අරුණි ශපීරෝ‍ වෙතින්

කාසන් මන්දිරය

Posted in Uncategorized by arunishapiro on ජූනි 3, 2013

IMG_7414

කැලිෆෝර්නියාවේ යුරේකා නගරයේ පිහිටන මෙම නිවහන දැකලා හුරු පුරුදු යැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්.

හැලොවීන් කාලයට තමයි බහුල ලෙසින් එය නිරෑපනය වෙන්නෙ. වැඩියෙන් ම දකින්නෙ කාටූන් නිර්මාණ වලින්. හොල්මන් සැරිසරන තැන් එහෙමත් මේ අනුසාරයෙන් දක්වද්දී ඒවා අබලන් විදියට යොදා ගත්තට සත්‍යය නිවහන මෙහි පෙනෙන අන්දමට ඉතා හොඳින් නඩත්තු කරන්නක්.

ඉන්ගොමාර් සමාජය විසින් නිවහන මිල දී ගෙන තියෙන්නේ මෙහි උරුමක්කාරයන්ට එය විකුණා දමන්න අවශ්‍ය වූ විට. පුද්ගලික සමාජයක් නිසා ඔවුන්ගේ විශේෂ අවසරයක් නැතිව මෙහි ඇතුලත බලන්න හෝ ඇතුලත ඡායාරූප ගන්න මහජනතාවට අවසරයක් නැහැ.

පහත ඇති නිවහන ඇතුලත ඡායාරූපය ඉන්ගොමාර් සමාජයේ සභාපති ලවෙලේ ඊ. ඩැනියෙල්ස් මහතාගේ අවසරය ඇතිව එකතු කරන්නෙ. පින්තූරය ක්ලික් කළාම ඊට අමුණා ඇති ඔවුන්ගේ වෙබ් අඩවියට ගිහින් මේ නිවහන ඇතුලත තවත් ඉතා දැකුම්කළු පින්තූර රාශියක් දැකගන්නට පුළුවන්. යමක් හැදීම පමණක් නොව එහි සෑම සුළු අංගෝපාංගයක්ම විශිෂ්ඨ ලෙසින් නිමා කිරීමේ හැකියාව ද අනගි නිර්මාණයක ලක්ෂණයක්.

photo-upstairshall1

මෙම පුද්ගලික නිවහන හැදුවේ විලියම් කාසන් නැමැත්තා.

විලියම් කාසන් උපදින්නෙ කැනඩාවේ නිව් බ්‍රන්ස්වික් පළාතේ. 1849 දී රත්තරන් වාසනාව උරගා බලන්නට කැලිෆෝර්නියාවට ඇදී ආ අය අතරට ඔහු ද එක්වූවා. ඒත් රත්තරන් සොයාගන්න ඔහුට වාසනාවක් ලැබුනේ නැහැ. ලී මෝලක රස්සාවක් හොයාගන්න විලියම් විවාහ වෙන්නෙ තමා උපන් ප්‍රාන්තයෙන් ම ආපු සාරා සමඟ. ජෝන් මිල්ටන්, කාලොටා, චාල්ස් සම්නර් සහ විලියම් විල්සන් යනාදීන් ඔවුන් දෙදෙනාගේ දරුවන් හතර දෙනා වූහ.

1855 වෙද්දී රත්තරන් වෙනුවට ඔහු සොයාගන්නේ රතුලී (redwood) නොහොත් Sequoioideae කියන වසර දාහක් ජීවත්වෙන්න හැකි ලෝකයේ දැවැන්තම සහ උසම ගස්. දැන් එහෙම කිව්වාම අයෙක් මුලින්ම හිතනවා හැම රතුලී ගහකටම වසර දාහක් ජීවත්වෙන්න වාසනාව තියෙනවා කියල. ඊට පස්සෙ හිතනවා විලියම් කාසන් වැනි ලී කපන අය නිසයි එහෙම ගස් වලට වසර දාහක් ජීවත්වෙන්නයි රූස්ස ගහක් ලෙසට උස යන්නයි ලැබෙන්නෙ නැත්තෙ කියලත්.

ලැව්ගිනි මිනිසුන් නොමැතිවත් වියළි දේශගුණය පවතින පැතිවල නිතර හටගන්නා ස්වභාවික උවදුරක්. මෑත කාලයේ ස්වභාවිකව හටගන්නා ලැව්ගිනි නිසා කැලෑව මහත් විනාශයකට පත් වෙන්නට කළින් බේරාගන්නට මිනිස් උත්සාහයන් සමත් වී තිබෙන බව කිව යුතුයි. ගස් වලට හැදෙන ලෙඩ රෝග කල් ඇතුව හඳුනාගෙන මේ ගස් බේරාගන්නත් මිනිස් උත්සාහය සමත් වී තිබෙනවා. ගහක මුදුනකට කොට්ටෝරුවෙක් කෙටුවාමත් උස යෑම නවතින බව දන්නෙ ලෝකෙ සුලුතරයයි.

අනික, ගස් වලින් යැපෙන අයට තමයි වැඩියෙන් ම ගස් ගැන කැක්කුමක් තියෙන්නෙ. කාසන් මහත්තයා ආණ්ඩුවේ ඉඩම් වල ගස් කැපුවේ නැහැ. තමන්ට අයිති ඉඩම් වල ගස් ඔක්කොම කපලා දැම්මට පස්සෙ ජීවිකාව හොයාගන්නෙ කොහොම ද? යන්න ගස් කපන එකට විරුද්ධ අය හිතන්නෙ නැති දෙයක්.

අන්තර්ජාතික කඩදාසි සමාගම ටෙක්සාස් ප්‍රාන්තය වගේ තුන් ගුණයක් විශාල ඇමෙරිකාවේ භූමි ප්‍රමාණයක ගස් රැකබලා ගන්නා බව ඔවුන් කොටස්කරුවන් වෙත ඉදිරිපත් කරන අයවැය පොතක ලියා තිබුණ.

1855 දී තමයි විලියම් කාසන් සැන් ෆ්‍රැන්සිස්කෝ වෙළඳපොලට ප්‍රථම වරට රතුලී යවන්න සමත් වූයේ.

කාර්මික ඥානයෙන් විලියම් කාසන් හා ව්‍යවසායක අවදානමක් ගන්න එකතු වෙන්නෙ ජොන් ඩොල්බියර්. 1863 අප්‍රේල් මාසයේ දී ඔවුන් දෙදෙනා පටන් ගන්නා හවුල වසර 87 ක කාලයක් පැවතෙන ලද්දක්. 1881 දී ජොන් ගේ “ඩොල්බියර් හුමාලයෙන් දර කපන බූරුවා” නවොත්පාදනය නිසා මිනිස් ශ්‍රමය වෙනුවට මැෂින් බලයෙන් දර කැපීම නවීකරණය කරන්න ඔවුන් සමත් වූහ.

රේල් කොම්පැණි ආරම්භ කරන්නට ද විලියම් දායක විය. සැන් ෆ්‍රැන්සිස්කෝ වලට පමණක් නොව ඔවුන් ලෝකය පුරා ලී විකුණති. බැංකු තුනක් ආරම්භ කරන්නට විලියම් සහාය වෙයි. ඔහු සිය සේවකයන්ට ප්‍රමාණවත් වේතන, අඩු පැය වැඩ මුර හා ආහාර පාන ආදියෙන් හොඳින් සැලකූ බවටත් සමාජ සේවයේ නිහඬව සේවය කළ අයෙක් හැටියට පළාතේ අයගේ ගෞරවයට පාත්‍ර වූවෙක්. ඔහු නිරත වූ සමාජ සේවාවන් මොනවා දැයි අනිත් අය හොයාගන්නෙත් ඔහු මිය ගියාට පස්සෙ.

1884 දී රටේ ආර්ථික අවපාතයක් ඇති වෙච්ච වෙලාවක ලී විකිණීම අඩුවෙලා තියෙද්දී සිය සේවකයන්ට වැඩ හදන්නයි විලියම් මේ “ඈන් රැජින විලාසිතාව” නොහොත් වික්ටෝරියන් ගෘහ නිර්මාණ හැඩයෙන් වූ මන්දිරය හදන්නට පටන් ගෙන තියෙන්නෙ. “ලාබෙට හැදුවොත් අනිත් අය කියාවි මම මසුරු සිටාණෝ කෙනෙක් කියලා, වියදම් කරලා හැදුවොත් අනිත් අය කියාවි මම ලෝකෙට පෙන්නන්න හැදුවා කියල; ඉතින් ඒ නිසා මම හදන්නම් මගේ හිතට ගැලපෙන්නට,” යැයි ඔහු මේ නිවාසය හදන්නට යද්දී කියූ බව එම මන්දිරයේ වෙබ් අඩවියේ මුලින් ම සඳහන් වෙන්නක්.

වසර දෙකක් තුල මිනිසුන් සිය දෙනෙක් යොදවා හදන මේ තෙමහල් ප්‍රාසාදයේ කාමර අටක් සහ බිම් මාලයක් ද ඇත. සුප්‍රසිද්ධ නිව්සම් සහෝදරයන් එහි ගෘහ නිර්මාණ ශිල්පීන් වූහ. ඔහුගේ ලී මෝලට දකුණින් පිහිටන සේ මේ කාසන් මන්දිරය ගොඩනඟා ඇත.

1889 දී ඔවුන්ගේ පුත් ජෝන් මිල්ටන් විවාහ වෙද්දී මංගල තෑග්ගක් හැටියට ඔවුන් මේ නිවස අසලින් ඒ ගෘහ නිර්මාණ ශිල්පීන්ම භාවිතයෙන් තවත් මේ විලාසිතාවේම නිවහනක් ඉදි කරන ලදි. එහි රෝස සහ සුදු පාට පිටත නිසා එය පළාතේ හැඳින්වෙන්නේ රෝස ආර්යාව නමෙන්. කළින් සටහනෙන් එහි පින්තූරයක් බලන්න පුලුවන්.

මල්ලිගෙ පුතාට කාසන් මන්දිරය ඇතුලේ යූඑස් මරීන්ස් විසින් පවත්වන ලද බාල් නැටුමකට යන්න අවස්ථාවක් ලැබිල තියෙනවා. පුතා කිව්වෙ මන්දිරය ඇතුලත එහි වෙබ් අඩවියෙ දාලා තියෙන පින්තූර වල තියෙනවා වගේම ලස්සනයි කියල.

IMG_7410 IMG_7424 IMG_7427 IMG_7431 IMG_7428 IMG_7432

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: