අරුණි ශපීරෝ‍ වෙතින්

බුද්ධිමත් ලෙසින් ජීවත්වීමේ කලාව

Posted in Uncategorized by arunishapiro on ජූනි 12, 2013

මිනිසා වෙහෙසෙන්නේ තම අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නට. අනෙකුත් සත්වයන්ට නැති මිනිසාට ඇති හැකියාව අතීත වැරදීම් සලකා බැලීමෙන් අනාගත සැලසුම් හැදීම සහ නොහැදීම තෝරාගැනීමේ හැකියාවයි. මිනිසුන් බොහොමයක් එසේ කටයුතු කරන තැන සමාජයයි. සමාජයක උන්නතියක් ගැන කතා කරද්දී එවිට අපි කතා කරන්නේ එහි වාසය කරන සියළු මිනිසුන්ට තම අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නට කොතරම් ඉඩ ප්‍රස්ථා සැලසී ඇත්දැයි කියාය.

ආචාර ධර්ම නොහොත් ethics යනු පුද්ගලයෙකුගේ සහ කල්ලියකගේ හැසිරීම තීරණය කරන සදාචාරමය සිද්ධාන්ත වෙති. සදාචාරය නොහොත් morality යනු හොඳ සහ නරක සහ හරි සහ වැරදි හැසිරීම අතර වෙනස පුද්ගලයාට පැහැදිලි කරන සිද්ධාන්ත වෙති.

මිනිස් ඉතිහාසයේ මිනිස්සු මුලින් ම ක්‍රියාවන් හි යෙදිලා ඊට පස්සෙ තමයි ඒවා ගැන කල්පනා කරලා බලන්න කාලයක් මිඩංගු කළේ. නීල් ගේමන් කිව්වා වගේ අපි අනුන් අනුකරණය කරමින් කතා කරන්න ඉගෙන ගෙන ඊට පස්සෙ තමයි අපේ හඬ හොයාගන්නෙ. අපිට ඕනෑ දේවල් කියන්නෙ.

මිනිසා භාෂාවන් හදාගෙන එකිනෙකා සමඟ කතාබහ කළේ ව්‍යාකරණ හෝ වාග්විද්‍යාව ගැන උවමනාවක් වර්ධනයට බොහෝ කලකට පෙර.

මිනිසා වෙහෙස වුනේ, ඉතිරි කළේ, වගා කළේ, උපකරණ හදාගත්තෙ, ගෙවල් හැදුවේ, යම් යම් දේවල් වලට අයිතිය කියන්නට පටන් ගත්තේ හා තමන්ට අයිති වූ දේවල් වලින් ගණුදෙනු කළේ, මිල දී ගැනීම හා විකිණීම කළේ, මුදල් බිහිවුනේ, අර්ථ ශාස්ත්‍රය ගැන පැහැදිලි න්‍යායයන් හදා ගන්න ඉතා දීර්ඝ කාලයකට පෙර.

මිනිසා ආණ්ඩු හදාගත්තෙ, නීතීන් හදාගත්තෙ, විනිසුරුවන් හා උසාවි පිහිටුවා ගත්තෙ, දේශපාලන න්‍යායන් හෝ නීතිමිමංසාවන් හදාගන්න බොහෝ කලකට පෙර.

මිනිසා හැමදාම යම් ආකාරයක සදාචාරමය ධර්මයක් අනුව කටයුතු කළා. තමන් හා ජීවත්වෙන සෙසු ජනතාවගේ ක්‍රියාවන් අනුමත කළා. ප්‍රතික්ෂේප කළා. හොඳ යැයි සැලකූ දේවල් වලට තෑගි දුන්නා. වැරදි යැයි සැලකූ දේවල් වලට දඬුවම් කළා. ඒ ඔක්කොම කළේ ද එහෙම මෙහෙම කරන්න යම් තර්කාන්විත යුක්ති සහගත වූ පිළිවෙතක් තිබිය යුතු යැයි කල්පනා කරන්නට බොහොම කාලයකට කළින්.

යම් ආචාර ධර්ම සම්ප්‍රදායක් කියන්නෙ ධර්මයක් නැත්නම් code නොහොත් මූල ධර්ම සෙට් එකක්. එයින් ඉදිරිපත් වෙන්නෙ වෙනස් නොවෙන (consistent), පැහැදිලි (coherent), ඊට අඩංගු නීති රීති සියල්ල එකතු කරන පද්ධතියක්.

අපිට අමතකයි මුලින් ම අපි ආචාර ධාර්මික අගැයුමක් ඉදිරිපත් කරපු දවස. බහ තෝරන වියේ දී අපි “හොඳ බල්ලා,” “නරක පූසා,” නැත්නම් සමහරු දොර අගුලක බබාගේ ඔළුව හැප්පුනාම “නෝටි දොර” කියලා බබාට අප්‍රසාදය දක්වන්න කියලා දීලා තියෙනවා. ඒත් පසු කාලයක දී තමයි අපි ඉගෙන ගන්නෙ අපේ ප්‍රසාදය සහ අප්‍රසාදය ඒ වෙලාවට හිතට දැනෙන ආවේගය අනුව නොව යම් ආචාර ධාර්මික වූ පද්ධතියක් අනුව තීරණය කළ යුත්තක් යැයි කියා. වැඩිහිටියන් වූ පසුවත් ආවේග වලට හසුවී ප්‍රතිචාර දක්වන, එතැනින් එහාට හිතන්නට නුහුරු අය ලොව බොහෝයි.

ජෝන් ස්ටුවර්ට් මිල් ආචාර ධර්ම හැඳින්වූයේ සදාචාර විද්‍යාවක් හැටියට. එය ඒ කාලයේ පටන් වර්ධනය වූයේ ක්‍රමානුකූල අධ්‍යයන විෂයයක් ලෙසින්. විචාරමය නීති වලට අනුකූලව, විද්‍යාත්මක නීති වලට පටහැනිව නොයා, පැහැදිලි වූ ද, නිශ්චිත වූ ද ලෙසින් ගොඩ නඟන ලද පිළිවෙලකින් යුතු නිගමන වලින් විසඳුමකට එළඹීම යනු ආචාර ධර්මයේ කාර්ය භාරයයි. ඉතින්, යමක් ආචාර ධාර්මිකව හරි යැයි හෝ වැරදි යැයි කීම ඒ නිසා යම් අයෙකුට ඒ ඒ වෙලාවට හිතෙන හැටියට තීරණය කරන්න බැරි දෙයක්.

ආචාර ධර්ම යනු මේ විෂයට ගෝත්‍ර වන දේවල් වල හැටි මෙහෙමයි කියා දෙන විෂයයක් නොවෙයි. මෙහෙම කළාම මෙහෙම වෙනවා යැයි පෙන්වා දෙන විෂයයක් ද නොවෙයි. ආචාර ධර්ම යනු අයෙක් කළ යුත්තේ කුමක් දැයි කියන්නක් වීම නිසා තමනට නුහුරු ලෙසකින් ගොඩනඟා ඇති ආචාර ධර්ම පද්ධතියක් පිළිගන්නට මිනිසා පසුබටයි. ඒ පසුබෑම නිසා සෑම දෙනාටම පිළිගත හැකි ආචාර ධර්ම පද්ධතියක් හදා ගත්තාම පමණක් ම ඒකීය මිනිසාගේ ආරක්ෂාවට හා දියුණුවට පාර හැදෙනවා යන්න ද කල්පනා කර බලන්නට පසුබෑමක් මිනිසා තුල තියෙනවා.

නමුත් මිනිසාගේ උන්නතියට, මිනිසා සමාජයක් තුල වාසය කරන නිසාම, අද මිනිසා ගෝලීය සමාජයක් තුල වාසය කරන නිසාම, සියළු දෙනාගේ ම ආරක්ෂාවට සහ දියුණුවට සෑම දෙනාටම පිළිගත හැකි ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යයයි.

පාසැල් අධ්‍යාපනයේ දී හදාරන්නට නොලැබෙන ආචාර ධර්ම විෂයය උසස් අධ්‍යාපනයේ දී ද දර්ශනය, වෛද්‍යවිද්‍යාව සහ නීතිය වැනි විෂයයන් හදාරන සුලුතරයකට සීමා වී තිබීම දැඩි අඩුපාඩුවක්. විශේෂයෙන් ම ආගමික සංස්ථා වලින් මිනිසා දුරස් වෙමින් පවතින ලෝකයක ආචාර ධර්ම ගැන සංවාදයක් නොවන්නේ ද පින් පව් කෙසේ වෙතත්, හරි වැරදි කෙසේ වෙතත්, හොඳ නරක කෙසේ වෙතත් සමාජයේ සෑම සාමාජිකයෙක් තුලින් ම පළා යන්නේ ශීලාචාරකමයි.

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූනි 13, 2013 at 5:06 පෙ.ව.

    පාසැල් අධ්‍යාපනයේ දී හදාරන්නට නොලැබෙන ආචාර ධර්ම විෂයය උසස් අධ්‍යාපනයේ දී ද දර්ශනය, වෛද්‍යවිද්‍යාව සහ නීතිය වැනි විෂයයන් හදාරන සුලුතරයකට සීමා වී තිබීම දැඩි අඩුපාඩුවක්. කුඩා කළ සිටම ආචාර ධර්ම චරිතායනය වන්නේ නම් එය මහත්ම වාසනාවකි. මේ අදහස මුළු ලොවම අධ්‍යාපන සැලසුම් කරුවන්ගේ අවධානයට ලක් විය යුතු වටිනා එකකි. එහෙත් තවමත් ඒ ගැන අවධානය දැඩිව යොමු වී ඇති ද යන්න අපහැදිලියි නේද ?

    • arunishapiro said, on ජූනි 13, 2013 at 7:17 පෙ.ව.

      mppgunasinghe,

      අවධානයක් දැඩිව කෙසේ වෙතත් යාන්තමෙන් හෝ යොමු වී නැහැ. හේතු බොහොමයක් අතර ප්‍රධාන වූවක් තමයි අධ්‍යාපනය බෙදාහැරීම රටක ආණ්ඩුව යටතේ සිද්ධ වීම.


ප්‍රතිචාරයක් ලබාදෙන්න