අරුණි ශපීරෝ‍ වෙතින්

මාර්ග නීතිය සහ සදාචාර නීතිය

Posted in Uncategorized by arunishapiro on ජූලි 3, 2013

IMG_7241

රතු ලයිට් පත්තු වෙන්නේ මිනිසුන් ඒ ඉදිරියෙන් හිතුමතයට නවත්වා තබන අදහසින් නොවේ. මාර්ග සංඥා දක්වන ලයිට් ඇත්තේ වඩාත්ම සුමට ආකාරයකින්, බාධා වලින් තොරව, හදිසි අනතුරු වලින් තොරව, අවම ගැටුම් වලින් නිදහසේ ගමනාගමන පහසුව සැමට හැකිවීම සඳහා ය.

හිතුමතයේ එළිබහින මාර්ග නීති නැතැයි නොකියමි. එංගලන්තයේ හා ලංකාවේ වාහන පාරේ වම් පැත්තෙන් ධාවනය වෙද්දී ඇමෙරිකාවේ වාහන දකුණු පැත්තෙන් ධාවනය කළ යුතු යැයි මාර්ග නීතිය කියයි!!!!

එහෙත් මාර්ග නීතියක් ස්ථාපිත කරගත් පසු, එය මහමග යන හැම දෙනාටම දැන්වූ පසු, එයට අනුකූල ලෙසින් හැමෝම හැසිරීම අපේක්ෂා වෙයි. මාර්ග නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අපිට ඒ ඒ පුද්ගලයාගේ පුද්ගලික කැමැත්තට අනුව වැඩ කරන්නට හැකි යැයි ඉඩ දිය නොහැකියි. අයෙකුට මම ලංකාවේ රිය පැදෙව්වෙ වම් පැත්තෙන් නිසා ඇමෙරිකාවේ දී ත් මම කැමති මට හුරු පැත්තෙන්ම යන්න කියා පාරේ වම් පැත්තෙන් රිය පදවා ගෙන යාමට නොහැකියි.

මෙය සියල්ලන් අනුගමනය කරන්නට එකඟ වූ නීතියක් පමණින්, සියල්ලන්ගේ ම යහපත පිණිස අනුගමනය කරන්නට සිදුවන්නකි. එහි දී ඒකීය පුද්ගලයාගේ යහපත සැලසෙද්දී සියල්ලන්ගේ ම යහපත ද සැලසේ.

පටු පාරක පාර මැද්දෙන් යන්නේ ද, එලෙසම තමන් ඉදිරියට එන වාහනයක් ඇත්නම්, එය ඔහුට නියමිත පැත්තෙන් ද තමන් තමනට නියමිත පැත්තෙන් ද එකිනෙකා පසුකර යනු ඇතැයි විශ්වාසයෙන් රිය පදවන්නට හැකියාව යනු සහයෝගයෙන් පාරේ ගමන් කරන අභිප්‍රාය දෙදෙනාම ඉටු කර ගැනීමයි.

එහි දී සහයෝගය දක්වන්නේ අනෙකා මත විශ්වාසයක් තැබීමට හැකියාව මත අනෙකා ද එසේම නීති ගරුකව හැසිරෙන්නේ යැයි බලාපොරොත්තුවෙනි.

ආචාර ධර්මයේ දී මෙන්ම නීතියේ දී ද සම්ප්‍රදායිකව පිළිගත් රීති අනුගමනය කරන්නේ ඒවාට එරෙහිව යන්නට පැහැදිලි වෙනස් හේතු නොමැති නම් ය. එහි දී අනුගමනය කිරීම පිහිටුවා ගත් රීතියෙන් ඔප්පු කළ යුතු යැයි අපේක්ෂා නොවේ. රීතිය කැඩීම හෝ වෙනස් කරන්නේ නම් පමණක් ඒ මන්දැයි ඔප්පු කළ යුත්තකි.

ගිනි නිවන හමුදාව ගින්නක් නිවන්නට යන මෙහෙයුමක දී රතු ලයිට් වල නැවතී සිටිය යුතු නැත. පොලිස් රියක් අපරාධකරුවෙක් මර්ධනයට යන්නේ ද රතු ලයිට් වල නැවතී සිටිය යුතු යැයි අපේක්ෂාවක් නැත. ගිලන් රථයක් රෝගියෙක් ඉස්පිරිතාලයට අරගෙන යන්නේ ද රතු ලයිට් මැදින් ගියාට කිසිවෙක් අමනාප නොවෙති. මේ අවස්ථා වල දී මාර්ග නීතිය කැඩීමට බලයක් සියල්ලන්ගේ ම කැමැත්තෙන් ඒ සුවිශේෂී අයට ඉඩ දීමක් සිද්ධ වේ.

එහි දී නීතිය කැඩීම හෝ වෙනස් කිරීම මන්දැයි සැමට අවබෝධ වෙන සේ ඔප්පු කළ හැකියාව ඇත. සැමගේ යහපත වෙනුවෙන් ගිනි නිවන රථයට, පොලිස් රියට හා ගිලන් රථයට යන්නට ඉඩ දී අනෙක් අය මඳක් නැවතී සිටීම යනු කවදා හෝ තමන්ගේ උදව්වට එද්දී එසේම අනෙක් අය නැවතී ඔවුනට ඉඩ දීම ගැන විශ්වාසයක් තබා ගතහැකි යැයි බලාපොරොත්තුවෙනි.

අයෙක් මිනිසෙකු වූ පමණින් එයාගේ ඒකීය පුද්ගලත්වයට ගරු කිරීමක් සහ ඒකීය පුද්ගලයාගේ ශ්‍රමයට හා දේපලට එයාට අයිතියක් ඇතැයි පිළිගැනීමක් අවශ්‍ය සමාජයේ ශිෂ්ඨචාර ලෙසින් වාසය කිරීමේ දී ලැබෙන ගැටුම් අඩු, බාධා වලින් තොර, හදිසි අනතුරු අවම හා පහසු ලෙසින් ජීවිතය ගෙවන්නට හැකිවන වාතාවරණයක් ලබා ගැනීමටයි.

එය අවබෝධයෙන් දියුණු වූ ජාතීන් එය අවබෝධ නොවූ නොදියුණු ජාතීන් ආක්‍රමණය කර ශිෂ්ඨ නීති සම්ප්‍රදායක් පිහිට වූහ. ඒවා අවශ්‍ය මන්දැයි කියා නොදී නීති ස්ථාපිතයෙන් ඵලක් නොවේ.

මහපාරේ නීති වලට ගරු කළ යුත්තේ තම ජීවිතය ද එයින් ආරක්ෂා වන නිසා යැයි අවබෝධයක් නැත්තා දඩ කොළයට බියක් ඇත්නම් පමණක් පොලිස් නිලධාරියෙක් දකිද්දී පමණක් මාර්ග නීති අනුගමනය කරයි.

පුද්ගලික දේපල නීති වලට ගරු කළ යුත්තේ තම දේපල ද එයින් ආරක්ෂා වන නිසා යැයි අවබෝධයක් නැත්තා අනුන්ගේ ශ්‍රමයෙන් බිහි වූ නිෂ්පාදන හොරෙන් බාගෙන තවත් අයටත් බෙදා දෙයි. පොලිසීය පෙනෙන මානයක නැත්තේ ද නීති අනුගමනය කළ යුත්තේ තම යහපත පිණිස බව අවබෝධයක් නැති නිසා තමන්ට වාසි ලැබෙනවා යැයි කියමින් කඩන නීති වලින් තමන් අවාසි ලබන බව නොදකියි.

අපිට මේවා දියුණු කරගන්න සල්ලි නැහැ ඒ නිසා රජය මැදිහත් විය යුතු යැයි සිතයි. ඒත් බිල් ජෝයි, ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් රජයේ මැදිහත්වීම් ඉල්ලුවේ නැත්තේ මන්දැයි සොයා නොබලති.

ඕනෑම කර්මාන්තයකට රජයක් මැදිහත් වන සෑම අවස්ථාවක දී ම රජයේ ප්‍රසාදය ලබන අයට විශේෂ සැලකිලි ලැබේ. ඒ විශේෂ සැලකිලි නිසා බිහිවෙන්නේ වෙළඳපොලේ පාරිභෝගිකයා විසින් තීරණය කරන අනගි භාණ්ඩය නොවේ. වෙළඳපොලේ පාරිභෝගිකයා විසින් ඉල්ලන මිලට නොවේ.

රට ඇතුලත යමක් නිෂ්පාදනය වෙන්නේ ද ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගත් අයට වැඩි වරප්‍රසාද ලැබීමෙනි. පරිගණක මෘදුකාංග හදන අයෙකුට ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකින් මොකක් වෙළඳපොලට හැදුවත් හොඳ ගතමනාවක් ලැබෙන්නේ නම් අනගි වූවක් හදන්නට එයා වෙහෙසෙන්නේ කුමකට ද? ලංකාවට බඩු ආනයනය කරන්නට ඕනෑම අයෙකුට වරම් නැත. ඒ නිසා මිල අඩු අනගි බඩුවක් රටට එන්නට ආණ්ඩුවේ ප්‍රසාදය දිනාගත් මොනොපොලියන් අතැති අය ඉඩ නොදෙති.

වෙළඳපොල හෙවත් පාරිභෝගික ඉල්ලුම යනු මාර්ග නීති හා සමාන වූවකි. හැමෝම නීති අනුගමනයෙන් හැමෝටම වාසි ලැබෙන බව නොදන්නේ ද, වෙළඳපොල විකෘති වෙන හැම අවස්ථාවක දී ම පාඩු සිද්ධ වෙන්නේ පාරිභෝගිකයාට ය.

රිය අනතුරු හැම තැනම දකින්නට ලැබෙන්නේ හැමෝම තමන්ට ලැබෙන ගරුසරුව ඉල්ලා සිටියාට බහුතරයක් අනෙක් පුද්ගලයා ද ගරු සරුවක් ලබන්නට සුදුසු අයෙක් යැයි අවබෝධයක් නැති නිසයි.

බාල බඩු වෙළඳපොලේ වැඩි තමන්ගේ ශ්‍රමයට නිසි වේතනයක් ඉල්ලා සිටියාට අනෙකාගේ ශ්‍රමයට ද නිසි වේතනයක් දීම අවශ්‍ය යැයි අවබෝධයක් නැති බහුතරයක් සමාජයේ සිටින නිසයි.

ආචාර ධාර්මික හා සදාචාර නීති වලට පදනම් වූ බුද්ධිමය විචාරයේ චින්තනය අවබෝධයට ඉඩක් නොලැබි නොදියුණු රටවල ජනතාව එහෙයින් දියුණු රටවල ආක්‍රමණිකයන් ගෙනා දියුණු රටවල නීති පද්ධති ස්ථාපිත කරගත්ත ද ඒවා අවබෝධයට හැකියාවක් නොලැබි නිසා ඒවා අනුගමනයෙන් තොරවී සිටිති. ඒවා වෙනස් කරගත යුතු සුවිශේෂී අවස්ථා ගැන ද නොසලකති.

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. wicharaka විචාරක said, on ජූලි 3, 2013 at 8:53 පෙ.ව.

    එක කෑල්ලක් අඩුවෙන්නේ ලියලා තියෙන්නේ. හැත්ත බුරුත්ත පිරිවරාගෙන, පොලිස් ජීප්, මොටෝ සයිකල්, මිනිස්සුන්ට රවන ගොරවන කොමාන්ඩෝ සෙබළු සහිත වාහනද සමග, මහා පෙරහැරකින්, දවල්ටත් ලයිට් දාගෙන, අධික වේගයෙන් පාරේ යන ලංකාවේ දෙස් පාලුවන්ට, මාර්ග නීති කිසිවක් නැත. මැරෙන්න පණ අදින රෝගියකු සහිත ගිලන් රථයක් වුනත්, මේ කාලකණ්නි හැත්ත පාරේ යනවිට ඉඩ දියයුතුය.

    • arunishapiro said, on ජූලි 3, 2013 at 9:18 පෙ.ව.

      විචාරක,

      ඒ අයට එහෙම කරන්න ඉඩකඩ ලැබිලා තියෙන්නෙ ස්වාමියා සේවකයා සූරා කෑමෙන් ගලවාගන්න හැකි ඔවුන් අනිත් සියල්ලන්ටම වඩා ඉහළ යැයි හිතන දුර්මතය පිළිගැනීම නිසයි. ස්වාමියා ද සේවකයා ද එකම නීති පද්ධතියක් අනුගමනය කළ යුතු සමාජයක ජීවත් වෙන හැටි ගැන නොදන්නකමෙන්.

      • maathalan said, on ජූලි 3, 2013 at 10:59 පෙ.ව.

        එජාපය ගෙනා අළුත් ව්‍යවස්ථාබ මම විවේචනය කලේත් ඒ නිසා. එහි නැවුම් කිසිවක් නෑ. මේ තියෙන අවනීතීය වෙනස් කරන කිසිවක් ඒ ලියවිල්ලේ නෑ. එයාලා ආවත් මේ ටිකම තමයි. පුද්ගලයෝ පමණයි වෙනස් වන්නේ. ක්‍රමය මේකමයි. ඒ නිසා වෙනස් වෙන්න ඕන ඒවා ලියලා ඇරියා. ටිකක් තදට. කියෙව්වද විසිකලාද කියන්න දන්නෙ නෑ..

        • arunishapiro said, on ජූලි 3, 2013 at 12:45 ප.ව.

          maathalan,

          ක්‍රමය වෙනස් කරගන්න හැකි වෙන්නේ ඒ වෙනස හැම දෙනාගේම යහපත පිණිස යැයි ද, එයම සදාචාර වූව යැයි ද, එයම සමාජ සාධාරණත්වය ඉෂ්ට වෙන එකම මාර්ගය යැයි ද පැහැදීමක් එක එක පුද්ගලයෙක් බැගින් සමාජයක පුද්ගලයන් බහුතරයක් තුල ඇතිවෙනවා නම් පමණයි.

          සමාජවාදයට අකමැති එහෙත් ධනවාදය හඳුනා නොගෙන එයින් වැඩ ගන්න හදන පිරිසක් එක්ක පවතින මංකොල්ලාකෑමේ ක්‍රමය වෙනස් කරන්න බැහැ.

  2. සුදීක said, on ජූලි 3, 2013 at 9:49 ප.ව.

    මේක කියෙව්වම මගේ සිහියට ආවේ, මගේ පහුගිය සටහනට ලැබුණු ප්‍රතිචාර. නීති රීති, ආචාරධර්ම, මගින් උත්සාහ කරන්නේ හොඳ සිවිල් සමාජයක් ගොඩ නගන්න, එහෙත් රටක මිනිසුන් ආකල්පමය වශයෙන් දියුණු නොවන තාක් කල් මේ දේවල් ඉතා අපහසු කටයුතු වේ.

    • arunishapiro said, on ජූලි 4, 2013 at 7:57 පෙ.ව.

      සුදීක,

      ආකල්පමය වෙනස ඇතිවෙලා වසර 237 ක්. එදා දියුණුව සැලසුනේ කොහොමදැයි යන්න අමතක කරපු නිසා මෙහෙත් ආපස්සට ගිහින්. ලෝක ආණ්ඩු තම බලය පවත්වා ගන්නට නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ආකල්පයන් හැඩගස්වන්නේ. ආණ්ඩුවල වැඩ කරන අය රස්සාව ආරක්ෂා කරගන්න ආණ්ඩුවේ පිළිවෙත් අනුගමනය කරන්නේ එයින් තමන්ගේ දරුවන්ගේ අනාගතයට වන හානිය වටහා නොගෙන. ඒත් මිනිසා කියන්නෙ හැමදාම විකල්ප සොයා යන්නට සමත් වූවෙක්. අද අපිට දැනුම බෙදාගන්න හැකි මාර්ග කොතරම් ද? ඒවා ඵලකට නැති සංවාදයට යොදවනවා ද නැත්නම් ඵල නෙළාගත හැකි සංවාදයට යොදවනවා ද මත ශිෂ්ඨත්වය කොතරම් ඉක්මණින් ලැබේවි දැයි තීරණය වේවි.

  3. රාජ් said, on ජූලි 3, 2013 at 11:46 ප.ව.

    ඇමරිකාවෙ දකුණෙන් යන්නෙ මොකද?

    • arunishapiro said, on ජූලි 4, 2013 at 7:01 පෙ.ව.

      රාජ්,

      එදා අධිරාජ්‍යවාදියා වූ බ්‍රිතාන්‍යය අනුකරණය කරන්නේ නැහැයි කියා පෙන්වන්නට. බ්‍රිතාන්‍යයට අයිති වූ මුල් ප්‍රාන්ත 13 හි ගමනාගමනය සිද්ධ වූයේ වමෙන්. 1792 දී ෆිලඩෙල්ෆියා සහ ලැන්කැස්ටර් මහාමාර්ග වලින් තමයි පළමු දකුණෙන් යන නීතිය පටන් ගැනුනාය කියන්නේ. තවමත් හැබැයි ඇමෙරිකන් වර්ජින් දූපත් වල වමෙන් යන්නෙ. එහෙ ගියාම පරිසරය විතරක් නෙමෙයි පාරේ යන පැත්තත් නිසා ලංකාවට ගියා වගේ දැනුනා!!!

      අද ලෝකේ වැඩි දෙනෙක් ජීවත්වෙන්නේ, 66.1% ක්, වම් පැත්තෙන් ගමන් කරන පාරවල් තියෙන රටවල. දකුණෙන් යන රටවල ජීවත්වෙන්නේ 33.9% ක්. මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියාට තිබූ අකමැත්ත කොපමණ ද?!!!! 😀

  4. සංවේදී said, on ජූලි 4, 2013 at 2:17 පෙ.ව.

    මම මේ කියන සිද්ධිය සිදු වී තවම පැය කිහිපයක් පමණි ගත වී ඇත්තේ.
    මා සේවය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේය. එහි ආචාර්යවරයෙක්මි.
    මාතර නගරයට ස්චයංක්‍රීය මාර්ග පාලන සංඥා (Traffic Lights) හඳුන්වාදුන්නෙ මේ මෑතකදි. ඒ නිසාම මිනිස්සුන්ට වැඩිය හුරු නැහැ.
    ඊයෙ සාවස මා ට්‍රැෆික් ලයිට් එකක වාහනය නවතාගෙන සිටිනවිට වම් පැත්තේ තිබුණ ඉතාම සීමිත ඉඩ ඔස්සේ මෝටර් බයිසිකලයක් පැමිණ මගේ වාහනේ රියදුරු අසුනට සමාන්තරව එහා පැත්තේ නැවැත්වීය. මා එච්චර ගණනකට ගත්තේ නැත්තේ හැමදාමත් ත්‍රීවීල් රියැදුරන්, මෝටර් බයිසිකල් කරුවන් ඔහොම රිංගන එක අරුමයක් නැති නිසා ය.
    ඒත් මේ හාදයා මා බලාපොරොත්තු නැති දෙයක් කළේය. වීදුරුවට මහත් කළබලයෙන් තඩිබාන්නට විය.
    මා ක්ෂණිකව වීදුරුව පහත් නොකරන්නට වීදුරුව කුඩු වී යනු නොඅනුමානය. එකෙණෙහිම මා සවනත වැකුණේ නොසරුප් වදන් පෙළකි.
    එකට එක කරන්නට යාමෙන් දෙවැන්නාද වරද මුළින් කළ කෙනාගේම තත්ත්වයට වැටෙන නිසා මා ඉවසා සිටීමි.
    මට කියන්නට අවශ්‍ය වූයේ මෙයයි.
    වාහනයක පාලනය අතට ගන්නා තැනැත්තාට ඉවසීම සහ විනය යන ගුණයන් මනා ලෙසම අත‍යවශ්‍ය ය. කණගාටුවට කරුණ වන්නේ ලංකාවේ, විශේෂයෙන්ම එකී රියැදුරන් දෙපිරිසේ සහ බස් රථ රියැදුරන්ගේ විනය නම් ගන්නම දෙයක් නැති බවය. ඔවුන් ලැබූ අඩු අධ්‍යාපනය ඊට හේතුවක් විය හැකි වුවද රියැදුරු බලපත්‍ර ලබාදීමේදී අධ්‍යාපන සුදුසුකම් සැලකීම ප්‍රායෝගික නොවන බවද සත්‍යයකි.
    රියැදුරු බලපත්‍රය ලබාදෙන විට රිය පැදවීමේ හැකියාව සහ මාර්ග සංඥා පිළිබඳ දැනුම පමණක් පරීක්ෂා කිරීම මොවුන්ගේ විනය මෙතරම් පිරිහීමට හේතුවයි.
    රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී රියැදුරන්ගේ ඉවසීම සහ විනය පිළිබඳව මීට වඩා සැලකිළිමත් විය යුතු බව මගේ පෞද්ගලික මතයයි.
    කොහොම වුනත් මෙය තනිකරම ආකල්ප මත රඳා පවතින්නකි. නීතියෙන් විනය හදනවා යන්න යථාර්ථයක් නම් ඉතා දැඩි විනයක් පවත්වාගෙන යන හමුදාවෙන් පැන්න ගමන් මිනිසුන් සමාජ විරෝධීන් වන්නේ නැත.
    මෙයට කුමක් කරමුද…?
    සංවේදී ලියන සංවේදී (http://www.sanwedi.blogspot.com/)
    මේ හා සමාන තවත් අමිහිරි අත්දැකීමක් මෙය.
    http://www.sanwedi.blogspot.com/2013/05/blog-post_15.html

    • arunishapiro said, on ජූලි 4, 2013 at 7:15 පෙ.ව.

      සංවේදී,

      ඔබේ ප්‍රතිචාරය මහත්මා ගුණයක් ප්‍රදර්ශනය කරන ලද්දකි. මගේ ආචාරය!!!

      මගේ මතය මෙයට හේතුව පුද්ගලික අයිතිය යන්න කුමක් දැයි වැටහීමක් නැතිකමයි. නීති මොනවාටදැයි නොදන්නේ නම් නීති දැම්මාට ඵලක් නැත.

      අද නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් නම් ඉවසීමක් හා විනයක් ඉගෙන ගැනීමට හැකියාව ඇතැයි නොසිතමි. එහෙයින් එය සොයා බැලීම ඵල රහිත ය.

      මෙයට ඇති එකම විසඳුම අද ලොවේ අනිකුත් බොහොම ප්‍රශ්නයන්ට ඇති විසඳුම ද වෙයි. එනම් මිනිසෙකුගේ පුද්ගලික අයිතිය යනු කුමක් දැයි ආකල්පමය වෙනසක් ඇති කරලීමයි.

      නීතියට වඩා සමාජයේ ලැජ්ජාවට පත්වීම මිනිසෙකුට සිය හැදියාව වෙනස් කරගන්නට දැඩි සේ බලපාන්නකි. අද ලෝකෙට පේන්න ලැජ්ජා හිතෙන වැඩ කරන අය දකිද්දී ඔවුන් වරප්‍රසාද ලත්වුන් හැටියට සමාජය ඒවා ලැජ්ජා සහගත වැඩ යැයි නොදකිනවා නම් අශීලාචාර පුද්ගලයා හැදියාව වෙනස් කරගන්නේ නැත. වෙනස් විය යුත්තේ අපි: ලැජ්ජා හිතෙන වැඩ අනිත් අය කරද්දී ඒවා ගැන කිසිත් නොකියා සිටීම නැවැත්වීමයි. අදහස් ලියන්න, බෙදා ගන්න, සංවාදයට පිවිසෙන්න. හුරුවට ගිය හැදියාවක් හදන්නට බැරි වුව ද ඉවසීම හා විනය ඇති නව පරම්පරාවක් හදාගත හැකියි.

  5. hallow rusta said, on ජූලි 4, 2013 at 4:44 පෙ.ව.

    පාරේ යන පොදු ජනයාගේ වාහනේ බස් එක. මේක ඇතුළෙ සිද්ද වෙන කතාබස් දෙබස් මාර්ග නීතිය වගේම වාහන ඇතුළේ සදාචාර නීතිය ගැන හිතන්න හොද හරස් කඩක්. ඉදගෙන යාම්, හිටගෙන යාම්, අර්ධ සුඛෝපභෝගී , බාග ටිකට් , ඉතිරි සල්ලි, මාරු සල්ලි,  නැවැත්වීම්, ගොඩවීම් ඒවා ගැන වෙනම හැදෑරීමක් පොදු ජනයාට ඇති නිසාම, ඔවුන් තැනේ හැටියට ඇනේ ගහගන්නවා. හරි වැරැද්ද කතා කරන්න පුළුවන් රස්තියාදුවෙකුටම විතරයි. අනෙක් අයට බැරිකමක් නෑ, අතින් පයින් ඝණකමක් පෙන්නන්න පුළුවන් නම්, අත පය පාවිච්චි නොකළත්.
    මේ දේවල් වෙනස් කරගන්න කොතනින් පටන් ගන්නවද කියල හිතනවට වඩා පුද්ගලික වාහනයක මාර්ග නීති කඩා, නොකඩා ගමන් යාම හොදයි කියල බොහෝ දෙනා හිතන්න ගන්නෙත් එතරමකට මාර්ගය හා සදාචාරය පිළිබද මෙහෙට අනන්‍ය වූ ලක්ෂණ අපේ ඇගටම වැදිල තියෙන නිසා, ලොකු බලියක් ඇරල මේ දේවල් සමනය කරගන්න පුළුවන්, මං හිතන්නෙ රටම එකට එකතු වෙලා හොදට කාලය අරගෙන ඒ බලිය ලගදිම අරින්න වෙයි.
    අසංවිධානාත්මක දේ සංවිධානය කරන්න සංවිධානාත්මක චින්තනයක් තිබුණනම්, ඒ චින්තනය ක්රියාත්මක කරන්න හොද ඔලු ගෙඩි සහ ශක්තිමත් දෑත් තිබුණනම්

    • arunishapiro said, on ජූලි 4, 2013 at 7:23 පෙ.ව.

      hallow rusta,

      වැඩවසම් යුගයත් පහු කරලා චණ්ඩි බලසම්පන්න වූ ම්ලේච්ඡ යුගයකට ගිහින්!!!! අපි ශිෂ්ඨාචාර වූයේ දුර්වලයාටත් එක හා සමාන අයිතීන් දීලා. එහෙම කරන්න අවශ්‍ය මන්දැයි අවබෝධය ඇති කරලීම පහසු නැහැ. හැබැයි එය විලාසිතාවක් කරලීම නම් වඩා පහසුයි.

  6. Sarath said, on ජූලි 4, 2013 at 7:11 පෙ.ව.

    We can simply fix some issues that makes havoc in our roads, if we realize why we obey to a road rules, as you said. This can be changed through education in formal and informal ways. We , the elders should be exemplary to young ones by action, The education system is the best place to mould young ones to good citizen. I feel our education system lacking the necessary teeth to shape our young ones.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: