අරුණි ශපීරෝ‍ වෙතින්

හොඳ කලා නිර්මාණය කරන්න -නීල් ගේමන්

Posted in Uncategorized by arunishapiro on ජූනි 9, 2013

Neil Gaiman

ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ 2012 කලා උපාධි ප්‍රදානෝත්ස්වයේ දී ආරාධිත කතාව පැවැත්වූයේ නීල් ගේමන් නම් ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛකයා විසිනි. මෑතක දී අසන්නට ලැබුණු විශිෂ්ඨ දේශනයක් නිසා මෙහි ගොඩවදින පාඨකයන් සමඟ එය මෙසේ බෙදා ගන්නට සිතුවෙමි. ලොකු කුඩා කාහටත් රසවිඳින්නට හැකි අනගි ප්‍රබන්ධ රාශියක් ඔහු අතින් නිර්මාණය වී ඇත. මේ දේශනයේ කියන ආකාරයෙන් ම “හොඳ කලාව” ලොවට පිරිනමා ඇති ඔහුගේ කතන්දර පාඨකයාව අමුතුම ලෝකයකට කැඳවාගෙන යයි. පින්තූරයේ ලින්ක් එකට කෙටුවාම එය ඔහු ඉංග්‍රීසියෙන් කියූ අන්දමෙන් ම ඇසිය හැකියි.

*******

මැයි 17, 2012

“මම කවදාවත් ඇත්තටම හිතුවෙ නැහැ උසස් අධ්‍යාපන ආයතනයකින් උපාධි ලබන අයට මම අවවාද දෙන්න එන කෙනෙක් වේවි කියල. මම එහෙම ආයතනයකින් උපාධියක් ලබා නැහැ. මම එහෙම ආයතනයක ඉගෙනීමක් පටන් ගෙන ද නැහැ. මම පුලුවන් තරම් ඉක්මණට ඉස්කෝලෙන් පැනගත්තු කෙනෙක්. මට උවමනා පරිදි ලේඛකයෙක් වීමට කළින් බලහත්කාරයෙන් තවත් වසර හතරක් උගන්වන දේවල් ඉගෙන ගන්නට සිද්ධ වුනොත් ඒක පීඩනයක් විදියටයි මම දැක්කෙ.

මම ලෝකයට පිවිසුනා. මම ලිව්වා. වැඩියෙන් ලියද්දී මම වැඩියෙන් හොඳ ලේඛකයෙක් වුනා. ඉතින් මම තවත් ලිව්වා. කිසිවෙක් අමනාප වුනේ නැහැ මම මවා ලියන කතන්දර ගොතමින් එහෙම යන ගමනට. ඔවුන් මා ලියන දේ කියවලා මට ගෙව්වා. සමහර විට ගෙව්වෙ නැහැ. නිතර පාහේ ඔවුන් වෙනුවෙන් වෙනත් දෙයක් ලියන්න යැයි කියා ද මට ගෙව්වා.

ඒ නිසා මගේ යහළු මිත්‍රාදීන් සහ පවුලේ අයට, විශ්ව විද්‍යාලයට ගිය අයට, ඒ උසස් අධ්‍යාපන ආයතන ගැන තිබිච්ච ගෞරවය හා ළැදියාව නැති වී ගිහින් තිබුණට මට ඒ ගැන තවම එම අදහස් තවමත් ඉතිරි වෙලා තියෙනව.

ආපසු හැරී බලද්දී, මට සෑහෙන්න අපූර්ව ගමනක් එන්න ලැබිලා. මම ඒකට වෘත්තීයක් යැයි කියන්නෙ නැහැ. මොකද වෘත්තීයක් කිව්වොත් එයින් ගම්‍ය වෙන්නෙ මට යම් විදියක වෘත්තීමය මාර්ගයක් තිබුණ කියලයි. මට එහෙම එකක් තිබුනෙ නැහැ. ඒ ළඟින් යන දෙයක් හැටියට මට තිබ්බෙ මම වයස 15 දී හදපු ලැයිස්තුවක්. ඒකෙ තිබ්බෙ මට කරන්න අවශ්‍ය දේවල් ඔක්කොම: වැඩිහිටියන්ට නවකතාවක් ලියන එක, ළමයින් වෙනුවෙන් කතාවක් ලියන එක, කොමික් එකක්, චිත්‍රපටියක්, ශ්‍රව්‍ය පොතක් නිර්මාණය, ඩොක්ටර් හූ වැඩ සටහනකට තිර රචනය .. ඒ විදියේ දේවල්. මට වෘත්තීයක් තිබ්බෙ නැහැ. මම ලැයිස්තුවේ තිබුණ ඊ ළඟට කළ යුත්ත කළා.

ඉතින් මම හිතුව මම එහෙම පටන් ගනිද්දි දැනගෙන හිටියා නම් හොඳයි කියල හිතුණ දේවල් ඔක්කොම ගැන ඔබට කියන්න. ආපහු හැරිලා බලද්දී ඒවායෙන් ටිකක් මම දැනගෙන හිටියා කියල මට හිතෙනවා. ඒ වගේම මම මට ලැබිච්ච හොඳම උපදේශය, එනම් ඒ මම අනුගමනය කිරීම සම්පූර්ණයෙන්ම නොකළා වූව ගැනත් කියන්නම්.

මුලින් ම: කලා අංශයෙන් ඔබ වෘත්තියක් පටන් ගනිද්දී ඔබට කිසිත් අදහසක් නැහැ ඔබ කරන්නේ කුමක් දැයි කියා.

මේක ශ්‍රේෂ්ඨයි. තමන් කරන්නෙ මොකක්දැයි කියලා දන්න අය රීති දන්නවා. කරන්න පුලුවන් මොනවා ද කරන්න බැරි මොනවා ද කියල දන්නවා. ඔබ එය දන්නේ නැහැ. ඔබ එය දැන සිටිය යුතු ද නැහැ. කලා අංශයේ දී කරන්න පුලුවන් සහ කරන්න බැරි මොනවා ද යන්න ගැන රීති හදලා තියෙන්නෙ සීමාවන් ගැන සොයාලා බලලා නැති ඒවාට ඔබ්බෙන් ගිහින් නැති අය විසින්. ඉතින් ඔබට පුලුවන් සීමාවන් ඉක්මවා යන්න.

කරන්න කොහෙත්ම බැහැයි කියලා ඔබ දන්නෙ නැත්නම් එය ඔබට කරන්න පහසුයි. මීට කළින් කිසිම කෙනෙක් කරලා නැත්නම්, ඒ කියන්නෙ එය කිරීම නතර කරන්නට කිසිවෙක් තවම රීති හදලා ද නැහැ.

දෙවැනියට: ඔබට හදන්න අවශ්‍ය දෙයක් ගැන යම් අදහසක් තියෙනවා නම්, ලෝකෙට ඔබ ඇවිත් තියෙන්නෙ එය කරන්න නම්, එහෙනම් ගිහින් එය කරන්න.

කියනවාට වඩා යමක් කරන එක ඉතා දුෂ්කර කාර්යයක්. සමහර විට අවසානයේ දී ඔබ හිතුවාට වඩා ඉතා පහසු වූවක්. මන්ද සාමාන්‍යයෙන් ඔබ යන්න හිතන තැනට යා ගන්න කළින් ඔබ විසින් කළ යුතු දේවල් තියෙනවා. මට ඕනෑ වුනා කොමික් ලියන්න, නවකතා ලියන්න, කතන්දර සහ චිත්‍රපටි ලියන්න. ඉතින් මම පුවත්පත් කලාවේදියෙක් වූවා. පුවත්පත් කලාවේදීන්ට ඉඩක් ලැබෙනවා ප්‍රශ්න අහන්න, ලෝකය වැඩ කරන්නෙ කොහොම දැයි ගිහින් බලලා දැනගන්න. අනික මම කැමති දේවල් කරන්න නම් මම ලියන්න ඕනෑ, හොඳට ලියන්න ඕනෑ. සකසුරුවම් ලෙසින්, පැහැදිලිව, සමහර විට අයහපත් කොන්දේසි යටතේ හා කාලයට සීමා වෙලා මම ලියන්න ඉගෙන ගත්ත කාලයේ දී මට පඩි ලැබුනේ එහෙමයි.

සමහර අවස්ථාවල දී ඔබේ අදහස අනුව කරන හැටි කෙසේදැයි පැහැදිලිව පෙනෙනවා. ඒත් සමහර අවස්ථා වල දී නිවැරදි දේ කරනවා ද නැද්ද යන්න කිසිම ලෙසකින් තීරණය කර ගන්න නොහැකියි. තමන්ගෙ අභිමතාර්ථයන් හා ඉලක්කයන් එක්ක තමන්ගෙ ආහාරපාන පිරිමසා ගන්න, ණය ගෙවන්න, වැඩ හොයාගන්න, යනාදියත් අනුව ඔට්ටු අල්ලලා ලැබෙන දේවල් ගන්න සිද්ධ වෙනවා.

මට සමහර අවස්ථා වල දී උපකාර වුනේ මම ඉන්න ඕනෙ කොතැන ද යන්න හිතින් මවාගැනීමයි. ලේඛකයෙක්, මූලික වශයෙන් ප්‍රබන්ධ ලියන අයෙක්, හොඳ පොත් ලියන කෙනෙක්, හොඳ කොමික් හදන කෙනෙක්, මගේ වචන වලින් මගේ ජීවිකාව උපයන අයෙක් – ඒක කන්දක්. ඈතක තියෙන කන්දක්. මගේ අභිප්‍රාය.

මම දැනගෙන හිටියා ඒ කන්ද වෙත මම ගමන් කරන තාක් කල් මට වරදින්නෙ නැහැයි කියල. කරන්න ඕනෑ මොකක් ද කියලා කිසිම ලෙසකින් හිතාගන්න බැරි අවස්ථා වල දී මට නවතින්න පුලුවන්. මාව ගෙනියන්නෙ කන්ද දිහාට ද නැත්නම් කන්දෙන් වෙනත් පැත්තකට ද කියල කල්පනා කරන්න මට පුලුවන්. සඟරා වල සංස්කාරක රස්සාවල් වලට මම බැහැයි කිව්ව. සුදුසු පඩි ගෙවන සුදුසු රස්සා වලට එපා කිව්වෙ, ඒවා කොච්චර ආකර්ශණීය වූවත් මට ඒවායෙන් සිද්ධ වෙන්නෙ මගේ කන්ද වෙතින් වෙනතකට යාම බව මම දැනගෙන හිටිය නිසයි. ඒ රස්සාවල් ඊට කළින් ආවා නම් මම ඒවා බාරගන්න ඉඩ තිබුණ. කලින් ලැබුණා නම් ඒවා මම බාර ගන්න ඉඩ තිබුණ, මොකද ඒවා කලින් ලැබුණ නම් ඒවා මා යන්න අදහස් කරන කන්දට කිට්ටු වෙච්ච නිසා.

මම ලියන්න ඉගෙන ගත්තෙ ලියලා. රසවත් නුහුරු ගමනක් (adventure) යැයි දැනෙනවා නම් මම එහෙම දෙයක් බාරගත්ත. වැඩ කරනවා යැයි දැනෙද්දී මා එය නැවත්තුවා. ඒ නිසා ජීවිතයේ දී වැඩ කරනවා කියල මට දැනුනෙ නැහැ.

තුන්වැනියට: පටන් ගැනීමේ දී අසාර්ථකත්වයේ ගැටළු වලට මුහුණ දෙන්න වෙනවා. හැම උත්සාහයක් ම හරියන්නෙ නැහැයි කියල ඉගෙන ගන්න නම් නින්දා අපහාස වලින් කලබල නොවන සිතක් තියෙන්න ඕනෑ. කලා ජීවිතය, ස්වාධීන රස්සාවල් කරන ජීවිතය, හරියට හුදකලා දූපතක සිට බෝතල් වලට පණිවුඩ ඇතුල් කර යවනවා වගෙයි. කාට හරි ඔයාගෙ බෝතලේ හමුවෙලා, ඒක ඇරලා කියවලා බලලා බෝතලේට මොනවා හරි දාලා ආපහු ගහාගෙන ඔබ වෙත ඒවි කියන අපේක්ෂාවෙන් ඉන්නවා වගේ. ඒ ආපහු ලැබෙන දේ අගය කිරීමක් වෙන්න පුලුවන්, යමක් නිර්මාණයට කරන ගෙවීමක් වෙන්න පුලුවන්, මුදල් වෙන්න පුලුවන් නැත්නම් ආදරය වෙන්න පුලුවන්. ආපහු එන හැම බෝතලයක් වෙනුවෙන් සියයක් දේවල් පා කරලා යවන්න ඕනෑ කියන එක ඔබට පිළිගන්න සිද්ධ වෙනවා.

අසාර්ථකත්වයේ ගැටළු යනු අධෛර්යය, බලාපොරොත්තු සුන්වීම, බඩගින්න යනාදියේ ගැටළු. ඔබට ඕනෑ ඔක්කොම මේ දැන් ඉටුකර ගැනීමයි. ඒත් වැරදෙන අවස්ථා තියෙනවා. මගේ පළමු පොත -මුදල් වලට ලියපු එකක්, මට ඇඩ්වාන්ස් එකක් හැටියට ලැබිච්ච සල්ලි වලින් ඉලෙක්ට්‍රොනික් ටයිප් රයිටරයක් ගන්න ලැබිච්ච අවස්ථාව- ඒක වැඩියෙන්ම අලෙවි වූව විය යුතු වුනා. ඒකෙන් මට ගොඩක් සල්ලි ලැබිය යුතු වුනා. ඒත් ප්‍රකාශකයා පළමු මුද්‍රණය අලෙවි වූ සැණින් දෙවැනි මුද්‍රණයට පෙර ඔහුගේ උවමනාවට නොව සමාගම විසුරුවා හැරියා. ඒ මට කිසිම පුරස්කාර (royalties) ගෙවන්න කළින්. එහෙම සිද්ධ වුනේ නැත්නම් එය වැඩියෙන් ම අලෙවි වූ මගේ උත්සාහය වෙනවා.

මම දෙවුර හකුළල, මගේ ඉලෙක්ට්‍රොනික් ටයිප් රයිටරේ සමඟ, මාස කිහිපයකට ගෙවන්න හැකි කුලී අතැතිව, තීරණය කළා අනාගතයේ දී මුදල් වලට පමණක් පොත් ලියන්නෙ නැහැ කියල. මොකද එවිට මුදල් ලැබුනේ නැත්නම් කිසිත් ලැබෙන්නෙ නැති නිසා. මට ආඩම්බර වෙන්න පුලුවන් දේවල් ලිව්වොත්, එතකොට මට සල්ලි ලැබුනෙ නැත්නම් එතකොට අඩු ගානේ මට ඒ නිර්මාණ වත් ඉතිරි වේවි.

ඉඳ හිටලා මට මේ රීතිය අමතක වෙනවා. එහෙම අමතක වෙනකොට විශ්වය මට හොඳ පාරක් ගහලා ඒක මට මතක් කරනවා. මේක අනෙක් අයට ද බලපාන දෙයක් දැයි මම දන්නෙ නැහැ. ඒත් මට නම් මුදල් වෙනුවෙන් පමණක් කළ කිසිම කටයුත්තකින් ලැබුණු ඵලයක් නැහැ. ලැබුනෙ කටුක අත්දැකීමක් විතරයි. බොහෝ දුරට මට ලැබෙන්න තිබිච්ච මුදල් පවා ලැබුනේ ද නැහැ. මා තුල හටගත් උද්‍යෝගය නිසා සත්‍ය ලෝකයේ ඒ නිර්මාණ දකින්නට මා හට උවමනා වූ නිසා මම කළ කාර්යයන් වලින් කිසිදාක මම ඊට යොදවපු කාලය ගැන පසුතැවිලි වූයේ නැහැ.

අසාර්ථකත්වයේ ගැටළු ඉතා දරුණුයි.

ඒත් සාර්ථකත්වයේ ගැටළු ඊටත් වඩා දරුණු වෙන්න පුලුවන්, මොකද කිසිවෙක් ඔබට ඒ ගැන අනතුරු දක්වන්නේ නැති නිසා.

යාන්තමින් හෝ සාර්ථකත්වයක් අත්වීමේ ගැටළු අතර පළමු වැන්න තමයි යම් දෙයක් කරලා ගැලවෙන්න ලැබුණා යැයි තමන් සිතීම. ඒක කුමන මොහොතක හෝ හෙළිවේවි යැයි සිතීම. අන්‍යයෙකු ලෙසින් පෙනී සිටින (වාට්ටාඩියා) සින්ඩ්‍රොම් එක, ඒකට මගේ බිරිඳ දාලා තියෙන නම තමයි වංචා පොලීසිය.

මම විශ්වාස කළා දොරට තට්ටු කරන හඬක් මට ඇහේවි කියලා, ක්ලිප් බෝඩ් එකක් අතින් ගත්තු (මම දන්නෑ මගේ ඔළුවේ එහෙම පින්තුරයක් ඇඳුනේ ඇයි කියලා, ඒත් එයාගේ අතේ ක්ලිප් බෝඩ් එකක් තිබ්බ) මිනිහෙක් ඇවිත් මට කියාවි කියලා ඔක්කොම ඉවරයි, එයාල මාව හොයාගත්ත, දැන් ගිහින් මට ඇත්ත රස්සාවක් හොයාගන්න වෙනවා, හිතෙන් හදන නිර්මාණ ලියන රස්සාව අත්හරින්න වෙනවා කියල. මට කැමති පොත් කියවන්න මට ලැබෙන රස්සාව අත්හරින්න වෙනවා කියල. එතකොට මට නිහඬව ගිහින් මවා ලියන නිර්මාණ නොකරන රස්සාවක් කරන්න වෙයි කියල.

සාර්ථකත්වයේ ගැටළු සත්‍යයක්. වාසනාව ඇත්නම් ඔබටත් එය අත්දකින්න ලැබේවි. හැම දෙයකටම හා කියල කියන එක නවත්වන අවස්ථාව පැමිණීම. මොකද දැන් ඔබ විසි කරන බෝතල් ඔක්කොමට පිළිතුරු ආපහු එන්න පටන් ගෙන. ඉතින් බැහැයි කියන්න ඉගෙන ගන්න වෙනවා.

මා හා සමාන අය, මගේ හිතවතුන්, මට වඩා වයසින් වැඩි අය දිහා මම බලද්දී මම දකිනවා ඔවුන් අතර සමහර අය කොතරම් දොම්නසින් ඉන්නවා ද කියල. හැමදාම කරන්න උවමනාවක් තිබිච්ච දේවල් තව දුරටත් කරමින් ඉන්න ලෝකයක් ගැන ඔවුන්ට හිතාගන්න බැහැයි කියල ඔවුන් කියනවා. මොකද දැන් හැම මාසයකටම ඔවුන්ට යම් මුදලක් හොයාගන්න සිද්ධ වෙලා ඒ ඔවුන් ඉන්නා තත්වයේ සිටින්නට. ඔවුන්ට අවශ්‍ය දේවල්, වැඩියෙන්ම සිතට සතුටක් ලැබෙන දේවල් කරන්නට යන්නට ඔවුනට දැන් වේලාවක් නැතිව ගිහින්. මේක දැනෙන්නෙ ඕනෑම අසාර්ථකත්වයේ ගැටළුවක ඛේදවාචකයක් හා සමානව.

ඊ ළඟට ඇති සාර්ථකත්වයේ ලොකුව ගැටළුව තමයි, ඔබ සාර්ථකත්වය අත් කරගත් නිසා දැන් ලෝකය ඔබ කරන දෙය නවත්වන්නට ඔබට විරුද්ධව කුමන්ත්‍රණය කිරීම. දවසක් මම බලද්දී මට වැටහුනා මම වෙනස් වෙලා කියල. මම වෘත්තීමය වශයෙන් ඊමේල් වලට උත්තර ලියන කෙනෙක් වෙලා, මම විනෝදාංශයක් ලෙසින් රචනා ලියන්නෙක් වෙලා. ඉතින් මම අඩුවෙන් ඊමේල් වලට උත්තර දෙන්න පටන් ගත්ත. එතකොට රචනය වැඩියෙන් කරනවා යැයි දැකීමෙන් මට සහනයක් ලැබුණ.

හතරවැනියට, මම බලාපොරොත්තු වෙනවා ඔබ වැරදි කරාවි කියල. ඔබ වැරදි කරනවා නම් ඒ කියන්නේ ඔයා ලෝකයට ගිහින් කුමක් හෝ කරනවා කියලයි. වැරදීම් තුල ප්‍රයෝජනවත් බවක් තියෙනවා. වරක් මම ලිපියක කැරොලින් ලිව්වෙ අකුරු වැරදියට. ඒ සහ ඕ අකුරු දෙක වැරදියට දාලා. ඊට පස්සෙ මම හිතුවා, “කොරලින් හරියට සත්‍ය නමක් වගේ කියල.”

මතක තියාගන්න ඔබ කුමන ක්ෂේත්‍රයක සිටියත්, ඔබ සංගීතඥයෙක්, ඡායාරූප ශිල්පියෙක්, චිත්‍ර ශිල්පියෙක් හෝ කාටූන් ශිල්පියෙක්, රචකයෙක්, නැටුම් ශිල්පියෙක්, මෝස්තර ශිල්පියෙක්, යනාදී කුමක් කළත්, ඔබ කරන්න ඕනෑ සුවිශේෂී වූවක්. ඔබට හැකියාව තියෙනවා හොඳ කලාව නිර්මාණයට.

ඉතින් මට, සහ මම හඳුනන බොහෝ අයට, මේක ජීවිතය බේරාගැනීමට හැකි වූවක්. අවසාන වශයෙන් ජීවිතය බේරාගන්නට හැකිවූවක්. එය ඔබව හොඳ කාලයන් හි දී ගෙන යන්නට සමත් වෙනවා වගේ ම අනිත් කාලයන් තුලින් ගෙන යන්නට ද සමත් වෙනවා.

ජීවිතය කියන්නෙ සමහර අවස්ථාවල දී දුෂ්කර වූවක්. නොහිතන දේවල් සිද්ධ වෙනවා. ජීවිතයේ, ආදරයේ, ව්‍යාපාරයේ සහ මිත්‍රත්වයේ සහ සෞඛ්‍යයේ සහ තවත් අනේක ලෙසකින් ජීවිතයට බලපාන ලෙසින් වැරදෙන අවස්ථා තියෙවෙනවා. ජීවිතය ගෙන යාම දුෂ්කර වෙද්දී මේකයි ඔබ කරන්න අවශ්‍ය.

හොඳ කලා නිර්මාණය කරන්න.

මම සිරීයස්ලි මෙහෙම කියන්නෙ. මහත්තයා දේශපාලනඥයෙක් එක්ක පැනලා ගියා? හොඳ කලා නිර්මාණය කරන්න. වෙනසට භාජනය කරන ලද පිඹුරෙක් කකුල කුඩු කරලා කෑවා? හොඳ කලා නිර්මාණය කරන්න. ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔබ හඹා එනවා? හොඳ කලා නිර්මාණය කරන්න. පූසා පුපුරා ගියා? හොඳ කලා නිර්මාණය කරන්න. අන්තර්ජාලයේ කවුරු හරි කෙනෙක් හිතනවා ඔබ කරන දේ මෝඩයි, පාපකාරීයි, ඒවා කළින් කරලා තියෙනවා? හොඳ කලා නිර්මාණය කරන්න. කොහොම හරි ඔක්කොම නිසි ලෙස සිද්ධ වේවි. කාලයාගේ ඇවෑමෙන් රිදිල්ල අඩුවේවි, ඒත් ඒක ගාණක් නැහැ. මොකද ඔබට පමණක් කළ හැකි හොඳම දේ කරන්නෙ. හොඳ කලා නිර්මාණය කරන්න.

වැඩ හොඳට සිද්ධ වේගන යන දවස් වල දී ද හොඳ කලා නිර්මාණය කරන්න.

පස්වැනියට, එහෙම කරගෙන යද්දී, ඔබේ කලා නිර්මාණය කරන්න. ඔබට පමණක් කළ හැකි වූව කරන්න.

පටන් ගනිද්දී පෙළඹෙන්නෙ කොපි කරන්න. ඒක නරක දෙයක් නෙමෙයි. අපි බොහෝ දෙනෙකුට අපේ හඬ කුමක් දැයි සොයාගන්නට ලැබෙන්නෙ බොහෝ දුරට අනුන් විදියට හඬ නැඟීමෙන් පසුවයි. ඒත් අනිත් අයට නැති ඔබට පමණක් ඇති එකම දේ තමයි ඔබ. ඔබේ හඬ, ඔබේ මනස, ඔබේ කතාව, ඔබේ දෘශ්ටිය. ඉතින් ලියන්න, අඳින්න, ගොඩනඟන්න, සෙල්ලම් කරන්න, නටන්න, ඔබට පමණක් පුලුවන් විදියට ජීවත්වන්න.

වීදිය දිගේ නිරුවතින් ඇවිදගෙන යනවා යැයි ඔබට දැනෙන අවස්ථාව, ඔබේ හෘදයේ සහ ඔබේ මනසේ අඩංගු දේවල් වලට වඩා වැඩියෙන් පිටතට පෙන්නනවා යැයි දැනෙන අවස්ථාව, ඔබ ගැන වැඩියෙන් පිටතට පෙන්වනවා යැයි දැනෙන අවස්ථාව, අන්න ඒ මොහොත තමයි ඔබේ වෑයම හරි යන්නට පටන් ගත්තු අවස්ථාව.

මා කළ කටයුතු වලින් මට වැඩියෙන්ම සාර්ථකත්වය අත්වුන කටයුතු මම අඩුවෙන් ම විශ්වාසයක් තැබු ඒවා. සිතූ පරිදි හරියාවි යැයි අපේක්ෂාවෙන් කළ මගේ නිර්මාණ, කාලයේ අවසානය දක්වා මිනිස්සු එකතු වෙලා කතාකරන මට ලැජ්ජා වෙන්න හිතෙන අසාර්ථකත්වයන් යැයි මම සැලකූ ඒවා වැඩියෙන්ම සාර්ථක වූ දේවල්. ඒ සියල්ල තුලින් දිව ගිය එක දෙය තමයි ඒ, ආපහු හැරිලා බලද්දී, මිනිස්සු පහදනවා ඇයි ඒවා අනිවාර්යෙන්ම සාර්ථක වූයේ කියල. මම ඒවා කරද්දී මට කිසිම අදහසක් තිබුනෙ නැහැ.

මට එය තාමත් ලැබිලා නැහැ. නිශ්චිතවම හරියනවා යැයි සිතන දෙයක නිරත වීමෙන් ලැබෙන සතුටක් තියෙනවා ද?

සමහර අවස්ථාවල දී මම කරපු දේවල් හරිගියේ නැහැ. නැවතත් පළ නොවෙච්ච මම ලියපු කතන්දර තියෙනවා. සමහර ඒවා ගෙදරින් පිටතට ගියෙ නැහැ. ඒත් හරිගිය දේවල් වගේම වැරදිච්ච දේවල් වලින් ද මම එක හා සමානව ඉගෙන ගත්තා.

හයවැනියට, ස්වාධීන අයෙක් ලෙසින් මට ඇති රහසිගත දැනුමක් මම බෙදාගන්නම්. රහස් දැනුම හැම විටම හොඳයි. අනිත් අය වෙනුවෙන් කලා නිර්මාණ හදන්න හිතන ඕනෑම කෙනෙකුට එය ප්‍රයෝජනවත් වේවි. ස්වාධීන ලෙසින් ඕනෑම ක්ෂේත්‍රයකට පිවිසෙන්නට අදහස් කරන අයට. මම ඒක ඉගෙන ගත්තෙ කොමික් නිර්මාණයේ දී. ඒත් ඒක අනෙක් ක්ෂේත්‍ර වලටත් අනුචිත වූවක්. එනම්:

ජනතාවට රස්සාවක් ලැබෙන්නෙ, කොහොම හරි විදියකින්, ඔවුන්ට රස්සාවක් ලැබෙන නිසා. එදා මම කළේ අද මේ කාලයේ දී නම් පහසුවෙන් සොයාගෙන මාව අමාරුවේ වැටෙන්න පුලුවන් වෙච්ච වැඩක්. මම පටන් ගනිද්දී, අන්තර්ජාලයට පෙර කාලයේ දී, ඒක හොඳ සිහියෙන් කරන වෘත්තීමය උපායක් ලෙසට පෙනුන. කර්තෘවරුන් මගෙන් අහද්දී මා කළින් කරලා තියෙන වැඩ ගැන, මම බොරු කිව්වා. විශ්වාසයෙන් පිරුණු හඬකින් මම සඟරා ලැයිස්තුවක් නම් කළා. මට රස්සාවල් ලැබුණ. ඊට පස්සෙ මගෙ නම්බුව තියාගන්න මම ඒ පළමු රස්සාව ගන්න කියපු සඟරා ලැයිස්තුවේ හැම එකක් වෙනුවෙන් ම කුමක් හෝ ලියන්න අදිටන් කරගෙන එය ඉටු කළා. ඉතින් මම ඇත්තටම බොරු කියලා නැහැ, මම කාල පිළිවෙල ගැන අමතක කරලා විතරයි… ඔබ රස්සාවක් හොයාගන්නෙ ඔබ රස්සාවක් හොයාගන්න කෙසේ හෝ විදියකින්.

මිනිස්සු රස්සාවල් කරනවා, ස්වාධීන රස්සාවල් ඇති ලෝකයක, අද එන්න එන්නම ලෝකයේ බොහෝ පිරිසක් ස්වාධීන රස්සාවල් කරන අය. මොකද එයාලගේ වැඩ හොඳයි. මොකද ඒ අය එක්ක වැඩ කරන්න පහසුයි. මොකද ඒ අය වේලාවට වැඩේ ඉවර කරන අය. ඒත් ඔබට ඒ තුනම අවශ්‍ය නැහැ. තුනෙන් දෙකක් ප්‍රමාණවත්. ඔබේ වැඩ හොඳ නම්, ඔබ වේලාවට ඉවර කරලා දෙනවා නම් එවිට ඔබ කොපමණ අප්‍රසන්න අයෙක් වුවත් ඒක ඔවුන් ඉවසා දරාගනීවි. ඔබට කැමති නම්, වැඩ හොඳ නම් ඔබ ප්‍රමාද වුනාට ඒකට සමාව දේවි. ඔබ හා කටයුතු කිරීම ප්‍රසන්න නම් සහ ඔබ නියම වේලාවට වැඩේ ඉවර කරලා දෙනවා නම් ඔබේ වැඩ අනෙක් අය තරම්ම හොඳ නොවුනට කමක් නැහැ.

මේ දේශනය පවත්වන්න යැයි මට ආරාධනය ලැබුනම, මම කල්පනා කරලා බැලුවා මට ලැබිලා තියෙන හොඳම උපදේශය කුමක් ද කියා.

වසර විස්සකට පෙර ස්ටීවන් කින්ග් වෙතින් තමයි මට ඒ උපදේශය ලැබුනෙ. මගේ සෑන්ඩ්මෑන් කෘතියේ සාර්ථකත්වයේ ඉහළම මුදුනක ඉන්න අවස්ථාවේ. මිනිස්සු ආසා වෙච්ච දැඩි සේ පිළිගත්ත කොමික් එකක් මම ලියමින් සිටියෙ. මගේ සෑන්ඩ්මෑන් සහ මම ටෙරී ප්‍රැචට් එක්ක ලියපු “හොඳ පෙරනිමිති” (Good Omens) පොත කියවලා කින්ග් ඒවාට කැමති වෙලා හිටියෙ. ඒවාට ලැබිච්ච ප්‍රතිචාරය, පිස්සු හැදිලා වගේ මිනිස්සු පොරකන හැටි, පොත් අත්සන් කරන්න තිබිච්ච දිග පෝලිම් එහෙම දැක්ක කින්ග් මට අවවාදයක් දුන්න.

“මේක අති විශිෂ්ඨයි. ඔබ එය රසවිඳිය යුතුයි.”

ඒත් මම ඒක කළේ නැහැ. මට ලැබිච්ච අනගිතම උපදේසය මම නොසලකා හැරියා. ඒ වෙනුවට මගේ සාර්ථකත්වය ගැන මම සිත් කරදර ඇති කරගත්ත. ඊ ළඟ නිර්මාණය බාර දිය යුතු නියමිත කාලය, ඊ ළඟ අදහස, ඊ ළඟ කතාව. ඒ කාලේ පටන් වසර 14 ක් 15 ක් යනතුරා මගේ ඔළුවේ යමක් ලියන එක, ලියන්න යමක් ගැන හිතන එක මම නැවැත්තුවේ නැහැ. මම නැවතිලා වටපිට බලලා කිව්වෙ නැහැ, මේක හරි සතුටක් කියලා. ඒ දවස්වල සාර්ථකත්වය රසවින්ඳා නම් හොඳැයි කියලා දැන් මට හිතෙනවා. ඒක අපූර්ව සහගත කාලයක්. ඒත් එහි සමහර දේවල් මට අතපසු වුනා. මොකද මගේ සිත වැඩියෙන් යොමු වුනේ වැරදෙන්න පුලුවන් කොතැන ද, ඊ ළඟට කළ යුත්ත කුමක් ද කියන එකට මිසක් මට ලැබිලා තිබිච්ච සාර්ථකත්වයට නෙමෙයි.

ඒක තමයි මට ඉගෙන ගන්න සිද්ධ වෙච්ච අපහසුතම පාඩම. ලැබිලා තියෙන සාර්ථකත්වය රසවිඳින්න, එවිට ඒ සාර්ථකත්වය ඔබව අරුම පුදුම සහ අනපේක්ෂිත තැන් වලට ගෙන යාවි.

ඉතින් මෙතැන, මේ වේදිකාව, අද, අන්න එහෙම තැනක්. (මම ඉතා දැඩි ලෙසින් මෙය රසවිඳිනවා.) මම ඒක වරහන් ඇතුලේ ලියාගෙනයි ආවේ එහෙම නැත්නම් නොකියා ඉන්න.

අද උපාධිය ලබන සියළු දෙනා වෙත මම වාසනාව පතනවා. වාසනාව ඉතා ප්‍රයෝජනවත් වූවක්. නිරන්තරයෙන් ඔබ සොයා ගනීවි වැඩියෙන් මහන්සි වුනාම, බුද්ධිමත් ලෙසින් වැඩ කලාම, ඔබේ වාසනාවත් වැඩිවෙන බව. වාසනාව කියා දෙයක් තියෙනවා. එය උදව්වට එනවා.

අපි දැන් ඉන්නෙ වෙනස් වෙන ලෝකයක. ඔබ ඉන්නෙ කුමන කලා ක්ෂේත්‍රයක වුවත්, අද බෙදාහැරීමේ ස්වභාවය වෙනස් වෙමින් පවතින්නක්. නිර්මාණකරුවන් තම කෘති ලෝකයට පිරිනැමූ ආකාරය සහ එයින් හිසට වහලක් සහ සැන්විචස් මිල දී ගන්න හැකියාව ලැබිච්ච ආකාරය වෙනස් වෙන කාලයක්. පොත් ප්‍රකාශන, අලෙවි යන සියලු අංශ වල ඉහළම ඉන්න අය එක්ක මම කතාබහ කරලා තියෙනවා. ඒ කිසිවෙක් දන්නේ නැහැ දශකයක් කෙසේ වෙතත්, තව වසර දෙකකින් කොහොම වේවි ද කියල. මුද්‍රිත, දෘශ්‍ය කලාකරුවන්ට සහ සංගීතඥයන්ට, සියලුම නිර්මාණශීලී ජනතාවට ඔවුන් පසුගිය ශතකයේ ඉදි කරන ලද බෙදාහැරීමේ මාර්ග අද වෙනස් වෙමින් පවතින්නක්.

එක අතකින් ඒක බිය උපදවන සුළුයි, අනෙක් අතින් ඒක ඉතා ප්‍රබල ලෙසින් නිදහසක් ලබා දෙනවා. රීති, අභ්‍යූපගමනයන්, ඔබේ නිර්මාණය අනුන්ට පිළිගැන්වීමට අද අපි කළ යුත්ත, ඊට පසුව කළ යුත්ත, යනාදිය කඩාවැටෙමින් තිබෙන යුගයක්. ගේට්ටු පාලකයන් ගේට්ටු අත්හැර දමා යන කාලයක්. ඔබේ නිර්මාණ ලෝකයාට පිරිනමන්නට ඔබට හැකි තරමකින් නිර්මාණශීලී වෙන්නට අවස්ථාවක් ලැබෙන කාලයක්. යූටියුබ් සහ අන්තර්ජාලය (සහ යූටියුබ් සහ අන්තර්ජාලයට පසුව එන කුමක් හෝ වෙත් ද) යනාදිය කිසිම වෙනත් කාලයක දී රූපවාහිනියට නොහැකි වූ ලෙසකින් මිනිස්සු නරඹන්නට ඔබට අවස්ථාව දීලා තියෙනවා. පරණ රීති කඩා වැටෙමින් පවතින කාලයේ කවුරුත් දන්නෙ නැහැ අලුත් රීති මොනවා ද කියල.

ඉතින් ඔබේ රීති හදා ගන්න.

කෙනෙක් ඇහුවා මගෙන් ඇයට අපහසු යැයි වූ කාර්යයක් කරන්නෙ කොහොම ද කියල. ඇයට අපහසු වූව තමයි ශ්‍රව්‍ය පොතක් කියැවීම. මම යෝජනා කළා ඇයට එය කළ හැකි අයෙක් ලෙසින් අඟවන්න කියලා. එය කරනවා කියල ඇඟවීම නෙමෙයි. එය කරන්නට හැකි අයෙක් ලෙසින් ඇඟවීම. ඇය එහෙම ලියපු නිවේදනයක් ස්ටුඩියෝ එකේ බිත්තියේ දැම්මට පස්සෙ ඇය කීවේ ඒක උදව් වුනා කියල.

ඉතින් බුද්ධිමත් වෙන්න. මොකද ලෝකයට තවත් බුද්ධිමත් බව අවශ්‍යයයි. ඉතින් ඔබට බුද්ධිමත් වෙන්න බැරි නම්, බුද්ධිමත් අයෙක් හැටියට අඟවන්න. ඊට පස්සෙ ඒ බුද්ධිමත් අය ලෙසින් ඔබත් හැසිරෙන්න.

ඉතින් දැන් යන්න, ප්‍රයෝජනවත් වැරදි කරන්න, අපූර්ව වැරදි කරන්න, සම්මානනීය සහ අරුම පුදුම සහගත වැරදි කරන්න. රීති කඩන්න. ඔබ මෙහි සිටිය නිසා ලෝකය වෙනුවෙන් සිත්ගන්නා දේවල් ඉතිරි කරලා යන්න. හොඳ කලා නිර්මාණය කරන්න.

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. ස්තූතියි අරුණි මේ කතාව සිංහලෙන් කියවන්න ඉඩකඩක් ලබාදීම ගැන.

  2. Chandi said, on ජූනි 10, 2013 at 2:22 පෙ.ව.

    හරිම ආසාවෙන් කියෙව්වා. බොහොමයක් කලා කරුවන්ගේ සත්‍ය කතා මේ වාගෙ. මහා ලොකුවට ඉගෙන ගෙන නෑ. හිතේ විශ්වාසය , ධෛර්‍යය , අධිශ්ඨානය වගේ දේවල් තමා ඔවුන් බැබලීමට හේතුව. බොහොම ස්තූතියි ! මේ වටිනා සටහනට.

  3. mppgunasinghe said, on ජූනි 10, 2013 at 3:51 පෙ.ව.

    ඉතා වදගත් අදහස් ගොනුවකි. ඔබට ස්තුතියි අරුණි

  4. Shanthi Chandrasekera said, on ජූනි 10, 2013 at 5:08 පෙ.ව.

    Iselama mage priya mithuri Arunita Thanks karanna ona. eka husmata kiyawagena giya. kohedo thanwala math hitiya wage danuna. Neel kiyanawa wage mage jeevithe samahara nikamata mata labunu sarathaka veem aththatama ras vinde naha. apahu harila baladdi hithenawa. mage chuti kale leewa katha godak thibuna eth ewapothak wage liyanna hithuwe naha. kohe hari giyama dakina dewal walin lassana kathandara leewa gedara nikan inna welawata amma kaama uyanakam kolayak aran katha leewa ewa ammata ahenna keewa amma godak welawata haiyen hinauna. eya ekathawalata thawa kaali ekk kala. baya hithena katha leewama eya keewa ammo math baya una kiya hina una. ithin me lipiya kiyawaddi mama aththatama leewanam hondai kiya hithenawa eth kalaye uwamanawata gedara ayge uwamanata mama viddiya vishayan kala. jeevitheta sathuta denna ewata baha. mudal labenawa hisata wahalak , sanvich ekak vitharak nowei honda buriyani ekak pawa kanna puluwan vidihata. eth nirmana karaddi labena satuta ewata samana karanna baha. .

  5. Gold fish said, on ජූනි 10, 2013 at 6:16 පෙ.ව.

    මමත් විශ්වාස කරන දෙයක් තමා රාමුවකට කොටුනොවී වැඩ කරොත් සෑහෙන හොඳ/නරක අත්දැකීම් ලබාගන්න පුළුවන් බව. ඒවා හොඳ වුනත් නරක වුනත් ජීවිතයට වැදගත් වෙනවා.

  6. Ravi said, on ජූනි 10, 2013 at 10:33 පෙ.ව.

    කාලෙකින් අහපු අපූරු කතාවක් අරුණි,

    Public speaking is an art form that not many have mastered but here is a classical example of how it should be done.

    පරිවර්තනය කිරීමට වැයවූ ඔබේ මහන්සියට සහ මෙවන් අපූර්ව නිර්මාණයක් අප සමඟ බෙදා හදා ගැන්ම වෙනුවෙන් දහස් වරක් ස්තූතියි අරුණි 🙂

  7. dawkinssdodo said, on ජූනි 11, 2013 at 12:49 ප.ව.

    //කර්තෘවරුන් මගෙන් අහද්දී මා කළින් කරලා තියෙන වැඩ ගැන, මම බොරු කිව්වා. විශ්වාසයෙන් පිරුණු හඬකින් මම සඟරා ලැයිස්තුවක් නම් කළා. මට රස්සාවල් ලැබුණ. ඊට පස්සෙ මගෙ නම්බුව තියාගන්න මම ඒ පළමු රස්සාව ගන්න කියපු සඟරා ලැයිස්තුවේ හැම එකක් වෙනුවෙන් ම කුමක් හෝ ලියන්න අදිටන් කරගෙන එය ඉටු කළා. ඉතින් මම ඇත්තටම බොරු කියලා නැහැ, මම කාල පිළිවෙල ගැන අමතක කරලා විතරයි…// 😀 😀

    බොහොමත් ස්තුතියි මේ තරම් දිග එකක් පරිවර්තනය කලාට.

    සීතල ස්කැන්ඩිනේවියාවේ සිට ඇමරිකාවට සම්ප්‍රාප්ත වූයෙමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: