අරුණි ශපීරෝ‍ වෙතින්

චීන ඇමෙරිකන් ජනාධිපති හමුව නිමිත්තෙන් චීන මුතු ඇට මාලය ගැන සටහනක්

Posted in Uncategorized by arunishapiro on ජූනි 7, 2013

20130608_IRP002_0

“පෙරදිග මුතු ඇටයයි මේ ..
ලෝකේ ..
සිරි බර ශ්‍රී ලංකා …” යැයි ගයන්නේ ලතා වල්පොල විසිනි.

චීන ආණ්ඩුවේ මැදිහත්වීමෙන් වරායන් ලෝකය පුරා ඉදිකිරීම “මුතු ඇට මාලය” යැයි දැක්වීම භූගෝලීය දේශපාලනමය සංකල්පයක් ලෙසින් ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ගෙනෙන ලද්දකි. ඇමෙරිකාව ගහන ලද මේ ලේබලය ගැන කිසිම විටෙක චීනයේ නිල වශයෙන් සඳහනක් කිසිවෙකුත් හෝ නොකළ ද ඉන්දියාවේ ජන මාධ්‍යයන් විසින් “මුතු ඇට මාලය” ගැන අදහස් දක්වා ඇත.

“මුතු ඇට මාලයක්” චීනය හදන්නේ හමුදාමය මෙහෙයුමකින් ලෝකයේ ආධිපත්‍යය අල්ලා ගන්නට යැයි අදහස පිළිගන්නට බොහෝ දෙනෙක් අකමැති වූහ. චීන ඉතිහාසය දැඩි වශයෙන් ආක්‍රමණශීලී නොවීම ඊට ප්‍රධාන හේතුවකි. අනෙක බිලියනයක් ඉක්මවන චීන ජනතාවගේ උවමනාවන් නොසලකා හැරීමෙන් ඇතුලත ගිනි ඇවිලී ආණ්ඩුවේ බලයට තර්ජනයක් ඇතිවීම සමාජ හා ආර්ථික ක්‍රමය වෙනස් කරගෙන යන කාලයේ දී ඔවුන් මුහුණ පාන දැඩි අවදානමකි. ඒ නිසා මෙය ලෝක ආධිපත්‍යයක් සොයනවා වෙනුවට ඔවුන්ට තමන්ගේ රටේ සාමය වඩා වැදගත් යුගයකි.

ගෝලීය ආර්ථික අවපාතය වැඩි වශයෙන් බලපෑම් කර ඇත්තේ කොමියුනිස්ට් ආර්ථික ක්‍රමයෙන් ඉවත් වී නැඟිටින්නට හදන චීනයටයි. චීන නිමි භාණ්ඩ වලින් බොහොමයක් පරිභෝජනය කළ ඇමෙරිකාව එන්න එන්නම සමස්ත බඩු මිල දී ගැනීම අඩුකරන බවක් පෙන්වයි. එක පැත්තකින් ඇමෙරිකාවේ රස්සාවල් චීනයට ගිය නිසා බඩු මිල දී ගත හැකියාව ද අඩු වී ගියා යැයි කියනු හැකියි. අනෙක් පැත්තෙන් රටේ ඉතිරි වුන නිෂ්පාදකයන්ගේ බදු ඉහළ ගිය නිසා සහ සෞඛ්‍ය පනත ගෙන ඒම නිසා අලුත් රස්සාවල් බිහිවීම ද අඩුවීමයි. ඒ තත්වයන් වෙනස් වෙන තුරු ඇමෙරිකාව විසින් 90 ගණන් මුල දී කළ පරිභෝජන මට්ටම් වලට යළි ඉක්මණින් පිවිසෙන්නට හැකියාවක් නැත.

බදු පහළ දැමීම සහ සෞඛ්‍ය පනත අහෝසිය ඇමෙරිකන් ආණ්ඩුව ලවා කරගත යුතු කාර්ය භාරයකි. නිමි භාණ්ඩ නිපැදවීම වෙනුවට නව ක්ෂේත්‍රයන්හි රස්සාවල් බිහි කිරීම ඇමෙරිකන් ව්‍යවසායකයන් සතු කාර්ය භාරයකි. ඇපල් කොම්පැණිය වැනි නවෝත්පාදනයේ පුරෝගාමීන් ඊට පිවිසීම දැනටමත් සිද්ධ වෙයි. එහෙත් ඇමෙරිකන් පාරිභෝගිකයා නම් තවත් දශයකයක් පමණ වත් ගෙවෙන තුරා 90 ගණන් මුල දී ලෙසින් අත දිග හැර පරිභෝජනයේ යෙදෙන්නට පටන් ගන්නා බවක් රටේ දකින්නට නොහැකියි.

සියෑටල් නගරයේ ද කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස් හි ද චීන ආයෝජන වලින් ඉදි වූ වරායන් වලින් චීන මුතු ඇට මාලය සකස් වෙද්දී ඒ වරායන් වලින් ප්‍රවාහනය වන භාණ්ඩ ප්‍රමාණයන් අඩුවීම නිසා ඔවුනට තරඟකාරී ලෙසින් ආදායම් උපයත හැකියාව ද අඩු වී යයි.

ආසියාවේ ආර්ථිකයන් නංවා ලීමේ වෑයම ආසියානු රටවල් ඇතුලත වානිජ්‍යය තුලින් සිද්ධ වෙන්නට නම් ආසියාවේ ආණ්ඩු ක්‍රමයන් ඉතා ඉක්මණින් සම්භව්‍ය ලිබරල්වාදී විය යුතුයි. එහෙත් එහෙම උත්සාහයක් යාන්තමෙන් හෝ සිද්ධ වෙන්නට පටන් ගෙන ඇත්තේ ඉන්දියාවේ පමණකි.

රටක ආර්ථිකයක් නැඟිටින තුරු ලෝකය නැවතී නොසිටියි.

පුද්ගලික අංශයක් යැයි නම් වූවක් ස්ථාපිතයට වෙරක් දරන චීනයේ පුද්ගලික ව්‍යවසායකයන්ට චීන ආණ්ඩුව විසින් කරන ‘හැකින්’ නිසා සිද්ධ වන්නේ සෙසු ලෝක ව්‍යවසායකයන්ගේ දැඩි අප්‍රසාදයට මුහුණ දෙන්නටයි.

උතුරුකරයේ මුහුදු මාර්ගය යනු ආක්ටික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා රුසියාව පැත්තෙන් බැරෙන්ට්ස් මුහුද සහ සයිබීරියාව පැත්තෙන් ගමන් කරන මුහුදු මාර්ගයකි. ගෝලීය උණුසුම සමඟින් දියවෙන අයිස් කුට්ටි නිසාත්, නව තාක්ෂණික සහාය ලැබීම නිසාත් මාස දෙකක් පමණක් ගමනාගමනයට හැකි වූ මෙම මාර්ගය අනාගතයේ දී ඊට වඩා කාලයක් තුල දී පාවිච්චියට ගත හැකි යැයි හඳුනා ගෙන තිබේ.

චීන මුතු ඇට මාලය මුහුදු කොල්ලකරුවන් ඉන්නා රටවල් ළඟින් නිමැවෙද්දී අයිස් කුට්ටි මැදින් තරණයට 1728 ගණන් සිට සමත් වූවන් වඩා ඉක්මණින් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරයට යන්නට කෙටි මාර්ගයක් පිහිටුවා ගැනීම වෙනස්වන තත්වයකි. එසේම මැද පෙරදිග තෙල් මිල දී නොගෙන ඇමෙරිකාවට තමන්ගේ ම ෂේල් නිධි වලින් තෙල් අඩු මිලට සපයා ගැනීමට හැකිවීම ද නුදුරු අනාගතයක දී වෙනස්වන තත්වයකි. ඇමෙරිකාවෙන් සහ රුසියාවෙන් ඛනිජ සම්පත් ඉහළින් යන ආක්ටික් කෙටි මාර්ගයෙන් අප්‍රිකාව මඟහැර ජපානය වැනි රටවල් වලට පටවන්නට හැකි වීමත් වෙනස් වන තත්වයකි.

යම් ව්‍යාපාර කටයුත්තක සාර්ථකත්වය රඳන්නේ අනාගතයේ වෙනස්විය හැකි කරුණු කාරණා බොහොමයක් මතයි. ස්ටීව් ජොබ්ස් ඇතුළු සගයන් ටික දෙනෙක් පටන් ගත්තු NeXT පරිගණක කොම්පැණියේ ඔවුන්ගේ ඉලක්කයන් වූයේ නුදුරු අනාගතය මත පදනම් වූ ඒවා පමණයි. ඉතා සාර්ථක ලෙසින් වෙළඳපොලට බලපෑමක් කරන්නට එම ව්‍යවසායකත්ව හැකියාව ලද්දේ ඔවුන් පාරිභෝගිකයා අපේක්ෂා කළ මුදලට සරිලන ලෙසින්, පවතිනවාට වඩා ඉතා විශාල කටයුතු සම්භාරයක් ඉටු කළ හැකි පරිගණක පද්ධති රාශියක්, ඉලක්ක කරගත් අය විසින් මිල දී ගන්නා කාලයට අනුව ඉදිරිපත් කරන්නට සමත් වීමෙන්.

පුද්ගලික ව්‍යවසායකත්වය අත්දැකීමෙන් දන්නා කරුණු බොහොමයක් ආණ්ඩුවක් නොදකියි. පුද්ගලික ව්‍යවසායකයා පරදුවට තබන්නේ තමන්ගේ ධනය හා තමන්ගේ දැනුම. ආණ්ඩුවකට දැනුමක් නැහැ. ආණ්ඩුවේ බලය පවත්වා ගැනීමට ආණ්ඩුවේ ගැත්තන් දැනුම සපයති. රටේ සංවර්ධනය නොව ඔවුන්ගේ ඉලක්කය බලයේ සිටීම පමණකි. ආණ්ඩුවක් විසින් කරන ආයෝජන රටේ සල්ලි නිසා තමන්ගෙ සල්ලි වලට වගේ සැලකිල්ලක් දක්වන්නට ආණ්ඩුවේ සේවය කරන හැම අයෙක් ම කැපවෙන්නේ ද නැහැ. ඒ වගේ ම තම නිලය ආරක්ෂා කරගන්නට ඉහළින් එන නියෝග පිළිපදින්න සිද්ධ වීම නිසාත් පුද්ගලික ව්‍යවසායකත්වයට වඩා ඉතා හිමින් ආණ්ඩුවක් පිවිසෙන ව්‍යවසායක උත්සාහයක් සිද්ධ වෙන්නෙ.

අලුතින් ඇතිවන සියළු වෙනස්කම් වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමට නොහැකියාව නිසා ආණ්ඩුවක් මැදිහත්වන ව්‍යවසායකත්වය හැම විටම පසුගාමීයි. චීන ව්‍යවසායක උත්සාහයන් වල දී චීන ආණ්ඩුවේ මැදිහත්වීම් මහත් බව ලොව දැන සිටියත් විනිවිදතාවයෙන් තොර වූ ආණ්ඩු ක්‍රමයක දී ඔවුන් කොතරම් පාඩු විඳිනවා ද හෝ ලාබ උපයනවා ද යන්නත් සොයා ගැනීමට අසීරුයි. අනුන්ගේ දැනුම සහ නව අදහස් සොරාගත්ත ද එය ද දීර්ඝ කාලීන දියුණුවක් කරා යන්න හැකි මාර්ගයක් නොවේ.

මැදිහත්වීම් දැඩි සේ අගය කරන ඔබාමා නිසා ඇමෙරිකන් ආර්ථිකයේ නැඟිටීමක් නුදුරු දිනයක දී දැකිය නොහැකියි. කුමන ජනාධිපතිවරයෙක් මුලසුන ගත්ත ද කාලාන්තරයක් තිස්සේ පවතින ක්‍රමයෙන් ගැලවීම චීනයට අති දුෂ්කර ය. එහෙයින් අද පැවැත්වෙන චීන ඇමෙරිකන් ජනාධිපති හමුව නිසා රටවල් දෙකෙන් එකකට වත් මෑත කාලයක දී ලැබෙන යහපතක් නැත.

යම් රටක දියුණුවක් ඇතිවෙන්නේ එහි ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නොව එහි ආයෝජන කරන්නට කැමති විවිධ ව්‍යවසායකයන්ට රිසි සේ අවදානම් ගන්නට ඉඩ දීමෙනි. එය නොකරන්නේ ද, ඇමෙරිකාව වේවා, චීනය වේවා, හෝ පෙරදිග මුතු ඇටය වේවා, ලස්සන මුතු ඇට මාලයක මුතු ඇට වෙන්නට ලැබුණත් අවසානයේ දී එහි ලස්සන නරඹමින් එයට වැය කළ මුදල් වලට පොලී ගෙවමින් ආර්ථික බංකොළොත් බවින් ඉන්නට සිද්ධ වේ.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Raj said, on ජූනි 7, 2013 at 10:41 පෙ.ව.

    කෙසේ වෙතත් ලක් මුතු ඇටය දෙසට කෙල හලන චීනය හා ඇමරිකාවේ දිවග ඛේටය තවම සිඳි ගොස් නැත…ඇත්ත රටක් දියුනු වීමට ව්‍යවසායකයන්ට රිසිසේ හැසිරිමට ඉඩදිය යුතු උවත් ලිබරල් ආර්ථිකයට මා යම්තාක් දුරකට බයවිමි…!!!

    • arunishapiro said, on ජූනි 7, 2013 at 11:34 පෙ.ව.

      Raj,

      කෙල හලන අය නම් තව ඕනෑ තරම් ඉන්නවා .. සමහරු බයයි කටේ දාගත්තම හපේ විතරක් ලැබේවි කියල.

      ලංකාවේ පුද්ගලික ව්‍යවසායකයන් අල්පයක් පමණයි ඉන්නෙ; කුඩා පරිමාණ ව්‍යාපාර කරගෙන යන. පවතින ආණ්ඩුවකට හේත්තු වන දේශපාලන ව්‍යවසායකයන් තමයි බහුතරය හා වැඩියෙන්ම ධනවත් කොටස. ඒ නිසා සම්භව්‍ය ලිබරල් ආර්ථිකයක් යනු කුමක් දැයි පවා වටහා ගන්නට ලංකාවේ ජනතාවට නොහැකියි. දේශපාලන ව්‍යවසායකයන් ගැන නම් සෑහෙන්න බය වෙන්න ම ඕනෑ.

      • අරුණි අක්කා… නිදහසෙන් පසු… අඩු ගනනේ හැත්තැදෙකෙන් පසු… පවතින රජයන් වල හිතවතුන් විතරමයි නේද ව්‍යාපාරික පැත්තෙන් දියුණු වී ඇත්තේ… දාස ලගෙ ඉඳන් ඇලෝසියස්, ධර්මදාස ල හරහ ධම්මික පෙරේර ලට එනකන් එහෙම නේද… ඉතින් ස්වාධීන ව්‍යවසායකයන් මතුවෙයි කියල අපි බලාපොරොත්තු වෙන්නෙ කොහොමද මේ ක්‍රමය ඇතුලෙන්..

        • arunishapiro said, on ජූනි 8, 2013 at 9:35 පෙ.ව.

          සපතේරු උන්නැහේ මල්ලි,

          පුංචි ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙකු හැරෙන්නට අනිත් හැමෝටම පවතින රජයට හේත්තු වෙන්න සිද්ධ වෙන විදියට තමයි ලංකාවේ ව්‍යවසායකත්වය හැඩ ගැසිලා තියෙන්නෙ. ආණ්ඩුව ගෙනෙන රෙගුලාසි වලින් පුංචි මිනිසාව ආරක්ෂා වෙනවා යන මිථ්‍යාව තමයි ඒවා යහමින් ගෙනෙන්නට ආණ්ඩුවට හැකියාව ලැබෙන්නෙ. ඉතින් රාජ්‍ය රෙගුලාසිකරණයෙන් තමන් ආරක්ෂා වෙනවා යැයි ලංකාවේ පුරවැසියන් විශ්වාස කරන තාක් කල් ස්වාධීන ව්‍යවසායකත්වයක් ඇති වෙන්නෙ නැහැ. දැනට ලංකාවේ පාරිභෝගිකයා ඉදිරියේ ඇති තෝරා ගැනීම් රජය විසින් අනුමත කරන ඔවුන්ගේ ගැත්තන් විසින් ව්‍යවසායකත්වයේ යෙදෙන භාණ්ඩ හා සේවා වලට සීමිතයි. මිල දී ගැනීම සහ නොගැනීම තීරණය පමණකින් ව්‍යවසායකත්වය රෙගුලාසිකරණය පාරිභෝගිකයා අතට ගන්න හැකිවෙච්ච දාට පමණයි වැඩියෙන් තෝරාගැනීම් වෙළඳපොලට ලැබිලා රජයේ ගැත්තන්ටත් අනිත් අය සමඟ තරඟ කරන්නට සිද්ධ වෙන්නෙ. ලාබය යන්න කුමක් ද සහ ගණුදෙනු යනු කෙසේ සිද්ධ වෙන්නක් ද යන්න ගැන ජනතාවට හරි අවබෝධයක් ලබා දෙන්න පුළුවන් නම් මේ ක්‍රමයට වඳින්න කවුරුත් කැමති වෙන්නෙ නැහැ.

          • සමන් said, on ජූනි 10, 2013 at 3:57 පෙ.ව.

            සංගමයක් අටවා ගැනීම මගින් මිල කෘතිමව තබාගැනීම ලංකාවෙ බහුලයි. උදාහරණ, පුද්ගලික බස් රථ – සංගම් අටවාගෙන ස්ට්‍රයික් කරනවා යැයි තර්ජනය කරමින්- ආන්ඩුව සහ සගම් එකග වන මිලක් තීරනය කිරීම. පාසැල් වැන්- මුලු ලංකවෙම පාසැල් වැන් එකතුව සංගමයක් අටවාගෙන මිල තීරනය කිරීම. කවුරුන් හො අලුත් වැන් එකක් අඩු ගානට දැම්මොත්, මිල වැඩි කිරීමට තර්ජනය කිරීම හෝ එකග නොවුන හොත් ඒයාට ගුටි දීම. චැනල් සෙන්ටර්, නිල නොවන මට්ටමින් , එකගවූ මිලගනන් ( සැමවිටම සැමතැනම )පවත්වාගෙන යාම- උදාහරණ Oඵ්ඩ් – 250/-, චැනල් 1500/-, හැම තැනම . තේරීමක් කල නොහැක. “මිල දී ගැනීම සහ නොගැනීම තීරණය පමණකින් ව්‍යවසායකත්වය රෙගුලාසිකරණය පාරිභෝගිකයා අතට ගන්න හැකිවෙච්ච දාට”.මෙහෙම දවසක් එන්නේ කොහොමද ඉන්න පොඩි , ලොකු ව්යවසායකයන් සියල්ල එකතුවි, නියම කරන මිලට ගැනීමට මිනිස්සුන්ට නියම කරනවා නම්?මිනිස්සුට පයින් යන්න බැහැ. බේත් නොගෙනත් බැහැ. තෝරා ගැනීම් කරන්න අවස්ථාවක් නැ.සන්ගම් අටවා ගන්න එප කියන්නේ කවුද කොහොමද?

            • arunishapiro said, on ජූනි 10, 2013 at 10:00 පෙ.ව.

              සමන්,

              ධනවාදී ආර්ථිකයක් කිව්වට එහෙම එකක් ලංකාවේ නැතිකම පෙන්වන්නේ මෙතැන දී තමයි. ලංකාවේ තියෙන්නෙ සමාජවාදී ආර්ථික ක්‍රමයක්. මිල පාලනය එක පැත්තකින් ද සහනාධාර තව පැත්තකින් ද දෙන අවුලක්. ඉතින් කිසිම භාණ්ඩයක හෝ සේවාවක සත්‍ය මිල ගණන් දැන ගැනීමට නිෂ්පාදකයන්ට, පාරිභෝගිකයන්ට ඇතුළු මිල පාලනය කරන අයට උපදෙස් දෙන අර්ථ ශාස්ත්‍රඥයන්ට පවා නොහැකියි.

              ආණ්ඩුවෙන් හෝ සංගමයක් අටවා ගෙන හෝ කරන price-fixing නොමැති වීම ධනවාදී ආර්ථික ක්‍රමයේ වැදගත් ලක්ෂණයක්. ඒ නිසාම නොයෙක් මිල ගණන් යටතේ නොයෙක් ප්‍රමිති මට්ටම් වලින් යුතු භාණ්ඩ හා සේවා රාශියක් වෙළඳපොලට ලැබෙනවා.

              සංගම් අටවා ගැනීම සිද්ධ වෙන්නේ මිල පාලනයක් ඇති නිසයි. මුලින් ම, ප්‍රමිතිය අඩුවෙනවා සහ මිල ගණන් ඉහළ යනවා යැයි පාරිභෝගිකයා බිය වද්දා (මෙහි දී වෙළඳ මොනොපොලි ගැන කියමින් ජනතාව බියගන්වන අය ආණ්ඩුවේ මොනොපොලි හා මෙවැනි සංගම් වල මොනොපොලි ද එවැනිම විනාශකාරී බවකින් යුතු යැයි කියා දෙන්නේ නැහැ) ආණ්ඩුව විසින් කරගෙන යන මිල පාලනය අහෝසි කළ යුතු යැයි ජනතාවට අවබෝධයක් ලබා දෙන්න ඕනෑ. මෙහි ආර්ථික සත්‍යය කුමක් දැයි ජනතාවට පහදා දෙන්න ඕනෑ. එනම්, මිල පාලනයක් සහ සහනාධාර නැතිකල අනගි භාණ්ඩ හා සේවා අඩුම මිලට සපයන්නට හැකි වූ වෙළෙන්ඳා වෙන්නට නිදහස් වෙළඳපොලක දී හැම වෙළෙන්ඳෙකුටම තරඟ කරන්නට සිද්ධ වෙන බව අවබෝධය. මිල පාලනයක් නැති වෙද්දී සහනාධාර බෙදා දීම ද ආණ්ඩුවෙන් ඉවත් කළ යුත්තක්. එහි ආර්ථික සත්‍යය කුමක් දැයි ජනතාවට පහදා දෙන්න ඕනෑ. එනම්, යම් භාණ්ඩ හා සේවා වලට දෙන සහනාධාර යනු අනෙක් භාණ්ඩ හා සේවා මත වැඩි බර පැටවෙන වැයකි. වෙළඳපොලේ භාණ්ඩ හා සේවා මිල තීරණය කරන්නට “අදිසි හස්තය” හෙවත් මහජන කැමැත්තට බාර දිය යුතුයි. මහජන කැමැත්ත යනු එක් අයෙකුගේ කැමැත්ත නොව භාණ්ඩ සහ සේවා මිල දී ගන්නා සහ නොගන්නා සියල්ලන්ගේ ම කැමැත්ත පෙන්වන්නයි. එහි ප්‍රතිඵලය අඩු මිලට අනගි භාණ්ඩ වෙළඳපොලට ලැබීම.

              ඉතින් මේ ආර්ථික සත්‍යයන් ගැන අවබෝධය ලැබෙන අය රටේ වැඩිවෙද්දී, (මේ දවස්වල ඇමෙරිකාවේ ද ඒ අවබෝධය ඇති අය අඩුයි) ආණ්ඩුවෙන් සහ සංගම් වලින් මිල තීරණයන් කිරීම නවත්වා ගන්නට පුලුවන්. මන්ද ආණ්ඩුවක් බලයේ පවතින්නේ ජනතාවගේ කැමැත්ත ඉටු කරනවා කියමින්. සංගම් රටක පවතින්නේ ද ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියමින්. ඔවුන් දෙගොල්ලන්ම බලයේ සිටින්නට වෙර දරනවා මිසෙක ජනතාවට කරන යහපතක් නැති බව වැටහෙන වැඩි ජනතාවක් ඇත්නම් ප්‍රජාතන්ත්‍රවාදයක දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කරගෙන, සංගම් විසිරුවා හරින්නට හැකියි.

              • සමන් said, on ජූනි 10, 2013 at 1:09 ප.ව.

                ස්තුතියි පැහැදිලිකිරීමට.
                ලංකාවේ ආසන්න වශයෙන් හරි මේ වගෙ වෙලදපොල්වල් කීපයක් දකින්න පුලුවන්.
                ජංගම දුරකථන සමාගම් ( සිම් එකක් රුපියල් 50 තියනවා දැන් පේමන්ට් එකේ ). anything.lk ikman.lk වගේ online වෙලද පොලවල්. ප්‍රශ්නෙ තියන්නෙ නිදහස් වෙලදපොල ගතිකයන් වලින් පාරිභෝගිකයා ට අත්ය්‍යාවශ්‍ය ද්‍රවය වල මිලගනන් පහල යන , ගුනාත්මක තත්වය ඉහල යන වාතාවරනයක් නොමැතිවීම.
                උදාහරණ, සහල් වෙලදපොල : අතිරික්ත සහල් නිශ්පාදනය උනත්, සහල් වෙලදපොල ක්‍රියාත්මක වන්නේ වෙලදුන් කීප දෙනෙකුට උවමනා ලෙසටයි.
                භයානකම දෙය වෙනත් අයට වෙලදපොලට ඇතුල්වීම මොවුන් විසින් බලෙන් හෝ වැලක්වීමයි.ක්ර්‍ෂි නිශ්පාදන සියල්ල මිල්දී ගන්නා වෙලදපොල කිසි ලෙසකින් හෝ නිදහස් නොවේ.පුද්ගලික බස් සෙවය, පාසැල් වැන් රථ් සේවය,පුද්ගලික රෝහල්, ටියුෂන් ක්ලාසස්, ත්‍රී වීල් රථ පවා, මෙහෙමයි.මෙහෙම හිතන්න. ගමනට ගතවෙන පිරිවැය 30/-. හන්දියෙ ත්‍රි වීල් රථ කරුවන් සියල්ලන් එකතුවී තීරනය කරනවා 200/- ගන්නවා කියලා. මිනිසුන් ට චොය්ස් එකක් නැ. කෙනෙක් හිතනවා, ත්‍රීවීල එකක් දාල 100/- අරන් මේ මාර්කට් එකට එන්න. මෙහෙ තියන විදිහ තමා ත්‍රී වීල් ස\ගමය එකතු වෙලා අලුත් කෙනාත් 200 ගානට සේවාව සපයන්න කියලා බල කිරීම. නැත්නම් ගුටි දී එලවා ගැනීම.. මෙන්න මේ කාරනයෙදී ආන්ඩුව මැදිහත් වෙන්න ඕනි නෙද ? ( හොද ආන්ඩුව ), 100 සේවාව දෙන්න පුලුවන් කෙනාටත්, 200 අයත් එක්ක එකම වෙලදපොලක සිටීමට පරිසරය සකස් කිරීම?මේක හොද ආන්ඩුවක වගකීමක් නේද?

                • arunishapiro said, on ජූනි 11, 2013 at 9:52 පෙ.ව.

                  සමන්,

                  ජංගම දුරකතනය ජනතාව බාරගත්ත ඉක්මණට නීති ගෙන්න හැමදාම ඉබි ගමනින් වැඩ කරන ආණ්ඩු වලට දුෂ්කර වූවා. ඒත් දැන් මෙහෙත් ඒවාට නීති ගෙන්නට රටේ ආරක්ෂාව පිණිස අධීක්ෂණය යැයි කියමින් උත්සාහය ගන්නවා.

                  //ප්‍රශ්නෙ තියන්නෙ නිදහස් වෙලදපොල ගතිකයන් වලින් පාරිභෝගිකයා ට අත්ය්‍යාවශ්‍ය ද්‍රවය වල මිලගනන් පහල යන , ගුනාත්මක තත්වය ඉහල යන වාතාවරනයක් නොමැතිවීම.// මෙයට හේතුව රට ඇතුලත නිෂ්පාදකයන්ට අනගි බඩු හදා වැඩියෙන් ලාබ සොයන්නට හැකි යැයි කියන විශ්වාසය නැතිකම සහ පිටරටින් ගෙනන බඩු ආණ්ඩුවේ තීරණ අනුව අවසර ලැබීම නිසා දේශීය නිෂ්පාදකයාට තරඟයකට මුහුණ දෙන්නට සිද්ධ නොවීම. චීන බඩු එක්ක තරඟ කරනවා වගේ නෙමෙයිනෙ ජපන් බඩු එක්ක තරඟ කරන්න සිද්ධ වුනොත්!!!

                  ලංකාවේ සහල් කර්මාන්තය තනිකරම රටේ ආණ්ඩුවේ නීති රෙගුලාසි යටතේ පවතින්නක්. පොහොර සහනාධාර සහ සහල් මිල පාලනය නිසා එතැන නිදහස් වෙළඳපොලක් නැහැ.

                  ඔව් භයානකම දේ තමයි අලුත් අයට වෙළඳපොලේ තරඟයට ඉඩක් නොලැබීම.

                  නැහැ ආණ්ඩුව මැදිහත් වීම නෙමෙයි සිද්ධ වෙන්න ඕනෑ, ආණ්ඩුව කළ යුත්තේ වෙළඳපොල රෙගුලාසිකරණයෙන් අයින් වීමයි.

                  අනික හොඳ ආණ්ඩුවක් කියල එකක් නැහැ; ඕනෑම ආණ්ඩුවක් යනු එයට පැවරී ඇති කාර්ය භාර්ය නිසාම අත්‍යාවශ්‍ය වූ රාක්ෂයෙක්. යහපත් සමාජයක් සඳහා අවශ්‍ය වන්නේ ඒ නිසා බලතල වලින් අඩු කුඩා රාක්ෂයෙක්.

  2. Chandi said, on ජූනි 10, 2013 at 10:56 ප.ව.

    ලෝකයේ කුමන නිපැයුමක් අළුතින් නිපදවූවත් ටික දිනකින් එය චීනෙන් ඉතා බාල ලෙස නිපදවයි. ඉතින් මේ නිපැයුම් වල තත්වය ආරක්ෂා වෙන්නෙ කොහොමද?
    අපේ රටේ මාර්ග පද්ධතියට ඔවුන් දෙන දායකත්වය වැදගත්. නමුත් කාලයකදී රටට දරන්නට වන බර කොහොම වෙයිද දන්නෙ නෑ.

    • arunishapiro said, on ජූනි 11, 2013 at 10:01 පෙ.ව.

      Chandi,

      බාල බඩු හදන එක දීර්ඝ කාලයක් කරගෙන යන්න බැහැ. දැනටමත් චීනයේ නිෂ්පාදනය අඩු වී ගිහින්. චීනයේ සල්ලි තියෙන කෙනෙක් පවා ගන්නෙ බාල කොපි නොවන බඩු.

      දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය මිලිටරි බඩු හැදීම නවතා අනිත් බඩු හදන්නට පටන් ගනිද්දී මුලින් ලොවට දුන්නෙ බාල බඩු. කැමැත්තෙන් බඩු ගන්න රටවල් වල අන්තර්ජාතික වෙළඳපොල ඒ ජපන් බඩු ප්‍රතික්ෂේප කළා. ඊට පස්සෙ ජපන් වෙළෙඳ සමාගම් කොලිටියෙන් වැඩි බඩු ලෝකයට දෙන්න සෑහෙන්න උත්සාහයක් ගත්ත. ඒ ජපනා සමඟ කළ තරඟය නිසා තමයි ඇමෙරිකාවත් වැඩියෙන් ඉහළ බැවින් යුතු භාණ්ඩ නිෂ්පාදනයට පිවිසිලා තියෙන්නෙ.

      රටක ආණ්ඩුවක් විසින් ගණුදෙනු කරන්නේ කොයි රටවල් එක්ක පමණක් ද යන්න තීරණය කරද්දී රටේ වැසියන්ට ලැබෙන්නෙ නම් තමන් කැමති බඩු නෙමෙයි. හැබැයි ෂුවර් එකටම තමන් ඉල්ලපු නැති ණය බර.

      • සමන් said, on ජූනි 14, 2013 at 4:34 පෙ.ව.

        ලෝකයේ ලොකුම වෙලද නාම වලට භාන්ඩ නිෂ්පාදනය කරන්නේ චීනයේ ඇති එම සමාගම් වල කර්මාන්තශාලා වල හෝ, එම ආයතන වල තත්ව පරීක්ෂාව යටතෙ ක්‍රියාත්මක වන චීන කර්මාන්තශාලා වල.ඇමරිකානු වෙලද නාම ( ඇපල්, ඩෙල්, මොටරොලා,එසුස් විතරක් නෙමෙ, ක්‍රය්ස්ලර්, ෆොර්ඩ් වගේ සමාගම් වලටත් සමහර් උපාංග ). මේ උඩ කියලා තියන “චීන සමාගම්” කියන්නෙ මොනවද දන්නෙ නැ. තමන් පාවිච්චි කරන ලැප්ටොප් එක අනිත් පැත්ත හරවලා බලන්න කොහේද “මේඩ් ඉන් ” කියලා. නැත්නම් බැටරි එක අයින් කරලා බලන්න කොහෙද හදලා තියෙන්නේ කියලා. සැම්සුන්ග් , එල් ජී වගේම සොනි , නෙක් , වගෙ සමාගම් වලටත් මූලිකව සප්ලයි කරන්නේ චීන සමාගම්. හැබැයි ඒවා පරිපාලනය කරන්නේ තත්ව සහතික කරන්නේ ඒ බ්‍රැන්ඩ් අයිති සමාගම්. මේකයි තත්වය. ඒ වගේම සම්පූරනයෙන්ම චීන සමගම් දැන් ඉස්සරහට ඇවිත් තියනව. හුවාවෙයි ඉන් එකක්. ටෙලිකොමිකෙෂන් ස්විච් හදන සමාගමක්. මම හිතන්නේ දැන් එරික්සන් ( ස්වීඩන්) සමාගමත් පාරාද කරලා තියෙන්නේ. මෙකයි තත්වය.ස්වීඩන් වල ඉකියා ෂොප් එකකට ගිහින් බලන්න. කොච්චර චීන බඩු තියනවාද කියල. තමන්ගෙ ප්‍රමිතියට අනුව චීනට කියල නිෂ්පාදනය කර ගැනීම එ එ සමාගම් වල දක්ශතාවය. ඉල්ලන ගානට ඒ පිලිවෙලට නිශ්පාදනය කිරීම චීනා ගේ දක්ශතාවය,නිදහස් වෙලදපොල නිසා ඇතිඋන මේ තත්වයන් ගැන උද්දාමයෙන් කතා උනත්, චීනයට පහරක් ගහන්න ඕනි උනාම කබර ගොයත් තලගොයා කර ගන්නවාද මන්දා :). පොඩ්ඩක් බලන්න අයි පැඩ් කොහෙද හදන්නේ කියලා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: