අරුණි ශපීරෝ‍ වෙතින්

සුබ උපන් දිනයක් වේවා මගේ දයාබර ඇමෙරිකාවට!

Posted in Uncategorized by arunishapiro on ජූලි 4, 2013

IMG_7817

වසර 237 ක නිදහසක් සමරන දිනය අදයි.

“ඕනෑම ප්‍රාන්තයක පවතින සමාජයක් ආශීර්වාදයකි. එහෙත් ආණ්ඩුව, එහි හොඳම ස්වරූපයෙන් සිටිය දී ද, එය අත්‍යාවශ්‍ය වූ දුෂ්ටත්වයකි. එහි නරකම ස්වරෑපය ගත්විට එය දරාගත නොහැකි වධකයෙකි; එහි දී අප විඳින පීඩාව නැත්නම් ආණ්ඩුව නිසා ලැබෙන දොම්නස යනු ආණ්ඩුවක් නොමැති රටකින් අයෙක් බලාපොරොත්තු වෙන්නකි. අපි මුහුණ දෙන සිත් පීඩාව තවත් දැඩි වෙන්නේ එය ගෙන්වා ගන්නට අත දී ඇත්තේ අපි විසින්මයි බව කල්පනා කරද්දී ය.” කොමන් සෙන්ස්, තෝමස් පේන්, 1776 ජනවාරි 10

“මේ සත්‍යයන් අපි ස්වයං ප්‍රත්‍යක්ෂ සත්‍යයන් හැටියට පිළිගනිමු. සියළු මිනිසුන් එක හා සමාන ලෙසින් නිර්මාණය වී ඇත්තේ ජීවිතය, නිදහස හා සතුට සොයා යෑමට හැකියාව යනාදී උදුරා ගත නොහැකි අයිතීන් ඇතිවය.” -නිදහස් ප්‍රඥප්තිය, තෝමස් ජෙෆර්සන්, 1776 ජූලි 4

1989 දී බර්ට් සහ ජෝන් ජේකොබ්ස් නැමති සහෝදරයන් දෙදෙනා තමන් අඳින ඩිසයින් යොදා ටී-ෂර්ට් විකුණන ව්‍යාපාරයකට අතදැම්මේ ඒ ගැන කිසිවක් දැනගෙන නොවේ. බොස්ටන් නගරයේ වීදි වල ඇවිදිමින් සහ නැගෙනහිර මුහුදුබඩ ප්‍රාන්ත වල ඇවිදිමින් ඔවුන් කැම්පස් නේවාසිකාගාර වල දී තමන් ඩිසයින් දැමූ ටී-ෂර්ට් විකුණූහ.

ඔවුන් අනුභව කළේ රටකජු බටර් හා ජෑම් දැමූ පාන්පෙති ය. ඒ වඩාත්ම අඩු මිලකට ලබාගත හැකි ඇමෙරිකන් දිවකට දැනෙන රසවත් ලෙසින් කුසගිනි නිවා ගන්නා ක්‍රමයයි!! නිදාගත්තේ ඔවුන්ගේ වෑන් රියේය. නෑවේ ඊට පහසුකමක් ලැබිච්ච අවස්ථාවක දී පමණි.

1994 දී එතරම් සාර්ථකත්වයක් නොලැබුණු අලෙවි උත්සාහයකින් පසු ආපහු නිවහනට යන සහෝදරයන් දෙදෙනා බිස්නස් එක දියුණු කරගන්නේ කෙසේදැයි කල්පනා කළහ. ඔවුන්ගේ සිරිතක් වී තිබුණේ වෙළඳාමේ ගොස් නැවත බොස්ටන් නිවහනට පැමිණියාම තම මිතුරන් සමඟ ගමනේ තොරතුරු බෙදා ගැනීමයි. එසේම තම හිතවතුන් ගෙන් ඔවුන් රූප අඳින ටී-ෂර්ට් ඩිසයින් ගැන අදහස් විමසීමයි.

“ජීවිතය හොඳයි” යනුවෙන් ලියූ වාක්‍යය සහිත බෙරෙට් තොප්පියක් දාගත් කාටූනයට එදා හමුවට පැමිණි බොහෝ දෙනාගේ සිත් ආකර්ශනය විය.

ජේකොබ් යන නමේ සුරතල් නාමය බොහෝවිට ජේක් බවට හැරවේ. එදා ඩිසයින් ජනප්‍රිය වූ කාටූන් රූපය ඔවුන් ජේක් නමින් හැඳින්වූහ. වීදි උත්සවයක දී ජේක්ගේ පින්තූරය දමා හැදූ ටී-ෂර්ට් සියල්ල පැයකට අඩු කාලයක දී විකිණී අවසන් විය.

අද “ජීවිතය හොඳයි” නම් වූ මේ අයියා මලෝ දෙන්නාගේ පුද්ගලික කොම්පැණියේ 900 කට වඩා ඩිසයින් වලින් යුතු ටී-ෂර්ට් නිෂ්පාදන ඇමෙරිකාවේ කඩ 4,500 ක විකිණෙන අතර පිටරටවල් 30 ක දී විකිණේ. උත්සව පැවැත්වීම ඔවුන් දිගටම කරගෙන යති.

උපත්තිය නිසා නොව ශ්‍රමය ඵලදායී ලෙස වෙහෙසීමට ඉඩක් ලැබෙන වාතාවරණයක් පැවතීම නිසා පමණින් උපන්න ආර්ථික තත්වයේම ලැග සිට මිය යන්නට නොවන ලොව වඩාත්ම පහසුම රට තවමත් ඇමෙරිකාවයි.

එහෙත් හැමෝටම වෙළඳ ව්‍යාපාරයන්හි නියැළෙන්නට රුචියක් නැත. තමන් ශ්‍රමය වෙහෙසන්නට කැමති වෙනත් මාර්ගයකින් උපයා ගන්නා වත්කම ආරක්ෂා කරගෙන වැඩි දියුණු කරගන්නට ද ලොව වඩාත්ම පහසුම රට තවමත් ඇමෙරිකාවයි. ඊට අවශ්‍ය වෙන්නේ ලැබෙන තොරතුරු විමර්ශනය කරන ඥානයකි.

ඇමෙරිකාවේ ජන්ම දිනය සැමරීමට ඊ ළඟ තොරතුර විශේෂයෙන්ම ඇමෙරිකාවේ පදිංචිය ඇති මේ අඩවියට එන නිදහස සහ වෙළඳපොල මුදල් සංකල්පය අගයන අය වෙනුවෙන් ලියමි. අවදානමක් නොගෙන වත්කම වැඩි කරගත හැකි ක්‍රමයක් ලොව නැත. අවදානම ගැන සොයා බැලීම වත්කම වැඩි කරගන්නට වෑයම දරන්නාගේ වගකීමයි.

එහෙත් අවදානමක් නොගත්ත ද, ලෝක ආණ්ඩුවල අදූරදර්ශී ක්‍රියා පිළිවෙත් නිසා පුද්ගලයාගේ ආර්ථිකය ඔහුගේ ආධිපත්‍යයෙන් ගිලිහී යන බරපතල අවදානම් තත්වයකට අද අප පිවිස සිටිමු.

ප්‍රතිඵල ලැබෙන්නේ නම්, තවත් විදියකින් කිව්වොත් පුද්ගලයාගේ වෙහෙස මහන්සිය යොදවන තරමට ඔහුට හනිකට ලැබෙන වාසි ඇතැයි දකින්නේ නම්, ඔහු එය නැවත නැවතත් කරන්නට වැඩියෙන් වෙහෙසක් යොදවයි. එය මිනිස් ස්වභාවයකි. මේ දිනවල වෙළඳපොල ක්‍රියා කරන්නේ කෙසේදැයි වටහා ගත් බහුතරය වෙහෙස මහන්සිය යොදවීම තාවකාලිකව නතර කර බලා සිටිති. ඉතිරි කොටස ලැබෙන ප්‍රතිඵල ද කෙසේ ලැබෙන්නේ දැයි කියා වටහා ගන්නට නොහැකිව සිටිති.

අයෙක් කරන ක්‍රියාවෙන් තමනට පමණක් නොව මුළු මහත් සමාජයටම යහපතක් සලසන බව දකින්නට හැකියාවක් ඇත්නම් එයින් ද දිරිමත් වන්නේ වෙහෙසෙන පුද්ගලයාය. වෙළඳපොල වැඩ කරන්නේ කෙසේදැයි දන්නා අයට මේ දිනවල එහෙම සතුටක් ලබන්නට හැකියාව ඇත්තේ ඉතා සීමිත වූ ආර්ථික ක්‍රියාවන් තුලින් පමණකි.

අනාගතය යන්නේ කුමන මාර්ගයක දැයි මහා ජනතාවක් විසින් තීරණය කළාට, ගමන යන්නේ එක එක පුද්ගලයා තබන පියවරෙනි. හැමෝම එක්ක බංකොළොත් බවින් යුතු අනාගතයකට ඇදී යනවා ද නැත්නම් තමන් විසින් ඉතිහාසය වෙනස් කරන මාර්ගයක යන්නට පිවිසෙනවා ද යන්න තෝරා ගැනීමට ඔබට හැකියාව ලබාදෙන මෙම අපරිමිත බැංකු ක්‍රමය ගැන විමර්ශනය කර බලන්න.

ව්‍යවස්ථානුකූලව ලබා දී ඇති ඒකීය පුද්ගල නිදහස සහ ආර්ථික ස්වාධීනත්වයට ඇමෙරිකන් දේශපාලකයන් කොතරම් බාධක ගෙන එන්නට හැදුවත් මෙහි පවතින තරම් වෙළඳපොල නිදහසක් තවමත් ලෝකයේ වෙන කිසිම රටකින් ලබාගත නොහැකියි.

ඇමෙරිකාවේ වාසය කරන අයට තම මුදල් ආණ්ඩුව මැදිහත්වන බැංකුවක හෝ කොටස් වෙළඳපොලක පමණක් ආයෝජනය කරනවාට වඩා යාවව රක්ෂණ ඔප්පුවකින් පුද්ගලික බැංකු ක්‍රමයක නියැළිය හැකියි. ඉංග්‍රීසියෙන් ලියා ඇති මේ සංකල්පය ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා මේ පොත අදම කියවන්න: L. Carlos Lara සහ Robert P. Murphy ලියන ලද How Privatized Banking Really Works (2010)

නිදහස සහ ස්වාධීනත්වය සැමදා දිනේවා!!!

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on ජූලි 4, 2013 at 8:01 පෙ.ව.

    අපෙත් සුබපැතුම් !

  2. Chathu Ranga said, on ජූලි 4, 2013 at 9:22 පෙ.ව.

    ඇමරිකාවට ආවෙ යුරෝපයේ හිටපු උණ තිබුන උනන්දුව තිබුන ජනතාවගෙන් කොටසක් සහ ලොව වටා පසුකලෙකු අලුත් දේවලි සොයන්නට පුරුදු වුන ජනතාවක්.
    ඉතිං ඔවුන් ජෙනටිකලිම පවර්ෆුල් ජාතියක්.
    නමුත් ඔවුන්ගේ පසු පරම්පරාවන් එසේමැ දක්ෂයින් වේදැයි කියන්න බැහැ.
    අමරිකාව කියන රට තුල භූමිය කියන සම්පත වගේම ප්‍රබල මට්ටමේ අනෙක් රටවල ජනතාව ආකර්ශනය කල හැකි ජාලමය සම්පත අද වෙනවිට තිබෙනවා.
    කෙසේ නමුත් අමරිකාව ඇතුලු බොහෝ දියුනු රටවල දියුනු බව දිගටම පවත්වා ගැන්මේ ගැටලුවකට අද මුහුනපාලා තිබෙනවා.

    ලංකාවෙ ඉඳලා ගිහින් අමරිකාව දකින විදියයි එහේ කෙනෙක් අමරිකාව දකින විදියයි වෙනස්. ලංකාවෙන් ගිහිපු කෙනෙක්ට හරි සුවබර තැනක් විදියට පේන් තියෙන අවස්ථාව වැඩියි. මොකද අපිට වැඩිය හැම අතින්ම වෙනස් නිසා.
    නමුත් සාම්ප්‍රදායික අමරිකානුවෙක්ට අද ඇමරිකාව කියන්නෙ එයා ඉපදුන ඇමරිකාව තරම් ලස්සන එකක් නෙමෙයි. ඉස්සරට ඒ ලස්සන අඩුවේවි තවදුරටත්.
    නමුත් කොතරම් අවුල් වුනත් අරුණි ෂපීරෝට අමරිකාව ලොකුයි.
    මොකද එයා දකින්නෙ තාමත් සවුත් ඒෂියන් පරගැති මානසිකත්වය තුල සිටගෙන නිසා..
    හරියට බණ්ඩාරණායකගේ තාත්තා වුන සොලමන් බන්ඩාරනායක සුද්දොන්ව දැක්කා වගේ..

    • arunishapiro said, on ජූලි 4, 2013 at 9:47 පෙ.ව.

      Chathu Ranga,

      ඉතිහාසය දක්වන්නේ මුලින් ඇමෙරිකාවට ආපු අය අතර වැඩියෙන් සිටියේ අලුත් දේවල් සොයන්නට ආ අය නෙමෙයි කියල. තමන් අදහන ආගමට එරෙහි වූ යුරෝපීය පල්ලි සංස්ථාව එක්ක එකතු වෙච්ච ඒ රජවරුන්ගේ අතින් මැරැම් නොකා නිදහසේ ආගම අදහන්නට තැනක් සොයා ආපු අයයි.

      මුලින් ම අලුත් දේවල් සොයාගෙන ලෝකයේ සැරිසැරුවාය කියන්නේ මධ්‍යධරණී මුහුදේ ඉන්දියාව චීනය ලංකාව පැත්තෙන් කුළුබඩු අරන් යුරෝපීය රටවලට ගෙන ගිය මුස්ලිම් වෙළෙන්ඳන්.

      රාජානුග්‍රහය ඇති ආගමික සංස්ථාවක පීඩනයෙන් ගැලවෙන්නට ලැබුණු ඇමෙරිකාවේ පදිංචි වූ අය ඒකීය පුද්ගල නිදහස තමන්ට පමණක් නොව හැමට ලැබිය යුත්තක් සේ දැක්කා.

      දියුණු බව දිගටම පවත්වා ගැනීමට ලොකුම හා එකම බාධකය, දියුණුවට යන හැටි තමන් දන්නවා යැයි කියන ආණ්ඩු වලට මහජනතාව රවටා ගත හැකි විදියට ආණ්ඩු විසින් අධ්‍යාපනය ලබා දීම නිසයි.

      මෙහෙ ඉපදුන මෙහෙ හැදිච්ච වැඩිච්ච සහ රටවල් 70 ගණනකට වඩා සංඛ්‍යාවක පුද්ගලික අංශයේ රැකියාව කර ඇති මගේ මහත්තයා ඇමෙරිකාව දකින්නේ ද මා දකින විදියටමයි. ඒ කියන්නේ කොච්චර අඩුපාඩු තිබුණත් ලෝකේ තියෙන වඩාත්ම නිදහස ඇති රට හැටියටයි. ඒ ලස්සන ඉස්සරහට තවත් වැඩි කරගන්නට, නැති වී ගිය අයිතීන් සහ නිදහස නැවත ස්ථාපිත කරගන්නට මෙහෙ ඉපදුන මගේ මහත්තයා වැනි අයත් මේ රටේ අගනාම ලක්ෂණය කුමක් දැයි අවබෝධයෙන් ආපු මම වගේ අයත් සෑහෙන පිරිසක් ඉන්නා බව ඉතා ආඩම්බරයෙන් කියමි.

  3. maathalan said, on ජූලි 4, 2013 at 11:05 පෙ.ව.

    නිලුයි, සුදුයි, රතුයි, අයිසින් දාපු කේක් කෑවද…?

  4. naleendilruksha said, on ජූලි 4, 2013 at 11:15 පෙ.ව.

    සුබ පැතුම්…

  5. Kenji @ Japan said, on ජූලි 4, 2013 at 10:33 ප.ව.

    සුභ නිදහස් දිනයක්..!!
    මේ වෙලාවෙ මල් වෙඩි සංදර්ශනය බලනවද:).

    • arunishapiro said, on ජූලි 5, 2013 at 8:10 පෙ.ව.

      Kenji @ Japan,

      ස්තූතියි. කළුවර වැටිච්ච ගමන්, ඒ කියන්නෙ නමය වෙද්දී ඔක්කොම මල් වෙඩි පත්තු වෙන්න පටන් ගත්තා. ඉතින් කෙන්ජි ප්‍රතිචාරය දාන වෙලාව එද්දී අපි මල් වෙඩි සංදර්ශන නම් බලලා ඉවරයි. ඒත් මුළු රාත්‍රිය පුරාම එහෙන් මෙහෙන් රූස් ගාලා උඩට යවන ඒවා පත්තු කරන එක නම් නැවතුනේ නැහැ!! 🙂

  6. රාජ් said, on ජූලි 4, 2013 at 11:49 ප.ව.

    ඔබේ ඇමරිකාවට මගෙත් සුභපැතුම්!

    • arunishapiro said, on ජූලි 5, 2013 at 8:58 පෙ.ව.

      රාජ්,

      ස්තූතියි රාජ්. ඇමෙරිකාව යනු ජීවිතය, නිදහස හා සතුට සොයා යන මිනිස් අරමුණට ඉඩ දිය යුතුයි යන සංකල්පයයි. අපි එයට සුබ පතන්නේ නැත්නම් මිනිසුන් නොවනවා නේද?!!! 😀

  7. Ravi said, on ජූලි 5, 2013 at 4:26 පෙ.ව.

    / ඔවුන් අනුභව කළේ රටකජු බටර් හා ජෑම් දැමූ පාන්පෙති ය /

    රටකජු බටර් ගැන මම මුලින්ම ඇහුවෙ සෙසමේ ස්ට්‍රීට් වැඩ සටහනෙන්. බිග් බර්ඩ් වෙන්න ඕන මට මතක විදිහට මහ හයියෙන් කෑගහල කියනව ” I love peanut butter sandwiches ” කියල.

    පොඩි කාලෙ අමරිකාව ගැන මගෙ හිතේ පැහැදීමක් ඇතිඋනේ අමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කරපු දර්ශන සඟරාව නිසා. ඒක මම දන්න විදිහට විකුණන්න තිබුනු එකක් නෙවෙයි. රාජ්‍ය ආයතන සහ පුස්තකාල වලට නොමිලේ නිකුත් කල සඟරාවක්.අප්පච්චි කච්චේරියෙ වැඩකල නිසා ඒ සඟරාවක් ගෙදරට අරගෙන ආව.මට තවම අපූරුවට මතකයි එක සඟරාවක කවරයෙ තිබ්බ ඇපලෝ 17 චාරිකාවෙදි අභ්‍යාවකාශයේ ඉඳල ගත්තු ලංකාවෙ ඡායාරූපයක්…

    1974 විම්බල්ඩන් ජයග්‍රහණයෙන් පස්සෙ ක්‍රිස් එවර්ට් සහ ජිමී කොනර්ස් ගැන පලවුනු විශේෂ දර්ශන සඟරාවත් මට මතකයි.

    1976 කියන්නෙ අමරිකන් නිදහසේ දිවිත්ව ශත සංවත්සරය. විශේෂ සමරු මුද්දරයක් නිකුත් කලා ලක් රජය American Bi-centennial කියල. ඒ දවස්වල මගෙ එක විනෝදාංශයක් මුල්දින කවර එකතුකරන කිරීම. කෑගල්ලෙ තැපැල් කන්තෝරුවෙ පැය බාගයක් විතර පෝළිමේ හිටියත් මතකයි ඒ මුල්දින කවරෙ ගන්ට.

    Happy Birthday to U.S.A…….In my humble opinion the most free and enterprising society today in the whole world. If it has short comings its not the fault of the U.S.A. after all their rulers are still scheming humans. 🙂

    • arunishapiro said, on ජූලි 5, 2013 at 9:07 පෙ.ව.

      Ravi,

      දර්ශන සඟරාව … රටේ විසූ කැමති අයට මිල දී ගන්න ඉඩ නොදී රාජ්‍ය ආයතන වලට විතරක් බෙදලා දීපූ තවත් මුග්ධ ඇමෙරිකන් වැඩක්!!!! හොඳ වෙලාවට ඒ ඇමෙරිකන් ප්‍රොපගැන්ඩා මම කියවලා නැහැ!!!

      ජොකවිච් සහ ඩෙල් පෝත්‍රෝ විම්බල්ඩන් මැච් එක බලන ගමන් මේ ලියන්නෙ … දෙන්නටම කැමති .. කවුරු දිනුවත් කමක් නැහැ.

      මාත් එකතු කළා ඔය මුල්දින කවර. ලංකාවේ පිටරට මුද්දර ලොකු එකතුවක් තිබ්බා ..මුද්දර එකතු කරන සංගමයකත් හිටිය. ඒ ගොඩේ ලංකාවේ මුද්දරයක් ඩොලර් 75 ක් වටින එකක් තිබ්බ බව දැනගත්තෙ මෙහෙ කෙනෙක් පෙන්වා දෙනවිට. හැබැයි මුද්දර එකතුව ලංකාවේ දාලා ඇවිත්.

      අඩුපාඩු සෑහෙන්න තියෙනවා, ඒත් අනෙක් රටවල් එක්ක බැලුවම ඒකීය පුද්ගලයාට තවමත් වැඩියෙන් ම නිදහසක් ඇති ලොව එකම තැන. ස්තූතියි සුබ පැතුම් වලට. ඒකීය පුද්ගල නිදහස සදා දිනේවා!!!

  8. දේශකයා said, on ජූලි 5, 2013 at 7:54 පෙ.ව.

    පස්සේ හරි විස් කරන එක සිංහලයගේ පුරුද්දක්. හැපි අමෙරිකා…

  9. A.Fernando said, on ජූලි 6, 2013 at 4:15 පෙ.ව.

    එඩ්වර්ඩ් ස්නෝඩ්න් නමැති විසි හත් හැවිරිදි තරුනයා “ප්රජාතන්ත්රවාදී” අමෙරිකාවේ ලිබරල් මුහුනු වහන්තරාව තූ තූ කොට ඉරා දැමීමත් සමග එරට සන්නිවේදන ලෝකය කැලැඹී ගොස් තිබේ. අමෙරිකානු රජය එරට ජනතාවගේ දුරකථන වාර්තා, ලෝකයේ ජනයාගේ අන්තර්ජාල, විද්යුත් තැපැල් ගනුදෙනු පිලිබද ඔත්තු බලන සාපරාධී යාන්ත්රනයක් පවත්වාගෙන යමින් සිටින බව හෙලිදරවු කල එරට ඔත්තු සේවයට අනුබද්ධව සේවය කල ස්නෝඩ්න් දැන් සිටින්නේ “විසා නැති ග්රහලෝකයක”ය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: