සදාචාරය අද්භූතයක් ද?
අප හැදී වැඩුනේ සදාචාර විනිශ්චයන් පැවති ලෝකයකයි. අනික් අය කරන කියන කටයුතු දිහා බලා ඒවායේ හරි වැරදි බව ගැන ඇහෙන්නට ලැබෙන වාතාවරණයකයි. අපි ඒ ඇහෙන දේවල් සමඟ වරෙක එකඟ වීමු. තවත් වරෙක එරෙහි වීමු. සමහර අවස්ථාවල දී අපි අයෙක් කළ ක්‍රියාව ගැන නොව, යම් ක්‍රියාවක් කළ තැනැත්තාගේ හැඟීම් ගැන නොව, ප්‍රතිචාරයක් දැක්වූයේ ඊට මුල් වූ මූල ධර්මය හෝ සිද්ධාන්තය ගැනයි.
අනුන්ගේ ක්‍රියා කලාපය ගැන පමණක් නොව අපි අපේ වැඩ ගැනත් විනිශ්චයන් අප වෙතම දී ගන්නෙමු. කාට නොකිව්වත් අපි කළ දෙයක් ගැන අපේ මිනුම් දඬු වලින් මැන බලා අපේ හිතට වද දෙන්නේ අපි පිළිගත් විශ්වාසයන්. යම් සදාචාරමය පද්ධතියකට අනුව කටයුත්තක් කළ නොහැකි වූ විට අපිට “ගිල්ටි” බවක් දැනෙයි. අපි පිළිගත් විශ්වාසයක් අනුව කටයුතු කළ හැකි වූ විට අපේ සිත සතුටින් පිරී ගොස් උතුම් වූ හැසිරීමක් අපි අතින් සිද්ධ වූවා යැයි ආඩම්බරයට පත් කරයි.
එහෙත් කල්පනා කරන්නට සිතක් ඇති මිනිසා පොඩ්ඩක් නැවතී වටපිට බැලුවොත්, තමන් අනුගමනය කරන සදාචාර පද්ධතිය එහි සෑම සියළු අංගයන් වලින් ම සර්වප්රකාරයෙන් ම තම හිත මිතුරන්, අසල්වැසියන් සහ රටවැසියන් ද පිළිපදින්න නොවෙන බව දකියි.
අපිට ඊටත් වැඩියෙන් දුෂ්කර එක රටක ජාතික මට්ටමෙන් අගයන සදාචාර පද්ධතියක් තවත් රටක එවැනිම ජාතික මට්ටමෙන් සලකන්නක් හා සසඳා බැලීමයි.
එසේම පුරාතනයේ පැවති සදාචාර පද්ධතියන් එලෙසින් පිළිගැනීමට ද නොහැකි බවක් ඒ ගැන තතු විමසා කල්පනා කරන අයෙකුට වැටහේ.
මෙසේ වැඩි වැඩියෙන් වෙනස්කම් ලොව ඇති බව දකිද්දී වුව ද සියළු සදාචාර පද්ධතියන් තුල දිවෙනා යම් හරයක් ඇති බවත් එය අපිට ප්‍රතික්ෂේප කරනු නොහැකි බවත් පෙනේ. යම් හැසිරීමකට හේතු වූ කාරණය කුමක් දැයි සොයා නොගත හැකි වුවත් අපි කුරිරිබව සලකන්නේ නොමනා ගති ලක්ෂණයක් හැටියට ය. එසේම අයෙක් විශ්වාසය කැඩෙන සේ කටයුතු කිරීම, බොරු කීම, හොරකම හෝ මිනීමැරීම යනාදිය හොඳ යැයි පිළිගන්නේ නැත.
හමුරාබියේ සඳහන් වන්නට පෙර, මනු දහමේ ලියැවෙන්නට පෙර ඒ ආචාර ධර්ම අදහස් ඒ ඒ සමාජයන් තුලින් දකින්නට ලැබුණු ඒවා විය. වාචික සහ ලිඛිත මාධ්‍යයන් වලින් ඒවා සමාජයක කතාබහට ලක්වෙද්දී නීති, විධාන, උපමා කතා යනාදියෙන් ඒවා ගැන දැන ගන්නට ලැබෙද්දී මිනිසා ද ඒ ගැන පහදා දීමක් ඉල්ලන්නට උත්සුක විය.
හැදියාව මෙසේ වීම හරි, මෙසේ වීම වැරදි යැයි තීරණය වූයේ කුමන කාරණා අරබයා දැයි විමසන්නට මිනිසා ඉදිරිපත් විය. ඒ ඒවාට අකමැති වූ නිසාම නොවේ. යමක් අනුගමනය කරන්නේ මන්දැයි යන්න දැනගැනීමට මිනිසා තුල කුතුහලයක් ඇත. ජානුගතව ලැබී ඇති තෝරාගැනීමක් නොමැති හැදියාවක නියැළීම සත්වයන් තුලින් දකින්නට හැකි වුව ද එය මිනිසා තුල අඩු ලක්ෂණයකි.
ඉතින් මිනිසා විමසන්නට වූයේ ඇයි යම් හැසිරීමක් වැරදි? තවත් හැසිරීමක් හරි? කියාය.
කවුද මෙහෙම තෝරා බේරා දුන්නේ? කියාය.
එය පැහැදිලි කරන ලොව මුල් ම න්‍යාය වූයේ දෙවියන් (දෙවිවරු) විසින් එසේ නියම කර ඇති නිසා බවයි. මිනිසාගේ සමහර ක්‍රියාවන් දෙවියන් සතුටු කරන බවත් සමහර ක්‍රියාවන් දෙවියන් අසතුටු කරන නිසත් පැහැදිලි කරන්නට මුල් වූ පිරිස දෙවියන්ගේ ආශීර්වාදය දිනාගන්නට සමත් වෙන අයට දෙවියන්ගෙන් තෑගි ලැබෙන බවක් කියා සිටියහ. අප්‍රසාදයට හේතු වන අයට දඬුවම් ලැබෙන බව කියා සිටියහ.
දේව භක්තිය මත පදනම් වෙන මෙම න්‍යාය තවමත් ලෝකයේ ප්‍රබල ලෙසින් පැවතෙන්නකි.
එහෙත් මුල් ක්‍රිස්තියානි දාර්ශනිකයන් විසින් ද මුහුණ පෑ ගැටළු දෙකක් මෙහි අන්තර්ගතයි.
පළමුවැන්න: මේ සදාචාර පද්ධතිය හිතුමතයේ හැදුනා වූවක් ද? දෙවියන්ගේ කැමැත්ත නිසා පමණක් වූයේ දෙවියන් එසේ නියම කළ නිසා ද? එහෙමත් නැත්නම් දෙවියන් යනු ස්වභාවයෙන් ම හොඳ නිසා දුෂ්ටත්වය නියම කරන්නට නොහැකි වූ නිසා මෙසේ හොඳ පමණක් නියම කළා ද? එහෙත් මෙසේ විචාරයට ගිය දාර්ශනිකයන් මුහුණ පෑවේ තවත් ගැටළුවකට: එහෙම නම් දෙවියන්ට පෙර හොඳ නරක, හරි වැරදි බව පැවතියා යැයි ද, එය දෙවියන්ට පරිබාහිරව එනම් දෙවියන් පවතින්නට පෙර සිට පැවතියක් ද?
දෙවැන්න: මේ සදාචාර පද්ධතිය දෙවියන්ගේ කැමැත්ත අනුව සැකසුනා වූවක් නම්, එහෙනම් අපි කොහොම ද දෙවියන්ගේ කැමැත්ත කුමක් දැයි හරියටම දැනගත්තේ?
දෙවියන්ගේ කැමැත්ත ගැන සාමාන්‍ය මිනිසාට කියාදෙන්නට ඉදිරිපත් වූවන් වෙතින් පව්කාර වැඩ ගැන ප්‍රමාණාත්මක ලෙසින් ලැබෙන පව් ගැන පැහැදිලි බවක් දැනගන්නට නොහැකියි. ඔවුන් විවිධ ආගම් වලට බෙදී, විවිධ නිකායන් වලට බෙදී ඒ ගැන තවමත් වාද කරමින් සිටිති.
මෙහි දී සමහරු සදාචාර හැසිරීම යනු “සිතට දැනෙන” දෙයක් යැයි ද කෙළින් ම ප්‍රතිභා ඥානයෙන් ලබා ගත හැකි වූවක් යැයි ද කියති. එක් මිනිසෙකුගේ සදාචාර හැඟීම තවත් මිනිසෙකුගේ සදාචාර හැඟීමට වඩා වෙනස් විදියකින් සිද්ධ වෙන්නේ කෙසේදැයි එයින් පැහැදිලි නොවේ. බොහෝ අවස්ථා වල දී හරි දේ කරන්නට යැයි හදන තෝරාගැනීමක් ඉදිරියේ දී “හිත කියන්නේ” කුමක් දැයි තෝරා බේරා ගැනීම තමන්ටම වුව ද ඉතා දුෂ්කරය.
තවත් පිරිසක් කියා සිටින්නේ සදාචාර අගැයුම් යනු සංශයවාදයක් හා නාස්තිකවාදයක් කියාය. සියල්ල ගොඩනැඟී ඇත්තේ පදනම් රහිත මිථ්‍යාමත තුලින් බවයි. එහෙත් මේ සංශයවාදියෙක් හෝ නාස්තිකවාදියෙක් හා පොඩ්ඩක් එරෙහි වීම ඔවුන්ගේ මතය සත්‍යයෙන්ම එය නොවන්න බව පැහැදිලි කරන්නකි!!!! ඔවුන් අචපල නොවෙති. එවැන්නක් කියන්නෙක්ව තදින් කෙනිත්තුවොත් ඔහු ඒ ගැන අවලාද කියන්නේ සදාචාර අගැයුම් වලට ඉතා සමාන වූ වදන් වලිනි!!! ඒවා ගැන සිංහලෙන් කතා කරන සමහරු නම් කිසිත් නොකළත් බලෙන්ම කොනක් අල්ලා ගෙන හැප්පෙන්නට ද එන්නේ තමන්ගේ වාදය ද කුමක් දැයි හරිහැටියකට නොදන්නා බව ඔප්පු කරමිනි!!!!!
ඉතින් අපේ සදාචාර පද්ධතිය යනු සමාජ පරිනාමයක දී භාෂාව මෙන්, ලෝකයේ නීති මෙන් කෙමෙන් කෙමෙන් වෙනස් වීම් වලට භාජනය වූවක් යැයි ද, ලෝක සමාජයක් තුල සාමය සහ සහයෝගීතාව වෙනුවෙන් පරිනාමය වෙමින් පවතින්නක් යැයි ද තවත් අදහසකි.
ඔබ ඉදිරියේ ඔබට රිසි වූ යම් දෙයක් ඇතැයි සිතන්න. අයෙකුට එය අඹ ගෙඩියක් විය හැකියි. තවත් අයෙකුට එය කීර්ති නාමයක් විය හැකියි. තවත් අයෙකුට එය ඊට රිසි බව දමනය කොට “යනකොට ගෙනියන්න හැකි” දෙයක් විය හැකියි.
යම් දෙයක් ගැන ආශාවක් උපන්නේ ඔබ තුලයි. ඒ ආශාව එම දැයෙහි අන්තර්ගත වූ වැරද්දක් නොවේ. එසේ ආශාවක් ඇතිවීම මිනිස් ස්වභාවය නිසා එවැන්නක් ඇතිවීම ඔබේ වැරැද්දක් ද නොවේ.
මෙහි දී අපි අවධානය යොමු කළ යුත්තේ කුමකට ද?
රිසි වූ දේවල් හඹා යෑමට කැමති අයට අනික් අයට පාඩුවක් නොවන පරිදි ඒ සඳහා ඉඩ දීම ද?
ආශාවන් කුමන දේවල් සඳහා පමණක් විය යුතු දැයි සහ ඒවා ලබාගත හැක්කේ කුමන ආකාරයෙන් පමණක් දැයි තීරණය කරන පිරිසකට බලය පැවරීම ද?
හොඳ සංවාදයකට ආරම්භයක්. …වෙනත් තැනෙක පලකල කමෙන්ටුවක්, මෙතැනට අදාල බැවින්, වෙනස් නොකර එලෙසිම කොපි-පේස්ට් කරමි. අදාල නොවන වාක්‍ය ගැන සමාවන්න.
/***
“සදාචාරමය නොවන” (immoral) යනුවෙන් සම්මත ක්‍රියා කල විටදී තම්න්ට ඍජුවම සිදුවන අගතිය පමනක් නොව සමාජ සමබර තාවය බිඳී යාමෙන් සමස්ත පද්ධතියටම වන අගතිය තේරුම් ගත් නිසාවෙන්ම සදාචාරමය නොවන ක්‍රියාවල නොයෙදී, තමන් හා තමන් වාසය කරන පද්ධතිය යන දෙකම රැකගනිමින් ජිවත්වීම හුරු කරගත් පෞද්ගලික හර පද්ධතීන් අනුගමනය කරන නිර්-ආගමික (irreligious) පුද්ගලයන්ද මෙලොව සිටින බව මෙයින් දැනගත යුතුය. (මද සිනා) ආගමික පුද්ගලයෙකුට වුව මෙය තේරුම් ගැනීම අපහසු විය නොහැකි යැයි මට සිතේ. මෙම නිර්-ආගමික පුද්ගලයන් ක්‍රියාවක හොඳ නරක තෝරා බේරා ගන්නෙ ආයතනගත හර පද්ධතියකට (institutuinalized value system) ගලපා බලා නොව, එම ක්‍රියාවෙ ප්‍රතිවිපාක (consequences) පවතින තත්ව ඇසුරින් තේරුම් ගැනීමෙනි. මිනිසා ඇතුලු හැඟීම් ප්‍රදර්ශනය කරන සෙසු සත්වයන් හට “විඳවීම” (suffering) සිදුවීම නරකය වැනි සරල සිද්ධාන්ත කිහිපයක් පමනක් ප්රත්යක්ෂ ලෙස ගැනීම මෙහිදී දැකිය හැකිය….
“සදාචාරය” (morality) යනු පවතින රාමුවට සාපේක්ෂව, සියලු දෙනාගේ යහපත අරමුණු කොට සාදාගත් හර පද්ධතියක් බව තේරුම් ගත් පසුව. එය තව දුරටත් නිරපේක්ෂ (යැයි ආගමිකයන් සිතා සිටින) රාමුවක් තුල සිරවී පවතින ආගමික මතවාද තුල බහාලිය යුතු නොවේ.ආයතනගත (instituionalized) ආගම් හරහා කෙරන බිය වැද්දීම නිසා මිස වෙනත් අයුරකින් සදාචාර විය නොහැකි පුද්ගලයන් සඳහා “ආගම” සමාජය තුල තිබිය යුතුය. ඒ ගැන විවාදයක් නැත. නමුත් රටක නීතිය ආගමික රාමුවකට කොටුවු සදාචාර පද්ධතියකින් නොව, වෙනස් වන සමාජමය රාමුවට සාපේක්ෂව වෙනස්විය හැකි හර පද්ධතියක් මත පදනම් විය යුතුය. ඇත්තම කතාව කිව්වොත්, හර පද්ධතීන් බොහෝවිට තැනෙන්නේ ආගමෙන් වියුක්තවය. ආගම පසුපසින් පැමින මේ හර පද්ධතීන් අහුලාගෙන ඒවා ආයතනගත (institutionalized) කරයි
උදාහරණ කිහිපයක් කියතොත්, සතුන්ට කරුනාව දැක්වීම යනු ඒබ්‍රහමික ආගම් කිසිවක මූලික අදහසක් නොවේ. එනමුත් අද ඒබ්‍රහමික ආගම් මූල බටහිර සමාජයන් තුල සතුන්ට කරුනාව දැක්වීම හා සත්ව අයිතීන් පිලිබඳ විශාල මතයක් ගොඩ නැගී ඇත. කාලයාගේ ඇවෑමෙන් මෙය ඒබ්‍රහමික ආගම් තුලටද වැද්දගනු ඇත. (දැනටමත් එය සිදුවී ඇත). නීතිමය විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා පිලිබඳ බෞද්ධ මතයක් අතීත බෞද්ධ සමාජ තුල තිබුනා වීමට ඉඩක් නැත. නමුත් එය අද ලංකාවේ පවතින බෞද්ධ සංස්ථාව විසින් “අහුලාගෙන” දැඩිව ග්රහනය කරගත් මතයකි.
මේ නයින් බැලූ කල අලුත් හර පද්ධති තනන්නේ හා සදාචාරය දර්ශකයේ දිශාව වෙනස් කරන්නේ ආගම් නොවේ. ආගම් කරන්නෙ පසුපසින් පැමින මේ සදාචාර දර්කයයේ දිශාවට අනුගතවී, එතැනනින් නොනවතී එම දිශා දර්ශකයේ අයිතිකරු බවටද පත්වීමයි…
කෙසේ වුවත් මානව ශික්ශනය හා සදාචාරය පවත්වා ගැනීම යන අරමුන සඳහා “ආගම” නිරාගමට වඩා හොඳ මෙවලමක්ද වේද නොවේද යන්න විවාදාත්මක මාතෘකාවක්. ඒ ගැන මට දැඩි මතයක් නැහැ. කිසිවෙකු ආගම “මෙවලමක්” ලෙස දකී නම් “පරම සත්‍යය” ලෙස හුවා නොදක්වයි නම්. ඒ සංවාදයට හොඳ ආරම්භයක්. එම පදනමින් පටන් ගෙන මෙවලමක් ලෙස එහි ගුනාත්මක ස්වභාවය හා වර්තමාන රාමුවට සාපේක්ශව එහි සුදුසු/නුසුදුසු බව objective ලෙස සාකච්ඡා කරන්න පුලුවන්. එසේ සාකච්ඡා කල හැකි වටපිටාවක් තිබීම පවා භාග්‍යයක්. ඒ අතින් ලංකාවේ අපි වෙනත් බොහෝ මූලධර්මවාදී ආගමික රටවල වෙසෙන්නන්ට වඩා වාසනවන්තයි.**/
Prasad Mapatuna,
//ඒබ්‍රහමික ආගම් මූල බටහිර සමාජයන්// යැයි හැඳින්වීමේ දී ඒ ගැන සාමාන්‍යයෙන් ඇති වැටහීම නැවත සලකා බැලිය යුත්තක්.
කොන්ෆියුසියස් දර්ශනය කොතරම් දුරකට වර්තමාන බටහිර සමාජයේ ආචාර ධර්ම තුලින් දකින්නට හැකි ද? මෙය සලකා බලන්නා පුදුමයකට පත්වෙනු ඇත!!!!!
පූර්ව ක්‍රිස්තියානි දාර්ශනිකයන් වූ පයිතගරස්, හෙරක්ලයිටස්, ඩිමොක්‍රටීස්, සොක්රටීස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැන්නුවන් වර්තමාන බටහිර ආචාර ධර්ම වෙනුවෙන් කොතරම් මෙහෙයක් ඉටුකර ඇත් ද?
සටොයිකවාදීන් සහ එපිකියුරියානුවන් ද ඉදිරිපත් කරන ලද අදහස් නොයෙක් විපරිතයන්ට ගොදුරු වුව ද ඒවා ද වර්තමාන බටහිර ආචාර ධර්ම වෙනුවෙන් කොතරම් බලපෑම් කර ඇත් ද?
මධ්‍යතනය යුගයේ තෝමස් ඇක්වයිනාස් නම් ක්‍රිස්තියානි ආගමික න්‍යායචාර්යවරයා සිට බොහෝ බටහිර ආචාර ධර්ම නීති ගොඩනැඟූ අය හැරුනේ ආගමික පදනමට නොව ඇරිස්ටෝටල් වැනි ආගමික නොවූ දාර්ශනිකයන් දිහාට බව සලකා බලා ඇත් ද?
ඉහත දිග කමෙන්ටුවනං කියෙව්වේ නැ. ඒත් දෙයක් ලබාගන්නටනම් අපත් ඒ උදෙසා වෙර වීරිය දැරිය යුතුයි. එතැන තරග කාරීත්වයක් ඇති. එනමුත් අධිෂ්ටානය ඇත්තා යා යුතු තැනට යනු ඇත. සෙස්සේ අනුන් විවේචනය කරම්න් එතැනම සිටිනු ඇත.