අරුණි ශපීරෝ‍ වෙතින්

අපරාධ නීතිය සහ ආචාර ධර්ම

Posted in Uncategorized by arunishapiro on ජූලි 5, 2013

1044249_625155007495481_410035178_n

නීතිය යනු ආඥාවන් කාණ්ඩයකි. අපරාධ නීතිය යනු තහනම් ගැන වූ ඍනාත්මක ආඥාවන් වෙති. ඔබට කිරීමට අවසර නැති ඒවා මේ මේ ක්‍රියාවන් යැයි සඳහන් කරන විස්තරයකි.

ඒවා නොකළ යුත්තේ මන්දැයි විචාරය කරන්නේ ආචාර ධර්ම විසිනි. එහෙත් ආචාර ධර්ම ගැන ආගමික නොවූ හැදෑරීමක් සිද්ධ නොවෙන සමාජයක, හිතුමතයේ ගෙනෙන අපරාධ නීති කඩ කළාම සමහර අයට පමණක් දඬුවම් ලැබෙන බවක් දකින සමාජයක, අවුල් වියවුල් වැඩිවීම පුදුමයක් නොවේ.

ස්වභාවික නීතිය ආරම්භ වූයේ යම් මිනිස් ක්‍රියාවක් කොතරම් නරක වූවා දැයි කිවහොත් එය කිරීම නවතන්නට, එයින් ආරක්ෂා වෙන්නට සහ එය දිගටම කරගෙන යන අය සඳහා ප්‍රචණ්ඩත්වයක් (violence) යෙදවීම යහපත් යැයි අදහස පිළිගැනීම නිසයි.

ශිෂ්ඨාචාර මිනිසුන් අතර හොඳ ක්‍රියාවන් නොවන්නේ යැයි දැක්ක ද, ඒවා වැළැක්වීමට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම නුසුදුසු යැයි සැලකෙන ක්‍රියාවන් බොහොමයක් ඇත. බොරු කීමේ දී යම් ගිවිසුම් කැඩීමක් හෝ අනෙකාට දේපල හානියක් නොවන්නේ ද අයෙකු තමන් ගැන හෝ අනුන් ගැන සිත කළකිරෙන ගජබින්න දෙසා බෑම අශීලාචාර යැයි සැලකුන ද එයට දඬුවම් දෙන්නට ශිෂ්ඨ සමාජයක ප්‍රචණ්ඩත්වය උපයෝගී කර නොගනී. තම ඥාතීන්ට හෝ යහළු මිත්‍රාදීන්ට සිත් පීඩා ඇතිවෙන විදියට හැසිරෙන අයෙක්, කළගුණ නොදන්නා අයෙක්, නියමිත වේලාවට තැනකට එන්න දන්නෙ නැති අයෙක් යනාදීන් අශීලාචාර යැයි නම් වූවත් ඔවුන් හදාගන්නට ප්‍රචණ්ඩත්වය පාවිච්චිය ශිෂ්ඨ සමාජයක දී අනුමත නොවේ.

යම් ක්‍රියාවන් හොඳ සහ නරක යැයි කියන්නට ද, හරි හා වැරදි යැයි කියන්නට ද භාවිතයට ගන්නා පදනම ලැබෙන්නේ ආචාර ධර්ම වලින් බව පැහැදිලි කරන්නට මේ සටහන් පෙළ ලියාගෙන ගියෙමි. යම් ක්‍රියාවකට ප්‍රචණ්ඩත්වය භාවිතය කළ යුතු යැයි තෝරා බේරා ගන්නා පදනම ලැබෙන්නේ අපරාධ නීතියෙනි. අහවල් ක්‍රියාව නීති විරෝධී යැයි ද, ඒ නිසා එය නීතියේ ප්‍රචණ්ඩත්වයෙන් මර්ධනය කළ යුතු යැයි ද නීතිය පෙන්වා දෙයි. නීතිය යනු ඔබ මෙසේ කළ යුතුය යන ප්‍රස්තුත වලට මිනිසුන් කැමති කරවා ගන්නට ගන්නා උත්සාහයක් නිසා සමහරු නීතිය ධනාත්මක ලෙසකට ද දකිති.

නීතිමය තහනම් යනු යම් අගැයුමක් සම්බන්ධව ඇති කරගත්, යුක්තිය පදනම් වූ න්‍යායෙන් එන සංකල්පයකි. යුක්තිය පසෙක ලා “සමාජ කාර්යක්ෂම” බවක් ඇති කරගන්නට නීතිමය තහනම් සමාජයේ පිරිසකගේ එකඟතාවයකින් බිහි වූ හානිකර අවස්ථා අපට දැකිය හැකියි. සෝවියට් රුසියාව, හිට්ලර්ගේ ජර්මනිය, මුසොලිනිගේ ඉතාලිය, මා ඕං ගේ චීනය, ෆිඩෙල්ගේ කියුබාව, ෂැවේස්ගේ වෙනෙසියුලාව යනාදී උදාහරණ වලට වර්තමාන ඔබාමාගේ ඇමෙරිකාව ද ඇතුල් කරන්නට සිද්ධ වේ. යුක්තිය පදනමක් නොවූ කල සමාජ කාර්යක්ෂම බවක් ද හටගන්නේ නොමැති බව එදාට වඩා සීඝ්‍රයෙන් අද පැහැදිලි වේ.

අයෙකුගේ යුක්ති සහගත අයිතියෙන් යුතු දේපලක් (හොරා සතු හොරාගත් දේපල නෙමෙයි) උදුරා ගන්නට තවත් අයෙක් යද්දී අපි යුක්තිය තීරණය කරන්නේ කෙසේද? මිනිසා යනු තම සිරුරට අයිතියක් ඇත්තෙකි. සිරුරට අයිතිය යනු සිරැරෙන් වෙහෙසන ශ්‍රමයට ද අයිතියක් තිබීමයි. ඒ ශ්‍රමය නීත්‍යානුකූලව යොදවා අයිතිකර ගන්නා දේපලට ද සම්පූර්ණ අයිතියක් කියන්නෙකි. ඒවා උදුරා ගැනීමට යද්දී එය මර්ධනයට ප්‍රචණ්ඩත්වය පාවිච්චියට අවසරය දෙන්නේ නීතියයි.

තමන්ගේ නොවන දැයකට අයිතියක් නැතිවා මෙන් ම භෞතික නොවන දැයකට අයිතියක් කියන්නත් පුළුවන් ද?

තමන්ගේ රෙපියුටේෂන් එකට දේපල අයිතියක් තියෙනවා ද?

හොඳ නිෂ්පාදනයක් වෙළඳපොලට ගෙනැවිත් බාල නිෂ්පාදනයකට ඇති ඉල්ලුම අඩු වී යද්දී අයෙකුට හොඳ නිෂ්පාදනයට එරෙහිව නඩු කියත නොහැකියි. එසේම හොඳ නිෂ්පාදනයක් වෙළඳපොලට ගෙනා පමණින් පාරිභෝගිකයා වැඩියෙන් ඇදී යන්නේ බාල නිෂ්පාදනය ගන්නට නම් එවිට ද බාල නිෂ්පාදනයට එරෙහිව නඩු කියත ද නොහැකියි. එසේ පහදා දෙන්නේ වෙළඳපොල තරඟය කුමක් ද යන්න ආචාර ධාර්මිකව විමසා බැලීමේ දී ය.

බොරු වැපිරීම හා පරිභවය යනු අයෙකුගේ මනසේ ඇති මතයකි. පිරිසක් එක මතයකට එකඟ වෙද්දී තවත් පිරිසක් ඊට විරුද්ධ වෙති. අයෙකුට වැරදි මතයක් දරන්නට ද, හරි මතයකට එකඟ නොවන්නට ද නිදහසක් ඇත. ඒ නිසා අයෙකුට පරිභව කළා හෝ එයා ගැන බොරු කිව්වා යැයි ඒ ඒ ක්‍රියාවන් නීති විරෝධී කළ නොහැක. එවැනි ක්‍රියාවකින් භෞතික පාඩු විඳින්නට සිද්ධ වීමක් උසාවියට පෙන්වා වන්දි ඉල්ලන්නට සිද්ධ වෙන්නේ එහෙයිනි.

නීති වෙනස් කරද්දී සමාජයේ සැමට එය බලපාන්නේ කෙසේදැයි සොයා නොබලන්නේ ද, සැමට යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ට නොවේ. සමාජයේ සැමට යහපත සැලසෙන්නේ නැති තහනම් බාධක පැනවීම හෝ ඇති තහනම් ඉවත් කිරීමෙන් සමාජයේ අවුල් වියවුල් තවත් වැඩි වී යයි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූලි 5, 2013 at 2:28 ප.ව.

    ඕනම දහමකින් අයහපත් දෙයක් කියා ඇතැයි මා විශ්වාස කරන්නේ නැහැ, සරලවම මගේ දහම මගේ නීතිය වනවා නම්.. මම කියන්නේ දහම අන්තවාදීව ගත් උදවිය ගැන හෝ ඒ මං ගැන නොවේ. සාමාන්‍ය යුක්ති සහගත චින්තනය ඔස්සේ මෙහෙයවෙන්නා ගැනයි.
    අපරාධ නීතියට පෙර අචාර ධර්ම ආගමික පසුබිමක් තුල හැදෑරීමෙන් යහපතක් සිදු නොවේද? අන්තගාමී මං තැනෙන්නේ ආගමික පසුබිමක් තුල ආචාර ධර්ම හැදෑරවීමේ සාමාන්‍ය පිළිවෙත නිසාද?

    • arunishapiro said, on ජූලි 5, 2013 at 4:18 ප.ව.

      hallow rusta,

      සාමාන්‍ය යුක්ති සහගත චින්තනයක් පවතින ඕනෑම දහමක් අයහපත් නැති බව මාත් පිළිගන්නවා.

      //අපරාධ නීතියට පෙර අචාර ධර්ම ආගමික පසුබිමක් තුල හැදෑරීමෙන් යහපතක් සිදු නොවේද?// යම් ආගමික පසුබිමක දී සාමාන්‍ය යුක්ති සහගත චින්තනයකට ඉඩක් ලැබෙනවා නම් එවැනි පසුබිමක් තුල ආචාර ධර්ම හැදැරීමෙන් යහපතක් සිද්ධ වෙනවා. ක්‍රිස්තියානි ආගමට ජර්මන් ජාතික මාටින් ලූතර් සහ තෝමස් ඇක්වයිනාස් වැනි අය කළ මෙහෙය, ථෙරවාද බුද්ධාගමට වල්පොළ රාහුල හිමියන් කළ මෙහෙය සහ ඉස්ලාම් වෙනුවෙන් ඉස්ලාමීය ප්‍රාඥයන් කළ මෙහෙයන් මෙහි දී උදාහරණ හැටියට දක්වන්නට පුළුවන්.

      //අන්තගාමී මං තැනෙන්නේ ආගමික පසුබිමක් තුල ආචාර ධර්ම හැදෑරවීමේ සාමාන්‍ය පිළිවෙත නිසාද?// ආගමික පසුබිමකින් ආචාර ධර්ම ගැන ඉගෙන ගනිද්දී සාමාන්‍ය යුක්ති සහගත චින්තනයට ඉඩක් නොදීම නිසා.

  2. BDS said, on ජූලි 6, 2013 at 11:54 ප.ව.

    එඩ්වඩ් ස්නෝඩ්න් සහ සිද්ධිමාලාව ගැන ඔබේ අදහස දැනගැනීමට කැමතියි.

    • arunishapiro said, on ජූලි 7, 2013 at 9:48 පෙ.ව.

      BDS,

      ලෝකෙ අනිත් හැම ආණ්ඩුවක් වගේ ම බලතණ්හාධික වී ඉන්නා ඇමෙරිකන් ආණ්ඩුව ද රටේ පුරවැසියන්ගේ අයිතීන් අමතක කරන ලද පැහැදිලි අවස්ථාවක්.

      ලෝකයේ අනෙක් ආණ්ඩු පිහිටුවා ගත්තු පුරවැසියන්ට නැති ඇමෙරිකන් පුරවැසියන්ට රටේ ව්‍යවස්ථාවෙන් තහවුරු කළ යුත්ත ආණ්ඩුව විසින් උල්ලංඝනය කළ අවස්ථාවක්.

      මෙහෙ ව්‍යවස්ථාවෙන් කියා ඇත්තේ ආණ්ඩුව විසින් පුරවැසියන් වෙනුවෙන් ආරක්ෂා කළ යුත්තේ යමක් කියන්නට ඇති නිදහස සහ විරෝධය පාන්නට ඇති නිදහස කියාය. එහෙත් ඔබාමාගේ ඇමෙරිකන් ආණ්ඩුව හිතන්නේ එය ජාතික ආරක්ෂා ඒජන්සිය විසින් ප්‍රතිරෝධය (object) නොකරනවා යැයි අවසර දිය යුත්තක් කියාය. ඊට ආණ්ඩුවේ අවසරයක් ඉල්ලන්න අවශ්‍ය නැති බවත් ආණ්ඩුව පුරවැසියා වෙනුවෙන් ආරක්ෂා කරදෙන්නට ප්‍රතිඥා දුන්නක් බව ජාතික ආරක්ෂා ඒජන්සියටම අමතක වී තිබීම ඉතා ඛේදනීයයි.

      මෙහෙ අපරාධ නීති අනුව අපරාධකරුවෙක් ගැන කරන විමර්ශනයක දී වුවත් උසාවියේ වරෙන්තුවක් නොමැතිව අපරාධකරුවාගේ පුද්ගලික තොරතුරු විමර්ශනයට අවසර නැත. නීතිය එසේ තිබිය දී රටේ අපරාධ නොකරන ලද සාමාන්‍ය ජනතාවගේ ලියුම් කරදහි ඡායාරූප ගැනීම, ටෙලිෆෝන් සංවාද වලට සවන් දීම, අන්තර්ජාල කටයුතු නිරීක්ෂණය සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව මඟින් ඔබාමා ආණ්ඩුවට අකමැති තේ පාටි සංවිධාන වල ගිණුම් පිරික්සීම යනාදිය ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කරනවා යැයි ප්‍රතිඥා දුන් පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝණයකි.

      යම් ස්ථානයක අයිතීන් උල්ලංඝණය කරනවා නම් ඒ ගැන විසිල් ගහන අය පුද්ගලික අංශයේ මෙන් ම මහජන සේවයේ ද සිටීම පුරවැසියන්ට මහත් සේවයකි. මෙහි දී ස්නෝඩන් ඇමෙරිකන් වැසියන්ට තම ආණ්ඩුව යන්නේ කුමන මාර්ගයක දැයි පෙන්වා දෙන්නට විසිල් එකක් ගසා ඇත. ඒ ගැන කුමක් කරන්නේ ද යන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක දී පුරවැසියන් සතු වූ වගකීමකි. රටේ ආරක්ෂාව සපයනවා යන පාරට්ටුව යටතේ තවත් කොපමණ කාලයකට ආණ්ඩුවට පුරවැසි අයිතීන් උල්ලංඝණය කරන්න දෙනවා ද නැත්නම් පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නට ආණ්ඩුව හික්මවා ගන්නවා ද යන තෝරා ගැනීම අනුව අනාගතයේ ඇමෙරිකාව කොහාට ද යන්නේ යන්න තීරණය වේවි.

      ඇමෙරිකාව ලෝකයේ අනිකුත් සියළු රටවල් වලට ඉදිරියෙන් ආර්ථික හා සමාජයීය දියුණුවකින් ඉන්නේ වෙන කිසිම රටක නැති මෙහි වැසියන්ට ඇති පුද්ලික අයිතිය රැකෙන නිදහස නිසා බව මගේ මතයයි. ලෝකයට නිදහස ගැන කියා දුන් ඇමෙරිකාවට එය ආරක්ෂා කරගන්නට බැරි නම් සෙසු ලෝකයට ඉතා දොම්නස් තත්වයක් උදාවෙන බව ද මගේ මතයයි.

      මේ පිළිතුරත් කියවන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: