අරුණි ශපීරෝ‍ වෙතින්

හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා

Posted in Uncategorized by arunishapiro on ජූනි 24, 2013

IMG_7525

ස්වයං වද හිංසනයක් තුලින් මෝක්ෂය ලබාගත හැකි යැයි කියන ආකල්පය පුරාතන ඉන්දියාවේ ඇණ මත භාවනා කළ තාපසයන් සිට කතෝලික පල්ලියෙන් කැඩී ගිය අන්තවාදී කල්ලියක් විසින් 13 වැනි සියවසේ දී ඇඟ තලා ගැනීමේ (flagellation) රැල්ලක් ආරම්භ කිරීමත් තුලින් පැතිර ගොස් මෑත කාලයේ අඩු වී ඇති වෑයමකි. හමෙන් එල්ලී සිටිය දී සිරුරට දැනෙන වේදනාව විඳිමින් මෝක්ෂය පතන අය තවමත් කතරගම දී දකින්නට හැකි දැයි නොදනිමි.

කාමසුඛල්ලිකානු හා අත්තකිලමථානු දෙකම අත්හැර දමා මැදපිළිවෙතක් ගැන බුදුන් කියා දුන්න ද බෞද්ධයන් තරම් මැද පිළිවෙතක යෑම පැත්තකට දමා ඇති පිරිසක් මා දැක නැත.

සීලය යන්න වස්ත්‍රයට පමණක් සීමා කර බුදු දහම මනස පෙරදැරි කරගත්තක් බව ද ඔවුන් අමතක කරති.

සීලය කුමක් දැයි අනවබෝධයෙන් තෘෂ්ණාවෙන් නැහැවී කාමසුඛල්ලිකානු හා අත්තකිලමථානු අන්තයන්ට ගමන් කරන සිතට ඉන්ද්‍රීය දමනය ගැන අවබෝධයක් ලබා දෙන හැටි විමසීම අමතක කරති. උපතින් ලබා ඇති සිතේ ඒ හැකියාව විමසා බලනු වෙනුවට එක පැත්තකින් ඉන්ද්‍රීය පිනවීම සහ අනෙක් පැත්තෙන් ඉන්ද්‍රීයයන්ට දැඩි දුක් දීම ගැන වැඩි කතාබහක් සිද්ධ වේ.

“හෙට මැරැණත් හිතට සැපයි අද ජොලි කරලා,” යන්න 17 වැනි සියවසේ දී අපට අහන්නට ලැබෙන්නේ ලෝර්ඩ් බයිරොන් ලියා නිම නොකළ දොන් හුවන් ගද්‍යයෙනි. “අපට වයින් හා ගෑණු, ප්‍රමෝදය හා සිනාව අද දෙන්න, බණ සහ සෝඩා වතුර හෙට දෙන්න,” -Let us have wine and women, mirth and laughter, Sermons and soda water the day after. මේ සඳහන් දෙකේ දී ම වේදනාවට කළින් සම්භෝගය අත්විඳීමේ විපාකය ගැන කියැවේ. ඉතින් වේදනාව අත්විඳ සම්භෝගය ලැබීම වඩා සුදුසු යැයි එයින් ගම්‍ය වෙනවා ද?

එසේම තවත් මෑතක් වෙද්දී ජෝන් මේනාඩ් කේන්ස් විසින් මොනවා කළත් කමක් නැහැ “අවසානයේ අපි සියල්ලන්ම මැරෙනවා,” යැයි ද කියුවේය. ඔහු ලෝක ජනතාවට මහත් හානිකර අවියක් ලෝක ආණ්ඩු අතට දී වයස 62 දී මිය ගියේය.

ආචාර ධර්මය හා සදාචාරය ගැන කතාබහක දී වඩා වැදගත් වනුයේ සම්භෝගය හෝ වේදනාව යන දෙකෙන් කුමක් කළින් එන්නේ ද කියා නොව වැඩි කාලයක් අනෙකට වැඩියෙන් අත්විඳින්නට සිද්ධ වන්නේ කුමක් දැයි කියාය.

ආත්මයන්, සංසාරයන්, භවයන් විශ්වාස කරන්නෝ මේ ජීවිතයේ දී දුක්විඳ අනාගත ආත්ම, භව හා සංසාරයන් හි දී පොලී ඇතුව ලැබෙන සතුට ගැන තණ්හාවෙන් කටයුතු කරති.

ඉතින්, වැඩි කාලයක් පවත්වා ගත හැකියාව ඇති මැදපිළිවෙත නොවිමසන නිසා බෞද්ධයන් ද ක්ලේශයන් දුරු කරනු පිණිස අරකෙන් මේකෙන් වැළකී සිරුරට දඬුවම් දීම යනු යහපත් කියන පැත්තට වඩා බර වෙති. මේ ජීවිතයේ දී ක්ලේශයන් දමනයෙන් සතුටින් සිටිය හැක්කේ කෙසේදැයි ගැන නොවිමසති.

ජෝන් මේනාඩ් කේන්ස් ගේ පරිභෝජනවාදය තමන් වැළඳ ගනිමින් අල්පේච්ඡතාවාදය අගය කරන්නේ යැයි කියමින් තමන් විමසා නොබලන ලද බටහිර සංකර හැදියාව හංවඩු ගසති. සංකර නොහොත් මිශ්‍ර වූ පමණින් යමක් අහිතකර වෙන්නේ කෙසේද?!!!!!!!

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on ජූනි 24, 2013 at 10:31 පෙ.ව.

    මගේ ඊළඟ ළිපියේ මීට සමාන අදහස් අඩංගුයි.. මම නම් ජීවත් වෙන්නේ.. ඔය කියපු අයගේ දහමට අනුව නෙමෙයි.. ඕමාර් කයියාම් ගේ දහමට අනුව..

    ත්‍රී වීල් එකක පිටි පස්සෙ ගහලා තිබුනා මෙහෙම..

    “අනේ ඉතින් ඉන්නකන්නේ……”

  2. wicharaka විචාරක said, on ජූනි 24, 2013 at 12:09 ප.ව.

    හමෙන් එල්ලී සිටීම යනු, හුදු අන්ධ භක්තිය නිසා ඇතිවූ ස්වයං මෝහනයක් නිසා, සංවේදනය තාවකාලිකව නැතිවී යාම මිස, දේව බලයක් නොවන බව නොදන්නා, සෑහෙන පිරිසක් මෙන්ම, එසේ එල්ලී සිටින්නා, විශ්වකර්ම බලයකින් යුත්තෙකි, යයි සිතන සෑහෙන පිරිසක්ද සිටීම, මේ 21 වැනි සියවසේ අප දකින ලොකුම විප්‍රකාරයකි.

  3. Sudath said, on ජූනි 24, 2013 at 1:16 ප.ව.

    සංකර නොහොත් මිශ්‍ර වූ පමණින් යමක් අහිතකර වෙන්නේ කෙසේද?
    මිශ්‍ර වී‍මෙන් අහිතකර ප්‍රතිපල සෑදෙන්නේනම්, සියලු සත්වයෝ අහිතකර වෙති. උන් සෑදෙන්නේ සෛල මිශ්‍ර වීමෙනි.

  4. hallow rusta said, on ජූනි 24, 2013 at 1:34 ප.ව.

    “හෙට මැරැණත් හිතට සැපයි අද ජොලි කරලා,” – මරණය හෙටට කල් දමා ජොලිය සෙවීම කාමසුඛය හොයන කතාවකි. “අවසානයේ අපි සියල්ලන්ම මැරෙනවා,” – දෙපැත්තටම නැති කතාවකි. මැරෙන බව දැනගත්තත් කුමක් කළ යුතුද නොදන්නා නිසා කුමක් කළත් කම් නැත කියනවා නම් ඒ ගැන කතා කිරීමටම දෙයක් නැත.

    – ආත්මයන්, සංසාරයන්, භවයන් විශ්වාස කරන්නෝ මේ ජීවිතයේ දී දුක්විඳ අනාගත ආත්ම, භව හා සංසාරයන් හි දී පොලී ඇතුව ලැබෙන සතුට ගැන තණ්හාවෙන් කටයුතු කරති.- විශ්වාසය මිනිසෙකුගේ පැවැත්මට අවශ්‍යය. නමුත් අන්ධ විශ්වාසය නැවතත් මිනිසා විනාශයටම පමුණුවා ලන බැවින් නිවැරදි විශ්වාසයක් සදහා නිවැරදි සංකල්ප අවශ්‍යයි නේද? අද එවැනි සංකල්ප අවබෝධ ඥානයට ගෝචර කරගැනීම (30 ට අඩු පරපුර විශේෂයෙන්) එතරම් පහසුද? අප රටේ සාමාන්‍ය ජනයා සැළකීමේදී ඔවුන්ට ලැබෙන දත්ත තොරතුරු මිස ඒවා විශ්ලේෂණයට නිවැරදි මග පෙන්වන්නෝ සිටින්නේ ඉතාම අල්පයකි.

    – ඉතින්, වැඩි කාලයක් පවත්වා ගත හැකියාව ඇති මැදපිළිවෙත නොවිමසන නිසා බෞද්ධයන් ද ක්ලේශයන් දුරු කරනු පිණිස අරකෙන් මේකෙන් වැළකී සිරුරට දඬුවම් දීම යනු යහපත් කියන පැත්තට වඩා බර වෙති. මේ ජීවිතයේ දී ක්ලේශයන් දමනයෙන් සතුටින් සිටිය හැක්කේ කෙසේදැයි ගැන නොවිමසති.- මේ ජීවිතයේදී ක්ලේශයන් දමනයෙන් සතුටින් සිටිය හැක්කේ කෙසේදැයි විමසමින් මැද පිළිවෙතට බර වෙන්නට සිතෙන විට සමාජයේ පවතින පිළිවෙත බර කොයි දිශාවටයි විමසනු වටී. අප සමාජය පොදුවේ බර සැප වැඩි පිළිවෙතටයි. එවිට මැද පිළිවෙතට පිවිසෙන්නට නම් දුක ගැන වැඩියෙන් විමසීම අවැසි නොවේද? සැප ගැන දන්නා සමාජය දුක මගහරවා නැවත සැපයට මිස මැද පිළිවෙතකට නොපැමිණේ. සැප ඇති සමාජයක සැප ගැනම කතා කිරීම මැද පිළිවෙතකට ඒමකට වඩා කාමසුඛයට බරදෙයි. කාම සුඛය වර්ජනය කිරීමක් ගැන කතා කිරීමක් නොවේ. මැද පිළිවෙතට මාර්ගය හදා ගැනීමක් ගැනයි මේ අදහස.

    රස්තියාදුකාර ඥානයෙන් ශුද්ධ ලෙසින් විමසන මේ අදහස් වල වැඩියක් ඇත්නම් කමත්වා.. ඔබතුමියගේ අදහස් තවදුරටත් විග්‍රහවෙනු කැමති හෙයින් මෙසේ අසමි. අඩුවක් ඇත්නම් එය පිරවේවා..

    • arunishapiro said, on ජූනි 24, 2013 at 8:43 ප.ව.

      hallow rusta,

      කාම සුඛය සොයන අය නෙමෙයි හැබැයි එහෙම සිංදු හැදුවේ … එහෙම කරන එක හොඳ නැහැයි කියන අය. ලෝර්ඩ් බයිරන් එයාගෙ ගද්‍ය පද ලිව්වෙත් එහෙමයි.

      කේන්ස් කියපු ගොඩක් කතා දෙපැත්තටම නැති ඒවා තමයි.

      විශ්වාසය (belief) සහ බලාපොරොත්තුව (hope) මිනිසාට අවශ්‍යයි. අධ්‍යාපනය බෙදන්න දන්නවා කියන පිරිස වෙතින් එහි පාලනය ගිලිහෙන තුරු (පිළියම එයයි) හිතන්න බැරි දක්කා ගෙන යන රැලේ ඉන්න අය තුලින් අන්ධ විශ්වාසයන් තමා බහුලව දකින්න ලැබෙන්නෙ. පිළියමට එකඟ වෙන අය අද ලොව අඩුයි. ඒ නිසා තමයි අපහසු. හැබැයි හැමදාම සංකල්ප අවබෝධ ඥානයක් තිබ්බේ සුලු පිරිසකට පමණයි. ඒ අය පවතින මැරවර වාතාවරණය යටතේ මූලිකත්වය ගනීවි ද?

      //අප සමාජය පොදුවේ බර සැප වැඩි පිළිවෙතටයි. එවිට මැද පිළිවෙතට පිවිසෙන්නට නම් දුක ගැන වැඩියෙන් විමසීම අවැසි නොවේද?// නැහැ. සැප යැයි සිතාගෙන කැමැත්තෙන් බර වී ඉන්නේ සැප වෙතට ද යන්න පළමුවෙන් විභාග කළ යුත්තක්.

      //සැප ඇති සමාජයක// කියද්දී සැප යනු කාමසුඛය පමණක් යැයි සිතන බහුතරය දකින්නට ලැබේ. ඥාන සුඛයක් ගැන කතාබස් වෙනුවට අහන්නට ලැබෙන්නේ ඉඳුරන් පිනවීමෙන් වැළකීමෙන් ලැබෙන මෝක්ෂයක් ගැනය. ශීලාචාර ලෙසින් සිංහලෙන් බුද්ධිමය සංවාද පැවැත්වෙන තැනක් අද ලංකාවේ ඇත්තේ කොහේද?!!!!!!

      • hallow rusta said, on ජූනි 25, 2013 at 1:39 පෙ.ව.

        ස්තුතියි. -හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා- යන්න විරුද්ධාර්ථයෙන් කිව්වත්, අද එය මෙහේ අර්ථ ගැන්වී ඇත්තේ ඇත්තේ අද ජොලි කර හෙට මැරුණත් කම් නැත යන්න ලෙසින්ම තමා. එලෙස කීවේ ඒ අර්ථයෙන් සිතාගෙනයි.

        -නැහැ. සැප යැයි සිතාගෙන කැමැත්තෙන් බර වී ඉන්නේ සැප වෙතට ද යන්න පළමුවෙන් විභාග කළ යුත්තක්.- එතකොට සැබෑවටම සැප යන්න පිළිබදව විග්ගරහයක් අවශ්‍ය වෙනවා. 🙂 එයට ඥාන සුඛයත් අනිවාර්ය නොවේද?

  5. Palitha Warnakulasuriya said, on ජූලි 29, 2013 at 7:25 පෙ.ව.

    ලොව පුරා අද වෙසෙන කි‍්‍රස්තියානීන් යයි කියාගන්නා බහුතර ජනතාව කවුරුන් හට සමාන කළ හැකි ද? මිනිස් වර්ගයා පෙළන මාරාන්තික රෝගයට නිසැක සුවය දෙන දිවඔසුව, නිසි විහරණ අනුව පරිහරණය කරනු වෙනුවට, එය වට්ටෝරුවක් සේ ජප කරමින්, යාතිකා කරමින්, සුවඳ දුම් පුදමින් පමණක් සිටින අවාසනාවන්ත රෝගීන්ට ඔවුන් සමාන කළ හැක. එසේම, තම ශ්‍රේෂ්ඨ ශාස්තෲවරයාගෙන් ලැබූ ආනුභාව සම්පන්න මහෙ!ෂධය ද සජ්ඣායනය කරමින් සිටිනු මිස, එය ප‍්‍රායෝගික ව ප‍්‍රයෝග නොකරන මෙරට බහුතර බෞද්ධයන් ද ඊට දෙවැනි නැත.

    ධනයට, බලයට කෑදරකමින් ධර්ම-ක්ෂය-රෝගය ඔඩු දිවූ ‘ලෙඩ වාට්ටුවක්’ බවට අද අපේ සමාජය පත් වී ඇත්තේ ඒ නිසා නොවේ ද?

    • arunishapiro said, on ජූලි 29, 2013 at 7:45 පෙ.ව.

      Palitha Warnakulasuriya,

      අද බහුතර ක්‍රිස්තියානීන් අද බහුතර බටහිර වැසියන්ට තමයි සමාන වෙන්නෙ. එයින් මම අදහස් කරන්නෙ ඔවුන් තමන් අතීතයේ කරන ලද ක්‍රියාවන් අතර වූ හොඳ නරක මොනවා දැයි දකින්නට, පිළිගන්නට, සහ කමාව අයදින්නට ඉදිරිපත් වන අය හැටියටත් වෙනස් කරගත යුත්ත වෙනස් කරගෙන ඉදිරියට යන්නට දැඩි සේ උත්සාහ කරන අය හැටියටත්.

      ලංකාවේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පාරට්ටු බාන අය ගැන නම් කියා නිම කළ නොහැකි තරම් ලැජ්ජාවක් උපදිනවා මිසෙක වෙන කියන්නට දෙයක් නැත.

      ධනයට හා බලයට කෑදරකමින් ඉන්නේ මුග්ධත්වය නිසයි. ඒ මුග්ධත්වය හටගෙන ඇත්තේ සමාජයේ යාන්ත්‍රණයන් සැකසී ඇති ආකාරය එනම් ධනය සහ බලය ඕනෑම කෙනෙකුට ස්වෝත්සාහයෙන් ලබාගත හැකියාව නොමැති වීම නිසයි. සැමට තරඟ කරත හැකි එකම මට්ටම හෙවත් නිදහස් වෙළඳපොලක් ඇත්නම් ධනයට සහ බලයට කෑදරකමක් වර්ධනය වෙනවා වෙනුවට ජනතාව තුල වර්ධනය වෙන්නේ එකිනෙකා සමඟ ගණුදෙනු කරමින් සෑම දෙනාගේ ම ජීවිත නංවාලන්න ගන්නා උත්සාහයයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: