාබහට. සිසිර ඍතුවේ දී මේන් ප්‍රාන්තයේ පැවැත්වෙච්ච ගරාජ් සේල් වල දී උණු කෝපි කෝප්පයක් ලැබෙන එක ෂුවර්. ගමේ තොරතුරු සේරම හුවමාරු වෙන්නෙ එහි දී කියලා ඔවුන්ගේ කතාබහට සවන් දීගෙන හිටියාම කියන්න පුලුවන්. සියෑටල් නගරයේ දුව වාසයට තෝරාගත් පළාතේ සති අන්තයේ කිහිප දෙනෙක් එකතු වෙලා පවත්වන ගරාජ් සේල් එකක දිනය සටහන් කරගත්ත.

ඉතින් එහෙම සුදුසු තැන් සොයමින් සිටිය දී අපි පළාතේ පුංචි බේකරියකට ගොඩ වැදුනා. මෙය ජපන් සම්භවයෙන් යුතු කාන්තාවකට අයිති ප්‍රංශ බේකරි කෑම කඩයක්. රස නහර පිනා යන සුවඳට ඉව අල්ලමින් තමයි අපි ඇතුල්වුනේ.

එහි නම ප්‍රංශ බසින් “සිහිනයක්” යන අර්ථය ගෙන දෙන්නෙ. එහි අයිතිකාරිය වූ අන්ද්‍රියා නකාටා මහත්මිය අදහස් කරලා තියෙන්නෙ පළාතේ අයට ගැවසෙන්න සුදුසු ස්ථානයක් හදන්නලු. මෙහි විකිණෙන රස ආහාර පාන රාශියක්. තමන් තෝරාගන්න තේමාවකට අනුව අවන්හලේ උපන්දින උත්සව පවත්වන්න පුලුවන්. ඊට හරියන්න ආහාර විශේෂයෙන් ඔවුන් හදලා දෙනවා. තරුණ වයසේ අම්මලටයි තාත්තලටයි Date Night නොහොත් දරුවන් නැතිව සන්ධ්‍යාවක් ගෙවන්න සුවිශේෂී දවසක් ද ඔවුන් පවත්වනවා. ඒ වගේම කෙල්ලන්ට විතරක් වෙන් වූ රාත්‍රී භෝජන දිනයක් පැවැත්වෙනවා. පුංචි ළමයින්ට සහ වැඩිහිටියන්ට ද උයන සහ බේක් කරන පංති ද ඔවුන් පවත්වනවා. මේ අවන්හලෙන් සහ ඒ ඒ විශේෂ දවස් වල දී උපයන ආදායමෙන් කොටසක් ඔවුන් පළාතේ සමාජ සේවා සංවිධාන වලට ආධාර හැටියට දෙනවා.

අපි පළාතට අමුත්තන් බව දැක්ක නකාටා මහත්මිය ඇයගේ අවන්හලේ සෙනඟ පිරිලා හිටියත් අපි වෙත ඇවිත් කතාබහ කරන්න අමතක කළේ නැහැ. කොහෙන් දැයි ආවේ අහලා සංචාරයට පමණක් නොව දියණිය මෙහි වාසයට ද අදිටන් කරන බව දැනගත්තාම ඇයව ඉතා සාදරයෙන් පිළිගෙන දුවට ආයේ ඉක්මණින් හමුවෙමු යැයි කිව්වෙ නන්නාඳුනන බව සම්පූර්ණයෙන් තුරන් කරලා. වටපිට බලද්දී මට හිතුනෙ පළාතේ අයව හඳුනාගන්න හොඳම තැන එතැනයි කියල. එහි හුන් හැමෝම හැමෝවම හඳුනන බවක් පෙනෙන්ට තිබුණ.

IMG_7216

IMG_7215

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Kenji @ Japan said, on මැයි 31, 2013 at 9:58 පෙ.ව.

    හොද තැනක් වගේ.ඩොලර් 4ක් අතේ තිබුනම ඇති වගේ ටික වෙලාවක් ඉදල කයියක් ගහල එන්න.

  2. Tharu said, on ජූනි 3, 2013 at 2:13 පෙ.ව.

    ජපානයේ මත්සුයාමාවලදි මෙවැනිම අපුරු අවන්හලක් ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණ.. ලංකාවෙ මෙවැනි තත්තවයක් ඇති වේද? හිතන්න අමාරුයි.. කොළඹ අවට උණත් මෙවැනි සුහද හමුවීම්වලට ඉඩක් හදන තැන් තියන බවක් මං දන්නෙ නැහැ… අපේ කවියො මීවිත පුරන බාර් අත්දැකීම් ගැන අහල තියෙනවා ඇරෙන්න…

    • arunishapiro said, on ජූනි 3, 2013 at 6:56 පෙ.ව.

      Tharu,

      කොළඹ තියෙන Barefoot Gardens Cafe සුහද හමුවකට හොඳ තිප්පොලක්. අත්හදා බැලුවා ගිය අවුරුද්දෙ. ඒත් ලංකාවේ හැටියට එතැන මිල ගණන් ඉහළයි, මෙහෙ හැටියට මෙතැන හා සසඳා බලද්දී. ඒ එහෙම තැන් ලංකාවේ අඩු නිසා වෙන්නැති.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: