අරුණි ශපීරෝ‍ වෙතින්

සදාචාරය සහ ආචාරශීලීත්වය

Posted in Uncategorized by arunishapiro on ජූනි 20, 2013

IMG_7548

ප්‍රාථමික සමාජයන් හි ආගම, සදාචාරය, නීතිය, සිරිත් විරිත් සහ ආචාරශීලී හැදියාවන් සියල්ල වෙන්කර හඳුනා නොගත් සම්පූර්ණයක් ලෙසින් පැවති බව ඉතිහාසය අධ්‍යයනයේ දී දකින්නට ලැබේ. ඒවා අතර ආගමික ආචාර ධර්මයන් සහ ආචාරශීලී හැදියාවන් අතර ඇති බැඳියාව තරමින් අනෙක් ඒවා අතර බැඳියාවක් ඇතැයි දකින්නට නැත.

පුරාතනයේ පටන් සම්භෝගයෙන් (pleasure) ඈත් වී අනෙක් අය දුකක් යැයි සලකන කටයුත්තක නිරත වෙන්නා යම් උසස් පිනක් කරගන්නා අයෙක් ලෙසින් සමාජයේ සැලකිල්ලට පාත්‍ර විය. රසමවුලෙන් ඈත් වී සිටීම, කම්සැපයෙන් අයින් වීම යනාදිය ආගමික වූ සදාචාරාත්මක වෑයමක් හැටියට පෙර අපර දෙදිගින් ම දැකිය හැකියි.

සැප සම්පත් වලින් ඈත් වූ, රළු වූ සදාචාර පිළිවෙත් ලෝක ඉතිහාසයේ වැඩියෙන් දකින්නට ඇත්තේ යම් ආගමික පදනමකින් ගොඩ නැඟුණු ඒවා අතර ය. ආචාරශීලීත්වයේ පිළිවෙත් පුරාතනයේ පටන් අපිට ලැබී ඇත්තේ විනෝදයක් ලබමින්, ත්‍යාගශීලීත්වයෙන් එකිනෙකා සමඟ සතුට බෙදා ගන්නට හැකිවන සේ ය.

අල්පේච්ඡතා ජීවන රටාව බහුතරයකට නියම වූ යුගයක සැප සම්පත් තිබුණත් ඒවා පෙන්වන්නට යෑමෙන් ජීවිතය පවා අහිමි වෙන ලෝකයක මිනිසා ජීවත් විය. එහෙත් නීති පනත් වෙනස් වෙමින් ඕනෑම අයෙකුට ධනයට හිමිකම් කියන්නට ඉඩක් ලැබෙද්දී ඒකීය පුද්ගල අයිතීන් රැක ගැනීම ගැන කතාබහ ඇති වී තමනට ඇති ධනය අනුන්ට පේන විදියට පරිහරණය කිරීම පමණින් වස්තුව හෝ ජීවිතය අහිමි නොවන ලෝකය බිහිවිය.

1650 දී පටන් ගත් බුද්ධි විචාරයේ යුගය (Age of Enlightenment) යනු යුරෝපීය විද්වතුන් ගෙනෙන ලද පසුව ඇමෙරිකන් යටත්විජිතය දක්වා පැතිර ගිය සංස්කෘතික විප්ලවයකි. එය 1700 දී අවසන් වූ ලෙස සැලකේ. එකල සිට ක්‍රම ක්‍රමයෙන් වෙනසකට භාජනය වෙමින් සදාචාරය හා ආචාරශීලිත්වය වෙනස් මාර්ග දෙකක ගමන් කරන්නට විය. ආගමෙන් දුරස් වීමක් ජනතාව තුලින් හටගනිද්දී ආගමික පදනමෙන් හටගත් සදාචාර පිළිවෙත් අනුගමනය සියල්ලන් විසින් කරන දේවල් නොව සමහර අය විසින් පමණක් කරන දේවල් බවට පත්විණ. ආචාරශීලීත්වයේ පිළිවෙත් ද උසස් පැළැන්තියට පමණක් නොව සාමාන්‍ය රටවැසියා තුල ද පැතිර ගියේය.

එහෙත් 18, 19 වැනි සියවස් වලට පිවිසෙද්දී, ගම්බද වැසියාගේ අවංකත්වය හා කම්කරුවාගේ අහිංසකත්වය යනාදිය සමාජයේ සියළු දෙනා වැඩියෙන් අගයන දේවල් බවට පත්විය. රදළයන් තුල දකින්නට ලැබි ආචාරශීලී සම්ප්‍රදායන් ගල් හිත් ඇති අය කරන සදාචාරමය නොවූ ඒවා හැටියට ද සැලකෙන්නට විය.

ආචාරශීලීත්වය (manners) සහ සදාචාරත්වය (morals) ගොඩනැඟෙන්නේ එකම සිද්ධාන්තයක් මත ය. එය අනුකම්පාව, කරුණාව සහ අනුන් ගැන දක්වන සැලකිල්ල යනාදිය එකතුවෙන් හැදෙන සිද්ධාන්තයයි. එය අවශ්‍ය හැකි තරම් අවුල් වියවුල් අඩුවෙන් එකිනෙකා සමඟ සහයෝගයෙන් සමාජයේ වාසය පිණිසයි.

මුලින් ම එන සැලඩ් එක කන්නට පාවිච්චි කරන්නේ මොන ගෑරුප්පුව ද, සුප් එක බොන්නට පාවිච්චි කරන්නේ මොන හැන්ද ද යනාදිය රජුන් සහ රදළයන් සෙසු සමාජයෙන් වෙනස් යැයි හුවා දක්වන්නට උවමනා වූ සාම්ප්‍රදායකි. එවැන්නක් හිතුමතයේ හැදුනකි. එහෙත් පරුෂ වදනින් බැන වැදීම, කේලම් කීම, තැනට නුසුදුසු කතාබහ යනාදිය ලෝකයේ නන් දෙසින් සමාජයේ සහයෝගය පිණිස බිහිවෙන ලද ඕපපාතික වූ ආචාරශීලීත්වයයි.

“මම කියන්න තියෙන දෙයක් මූණටම කියන කෙනෙක්,” යැයි අපිට අහන්නට ලැබේ. නැති තැන කියනවාට වඩා කියන්නට තියෙන දේ මූණටම කීම හොඳ වැඩක් යැයි සමාජය සලකයි. එහෙත් එසේ කිව යුත්තේ අයෙකුට නින්දා අපහාස වෙන විදියට නොවන බව සාම්ප්‍රදායික ප්‍රාථමික සමාජයෙන් බැහැර වී බුද්ධි විචාරයේ යුගයෙන් පසු එළඹෙන ශිෂ්ඨ චර්යාවයි. තමන්ගේ උසස් තත්වය පෙන්වීමට අනුන්ට මුහුණටම බැන වැදීම ඉහළ නිලධාරීන් අතර බහුල වශයෙන් දකින්නට ලැබීම ඔවුන් ප්‍රාථමික සදාචාර අදහස් වලින් ඉදිරියට ගිහින් නැති බව පෙන්වන්නකි. අනුන්ට නින්දා අපහාස කරන අදහසෙන් දුර්වලයෙකුට බැන වදින අයෙකු වනාහී නැහැදිච්ච අශිෂ්ඨ අයෙකි.

අනුන්ගේ හැඟීම් ගැන සැලකිල්ලකින් යුතුව කතා කිරීම, සමහර අවස්ථාවල දී ඔවුන්ගේ සිත් නොරිදවනු පිණිස සත්‍යය නොකියා නිහඬව සිටීම යන්න ආචාරශීලීත්වයේ සංකේතයක් මෙන්ම එයින් ඉදිරියට යන සදාචාර බවේ ද සංකේතයකි.

භෝජන සංග්‍රහයකට පසු එය පිළියෙල කළ අයට ස්තූති කර යෑම ඒ ආහාර රස නැති වුවත් කරන්නකි. ආපසු ඒ ගෙදරින් කෑම කන්නට ගියේ නැතත්, මිනිසුන්ගේ හිත් රිදවීමෙන් ලැබෙන යහපතක් නැත. එහි දී සංග්‍රහය කළ තැනැත්තා අඩුම වශයෙන් බලාපොරොත්තු වෙන්නේ චාරිත්‍රානුකූල ස්තූතියකි. එය පිරිනැමීම මහත්මා ගතියකි.

නීතියට වඩා සමාජයේ වාසයට ආචාරශීලීත්වය වැදගත් වෙන්නේ ආචාරශීලී හැදියාවන් මත බොහොමයක් නීති ගොඩනැඟී ඇති නිසයි. ආචාරශීලීත්වය කෙමෙන් අඩු වී යද්දී, නීති කඩන හැදියාව ද කෙමෙන් වැඩි වී යන හැටි දකින්නට පුලුවන. එවිට ගැහැණු ළමයින්ගේ පස්සට පයින් ගැසූ අය වීරයන් යැයි සැලකෙන්නට පටන් ගැනේ. එවිට එසයින්මන්ට් එක පරක්කු වී බාරගත්තේ නැතැයි කියා ආචාර්යවරියකට පිහියෙන් අනින හැදියාව දකින්නට ලැබේ.

ආචාරශීලීත්වය යනු එදිනෙදා ජීවිතයේ අනුගමනය කළ යුතු ආචාර ධර්ම වෙති. සුළු පරිත්‍යාගයන් සහ කැපවීම් කරමින් අනුන් ගැන තැකීමයි. අප බොහෝ දෙනෙකුට ජීවිතයේ දී “වීරයෙක්” වන්නට අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් දිනපතා, හැම පැයක දී ම ආචාරශීලී බවින් කටයුතු කරන්නට අවස්ථාව ඇත.

ශක්තිමතා දුර්වලයාව පාගා නොදැමීම යනු ඒ ආචාරශීලීත්වයේ පදනමයි. තම බලපුලුවන්කාරකම් හෝ ධනවත් තත්වය හෝ සමාජයේ ඉහළ ප්‍රසාදය වැඩි වැඩියෙන් ලැබෙද්දී ආචාරශීලීත්වය හඳුනන මිනිසා වෙතින් අපේක්ෂා කරන්නේ වැඩි වැඩියෙන් නිහතමානී වීම හා දුර්වලයන් ගැන තැකීමයි.

පිරිමියෙක් කාන්තාවකට දොර හැර දෙයි. තරුණ අය මහළු අයට ඉඩ දෙති. ශරීර ශක්තියෙන් යුතු වූ අය ආබාධිතයාට ඉඩ දෙයි. නිරෝගී අය රෝගී අයට විහිළු නොකරති. සංග්‍රහයක් පවත්වන්නා තමන් ආරාධනා කළ ගෙන්වා ගත් අමුත්තන්ට බැන වදින්නේ නැත.

මේ විශ්ව ආචාරශීලී හැදියාවන් හැඩ ගැසුනේ සමාජයේ හැල හැප්පීම් වලින් තොරව කාලය ඉතිරි කරගෙන සැමට සහයෝගයෙන් වැඩ කටයුතු කර ගැනීමටයි. ආචාරශීලීත්වය කුමක් දැයි වටහා ගැනීම යනු ම්ලේච්ඡ බැවින් තොර වී සදාචාරත්වයට මාර්ගය පෑදීමකි.

ආචාරශීලීත්වය තුරන් වී යන සමාජයක සදාචාරයේ ද පිරිහීමක් දකිනු හැකියි.

පින්තූරයේ ඇති පොත මුද්‍රණයේ නොමැති බවත් යළි මුද්‍රණයට අදහස් නොකරන බවත් කරුණාවෙන් සලකන්න.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Naleen Dilruksha said, on ජූනි 20, 2013 at 9:36 පෙ.ව.

    වටිනා අදහසක්. එත් එක් වරම හිතෙනවා කවුරුන් හෝ ඉලක්ක ගත කොට පළකරන ලද්දක් ද යන්නත්. හැම දෙනා තුළම ආචාරශිලිත්වය ඇති වු දිනක සමාජයම සදාචාර සම්පන්න වේවි. පටන් ගත යුත්තේ කොතැනින් ද? එක් එක් පුද්ගලයාම නොවෙද? මෙන්න මේ ටිකත් හොදට හිතට වැදුණා
    //මුලින් ම එන සැලඩ් එක කන්නට පාවිච්චි කරන්නේ මොන ගෑරුප්පුව ද, සුප් එක බොන්නට පාවිච්චි කරන්නේ මොන හැන්ද ද යනාදිය රජුන් සහ රදළයන් සෙසු සමාජයෙන් වෙනස් යැයි හුවා දක්වන්නට උවමනා වූ සාම්ප්‍රදායකි. //

    • arunishapiro said, on ජූනි 20, 2013 at 9:40 පෙ.ව.

      Naleen Dilruksha,

      සටහන් ලියාගෙන යන්නේ ආචාර ධර්ම හා සදාචාරය ගැන. ඉතින් හැම දෙනාම ඉලක්ක කරගෙන ලියනවා මිසෙක කවුරුන් හෝ ඉලක්කය ගත කොට ලියන ලද්දක් නෙමෙයි. ඔව්, පටන් ගත හැක්කේ එකම එක තැනකින්; ශීලාචාර ලෝකයක ජීවත්වෙන්නට කැමති තමා විසින්.

  2. hallow rusta said, on ජූනි 21, 2013 at 1:25 පෙ.ව.

    ආචාරශීලීත්වය සමාජ තත්වය මනින ආභරණයක් ද? පියශීලී, සුහදශීලී භාවය ප්රමුඛ වූ අව්‍යාජ හැසිරීම් රටාවක්ද? ආචාරශීලිත්වය හුදු මෝස්තරයක් ද?
    ආචාරශීලිත්වය හුදු මෝස්තරයක් වූ සමාජයක, සදාචාරයත් එහිම දිගුවක් නොවේවිද?
    අව්‍යාජ ආචාරශීලිත්වයක් යනුවෙන් මා හැදින්වීමක් කරතොත් එහි දිගුව අව්‍යාජ සදාචාරයක් ලෙසින්ද හදුන්වන්නට හැකිය. එය සැබෑ මිනිස් කම මතු කරන සමාජයක පැවතිය යුතු සදාචාරය නොවේද?
    ප්රායෝගික තලයේදී මෝස්තරවාදයෙන් මිදී සැබෑ හරය මතු කරගන්නේ කෙසේද? 🙂

    • arunishapiro said, on ජූනි 21, 2013 at 7:48 පෙ.ව.

      hallow rusta,

      //ආචාරශීලීත්වය සමාජ තත්වය මනින ආභරණයක් ද?// ඒ යුගය අවසන්. අද ශිෂ්ඨ සමාජ වල ආචාරශීලීත්වය යනු සියල්ලන් වෙතින් අපේක්ෂා කරන්නක්.

      //පියශීලී, සුහදශීලී භාවය ප්රමුඛ වූ අව්‍යාජ හැසිරීම් රටාවක්ද?// සුහදබව ප්‍රමුඛ වූවාට අව්‍යාජ හැසිරීම් නැහැ. මැටි මෝඩ කතා කියද්දි ආචාරශීලී වෙනු පිණිස දිව විකාගෙන නිහඬව ඉන්ඳැද්දී එය අව්‍යාජ හැසිරීමක් කියන්නෙ කොහොම ද? (ඔය දරුවට නෙමෙයි එහෙම කිව්වෙ) 😀

      //ආචාරශීලිත්වය හුදු මෝස්තරයක් ද?// ඒ යුගය ද අවසන්. ආචාරශීලීත්වය අද ශිෂ්ඨ සමාජයේ හැසිරීම සඳහා අවශ්‍ය උපකරණයක් (tool) එකක්.

      //ආචාරශීලිත්වය හුදු මෝස්තරයක් වූ සමාජයක, සදාචාරයත් එහිම දිගුවක් නොවේවිද?// එහෙම වේවි, තවමත් එය මෝස්තරයක් හැටියට කරන තැනක සදාචාරයත් ඒ ඒ රැල්ලට ඇවිත් ආපහු යන විලාසිතාවක් මිසෙක වටහා ගැනීමෙන් ප්‍රයෝජනයට ගන්නා උපකරණයක් නෙමෙයි.

      //එය සැබෑ මිනිස් කම මතු කරන සමාජයක පැවතිය යුතු සදාචාරය නොවේද?// අව්‍යාජ ආචාරශීලීත්වය යනු කුමක් දැයි වටහා ගැනීමෙන් එය සැබෑ මිනිස්කමෙන් යුතු සමාජයකට අවශ්‍යම වූවක් බව ද පැහැදිලි වේවි.

      //ප්රායෝගික තලයේදී මෝස්තරවාදයෙන් මිදී සැබෑ හරය මතු කරගන්නේ කෙසේද?// මෝස්තරය ආවේ කොහොන්දැයි, අනුකරණය කුමක් පිණිස දැයි, එයින් ලාබයක් ලැබෙන්නේ කුමන පිරිසකට දැයි අවබෝධ කරගන්නට උත්සාහයෙන්.

      • hallow rusta said, on ජූනි 21, 2013 at 10:30 පෙ.ව.

        // සුහදබව ප්‍රමුඛ වූවාට අව්‍යාජ හැසිරීම් නැහැ. මැටි මෝඩ කතා කියද්දි ආචාරශීලී වෙනු පිණිස දිව විකාගෙන නිහඬව ඉන්ඳැද්දී එය අව්‍යාජ හැසිරීමක් කියන්නෙ කොහොම ද?// එහෙනම් එබදු තැනදි අව්‍යාජ බව ව්‍යාජ ආචාරශීලිත්වය අබිභවා ඉස්මතු වියයුතුයි නේද? එතැනදී අචාරශීලිත්වය, ඉවසීම හා අව්‍යාජත්වය අපගේ සමාජ වගකීම හා ගලපා නඩත්තු කරගන්නේ කෙසේද? එදිනෙදා ජීවිතයේ බොහෝ සිදුවීම් වලදී අප හිරවෙන තැනත් නිවට වෙන තැනත් සැකසෙන්නේ ඒ අනුව නොවේද? (වැඩිමනක් නොඅසමි) 😀

        • arunishapiro said, on ජූනි 21, 2013 at 5:36 ප.ව.

          hallow rusta,

          සත්වයන් හා මිනිසුන් අතර ඇති පැහැදිලි වෙනස්කමක් මේක. මිනිස්සුන්ට සමාජයෙන් ලැබෙන ඉහළ තත්වයන් තියෙනවා. ඉපදුනේ කුමන පවුලට නිසාදැයි පමණින් ලැබෙන සමාජ තත්වයක් තියෙනවා. පරිනාමය වූ භාෂාවක් තියෙනවා. බෙදා හදාගන්නා සමාජ බුද්ධියක් තියෙනවා. මහජනතාව ගැන සවිඥානයක් තියෙනවා. ඉලක්ක හදා ගන්න පුලුවන්කමක් තියෙනවා. හරි වැරදි තෝරාබේරා ගන්න හා විනිශ්චයක් කරන්න හැකියාවක් තියෙනවා. ඒවා සමඟින් වැඩෙන ආචාර ධර්ම හා සදාචාර අගයන් කියන්නේ සත්වයන් තුල දකින්න හැකි උප්පත්තියෙන් පිහිටා ඇති ම්ලේච්ඡ හැදියාව ඉස්මතු වීමට ඉඩ දීම නොවේ. බඩගින්න නිසා අනික් අයගේ බත්පත උදුරා ගෙන කෑම “අව්‍යාජ හැසිරීමක්” යැයි කියන්න පුලුවන්. ඒත් එය ආචාරශීලී ද? තරහ මරහ හසුරුවා ගන්න බැරි නිසා කතා බහෙන් විසඳා නොගෙන පිහියෙන් ඇනීම “අව්‍යාජ හැසිරීමක්” යැයි කියන්න පුලුවන්. ඒත් එය ආචාරශීලී නොවෙනවා වගේම මිනිසුන් අතර නීති විරෝධී ද වෙනවා. අව්‍යාජ හැසිරීම යනු ශිෂ්ඨ හැසිරීමෙන් වෙනස් වූවක්; අපි ශිෂ්ඨ වෙන්න කැමැත්තෙන් අව්‍යාජ තිරිසන් ගතිගුණ වලට ඉඩ නොදීම.

          //එතැනදී අචාරශීලිත්වය, ඉවසීම හා අව්‍යාජත්වය අපගේ සමාජ වගකීම හා ගලපා නඩත්තු කරගන්නේ කෙසේද? // ශිෂ්ඨ හැදියාව ගැන ඉගෙන ගැනීමෙන් හා ඉගෙන ගත් දේ අනුගමනයෙන්.

          //එදිනෙදා ජීවිතයේ බොහෝ සිදුවීම් වලදී අප හිරවෙන තැනත් නිවට වෙන තැනත් සැකසෙන්නේ ඒ අනුව නොවේද?// හිරවෙන හෝ නිවට වෙනවා යැයි කියන්නේ කවුරුන් කියන විදියට ද? සමහරු චණ්ඩි කරන ප්‍රචණ්ඩ ක්‍රියා අගයමින් මහත්මා ගති නිවට යැයි කියනවා!!!!! එතැන දී ඒ ඒ අදහස එක්ක එකඟ වෙන අය ඇසුර අනුව ඔබයි ඔබේ හැසිරීම තීරණය කරන්නෙ. මහත්මා ගති ඇති අය ඇසුර ප්‍රිය කරනවා ද, නැත්නම් චණ්ඩින්ගේ ඇසුර ප්‍රිය නොකරනවා ද යන්න ඔබේ තෝරා ගැනීම නොවේ ද?

  3. sujatha said, on ජූනි 21, 2013 at 8:03 පෙ.ව.

    මේකත් එක්කම ඉවසීම ප්‍රගුණ කරන නව විධි කියා දුන්නා නං වටිනවා අක්කේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: