අරුණි ශපීරෝ‍ වෙතින්

එකම පරම යහපත නම් සම්භෝගය වේ ද?

Posted in Uncategorized by arunishapiro on ජූනි 21, 2013

IMG_7545

ක්‍රි. පූ. 341-270 දක්වා වාසය කළ එපිකියුරස් යනු එකම පරම යහපත නම් සම්භෝගය (pleasure) වේ යැයි ද එකම පරම දුෂ්ටත්වය නම් වේදනාව (pain) වේ යැයි ද කියන දර්ශනයක් ලොවට දායාද කරන ලද්දෙකි.

දුක්ඛ සත්‍යය බෞද්ධයාට අමුතු වහරක් නොවේ. නමුත් දුකෙන් ගැලවීම ගැන වූ දහමක් තමන් අදහනවා යැයි කියන බෞද්ධයා කිසිවෙක් හෝ සම්භෝගය නොහොත් සතුට සොයා යෑම යහපත් යැයි කියන කතාබහක් පටන් ගන්නේ ද වහා කලබල වෙයි.

ලෝක ඉතිහාසය පිරික්සා බලද්දී පෙර අපර දෙදිග විසූ නොයෙකුත් තවුස්, තාපස, පැවිදි, මුනිවර, යතිවර, සන්‍යාසි සහ ශ්‍රමණ යනාදී ආචාර ධාර්මික දිවි ගෙවන්නට කැප වූවන් ඔවුන් විසූ සමාජයන් තුල ඒ කාලයන් හි දී පැවති සම්භෝගය ලබන ක්‍රියාවන් වලින් වැළකීමෙන් තමනට මේ ජීවිතයේ දී සහ මේ ජීවිතයෙන් පසුව ද යම් උතුම් තත්වයක් කරා යන්නට හැකිවන බව පිළිගෙන තිබූ හැටි ද දැකිය හැකියි.

සන්තුෂ්ටිය පරම ධනය යැයි කියන බුදු වදන එපිකියුරස් ගේ දර්ශනය හා කොතරම් සමානත්වයක් දරනවා ද? මැද පිළිවෙතක් ගැන බුදු දහමෙන් සේ ම එපිකියුරස් වෙතින් ද අහන්නට ලැබේ. එපිකියුරස් කියූ සතුට සොයා යෑම වැරදියට වටහා ගත්තවුන් ඔහු කාමසුඛල්ලිකානු ජීවිතයක් ගෙවීම පැසසුවා යැයි සිතති. එසේම සතුට යනු පරම ධනය යැයි කියමන වැරදියට වටහා ගත්තවුන් එය ධනයට ගැරහීමක් ලෙසින් ද සලකති. සතුට තමන් විසින් සෙවීම වෙනුවට දුකෙන් ගැලවීම කළ හැක්කේ මෙසේ මෙසේ යැයි අනුන්ට පහදා දෙන්නට යති.

17 -18 වැනි සියවස් හි නැවත සමාජයේ අවධානයක් ලබන එපිකියුරියන් දර්ශනය විස්තරාත්මකව සහ පිළිවෙලකට හදා දෙන්නේ ජෙරමි බෙන්තම් නැමති බ්‍රිතාන්‍ය දාර්ශනිකයාය. 1781 දී “සදාචාර සිද්ධාන්තයන් සහ නීති සැකසීම” මැයෙන් ඉදිරිපත් කරන පොතකින් බෙන්තම් ගේ දර්ශනය උපයෝගිතාව ගැන විමර්ශනය කරන ලදි. මෙම දර්ශනය උපයෝගීතාවාදය (utilitarianism) යැයි හැඳින්වේ.

උපයෝගීතාවාදයේ සිද්ධාන්තය නම් වැඩියෙන්ම පිරිසකට වැඩියෙන්ම සතුටක් ලැබෙන දේ යහපත් බවයි. බෙන්තම් ඉදිරිපත් කළ පරම සුඛය යන්න සම්භෝගය යැයි ලියැවෙද්දී එය සංවේදන වලින් ලැබෙන සම්භෝගය යැයි විචාරකයන් විවේචනය කළහ. ප්ලේටෝ අනුව යමින් විරෝධී වූවන් පෙන්වා දුන්නේ එය දාර්ශනික ජීවිතයක පහළම තත්වයක් හැටියටයි. බෙන්තම් කියන සම්භෝගය යනු හරියට ගවමස් කෑමෙන් ලැබෙන සතුට වැනි යැයි ද ජෝසෆ් ෂුම්පීටර් විසින් ලියන ලද ආර්ථික විශ්ලේෂණයේ ඉතිහාසය නැමති පොතේ සඳහන් වේ.

වික්ටෝරියන් අදහස් අගය කළ, සම්භෝගයෙන් වැළකීමෙන් උසස් සදාචාරත්මක බවක් ලැබෙනවා යැයි කියූ තෝමස් කාලයිල් වැනි සදාචාරවාදීන් බෙන්තම් ඉදිරිපත් කරන්නේ “ඌරු දර්ශනයක්” යැයි ද කියා සිටියහ.

එහෙත් අයෙක් බෙන්තම් ගේ උපයෝගීතාවාදය හරියාකාරව කියවන්නේ නම් එහි දී සම්භෝගය ගැන විස්තර වල ඔහු සංවේදන වලින් ලැබෙන සතුට පමණක් නොව නිරෝගී බව, මතකය, “ඉමැජින්” කරත හැකියාව, සමාජ සබඳතා පැවැත්වීමට හැකියාව, බලාපොරොත්තු තැබීමට හැකියාව, සහෝදරත්වයෙන් ලැබෙන සතුට, සමාජයේ පිළිගැනීමකට පත්වූ හොඳ නමක් හදා ගැනීමට ලැබීම, ගුණවත්කම හා හොඳ හිත යනාදිය ද ඇතුලත් කර ඇති බව දැනගත හැකියි.

බෙන්තම් විසින් සම්භෝගයෙන් ලැබෙන අහිතකර විපාක ගැන ලැයිස්තුවක් ද එකතු කර තිබේ!!!!

සම්භෝගයක් මනින්නේ කෙසේදැයි යන්නට ඔහු පියවර හතක් පෙන්වයි.
1. එහි තියුණු බව
2. එහි කාලය
3. නිශ්චිත හා අවිනිශ්චිත බව
4. බහුල හෝ දුලබ බව
5. එයින් පසුව තවත් එවැනි සම්භෝගයන් තවත් ඇතිවීමට හැකියාව
6. පිවිතුරුබව (සම්භෝගය නිසා වේදනාවක් ඇති නොවීම)
7. එය කොතරම් පිරිසක් වෙනුවෙන් ලැබෙනවා ද යන්න

බෙන්තම් ගේ දුර්වලතාවය වූයේ මෙසේ සතුට මනින්නට හැකි යැයි සිතීමයි. සතුට හෝ දුක යනු අනිකුත් හැඟීම් වලින් පැහැදිලිව තෝරා බේරා ගන්නට හැකි යැයි සිතීමයි. එක් අයෙකුට දැනෙන සතුට එසේම තවත් අයෙකුට ඒ දැයින් ම දැනෙනවා ද? එක් අයෙකු සතුට ලබා ගන්නා ආකාරයෙන්ම තවත් අයෙක් සතුට ලබනවා ද?

බෙන්තම් විවේචනයට ලක් වූ “වැඩි පිරිසකට වැඩියෙන්ම ගෙනෙන සතුට යන්න,” යන වාක්‍යය ඔහු ගත්තේ ජෝසෆ් ප්‍රීස්ට්ලි විසින් ලියන ලද කෘතියකිනි. පසු කාලයක දී බෙන්තම් විසින් එය අත්හළේ ඔහුට එරෙහිව ගෙනෙන ලද සියළු විරෝධතා වලට වඩා වැඩියෙන් පැහැදිලි හා වැඩියෙන් බලවත් වූ තර්කයක් (එහි දී සුළු ජනතාව සැලකිල්ලට පත් නොවෙන බව) ඔහුම ගෙනවිත් ය.

මහා බ්‍රිතාන්‍යයේ සියළු රෝමානු කතෝලිකයන් එහි පොතෙස්තන්ත්‍ර අයගේ වහලුන් කළහොත් කුමක් වේ දැයි ඔහු විමසීය. එසේම අයර්ලන්තයේ සියළු පොතෙස්තන්ත්‍ර අය එහි වාසය කරන රෝමානු කතෝලිකයන්ගේ වහලුන් කළහොත් කුමක් වේ දැයි ඔහු විමසීය. එහි දී වැඩි පිරිසකට වැඩියෙන්ම ගෙනෙන සතුට යන අදහසේ සුළු පිරිසක් බැහැරකට දා කතා කළ නොහැකි බව ඔහු පිළිගති.

සදාචාර ඉලක්කය සනාථ කරගන්නට එහි දී ඔහු පෙන්වා දුන්නේ සුළු පිරිසක් නොසලකා හැරීම වෙනුවට සම්පූර්ණ සමාජයට වැඩිපුර සතුටක් ගෙනන සිද්ධාන්තයට ය.

මිනිසා තුල වඩාත් ම සතුටක් ඇතිවන්නේ සැමට යුක්තිය සාධාරණත්වය ඉටුවීම නිසා යැයි එයින් පෙනී යයි. අයුක්තිය සහගත ලෙසින් යමක් ලැබීමෙන් සිතට දුකක් දැනීම මිනිස් හදවතක් ඇති සැමටම දැනෙන දෙයක් ද?!!!!!!!

එහෙනම් සදාචාරාත්මක පිළිවෙත් ගොඩනැඟීමේ දී අපි බලාපොරොත්තු විය යුත්තේ සැමට යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ට වීම ද? පරම සතුට යනු යුක්තිය හා සාධාරණත්වය තුලින් යමක් දිනා ගනිද්දී ලැබෙන සතුට ද?

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූනි 22, 2013 at 11:45 පෙ.ව.

    දුක හදුනන්නා සතුට වඩා හොදින් හදුනා නොගනීවිද? දුක හදුනා ගැනීමම සතුට හදුනා ගැනීමේත් මාර්ගය නොවන්නේද? එවිට පරම සැපත හෝ සතුට යනු පරම දුක නැති කිරීම නොවේද? එතකොට පරම දුක?? 🙂

    • arunishapiro said, on ජූනි 22, 2013 at 7:52 ප.ව.

      hallow rusta,

      දුකක් දැනිච්ච නැති මිනිසෙක් සිටියා හෝ ඉන්නවා යැයි කිව හැකිද?

      “වැඩියෙන් හොඳින් හඳුනා ගනීවි” යැයි අර්ථ දක්වන්නට ගියොත් අපි යම් අයෙකුගේ දුක කොතරම් ප්‍රමාණයක් දැයි හා තවත් අයෙකුගේ සතුට කොතරම් ප්‍රමාණයක් දැයි මනින්නට දන්නා බවක් ඇඟවේ. එහෙත් අපිට අනුන් ගැන කියන්න තියා සමහර අවස්ථාවල දී අපි ගැන කියන්නට පවා එවැනි දැනුමක් නැත. ආදර සම්බන්ධයක් කැඩී යෑම නිසා ඇතිවෙන වියෝ දුකේ දී ඒ ගැන දුක්වීමෙන් දැනෙන සතුටක් ඇතැයි ද ඒ කාලයේ දී ඇහෙන විරහ ගීත වලින් දුක දැනෙන අවස්ථාවේ දී ම දැනෙන සතුටක් ද ඇතැයි එකඟ වෙන අයත් සිටිති.

      දුක නැති තැන ඇත්තේ සතුටක්ම නොවේ … දුක සහ සතුට නැති “උපේක්ෂා” (indifferent) අවස්ථා ද ඇත. බුදු දහමේ වර්ධනය කරගත යුතු යැයි කියන “උපෙක්ඛා” යන්නේ තේරුම Equanimity යන්නයි. එනම් Mental calmness, composure, and evenness of temper, විශේෂයන් ම දැඩි දුකකින් හෝ දැඩි සතුටකින් සිත් කලබල කරන අවස්ථා වල දී අයෙකුට ඊට කළින් සිට පුහුණුවෙන් වඩවා ගන්නා ලද හැදියාව නිසා අනිත් අය දුකින් විලාප කියද්දී නොසැලී ඉන්නටත්, අනෙක් අය ඉහවහා ගිය සතුටකින් පිස්සු නටද්දී ප්‍රීතියෙන් එහෙත් සංසුන්ව ඉන්නට හැකියාවක් වර්ධනය කරගෙන තිබීම. එයට හැකියාව ඇත්තේ මිනිසාට පමණයි. අත්හදා බලන්න. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: