අරුණි ශපීරෝ‍ වෙතින්

සිංහල පුවත්පත් කලාව ගැන අනගි පොත් දෙකක් කියැවීමි

Posted in Uncategorized by arunishapiro on ජූනි 5, 2013

IMG_7496

ඉලෙක්ට්‍රොනික් මාධ්‍යයකින්, ඒ කියන්නෙ අයිපෑඩ් හෝ කින්ඩල් එකකින්, කියවනවාට වඩා පිටු පෙරලන පොත් කියවන්නට වැඩි හුරුවක් තිබිච්ච නිසා තවමත් පොතේ අවසානයට ළඟා වෙලා ඇතැයි “දැනෙන්නෙ” ඉඳ හිටලා පිටු පෙරලන පොත් කියවද්දී පමණයි. අවසන් වෙන්නට 20% තියෙනවා කිව්වට ඒක අන්තිම පිටු විස්සක් අතට අහුවෙද්දී “දැනෙන” ගතිය නැහැ.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සඳගෝමී කෝපරහේවා ලියූ පොත් දෙකක් කියවන්නට වරම් ලද්දෙමි. එකක්, “සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ” අනෙක, “මාටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර”. සිංහල පුවත්පත් කලාවේ ඉතිහාසය ගැන ලියැවුන ද මේ පොත් දෙකෙන් ලාංකික සමාජ සංස්කෘතිය ගැන ද ඇබිත්තක් හෝ දැනුම එකතු කරගන්නට කැමති අයට ආචාර්ය සඳගෝමී කෝපරහේවා විසින් මහත් මෙහෙයක් ඉටු කර ඇත.

මුදලට යට නොවී කටයුතු කරනවා යැයි පාරට්ටු බාමින් එහෙත් මුදල් නොලැබෙන්නේ ද කිසිවක් නොකරන අය බොහෝ දෙනෙක් ලංකාවේ සිටින බව මගේ අත්දැකීමයි. එහෙම පාරට්ටු බාන්නේ නැතිව සත්‍යයෙන්ම මුදලට යට නොවී මහත් සේ වෙහෙසෙමින් සිංහල බාසාවට මෙහෙවරක් කරන්නට කැප වූ පිරිසක් ගැන මේ පොත් වලින් දැනගත හැකියි.

බෞද්ධ හිමිවරුන්ගේ දායකත්වය ලැබී සිංහල භාෂාවේ උන්නතියක් වූ අන්දම ගැන ද මනා විස්තර රාශියක් එහි සඳහන් වෙයි.

මේ පොත් දෙකම කියවාගෙන යද්දී කියවා අවසන් කළ පිටු, කියවන්න තියෙන පිටු වලට වඩා වැඩිවෙන කොට හිමින් හිමින් කියැවූයේ පොත් කියවා ඉවර කරන්න තිබ්බ ලෝබකමට.

මම දැන සිටි තොරතුරු අල්පයකට නොදැන සිටි තොරතුරු සම්භාරයක් එකතු කරන්නට හැකිවීම මහත් සතුටක්.

“සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ” පොතේ සිංහල පුවත්පත් කතුවරුන් 18 දෙනෙකුගේ චරිත ඇසුරින් පුවත්පත් කලාවේදීන් සිය පුරෝගාමී කාර්ය භාරයන් උසස් ලෙසින් ඉටුකරන්නට වෙහෙසුන සමයක් ගැන රසවත් ඉතිහාසයක් ආචාර්ය කෝපරහේවා සිංහල පාඨකයා වෙත පිරිනමා ඇත.

රජයේ ලියාපදිංචි කරන ලද ප්‍රථම සිංහල ප්‍රවෘත්ති පත්‍රය වන ‘ලක්මිණි පහණ’ 1862 සැප්තැම්බර් 11 වැනිදා අරඹන ලද්දකි. ආචාර්ය කෝපරහේවා විසින් ‘ලක්මිණි පහණ’ හි සංස්කාරක වූ කොග්ගල ජොහැන්නස් පණ්ඩිතතිලක ගැන ලියමින් පොත පටන් ගනියි. පුවත්පත ශාස්ත්‍රීය දැනුමට හෝ ආගමික වාද විවාද වලට කැප වීමකින් තොරව ගෙන ගිය කොග්ගල පඬිතුමාගේ පත්තර උත්සාහය සිංහලෙන් කියවන්නාට අවශ්‍ය වෙළඳ නිවේදන සඳහා ද ඉඩක් වෙන් කෙරුණක් විය.

ආචාර්ය කෝපරහේවාගේ මේ පොතේ අවසන් භාගය, පොත ඉවර වෙන්නට ළඟයි කියා “දැනෙන” හරියේ දේවල් තමයි මම දැන සිටි තොරතුරු අල්පයට අයිති බහුතර කරුණු කාරණා තිබුනේ. දවස නිවස නොහොත් ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පත්‍ර සියල්ලක්ම පාහේ අකුරු කියවන්නටත් බැරි කාලයේ පටන් මගේ අත ගැවසුනු ඒවා විය. ටිකිරි පත්තරේ පිටුවක් සරසන්නට අක්කාගේ පින්තූරයක් පළවීම නිසා පුංචි හිතක් ඊර්ෂ්‍යාවෙන් පෙළුනු දවසක් ගැනත් මතකයි!!!!! තාත්තට රස්සාව අහිමි කරමින් දවස නිවසට සීල් වැදිච්ච දවස ද අමතක නොවන දවසක්. ඒ හරියෙ විස්තර වැඩියෙන් හුරු නිසා වැඩියෙන් රස විඳින්න හැකි නිසා ඉවර වෙද්දී වැඩියෙන් දුකයි.

“මාර්ටින් වික්‍රමසිංහ පුවත්පත් කලා මෙහෙවර” පොතේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් දා සිට ග්‍රන්ථයෙන් උපුටා දක්වමින් 1920 ගණන් අගභාගයේ දී පුවත්පත් කලාවේදීන්ට පොදු සිංහලයන් විසින් එවන ලද “විවේචන” ගැන ආචාර්ය කෝපරහේවා සඳහනක් කර ඇත.

මම මාර්ටින් වික්‍රමසිංහ ලියූ උපන් දා සිට කියවා ඇත්තෙමි.

එහෙත් බ්ලොග් ලියන්නට පෙර වූ අතීතයේ දී ඒ පොත කියවද්දී මේ කොටස් ගැන මට කිසිත් ‘දැනුනේ’ නැත.

“ඔය ලියන අත කොර වෙයි. ඒ පැත්තේ අංසබාගේ හැදෙයි. අපායක් නැත. අමුතුවෙන්ම මැවුණු අපායකට පොළව පළාගෙන යයි. පවුල හැත්ත වරිගෙ හැඳි ගෑවෙයි.”

“සවසක උඹේ පපුවට පිහියෙන් ඇන ඒ සිදුරට කට තබා ලේ උරා බොනවා. උඹට ඒක කරන්න උඹේ පැටව් ටික නිසා මට කනගාටුත් හිතෙනවා.”

සිංහල පුවත්පත් කලාවේ වර්තමානය කෙසේ වුවත් සිංහල පාඨකයා නම් 1920 ගණන් අගභාගයේ දී මෙන් තවමත් ප්‍රතිචාර දැක්වීම ගැන පුද්ගලිකව හොඳහැටි දන්නා මම හඬ නඟා සිනාවෙන්නට වීමි.

රජයේ ලියාපදිංචි කරන ලද ප්‍රථම සිංහල පත්‍රය පටන් ගත් කොග්ගල පඬිතුමාගේ අදහසක් වූයේ පත්‍ර වැනි මාර්ගයකින් ශීලාචාර වීමට හැකියාව ලැබේවි යැයි කියාය. සිංහල පුවත්පත් විසින් පාඨකයා ශීලාචාර කරවීමට වෑයමක් දරා ඇත්දැයි විභාගයක් කවුරුන් හෝ කළොත් එය ද අනගි උත්සාහයක් වනු නිසැකය.

ශීලාචාර හැසිරීම යනු කුමක් දැයි නොදන්නා අයෙකුට ශීලාචාර විය හැකි ද?!!!!!!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ජූනි 5, 2013 at 11:43 පෙ.ව.

    ඒ අතරේ මෙන්න මෙහෙ ආයෙත් සැරයක් ජනමාධ්‍ය පාලන බිල්ලන් කරලියට ගෙන්න හදනවා.

    අර ගමන ගිහින් ආවාද?

    • arunishapiro said, on ජූනි 6, 2013 at 7:31 පෙ.ව.

      විචාරක,

      මෙහෙත් ආණ්ඩුව එහෙම උත්සාහයන් හිමිහිට කරන්න හදනවා. ඒත් හරියන්නෙ නැහැ රටේ ව්‍යවස්ථාව දන්න සහ අගය කරන අය ඉන්න නිසා.

      ඔව් විචාරක ආපහු ගෙදර. ගුවන්ගමන කෙටි වුනාට හරි වෙහෙසයි. ඔසාමා බිල් ලාඩන් ඇමෙරිකන්කාරයන්ව පරදවා ඇතැයි සිතෙනවා; මෙච්චර කාලයක් නිදහසේ රට ඇතුලත ගුවන් ගමන් බිමන් ගිය අයව දැන් අපරාධකරුවන් මට්ටමට දාලා. මේ මම ගුවන් මගීන් නිරුවත් කරවීම යැයි කළින් ලියපු සටහනක්. තමන්ගෙ පුද්ගලික ප්ලෙන් වලින් නැතිව යන ගමන ආරම්භ කරන ගුවන්තොටුපොළේ දී ශරීරය ස්කෑන් කරන මැෂින් එකක් ඉස්සරහා අත් දෙක උස්සලා කකුල් දෙක දෙපැත්තකට දාලා යටත්වෙමි කියන විදියට හිටගන්නට සෑම ඇමෙරිකන්කාරයෙක්ටම අද සිද්ධ වෙලා. බුෂ් පුතා ගෙනා සැලසුම. ඒකෙන් ලැබෙන විශේෂ ආරක්ෂාවක් නැහැ. වෙනම බලකායක් එම රෙගුලාසි අනුගමනය කරනවා දැයි සොයාබලන්න දාලා තියෙන නිසා රටට ඇති වියදමත් අධිකයි.

  2. Kenji @ Japan said, on ජූනි 6, 2013 at 7:40 පෙ.ව.

    ශිලාචාර හැසිරෙන්න පෙර එම අකුරු හතරෙ තේරුම දැනගෙන ඉන්න එපාය.තේරුම දැන ගන්නත් හරි හමන් විදියකට පාසැලකට ගිහිල්ල ඉගෙන ගෙන තියෙන්නත් එපාය.ලංකාවෙ ගොඩක් ඉන්නෙ වැස්සට ඉස්කෝල වලට ගොඩ වෙච්ච අයනෙ.
    මොකද ගමන නවත්වල පොත් කියවනවද :)?

    • arunishapiro said, on ජූනි 6, 2013 at 8:21 පෙ.ව.

      Kenji @ Japan,

      වැරැද්ද ඇත්තේ මෙතැනයි Kenji @ Japan, ශිලාචාර වීම කියා දෙන්නට පාසැලට බාර කිරීමයි. ශීලාචාර වන්නේ කෙසේදැයි දරුවාට කියා දෙන්න ඕනෑ දරුවෙක් හදන වඩන අය විසින් අතදරුවා කාලයේ දී පටන්.

      ගමන අවසන්. රිය පදවද්දී පොත් ඇහැව්වා. පොත් කියවන එක ගුවන් ගමනේ දී ද කළා. පොත් නැති ජීවිතය කුමකට ද?!!!! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: