අරුණි ශපීරෝ‍ වෙතින්

ආර්ථික තරඟය යනු සමාජ එකමුතුවකි

Posted in Uncategorized by arunishapiro on ජූලි 2, 2013

bastiat1

ආර්ථික තරඟය සමහර අය විසින් සලකන්නේ ආර්ථික යුද්ධ හැටියට. එහෙත් නොපෙනෙන දේ අවබෝධයට උත්සාහ කරන අයට තරඟය යනු සමාජ සහයෝගීතාවයක් බව පෙනෙනු ඇත. තරඟය අහිතකර යැයි කියමින් “සාධාරණ බෙදීම” යන ලේබල් එක ගසා දෙන්නේ “සොරකම් කළ දේවල්” බව පෙනෙනු ඇත.

නව නිර්මාණ බිහිවෙන්නටත්, පවතින නිෂ්පාදන වල වැඩි දියුණුවටත්, මිල ගණන් හා ඒවායේ නිෂ්පාදන වැය අඩු වීමටත්, නිරන්තරයෙන් ම තෝරාගැනීම් වැඩි වැඩියෙන් ලැබීමත්, එන්න එන්නම පාරිභෝගිකයාට සුබසාධනයක් සිදුවෙන නිෂ්පාදන බහුල වීමත් යනාදී සියල්ලම “තරඟය” නිසා සිද්ධ වෙන්නකි.

“සාධාරණ බෙදීම” වෙනුවෙන් පෙනී සිටින, තරඟය (competition) නැති රටවල නව නිර්මාණ දකින්නට අඩුයි. පවතින නිෂ්පාදන වල වැඩි දියුණුවක් නැත. මිල ගණන් දිනෙන් දින ඉහළ යයි. නිෂ්පාදන වැය දරා ගත නොහැකිව නිෂ්පාදනයෙන් අයින් වීම දකින්නට ලැබේ. තෝරා ගැනීම් අඩු වී බාල බඩු වැඩි මිලකට ගන්නට සිද්ධ වේ. පාරිභෝගිකයාගේ සුබසාධනය නොව “සාධාරණ බෙදීම” කරන්නට දන්නවා යැයි මැදිහත් වූවන් විසින් කරන තීරණ නිසා තෝරාගත් පිරිසකගේ සුබසාධනය ඉහළින්ම සිද්ධ වේ!!!!

තමන්ගේ ශ්‍රමයට නිසි පඩි ලැබෙන්නේ නැතැයි කියමින් ඊට එරෙහි වර්ජනයට නිති සූදානමින් ඉන්නා බහුතර ජනතාවක් කිසිම ලැජ්ජාවක් නැතිව අනුන්ගේ ශ්‍රමයට අයිතිය කියන්නට ලැහැස්තියි.

අනුන්ගේ ශ්‍රමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන ලද නිෂ්පාදන අන්තර්ජාලයෙන් හොරෙන් බා ගැනීමේ කිසිත් වරදක් නොදකින පුද්ගලයන් කොතරම් පිරිසක් ඔබ හඳුනනවා ද?!!!!

තම පාවිච්චියට එසේ හොරෙන් බාගන්නවා පමණක් නොව “අදින්නාදානා වේරමණී” යැයි අදහමින්, එහෙත් එසේ හොරකම් කරන හැටි හැමෝටම නොමිලේ බෙදා හරින රොබින් හුඩ්ලා බහුතර ජනතාවට වීරයන් වූ සමාජයක ඇත්තේ කුමන ආචාර ධර්මයක් ද?!!!

එහෙම කරන එක වැරදියිනෙ කිව්වාම ලැබෙන පිළිතුර නම් “අපි ඉතින් කවදා ඕවා සල්ලි දීලා ගන්න ද?” යන්නයි.

තවත් අය ‘නිදහස් බෙදා ගැනීම්’ සහ ‘අනුන්ගේ ශ්‍රමය සොරකම් කිරීම’ අතර වෙනස නොදනිති. සමාජයක් දැනුවත් කරන්නට කියා බුද්ධිමත් හා විද්වත් ලෙසින් පෙනී සිටින අය තතු සොයනවා වෙනුවට තම දුර්මතය නිවැරදි යැයි හඟිස්සවන්නට වෙහෙසන සමාජයක මංකොල්ලය වැඩි වී එකමුතුව නැතිවෙයි.

දිගටම හොරා කමු ද? යන සිරස්තලයෙන් චතුර ලියා ඇති සටහන මෙතැනින් කියවන්න. පොඩ්ඩක් කල්පනා කරන්න, ඔබේ ශ්‍රමයෙන් ඉදිරිපත් කරන දෙයක් පිටස්තරයෙක් නිතිපතා හොරකම් කරගෙන යන්නේ නම්, හොරා අල්ලාගන්නට ද නොහැකි නම්, එවිට ඔබ කරන්නේ කුමක් ද?

ශ්‍රමය වෙහෙසීම නැවතීම එවිට මිනිස් ස්වභාවයයි. එය කොමියුනිස්ට් සෝවියට් දේශයේ සිද්ධ විය. එය කොමියුනිස්ට් චීනයේ සිද්ධ විය. එය කොමියුනිස්ට් කියුබාවේ සිද්ධ විය. බඩු හිඟය, බඩු මිල ඉහළ යෑම හා නිවාඩු යන්නට තියා එදිනෙදා ජීවන වියදම උසුලා ගන්නට වත් වේතන මදිවීම කැමැත්තෙන් ගෙන්වා ගන්නේ ඇයි?!!!!!

දුප්පත් නිසා මංකොල්ලය කමක් නැතැයි කියා එහෙම නොකරන දුප්පතුන්ට නිග්‍රහ කරන්න එපා!!!!!

තමන්ගේ ශ්‍රමය උදුරා ගන්නවාට අකමැති නම් අනුන්ගේ ශ්‍රමය උදුරා ගැනීම කමක් නැතැයි කියන්න එපා!!!!

20120825_WBP005_0

මොබයිල් දුරකතනය ලොව සීඝ්‍රයෙන් පැතිර යන්නට පෙර එහි මිල ධනවතුන් සුළු පිරිසකට ගතහැකි වූ අධික මිලකින් යුක්ත විය. හැමදාම ඉබි ගමනින් වැඩ කරන ලෝක ආණ්ඩු විසින් මොබයිල් දුරකතනය වෙනුවෙන් නීති හදන්නට පෙර ධනවතුන් පිරිසක් ඒවා ඉහළ මිලකට මිල දී ගත් නිසා නව නිර්මාණ හදන්නට නිෂ්පාදකයන්ට මුදල් ලැබිණ. ඒවා වැඩි දියුණු කරන්නට මුදල් ලැබිණ. වැඩි පිරිසකට නිපදවද්දී නිෂ්පාදන වැය අඩු කරන්නට හැකියාව ලැබීමෙන් මිල අඩුවෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන්නට හැකිවිණ. වෙළඳපොලේ තිබෙන තෝරා ගැනීම් වැඩි විය. පාරිභෝගිකයාගේ පහසුවට වැඩි වැඩියෙන් වර්ධනය වී ඇමෙරිකාවේ ධනවතාට පමණක් නොව අප්‍රිකාවේ ගෝත්‍රිකයාට ද මිල දී ගෙන පරිභෝජනයට හැකියාව ලැබිණ.

එය එසේ සිද්ධ වූයේ “තරඟය” නිසයි.

ඉබි ගමනින් යන ආණ්ඩු වල රොබින් හුඩ් ප්‍රතිපත්ති නිසා අද මොබයිල් දුරකතනය පාරිභෝගිකයාගේ සුබ සාධනය සැලසීම තවත් දියුණු කරනවා වෙනුවට පාරිභෝගිකයාගේ නිදහස නැතිකරමින් ආණ්ඩු වලට ඔත්තු සපයන උපකරණයක් බවට හරවා ඇත.

එය එසේ සිද්ධ වූයේ “සාධාරණ බෙදීම” තමන් දන්නවා යැයි සිතන අය නිසයි.

ප්‍රාණඝාතය යනු ගවයන් මැරීම පමණක් නොව කුකුලන්, මත්ස්‍යයන් යනාදී සියළු ප්‍රාණීන් මැරීමයි. නුදුන් දෙය ගැනීම යනු අයෙක් කැමැත්තෙන් නොදුන් ඕනෑම දෙයක් ගැනීමයි. තමනට යමක් මිල දී ගන්නට වත්කමක් නොමැති නම් කළ යුත්තේ හොරකම නෙවෙයි. අනුන් තමන්ගෙන් හොරකම් කරනවාට අකමැති අය කළ යුත්තේ අනුන් හදන දේ මිල දී ගැනීමට හැකි වත්කමක් උපයන්නට වෙහෙස වීමයි.

අනෙකාගේ ශ්‍රමය වැදගත් යැයි සලකන්නාට තමන්ගේ ශ්‍රමයට ද වැදගත්කමක් දෙන අය මුණගැසේ. එවැනි සමාජයක ඇත්තේ සුහද තරඟයකි. සමාජ එකමුතුකමකි. ජීවන බර අඩු කරමින් ජීවිතය පහසු කරන නව නිෂ්පාදන බිහිවීමකි.

ආර්ථික තරඟය යනු සමාජ එකමුතුවක් යැයි ෆෙඩරික් බැස්ටියාට් Economic Harmonies පොතෙන් පෙන්වා දුන්නේ 1850 දී ය. එහෙත් ලොව බහුතරයක් බැස්ටියාට් කවුදැයි අසා නැත. බහුතරය දන්නේ ශ්‍රමය සූරා කෑම වැරදි යැයි කියමින් ඒ වෙනුවට නීත්‍යානුකූල හොරකම සදාචාරාත්මක යැයි කියාගත් මාර්ගයක් පාලන බලය ඇති සුළු පිරිසකට හදා දුන් කාල් මාක්ස් ගැනයි.

බැස්ටියාට් ගැන අසා නැති, තමන් දන්නවා යැයි සිතන මාක්ස් කියවා නැති පිරිසක් විසින් “සාධාරණ බෙදීමේ” මුලාව තවත් ලොව පුරා වපුරමින් සිටිති. ලෝකයේ දරුවන්ට 2014 දී හොලිවුඩ් චිත්‍රපටියකින් පිරිනමන දුෂ්ටයාගේ නම “ලෝර්ඩ් බිස්නස්” වීම ඊට කදිම උදාහරණයකි. සමාජ එකමුතුව ඇති වන්නේ කෙසේදැයි කියා දෙනවා වෙනුවට මංකොල්ලය නීත්‍යානුකූල කරන්නේ ද ලෙවියතන් රකුසාව තවත් දැවැන්ත ලෙසින් ඇතිදැඩි කරගත හැකියාව ලැබේ. ලැබෙන්නේ වපුරන අස්වැන්නේ ඵලදාව වීම ලෝක ස්වභාවයකි.

ඔබේ සතුට උදෙසා කරන තෝරාගැනීම් බලය ආණ්ඩුවට පූජා කරන්නට පෙර වෙනත් කිසිම කෙනෙකුට ඔබේ සතුට කුමක් දැයි අවබෝධයට හැකියාවක් ඇත්දැයි අවංකව විමසා බලන්න.

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. Ramal said, on ජූලි 2, 2013 at 7:14 පෙ.ව.

    නීත්යානුකූල හොරකම සදාචාරාත්මක යැයි කියාගත් මාර්ගයක් පාලන බලය ඇති සුළු පිරිසකට හදා දුන් කාල් මාක්ස් ගැනයි.
    කාර්ල් මාර්ක්ස් සිදුකලේ අතිරික්ත වටිනාකම යන්න පහදාදීමය් ඔබ ඔහුට විරුද්ධ නම් කල යුත්තේ එහි වැරදි පෙන්නා දීම මිස මෙවැනි ප්රකාශ කිරීම නොවේ

  2. චතුර විජේකෝන් said, on ජූලි 2, 2013 at 11:40 පෙ.ව.

    කාර්ල් මාක්ස් ගැන හෝ ෆ්‍රෙඩ්‍රික් බැස්ටියාට් ගැන මා දන්නා කිසිවක් නැත.. එහෙයින් ඒ අය ගැන කියැවෙන ඡේද ගැන කිසිවක් මා දන්නේ නැත. එහෙත් ඉතිරි කරුණු සියල්ලට දෑතම උස්සා එකඟ වෙමි.. ඔවුන් අපව සූරා කන නිසා.. අප ඔවුන්ගෙන් සොරා ගත යුතුයැයි සිතීම වැරදිවා පමණක් නොව.. එය අප සදාකාලිකවම ඔවුන්ගෙන් රැකෙන්නන් බවට පත් කරවනු ඇත. ඉතා අගනා ලිපියක් බව කිව යුතුමය..

    • arunishapiro said, on ජූලි 2, 2013 at 4:09 ප.ව.

      චතුර,

      ඕනෑම ව්‍යාපාරිකයෙකුට ලාබ සෙවීමේ හැකියාවක් ඇත්නම් පමණයි සෑම පාරිභෝගිකයෙකුටම බඩු අඩු මිලට ලැබෙන්නේ යන්න බැස්ටියාට් පැහැදිලි කරද්දී එය “සූරා කනවා” යැයි මාක්ස් විසින් වැරදියට නිර්වචනය කරලා ඉදිරිපත් කරපු එකයි වර්තමාන ලෝකය විමසීමකින් තොරව පිළිගෙන තියෙන්නෙ. ඉතින් බිස්නස් වලට බනින ගමන් අද හැම රටකින්ම දකින ලැබෙන්නෙ ආණ්ඩුවේ ප්‍රසාදය ලබන සුළු පිරිසකගේ බිස්නස් වලට වාසි වෙන විදියට ආණ්ඩුවල නීති වෙනස්වීමේ ප්‍රවණතාවයක් නිසා බැස්ටියාට් සහ මාක්ස් කියා ඇත්තේ මොනවා දැයි වටහා ගන්නට උත්සාහයක් ගත යුතුයි.

      ස්තූතියි.

  3. hallow rusta said, on ජූලි 3, 2013 at 4:12 පෙ.ව.

    අර බැස්ටියාට් කීවා යැයි කියන ප්‍රකාශයට බලය ආදේශ කළ විට – සමාජයේ යම් පිරිසක් රට මෙහෙය වීමේ ‘බලය’ බලෙන්ම හෝ අනියම් බලපෑමෙන් මංකොල්ල කාගෙන එය සිරිතක් කර ගත් පසු කාලයගේ ඇවෑමෙන් ඒ සදහා නීති හදාගෙන ඒ නීති උතුම් යැයි කියන සදාචාර පද්ධතියක්ද අනුමත කර ගනිති යි යන්න නම් අපි හොද හැටි දකිමින් සිටින්නෙමු. රටක ආර්ථිකය තීරණය කරන්නටත් දෙවනුව ඒ බලය යොදා ගන්නා බව දකින්නෙමු. ඒ බලයෙන් තමන්ගේ මඩි තර කරගැනීමත් ඒ හේතුවෙන් රොබින්හුඩ් කරළියට පැමිණීමත් තෙවනුව අපි මෙහේ දකින්නෙමු. යුක්ති සහගත ස්වාර්ථයකට ගැලපෙන පරිසරයක් නොමැති බැවින් පහසු විකල්පය ඒ මොහොතේ කෙටි කාලීන රොබින්හුඩ් චරිතය තොරා ගැනීම සිව්වනුවත් සිදුවේ. නැවත ඊලග ජවනිකාව ඇරඹෙන්නේ ‘බලය’ බලෙන්ම හෝ අනියමින් මංකොල්ල කමිනි. මේ ක්‍රමය බිදීමට පහසුම තැන හා සුදුදුම තැන කොතැනද? එතැනදී තනි මිහිහෙක් බැගින් නිවැරදි ක්‍රියාන්විතයට එළැඹිය යුතුයි නේද? අර කොමන් සෙන්ස් එක තම වාසියට පමණක් භාවිත වන අපේ පිල් ක්‍රමය විදවීමක් බවට පත්වී ඇත්තේ – පොදු නොවූ ඒ කපටි පිල් නුවණේ- ප්‍රතිවිපාක යි, මම සිතමි.

    • arunishapiro said, on ජූලි 3, 2013 at 8:04 පෙ.ව.

      hallow rusta,

      මෙහෙත් දැන් එහෙමයි hallow rusta. බුෂ් පුතා ආණ්ඩුව කාලේ ඒ පැත්තෙ පිරිසකට. දැන් ඔබාමාගේ පැත්තෙ පිරිසකට විශේෂ සහන. මුළු ලෝකයේ ම අද දකින්නට හැකි රටාවක්. ඉතින් මුළු ලෝකයම අද ආර්ථිකය වර්ධනය වෙන්නෙ නැහැ කියමින් සුසුම්ලනවා. පිළිතුර තමන් ඉදිරිපිට තියෙන බව නොදැක.

      //මේ ක්‍රමය බිදීමට පහසුම තැන හා සුදුදුම තැන කොතැනද?//
      මෙම වෙනස් කරත හැකියාව ඇත්තේ සමාජයේ නායකයන් හැටියට පෙනී සිටින අයට මේ අදහස් ඉදිරිපත් කිරීමෙන්. ඒ කියන්නෙ මාධ්‍යවේදීන්, ගුරුවරුන්, ඇමතිවරුන්, කථිකාචාර්යවරුන්, නවකතාකරුවන්, කලා ශිල්පීන් යනාදී සියල්ලන්ට. ඔවුන්ට මේ ගැන සැබෑ අවබෝධයක් ඇති කරලීම අපහසුයි. ඒත් යාන්තම් හැඟීමක් හෝ ලබාදිය හැකිනම් ඔවුන් ඒවා ගැන සමාජයේ සෙසු සාමාජිකයන් වෙත අදහස් ගෙනියනවා. සමාජවාදය සහ කොමියුනිස්ට්වාදයේ පුරෝගාමීන් වුනේ කම්කරුවන් නෙමෙයි, ඔය ඉහත කියූ අයයි.

  4. රාජ් said, on ජූලි 3, 2013 at 4:19 පෙ.ව.

    //අනුන්ගේ ශ්‍රමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන ලද නිෂ්පාදන අන්තර්ජාලයෙන් හොරෙන් බා ගැනීමේ කිසිත් වරදක් නොදකින පුද්ගලයන් කොතරම් පිරිසක් ඔබ හඳුනනවා ද?!!!! //

    ඉස්සර කාලෙක කියවල තියන රුසියන් කෙටි කතාවක් මට මතක් වෙනව. ඒකෙ ඉන්න කතා නායකය රේල්පාරෙ තියන ඇණ ගලවාගැනීමේ සොරකමට අහුවෙලා උසාවියේ. මේ ඇන ගලවාගන්නෙ බිලී පිත්තට(හෝ මාලු අල්ලන දැලට) බර යොදන්න. ඒ කාලෙ ගමේ ඉන්න හැමෝම මේ හොරකම කරනව. ඒක හොරකමක් කියල එයා දන්නෙ නෑ. අර මනුස්සය කියන්නෙ අපි ඒ කාලෙ ඉඳලම බිලී පිත්තට යොදන්නෙ රේල්පාරෙ නට් ගලවල කිය.

    මෘදුකාංග සොරකමත් ඒ වගේ තමයි 🙂

    • arunishapiro said, on ජූලි 3, 2013 at 8:08 පෙ.ව.

      රාජ්,

      අනික් අය වගේ නෙමෙයි රාජ් තමන් කරන වැරැද්දක් වැරැද්දක් යැයි පිළිගන්නවා. ඒත් අහන්න ඕනෑ මේකයි රාජ්: තමන් හොරකම් කරන්නෙ තමන්ගෙන්ම යැයි කියලා දැක්කම ඊට පස්සෙ තව දුරටත් හොරකම කරගෙන යනවා ද? සමාජයක් කරන වැරදි නතර කරන්න බැහැ. ඒත් එක පුද්ගලයෙකුට එයා කරන වැරැද්දක් නතර කරන්න පුළුවන්. සමාජයක් කියන්නෙ එක එක පුද්ගලයන් වෙතින් හැදිච්ච එකක් නිසා අනිත් අය නතර කරන තෙක් බලාගෙන නොසිට එක එක්කෙනා වැරදි කරන එක නතර කළාම පමණයි සමාජයක් සදාචාරාත්මක වෙන්නෙ. අනුන් වැරදි කරන නිසා අපිත් ඔහෙ නට් ගැලෙව්වොත් හැමෝම යන්නේ කිසිවෙක් ජීවත්වෙන්න අකමැති මංකොල්ලයෙන් පිරුණු සමාජයකට.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: