අරුණි ශපීරෝ‍ වෙතින්

බලහත්කාරයෙන් වෙනස් කරන්න බැරි පුද්ගලයාගේ ඉලක්කය

Posted in Uncategorized by arunishapiro on ජූනි 28, 2013

IMG_7764

“හිඟන්නෙක් වුවත් සම්පූර්ණයෙන්ම අනෙක් අයගේ හොඳහිත ගැන විශ්වාසයක් තබාගන්නේ නැතැයි,” ඇඩම් ස්මිත් විසින් ලොවට පෙන්වා දුන්නේ 1776 දී ඔහු ලියූ ජාතීන්ගේ ධනය නම් ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයෙනි. හිඟන්නා ද තමනට අවශ්‍ය දේවල් මිල දී ගන්නට තවත් අයෙක් වෙතින් හිඟාගත් මුදල් භාවිතා කරයි.

සමාජයක වාසය කරන පුද්ගලයාට ස්වාර්ථයන් මුදුන් පමුණුවා ගන්නට හැකියාවක් ලැබෙන්නේ සමාජ සහයෝගයෙන් පමණි. එහෙත් එය සමාජයේ වාසය කරන අනෙක් අය වෙනුවෙන් තමන් කරන පරහිතවාදී ක්‍රියා වලින් වැඩි පහසුවකින් ඉෂ්ට වේ යැයි වැරදි වැටහීමක් ලොව ඇත. මෙය වැරදි වැටහීමක් බව අත්දැකීමෙන් දත්තද අවබෝධයෙන් වටහා ගැනීමට උත්සාහයක් නොගන්නා අය බොහෝය. එහෙයින් පරහිතකාමීත්වය ගැන පාරට්ටු බාමින් සමාජ සහයෝගය කුමක් දැයි විමසා නොබලන අය බොහෝය.

ඒකීය පුද්ගලයාගේ කැමැත්තන් සහ සමාජයේ කැමැත්තන් යනු ප්‍රධාන අරගලයකට තුඩු දෙන දෙපැත්තක් යැයි කීම දුර්මතයකි. සමාජය යනු ඉලක්කයන් සපුරා ගනු පිණිස එකිනෙකාගේ සහයෝගයෙන් වැඩ කරන පුද්ගලයන් සංකලනයකට කියන තවත් නමක් පමණි.

සමාජ සහයෝගය නම් වූ මේ අගනා ක්‍රමයේ අභිප්‍රේරණ (motivation) පදනම කුමක් ද?

එය අපට පැහැදිලිව දකින්නට ලැබෙන්නේ ආර්ථික සබඳතා වලිනි. මිනිසා එකිනෙකා සමඟ ආර්ථික සබඳතා පවත්වන්නේ ‘ආත්මාර්ථකාමී’ හෝ ‘මමත්වය’ පෙරදැරි කරගත් වාසි නිසා පමණින් නොවේ.*

අයෙක් ඔහුගේ ශ්‍රමය හා ඔහුගේ සම්පත් වලින් තවත් අයෙක් හා ගණුදෙනුවකට එකඟ වෙන්නේ ඔහුගේ වෙනත් අභිප්‍රායක් කරා යන්නට අදහස් කරගෙන ය. එකඟවෙන ගණුදෙනු වල දී අනෙක් අයගේ අවසන් ඉලක්කයන් මොනවා දැයි එකඟ වෙන පාර්ශවයන් සොයන්නේ නැත. අවසන් ඉලක්කයන් වෙනස් විය හැකි නිසා, ඒවා දන්නවා යැයි සිතූ පුද්ගලයාම තම හෝ අනුන්ගේ අවසන් ඉලක්කය නොදැන යම් ගණුදෙනුවකට එකඟ වෙන අවස්ථා ඕනෑ තරම් ඇත.

මේ මිනිස් ස්වභාවය නිසා එකිනෙකා සමඟ ගණුදෙනු කිරීම සඳහා ඇති කරගන්නා සබඳතා ඉතා සංකීර්ණ වෙති.

ගණුදෙනු කරන්නට භාවිතා කරන උපකරණය යනු මුදල් මිසෙක මුදල් යනු නෛසර්ගික වු අගයකින් යුක්ත වූවක් නොවේ. කෙළින්ම හා වක්‍ර ආකාර වලින් කරන හුවමාරු වලින් සිද්ධ වෙන්නේ “මට තියෙනවා” (I have) සහ “මට පුලුවන්” (I can) යන දේවල් “මට උවමනා” (I want) සහ “මම කරන” (I would) යන දේවල් වලට මාරු වීමයි.

මිනිසුන් මා සමඟ ආර්ථික ගණුදෙනු සහයෝගයෙන් කරන්නේ මගේ අවසන් ඉලක්කයන් ගැන ඔවුන්ට දැන ගන්නට උවමනාවක් ඇති නිසා නොවේ. ඔවුන්ට ඔවුන්ගේ කියා ද මුදුන් පමුණුවා ගැනීමට ඉලක්කයන් ඇති නිසා ය.

මම මගේ අරමුණු සාක්ෂාත් කරගන්නට වෙහෙසෙනවා මෙන් ඔවුන් ද ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නට වෙහෙසෙති. මට ඔවුන්ගේ සහයෝගයෙන් මගේ අරමුණු සාක්ෂාත් කරගන්නට ලැබෙනවා යැයි දකිද්දී ඔවුන් ද මගේ සහ වෙනත් අයගේ සහයෝගයෙන් ඔවුන්ගේ අරමුණු ද සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා යැයි දකිති. මම ඍජුවම හෝ වක්‍ර ආකාරයකින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගන්නට මෙම සමාජ සහයෝගීතාවෙන් උදව් කරනවා යැයි දකිද්දී ඔවුන් මා සමඟ ගණුදෙනු කරන්නට පෙළඹෙති.

අයෙක් සිය ඉලක්කයක් මුදුන් පමුණුවා ගන්නට ගන්නා උත්සාහයේ දී ඒ නිසා ඉතා විශාල පිරිසක් සමඟ එකිනෙකාගේ ඉලක්ක වලට බලපාන ගිවිසුම් ඇති කර ගනිති.

භාණ්ඩයක් මිල දී ගනිද්දී හෝ විකුණද්දී දෙදෙනාගෙන් එක් අයෙක් හෝ ප්‍රථමයෙන් සලකා බලන්නේ අනෙකාගේ අරමුණ නොව තමන්ගේ අරමුණයි. ඉතින් එහි දී එක පැත්තක අරමුණක් පමණක් ආත්මාර්ථකාමී යැයි කියන්නේ කෙසේද?

ඊ ළඟ දවසේ දී හිතෙන් බැන බැන බඩුවක් මිල දී ගන්නවා නම් එය මිල දී ගන්නේ ඇයි දැයි මඳක් නැවතී හිතා බලන්න. එක්කෝ තව දුරක් ගොස් අඩු මිල ගණන් සොයා බලන්නට ඇති අකමැත්ත වෙන්නට පුලුවන. එක්කෝ අඩු මිලට ලැබෙන බාල බඩු වලට ඇති අකමැත්ත වෙන්නට පුලුවන. එක්කෝ හිතට හා පසුම්බියට ගැලපෙන බඩුව සොයන කාලය නාස්ති වෙනවාට ඇති අකමැත්ත වෙන්නට පුලුවන. එක්කෝ වෙන බඩුවක් ගෙදර ගෙන ගියාම ගෑනි බනින නිසා වෙන්නට පුලුවන!!! නමුත් හේතුව කුමක් වුවත් ඒ බඩුව ගන්නටත් වෙන බඩුවක් තෝරා නොගන්නටත් හේතුව එයින් තමන්ගේ ඉලක්කයක් සාක්ෂාත් වෙන නිසාය. තමන්ගේ තෝරා ගැනීමට තමන් අකමැති වීම වෙනත් කාරණයකි. අකමැති දේවල් බොහොමයක් අනුන් කියන නිසා තෝරාගෙන කරන අය ලොව සිටීම ද වෙනත් කාරණයකි!!!!

* මෙතැන් සිට අවසානය දක්වා අදහස් Philip Wicksteed ලියූ The Common Sense of Political Economy (1910) පොතෙනි.

පින්තූරය: මගේ තුච්ඡ ආශාවන් නිසා වෙනත් කොතරම් පුද්ගලයන්ගේ ඉලක්කයන් ඉෂ්ට වෙනවා ද?!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. sujatha said, on ජූනි 28, 2013 at 7:58 පෙ.ව.

    තුච්ඡ ආශාවන්?????????අය්යෝ එහෙම කියන්ට එපා. ඕකට සරලවම කියන්නෙ කෑදරකම කියල.

    මම දන්න ගෙදරක් තියෙනවා ගේ පුරෝලා තියෙන්නෙ චීන විසිතුරු බඩු. ඕනැකමකටද ආසාවටද එහෙම පුරවාගෙන තියෙන්නෙ කියල ඇහුවෙ නැහැ. නමුත් ගේ ඇතුලෙ හැරෙන්ට ඉඩක් නැහැ. අර Clean House home makeover and interior design television show (ක්ලීන් හවුස්) කියන Reality වැඩසටහන කරන්ට කියාපු ගෙයක්. ගරාජ් සේල් එකක් දැම්මොත් බර ගානක් සොයාගත හැකියි. නමුත් එයින් වෙන්නෙ තවත් කෙනෙකුගෙ ගෙදරකට ලටපට ටික යැවෙන එක නේද?

    භාණ්ඩයක් මිල දී ගනිද්දී හෝ විකුණද්දී දෙදෙනාගෙන් එක් අයෙක් හෝ ප්‍රථමයෙන් සලකා බලන්නේ අනෙකාගේ අරමුණ නොව තමන්ගේ අරමුණයි. ඉතින් එහි දී එක පැත්තක අරමුණක් පමණක් ආත්මාර්ථකාමී යැයි කියන්නේ කෙසේද?

    • arunishapiro said, on ජූනි 28, 2013 at 8:13 පෙ.ව.

      sujatha,

      ‘තුච්ඡ ආශාව’ මගේ නිර්මාණයක් නෙමෙයි; එපිකියුරස් දුන් අර්ථයයි. කෑදරකම වැරදි නැහැ!!! 🙂

      දැන් මට විදේශයන් වලින් ගෙනෙන ලද ආහාර වලට කෑදරකමක් තිබුණට අපේ ගෙදර හිස්. වසර 10 ක් විතර හිටපු ගෙයට ගොඩවදින අලුත් යාළුවෝ ගෙදරට අලුතින් ආපු ගමන් දැයි අහනවා!!!!

      // නමුත් එයින් වෙන්නෙ තවත් කෙනෙකුගෙ ගෙදරකට ලටපට ටික යැවෙන එක නේද?// සමහර විට ගෙවල් තුන හතරක් අතරේ බෙදිලා යන්නත් පුලුවන්. ඒත් ඒක නෙමෙයි කාරණය .. ඇයි ඒ අයගේ කැමැත්ත වෙනස් කළ යුතු යැයි හිතන්නෙ? ගරාජ් සේල් එකකින් ලැබෙන මුදලට වඩා බඩු දිහා බලල රසාස්වාදයක් ලබනවා ඇති.

      හැමෝම ආත්මාර්ථකාමීයි. පිළිගන්නේ ටික දෙනයි.

      • sujatha said, on ජූනි 28, 2013 at 11:49 ප.ව.

        ඒ ගෙදර හැරෙන්ට ඉඩක් නැහැ අක්කේ. ළමයිනුත් එයාගෙ මහත්තයත් පුදුම ඉවසීමකිං හොරෙං හොරෙං ටික ටික බඩු ඉවත් කරනවා. එයාට තාම දැනිලවත් නැහැ. එච්චරට බඩු ගෙයි. මදුරුවො කියලා ගේ ඇතුලෙ දුං අල්ලනවා. ඒ කොටසෙ තියෙන්නෙ ප්ලාස්ටික් මල් ගස්.

        හැමෝම ආත්මාර්ථකාමීයි. පිළිගන්නේ ටික දෙනයි. ඒකනිසා තමා අක්කෙ අපි මහත්තුරුංගෙ ජීවිතරක්ෂණ වාරික වෙලාවට ගෙවන්නෙ. 😀

        • arunishapiro said, on ජූනි 29, 2013 at 8:37 පෙ.ව.

          sujatha,

          අපි නම් ජීවිතරක්ෂණ වාරික ගෙවන්නෙ ආණ්ඩුව මුදල් අගය පහළ යවමින් අපේ වත්කම අඩු කරන එකට විරුද්ධව ගන්නා පියවරයක් හැටියට අපරිමිත බැංකු සංකල්පයෙන් හදාගත හැකි පුද්ගලික බැංකු ක්‍රමයට කැමති නිසා. ඒත් ඒක වෙනම කතාවක්!!!!

          සුජාතා නංගි ඔය කියන අයට ඇත්තේ තමන්ට හසුරුවා ගත හැකි කෑදරකමක් නොව එයාට තනිවම හදාගත නොහැකි අයහපත් මානසික තත්වයක් විය හැකියි.
          https://arunishapiro.wordpress.com/2010/11/02/පිරිසිදු-ද-කුණු-කන්දල්-ද/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: