අරුණි ශපීරෝ‍ වෙතින්

සදාචාර නීති හදන්නේ කවුද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 18, 2013

“මේ රට හදන්න බැහැ,” යැයි අදහස් මේ දිනවල ඇහෙන්නේ ලංකාවෙන් විතරක් නෙමෙයි. අයෙක් එසේ කියද්දී එය රටක භූමිය හෝ පිහිටීම ගැන කතාබහක් නොවේ. එය රටේ වාසය කරන මිනිසුන් ගැන කතාබහකි. සමාජය ගැන අදහසකි.

සමාජයක් සහ එහි වාසය කරන පුරවැසියෙක් යන්න දෙකක් නොව එකක් යැයි මාග්‍රට් තැචර් පෙන්වා දුන්න ද ඇයට සිනහා වූ පිරිස බොහොමයකි. එය අවබෝධ කරගත් අය අල්පයකි. සමාජයක් සහ එහි වාසය කරන ඒකීය පුද්ගලයෙක් යනු විරුද්ධ පැති දෙකක් නොවේ.

ඉතින් ආචාර ධර්ම යනු ‘සමාජයක්’ විසින් ‘පුද්ගලයෙක්’ වෙත ස්ථාපිත කරන්නට හදන නීති යැයි සිතන පටලැවිල්ල නිසා අයෙක් “මේ රට හදන්න බැහැ,” යන අදහසට එළඹෙති.

ආචාර ධර්ම යනු එකිනෙකා විසින් එකිනෙකා වෙත ස්ථාපිත කරගන්නට හදනා නීති වෙති.

හැම ඒකීය පුද්ගලයෙක්ම තවත් ඒකීය පුද්ගලයන් වෙත ආරෝපණය කරන්නට උත්සාහ ගන්නා නීති වෙති.

කිසිම ඒකීය පුද්ගලයෙක් තවත් අයෙක් වෙතින් තමනට ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ධ වෙනවාට කැමති නැත. ඒ නිසා ඒකීය පුද්ගලයා සොයා යන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර හැසිරීම් නීතිමය හා සදාචාරමය ලෙසින් පිහිටුවා ගන්නට ය. එසේ නීතියක් පවත්වා ගෙන යන්නට කැමති නිසා තමන් ද ඒ නීතියට නතු වෙන්නට එකඟ වෙයි.

සදාචාර නීති හැදෙන්නේ සහ වෙනසට භාජනය වෙන්නේ එලෙසය. වෙනතක ඉන්නා පිරිසක් විසින් “සමාජයට” සුදුසු මේවා යැයි කියා ඒවා හදා යම් ආකාරයකින් සමාජයෙන් පිටතක ඉන්නා “ඒකීය පුද්ගලයෙකුට” ඒවා ආරෝපණය කළේ නැත.

සදාචාර නීති හදාගත්තේ ද, වෙනසට භාජනය කළේ ද සමාජයේ වාසය කරන ලද ඒකීය පුද්ගලයන් විසින් ඒවා ගැන එකිනෙකා සමඟ කරන ලද ප්‍රශංසාවෙන්, දෝශාරෝපණයෙන්, මනාපයෙන් සහ අමනාපයෙන්, පොරොන්දු වීම් තුලින් සහ අනතුරු අවදානම් කීමෙන් සේ ම ඒවාට යම් ආකාරයක පාරිතෝෂයන් හා දඬුවම් දීමෙනි.

බහුතර දෙනෙක් මෙසේ හැදෙන සදාචාර නීති හටගත්තේ කෙසේදැයි දැන හෝ නොදැන ඒවා අනුගමනය කරන්නෝ බවට පත්වෙති. අනුගමනයෙන් ඒවායේ පැවැත්මට හෝ අහෝසියට දායක වෙති.

සමාජයක වාසය කරන්නා සදාචාර අගැයුම් ගැන කතාබහේ දී භුමිකාවන් තුනක නියැළෙන්නකි. අයෙක් ඒ පිළිබඳව යමක් කරන්නෙක් වෙන්නා සේ ම අන් අය කරන යමකින් ඵල විපාක ලබන්නා ද වෙයි. එසේම අපි සැවොම යම් යම් අවස්ථාවල දී සමහර සදාචාරමය වෙනස්කම් ගැන එතරම් උනන්දුවක් නැති, පැත්තක් නොගෙන බලාගෙන සිටින අය කියන කොටසට ද අයත් වෙමු. සදාචාර නීති වෙනස් කිරීමේ දී ඒ නිසා මේ තුන් භූමිකාවන් තුලින් ද හැම සදාචාර වෙනසක් ගැනම විමසන්නට අමතක නොකළ යුතුයි. එක් භූමිකාවක පමණක් හිඳගෙන සදාචාරමය ගැටළුවක් දිහා බලන්නේ නම් ගැටුම් හා කෝලාහල ඇති වේ. එසේම පවතින ගැටුම් හා කෝලාහල වැඩිවේ.

මහමඟ යද්දී දියේ ගිලෙන අයෙක්ව දැකීම නිසා බේරාගන්නට යා යුතු ද?

එහෙනම් ඒ කුමන අවස්ථා වල දී ද?

තමනට මුහුණ පාන්නට සිද්ධ වෙන කොතරම් අවදානමක් යටතේ ද?

මේ ප්‍රශ්න අහද්දී 1) තමන් මහමඟ යන්නා ලෙසින් කොයි තරම් අපහසුතාවයකට තමන් පත්වේදැයි, කොතරම් අවදානමක් ගන්නට සූදානම් දැයි, සිතා බැලිය යුතුයි. 2) දියේ ගිලෙන්නට යන අය ලෙසින් මහමඟ යන්නා වෙතින් කොපමණ අවදානමක් ගැනීම ඔබ ඉල්ලා සිටින්නේ දැයි, සිතා බැලිය යුතුයි. 3) පැත්තක සිට බලාගෙන සිටින්නෙක් ලෙසින් දියේ ගිලෙන්නට යන්නා හා ඔහු අසලින් මහමඟ යන්නා යන දෙදෙනා වෙතින් ඔවුන් කරනු ඇතැයි ඔබ බලාපොරොත්තු වෙනුයේ කුමක් දැයි සිතා බැලිය යුතුයි.

“අනිත් අය ඔබට සහාය දෙන ලෙසින් ඔබ ද අනිත් අයට සහාය දිය යුතුයි,” යන අපේක්ෂාවේ දී අනිත් අය විසින් කරනවා යැයි බලාපොරොත්තු වෙන සියල්ල ඔබ අනිත් අයට පෙරලා කරන්නට ඉදිරිපත් වෙනවා ද? එහෙම නැත්නම් ඔබ අනුන්ට නොදෙන සහාය ඔබ අනුන් වෙතින් ද බලාපොරොත්තු නොවෙනවා ද? නැත්නම් අනුන් ඔබට දෙන තරමට පමණින් යැයි සිතන ප්‍රමාණයක් පමණක් ඔබත් අනුන්ට සහාය දෙනවා ද?

“මිනිසා සුරදූතයෙක් නොවනවා සේ ම මෘගයෙක් ද නොවන්නේ ය. එහෙත් සුරදූතයෙක් ලෙසින් කටයුතු කරන්නට හැකියාව ඇත්තා මෘගයෙක් ලෙසින් කටයුතු කිරීම තමයි අවාසනාව.” –Man is neither angel nor brute, and the unfortunate thing is that he who would act the angel acts the brute.” -Blaise Pascal

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූනි 18, 2013 at 11:17 ප.ව.

    ඉහත අවස්ථා තුනේදීම, සුරදූතයෙක් කල්පනා කරන්නේ කෙසේද? මෘගයෙක් කල්පනා කරන්නේ කෙසේද? හා මනුස්සයෙකුට ඔය අතරමැදි කල්පනාවක පිහිටන්නට හැකි නම් කොතරම් අගනේද? එවැනි කල්පනාවක් තුළින් එළිදකින ක්රියා කාරිත්වයක් පිළිබද සාමාන්‍ය සාධාරණ වැටහෙන නුවණ ඇති කිසිකෙනෙකුත් අමනාම නොවනු ඇති නේද… සමාජයේ සාමාන්‍ය ජනයා වන අපේ අපේක්ෂාව එවැන්නක් වන නිසා නොවෙයිද යම් යම් අවස්ථාවලදී ගැටුම්කාරී තත්වයන් උදා වන්නේ. එවැනි සාධාරණ අපේක්ෂාව සදහා චින්තන පිබිදීමක්, පුද්ගල නැගිටීමක් අනවශ්‍යද? එවැනි නැගිටීමකට රිසි මග ට වඩා නිසි මගක් වෙත්ද?

    • arunishapiro said, on ජූනි 19, 2013 at 7:06 පෙ.ව.

      hallow rusta,

      වරදක් කරන ලද්දෙකුට වර්තමානය කුරුරි දඬුවම් ගැන, අමානුෂික වධහිංසා ගැන සමාජයේ බහුතරයක් අතර යම් දුරකට හෝ පුරාතනයට වඩා වෙනස් වූ අදහස් ඇති කාලයක්.

      ඒත්, කාන්තාවන්ට අධ්‍යාපනය නොදී සිටිය යුතු යැයි කිව්වාම, කාන්තාවකට පයින් ගැහැව්වාම, එයා අපේ වීරයෙක් යැයි සලකන අයත් තවම ලෝකෙ ඉන්නවා.

      ම්ලේච්ඡ ගතියෙන් ඉවත් වී ශිෂ්ඨ හැසිරීම කරා යන්නට ලැබෙන “සාමාන්‍ය සාධාරණ වැටහෙන නුවණ” පාදා ගන්නා “චින්තන පිබිදීම” ලොව සිද්ධ වී තිබුණත්, බෞද්ධයාට එය ඉතා පුරාතනයක දී දායාද වුනත්, මාර්ගය අවුල් කර “නිසි මඟ” නොව “රිසි මග” මෙසේ යැයි හුදු ආවේගයන් අවදි කරවා තම බලය තහවුරු කරගන්නට හදනා ජන නායකයන් නිසා සිද්ධ වී ඇත්තේ අර කියන “සාමාන්‍ය සාධාරණ වැටහෙන නුවණ” පෑදෙන්නට ඉඩක් නොලැබෙන වාතාවරණයක් වර්ධනය වීමයි.

      ම්ලේච්ඡ ගතිය වර්ධනය කරනවා ද නැත්නම් ශිෂ්ඨ හැසිරීම වර්ධනයට ඉඩ දෙනවා දැයි ජන නායකයන්ට එවිට තෝරා ගැනීමක් කරන්නට සිද්ධ වේ. ජන නායකයන්ගේ පැවැත්ම ද ආරක්ෂා වෙන්නේ ශිෂ්ඨ හැසිරීම සමාජයේ බහුතරයක් තුල පැවතුන හොත් පමණි. එය හඳුනා නොගත් ම්ලේච්ඡ ගති වෙනුවෙන් පෙනී සිටි ජන නායකයන්ව ඒ සමාජයන්හි ම ජනතාව විසින් ඉඩක් ලද වහාම ඉවත් කරපු ආකාරයන් ඉතිහාසයෙන් ඇති තරම් කියවන්නට පුලුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: