අරුණි ශපීරෝ‍ වෙතින්

තෘප්තිමත් බෙල්ලෙකුගේ ජීවිතයක් ප්‍රමාණවත් ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 17, 2013

oysterfest 007

“තෘප්තිමත් බෙල්ලෙකුගේ” ජීවිතයේ අගයක් ඇත්දැයි කියා ප්ලේටෝ විසින් Philebus හි සංවාදයට ලක් කරයි. සොක්‍රටීස් ගේ මුවින් පිටවන වදන් වලින් සංවාදය ගෙනෙන ප්ලේටෝ හිතන්නට හැකියාවක් නොමැති, මතකයක් නොමැති, දැනුමක් නොමැති, තමන්ගේ කියා සත්‍යය මතයක් නොමැති අයෙකු තුල බුද්ධියක් ඇත්දැයි විමසයි. බුද්ධියක් නැති පුද්ගලයාගේ සතුට බෙල්ලෙකු තුල ඇති සතුටට සමාන කරන සංවාදය විමසන්නේ සරල සංවේදන වලින් ලැබෙන සතුටින් සිටීම ප්‍රමාණවත් දැයි කියාය.

“තෘප්තිමත් වූ ඌරෙක් වෙනවාට වඩා අතෘප්තිමත් මිනිසෙක් වීම වඩා හොඳ ද; තෘප්තිමත් වූ මෝඩයෙක් වෙනවාට වඩා අතෘප්තිමත් සොක්‍රටීස් කෙනෙක් වීම වඩා හොඳය; මෝඩයා නැත්නම් ඌරා වෙනත් අදහසක් දරන්නේ නම් ඒ ඔවුන් දන්නේ ඔවුන්ගේ පැත්ත පමණකි. අනෙක් පැත්තයි දෙපැත්තම සසඳන්න දන්නේ,” යැයි ජෝන් ස්ටුවර්ට් මිල් විසින් උපයෝගීතාවාදය (1863) යන ඔහුගේ පොතේ ලියන ලදි.

මෙහි දී ප්ලේටෝ මෙන් ම මිල් ද මිනිසා තුල ඇති අහංකාර ආඩම්බර ගතියට තර්කය යොමු කර ඇත. මිනිසා යනු අනෙකුත් සත්වයන්ට නැති ගති ගුණාංග වලින් යුතු නිසාම දර්ශනයක් ගැන කතාබහට හැකියාව ඇතැයි සිතන්නේ ද එවැන්නා තුල සාමාන්‍ය මිනිසෙකුට වඩා බුද්ධිමත් මිනිසෙක් වීමට කැමැත්තක් ඇත. ඌරෙක් යැයි කියනවාට බොහෝ මිනිසුන් අමනාප වෙති!!! බෙල්ලෙක් සේ සතුටින් දිවි ගෙවීමේ වරදක් නැතැයි කීම මිනිස් බවට නිගාවක් යැයි බහුතරයක් එකඟ වනු ඇත.

එහෙත් බුද්ධිමත් මිනිසෙක් තියා කිසිම මිනිසෙක් බෙල්ලෙක් ලෙස කෙසේ වූව ද ඌරෙක් ලෙසින් වත් ජීවත් වී නැති බව අපි අමතක කරමු. කතාවට ඌරෙක් වගේ ජීවත්වෙනවා යැයි කිව්ව ද සත්‍යයෙන්ම ඌරෙක් සේ සිතන්නේ පතන්නේ කෙසේදැයි මිනිසාට කිසිදු අත්දැකීමක් නැත.

නිවරද ප්‍රශ්නය නම් අතෘප්තිමත් සොක්‍රටීස් කෙනෙක් වෙනවාට වඩා තෘප්තිමත් සොක්‍රටීස් කෙනෙකු වීම හොඳ ද? යන්නයි. අතෘප්තිමත් මිනිසෙක් වීමට වඩා තෘප්තිමත් මිනිසෙක් වීම හොඳ ද? අතෘප්තිමත් මෝඩයෙක් වීමට වඩා තෘප්තිමත් මෝඩයෙක් වීම හොඳ ද? ඌරෙක් ගත්ත ද අතෘප්තිමත් ඌරෙකුට වඩා තෘප්තිමත් ඌරෙක් හොඳ ද? යනාදියයි.

තෘප්තිමත් බව ලැබෙන සංවේදනයන් අතර ආහාර, සංගීතය, පියකරු දර්ශන මෙන්ම සමහර අය, සොක්‍රටීස් වැනි අය 😀 ඥානය හඹා යෑමෙන් ද තෘප්තිමත් වෙති. එහෙත් අයෙකුට සොක්‍රටීස් කියැවීමෙන් සතුටක් ලැබේවි යැයි අනුමානයෙන්, එහෙම සතුටක් ලැබීම පමණක් උසස් යැයි සලකන නිසා, රූපවාහිනියේ ටෙලි නාට්‍ය බලමින් සතුටු වෙන අය ලවා බලහත්කාරයෙන් සොක්‍රටීස් සංවාද කියැවීමෙන් ඔවුනට තෘප්තියක් ගෙන දෙන්නට පුළුවන් ද?

සදාචාර ජීවිතය යනු බුද්ධිමත් ජීවිතයක් යැයි පටලවා ගැනීමක් එහි දී දකින්නට හැකිය. බුද්ධිමත් බව නම් තමන් විශ්වාස කරන බුද්ධිමත් බව යැයි පටලවා ගැනීමක් ද එහි දී දකින්නට හැකිය.

සදාචාර ජීවිතයක් ගෙවන්නා යනු අනෙක් අයට කරදරයක් නොවන ලෙසින් තමන්ට වැඩියෙන්ම තෘප්තියක් ලබාදෙන කටයුතු වල නිරත වෙන්නෙකි. අනුන්ට කරදරයක් නොකර සිය මහන්සියෙන් සිය තෘප්තිමත් බව සාක්ෂාත් කරගන්නා අයෙකු තුල බුද්ධියක් නැතැයි කිව හැකි ද?!!!! මනස්තාපයෙන් කල් ගෙවන අය වෙනුවට තෘප්තිමත් ජීවිතයක් ගෙවන අය වෙතින් සමාජයේ වාසය කරන අනෙකුත් සෑම දෙනාටම ලැබෙන්නේ ද වැඩි ඵලදායක තත්වයක් නොවන්නේ ද?!!!!!

යම් අයෙක් තෘප්තිමත් ජීවිතයක් තමනට ලැබෙන්නේ බුද්ධිමත් බවෙන් යැයි කියා දැනුම ඉල්ලා සිටිනවා නම් එවිට කුමක් කළ යුතු ද?

කියවන්නට ලියන්නට ලොව බහුතරයක් නොදත් ලෝකයක ඒවා දැන සිටි අය උගතුන් වූහ. අද කියවන්නට හා ලියන්නට හැකි පමණින් අයෙක් උගතෙක් යැයි සැලකෙන්නේ නැත.

පුරාතනයේ ලොව පැවතියේ වේදාන්ත හැදැරීම බමුණන්ට පමණක් සීමා වූ අනෙක් අයට තහනම් වූ සමාජයකි. ජර්මන් ජාතික මාටින් ලූතර් යතිවරයා ලතින් බසින් වූ බයිබලය සාමාන්‍ය මිනිසුන්ට කියවන්නට හැකි පරිදි ලියා එදා කතෝලික පල්ලියේ උදහසට ලක් වූවෙකි. පාකිස්තානයේ වැනි තලිබාන් අදහස් දරන අය හැරෙන්නට අද ලෝකයේ බහුතරයක් අධ්‍යාපනය සෑම සියළු දෙනාටම ලැබිය යුතු බව පිළිගනිති. එහෙත් බලහත්කාරකම් කරමින් ඒ ඔබේ යහපත පිණිස කියා බිය කරන ප්‍රතිපත්ති යම් සමාජයක වැඩි වෙද්දී ලෝකය ආපසු බුද්ධිය ඉල්ලා සිටින අයට නොව යම් තෝරාගත් පිරිසකට පමණක් යැයි කියන මතවාදය සමාජයේ බහුතරයක් පිළිගන්නා තැනකට යන හැකියාවෙන් යුතුය.

තෘප්තිමත් ජීවිතය හා බුද්ධිමත් ජීවිතය පටලවා ගැනීම හා සමානව අනුන්ගේ නුවණ මනින මිමි තමන් දන්නවා යැයි සිතන අයත් ලොව බහුල ය. කටපාඩම් කර ගැනීමට නොහැකියාව, කියා දෙන විදියට වටහා ගැනීමට නොහැකියාව, විභාග කරන විදියට උත්තර සැපයීමට නොහැකියාව යනාදිය සමහර අයට ජීවිතය පුරාම මහත් බාධක වෙති. එහෙත් එසේ හැකියාව තිබෙන පිරිසක් ඒ හැකියාව නොහැකි පිරිස අභිබවා ඉන්නට ඒ උපක්‍රම පාවිච්චියට ගනිති. මාරියා මොන්ටිසෝරිලා වැනි ඒ අභියෝග වලට පිළිතුරු සෙවූ අය ද ලොව සිටිති.

සහෝදරයා පවා තමාට නොහැකි යැයි සිතද්දී චුල්ලපන්ථක තෙරණුවන්ට ධර්මය අවබෝධ වෙන විදියට ක්‍රමයක් සකසා දුන්නේ බුදුන්. ඇල්බට් අයන්ස්ටයින් පවා ඉගෙන ගන්න බැරි මෝඩයෙක් යැයි හිතුව ගුරුවරු හිටිය. මරියා මොන්ටිසෝරි විසින් ආබාධිත දරුවන් වෙනුවෙන් හැදූ ළදරු අධ්‍යාපන ක්‍රමය අද වැඩියෙන් ජනප්‍රිය ආබාධිත නැති දරුවන් අතර.

ඒත් තවමත් අධ්‍යාපනය බෙදන්න සහ දැනුම ඇත්දැයි විභාග කරන්න තමන් දන්නවා කියන අය බොහොමයක් ලොව ඉන්න නිසා, ඒ අය අනුන්ගේ සුවසෙත සලසන නාමයෙන් ඔවුනට බලහත්කාරකම් කරන්නට ආණ්ඩුවේ බලය යොදවා ගනිද්දී, ඊට ඉඩ දී අපි ඒ සියල්ල අපේ යහපත වෙනුවෙන් කරනවා යැයි බලාගෙන සිටින නිසා, කැමැත්තෙන් දැනුම එකතු කරන පුද්ගලික තෝරා ගැනීම් වලට ඉඩ කෙමෙන් කෙමෙන් අඩු වී යයි. නිදහස කප්පාදු වෙද්දී ඊට එරෙහිව හඬ නඟන්නා අරාජිකයෙක් හෝ රාජ්‍ය විරෝධියෙක් හෝ දේශද්‍රෝහියෙක් සේ හංවඩු ගැසේ.

ලංකාවේ නොමිලේ අධ්‍යාපනය රැක ගනිමු යැයි හඬ නඟන්නේ තමන් කියන පිළිවෙලකට බුද්ධිමතුන් කවුදැයි තීරණය තමන් අත තිබෙනවාට කැමති ආත්මාර්ථකාමී පිරිසකි. ලංකාවේ රජය මිල දී ගන්නා අධ්‍යාපනය බෙදීම රජයේ ප්‍රසාදය දිනාගන්නා වරප්‍රසාදය ලත් අයට පමණක් පවරති. රජයක් විසින් නොව අධ්‍යාපනය සොයන අය විසින් ඉගෙන ගන්නේ මොනවා දැයි ඉගෙන ගන්නේ මොන ආයතන වලින් දැයි තීරණය කරන දවසක් උදා වූ විට බුද්ධිය සොයා යන නිදහස ජනතාවට ලැබේ.

දුකින් නිදහස් වීමට අවශ්‍ය බුද්ධිය සැවොම තුල ඇතැයි කිව්වොත්?

දුකින් නිදහස් වීමෙන් සොයන්නේ සැනසුමක් යැයි කිව්වොත්?

එය සොයා යන මාර්ගය කෙසේ දැයි තීරණය කරන්නට අවසරය තමනට දිය යුතුයි යැයි කිව්වොත්?

එවැනි සමාජයක වාසයට කී දෙනෙක් කැමති වෙනු ඇත් ද?

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූනි 17, 2013 at 10:40 පෙ.ව.

    පළමුව ඔවුන් දුක කුමක් දැයි ප්‍රශ්න කරනු ඇති. එය ගැඹුරු දෙයක් වුවහොත් තෘප්තිමත් බෙල්ලා අගනේ යැයි කියනු ඇති. එසේ නොකියන අය බහුතරයේ නින්දාවට ලක් වෙනු ඇති. නමුත් එසේ නොවේවා.. 🙂

    • arunishapiro said, on ජූනි 17, 2013 at 10:47 පෙ.ව.

      hallow rusta,

      සිතේ නොසන්සුන් බවක් ඇතිවීම දුකකි; ඒ නොසන්සුන් බව නැති කරගැනීමෙන් දුක නැති වෙයි. මිනිස් ස්වභාවය යනු නිතරම දුක ඇති කරන නොසන්සුන්කම් හටගැනීමයි. ඒ නොසන්සුන් බව නැති කරගැනීමට මාර්ග සොයා යෑමේ හැකියාවන් තිබීම ද මිනිස් ස්වභාවයයි. එතැනින් එහාට ඔබේ දුක කුමක් දැයි මට පැහැදිලි කරන්නට ඉඩ දුන්නොත් සිද්ධ වෙන්නේ මට නැති බුද්ධියක් ඔබ මගෙන් ඉල්ලා සිටීමකි!!!!

  2. hallow rusta said, on ජූනි 17, 2013 at 12:14 ප.ව.

    පිළිතුර පැහැදිලියි, ස්තුතියි ඔබ තුමියට.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on ජූනි 18, 2013 at 4:14 පෙ.ව.

    By all means, marry. If you get a good wife, you’ll become happy; if you get a bad one, you’ll become a philosopher.
    Socrates

    • arunishapiro said, on ජූනි 18, 2013 at 7:22 පෙ.ව.

      Uditha,

      මෙය සොක්‍රටීස් මුවින් පිට වූවක් ලෙස ප්ලේටෝ ලිව්වා දැයි හෝ කියන ලද්දේ කොතැනදයි සොයා ගන්නට බැරි “සොක්‍රටීස් කිව්වා” යැයි ජනප්‍රිය වූවක්.

      ඒත් මගේ ප්‍රශ්නෙ ඒක නෙමෙයි; විවාහයට කළින් අයෙක් දාර්ශනිකයෙක් වූවෙක් නම් එතකොට මොකද වෙන්නෙ? 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: