අරුණි ශපීරෝ‍ වෙතින්

එඩ්වඩ් ස්නෝඩන් සහ විසිල් ගැසීමේ ආචාර ධර්ම

Posted in Uncategorized by arunishapiro on ජූලි 8, 2013

ඇමෙරිකන් පුරවැසි එඩ්වඩ් ස්නෝඩන් විසින් විසිල් එකක් ගසා ඔබාමා ආණ්ඩුවේ ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ගෙන යන ලද ඔත්තු සොයන දැවැන්ත මෙහෙයුම ගැන ලොවට අනාවරණය කළ බව දැන් කවුරුත් දන්නා ප්‍රවෘත්තියකි.

මෙය සමාජ සබඳතා ජාල වලින් පුද්ගලික ජීවිතයේ හැම දෙයක් ම පවා දන්න නොදන්න හැම දෙනා සමඟ බෙදා ගන්න මේ කාලයේ හුරුවක් යැයි මුලින් ම කිව යුතුයි. තොරතුරු යුගයේ බහුතරය තොරතුරු සපයන්නන් බවට පත් වී ඇති යුගයකි. ඔවුන් බහුතරය මිනිත්තු පහේ කීර්තිය සොයා යනවා යැයි ද කිව නොහැකියි. මන්ද මෙය වර්තමානයේ හුරුවක් බවට පත් වී ඇති වූ හැදියාවක් නිසාය.

ස්නෝඩන් ලොවට හෙළි කළේ කුමක් ද? ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් ඇමෙරිකන් නොවන පුරවැසියන් අතර වූ පුද්ගලික හුවමාරු විශාල සංඛ්‍යාවක් සහ සමහර ඇමෙරිකන් පුරවැසියන් අතර වූ පුද්ගලික හුවමාරුවන් ද ඒ ඒ ඒකීය පුද්ගලයන්ට වරෙන්තු නිකුත් නොකර එකතු කරගත් බවයි. ඔබාමා ආණ්ඩුව පුළුල් නිරීක්ෂණයන් පවත්වන්නට රහසිගතව ඉල්ලන අවසරය ආණ්ඩුව විසින් පිහිටුවා ගත් විශේෂ රහසිගත උසාවියක් මඟින් අනුමතයයි. එහි දී ඇමෙරිකන් උසාවියේ දී සාමාන්‍යයෙන් ලැබෙන, විරුද්ධ පක්ෂයට විරෝධයක් පාන්නට ලැබෙන හැකියාව නොමැති වී යයි. ඔබාමා ආණ්ඩුවේ මේ රහසිගත වරෙන්තු වලින් ජාතික ආරක්ෂක ඒජන්සියේ විශ්ලේෂකයන්ගේ කැමැත්ත පරිදි විශාල නිරීක්ෂණයන් පවත්වාගෙන යමින් ඒ දත්ත සියල්ල කල්තබා ගැනීමට බලය ලැබීම ඇමෙරිකන් ව්‍යවස්ථාවේ 4 වැනි සංශෝධනයෙන් පවරා ඇති “අවිචාර සෙවීම් හා පරිග්‍රහය” යන මූල ධර්මය නොසලකා හැරීමකි.

ස්නෝඩන් දැන් මුහුණ දෙන්නේ ඇමෙරිකන් ආණ්ඩුවේ දේපල සොරකම් කිරීම සහ රටේ ආරක්ෂාව පිළිබඳ බුද්ධිමය තතු අනවසරයෙන් හෙළි කිරීම යන චෝදනා වලට ය. ලෝකයේ වෙනත් රටවල මෙන් ස්නෝඩන් දුන් තතු හෙළි කරන්නට ඉදිරිපත් වූ ඇමෙරිකන් මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් අතුරුදහන් නොවීය. ඔහුගේ හිසට ගෝනියක් දමා වෙඩි තැබුනේ නැත. ඔහුගේ සිරුර මුහුදෙන් ගොඩට ගසා ආවේ ද නැත.

ඔහුටත් ස්නෝඩන්ටත් බැන වදින ආණ්ඩුවකට මහා බලයක් තිබිය යුතුයි අදහන හිතෛෂීන් ස්වල්පයක් රටේ සිටිති. ඔවුනට අනුව ස්නෝඩන් අපරාධකාරයෙකි. එහෙත් සෙසු ඇමෙරිකන් ජනතාවට ස්නෝඩන් යනු අනෙක් අයට නොහැකි වී තිබූ අවස්ථාවක දී ආණ්ඩුවේ වරදක් හෙළි කරන්නට සමත් වූවෙකි. ස්නෝඩන් පාක්ෂික සමහර අයට ඔහු “නීති කඩන” වර්ගයේ වීරයෙකි. එනම්, ආණ්ඩුවක වඩාත්ම දූෂිත සහ රහසිගත ඒජන්සියක් තුල කටයුතු හෙළි කරන්නට ආණ්ඩුවේ ලියකියවිලි පෙන් වූ අයෙකි.

මෙහි දී ආණ්ඩුවක් විසින් එකතු කරන රහසිගත තොරතුරු වලට අයිතියක් ඇත්දැයි විභාග කරන්නට අවස්ථාවක් පෑදේ. ස්නෝඩන්ට එරෙහිව ගෙනෙන චෝදනාවේ කියැවෙන්නේ ලියකියැවිලි “හොරකම්” කළ බව සහ “ඒවා අනවසරයෙන් හෙළි කළ” බවයි. චෝදනාව එසේ නම් මේ තොරතුරු වලට ආණ්ඩුවට නීත්‍යානුකූල අයිතියක් ඇත්දැයි විමසන්නට හැකියි. එසේම ආණ්ඩුවට නීත්‍යානුකූල අයිතියක් ඇත්නම් ඒවා හෙළි කරන්නට ආණ්ඩුවේ නීතිමය අවසරයක් ද ලබාගත යුතු යැයි කිව හැකියි.

“එය සොරකම් කිරීමක් ද, දැනටමත් එය සොරාගත් වූවක් නම්,” යැයි ‘ඉන් ටයිම්’ චිත්‍රපටියේ විල් සලාස් චරිතය රඟපාන ජස්ටින් ටිම්බලේක් අසන හැටි මතක් වෙයි.

සොරකම යනු කුමක් දැයි නොදන්නා පුද්ගලික දේපල අයිතිය වරදවා වටහා ගත් මාක්ස්වාදීන්ට මෙය කුමක් දැයි පැහැදිලි කරගනු නොමැත. එය ලෝකයේ ඛේදනීය තත්වයයි.

ආණ්ඩුවකට රහසිගත ඔත්තු එකතු කිරීමේ පනතකින් ස්නෝඩන්ව සිරගත කිරීමට අවසර ඇත්දැයි විමසීම නීතිමීමාංස විද්‍යාවේ (science of jurisprudence) කාර්ය භාරයයි. විසිල් ගැසීම නොහොත් යම් ස්ථානයක කෙරෙන අකටයුතු හෙළි කිරීම අපරාධයක් වනුයේ හා නොවනුයේ කුමන අවස්ථාවක දී දැයි විමසීම එහි දී සිද්ධ වේ.

මෙය ඉතා වැදගත් නීතිමීමාංසක ප්‍රශ්නයකි. උදාහරණයක් හැටියට, යම් වෛද්‍යවරයෙක් සිය රෝග පරීක්ෂාවන්, සැත්කම්, හා ඖෂධ සීට්ටු ලිවීමේ දී කරන නොසැලකිලි හා නීති විරෝධී ක්‍රියාවන් පළමුවෙන් දකින්නේ ඔහු යටතේ ඉන්නා අනිකුත් වෛද්‍යවරු, හෙදියන් සහ සේවකයන් ය. ඔවුන් සියල්ලන්ම ඇතුලත විස්තර පිටතට නොදෙන ගිවිසුමක් අත්සන් කළ ඇති පමණින්, අයෙක් දැඩි ලෙසින් නොසැලකිලි බවකින් කටයුතු කරන්නේ ද, පවතින නීති උල්ලංඝණය කරන්නේ ද කිසිවක් නොකියා සිටීම අපරාධයක් වේ ද? නොවේ ද? යන්න තීරණයට මෙමඟින් ඉඩ ප්‍රස්ථාව ලැබේ.

විසිල් ගසන්නා යනු සංවිධානයක (එය පුද්ගලික හෝ මහජන විය හැකියි) නීත්‍යානුකූල නොවන අකටයුතු ක්‍රියා කලාපයන් හෙළිකරන්නාට ය. ඒ සඳහා රහසිගත ලෙසින් තබාගැනීමට අවශ්‍ය වූවන් ගේ අරමුණු ඉක්මවා යමින් ඒ රහසිගත තොරතුරු හෙළි කිරීම අත්‍යාවශයෙන් ම උවමනා වෙයි. බොහෝ අවස්ථා වල දී ඒවා මහජනතාව හෙළි කරනු සඳහා ප්‍රකාශනය අවශ්‍ය වෙයි.

විසිල් ගසන්නා යනු ඒ සංවිධානයේ ඇතුලත සිටින්නෙක් වීම නිසා එයා අනිවාර්යයෙන් ම එයා හෙළි කරන තොරතුරු හෙළි නොකරන්නට ගිවිසුම් අත්සන් කරන ලද අයෙකි.

ඒ නිසා පිටතින් පෙනෙන පරිදි විසිල් ගසන්නෙක් ගිවිසුම් නීතියක් කඩා ඇත. ඒ වගේ ම පිටතින් පෙනෙන පරිදි ගිවිසුමක් කැඩීම යන්න අන්තර්ගත වූ නිසා ඔහු ආචාර ධර්මයක් ද බිඳ ඇත. ඒ නිසා නීත්‍යානුකූලව විසිල් ගැසීම යුක්ති සහගත යැයි කියත නොහැකියි. එහෙත් එය යුක්ති සහගත යැයි කියනු හැකියාව ලැබෙන්නේ ආචාර ධර්ම තුලිනි. මන්ද එය අකටයුතු නීතියක් කැඩීම ආචාර ධාර්මික වූ ප්‍රගම්‍ය යුතුකමකි.

(ඊ ළඟ කොටස මෙතැනින්.)

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. hallow rusta said, on ජූලි 8, 2013 at 9:40 පෙ.ව.

    එකිනෙකා වෙත විසිල් ගැසීම හොද සන්නිවේදන කාර්යයකි. අවසන එය හුදු ඝෝෂාවක්ම වී සන්නිවේදනයේ අර්ථය නිරර්ථක වී යනු බොහෝ විට දක්නට ලැබේ. විසිල් ගැසීම වගේම විසිල් ඇසීමටත් ආචාර ධාර්මික පසුබිමක විය යුතු නොවේද?

    • arunishapiro said, on ජූලි 8, 2013 at 12:22 ප.ව.

      hallow rusta,

      විසිල් ගැසීම හුදු සන්නිවේදනයක් පමණක් නොවේ. එය හෙළිදරව්වකි. අනාවරණයකි. සන්නිවේදනයෙන් පසු යමක් ගැන කිසිත් නොකර සිටිය හැකි වුව ද නීති කඩන ලදැයි කරන හෙළිදරව්වකින් පසු යමක් කළ යුතු වාතාවරණයක් උදාවේ. ඔබාමා ආණ්ඩුවට යමක් කරන්නට සිද්ධ විය. හොකොං රජයෙන් ස්නෝඩන්ව පිටමං කර එවන්න යැයි ඉල්ලීය. හොකොං වලට යමක් කරන්නට සිද්ධ විය. ඔවුන් නීතිමය කරුණු පැහැදිලි කරන්න යැයි ඉල්ලා රටෙන් පිටවන්නට ස්නෝඩන්ට කාලය ලබා දුනි. ඔබාමා ආණ්ඩුව ස්නෝඩන්ගේ ඇමෙරිකන් පාස්පෝට් තහනම් කළේය. පූටින් ඔහු රුසියාවේ ඇතුලත නොව ගමන් පර්යන්තයේ සිටිනවා යැයි කියා කිසිත් නොකර සිටියේය. වෙනෙසියුලාව ස්නෝඩන් බාර ගති. දැන් ඇමෙරිකාව ඒ ගැන කුමක් කරන්නේ දැයි මත ඇමෙරිකන් ජනතාව ඔබාමා රජය ගැන ප්‍රසාදය/අප්‍රසාදය අඩු වැඩි කරගනු ඇත.

      සන්නිවේදනයේ දී ද බොහෝ අවස්ථා වල දී පෙනෙන්නේ එය හුදු ඝෝෂාවක්ම වී කිසිත් වෙනසක් සිද්ධ නොවන ආකාරයකි. එසේ වුවත් ලෝකයේ වර්තමානය මගේ කෙටි ජීවිතයේ අතීතයටත් වඩා ලෝකයේ බොහෝ කණ්ඩායම් වලට පුද්ගලික අයිතියට නිදහස ලැබී ඇති වෙනසක් සිද්ධ වී තිබෙන බවයි. ගමන හෙමින් වුනාට අපි ඉදිරියටම යනවා!!!!!

  2. wicharaka විචාරක said, on ජූලි 8, 2013 at 12:27 ප.ව.

    alarmist සහ whistleblower අතර වෙනස මොකක්ද?

    • arunishapiro said, on ජූලි 8, 2013 at 1:10 ප.ව.

      විචාරක,

      සමාජයක් තැති ගන්වන්නා ඔප්පු කර නැති හා දැනට ඔප්පු කරන්නට නොහැකි අනාගත සාධක පෙන්වන්නෙකි. විසිල් ගසන්නා පෙන්වන්නේ දැනටමත් සිද්ධ වී ඇති දේවල්.

    • amalpasanna said, on අගෝස්තු 15, 2013 at 7:46 පෙ.ව.

      //ඇමෙරිකන් මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් අතුරුදහන් නොවීය. ඇමෙරිකන් මාධ්‍යවේදී ග්ලෙන් ග්‍රීන්වෝල්ඩ් අතුරුදහන් නොවීය. ඔහුගේ හිසට ගෝනියක් දමා වෙඩි තැබුනේ නැත. ඔහුගේ සිරුර මුහුදෙන් ගොඩට ගසා ආවේ ද නැත//
      ඔය මාධ්‍යවේදීයට මුකුත් කලේ නෑ කියන එකෙන් හැම ඇමෙරිකන් මාධ්‍යවේදීයම තර්ජන නැතුව වැඩකරනව කියන්නන බෑ.කරත් මුහුදෙන් ගොඩට ගසා එන්න සිරුරක් ඉතුරු කරන එකක් නෑ.අනික ඔය රටෛත් දේෂපාලන ඝාතන වුනනෙ. හරි ඇමෙරිකාවෙ නිදදහසස තියනවමයි කියමු ඒත් පාකිස්තානෙ,ඇෆ්ගගනිස්තානෙ මාධ්‍යවේදීය,දරුව,ගෑනි,පිරිමි බලන්නෙ නැතුව නියමුවන් රහිත යානා වලින් ඇරල දාන්න අණ දෙන අයත් ඉන්න රටනෙ.මම කියන්නෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියනව කියල.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: