අරුණි ශපීරෝ‍ වෙතින්

යනකොට ගෙනියන පින්

Posted in Uncategorized by arunishapiro on ජූනි 11, 2013

යනකොට ගෙනියන්න දෙයක් තියනව ද? සිරස්තලයෙන් සටහනක් ලියා ඇත්තේ sugv අඩවියේය. “යනකොට” යැයි අදහස් කරන්නේ “මිය යන විට” බවත්, “මිය යන විට ගෙනියන්න යමක් තිබිය යුතු” බවක් “සමාජ දේහයේ කිඳා බැස ගොස් තිබෙන දහමක්” යැයි කියමින් sugv සටහන පටන් ගනියි. ලංකා ඉතිහාසය ගැන අන්තර්ජාලයට සටහන් එකතු කරන sugv උඩරට ගම් පළාත් හි රසවත් තොරතුරු බොහොමයක් එම අඩවියට එකතු කරමින් සිටියි.

යනකොට ගෙනියන්න හැකියි සිතා මිසරයේ ෆේරෝ ලා ගේ පිරමිඩ් වල වටිනා මුතු මැණික්, ගෙදර අඹුව, අන්තර්පුරයේ කාන්තාවන් සහ සුරතල් පූසා පවා නිදන් කරන ලදි. ඒ සිරිත නතර වෙන්නට ඇත්තේ මරණය පත්වූවාට පසු බලයක් නැති බව වැටහෙද්දී වෙන්නට ඇත.

පින් සම්බන්ධයෙන් සංවාදය කළින් කලට ඇතිවෙන්නකි. අමතක වී යන කල්හි එය නැවත මතක් කරගැනීම, නොදන්නා අයට කියා දීම සහ අදහස් හුවමාරු කරගැනීම කාටත් එකසේ වැදගත් වෙයි. නැත්නම් රටේ නීති රීති පැනවී යම් බලවත් පිරිසකට රිසි පරිදි පින් මොනවා දැයි කියා තීරණය වී පව් කරන අයට දඬුවම් ලැබීම සිද්ධ වේ.

පුරාතනයේ වැරදි කරවුන්ට දඬුකඳේ ගැසීම, හංවඩු ගැසීම, අඟ පසඟ කපා දැමීම, උල තැබීම, අලි ඇතුන් ලවා පෑගවීම, පුළුස්සා මරා දැමීම යනාදීය ලංකාවේ නියම කර ඇත. වර්තමානයේ දී වැරදි කරවුන් දැයි තීරණයට පෙර එවැනි ගැහැට අත් විඳින්නට සිද්ධ වෙන හැටි ලංකාවෙන් අහන්නට ලැබේ.

මෙහෙ ඩ්‍රෝන් ප්‍රහාර වලින් වරදකරුවන් දැයි නොසායා මිනිසුන් ඝාතනය කළා නම් බුෂ් පුතාව ගෙදර යවන්නට පාරට බහින වම්මු එය පමණක් නොව ජනතාවගේ කතාබහට සවන් දෙන ඔබාමා ගැන අද නිහඬ පිළිවෙතක සිටිති. තම ආරක්ෂාවට තුවක්කුවක් තබා ගැනීමට එරෙහි වන ඔබාමා ආණ්ඩුව ප්ලෑන් බී පෙත්ත ඕනෑම වයසක කාන්තාවකට සුදුසු යැයි නිර්දේශ කර ඇත.

පිනක් හෝ පවක් හැටියට යම් ක්‍රියාවක් සැලකෙන්නේ නිර්දේශ කරන අයගේ ආගමික හෝ දේශපාලන නැඹුරුව අනුව ද?

මහාවංසයට අනුව ක්‍රි. පූ. දෙවැනි සියවසේ දී එළාර රජු විසින් ස්වකීය පුත්‍රයාට මරණ දණ්ඩනය නියම කරන ලදි. ඒ පුතා විසින් වසු පැටියෙකු මරණයට පත් කිරීම නිසාය. භාතිකාභය තිස්ස රජු විසින් ගව ඝාතනය තහනම් කර අතර ගව මස් අනුභවය දඩ ගෙවිය යුතු වරදක් ලෙස හඳුන්වා ඇත. තුන්වැනි කාශ්‍යප රජු සිව්පාවුන් විනාශය තහනම් කළ බව කියැවේ. හතරවැනි මහින්ද රජු ගවයින්, මී ගවයින්, හා එළු ගවයින් ඝාතනය කරන්නවුන් හට මරණීය දණ්ඩනය නියම කළේය. මාහුවාන් නමැති චීන සංචාරකයාගේ වාර්තාවේ ද ගව ඝාතනය සඳහා මරණීය දණ්ඩනය පනවා තිබූ බවක් කියැවේ.*

එසේම මරණ දණ්ඩනය තහනම් කළ රජවරු ද සිටියහ. ආමණ්ඩගාමණී රජ, තුන්වැනි කාශ්‍යප, වෝහාරික තිස්ස යනාදීන් ඔවුන් වෙති.

සතුන් මැරීම තහනම් වූවා සේ ම එය තහනම් නොකළ අවස්ථා ද ලංකා ඉතිහාසයෙන් දැකිය හැකියි. එබේ සෙල් ලිපිය දක්වන හෑලෝගම පෙන්වා දෙන්නේ කොක් එබේ ගමේ මායිමේ පිහිටි කැලයෙහි සියලු ම ආදායම් වූ මොණර හා මුව මස් වල කොටසත්, කුඹුරු වලින් ලැබුණු කොටසත් ගමේ පවුල් වලට අයත්වන ආකාරයට නීති පැනවී තිබි බවයි.

රාජද්‍රෝහය ද මරණ දඬුවම ලබන්නට හැකි වූ වරදකි. කැළණිතිස්ස රජතුමා උණුවෙන තෙල් කටාරමකට භික්ෂුවක් දමා මරණයට පත් කරන ලදැයි රාජාවලියේ සඳහන් අතර ඒ භික්ෂුව තම බිසව සමඟ අනියම් සබඳතාවයක් පැවැත් වූ බවට සැක කළ නිසාවෙන් යැයි ද සඳහන් වෙයි.

හතරවැනි උදය රජුගේ බදුලු ටැම් ලිපියෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වංචා සහගත ක්‍රියාවන්ට දඬුවම් නියම කළ ආකාරය දැකගත හැකියි. බදු අයකරගන්නට ගමට පැමිණි රාජ්‍ය නිලධාරීන් රා, මස්, කිරි හා තෙල් ආදිය ලබා නොගත යුතුය යැයි එහි සඳහනක් ඇත.

පන්සිල් පද පහෙන් පව් මොනවා දැයි, වරද යනු කුමක් දැයි අදහසක් බෞද්ධයාට කියා දෙන්නේ ද?

එයින් බෞද්ධයාට පින් ගැන අදහසක් සොයා ගත හැකි ද?

ප්‍රාණ ඝාතයෙන් වැළකෙමි යැයි කියද්දී ප්‍රාණය යන්න කුමක් දැයි වර්තමාන අවබෝධයෙන් සලකා බලන්නේ කවුරුන් ද? ප්‍රාණය යනු සියළු සත්වයන් ද? සියළු ප්‍රාණීන් ද? ගස් කොළන් වැඩෙන්නේ ජීවයක් ඇති බැවින් ඒවා ද ප්‍රාණීන් වෙත් ද? පිළිකා රෝගයේ ද වර්ධනයක් සිද්ධ වෙන නිසා එයත් ප්‍රාණියෙක් නම් එවිට පිළිකා රෝගය සුව කිරීම ප්‍රාණ ඝාතයක් ද?

ගව පැටියා මරන ලද නිසා පුතාව මරණයට නියම කිරීම ප්‍රාණ ඝාතයක් නොවන්නේ ද?

පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසිදු අදහසක් නොවන බවත්, නිවන් ප්‍රාර්ථනා කිරීම ද බෞද්ධ අදහසක් නොවන බව කියා ඇත්තේ වල්පොළ රාහුල හිමියන් විසිනි.* මිනිසාට තම උවමනාවන් පිරිමසා ගැනීමට එකිනෙකා හා ගණුදෙනු කිරීමට සිද්ධ වූයේ යම් ලෙසකින් ශිෂ්ඨාචාරයක් පටන් ගත් දා සිට ය. මහජනතාවට උවමනා බඩු භාණ්ඩ ජාති භේද කිසිවක් නොසලකා වෙළඳාම් කරන අය කරන්නේ ‘පින්කමක්’ යැයි කිසිවෙක් නොකියති. ඒ එය ලාබයක් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් කරන වැඩක් නිසයි.

වෙළඳාම පින්කමක් නොවේ යැයි පිළිගන්නා අය, වෙළඳාමෙන් නොව අන් අයුරකින් මෙලොව දී ලාබයක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තුවෙන් අසරණයෙකුට උදව්වක් කරන්නේ නම් එය පිරිසිදු අදහසක් යැයි පිළිගන්නේ ද නැත.

ඉතින් පරලොව සැප බලාපොරොත්තුවෙන් අසරණයෙකුට උදව්වක් කරන අයෙක් තුල ඇත්තේ ද පිරිසිදු අදහසක් නොවන බව රාහුල හිමි පෙන්වා දෙයි. මෙලොව වුවත් පරලොව වුවත් එවැනි බලාපොරොත්තුවක් තිබීම යනු ආත්මාශාවයි. මෙලොව දී යමක් කර පරලොවට ගෙන යන්නට දෙයක් හදා ගැනීම යනු ලබාගන්නට අදහස් කරන දේ කල්දැමීමකි. එය රාහුල හිමියන් සමාන කරන්නේ බැංකුවේ මුදල් තැන්පත් කොට පොලී සමඟ විශාල මුදලක් බලාපොරොත්තු වීම හා සමානව ය. (වර්තමානයේ බැංකු වලින් එහෙම බලාපොරොත්තු වෙන අය නැතිවීම වෙනත් කතාවකි!!!!)

ශික්ෂාපද රැකීම පිළිබඳව අදහස් දක්වන රාහුල හිමි යමෙක් සතුන් නොමරන්නේ සතුන් කෙරෙහි ඇති කරුණාව නිසා නොව තමාට සිදුවන පවට භයින් නම්, එහි උතුම් අදහසක් නැතැයි පෙන්වා දෙයි.

පව් මොනවා ද සහ පින් මොනවා ද යන්න තීරණය පුද්ගලයාට බාර කරන බුදුන් තමා කරන ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ යහපතක් නම්, යුතුකමක් නම් එවිට අපාය හෝ දිව්‍ය ලෝකය දැයි, නිවන් දැයි යන එම ක්‍රියාවේ ඵලය කුමක් දැයි නොසලකා කිරීම උත්තම ගතියක් යැයි පෙන්වා දී ඇත. තමාට කිසිත් පිනක් බලාපොරොත්තු නැතිව, අන්‍යයා කෙරෙහි කරුණාවෙන්, පිරිසිදු අදහසින් කරන ක්‍රියාවම ශ්‍රේෂ්ඨ පින්කම වෙයි.

තම ක්‍රියාව නිසා අනුන්ට යහපතක් වේ දැයි අයහපතක් වේ දැයි තීරණය බුද්ධාගමට අනුව තමන් සතු වූවකි. රටේ නීති අනුව අනුන්ට අයහපතක් වේ නම් එවැනි ක්‍රියාවට දඬුවම් ලැබීම ඒ ඒ කාලයට රටේ පැනවෙන නීති අනුව වෙයි.

රට වැසියන් සියළු දෙනා අතර සාමය ගැන සිතා මිසෙක පරලොව ගෙනියන පින් යැයි යම් පිරිසක් සලකන්නක් ගැන සිතා රටේ නීති හැදීමක් සිද්ධ විය යුතු ද?

මිනිසාව ශීලාචාර කරන්නේ දැනුම ද? නැත්නම් දඬුවම් ද? තමන් වැරදි යැයි තීරණය කරන ක්‍රියාවන් කළ වරදකරුවන්ට අනුන් ලවා දඬුවම් දීම තීරණය කරන්නේ ශීලාචාර අය ද?!!!!!!!

සාමාන්‍ය අයට තේරුම් ගැනීමට පහසුවන පරිදි සත්‍යය වෙනස් කළ නොහැකි යැයි පෙන්වා දෙන රාහුල හිමි සාමාන්‍ය මිනිසා විශේෂ තත්වයකට පැමිණි දාට සත්‍යය වැටහෙනවා ඇතැයි කියයි. කාටත් වැටහෙන පරිදි සත්‍යය කියන්නට යෑමෙන් බොහෝ අය අසත්‍යයක් ප්‍රකාශ කරති. සත්‍යය පවත්නා උසස් තත්වයට මිනිසා නැඟ ඒම දකිනු මිස, මිනිසා සිටින පහත් මට්ටමට සත්‍යය ගෙන ගියොත් එවිට ධර්මය නොව අධර්මයක් පැතිර යයි.

පඤ්ඤාවන්තස්සායං ධම්මෝ, නායං ධම්මො දුප්පඤ්ඤස්ස -මේ ධර්මය නුවණ ඇති අයට මිස නුවණ නැති අයට නොවේය යැයි බුදුන් වදාළ සේක.

*සියළු විස්තර විමලසේන හෑලෝගම ලියූ “පුරාතන ශ්‍රී ලංකාවේ අපරාධ, විනිශ්චය හා දඬුවම්” (2011) පොතෙනි.
*සත්‍යෝදය, වල්පොළ රාහුල (1996)

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. අමා said, on ජූනි 12, 2013 at 2:51 පෙ.ව.

    පන්සිල් පද වලින් මුලික අදහසක් ලබාදුන්නත් grey area අහුවෙන තැනුත් තියෙනවා. උදාහරනෙකට තමන්ගේ ළඟම කෙනෙක් සුව කල නොහැකි ලෙඩක් නිසා ගොඩක් දුක් විඳිමින් ඉන්නවා. එතකොට එයා මරණය ඉල්ලුවොත් පලවෙනි පන්සිල් පදය ගැන හිතනවද? හිතවතාගේ දුක ගැන හිතනවද?

    /ශික්ෂාපද රැකීම පිළිබඳව අදහස් දක්වන රාහුල හිමි යමෙක් සතුන් නොමරන්නේ සතුන් කෙරෙහි ඇති කරුණාව නිසා නොව තමාට සිදුවන පවට භයින් නම්, එහි උතුම් අදහසක් නැතැයි පෙන්වා දෙයි.

    පව් මොනවා ද සහ පින් මොනවා ද යන්න තීරණය පුද්ගලයාට බාර කරන බුදුන් තමා කරන ක්‍රියාවෙන් සිද්ධ වෙන්නේ යහපතක් නම්, යුතුකමක් නම් එවිට අපාය හෝ දිව්‍ය ලෝකය දැයි, නිවන් දැයි යන එම ක්‍රියාවේ ඵලය කුමක් දැයි නොසලකා කිරීම උත්තම ගතියක් යැයි පෙන්වා දී ඇත. තමාට කිසිත් පිනක් බලාපොරොත්තු නැතිව, අන්‍යයා කෙරෙහි කරුණාවෙන්, පිරිසිදු අදහසින් කරන ක්‍රියාවම ශ්‍රේෂ්ඨ පින්කම වෙයි./

    එකඟයි…
    මනුෂ්‍ය සම්බන්ධතා වලදී නීති රීති ඔනෑ උනත් පවු පින් සැළකීමේදී එහෙම ‘fixed laws’ අනුව හිතන්ට අමාරුයි.
    තමාටත් අනුන්ටත් යහපතක් වන දේ මොකද්ද ඒ දේ තමා කරන්ට ඕනා .. 🙂

    • arunishapiro said, on ජූනි 12, 2013 at 7:07 පෙ.ව.

      අමා,

      එහෙම තමන්ට තීරණය කරන්න ඉඩක් තිබීම තමයි පන්සිල් පද පහෙත් වටිනාම ලක්ෂණය. මොකද ඒ ඒ කාලය අනුව, ඒ ඒ අවස්ථාව අනුව, ඒ ඒ පුද්ගලයන් අනුව සලකා නොබලා සැමට සරිලන සදාකාලික එක විසඳුමක් දෙන්න යෑමෙන් තමයි වැරදීම් සිද්ධ වෙන්නෙ. ගන්නා තීරණයේ වගකීම තමන් අත වීම නිසා හිතලා බලලා තීරණයක් ගන්නට අයෙකු පෙළඹෙනවා.

      මනුෂ්‍ය සම්බන්ධතා වල දී ත් තමාටත් අනුන්ටත් යහපතක් වන දේ කරන්නට හැකියාව ලැබෙන ඉඩක් ලැබෙන නීති හදා ගැනීමෙන් අවුල් වියවුල් අඩු වී යනවා. පුද්ගලයා සතු වගකීම වැඩි නීති සීමිත ප්‍රමාණයකින් පමණක් හැදෙන නීති පද්ධතියක් එය ඉෂ්ට කරනවා.

  2. Chandi said, on ජූනි 13, 2013 at 6:53 පෙ.ව.

    අමා,
    තමා කරනා ක්‍රියාවෙන් පසුවට පසුතැවිලි වෙන්න සිදු වේ නම් එය නොකළ යුතු යැයි වදාලෙ මේ නිසා. නිදහසක් තියෙනවා අපිට හිතන්න දෙවරක් දෙයක් කරන්න කලින්. ඒ ක්‍රියාවෙන් තමන්ට ත් අනුන්ට ත් යහපතක්ම වේ නම් එය කිරීම සුදුසුයි. ස්තූතියි ! අරුණි සටහනට.

  3. darsh D said, on නොවැම්බර් 5, 2013 at 2:22 පෙ.ව.

    අමා ඔබ කොහොමද උපකල්පනය කරන්නේ ඔබේ හිතවතා සුවකල නොහැකි රෝගයෙන් විහින වේදනාව මරණීය වේදනාවට වඩා අඩුයි කියලා ඔබවත් ඔහුවත් මරණීය වේදනාව අත්විදලා නැ.

    මරණය සැපයක් නම් ජීවත්වේවී දුක් විදින බොහෝ දේනා එය තොරාගනීවී.

    සිතන්න ඔබේ තර්කයට අනුව ඔබ මැදිහත්වී ඔබේ යහලුවාගේ දිවි තොරකරනවා මොකද ඔබ විශ්වාශ කරනව ඉන් ඔහුට යහපතක් වේය කියා
    නමුත් ඔහුගේ මියයන මොහොතේදී ඔහුගේ හදවත නතර වද්දි ජීවී ශෛල එකින් එක මිය යද්දී ඔහුගේ පෙනහලු අක්‍රිය වෙද්දි ඔහුට තෙරුම් යනවා මරනය කොතරම් වේදන කාරීද පෙර විදිවේද්නාවට වඩා කියා.එවිට ඔහුගේ අවසන් සිතුවිලි පෙර පැවතීයාට වඩා පාපී වෙනවා ද්වේශ සහගත වෙනවා මරණට මැදිහත් වු ඔබ කෙරෙහි ඔහු ක්‍රොරදයක් උපදවා ගන්නවා.

    ඔහුගේ අවසානය ඔබ දෙදනාම බලාපොරොත්තු වූවාට වඩා ඛේද්නීය වේනවා..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: