අරුණි ශපීරෝ‍ වෙතින්

නුවණ නැති අය ගැන කුමක් කරමු ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 14, 2013

ධර්මය ගැන අවබෝධයක් පහළ වෙන්නේ කල්පනා ශක්තියෙනි.

සහයෝගයෙන් එකිනෙකා හා කටයුතු කළ යුතු යැයි පිරිසක් කියද්දී එසේ කළ යුත්තේ මන්දැයි වටහා නොගන්නා එහෙත් වටහා ගැනීමට හැකියාව ලැබෙන කල්පනා ශක්තිය ද සතු වූ පිරිස ගැන කුමක් කරමු ද?

යම් ධර්මයක් නුවණැතියන්ට නම් නුවණ නැති අය ගැන කුමක් කරමු ද?

ආචාර ධර්මානුකූල අවබෝධයෙන් ශක්තිමත් පෞරුෂයන් ගොඩනැඟී තිබෙන අධිෂ්ඨාන ශක්තියෙන් පිරිපුන් අය සහයෝගයෙන් එකිනෙකාගේ දියුණුවට කටයුතු කිරීමට ක්‍රම සහ විධි සොයති. තවත් පිරිසක් තම අයිඩියලොජියෙන් යුතු ක්‍රමය සැවොම විසින් පිළිගත යුත්තක් යැයි කියමින් ඉහළ බල අධිකාරියක් යටතේ සියළු දෙනාගේ ම යහපත වෙනුවෙන් සැලසුම් හැදීම කළ යුතු යැයි කියති. එවැනි අය තම මතය නිවැරදි යැයි පිළිනොගන්නා අයව නිහඬ කරන්නට සහ ඔවුන්ව බිය ගන්වා තම මතයට නතු කරගන්නට ක්‍රම සෙවීමට පමණක් වෙහෙසෙති.

වහලා යන සංකල්පය ලොවෙන් තුරන් වී ගියේ වහලෙක් වූ මිනිසා ගැන හටගත් මානව දයාව නිසා නොවේ. වහලෙක් වෙතින් බලහත්කාරයෙන් වැඩ ගන්නවාට වඩා කැමැත්තෙන් වැඩ කරන මිනිසෙක් වෙතින් හොඳ සේවයක් පහසුවෙන් සහ ලාබයෙන් ලබාගත හැකිබව අත්දැකීමෙන් සහ අවබෝධයෙන් වටහා ගත් නිසයි.

සියල්ලන්ටම සුදුසු පරම යහපත කුමක් දැයි නොදැන එය මෙසේ වේ යැයි තමන් තීරණය කරනවාට වඩා ඔවුනොවුන් කැමති පරම යහපත වෙනුවෙන් කටයුතු කරන්නට ඉඩ දීමෙන් වැඩියෙන් සාමකාමී හා වැඩියෙන් ඵලදායී සමාජයක් සාක්ෂාත් වෙනවා යැයි ලොවට පෙන්වා දුන්නේ ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදී පර්යේෂණය නොහොත් ජනතාව විසින් ජනතාව පාලනයයි.

ආචාර ධර්මයන් නිර්දේශයේ දී ඇති ප්‍රධානතම ගැටළුව නම් එකම විදියකින් හැසිරීමට දෙදෙනෙක් අදිටන් නොකිරීමයි. එක් විදියකට යමක් කිරීමට තවත් අයෙක් හා කැමති වන අයෙක් ඒ අය සමඟම වුවත් තවත් යමක් කිරීමට අකමැති වෙයි. සෑම පුද්ගලයෙක්ම ඒ ඒ අයට සුවිශේෂී වූ ආශාවන්, ඒ ඒ අයට පමණක් වූ අගැයුම්, ඒ ඒ අය විසින් සොයා යන දේවල් සමඟින් ජීවත්වෙන අය වෙති.

ඒ අතර සුළු පිරිසක්, අනෙක් අයට රිසි දේ කරමින් ජීවත්වෙති. තමන්ගේ ආශාවන් මොනවා ද කියා, තම අගැයුම් මොනවා ද කියා සහ තමන් සොයා යන්නට කැමති දේවල් මොනවා දැයි කියා දැනගන්නට උත්සාහයක් නොකරති. මේ අයගේ දැනුම කොතරම් පටු ද යැයි කිව්වොත් ඔවුනට සමාජ සබඳතාවයන් තුලින් සාක්ෂාත් කරගත හැකි ඵලයන් ගැන වැටහීමක් ඇති කරගත නොහැකියි. ඒ අය අනිකුත් අය විසින් පාරට්ටු බාන උදාර චේතනා තම අභිප්‍රායන් ලෙසින් පිළිගෙන ඒවා නැවත ප්‍රතිචාරය කරමින් ජීවිත ගෙවා මිය යති.

ඉතින් ඒ අය ගැන අපි කුමක් කරමු ද?

තවත් සමහර අය කළ යුත්ත කුමක් දැයි දනිති. ක්‍රියාවකින් ලැබෙන ඵල විපාකය දනිති. හෙට හැදෙන පෙනහළු ආබාධ ගැන දත්ත ද අද බොන සිගරට් එක ඔවුනට මහත් සහනයකි. හෙට උදේට හැදෙන හිස රදය කොතරම් දරුණු වුවත් සවසට බොන මත්පැන් වීදුරැව හෙන ආතල් එකකි.

කළ යුත්තේ සහ නොයුත්තේ කුමක් දැයි දැන සිටින මිනිසා ලවා පවා කළ යුත්ත කරවා ගන්නේ කෙසේ ද?

සියළු දෙනාගේ ම පරම යහපත සැලසීමට තමන් දන්නවා යැයි සිතන පිරිසේ අය (ප්ලේටෝ පටන් පැවතෙන සියළුම සමාජ සැලසුම්කාරයන්) තවත් කුමන හෝ සැලසුමක් ඉදිරිපත් කරමින් මිනිසුන් ලවා කළ යුත්ත කරවා ගන්නට මෙසේ හැකි යැයි කියමින් ඊට වෙර දරයි. අධ්‍යාපනය මෙසේ ලබා දීමෙන් මිනිසා මෙසේ කටයුතු කරාවි යැයි සිතති. සිගරට් පැකට් ඇසුරුම් මෙසේ මුද්‍රණය කිරීමෙන් ඔවුන් සිගරට් නොබී සිටිනු ඇතැයි සිතති.

අනුන් කියන හැටියට ජීවත් වෙන පටු චින්තනයේ හිර වී ඉන්නා අයත්, තතු දැනගෙන තමන්ට අහිතකර වූව කරන්නට තෝරා ගත් අයත් යන දෙගොල්ලන් ම අනුන්ට විපත් නොකරන අයයි. තම ජීවිතය පමණක් අඥාන බවින් ගෙවා දමන අයයි.

දෙන අධ්‍යාපනය කුමක් දැයි තීරණය කිරීම මඟින් සමාජය තමනට රිසි සේ හැඩගස්සවන්නට වෙර දරනා සමාජ සැලසුම්කාරයන් සේ ම, ආරාජකවාදීන් (anarchists) ද විශ්වාස කරන්නේ සත්‍ය වූ නිදහස් අධ්‍යාපනයක් තුලින් සියළු මිනිසුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන්නට ඉගෙන ගනීවි යැයි කියාය. දැනුම වැඩි වීමත් සමඟ ඔවුන් සමාජයේ යහපත පිණිස කටයුතු කරාවි කියාය. ආණ්ඩුවක් හෝ රජයක් නැති සමාජයක, කිසිම කෙනෙකු වරප්‍රසාද නොලබන සමාජයක, කිසිම කෙනෙකුට බලහත්කාරකම් නොමැති සමාජයක පොලිස් බලයක්, අනිවාර්ය නීති සමුදායක් නොමැතිව මිනිසා යහපත් ලෙසින් කටයුතු කරාවි කියාය.

නුවණ නැති අයත්, ඇති නුවණ සලකා බලන්නේ නැති අයත් සමාජයේ සිටින බව ආරාජකවාදියා අමතක කරයි.

නුවණ නැති අය සේ ම දරුවන්, වයසට ගිය අය, මන්ද බුද්ධිකයන් හා උමතු රෝගීන් ද සමාජයේ සිටින බව ආරාජිකවාදියා අමතක කරයි.

සමාජයක වාසය කරන සියල්ලන්ගේ ම ආරක්ෂාව පිණිස කොතරම් සැලසුම් හැදුවත් ඵලක් නැති බවත්, එසේම සමාජයක වාසය කරන සියල්ලන්ටම කොතරම් නිදහසක් දුන්නත් බුද්ධිය පෑදෙන්නේ නැති බවත් වටහා ගන්නේ බුද්ධිමතා පමණයි.

නුවණ නැති අය ඔවුන්ගෙන්ම ආරක්ෂා කරගැනීමටත්, නුවණ නැති අයගෙන් නුවණ ඇති අයට වන හානිය වළක්වා ලීමටත් ඒ නිසා ආරාජිකත්වයකින් නුපුළුවන. ඒ බලය පමණක් පැවරෙන්නේ සමාජයක ආරක්ෂාව පිණිස හදාගන්නා ආණ්ඩුව වෙතටයි. ආණ්ඩුවක් යනු සියල්ලන්ගේ ම යහපත පිණිස සමාජයේ එකඟ වූ නීති කඩන අයට පමණක් බලහත්කාරකමක් කිරීමට වරම් ලැබූ රකුසෙකි. මේ රකුසාට පැවරෙන එකම කාර්ය භාරය මිනිස් සබඳතා සාමකාමීව පවත්වා ගෙන යෑම සමාජයේ සිද්ධ වෙන්නේ දැයි තහවුරු කිරීමයි.

පැරණි ලිබරල් සමාජ ධර්මය, වැඩිදෙනෙකුට යහපත සැලසෙන සදාචාර ධර්මයන් සහ ආර්ථික ප්‍රතිපත්ති පදනම් කරගෙන ඒවා රකින්නට පත් වූ එහි පාලකයන්ව සැලකිල්ලට ගන්නේ සුළු කොට්ඨාශයක් හැටියටයි. බහුතර ජනතාවගේ කැමැත්ත නොමැති නම් ඔවුන්ට වැඩි කාලයක් බලයේ සිටින්නට හැකියාවක් නැත. ආණ්ඩු ක්‍රමය කුමක් වුවත් ආණ්ඩුවක් පිහිටුවා ගත් බහුතරයේ උවමනාව නම් බහුතරයේ කැමැත්ත ආණ්ඩුව සිද්ධ කරවා ගැනීමයි. බහුතරයක් විසින් නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය නම් ලේ හැලීමකින්, සිවිල් යුද්ධයකින් තොරව ආණ්ඩුව තම අදහස් වලට කැමති කරවා ගන්නට හැකි වූවකි.

බහුතරය කැමති කරවා ගැනීම බලහත්කාරකමෙන් තොරව අදහස් හුවමාරුවෙන්, සංවාදයෙන්, ඒත්තු යන ආකාරයකින් ඔප්පු කිරීමට හැකියාව බුද්ධිමතුන් පමණක්ම සතු වූවකි. ඒ අභියෝගය බුද්ධිමතුන් පැහැර හරින අවස්ථාවල දී ගමක්, රටක් හා ලෝකය පරිහානියට පත්වේ.

නිදහස් මිනිසුන්ට ඔවුනොවුන්ගේ අභිප්‍රායයන් අනුව ජීවත්වෙන්නට ඉඩ සැලසීම වෙනුවෙන් බහුතරය කැමති කරවා ගැනීම බුද්ධිමතුන්ගේ වගකීමකි. නුවණ නැති වැඩක් ලෝකයා ඉදිරියේ කරන්නට පෙර නුවණ නැති අයෙක් කවුදැයි සොයාගන්නට නොහැකියි. අපරාධයක් කරන්නට පෙර අපරාධකාරයෙක් යැයි හංවඩු ගසන්නට නොහැකියි. ඒ නිසා සියළු වැසියන් ගේ නිදහස කප්පාදුවෙන් බහුතරය හිතන්නට බැරි රූකඩයන් බවට පත්කරන නීති ගෙන ඒමෙන් නිදහස් මිනිසුන් වෙනුවට රූකඩ සමාජයක් ලැබේ.

නුවණ ඇති අයව සේ ම නුවණ නැති අයගේ ආරක්ෂාව සැලසීම ද බුද්ධිමතුන්ගේ වගකීමකි. මින් කියන්නේ නුවණ නැති අයගේ අභිප්‍රායයන් කුමක් විය යුතු දැයි කියා නුවණ ඇති අය තීරණය කරන්නට යෑම නොවේ. වෙන කෙනෙකුට විපතක් නොකරද්දී ඔවුන් කැමති අඥාන ලෙසින් ඔවුනට ජීවත්වන්නට ඉඩ දීමයි. වැඩිහිටියන් සිගරට් බීම වැනි තමන් තමන්ට විපතක් සිද්ධ කරගන්නට ඉඩ දුන්න ද වෙනත් අපරාධකරුවන් වෙතින් අඥානයන්ට විපත් සිදුවීම, කුඩා දරුවන්ට සිගරට් බෙදා දීම වැනි පිළිවෙත් වළක්වා ලීමයි.

මිනිසුන් සියල්ලන් බුද්ධිමත් බවට පත් කළ නොහැකියි.

මිනිසුන් සියල්ලන් කරුණාවන්ත අය බවට පත් කළ නොහැකියි.

අපරාධකාරයන් ලොවෙන් තුරන් කළ නොහැකියි.

පාලයකයන් සියල්ලන්ම පාලනයට සුදුසු අය බවට පත් කළ නොහැකියි.

මෙහි දී අප නොකළ යුත්තක් වන්නේ අපරාධකාරයන් සියල්ලන්වම පාලකයන් බවට පත් නොකිරීමයි!!!!!!!

දැනුම තුලින් බහුතරයා වෙත අදහස් ඉදිරිපත් කර ඔවුන්ගේ කැමැත්තෙන් ලැබෙන සහයෝගයෙන් මිසෙක වෙනත් කිසිම ක්‍රමයකින් සුළු පිරිසකට දීර්ඝ කාලීන සාර්ථකත්වයක් තියා සුළු දියුණුවක් හෝ අත්පත් කරගන්නට නොහැකියි.

බුද්ධිමතුන් ලොව සුළු පිරිසක් වූ කළ ඔවුන් මත පැටවෙන බර කොතරම් මහත් ද?!!!!!!!!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූනි 15, 2013 at 3:04 පෙ.ව.

    චුල්ලපන්ථක තෙරණුවෝ වැන්නන්ගේ අවබෝධ නුවණ ප්‍රකාශ වන්නේ සත්‍ය අවබෝධයට පසුවයි. බොහෝ කොට එවැන්නන් ඊට පෙර සාමාන්‍යයෙන් අප සමාජයේ සැළකෙන්නේ අනුවණයින් ලෙසය. සාමාන්‍ය සමාජයේ නුවණැතියන් නම් බොහෝවිට මහාපන්ථක තේරණුවෝ වැන්නන්ය. චුල්ල පන්ථක ගේ නුවණ අවදි නොවන තැන මහා පන්ථක නුවණැතිවේ. අද චුල්ල පන්ථකලාට සරණ ‍කොතැනද? මහා පන්ථකලා නුවණැතිකමේ සහතිකය ලබන විට සැබෑම නුවණ එළිදකීද? නුවණ මනින මිම්ම මේ අවදියේ කෙබදුද? බුද්ධිමත් කමත් සැබෑ ඥානයත්(නුවණ) එකක්මද?

    • arunishapiro said, on ජූනි 15, 2013 at 10:34 පෙ.ව.

      hallow rusta,

      මෙවැනි ප්‍රශ්න අහන්නම ඕනෑ ඒවාට උත්තර සොයාගන්න.

      නුවණ, බුද්ධිය, සැබෑ ඥානය .. මේවා මොනවා දැයි තනි තනිවමත් අනෙක් අය සමඟත් එකතු වී සොයා බලමු.

  2. hallow rusta said, on ජූනි 15, 2013 at 12:27 ප.ව.

    අගෙයි, ස්තුතියි. 🙂

  3. tax said, on ජූනි 17, 2013 at 2:02 පෙ.ව.

    “මෙහි දී අප නොකළ යුත්තක් වන්නේ අපරාධකාරයන් සියල්ලන්වම පාලකයන් බවට පත් නොකිරීමයි!!!!!!!”
    නමුත් සිදු වන්නේ එයමැයි??

    • arunishapiro said, on ජූනි 17, 2013 at 8:06 පෙ.ව.

      tax,

      අපට දැනුම බෙදා හරින්නෙ කොහොමදැයි තීරණ අපරාධකාරයන්ට පැවරුවාම ඔවුන් අපිට උගන්වන්නේ ඔවුන් අපරාධකාරයන් නොව යහපත් අය බව නිසා ඉතින් එයට රැවටෙන අපි පත් කරගන්නේ ඔවුන්ව නොව වෙන කවුරුන්ව ද?

  4. nuwan hemachandra said, on ජූනි 18, 2013 at 8:50 පෙ.ව.

    වහලා යන සංකල්පය තුරන් වූ ෙදයක් ෙනාෙව් ඒය අැමරිකානු ජනපති ඒබ්ම් ලින්කන් විසින් මුලිනුපුටා දැම්මා. ඒවෙග්ම ෙම් සමාජය සැළසුම් කරන්ෙන් යැයි පවසන විවිධ පුද්ගලයින්ද ඔබ කියන්නා වූ විවිධ වූ විෂම ෙද්වල් කරන පුද්ගලයින් විය හැකිය. ෙමෙලාව ෙවෙසන පුද්ගලයින් විමර්ෂණය කිරීම අැත්තටම කාෙග්ත් වටිනා කාලය කා දැමීමක් වැන්න…………………..will see

    • arunishapiro said, on ජූනි 18, 2013 at 9:00 පෙ.ව.

      nuwan,

      ඇමෙරිකාවේ වහල් ක්‍රමය තුරන් කළේ ලින්කන් නෙමෙයි.

      “සියළු මිනිස්සු එක හා සමාන ලෙසින් නිර්මාණය වී ඇතැයි,” යන එවක සමාජයේ සැලකිල්ලට පාත්‍ර වූ ලෝකය වෙනස් කරන ලද සදාචාරමය අදහස පිළිගත් ඇමෙරිකන් පීතෘවරු විසින් එය ව්‍යවස්ථාවට ඇතුලත් කිරීමට නොබියව ඉදිරිපත් වීම නිසයි එය තුරන් වී ගියේ.

      //ඒවෙග්ම ෙම් සමාජය සැළසුම් කරන්ෙන් යැයි පවසන විවිධ පුද්ගලයින්ද ඔබ කියන්නා වූ විවිධ වූ විෂම ෙද්වල් කරන පුද්ගලයින් විය හැකිය. ෙමෙලාව ෙවෙසන පුද්ගලයින් විමර්ෂණය කිරීම අැත්තටම කාෙග්ත් වටිනා කාලය කා දැමීමක් වැන්න// සදාචාර නීති හදන්නේ කවුද?

  5. ඕනෑම රටක පාලන ව්‍යුහය කියන්නේ ඒ රටේ මහජනතාවගේ පිලිඹීබුවක්. රටේ බහුතරය අශ්ශීල කලහකාරී වෙනකොට ඔවුන් තොරාපත්කරගන්නා නියෝජිතයනුත් ඒ වගේමයි ලංකාව දිහා බැලුවම මට නම් පෙනෙන්නේ එහෙමයි.ඔබ කියූ පරිදිම

    • arunishapiro said, on ජූනි 19, 2013 at 11:01 පෙ.ව.

      මොරබ්බා (අන්ධ බින්දුව),

      දැන් කාලේ තෝරාපත් වෙන අය තමන් නියෝජිතයන් යැයි දකින්නෙ නැහැ; තමන් ජනතා නායකයන් යැයි කියා දකින්නෙ. මුලින්ම ඒක වෙනස් කරගන්න ඕනෑ!!

      එතකොට රටේ බහුතරය අශ්ශීල නිසා “නියෝජිතයන්” එහෙම වෙනවා ද නැත්නම් “නියෝජිතයන්” අශ්ශීල නිසා රටේ බහුතරය ද අශ්ශීල ලෙසින් හැසිරෙනවා ද යන්න තෝරා බේරාගත හැකියි නේද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: