අරුණි ශපීරෝ‍ වෙතින්

සාමය, සතුට, සම්පත

Posted in Uncategorized by arunishapiro on ජූනි 26, 2013

අපි සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ දී කරන්නට තෝරාගන්නේ අපට වැඩියෙන් ම “සම්භෝගය” ගෙන දෙන දේවල් නොවෙති. අප තෝරාගන්නේ වඩාත්ම අඩුවෙන් අතෘප්තියත් වඩාත්ම වැඩියෙන් තෘප්තියත් ලබාදෙන දේවල් ය. කෙටි කාලීන හා දීර්ඝ කාලීන ඵලවිපාක ගැන සිතා කරන තෝරාගැනීමකට හැකියාවක් තිබීම මිනිස් සිතට පමණක් ඇති ස්වභාවයකි.

බියක් ජනිත වීමෙන්, කෝපාවිෂ්ටයෙන්, හෝ ලාලසාවක් නිසා හටගන්නා ආවේගයකින් අපි කටයුතු කරන්නේ නම් එය වැඩියෙන්ම තෘප්තියක් කෙටි කාලයක දී ලැබෙන ක්‍රියාවකි. දීර්ඝ කාලීන ඵලවිපාක නොසලකා අපි මොහොතක තෘප්තියක් වැඩියෙන්ම ගෙනෙන ක්‍රියාවන් හි යෙදෙන්නේ ආවේගයන්ට ඉඩ දීම හේතුවෙනි. ආවේගයක් හටගත් පසු සංසුන්ව හිතා බලා ඉන්පසු ක්‍රියාවේ නිරත වෙද්දී අපි ක්‍රියා කරන්නේ දීර්ඝ කාලීනව වැඩියෙන් තෘප්තියක් (නැත්නම් අඩු අතෘප්තියක්) ගෙනෙන දැයෙහි ය.

අප අපේ ක්‍රියාවේ සද්ගුණවත් ගැන විනිශ්චයක් කරන්නේ නම් (විශේෂයෙන්ම අනුන්ගේ ක්‍රියාවන් හි ඇති සද්ගුණය ගැන විනිශ්චයන් කරන අය ද) විමසිය යුත්තේ මෙසේය:
ක්‍රියාවක් තෝරාගන්නා ඒකීය පුද්ගලයාගේ දීර්ඝ කාලීන නිරෝගී බව, සතුට හා යහපත සලසන ක්‍රියාවන් සහ රීතීන් මොනවා ද?
සම්පූර්ණ සමාජයේ, නැත්නම් සියළු මිනිස් සංහතියේ නිරෝගී බව, සතුට හා යහපත වැඩියෙන්ම සැලසෙන ක්‍රියාවන් සහ රීතින් මොනවා ද?

ඇරිස්ටෝටල් ඉදිරිපත් කළ සංකල්පයක් වන ඉයුඩෙමෝනියා යන්න නිරෝගී බව, සතුට හා යහපත යන තුනම එකතු වී හැදෙන්නකි. නිකෝමාකියන් ආචාර ධර්ම ගැන අහන්නට ලැබුනත් ඊට කළින් ලියන ලදැයි සැලකෙන ඉයුඩෙමියන් ආචාර ධර්ම ගැන සාමාන්‍යයෙන් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙහි දී සතුට සොයා යන ගමන ගැන කියද්දී සැලකිල්ලට පාත්‍ර වනුයේ ඇරිස්ටෝටල් ගෙනෙන ඉහත ඉයුඩෙමෝනියා අදහසයි.

ඇමෙරිකන් විකටයෙක් වූ ජෝර්ජ් කාලින් සතුට ගැන මෙසේ කියන ලදි. “බඩු එකතු කරගත් පමණින් සතුට ලැබේවි යැයි බලාපොරොත්තු වෙන එක හරියට සැන්විචස් මුළු ඇඟ පුරාම අලවලා එයින් බඩගින්න නිවේ යැයි හිතන එක වගේ.”

තමනට සතුට ලැබෙන්නේ කුමන මාර්ග වලින් දැයි නොදන්නා අයෙක් නැත. එහෙත් යම් තෝරාගැනීමකට පෙර එයින් සම්පූර්ණ සමාජයේ සතුට වැඩි වේ ද, තමන්ගේ සතුට ද දීර්ඝ කාලීන පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා දැයි මොහොතක් නැවතී සිතන්නේ කීයෙන් කී දෙනෙක් ද?

සතුට යන්න ගැන හෝ මැන ප්‍රමාණාත්මක ලෙසින් දැක්විය නොහැක: එක ක්‍රියාවකින් ලැබෙන සතුටක් ගනින්නේ හෝ මනින්නේ තවත් ක්‍රියාවකින් ලැබෙන සතුටක් සමඟ ද? නැත්නම් එක ක්‍රියාවකින් ලැබෙන සතුට නැවත පසුව එම ක්‍රියාවේ දී ම වැඩි කාලයක් නියැළෙද්දී ලැබෙන සතුට සමඟ ගැන මනිනවා ද?

සතුට, තෘප්තිය, නොසන්සුන්කමක් ඉවත් කිරීම ගැන කතාබහේ දී වැඩියෙන් හා අඩුවෙන් යන්න භාවිතා කළ හැකි වුවත් ඊට වඩා නිශ්චිත වූ ප්‍රමාණාත්මක ලෙසින් දැක්වීමක් කළ නොහැකියි. සතුටක් හා තෘප්තියක් හෝ නොසන්සුන් බවක් අඩු හෝ වැඩි යැයි සසඳා බලන්නට හැකි වුව ද ඒ අතර ප්‍රමාණාත්මක ලෙසින් අගැයීමක් කරන්නට නොහැකිය.

අපොයි ඒක කළා නම් මීට වඩා දහස් ගුණයක් හොඳ යැයි අයෙක් කියද්දී එහි දී එකකින් අනෙකට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් ලැබෙන සතුට ගැන අදහසක් මිසෙක සත්‍යයෙන්ම දහස් ගුණයක් දැයි මැන බලන්නට අවශ්‍ය මිනුමක් කිසිවෙකුට නැත.

ඕනෑම අවස්ථාවක දී අප ඉදිරියේ ඇති තෝරා ගැනීම් තුලින් අපි අඩුවෙන් හා වැඩියෙන් ලැබෙන සතුට අනුව ඒවා එක, දෙක, තැන යනුවෙන් නොදැනීම වර්ග කරමු. තෝරා ගත් අංක එක කිරීම නිසා වැඩියෙන් තෘප්තියක් ලැබෙන බව යමක් අංක එකට දමන අය විශ්වාස කරයි.

මෙයාකාරයෙන් විමසා බලා නැති අයට කලබල වී යමක් තෝරාගත් පසු තෝරා නොගත් දේවල් ගැන තව දුරටත් සිත් තැවුල් ඇතිවේ. ඔවුන් තෝරාගත් දෙයින් සතුටු වෙනවා වෙනුවට නොගත් දේ ගැන දුක් වන්නට වැඩි කාලයක් වැය කරති.

දවසේ පැය විසිහතර පුරා කරන තෝරා ගැනීම් වල දී බියක්, කෝපාවිෂ්ට වීමක් හෝ ලාලසාවක් නිසා හටගන්නා ආවේගයකින් යමක් තෝරා ගන්නවා වෙනුවට මඳක් සංසුන්ව තීරණයක් ගන්නේ නම් ප්‍රතිඵල වැඩියෙන් යහපත් දැයි ඔබටම අත්හදා බැලිය හැකි වූවකි.

දීර්ඝ කාලීන ඵලවිපාක ගැන සිතා බැලිය හැකි මෙහෙයුම් පද්ධතියක් මිනිස් මොළයේ ඇති බැවින් එය පාවිච්චියට ගත යුත්තේ ද මිනිසාම ය!!!!

එසේම, ක්‍රියාවක් තෝරාගන්නා මිනිසාට පමණක් තමන්ගෙ ඉයුඩෙමෝනියා සහ මිනිස් සංහතියේ ඉයුඩෙමෝනියා යන දෙකටම එය බලපාන්නේ කෙසේදැයි ද විමසීමට ද හැකියාවක් ඇත. ස්වභාවයෙන් පිහිටා ඇති මිනිස් මොළය භාවිතයට ගනිද්දී සද්ගුණවත් ලෙසින් කටයුතු කරන තෝරා ගැනීම ඇත්තේ ද හිතන්නට හැකි මිනිසා අතේය.

ඉයුඩෙමෝනියා සංකල්පයේ නිරෝගී බව ප්‍රාර්ථනය සංවර්ධිත ලෝකයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා සෞඛ්‍ය පහසුකම් වර්ධනයත් සමඟ පැත්තකට තල්ලු වී ගියේය. ලෝක ආර්ථික දියුණුවත් සමඟින් 70 ගණන් වල දී ප්‍රථම වරට ශාරීරික ව්‍යායාම් වලට කාලයක් මිඩංගු කරන සාමාන්‍ය ජනතාවක් ලොව දකින්නට හැකිවිය. වර්තමානයේ දී ඒඩ්ස් හා පිළිකා රෝග වලට ප්‍රතිකාර සොයා ගන්නට මිනිසා සමත් වෙනු දැකිය හැකියි. නොසන්සුන්බව අඩු සිරුරක නිරෝගී බව වැඩිවේ යැයි වෛද්‍ය විද්‍යාවේ ගවේෂණ පැහැදිලි කරන්නට පටන් ගති. නිරෝගී බව ප්‍රාර්ථනා කරනු වෙනුවට දීර්ඝ කාලීන නිරෝගී බවෙන් ජීවත්වෙන්නට අදිටන් කරගත් මිනිසුන් ඒ සඳහා තෝරා ගැනීම් කළහ.

ජෝන් ලෙනන් ඇමෙරිකන් ආණ්ඩුව එහි වැසියන් ගැන ඔත්තු බලනවා යැයි කියූ කාලයේ දී දැඩි අවශ්‍යතාවයක් වූ සාමය වැඩියෙන් තෘප්තියක් ගෙනෙන නොම්මර එකේ සතුටක් බවට පත්විය. සාමය නැත්නම්, නිරෝගී බවෙන් ඇති ඵලක් ඇත් ද?

වෙනස් කරගත හැකි සිතුවිලි වලින් දීර්ඝ කාලීන නිරෝගී බවක් සොයා යන්නට හැකි වුව ද, වෙනස් කරගන්නා සිතුවිලි වලින් දීර්ඝ කාලීන සාමයක් සොයා යන්නට හැකි ද? පළමුවැන්න තම සිතුවිලි වලින් ඉෂ්ට කරගත හැකි වූවකි. දෙවැන්න බහුතරයක් විසින් කළ යුතු වූවකි.

ඉතින් බහුතරයකට එය ඒත්තු ගන්වන්නේ කෙසේද?!!!!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on ජූනි 26, 2013 at 8:55 පෙ.ව.

    ස්තූතියි..
    ඉස්සරනම් “සතුට” ශත පනහද කොහෙද..
    විහිළුවට හොඳෙයි…

  2. hallow rusta said, on ජූනි 26, 2013 at 9:39 පෙ.ව.

    හිස් සාක්කුවෙත් ලොකු සතුටක් තියෙනවා. දරුණු වධ කදවුරක ඉදන් හිත හදාගන්නෙ කොහොමද? සතුට හොයාගන්නෙ කොහෙන්ද? එතනදි ‘‘හිස් සාක්කුවක් තිබුනත් මෝඩ නොවන සතුටක් ලබන්න පුළුවන් විදිහෙ මිනිහෙක්‘‘ පරදින්නෙ නෑ කීවොත්.

    • arunishapiro said, on ජූනි 26, 2013 at 10:41 ප.ව.

      hallow rusta,

      දරුණු වධ කඳවුරු වලින් ගැල වී ආපු අය ලියපු විස්තර කියවද්දී දැනගන්න ලැබෙන විදියට ඔවුන් එයින් ගැලවී ලබාගත හැකි නිදහස ගැන බලාපොරොත්තුව අත්හැරියේ නැතිව සිටිය අය බව දැනගන්නට ලැබෙනවා.

      අනික් හැම දෙයක් වගේම ස්වභාවයෙන් සතුට සොයා යන හුරුවක් නැත්නම් මහත් වෑයමකින් හුරුවෙන්න ඕනෑ දෙයක්. සතුට හොයාගන්නෙ තමන්ගෙ සිතෙන්. ඍනාත්මක සිතුවිලි වලට ඉඩදීම අඩුකරද්දී සතුට උපදවන සිතුවිලි වැඩිවෙනවා.

      හිස් සාක්කුව අයෙකුට පේන්නෙ අසරණ විදියට වෙන්න පුලුවන්. තවත් අයෙකුට පේන්නෙ සැහැල්ලු බවකින් වෙන්න පුලුවන්. එය තියෙන එක්කෙනාට පේන විදියයි වැදගත් .. ඒ මේ අයට පේන විදිය නෙමෙයි.

      • hallow rusta said, on ජූනි 26, 2013 at 11:18 ප.ව.

        -කෑම- ගොඩක් දෙනා කෑම(ආහාර වේල) ගැන ලොකු වර්ගීකරණයක ඉන්නවා. අපිව අරව කන්නෙ නැහැ. මේව කන්නෙ නැහැ කියනවා. ඒ වගේ උදවිය තමන්ගෙ ගෙදරින් පිට කෑම ගන්න අවස්ථාවල ලොකු වේදනාවක් විදිනවා සමහරවිට. නමුත් වැඩි වර්ගීකරණයක් නැතිව මිනිසාට ආහාරයට ගත හැකි කෑමක්ම වර්ගීකරණයකින් තොරව බුදින්නෝ එම වේදනාවට කොතැනවත් ගොදුරු වන්නට තිබෙන ඉඩකඩ අවමයි. වධ කදවුරකදී වුනත් :D. තිබෙන දෙයින් සැනහීම, ලද දෙයින් සතුටුවීම යන්න වාසනාවන්තයා, හා උත්සාහවන්තයා ගැන කතාවටත් සමහරුන් පටලවනවා. ලද දෙයින් සතුටු වීම යනු නිරුත්සාහයට මගක් නොව නිවැරදි උත්සාහයට පදනමක් කොට ගත නොහැකිද?

        • arunishapiro said, on ජූනි 27, 2013 at 7:40 පෙ.ව.

          hallow rusta,

          ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකයේ ම අය කෑම ගැන ආකල්ප දක්වන්න වැය කරන කාලයෙන් ඩිංගක් කෑම නිෂ්පාදනය කරන්නෙ කොහොම ද කියන එක අවබෝධයට වැය කළොත් ඒ අයගෙ අදහස් ඔයිට වඩා ගොඩක් වෙනස් වේවි.

          //නමුත් වැඩි වර්ගීකරණයක් නැතිව මිනිසාට ආහාරයට ගත හැකි කෑමක්ම වර්ගීකරණයකින් තොරව බුදින්නෝ එම වේදනාවට කොතැනවත් ගොදුරු වන්නට තිබෙන ඉඩකඩ අවමයි. වධ කදවුරකදී වුනත්.// මේ සත්‍යය වටහා ගන්න කිව්වොත් එයාල අපිට කියන්නෙ වධ කඳවුරු අහෝසි කළ යුතු කියලයි!!!!!

          //ලද දෙයින් සතුටු වීම යනු නිරුත්සාහයට මගක් නොව නිවැරදි උත්සාහයට පදනමක් කොට ගත නොහැකිද?// අවශ්‍ය එයයි. නිවැරදි උත්සාහය යනු කුමක් දැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ද කියලා දීලා තියෙන්නෙ කොච්චර ඈත අතීතයක දී ද? එකනෙ කිව්වෙ මැද පිළිවෙත දන්න අය අඩුයි කියලා 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: