අරුණි ශපීරෝ‍ වෙතින්

යුක්තිසහගත ස්වාර්ථයට ඉඩදීමෙන් බිහිවෙන එකමුතු සමාජය

Posted in Uncategorized by arunishapiro on ජූලි 1, 2013

IMG_7784

එකිනෙකාගේ කැමැත්තෙන් ගලපා ගන්නා සමාජ සබඳතා පවතින ක්‍රමයක දී එකිනෙකාගේ ඉලක්කයන් සාක්ෂාත් කිරීම යනු එක අයෙකුගේ ඉලක්කයන් ද මුදුන් පමුණුවා ගැනීමයි.

වෙනත් අයෙකුගේ මැදිහත්වීමක් නොමැතිව දරුවන් දෙදෙනෙක් පටන් ගත් රණ්ඩුවක් ඔවුන් විසින් ම නිරාකරණය කරගන්නේ නම් එහි දී ඒ දෙදෙනාම ඔවුනට උවමනා වූ යම් ඉලක්කයක් කරා යන්නට සමත් වී සිටිති.

යුක්තිසහගත ස්වාර්ථය නම් වෙනත් කිසිවෙකුට හානියක් සිද්ධ නොවෙනවා නම් ඒ ඒ කැමැත්තට අනුව කටයුතු කිරීමට ඔවුනට ඉඩ දීමයි.

පිටස්තරයෙකුගේ බලහත්කාරකමක් නැතිනම් ඕනෑම සබඳතාවයකට අයෙක් පිවිසෙන්නේ එයාගේ ඉලක්ක සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතුව ය. බිරිඳ, දරුවන්, දෙමාපියන් සහ සමාජය වෙනුවෙන් ශ්‍රමය වෙහෙසන්නේ යැයි කියන්නා ඊට තම වෙහෙස සපයා තමන් සතුටු වෙන්නෙකි. තම කීර්තිය, වස්තුව හා නම්බුනාම උදෙසා වෙහෙසෙන්නා එයින් තම සතුට ලබයි.

මේ දෙගොල්ලන්ටම තම කැමැත්ත සාක්ෂාත් කරගනිමින් සතුට ලබන්නට හැකියාව ලැබෙන එකම සමාජ සබඳතා ක්‍රමය නම් තමන් සතුට ලබන යුක්තිසහගත මාර්ගය සහ අනෙකා සතුට ලබන යුක්තිසහගත මාර්ගය යන දෙකම නිවැරදි යැයි පිළිගැනීමෙන් පමණකි. අනෙකාගේ සතුටට අවහිර කරන පිටස්තර බලහත්කාරකමක් අනුමත නොකිරීමෙන් තමන්ගේ සතුට අවහිරයට ද ඉඩ ඇහිරෙන බව අවබෝධයෙනි.

අයෙකුට තම අරමුණු කරා යන්නට තවත් අයගේ සහයෝගය උවමනා බව සම්භව්‍ය ලිබරල්වාදියා දකියි. අනෙක් අය වෙනුවෙන් වෙහෙසෙනවා යැයි පාරට්ටු බාන සමාජවාදීන් අනුන්ගේ කැමැත්ත කුමක් දැයි නොතකා සමාජ යහපත වෙනුවෙන් කියමින්, සතුට ලබා ගත යුත්තේ කෙසේදැයි අනෙක් අයට නියම කරමින්, සමහර පිරිස් වලට නැති සහන අනෙක් පිරිස් වලට පවරති.

ආර්ථික සහයෝගීතාවය මිනිසාගේ දිනපතා ජීවිතයේ දැවැන්ත කොටසකට බලපාන නිසා සදාචාර කතාබහ ඒ නිසා අර්ථ ශාස්ත්‍රය ගැන වූයේ ද වෙයි. මේ ගැන බහුතරය සොයා නොබලති. අවබෝධයට හැකියාව ඇති සමහර අය ද එය සත්‍යයක් බව කැමැත්තෙන් පිළිනොගනිති.

සේවායෝජකයාගේ (employer) සාර්ථකත්වය සේවායුක්තියාගේ (employee) වෙහෙස මත රඳාපවතිනවා යන්නට වැඩියෙන් වැදගත්කමක් දෙන්නට බැරි බව සමාජවාදීන් පිළිගන්නා තෙක් ආර්ථික සහයෝගීතාවය ගැන කතාබහක් පටන් ගන්නට නොහැකියි.

සෑම අයෙකුටම තම අරමුණ කරා යන්නට තවකෙක් අවශ්‍යයයි. සේවායුක්තියන් කෙතරම් වෙහෙසුන ද ලාබයක් සොයන්නට දන්නා සේවායෝජකයන් නැත්නම් ශ්‍රමික වෙහෙසෙන් ඵලදාවක් නෙළාගත නොහැකියි.

ඉහත පින්තූරයේ ඇත්තේ මුහුදු වෙරළේ නිවාඩු ගන්නට එන අයට මුදලක් ගෙවා වාඩිවෙන්නට හැකි ආසන වෙති. මේ ආසන වල වාඩි වී මුහුදු සුළං විඳින්නට කැමැත්තෙන් ඊට ගෙවන අය සිටින නිසා ඒවා හදන අයට, ඒවා මුහුදු වෙරළ අසල හෝටල් වලට විකුණන අයට, ඒවා ප්‍රවාහනය කරන අයට, ප්‍රවාහනය කරනු සඳහා ලොරි හදන අයට … ඒවාට ගෙවීමක් අය කරන හෝටලයේ අයට යනාදී රස්සාවන් බොහොමයක් උපදී.

IMG_7767එපමණක් නොව මේවායේ වාඩි වී සිටින අයට අව්වෙන් ගැලවෙන්නට අවශ්‍ය කුඩ වැල්ලේ දී හිටවන්නට බිහි වූ අපූරු උපකරණයක් ද දැක්කෙමි. පවර් ඩ්‍රිල් එකට මේ වැල්ල හාරන්න හදපු කෑල්ල එකතුවෙන් අඩු වෙහෙසෙන් වැඩි සාර්ථකත්වයෙන් හනිකට කුඩයක් මුහුදු වෙරළේ සිටවන්නට හැකියි.

මෙය දකින සමාජවාදියා සිතන්නේ මුදලක් ගෙවා මුහුදු වෙරළේ සුව පහසුවෙන් වාඩි වී සිටින ධනවතා වෙනුවෙන් කුඩය හිටවන්නට උපකරණය නිපැදවුනා කියා පමණි. එහි ලාබයෙන් ධනවතා පමණක් මුහුදු වෙරළේ සුවය විඳිනවා කියාය. එහෙත් මෙම උපකරණය හැදීමට ඩිසයින් හදපු අය, ඒවා නිපදවන අය, ඒවා අලෙවි කරන අය, ඒවා ප්‍රවාහනය කරන අය, ඒවා යොදා ගනිමින් කුඩ හිටවන අයට ලැබෙන වේතන කිසිවක් එයා නොදකියි.

ඒ වේතන ලබන අයට ද කැමති නම් මුහුදු වෙරළේ සුව පහසුවෙන් වාඩි වී නිවාඩු ගන්නට අවස්ථාව ලැබෙන බව නොදකියි. සැලසුම් වැඩි මිශ්‍ර ආර්ථිකයක වේතන කොපමණක් වේ දැයි තීරණය සැලසුම් හදන්නන් අත වීම නිසා එය වටහා ගැනීමට ඔවුනට තවත් අසීරුය.

සමාජ සහයෝගිතාවය විසින් දැවැන්ත ලෙසකින් ආර්ථිකයට බලපෑම් සිදු කරයි. එතැනින් එහාට ගොස් කෙළින්ම හෝ වක්‍ර ලෙසකින් භෞතික, අධ්‍යාත්මික, සංස්කෘතික හා කලාත්මක යන අනෙක් සියළු අගැයුම් වලට ද බලපෑම් ගෙන එයි.

හැමෝම හැමෝවම මංකොල්ලයට පොළඹෙනවාට වඩා එකිනෙකා සමඟ සහයෝගයෙන් වැඩ කිරීම සදාචාරාත්මක නොවන්නේ කෙසේද?!!!!!!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 1, 2013 at 10:32 පෙ.ව.

    මංමුලා වූ තත්ත්වයක සිටින බොහෝ පිරිස් දුටුවාම ඔබ සමාජ ගතකරමින් සිටින අදහස් ගොන්න ඉතාම වටිනවා .

  2. hallow rusta said, on ජූලි 1, 2013 at 2:00 ප.ව.

    යුක්ති සහගත ස්වාර්ථයකට මුල් වන්නේ දහමද? ආර්ථිකයද? අවංක ලෙසම මේ දෙක අතරමැදි මැදි පිළිවෙත තුළ යුක්ති සහගත ස්වාර්ථය සොයා යාමේ මගක් තිබේද? එය ධන වාදයද? සමාජ වාදයද? වෙනයම් වාදයක්ද? මෙහේ තිබෙන්නා වාගේ අතරමැදි වාදයක්ද? 😀 කිසියම්ම වාදයකින් තොරව එවැනි මගක් තැනිය හැකි ඥානයක් අප අතර නොවෙත්ද? ලෝකයේ සකල ක්‍රම විධි හා එය නොගැලපෙත්ද? එය අධික වෙහෙසකර වූවක් හෝ හිතලුවක්ද? (වාද පිළිබද පටු රස්තියාදු ඥානයෙන් විමසමි. වරදක් වෙතොත් කමත්වා)

    • arunishapiro said, on ජූලි 1, 2013 at 2:23 ප.ව.

      hallow rusta,

      common sense කියන එකට හරියටම හරියට ගැලපෙන සිංහල වහරක් මම දන්නෙ නැතිකම ලොකු පාඩුවක්. යුක්තිසහගත ස්වාර්ථය කුමක් දැයි අවබෝධ කරගන්න මුල් වෙන්නෙ එයයි.

      වාදයකින් තොර වූ අතරමැදි වාදයක් තියෙන්න විදියක් නැහැනෙ. ධනවාදය සහ සමාජවාදය අතර අතරමැදි වාදයක් නැහැ. මේ අඩවියේ තියෙන්නෙ එකයි. එය ධනවාදයයි. ධනවාදය කුමක් දැයි දන්නා අය අද සමාජවාදය කුමක්දැයි යාන්තමෙන් හෝ දන්නා අයට වඩා බෙහෙවින් දුලබයි. ධනවාදය සහ සමාජවාදය යන දෙක අතරමැද තියෙන්නෙ සමාජවාදය කරා යන මාර්ගයයි.

      common sense තියෙනවා නම් ධනවාදය යනු කුමක්දැයි පහදා ගන්න උත්සාහයක් ගන්නවා. තමන් වෙනුවෙන් කියා හෝ අනුන් වෙනුවෙන් කියා හෝ තම සතුට සොයා යන්නට ඉල්ලන මිනිසාට එය ලැබෙන්නේ එකම ක්‍රමයකින් පමණයි නම්, එම එකම ක්‍රමය ධනවාදය නම්, එහෙම නම් ධනවාදය යනු කුමක්දැයි පහදා ගත යුතු යැයි වැටහීම ලැබෙන්නේ common sense පාවිච්චි කරන්නේ නම් පමණයි!!!!

      • maathalan said, on ජූලි 1, 2013 at 10:55 ප.ව.

        එතකොට නව ලිබරල්වාදය… පොඩි පැහැදිලි කිරීමක් කලොත්…

        • arunishapiro said, on ජූලි 2, 2013 at 6:33 පෙ.ව.

          maathalan,

          “ආර්ථික නිදහස” එක්ක “ආණ්ඩුව කරන සාධාරණ බෙදීම” යන්න ගලපන්න හැකියාවක් නැහැ. නව ලිබරල්වාදය එයට හැකියාවක් ඇතැයි කියන පදනමකින් බිහි වූවක්. වෙළඳපොල හසුරුවන්න දැනුමක් ඇතැයි රුසියාව, චීනය, කියුබාව වගේම එංගලන්තය, යුරෝපීය යුනියනය සහ වර්තමාන ඇමෙරිකාව පවා උත්සාහ කළ හැම වතාවකම වෙළඳපොල (එනම්, පාරිභෝගිකයන්) පෙන්වා දෙන්නේ එයට හැකියාවක් කිසිවෙකුට නැතැයි කියා. දෝෂ සහගත පදනමක් හැම විටම දෙදරන නිසා එයින් ස්ථාවර සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැකියි.

  3. අටම්පහුර said, on ජූලි 1, 2013 at 4:25 ප.ව.

    //ඒ වේතන ලබන අයට ද කැමති නම් මුහුදු වෙරළේ සුව පහසුවෙන් වාඩි වී නිවාඩු ගන්නට අවස්ථාව ලැබෙන බව නොදකියි//

    වේතනය ප්‍රමාණවත් වෙනවානං එහෙම කරන්න ඇහැකියි

    • arunishapiro said, on ජූලි 1, 2013 at 6:26 ප.ව.

      අටම්පහුර,

      එක රස්සාවක් තවත් රස්සාවකට වඩා ඉහළයි කියලා සැලකෙන්නෙ නැති රටක එහෙම නිවාඩු ගන්න හැකි අය ඕනෑ තරම් දකින්න පුළුවන්. රටෙන් බාගයකට වඩා අයගෙ වේතන තීරණ වෙන්නේ අධ්‍යාපන ක්‍රමයක් තුල ඉහළ ලකුණු ගත්තු නිසා නියම වෙච්ච ක්ෂේත්‍රයකින් සහතිකයක් ලැබිච්ච නිසා නෙමෙයි. තමන් කැමැත්තෙන් තෝරා ගත්තු ක්ෂේත්‍රයකට කැපවීමෙන් ලබන ප්‍රතිඵල මඟින්.

      හැබැයි නිවාඩු යන්න තරම් වේතනය ප්‍රමාණවත් දැයි තීරණය කරන්නෙ වෙන කිසිවෙක් නෙමෙයි, වේතන උපයන පුද්ගලයා. මම දන්න ඉහළ වේතනයක් ලැබිච්ච රැකියාවක් කරපු සිංහල අයෙක් මැලේසියාවේ රැකියාව කරද්දී කිව්වෙ අහවල් වයසේ දී විශ්‍රාම ගිහින් ලෝකෙ බලන්න යනවා කියල. එයා විශ්‍රාම යන්න කළින් මිය ගියා. ඉතිරි කරන්න ඕනෑ දීර්ඝ කාලයක් ජීවත්වෙන්නට වගේම ජීවත්වෙන්න ඕනෑත් හෙට මිය යා හැකි බවත් දැනගෙන.

    • amalpasanna said, on අගෝස්තු 16, 2013 at 3:11 පෙ.ව.

      //එක රස්සාවක් තවත් රස්සාවකට වඩා ඉහළයි කියලා//
      මේ වගේ දේකදිනම් රටෙ ඉතිහාසය වැදගත් කියල මම හිතනව. ආගමික විදියට කුල බේද ‍ඉතිහාසයේ පටන් තියන රටවල මේ වගේ දේවල් තදින්ම තියනව(උදා.ඉන්දියාව?

      ධනවාදයෙන් හරියට ප්‍රයොජන ගන්නෙ සුදු ජාතිකයින් මූලිකත්වය ගත්තු රටවල නේද? අනෙක් රටවල් බොහෝමයක් ධනවාදය ඇන ගත්ත නේද? ඔබ හිතන්නෙ නැද්ද ජානමය තත්වයකින් වෙන මාතසික චින්තනයක් මේකට බලපානව කියල?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: